logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


නිරීක්‍ෂකයා හා ඔහු නො සිටි අතීතය

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රියානුභූතවාදය මත පදනම් වන්නක්‌ බවත් නිරීක්‍ෂකයකු ගේ පැවතීම යන්න එහි දී වැදගත් ම අදහසක්‌ වන බවත් අපි කියා ඇත්තෙමු. බටහිර යථාර්ථවාදයට නිරීක්‍ෂකයා යන්න අවශ්‍ය කරුණක්‌ නො වේ. එහි නිරීක්‍ෂකයකු ඇතත් නැතත් ලෝකය පවතින අතර එහි විවිධ දෑ සිදු වෙයි. ඒ සිදුවීම් සඳහා නිරීක්‍ෂකයකු ගේ පැවැත්ම අනිවාර්ය නො වේ. එහෙත් කෝපන්හේගන් විවරණයට අනුව නිරීක්‍ෂකයකු සිටිය ද නිරීක්‍ෂණය කළ නො හැකි දෑ ගැන කතා කිරීම අර්ථයක්‌ නැති දෙයකි.

ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි යම් ගුණයක අගය දත් විට එහි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය දත හැකි නො වේ. එනම් ප්‍රතිබද්ධ ගුණයෙහි අගය නිරීක්‍ෂණය නො වේ. ඒ නිරීක්‍ෂණය කිරීමට නම් උපකරණයක්‌ යොදා ගැනීමෙන් ඒ කළ යුතු වෙයි. (මෙහි දී උපකරණයක්‌ යන්නෙන් ඉන්ද්‍රියක්‌ වුව ද අදහස්‌ කෙරෙයි.) එවිට පමණක්‌ ප්‍රතිබද්ධ අගය මැනගත හැකි වන අතර එසේ මැනගන්නා තුරු ඒ අගය ගැන කිසිවක්‌ කිව නො හැකිවා පමණක්‌ නො ව එවැනි අගයක්‌ නොමැති ය යන ස්‌ථාවරයෙහි කෝපන්හේගන් විවරණය පිහිටයි. ප්‍රතිබද්ධ ගුණයට අගයක්‌ ලැබෙන්නේ ඒ ගුණය නිරීක්‍ෂකයකු විසින් මැනගනු ලැබීමෙන් ය කීමෙන් පමණකින් නො නවතින කෝපන්හේගන් විවරණය ඒ අගය ලබා දෙන්නේ නිරීක්‍ෂකයා යෑයි පවසයි.

විද්‍යාලංකාර විවරණයෙහි මේ අදහස්‌ ඒ ආකාරයෙන් නො පිළිගැනෙයි. විද්‍යාලංකාර විවරණයට අනුව ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මැනීමට හෝ මැනෙන්නට හෝ පෙර ගුණයට එක්‌ අගයකට වඩා තිබෙන අතර ඒ නිසා ඒ අගය නිරීක්‍ෂණය කිරීමට නො හැකි වෙයි. ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මැනීමෙන් හෝ මැනෙන්නට ලැබීමෙන් පසුව ඒ අගය කිහිපයෙන් එක්‌ අගයක්‌ ඒ ගුණයට ලැබෙන අතර එය නිරීක්‍ෂණය කිරීමට ද, එනම් අගය දැනගැනීමට ද, හැකි වෙයි. එහෙත් ප්‍රතිබද්ධ ගුණයට ඒ අගය ලබා දෙන්නේ නිරීක්‍ෂකයා ය යන අදහස විද්‍යාලංකාර විවරණයෙහි නො වේ. විද්‍යාලංකාර විවරණයට අනුව නිරීක්‍ෂකයා කරන්නේ අගය මැනීම පමණකි. එහි දී අගයක්‌ දීමක්‌ නො සිදු වෙයි.

