logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


වැද්දෝ සහ මුහුදු වැද්දෝ

අනාදිමත් කාලයක සිට බොහෝ දෙනා වැදි ජනයා සැලකුවේ ම්ලේච්ඡ, නොදියුණු මිනිස්‌ ප්‍රජාවක්‌ ලෙස ය. ආනාදිමත් කාලයක එසේ වන්නට ඇත. එහෙත් එම යුග පිළිබඳව විමසන විට සෙසු බොහෝ ලක්‌වැසි ජනයා ද අදට වඩා නො දියුණු තත්ත්වයක සිටින්නට ඇත. වැදි ජනයා ගැන අද අපට එසේ සිතීමට හේතුවක්‌ නැත.

 

වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ

කිසියම් අනන්‍යතාවක්‌ රැකගෙන තමන්ට ම ආවේනික වූ දේශීය දැනුමක්‌ පදනම් කරගෙන ජීවත් වන ඔවුනට හෝඩියක්‌ නැති ආවේනික වූ භාෂාවක්‌ ඇත. අද දවසේ වැදි ජනයා පිළිබඳව විමසන විට ඔවුන් සොබාදහම පිළිබඳවත් අවට පරිසරය පිළිබඳ වත් මනා අවබෝධයක්‌ ඇති පිරිසක්‌ බව පැහැදිලි වෙයි.

සංචාරක දිවියක්‌ අතීතයේ දී ගත කළ බැවින් අදත් මහියංගනය, මඩකලපුව, වාකරේ වැනි ප්‍රදේශ දක්‌වා ම මේ වැදි ජනතාව ගේ ව්‍යාප්තියක්‌ දක්‌නට ලැබේ. හෙන්නානිගල, දළුකාන, රතුගල, පොල්ලේබැද්ද වැනි ප්‍රදේශ කවුරුත් පාහේ අසා ඇති ප්‍රසිද්ධ වැදි ජනාවාසයන් ය. මොවුන් ගෙන් බහුතරයක්‌ ගම් වැද්දෝ ය. මඩකලපුවේ සිටින වැදි ජන ප්‍රභවයක්‌ සහිත ජනතාව හඳුන්වනු ලබන්නේ මුහුදු වැද්දන් නමිනි. විදුසර වෙනුවෙන් මේ ලේඛකයා මෙකී දෙපිරිස ම සොයා ගිය ගමන් දෙකක දී සොයාගත් කරුණුවලින් අද සතියේ විමසුම සැකසෙයි.

මෙරට වැදි ජනතාව සිය අනන්‍යතාව රැකගෙන ජීවත් වන ජන කොටසකි. වැද්දා යන්න සිංහල ඌරුවට අනුව ව්‍යවහාර වුව ද එය ව්‍යාධ යන පාළි වදනින් බිඳී ආවකි. (වියද්ධ-වැද්ධ-වැදි-වැද්දා) මෙහි අරුත විදින්නා යන්න ය. දුනු ඊතල භාවිතයෙන් සතුන් විද මරා ගන්නා බැවින් විදින්නා යන අරුතින් බිඳී අවුත් වැද්දා යන්න භාවිතයට එක්‌ විය. සබර හා පුලින්ද යන වදන් ද වැද්දන් හැඳින්වීම සඳහා භාවිත වෙයි. සමනළ අඩවියට අයත් සියලු ම ප්‍රදේශත්, රත්නපුර ආශ්‍රිත ප්‍රදේශත්, සබරගමුව යනුවෙන් හැඳින්වෙයි. මෙහි අරුත සබරුන් හෙවත් වැද්දන් බහුලව විසූ ප්‍රදේශය යන්න ය. රත්නපුරය හා සම්බන්ධ වන සිංහරාජ වනයේ වැද්දාගල යනු ජන ව්‍යවහාරයට අනුව වැද්දා විසූ ගල යන්න ය.

වැද්දන් ගේ අතීතය පිළිබඳව විමසීමේ දී ප්‍රාග් ඵෙතිහාසික යුගයේ දී මෙරට විසූ ආදිවාසින් පිළිබඳව හැදෑරීම අත්‍යවශ්‍ය වෙයි. ආචාර්ය ශිරාන් දැරණියගලට අනුව ක්‍රි.පූ. 1100 සිට ක්‍රි.පූ. 500 දක්‌වා වූ දිගු කලක්‌ ජීවත් වූ බලංගොඩ මානවයාට වැද්දන් ගේ සම්බන්ධයක්‌ ඇති බැව් පෙනී යයි. බලංගොඩ මානවයා කායික වශයෙන්, ශ්‍රී ලංකාවේ ජීවත් වන වැදි ජනතාවට බෙහෙවින් සමාන ලක්‌ෂණ පෙන්නුම් කරයි. දිගු පටු හිස, ඉදිරියට නෙරා ආ නළල් තලය, ඝන හිස්‌ කබල් අස්‌ථි, පුළුල් ශක්‌තිමත් කම්මුල් අස්‌ථි, පසුපසට නැඹුරු වූ නිකට, ගෙවී ගිය විශාල දත් සහ මුක්‌කන් නාසය වැනි කායික ලක්‌ෂණ බලංගොඩ මානවයා ගේ දක්‌නට ලැබුණු බැව් ආචාර්ය ශිරාන් දැරණියගල පෙන්වා දෙයි. (ශිරාන් දැරණියගල ගේ ප්‍රාග් ඵෙතිහාසික පසුතලය, මහාවංශය 1 කාණ්‌ඩය 1984 පිටුව 41)

බුදුරදුන් ශ්‍රී ලංකාවට වඩින විට ශ්‍රී ලංකාවේ ජීවත් වූ යක්‌ෂ ගෝත්‍රිකයන් යනු වැද්දන් බැව් ඡේ. ඊ. සෙලිග්මාන් පෙන්වා දෙයි. එසේ ම ප්‍රාග් ඵෙතිහාසික යුගයේ ගල් ආයුධ වැද්දන්ට අයත් වූ මෙවලම් බැව් ඔහු තවදුරටත් පවසයි. කෙසේ වෙතත් අතීතයේ දී ශ්‍රී ලංකාවේ බහුතර භූමි ප්‍රමාණයක විසූ බවට සිතිය හැකි වැද්දෝ අද වියළි කලාපයට පමණක්‌ සීමා වී ජීවත් වෙති.

