logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යාලංකාර විවරණය

අපි සාපේක්‍ෂතාවාදීහු වෙමු. අපේ සාපේක්‍ෂතාවාදය ගොඩනැඟීමට ක්‌වොන්ටම් භෞතික විද්‍යාව මුල දී ඉවහල් වූ බව සැබෑ ය. එහෙත් ක්‌වොන්ටම් භෞතික විද්‍යාව නැති ව වුව ද සාපේක්‍ෂතාවාදී දර්ශනයක්‌ ගොඩනැඟිය හැකි ය. එය එසේ නො වී නම් පමණක්‌ එය පුදුමයට කරුණක්‌ වීමට තිබිණි. ක්‌වොන්ටම් භෞතික විද්‍යාව නොමැති ව සාපේක්‍ෂතාවාදී දර්ශනයක්‌ ගොඩනැඟීමට නො හැකි නම් හා යම් අයුරකින් මේ වන විට ද ක්‌වොන්ටම් භෞතික විද්‍යාව බිහි නො වී තිබිණි නම් සාපේක්‍ෂතාවාදී දර්ශනයක්‌ මෙකල ගොඩනැඟීමට නො හැකි වීමට තිබිණි. එහෙත් ඒ එසේ වන්නේ නො වේ.

ක්‌වොන්ටම් භෞතික විද්‍යාවේ දී කෝපන්හේගන් විවරණය මගින් නිරීක්‍ෂකයා ගේ කාර්යභාරය වැරැදියට තේරුම් ගනු ලැබ ඇති බව පැහැදිලි ය. යම් නිරීක්‍ෂකයකු, එනම් විඤ්ඤාණයක්‌ සහිත නිරීක්‍ෂකයකු නොමැති ව අප යම් ගුණයක අගය මැනගෙන ඇති විට ඒ ගුණයෙහි ප්‍රතිබද්ධයෙහි (කලින් ද කියා ඇති පරිදි උදාහරණයක්‌ ලෙස පිහිටුම යන ගුණයේ ප්‍රතිබද්ධය ගම්‍යතාව වෙයි) අගය ගැන කිසිවක්‌ කීමට නො හැකි ය යන්න ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි එන අනිශ්චය මූලධර්මයෙන් කියෑවෙයි. කෝපන්හේගන් විවරණය ඇරඹෙන්නේ මෙය පදනම් කරගනිමිනි. ඊනියා යථාර්ථාවදීහු ද තම විරෝධතා පටන් ගන්නේ ද අනිශ්චය මූලධර්මයෙනි. ඔවුහු ඒ ප්‍රතික්‍ෂේප කරති. ක්‌වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ගත් කල විද්‍යාලංකාරයේ අපි අනිශ්චය මූලධර්මයට පිටු නො පාමු. එහෙත් කෝපන්හේගන් විවරණය පසුපස නො යමු.

අනිශ්චය මූලධර්මය පදනම් කරගන්නා කෝපන්හේගන් විවරණයෙන් ප්‍රධාන කරුණු දෙකක්‌ ඉදිරිපත් කෙරෙයි. කලින් සඳහන් කළ ආකාරයට අනිශ්චය මූලධර්මයට අනුව ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ගැන කිසිවක්‌ කීමට නො හැකි ය. කෝපන්හේගන් විවරණයට අනුව එයින් කියෑවෙන්නේ ප්‍රතිබද්ධ ගුණයට කිසි ම අගයක්‌ නැති බවත් ඒ නිසා එවැනි අගයක්‌ දැනගත නො හැකි බවත් ය. අගයක්‌ නැත්නම් එලෙස අගයක්‌ දැනගැනීමට නො හැකි බැවින් එහි ගැටලුවක්‌ නැත. එහෙත් කිසි ම අගයක්‌ නැතැයි කීම උපකල්පනයට වැඩි දෙයක්‌ නො වේ. අයින්ස්‌ටයින් විද්වතා ඇතුළු ඊනියා යථාර්ථවාදීන්ට අනුව ප්‍රතිබද්ධ ගුණයට යම් නිශ්චිත අගයක්‌ තිබිය යුතු ය. එහෙත් ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙන් ඒ අගය ගැන කිසිවක්‌ නො කියෑවෙන බැවින් ඔවුන්ට අනුව එපමණට ක්‌වොන්ටම් භෞතික විද්‍යාව දැනුම් පද්ධතියක්‌ ලෙස අසම්පූර්ණ ය.