දැන් අපි මැනීමෙන් හෝ මැනෙන්නට ලැබීමෙන් පසුව යන්න සාකච්ජා කරමු. මැනීම යන්න ඉතා පැහැදිලි ය එහි දී නිරීක්‍ෂකයකු මැදිහත් වී යම් උපකරණයක්‌ යොදා ගනිමින් මැනීමක්‌ කෙරෙයි. එහෙත් නිරීක්‍ෂකයකු නොමැති ව ද ක්‌වොන්ටම් අංශු එකිනෙක සමඟ ගැටීමට හැකි ය. ඒ හේතුවෙන් ක්‌වොන්ටම් අංශුවල අවස්‌ථා ද වෙනස්‌ විය හැකි ය. පිහිටීම පමණක්‌ දැන සිටි අංශුවක්‌ තවත් අංශුවක හෝ අංශු පද්ධතියක ගැටී ගම්‍යතාවක්‌ අත්පත් කරගත හැකි ය. ඒ අත්පත් කරගත් ගම්‍යතා අගය නිරීක්‍ෂකයකු ඇති ව හෝ නැති ව හෝ පැවැතිය හැකි ය. නිරීක්‍ෂකයකු ඇත්නම් ඔහුට ඒ අගය කුමක්‌ දැයි දැනගත හැකි ය. එසේ වුවත් නිරීක්‍ෂකයකු නැති ව ද ක්‌වොන්ටම් අංශුවට ගම්‍යතාවක්‌ අත්පත් කරගැනීමේ හැකියාව වෙයි.

මේ විවරණය බැලූ බැල්මට ඊනියා යථාර්ථවාදී විවරණයෙන් වෙනස්‌ නො වෙයි. නිරීක්‍ෂකයන් ලෝකයේ ඇතත් නැතත් යම් යම් දේ සිදු වෙයි. ක්‌වොන්ටම් අංශු (පද්ධති) එකිනෙක සමඟ හෝ නිව්ටෝනීය අංශු (පද්ධති) සමඟ හෝ ගැටීමට නිරීක්‍ෂකයන් අවශ්‍ය නො වේ. ක්‌වොන්ටම් අංශුවක (පද්ධතියක) තරංග ශ්‍රිතය කඩාවැටීමට නිරීක්‍ෂකයන් සිටිය යුතු ම නො වේ. එසේ නම් විද්‍යාලංකාර විවරණය ඊනියා යථාර්ථවාදයෙන් වෙනස්‌ වන්නේ කෙසේ ද?

මේ වෙනස ගැඹුරු වෙනසකි. නිරීක්‍ෂකයන් නොමැති ව ඇමේසන් වනාන්තරවල නොයෙකුත් දේ සිදු වනු නො අනුමාන ය. ඈත එපිට පිහිටි මන්දාකිණිවල යම් යම් දේ සිදු වන්නේ මිනිසුන් ඒ දේ නිරීක්‍ෂණය කිරීම ඇරඹීමෙන් පසුව නො වේ. එහෙත් ඒ කුමක්‌ සිදු වුවත් ඒ දැනගන්නා නිරීක්‍ෂකයන් එසේ කරන්නේ ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ය. මේ කරුණ මෙයට ඉහත දී අපි සාකච්ජා කර ඇත්තෙමු. එහෙත් ඒ පිළිබඳව නැවතත් සඳහන් කිරීම සුදුසු වෙයි.

බටහිර විද්‍යාවෙහි කියෑවෙන ආකාරයට විශ්වය ආරම්භයේ දී මනසක්‌ ඇති නිරීක්‍ෂකයෝ නො සිටිය හ. මිනිසා ඇති වී තිබෙන්නේ පළමුව ජීවියා ඇති වී පසුව ඩාවිනීය විකාශයක ප්‍රතිඵලයක්‌ ලෙස ය. බටහිර විද්‍යාවට අනුව විශ්වයේ ආරම්භයේ සිට මනසක්‌ ඇති සතුන් (මෑතක්‌ වන තුරු සියලු ම බටහිර විද්‍යාඥයන්ට අනුව මනස්‌ තිබුණේ මිනිසුන්ට පමණකි) ඇති වන තෙක්‌ ලෝකයේ බොහෝ දේ සිදු වී ඇත. ඒ සියල්ල වාස්‌තවික යෑයි ද මිනිසුන්ට ඒ දැනගැනීමට හැකි යෑයි ද බටහිර විද්‍යාවේ දර්ශනයෙහි කියෑවෙයි.