මේ ලියුම්කරු පසුගිය දිනවල දඹාන කොටබකිනිය වැදි ගම්මානයේ කළ සංචාරයේ දී වත්මන් වැදිනායක ඌරු වරිගේ වන්නියලැත්තන් සමග කළ සාකච්ඡාවක දී තම වරිගයේ ඉතිහාසය ගෙනහැර පාමින් ඔහු ප්‍රකාශ කළේ මේ රටේ ආදිවාසීන් හෙවත් වැද්දන් යක්‌ක ගෝත්‍රයට අයත් බව හා මේ ගෝත්‍රයට අයත් වැසියන්ට අවුරුදු තිස්‌ දහසක්‌ හතළිස්‌ දහසක්‌ වැනි ඈත ඉතිහාසයක්‌ ඇති බවත් ය. (පසුගිය සතියේ විදුසර බලන්න.) එසේ ම මොවුන් ගේ ආදිතමයා බලංගොඩ මානවයා බව වන්නියලැත්තන් ගේ ද අදහස වේ.

අතීත වැදි ජනතාව ගෙන් කොටසක්‌ ස්‌ථානීයව හෙවත් එක ප්‍රදේශයකට සීමා වී ජීවත් වූ අතර තවත් කොටසක්‌ සංචාරක දිවියක්‌ ගත කරන්නට ඇතැයි සිතිය හැකිය. වැදි ජනාවාස පිහිටි ප්‍රදේශ ලෙස රතුගල, පොල්ලේබැද්ද, හෙන්නානිගල, දළුකාන, කොටබකිනිය, දඹාන, මහඔය, මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ කදිරවේලි සහ වාකරේ යන ප්‍රදේශ හැඳින්විය හැකි ය.

ශ්‍රී ලංකාවේ වැද්දෝ ප්‍රධාන කොටස්‌ තුනකට වර්ග කෙරෙති. ඒ වැද්දන්, ගම් වැද්දන් සහ මුහුදු වැද්දන් යනුවෙනි. මුහුදු වැද්දන් වෙරළබඩ වැද්දන් යනුවෙන් ද හැඳින්වෙයි. වර්තමානයේ මෙසේ වෙතත් අතීතයේ දී වැද්දන් ගේ නිජබිමට භූගෝලීය පිහිටීම අනුව උතුරුමැද පළාතේ අනුරාධපුර, පොළොන්නරුව යන දිස්‌ත්‍රික්‌ක ද, ඌව පළාතේ බදුලු දිස්‌ත්‍රික්‌කය ද, නැඟෙනහිර පළාතේ අම්පාර හා මඩකලපුව දිස්‌ත්‍රික්‌කය ද, උතුරු පළාතේ වව්නියා දිස්‌ත්‍රික්‌කය ද යන දිස්‌ත්‍රික්‌ක අයත් විය. ගම්වල වාසය කළ වැද්දෝ ගම් වැද්දෝ වූ හ.

වැද්දන් පිළිබඳව පර්යේෂණ කළ අයකු වූ පෙඩි්‍රක්‌ ලුවිස්‌ විසින් වර්ෂ 1914 දී ලියන ලද Notes on an Exploration in Eastern Uva and Southern Panama Pattu යන ලිපියෙන් කුඹුක්‌කන්ඔයෙන් ඉහළ සීමාව වැද්දන් ගේ නිජබිමක්‌ ව තිබුණු බැව් සඳහන් වෙයි. පානම් පත්තුවෙන් හරි අඩක්‌ පමණ වූ භූමි ප්‍රදේශය පුරා පැරැණි වැද්දන් ගේ නිජ බිම් තිබී ඇති බැව් අනාවරණය වන අතර මේ වැදි නිජබිම් මහවැදි රට, බුත්තල වැදි රට යනුවෙන් ව්‍යවහාර වී ඇති බැව් අනාවරණය වෙයි.

මුහුදු වැද්දෝ

වාකරේ පෙදෙසේ
මුහුදු වැදි ජනාවාසයක
පැල්පතක් සහ මුහුදු වැදි කතක්


මහාචාර්ය නන්දදේව විඡේසේකර විසින් කරන ලද සෙවීම්වලට අනුව නැඟෙනහිර වෙරළ ආශ්‍රිතව වෙසෙන වැදි ජනයා දිවයිනේ අන් පෙදෙස්‌වල වෙසෙන වැදි ජනයා ගෙන් වෙනස්‌ ලක්‌ෂණ පෙන්නුම් කරයි. වාකරේ, කල්කුඩා, වාකනේරි, කදිරවේලි යන ගම්වල මුහුදු වැද්දෝ හෙවත් වෙරළාශ්‍රිත වැද්දෝ වාසය කරති. මොවුන් වෙරළ තීරයට පැමිණියේ කෙදිනක ද යන්න තහවුරු කිරීමට සාධක නැත. මොවුන් වෙරළබඩ වෙසෙන දෙමළ ජනයා ගේ ජීවන ක්‍රමවලට හුරු වී සිටිති. දෙමළ බස කතා කරති. ඇවතුම් පැවතුම් දෙමළ මිනිසුන් ගේ මෙනි. මහාචාර්ය නන්දදේව විඡේසේකර සිය "වැද්දන් ගේ විකාශන ක්‍රමය" නම් ග්‍රන්ථයෙන් මේ මුහුදු වැද්දන් මිටි ශරීරයක්‌, අඳුරු පැහැති සමක්‌, රළු ස්‌වභාවයක්‌ ගන්නා ඇවතුම් පැවතුම්, රැළි ගැසුණු හිස කෙස්‌ හා හොඳින් විවර වූ දෙනෙත් වැනි මූලික ලක්‌ෂණවලින් හෙබි බැව් පෙන්වා දෙයි. මේ මූලික ලක්‌ෂණ ඔවුන් ගේ ආදි මුතුන් මිත්තන් ගෙන් ලැබී ඇතැයි ද සඳහන් වෙයි.