පසුගිය ලිපියේ සඳහන් කෙරුණු ඊපීආර් විසංවාදයෙන් කෙරෙනුයේ එලෙස අගයක්‌ ඇති බවත් එය දැනගත හැකි බවත් එහෙත් ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙන් එයට පටහැනි ව අනිශ්චය මූලධර්මයක්‌ ඉදිරිපත් කෙරෙන බවත් පෙන්වීමත් ය. බෝර් විද්වතා තමාට සුපුරුදු ආකාරයට අංශු දෙක ම සමස්‌ත පද්ධතියක්‌ ලෙස සැලකීමෙන් ඒ විසංවාදය සමනය කළේ ය. ඊනියා යථාර්ථවාදීන් ස්‌ථානීය යථාර්ථයක්‌ ගැන කී දේ එමගින් ප්‍රතික්‍ෂේප වූයේ ස්‌ථානීය යථාර්ථයක්‌ පිළිබඳ ප්‍රශ්නය දර්ශනයෙන් බටහිර භෞතික විද්‍යාවට අත්පත් කරගනිමිනි. එහෙත් මෙරට භෞතික විද්‍යාඥයන් හෝ ඊනියා දාර්ශනිකයන් යෑයි තම තමන් හඳුන්වාගන්නන් හෝ මේ බව නො දන්නා බව ඔවුන් කියන කරන දෙයින් පැහැදිලි වෙයි. මෙරට ඊනියා යථාර්ථවාදීහු බොහෝ විට බටහිර භෞතික විද්‍යාව නො දනිතත් ඒ විද්‍යාවට ඇලුම් කරති. එය අගය කරති. එහෙත් ඔවුන් නො දන්නා කරුණ නම් 1982 දී ඇස්‌පෙ නම් ප්‍රංශ භෞතික විද්‍යාඥයා විසින් කරන ලද පරීක්‍ෂණයෙන් ඊනියා ස්‌ථානීය යථාර්ථවාදයට මරණීය පහරක්‌ එල්ල වූ බව ය. ඒ මළකඳ නැගිටුවීම මෙරට ඊනියා යථාර්ථවාදීන්ට නම් කෙසේ වත් කළ නො හැකි කාර්යයකි. ඔවුන්ට කළ හැක්‌කේ මළකඳ කරගසාගෙන යැම පමණකි.

බටහිර යථාර්ථාවාදී භෞතිත විද්‍යාඥයන් අනිශ්චය මූලධර්මයට හා ක්‌වොන්ටම් භෞතික විද්‍යාවට එල්ල කළ අභියෝග ඇස්‌පෙ පරීක්‍ෂණයෙන් පසු වැළලී ගියත් කෝපන්හේගන් විවරණයට තවත් ප්‍රශ්න ඇත. ඉහත සඳහන් ආකාරයට කෝපන්හේගන් විවරණයට අනුව ප්‍රතිබද්ධ ගුණයට මැනීමට පෙර කිසිදු අගයක්‌ නැත. එහෙත් ඒ ගුණයේ අගය මැනීමෙන් පසුව ඒ ගුණයට නිශ්චිත අගයක්‌ හිමි වෙයි. දැන් ඒ අගය මැනීමට, ඒ සඳහා උපකරණ සකස්‌ කිරීමට නිරීක්‍ෂකයකු සිටිය යුතු ය. ප්‍රතිබද්ධ ගුණයට ඒ අගය ලබා දෙන්නේ නිරීක්‍ෂකයා විසින් ය යන්න කෝපන්හේගන් විවරණයෙන් අපට ඉදිරිපත් කෙරෙන දෙවැනි කරුණ ය.

අප කලින් සඳහන් කර ඇති ආකාරයට මේ නිරීක්‍ෂකයා පිළිබඳ කතාවෙන් හා ඇස්‌පෙ පරීක්‍ෂණයෙන් යථාර්ථයක්‌ නැතැයි කීමට අපට ද සාධක ලැබිණි. මගේ ලෝකය පළමු මුද්‍රණය නිකුත් වූයේ ඇස්‌පෙ පරීක්‍ෂණයෙන් අවුරුදු හතරකට පමණ පසුව ය. (මගේ ලෝකයෙහි ඇස්‌පෙ යන්න සඳහන් වනුයේ ඇස්‌පෙක්‌ට්‌ ලෙස ය. ඒ වරදකි. එයට හේතුව ඇස්‌පෙ යන්න ඉංගිරිසි අකුරෙන් Aspect ලෙස ලිවීම ය). එහෙත් ප්‍රශ්නය වනුයේ ප්‍රතිබද්ධ ගුණයට එලෙස අගයක්‌ දෙන්නේ පරීක්‍ෂණය සැලසුම් කරන නිරීක්‍ෂකයා ද යන්න ය. නිරීක්‍ෂකයන් නැත්නම් භෞතික පද්ධතිවල ගුණ දැනගැනීමට, එහි අගය මැනීමට නො හැකි බව පැහැදිලි ය. එහෙත් ඒ පරීක්‍ෂණය වෙනත් ආකාරයකින් සිදු වුව හොත් ඒ අගය පද්ධතියට නැත් ද යන ප්‍රශ්නය ඇසීමට සිදු වෙයි.