විද්‍යාලංකාර විවරණය පදනම් වී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනයෙහි ය. මනසක්‌ ඇති සත්ත්වයන් ඊනියා විශ්වය ආරම්භයේ සිට ම පැවතිණි යෑයි අපි විශ්වාස කරමු. මේ සත්ත්වයනට කිනම් ආකාරයක ශරීර තිබිණි ද යන්න මෙහි දී වැදගත් නො වේ. නිරයේ පිච්චෙන සත්ත්වයන් ගේ සිරුර ඉතා අධික උෂ්ණත්වවල ද පවතින බව දැන සිටීම පමණක්‌ අපට දැනට ප්‍රමාණවත් ය. බටහිර විද්‍යාවට අනුව විශ්වය ආරම්භයෙහි ඉතා දැඩි උෂ්ණත්ව තිබිණි ද ඒ උෂ්ණත්වල ද වේදනා විඳිමින් හෝ නො විඳිමින් හෝ සත්ත්වයන් සිටි බව පමණක්‌ අපි උපකල්පනය කරමු. විශ්වයට එවැනි ආරම්භයක්‌ පැවතිණි ද නැද්ද ආදිය අපට මෙහි දී අදාළ නො වේ.

බටහිර ජෛවීය විද්‍යාවන්හි කියන ආකාරයේ පරිණාම ගැන අපි විශ්වාසයක්‌ නො තබමු. ජීවය පෘථිවියේ ඇති විණි ද පෘථිවියට බාහිරව පැමිණියේ ද ආදී වශයෙන් බටහිර ජීව විද්‍යාඥයන් හා වෙනත් විද්‍යාඥයන් අතර කෙරෙන විවාදය අපට සතපහක්‌ වත් වැදගත් නැත. සිත පමණක්‌ ඇති කය නැති බඹලොව ගැන අපි දනිමු. ආධ්‍යාත්මික ශක්‌තිය දියුණු කරගත හැකි අයකුට අද වුවත් මිනිස්‌ ලෝකයේ සිට ම වුවත් ඒ අත්දැකීම් අදත් ලබාගත හැකි ය. භාවනාව දියුණු කිරීමෙන් තම භෞතික සිරුරෙන් මනස ඉවතට ගත හැකි අය සිටින බව පමණක්‌ අපි මතක්‌ කර ගනිමු.

බටහිර ජීව විද්‍යාවට අනුව ජීවය ඇති වී තිබෙන්නේ අජීවය පරිණාමයෙනි. මේ අදහස්‌ අප ඉවත දමන්නේ අළුයම ලූ කෙළ පිඬක්‌ මෙනි. බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට අප යට වී සිටි කාලය අවසන් වෙමින් පවතියි. බටහිර විද්‍යාවට බිය වීමට, එහි ආධිපත්‍යයට යට වීමට, සියලු ලෝකවාසීන්ට බල කර සිටි යුගය ඉතා ඉක්‌මනින් අවසන් කර දැමිය යුතු ය. අධර්මිෂ්ට මිථ්‍යාදෘෂ්ටික විද්‍යාවක්‌ වූ බටහිර විද්‍යාව පදනම් වී ඇත්තේ මිථ්‍යාදෘෂ්ටික චින්තනයක ය. බටහිර විද්‍යාව මිථ්‍යාදෘෂ්ටික විද්‍යාවක්‌ වන්නේ ද එබැවිනි. අනිත්‍ය, අනාත්ම නො පිළිගන්නා චින්තනයක්‌ මත පදනම් වූ බටහිර විද්‍යාවෙන් ලොවට ඇති වී තිබෙන හානිය කියා නිම කළ හැකි නො වේ.