වෙරළාශ්‍රිතව වෙසෙන මොවුහු වැදි බස නො දනිති. එහෙත් තමන් වැද්දන් බැව් දනිති. ධීවර කටයුතුවල යෙදෙන මොවුහු ගොඩ ගොවිතැන් ද කරති. මේ ලියුම්කරු දඹානේ කළ සංචාරයේ දී නැඟෙනහිර දේශ සීමාවේ වෙසෙන මුහුදු වැද්දන් පිළිබඳව වන්නියලැත්න් ගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙවන් අදහසකි.

ඒ කාල මැච්ෙච් මිනිස්‌ ගජ්ජු දඩයම් පොජ්ජ අඩු තැනින් වැඩි තැනට මංගච්චල තිබෙනවා. ඒ වගේ මංගච්චල මංගච්චල එක තැනක රඳන සිරිත් පොජ්ජ කොඳුයි. කැළෑ පොජ්ජෙන් කැළෑ පොජ්ජට මංගච්චන සිරිත් පොජ්ජ තමයි තිබව්වෙ. ගොවිතැන් පොජ්ජ මන්දො කරල තිබෙන්නේ. මේ කෝන පොජ්ජෙ එක හේන් පොඡේජක්‌ පට අරිනව. පස්‌සේ තවත් හෙන් පොජ්ජක්‌ පට අරිනව. කෝන පොජ්ජෙන් කෝන පොජ්ජට වට තැනින් මංගච්චනවා. මේ හැටියට ඉඳ තිබල තමයි අද දවස්‌ පොජ්ජේ වාකරේ, කදිරවේලි කියන ගම්පොජ්ජවල රඳන්නෙ. ඒ ගම්වල රඳන පරම්පරා පොජ්ජ මෙයිබෙන් තමයි මංගච්චල තිබෙන්නේ. මහවැලි දිය ගං පොජ්ජෙන් මංගැච්චපු ඇත්තෝ තමයි හේන් පොජ්ජ පටෑරල පටෑරල මංගච්චල එයිබෙන් දෙබාජිකාරිල ගෙ ගම් පොජ්ජට මංගච්චල තිබෙන්නේ. එයිබෙන් මංගච්චල කොඳුයි. ඒ ඇත්තො එතකැන ම රැඳෙව්ව. ඒ ගම්පොජ්ජවල ඉඳ තිබෙව්ව දෙබාජිකාරිල ඇත්තෝ. ඒ ඇත්තන් ගේ භාසා පොජ්ජ ඒ ඇත්තන් ගේ සිරිත් පොජ්ජ තමයි අර කට්‌ටි පොජ්ජට එකතු තැන මන්දො වුණේ. ඒ ඇත්තන් ගෙන් මන්දො වුණ ළා කැකුළෝ මංගැච්චුවේ දෙබාජිකරිල, කරුකුරු ගච්චන රුකුල් පොජ්ජට. ඒ භාසා පොජ්ජ තමයි හිත්ලා ගත්තේ. නිලධාරි හූරලත් ඒ ඇත්තොමයි අද දවස්‌ පොජ්ජේ මන්දො කරන කොට දෙබාජි කාරිල ගේ භාසා පොජ්ජ සිරිත් පොජ්ජ තමයි වැඩි දෙනකුට තිබෙන්නේ. මේ වගේ තමයි මේ පරම්පරා පොජ්ජ මන්දො වෙලා තිබෙන්නේ. අද දවස්‌ පොජ්ඡේ එක තැනකමට සීමා පොජ්ජ මන්දො වෙලා. කොටු පොජ්ජ වෙලා. තව කාල පොජ්ජක්‌ මන්දො වෙන කොට මේ පරම්පරා පොජ්ජට මොකක්‌ මන්දො වෙයි ද හිත් ලා ගන්න කොඳුයි.