අයින්ස්‌ටයින් විද්වතා ද මෙවැනි ප්‍රශ්නයක්‌ බොහෝ කලකට පෙර අසා ඇත. ඔහු ගේ ප්‍රශ්නය වී ඇත්තේ නිරීක්‍ෂකයකු හඳ නො බලන විට, හඳ නිරීක්‍ෂණය නො කරන විට, හඳ නැත් ද යන්න ය. මේ ප්‍රශ්නයට කෝපන්හේගන් විවරණයේ පුරෝගාමීන් දුන් පිළිතුරක්‌ ගැන කිව නො හැකි ය. එහෙත් මෙය වැදගත් ප්‍රශ්නයකි. නිරීක්‍ෂකයකු ඇතත් නැතත් හඳ පවතින්නේ ද යන ලෙස ද මේ ප්‍රශ්නය ඇසිය හැකි ය.

කලින් සඳහන් කරන ලද පරිදි කෝපන්හේගන් විවරණය ඉදිරිපත් කළ අය ඉන්ද්‍රියානුභූතවාදීහු වූ හ. ඔස්‌ටි්‍රයානු ජාතිකයකු වූ අර්නස්‌ට්‌ මාක්‌ විද්වතා ආදීන් ගේ පූරෝගාමිත්වයෙන් බිහි වූ බටහිර ඉන්ද්‍රියානුභූතවාදය පෙරදිග දර්ශනවලින් ද ආභාසය ලබා ඇත. එහෙත් බටහිර බුද්ධිමතුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක්‌ නම් පෙරදිගින් ලබාගන්නා දේ ඔවුන් ගේ සංස්‌කෘතියට ඇතුළු කර ගැනීමේ දී සිදු වන විකෘතීන් ය. ඉන්ද්‍රියගෝචර නො වන සංකල්ප දෙස බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ බුද්ධිමතුන් බැලුයේ එතරම් සුහද සිතකින් නො වේ.

බටහිර ඇතැම් බුද්ධිමතුන්ට නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය ද ප්‍රශ්නයක්‌ වූයේ ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර නො වීම නිසා ය. බටහිර භෞතික විද්‍යාඥයකු මෙන් ම දාර්ශනිකයකු ද වූ අර්නස්‌ට්‌ මාක්‌ විද්වතා භෞතික විද්‍යාවේ දී පරමාණුව පවා පිළිගැනීම ප්‍රතික්‍ෂේප කෙළේ ය. ඔහු භෞතික විද්‍යාවේ දී ඉන්ද්‍රිය ගෝචර නො වූ අවස්‌ථිති සමුද්දේශ රාමු නො පිළිගත්තේ ය. ඉන්ද්‍රියානුභුතවාදීන් ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලට පමණක්‌ පැවැත්මක්‌ ඇතැයි පිළීගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මාක්‌ විද්වතා බටහිර භෞතික විද්‍යාවේ නිරීක්‍ෂණ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් පමණක්‌ විස්‌තර කළ යුතු යෑයි කියා සිටියේ ය. මාක්‌ විද්වතා එමඟින් තරුණ අයින්ස්‌ටයින් කෙරෙහි විශාල බලපෑමක්‌ ඇති කෙළේ ය.

ක්‌වොන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රතිබද්ධ ගුණයේ අගය ඉන්ද්‍රිය ගෝචර නො වීම හේතුවෙන් ඒ ගැන කතා කිරීම ඉන්ද්‍රියානුභූතවාදයේ ආභාසය ලැබූ බෝර් විද්වතා ඇතුළු කෝපන්හේගන් විවරණයේ පුරෝගාමීයෝ ප්‍රතික්‍ෂේප කළ හ.

ඔවුහු එතැනින් ඔබ්බට ගොස්‌ ප්‍රතිබද්ධ ගුණයට අගයක්‌ නැතැයි කී හ. එමෙන් ම ප්‍රතිබද්ධ ගුණයට අගයක්‌ ලැබෙන්නේ නිරීක්‍ෂණය කිරීමෙන් පසුව බැවින් ඉන්ද්‍රියානුභූතවාදීයෝ ඒ අගය ලබා දෙන්නේ සවිඥනික නිරීක්‍ෂකයා ය යන ස්‌ථාවරයට පැමිණිය හ. මෙය ඉන්පසු තවත් වර්ධනය වී සවිඥනික නිරීක්‍ෂකයකු නොමැති ව ප්‍රතිබද්ධ ගුණයට කිසි ම අගයක්‌ අත් කරගත නො හැකි ය යන තත්ත්වයකට පත් විය.