ධාර්මික ලොවක්‌, අඩු ම තරමින් ධාර්මික ලංකාවක්‌, ධර්මය රජයන ලංකාවක්‌ ඇති කිරීමට බලාපොරොත්තු වන කිසි ම අයකුට බටහිර විද්‍යාවට අබමල් රේණුවක වත් උපකාරයක්‌ කිරීමට නො හැකි ය. එසේ උපකාර කරන්නෝ එක්‌කෝ තමන් කරන්නේ කුමක්‌ දැයි නො දනිති. නො එසේ නම් ඔවුහු වංචනිකයෝ වෙති. අපට අවශ්‍ය අනිත්‍ය, අනාත්ම පදනම් කරගත්, නිවන් අවබෝධ කරගැනීමට තුඩු දෙන ජීවන ක්‍රමයක්‌ සකස්‌ කර ගැනීම සඳහා ලෞකික වූ දැනුමක්‌ ඇති කර ගැනීම ය. බටහිර විද්‍යාව හා බටහිර ජීවන ක්‍රමය නිවන් අවබෝධ කරගැනීමට තුඩු දෙන්නක්‌ නො වන බව සිංහල බෞද්ධයනට ඉක්‌මනින් ම පැහැදිලි විය යුතු ය.

මනසක්‌ ඇති සතුන් බටහිර විද්‍යාවේ කියන ආකාරයට විශ්වය ආරම්භ වී බොහෝ කලකට පසුව ඇති වුවත් විද්‍යාලංකාර විවරණයට ඒ ප්‍රශ්නයක්‌ නො වේ. දැනුම යනු මිනිසුන් ගේ පමණක්‌ නිර්මාණයක්‌ ද නො වේ. ඒ ඒ වර්ගවල සත්තු විවිධ දැනුම් නිර්මාණය කරති. ඒ අතර දෙවියන්, නාගයන්, අමනුෂ්‍යයන්, මනුෂ්‍යයන් ද එකතු වී දැනුම නිර්මාණය කෙරෙන බව සිංහල බෞද්ධයන් ගේ අත්දැකීම ය. එහෙත් හුදෙක්‌ බටහිර විද්‍යාව සමඟ තර්ක කිරීමට අපි ඒ අමතක කරමු. බටහිර විද්‍යාව ඉතා ආක්‍රමණශීලීව අපට කියන ආකාරයට මිනිසුන් පරිණාමයක ප්‍රතිඵලයක්‌ ලෙස ඉතා මෑතක දී ලොව පහළ වී යෑයි අපි බටහිර විද්‍යාව සමඟ තර්ක කිරීම සඳහා උපකල්පනය කරමු.

එසේ මිනිසුන් ඇති වීමෙන් පසුව පමණක්‌ දැනුම නිර්මාණය වී යෑයි උපකල්පනය කළත්, මිනිසුන් එසේ දැනුම නිර්මාණය කරන්නේ අතීතයට ද බලපාන අන්දමට යෑයි අපි කලින් කියා ඇත්තෙමු. වෙනත් වචනවලින් කිව හොත් අද බටහිර විද්‍යාවට අනුව විශ්වයේ ආරම්භය ගැන කතා කරන්නේ අපේ අද දැනුම විශ්වයේ ආරම්භයට ද බලපාන අයුරින් සකස්‌ කර ගැනීමෙනි. එහෙත් අප තවමත් විශ්වයේ ඊනියා ආරම්භය දැක නැත. අප නිරීක්‍ෂණය කරන්නේ ඊනියා මහා පිපුරුමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඇති වූ ක්‍ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ (Microwave Background Radiation) වර්තමාන අවස්‌ථාව ය. අප අද කරන්නේ පසුකාලීනව නිර්මාණය කරගත් දැනුමක්‌ විශ්වයේ ආරම්භයට ද බලපාන පරිදි යොදා ගැනීම ය.