(ඒ කාලේ හිටපු මිනිස්‌සු දඩයමින් තමයි ජීවත් වුණේ. දඩයමින් අඩු තැනින් වැඩි තැනට ගමන් කරන සංචාරක ජීවිතයක්‌ ගත කළා. ඒ නිසා එක තැනක ජීවත් වෙන සිරිතක්‌ තිබුණේ නෑ. කැළෑවෙන් කැළෑවට ගමන් කරන සිරිතක්‌ තමයි තිබුණේ. මේ අතරේ තමයි ගොවිතැන් කරන්නත් යොමු වුණේ. මේ අවුරුද්දේ එක කැළෑවක හේනක්‌ කොටාගෙන ජීවත් වුණොත් අනෙක්‌ අවුරුද්දේ වෙනත් කැළෑවක හරි කැළෑවේ වෙනත් තැනක හරි හේනක්‌ කොටාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. මේ වගේ වටයක්‌ ගිහින් තමයි අද දවසේ වාකරේ, කදිරවේලි වැනි ප්‍රදේශවල වැදි ජනයා ජීවත් වෙන්නේ. මේ අය මේ පළාත්වලින් තමයි ඒ පළාත්වලට ගියේ. මේ අය මහවැලි ගඟ දිගේ ඈතට ගිහින් දෙමළ ජනතාව සිටින ප්‍රදේශවල පදිංචි වුණා. ඉන් එහාට ගිය බවට තොරතුරු නෑ. ඒ ප්‍රදේශවල දිගට ම ජීවත් වුණු නිසා දෙමළ භාෂාව කථා කරන්න පුරුදු වුණා. දෙමළ ජනයා ගේ සිරිත් විරිත් පුරුදු වුණා. ඒ පරිසරය ඔවුන් ගේ සිත් ගත්තා. මේ අය ගෙන් ඉපදුණු ළමයි දෙමළ භාෂාව කතා කරන ගෙවල් ඇසුර ලැබුවා වගේම ලියන කියන කටයුතුත් දෙමළ භාෂාවෙන් කරන්න පුරුදු වුණා. අද දවස වන විට ඒ ඒ ප්‍රදේශවල ඉන්න වැදි ජනයා දෙමළ භාෂාව කතා කරන දෙමළ සිරිත් විරිත් අගය කරන එක ම ප්‍රදේශයක වෙසෙන ජන කොටසක්‌ බවට පත් වෙලා. මේ ආකාරයට තවත් කලක්‌ ගියොත් මේ පරම්පරාවලට මොකක්‌ වෙයි ද කියන එක හිතාගන්න අමාරුයි)

මේ හා සම්බන්ධව මහාචාර්ය නන්දදේව විඡේසේකරයන් සිය "වැද්දන් ගේ විකාශන ක්‍රමය" නම් කෘතියෙන් මෙසේ පෙන්වා දෙයි. නැඟෙනහිර පළාතේ මුහුදුකර වැද්දන් සම්බන්ධයෙන් ඇති වන සාමාන්‍ය හැඟීම නම් මොවුන් මේ පෙදෙස්‌වල දීර්ඝ කාලයක සිට පදිංචියට පත් අය බවයි. ඔවුන් ගේ ගති පැවතුම් අසල්වැසි දෙමළ ජනතාවට බොහෝ සෙයින් සමාන ය. ඔවුන් ගේ ගෙවල් දොරවල්, සාමාන්‍ය ජීවිත තත්ත්වය හා ගතිගුණ ඒ දිස්‌ත්‍රික්‌කයේ සාමාන්‍ය දෙමළ ජනයා ගේ තත්ත්වයට වඩා පහත් ය. පොල් අතු හෝ ඉලුක්‌ සෙවිලි කළ හතරැස්‌ අඩි 10ට වඩා විශාලත්වයක්‌ නැති, උසින් අඩි 5ක්‌ තරම් නො වූ මොවුන් ගේ ගෙපැළ තුළට යා යුත්තේ රිංගීමෙනි.

වැද්දන් ගේ මුල් වාස භූමිවලින් ඈත් ව එක පරම්පරාවකට වඩා අධික කාලයක්‌ විසූ මේ මිශ්‍ර ජනකාය අතර සමහර වැදි ලක්‌ෂණ දක්‌නට ලැබේ. මිටි බව, පාටින් තද කළු බව, බෙහෙවින් විවෘත වූ ඇස්‌ තිබීම වැදි පරපුරට අයත් බව පෙන්වන සාක්‍ෂි වෙයි. (මහාචාර්ය නන්දදේව විජේසේකර, වැද්දන් ගේ විකාශන ක්‍රමය පිටුව 47)

මේ ලියුම්කරුට පසුගිය දිනක මඩකලපුවේ කළ සංචාරයේ දී කදිරවේලි ප්‍රදේශයේ වෙසෙන මුහුදු වැදි ජනතාව හමු වීමට අවස්‌ථාවක්‌ ලැබිණි. මෙහි දී සොයාගත් කරුණු අනුවත් ඔවුන් සමග කළ සාකච්ඡා අනුවත් වන්නියලැත්තන් කියන තොරතුරුත්, මහාචාර්ය නන්දදේව විඡේසේකරයන් කියන තොරතුරුත් මැනැවින් ගැලපෙන බවක්‌ පෙනේ. මේ සංචාරයේ දී වැදි යුවළක්‌ හා ඔවුන් ගේ දරු මුණුපුරන් කීප දෙනකු හඳුනා ගැනීමට හැකි විය. වැදි යුවළේ වයස්‌ගත වූ පුරුෂයා වයස අවුරුදු 80කට ආසන්න අයෙකි. වැදි කාන්තාවට වයස අවුරුදු 60ක්‌ පමණ ඇත. නිවාසය ඉතා ම කුඩා ය. පැළක්‌ යෑයි කිව නොහැකි තරමට කුඩා ය. ඔහු නමින් කන්නන් ය. ඇය කානා හුවලි ය. ඔවුහු අකුරු නො දනිති. දෙමළ භාෂාව කථා කරයි. තරුණ කාලයේ ධීවර කටයුතු මෙන්ම සුළු ගොවිතැන් කර ජීවිතය සරි කරගෙන ඇත. ඔවුන් ගේ විවාහය ලියාපදිංචි කර ඇත්තේ විවාහ වී බොහෝ කලකට පසුව ය. ඔවුන් ගේ තුන්වැනි පරපුරේ ළමයි පාසල් අධ්‍යාපනය ලබති. මේ ළමයින් කෙරෙන් වැදි ලක්‌ෂණ නො දිස්‌වූවත් වයස්‌ගත වූ යුවළ ගෙන් බොහෝ වැදි ලක්‌ෂණ දිස්‌ වෙයි. මෙවැනි පවුල් 20ක්‌ පමණ කදිරවේලි ප්‍රදේශයේ සිටින බැව් අනාවරණය විය.