අප සිටියත් නැතත් ක්‌වොන්ටම් අංශූ හා පද්ධතීන් එකිනෙක සමඟ ගැටෙන බව පැහැදිලි ය. ඒ ගැටීම් හේතුවෙන් ප්‍රතිබද්ධ ගුණවලට අගයන් ද ලැබෙනු ඇත. අප මැන්නත් නැතත් ඒ අගයන් පවතියි. අප නැති ව අංශුව ගැටී එවැනි අගය ක්‌වොන්ටම් අංශුවලට හා පද්ධතිවලට ලැබෙන්නේ ය යන්නෙන් අදහස්‌ වන්නේ ඒ අගය මැනුණු බව නො ව මැනෙන්නට ලැබී ඇති බව ය. නිරීක්‍ෂකයන් නැති ව වුවත් ක්‌වොන්ටම් අංශුවල ප්‍රතිබද්ධ ගුණවල අගය මැනෙන්නට හැකි ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඒ ප්‍රතිබද්ධ ගුණවලට අගය ලැබෙන්නට ද හැකි ය. එහෙත් අප මෙහි දී අවධාරණය කරන්නේ එසේ නිරීක්‍ෂකයන් නැති ව අගය ලැබෙන්නට ඇති මුත් ඒ නිරපේක්‍ෂ වාස්‌තවික අගය නො වන බව ය. විද්‍යාලංකාර විවරණය හා ඊනියා යථාර්ථවාදී විවරණය අතර ප්‍රධාන වෙනසක්‌ ද එය වෙයි.

ඊනියා යථාර්ථවාදී විග්‍රහයට අනුව නිරීක්‍ෂකයන් මැන්නත් නැතත් ඕනෑ ම ප්‍රතිබද්ධ ගුණයකට නිශ්චිත අගයක්‌ ඇත. ඒ අගය කුමක්‌ දැයි ක්‌වොන්ටම් භෞතික විද්‍යාවට කිව නො හැක්‌කේ ඒ විද්‍යාව අසම්පූර්ණ නිසා යෑයි අයින්ස්‌ටයින් විද්වතා ප්‍රමුඛ ඊනියා යථාර්ථවාදියෝ කියා සිටිති. එසේ ම ඒ අගය වාස්‌තවික යෑයි ද ඔවුහු ප්‍රකාශ කරති. විද්‍යාලංකාර විවරණයට අනුව ඒ අගය වාස්‌තවික නො වන අතර ප්‍රතිබද්ධ ගුණයට නිශ්චිත අගයක්‌ ද නැත. විද්‍යාලංකාර විවරණයෙහි ප්‍රතිබද්ධ ගුණයට මනින්නට පෙර අගය එකකට වඩා තිබෙන අතර, මැනීමෙන් පසු එය එක අගයක්‌ පමණක්‌ ගනියි. නිරීක්‍ෂකයන් ඇති වීමට පෙර ද අංශූ එකිනෙක සමඟ ගැටි එලෙස ප්‍රතිබද්ධ ගුණවලට අගයන් ලැබෙන්නට ඇති යෑයි ගත්තත්, ඒ අගය යනු නිරීක්‍ෂකයන් තම වර්තමාන දැනුම අතීතයට ද බලපාන අයුරෙන් සකස්‌ කර ගැනීම නිසා මිනිසුන්ට ඒ විෂය වන ආකාරය ය. ඒ අගය හා දැනුම වර්තමාන නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂ වූවක්‌ බව මෙහි දී අවධාරණය කළ යුතු ය.

මහාචාර්ය නලින් ද සිල්වා