මේ සම්බන්ධව වන්නියලැත්තන් දරන්නේ මෙවන් අදහසකි.


හිටපු වැදි නායක තිසාහාමි විසූ නිවස (දකුණේ)

මේ කාල මැච්චෙ ඒ ඇත්තො ඒ ගම්පොජ්ජට මන්දො වුණා. අද දවස්‌ පොජ්ජෙ මෙයිබ රඳන මිනිස්‌ ගජ්ජුන්ට ජීවත් පොජ්ජ මන්දො කළේ දඩයම්  පොජ්ජ මන්දො කරගෙන. අර මිනිස්‌ ගජ්ජු එයිබට කොටු තැන මන්දො වුණාට. එයින් ඒ ඇත්තන්ට ගොවිතැන් පොජ්ජ කොඳුයි. මංගච්චන්න ගොවිතැන් පොජ්ජ මන්දො කරන්න තුනමකුත් කොඳුයි. ඒ ඇත්තන්ට තිබෙව්වෙ මහදිය ගං ඇල පොජ්ජයි මහ දිය ගං ඇල්ලෙ දිය මච්චි අල්ලං පොජ්ජ කරගෙන තමයි ඒ ඇත්තෝ ජීවත් පොජ්ජ මන්දො වෙන්නේ. ඒ ඇත්තන් ගෙ නම් කථා දම්මේ දෙබාජ කියන නම් පොජ්ජන් ඒ කාලෙ ඒ ඇත්තන් උත්පැන්න පෝජ්ජ කරුකුරු ගච්චන බෙහෙත් ඇනාකලන රුකුල් පොජ්ඡේ ඉඳ තිබව්ව. දෙබාජ කාරිලි ඇත්තන් ගේ නිලධාරි හූරලට හිත් ලාන දේට තමයි කරුකුරු ගච්චල තිබෙන්නේ.

(ඒ කාලේ ඒ අය ඒ ගම්මානවලට ගියා. අපේ ඇත්තෝ ජීවත් වුණේ දඩයම් කරගෙන. වාකරේ ගිය අය එකතැන කොටු වුණා. ගොවිතැන් කරන්න බැරි වුණා. එහා මෙහා යන්නත් බැරි වුණා. ඒ නිසා ඒ අයට තිබුණේ මහ සාගරය පමණයි. මහා සාගරයේ මාළු අල්ලාගෙනයි ඔවුන් ජීවත් වුණෙ. ඒ නිසයි ඔවුන්ට මුහුදු වැද්දා යන නම පටබැඳුණේ. ඒ කාලේ ඒ ප්‍රදේශයේ හිටියේ දෙමළ රාජ්‍ය නිලධාරීන්. උප්පැන්න සහතිකය ලියාපදිංචි කළෙත් දෙමළ නිලධාරීන්. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය නම්වලින් තමයි ඔවුන්ව ලියාපදිංචි කළේ. රෝහල්වල බෙහෙත් දුන්නෙත් දෙමළ නිලධාරීන්. ඒ අය මොනව කිව්වත් ඒ නිලධාරීන්ට අවශ්‍ය දේ තමයි කළේ.)

ජනගහණය

මහාචාර්ය නන්දදේව විජේසේකරයන් පවසන අන්දමට වර්ෂ 1953 මාර්තු 20 වැනි දින ලබාගත් ජන සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ මුළු වැදි ජන සංඛ්‍යාව 815ක්‌ විය. තව ද මේ ජන සංඛ්‍යාලේඛනය අනුව පෙනී යන්නේ වැද්දන් ගේ වාසභූමි නැඟෙනහිර, උතුරු, මධ්‍යම හා ඌව පළාත්වලට සීමා වූ බවයි. එහෙත් අද ශ්‍රී ලංකාවේ වැදි ජනතාව 5000ක්‌ පමණ සිටිතැයි විශ්වාස කළ හැකි වුවත් ඒ පිළිබඳ සංගණනයක්‌ කර නැත.

වැදි බස

කිසියම් භාෂාවකට හෝඩියක්‌ තිබේ නම් එය දියුණු භාෂාවක්‌ ලෙස පිළිගැනේ. සිංහල භාෂාව දියුණු භාෂාවක්‌ ලෙස පිළිගැනෙන්නේ එහෙයිනි. වැදි බසට හෝඩියක්‌ නැත. එබැවින් දියුණු භාෂාවක්‌ ලෙස එය පිළිගැනෙන්නේ නැත. හෝඩියක්‌ නොමැති භාෂාවක්‌ වාග් විද්‍යාවට අනුව හැඳින්වෙන්නේ ක්‍රියෝලයක්‌ (Kreol) යනුවෙනි. එබැවින් වැදි භාෂාව ක්‍රියෝලයක්‌ වෙයි. ක්‍රියෝල් බසක්‌ හෙවත් හෝඩියක්‌ භාවිත නො කරන බසක්‌ හුදෙක්‌ සන්නිවේදනය සඳහා ම පමණක්‌ යොදා ගැනෙයි. එබැවින් වැදි බස වැදි ජනතාව අතර සන්නිවේදනය සඳහා ම පමණක්‌ යොදා ගන්නා බැව් පෙනේ.

නූතන වැදි ජනතාව අතර භාවිත වන වැදි බසත්, පැරැණි වැදි ජනතාව භාවිත කළ බසත් අතර විවිධ වෙනස්‌කම් දක්‌නට ලැබේ. මේ ලියුම්කරු දරන අදහසට අනුව අතීත වැදි ජනතාව වැදි ගම්මානයට පමණක්‌ සීමා වී සිංහල ගැමි ඇසුරෙන් ඈත් ව වාසය කිරීම හේතුවෙන් වැදි බසට සිංහල වදන් එකතු නො වී එහි අනන්‍යතාව රැකුණා විය හැකි ය. එහෙත් නූතන වැදි ජනතාව වැදි ගම්මානයෙන් පරිබාහිරව ලෝකය ඇසුරු කරන බැවින් පැරැණි වැදි බසේ බොහෝ දේ ගිලිහී සිංහල වදන් එකතු වී තිබෙන බැව් දක්‌නට ලැබේ. ඔවුන් සමග කරන කතා බහේ දී මෙය වඩාත් හොඳින් පැහැදිලි වෙයි. බොහෝ වැදි මිනිසුන් ගමේ කාන්තාවන් හා විවාහ වීමත් වැදි කාන්තාවන් ගමේ මිනිසුන් සමග විවාහ වීමත් මේ භාෂා අනන්‍යතාව ගිලිහීමට හේතුවක්‌ වන අතර ම වැදි ජනතාව ගම්වැසියන් මෙන්ම නගර වැසියන් ඇසුරු කිරීම ද මීට හේතුවක්‌ වෙයි.

මේ ලියුම්කරු පසුගිය දිනවල කොටබකිනියේ කළ සංචාරයේ දී මේ තත්ත්වය වඩාත් හොඳින් පැහැදිලි විය. බොහෝ වැදි තරුණයන් මෙන්ම මැදි වයසට ආසන්න පුද්ගලයන් අප සමග කතා බහේ යෙදුණේ පැහැදිලි සරල සිංහල බසිනි. එහෙත් වැඩිහිටියන් සිංහල බස හොඳින් දැන සිටිය ද ඔවුන් ගේ අනන්‍යතාව රැක ගැනීමටත්, භාෂාවේ අනන්‍යතාව රැකගැනීමටත් අප සමග අදහස්‌ හුවමාරු කර ගත්තේ වැදි බසිනි. ඔවුන් භාවිත කළ වැදි බස තේරුම් ගැනීමට අපහසු නො වූයේ සිංහල වදන් සුළුවෙන් හෝ එහි අන්තර්ගත වූ බැවිනි.

මෙහි දී පෙනී ගිය කරුණු අනුව අද ශ්‍රී ලංකාවේ වැදි බස, බසක්‌ ලෙස භාවිත වන්නේ දඹානේ පමණි. එහෙත් දළුකාන, රතුගල, පොල්ලෙබැද්ද යනාදී වැදි ගම්මානවල සංචාරය කිරීමෙන් පෙනී ගියේ ඔවුන් වැදි ජනතාව වුව ද වැදි බස කථා නො කරන බව ය. මොවුන් වැදි බස දැන සිටිය ද කතා කරන්නේ නැත. එබැවින් ඔවුන් ගේ දූ දරුවන්ට වැදි බස ගැන අවබෝධයක්‌ නැත. ඔවුන් කතා කරන්නේ සිංහල භාෂාව ය.

යම් රටක හෝ ගෝත්‍රයක හෝ අනන්‍ය භාෂාව භාවිත නො කරන්නේ නම් හෝ නිවැරැදිව භාවිත නො කරන්නේ නම් හෝ සිදු වන්නේ ඒ රටේ හෝ ගෝත්‍රයේ විනාශය මිස අන් කිසිවක්‌ නො වේ. මේ තත්ත්වය පිළිබඳව ඌරුවරිගේ වන්නියලැත්තන් ගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.

දළුකාන ගම්පොජ්ජේ මන්දො කළොත් එහි ඉඳින්නේ සිංහල ඇත්තෝ. තිබෙන නම් පොජ්ජ දෙබාජ කාරිල ඇත්නන් ගේ නම් පොජ්ජ. මේ ඇත්තො ආණ්‌ඩු පොජ්ජෙන් ඉල්ලුම් පොජ්ජ මන්දො කළා, ඒ ඇත්තන්ට වරිග පොජ්ජ නම් පොජ්ජ දෙන්න. ආණ්‌ඩු පොජ්ජ එතැනට එකඟ පොජ්ජ මන්දො වෙලා තිබෙනවා, රූප තැන මන්දො කරන තැනටත් මන්දො කරන්න කියල. මේ ඇත්තන් ඒ මිනිස්‌ ගජ්ජුන් ගෙන් ඉල්ලුම් පොජ්ජ මන්දො කරන්නේ මේ ඇත්තන් ආදිවාසි මිනිස්‌ ගජ්ජු කියන එක ම කරුකුරු ගච්චන්න. රතුගල, පොල්ලෙබැද්ද ඇත්තෝ කතා දමන්නේ හිංගල භාසා පොජ්ජෙන්. දඹාන පෝරුගම් පොජ්ජෙත්, හෙන්නානිගල පෝරුගම් පොජ්ජෙත් තමයි පරම්පරා පොජ්ජ ආරස්‌සා පොජ්ජ මන්දා කරන්නේ. අනෙක්‌ ගම් පොජ්ජවලට මං ගච්චල ඇයිරු කුලට මන්දො කරන කොට භාසා පොජ්ජ සිරිත් පොජ්ජ මන්දො වෙනවා.

මේ ඇත්තො මෙයිබට කතා දමල තිබෙනවා. අම්මිල ඇත්තො අප්පිල ඇත්තො භාසා පොජ්ජට හිත්ලානව නම් ළා කැකුළන් රුකුල් පොජ්ජනේ ම භාසා පොජ්ජට හිත් ලාල මන්දො වෙලයි තිබෙන්නේ. අම්මිල ඇත්තො අප්පිල ඇත්තො හිත්ලනව කෙඳුයි. මේ ඇත්තො හැම දවස්‌ පොජ්ජ ම කතා දමනව හිංගිල ඇත්තන් ගේ මිනිස්‌ ගජ්ජුන් ගේ භාසා හැමකක්‌ම හිත් ලා ගන්න. ඒක හොඳමැයි. හැබැයි මේ ඇත්තන්ට උරුම තැන මන්දො වෙච්ච භාසා පොජ්ජක්‌ තිබෙනවා. ඒක ආරස්‌සා පොජ්ජ මන්දො වෙන්න ඕනේ.

ඒ ඇත්තො වෙනස්‌ තැනට මංගච්චන කොට පිටතැන හැම මිනිස්‌ ගජ්ජෙකුට වාසි තැනට මන්දො වෙනවා. රතුගල, පොල්ලේබැද්ද ගම්පොජ්ජට මන්දො වෙලා අර වගේ ජාති පොජ්ජ කොඳුයි. වරිග පොජ්ජ කොඳුයි. වෙනත් මිනිස්‌ ගජ්ජෙකුට ඔය හැම කිට්‌ටු තැන මන්දො වෙන්න පහසුයි. එතැනට කිට්‌ටු පොජ්ජ මන්දො වුණාම පච්ෙච් අර මිනිස්‌ ගජ්ජුන්ට හිත්ලාන විදියට ආගම් පොජ්ජ මන්දො කරනවා. රතුගලට පොල්ලෙබැද්දට අද දවසේ ආගම් පොජ්ජ ලොකු තැනින් මන්දො වෙලා.

(දළුකාන ගම්මානයේ ඉන්නේ සිංහල ඇත්තෝ ඒත් ඒ අය ආදිවාසීන්. ඒ අය ගේ නම් දෙමළ. රජයෙන් ඉල්ලීමක්‌ කළා ඒ අයට ඒ අය ගේ වරිගේ නම භාවිත කරන්න ඉඩ දෙන්න කියල. ඒ වගේම හැඳුනුම් පතටත් ඒ නම දෙන්න කියල ඉල්ලීමක්‌ කළා. රජය දැන් එකඟ වෙලා තිබෙනවා. මම ඒ අය ගෙන් ඉල්ලීමක්‌ කරන්න කැමතියි ඔවුන් ගේ වරිගෙ නම භාවිත කරන්න කියල.

රතුගල, පොල්ලෙබැද්දෙ අය කතා කරන්නේ සිංහල. භාෂාව. දඹානෙත් හෙන්නානිගලත් විතරයි පරම්පරාවෙං ආරක්‍ෂා කරගෙන ආව භාෂාව කතා කරන්නේ. අනෙක්‌ ගම් දිහා බලන කොට භාෂාවන් හා සිරිත් විරිත් පවා විනාශ වෙලා.

මම කියන්නේ අම්මල තාත්තල මවු භාෂාව කතා කරනව නම් ළමයින්ට ඒ භාෂාව කතා කරන්න ගෙදර දී ම හුරු වනවා. වෙලා තිබෙන්නේ මාපියන් භාෂාව කථා නො කරන එකයි. අපිට උරුම වෙච්ච භාෂාවක්‌ තිබෙනවා. ඒක අපි ආරක්‌ෂා කර ගන්න ඕනේ. භාෂාව විනාශ වෙන කොට පිටස්‌තර අයට ඒ සමාජය ආක්‍රමණය කරන්න ලෙහෙසියි. රතුගල, පොල්ලේබැද්දේ ගම්වලට වෙලා තියෙන්නේ ඒ දේ තමයි. ආගම් රතුගල හා පොල්ලේබැද්ද ගම්වලට ඇතුළු වෙලා. ඒක මහා විනාශයක්‌.)

වැදි සමාජය අද විවිධ වෙනස්‌කම් අගයමින් නව ලොවට අනුව පරිවර්තනය වන බවක්‌ දක්‌නට ලැබේ. එහෙත් සිය අනන්‍යතාව රැකගෙන පරපුර ඉදිරියට ගෙන යැමට උත්සාහ දරන පිරිසක්‌ ද සිටින බැව් කිව යුතු වෙයි.

සාහිත්‍යය

වැදි බස ගැන විමසීමේ දී එහි පුළුල් වර්ධනයක්‌ නො පෙන්නුව ද වැදි බසින් ගොඩනැඟුණු සාහිත්‍යයක්‌ ඇති බැව් පෙනේ. වැදි ගී, නැළවිලි ගී, බඹර කපන ගී මන්තර යනාදිය ඊට නිදසුන් වෙයි.

මේ එබඳු දරු නැළවිලි ගීයකි.

කැකුළා මොක්‌කට අඬන්නේ

පැට්‌ටී මොක්‌කට අඬන්නේ

දෑමුණු මාලට අඬන්නේ

සිරිතල මාලට පැට්‌ටි අඬන්නේ

ගෝණල මාලට පැට්‌ටි අඬන්නේ

ඌයෙල මාලට පැට්‌ටි අඬන්නේ


උයන් කොලේ පුනා ලා

පන අත්තෙන් වවා ලා

වඳුරු කුලල් කවා ලා

නිදි වරෙන් පුනා ලා

මෙවැනි වැදි ගී රාශියක්‌ වැදි භාෂාවේ දක්‌නට ලැබේ.

වර්ෂ 1935 දී පමණ මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් විසින් ලියන ලද Indian Historical Quarterly නම් ලිපියේ වැද්දන් ගේ භාෂාව පිළිබඳව විස්‌තරයක්‌ කර ඇත. මේ ලිපියෙන් පෙන්වා දෙන අන්දමට වැදි බස සිංහල බසට බෙහෙවින් සමාන වෙයි. ඔවුන් ගේ ශබ්ද කෝෂයේ සිංහලට සමාන වචන දක්‌නට ඇත. ඉතා ම පැරැණි වැදි බස අදට වඩා වෙනස්‌ වන්නට ඇත. ඔවුන් අදහස්‌ ප්‍රකාශ කරන විට තනි වචන භාවිත කරන්නේ ඉතා ම කලාතුරකිනි. ප්‍රකාශ කරන සැම වචනයක්‌ සඳහා ම

පොජ්ජ, මන්දො කරනවා, මන්දො වෙලා, මංගච්චනවා, කොදුයි. ඇන්න මංගච්චනවා වැනි වදන් භාවිත වෙයි. පොජ්ජ යන්න තවත් පදයක්‌ සමග භාවිත වෙයි. ගම් පොජ්ජ, (ගම), රුකං පොජ්ජ (ගස) වැනි වදන් නිදසුන් ලෙස පෙන්වා දිය හැකි ය. මන්දො වෙනවා යන පදය සැලකූ විට හිත් පොජ්ජට මන්දො වෙනවා යන්නෙහි සිතනවා, සිහියට එනවා වැනි අරුතක්‌ වෙයි. රුකුල් පොජ්ජක්‌ මන්දො කරනවා යන්නෙහි අදහස ගෙයක්‌ හදනවා යන්න ය. රුකුල යනු ගෙය නිවස යන අරුත ගෙන දෙයි. වැදි බසේ වචන සීමාසහිත බැවින් පදයකට විවිධ අරුත් ගෙන දීමක්‌ සිදු කෙරෙයි.

කැළෑ පොජ්ජ පටෑරල පටෑරල විනාශ පොජ්ජ මන්දො වෙලා. කැළෑව කපල කපල විනාශ වෙලා යන අරුත ගෙන දෙයි. මෙහි පටෑරල යන්න කපලා යන අරුත ගෙන දෙයි. එහෙත් කැළෑ පොජ්ජ පටෑරගෙන යන්නෙන් කැළෑව පීරගෙන යනවා යන අරුත ගෙන දෙයි. කොඳුස්‌ යන්න වැදි භාෂාවේ නිතර ම යෙදෙයි. මෙහි අරුත නැත යන්න ය. තේරුම්

පොජ්ජ කොදුයි - තේරෙන්නේ නෑ යන අරුත නිරූපණය කරයි.

වැදි ජනයා අමුත්තන් පිළිගන්නේ අමුත්තා ගේ දෑතින් අල්ලා "මාම කැච්චක්‌ හොඳමැයි" කියමින් සෙලවීමෙනි. මෙහි අරුත හමු වීම හොඳයි හෝ ඔබව පිළිගනිමි යන අරුත විය හැකි ය.

සිංහල භාෂාවේ "ස" ශබ්දය වෙනුවට වැදි භාෂාවේ භාවිත වන්නේ "ච" ශබ්දයයි. ඉස්‌සර යන්න වැදි භාෂාවෙන් ඉච්චර යනුවෙන් ද පස්‌සට යන්න පච්චට යනුවෙන් ද ව්‍යවහාර වෙයි. ඉස්‌සර කාලේ යන්න වැදි භාෂාවෙන් "ඉච්චර කාල පොජ්ජ" යනුවෙන් ව්‍යවහාර වෙයි. උපකරණයක්‌ හැඳින්වීමේ දී "යමෙක" යන වදන භාවිත කරයි. "කරුකරු ගච්චන යමෙක" යනු පෑන හෝ පැන්සල හෝ වෙයි. කරුකුරු ගච්චනවා යනු ලියනවා යන අරුත වෙයි.

ගණන් කිරීමේ දී සිංහල භාෂාවේ භාවිතයට වඩා හාත්පසින් ම වෙනස්‌ වූ ක්‍රමවේදයක්‌ ඔවුහු අනුගමනය කරති. එක, දෙක, තුන, හතර යනුවෙන් ගණන් කරන විට එකමක්‌, දෙකමක්‌, තුනමක්‌, හතරමක්‌ යනුවෙන් ගණින අතර දහය යන්න දහමක්‌ යනුවෙන් ගණන් කෙරේ. අට සියය යන්න සියේ අටමක්‌ යනුවෙන් ද, අට සිය පනහ යන්න සිය පොජ්ජ අටමයි යනුවෙන් ද

හැඳින්වෙයි. එකමෙක්‌, දෙකමෙක්‌ තුනමෙක්‌ යනු එක්‌ අයෙක්‌, දෙදෙනෙක්‌, තුන් දෙනෙක්‌ යන්න වෙයි. මේ අයුරින් බලන කල වැදි බසට හෝඩියක්‌ නැතත් කිසියම් අනන්‍යතාවක්‌ මෙන්ම සාහිත්‍යමය අගයක්‌ තිබෙන බැව් පැහැදිලි වෙයි. එහෙත් වන්නියලැත්තන් කියන අන්දමට ආදිවාසීන් ගේ නව පරපුර නාගරීකරණයට යොමු වුවොත් තම වරිගයත් භාෂාවත් නැති වී යැමට බෙහෙවින් ඉඩ තිබෙන බැව් සහතික ය.

විශේෂ ස්‌තුතිය - අයි. ටී. ඩී. ජී. ආයතනයේ ධනුෂි සේනානායක මහත්මියට සහ ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයට.

අද සතියේ විමසුම - අමල් උඩවත්ත
ඡායාරූප ගයාන් විඡේතුංග