විද්‍යාලංකාර විවරණය කෝපන්හේගන් විවරණයෙන් වෙනස්‌ වන්නේ මේ කරුණු සම්බන්ධයෙනි. අපි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මනින තෙක්‌ යන්න සංශෝධනය කර මනින තෙක්‌ හෝ මැනෙන තෙක්‌ හෝ ලෙස සකස්‌ කර ගන්නෙමු. ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මනින තෙක්‌ හෝ මැනෙන තෙක්‌ හෝ එහි අගය ගැන කිසිවක්‌ කීමට නො හැකි ය යන මතයේ අපිදු සිටිමු. එහෙත් අපි ප්‍රතිබද්ධ ගුණයට එතෙක්‌ කිසි ම අගයක්‌ නැත යන්න ප්‍රතික්‍ෂේප කරමු. අප කියා සිටින්නේ ප්‍රතිබද්ධ ගුණයට අගය දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ හෝ ඇති බව ය. අගය දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ ඇති විට ඒ නිරීක්‍ෂණය කළ නො හැකි යෑයි ද අපි කියා සිටිමු.

උදාහරණයක්‌ වශයෙන් ක්‌වොන්ටම් අංශුවක ගම්‍යතාව (හා ශක්‌තිය) දත් විට එහි පිහිටුමට අගය එකකට වඩා ඇත. එයට අගයක්‌ නොමැති බැවින් නො ව අගය එකකට වඩා ඇති බැවින් අපට එය නිරීක්‍ෂණය කිරීමට නො හැකි ය. අපට නිරීක්‍ෂණය කළ හැක්‌කේ එක්‌ අගයක්‌ පමණක්‌ ගන්න ගුණ වෙයි. ඒ අපේ මනස හා පංෙච්න්ද්‍රිය පිළිබඳ ප්‍රශ්නයකි. ඇතැම් විට ඒ සියලු අගය නිරීක්‍ෂණය කළ හැකි නිරීක්‍ෂකයන් සිටිය හැකි ය. එවැනි නිරීක්‍ෂකයන් කවුදැයි යන්න පිළිබඳව දැනට අපට කළ හැක්‌කේ යම් යම් මත ඉදිරිපත් කිරීම පමණකි.

දැන් ප්‍රශ්නයක්‌ විය හැක්‌කේ ප්‍රතිබද්ධ ගුණයට එසේ එක්‌ අගයකට වඩා ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. එයට ඉතා පැහැදිලි පිළිතුරක්‌ වෙයි. ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි යම් ගුණයක්‌ නිරීක්‍ෂණය කෙරී එහි ප්‍රතිබද්ධ අගය නිරීක්‍ෂණය කෙරී නැති විට අදාළ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්‌ථාව, මැනගෙන ඇති අගයට අයත් හිල්බට්‌ අවකාශය නමින් හැඳින්වෙන දෛශික අවකාශයෙහි අයිගන් දෛශිකය යෑයි කියනු ලැබෙන දෛශිකය මගින් හෝ ඒ ගුණයෙහි ප්‍රතිබද්ධ ගුණයෙහි අගයන්ට අයත් අයිගන් දෛශිකයන් ගේ සංයෝජනයක්‌ මගින් හෝ නිරූපණය කළ හැකි ය. මනිනු ලැබීමෙන් පසුව හෝ මැනෙනු ලැබීමෙන් පසුව හෝ සිදු වන්නේ ඒ දෛශික සංයෝජනය වෙනුවට එක්‌ දෛශිකයක්‌ පමණක්‌ ලැබීමත් අගය රාශියක්‌ වෙනුවට එක්‌ අගයක්‌ පමණක්‌ ලැබීමත් ය.

බටහිර විද්‍යාඥයන්ට නම් එය පිළිගැනීම එතරම් ප්‍රශ්නයක්‌ නො වේ. ඔවුහු ද එය තරංග ශ්‍රිතයේ කඩා වැටීම (Collapse of the wave function) යනුවෙන් නම් කර පිළිගනිති. දෛශික රාශියක එකතුවක්‌ වූ තරංග ශ්‍රීතය වෙනුවට එක්‌ දෛශිකයක ශ්‍රිතයක්‌ බවට පත් වීම එලෙස කඩාවැටීම ලෙස නම් කෙරෙයි. බටහිර විද්‍යාඥයන්ට ඇති ප්‍රශ්නය මනින තෙක්‌ හෝ මැනෙන තෙක්‌ යන්නෙහි මැනෙන තෙක්‌ යන්නෙන් කුමක්‌ අදහස්‌ වන්නේ ද යන්න ය. ඉන්ද්‍රියානුභූතවාදීන්ට නිරීක්‍ෂකයකු නොමැති ව මැනෙන තෙක්‌ යන්න තේරුමක්‌ නැති ප්‍රකාශයකි. මැනීමට නම් සවිඥනික නිරීක්‍ෂකයකු සිටිය යුතු බව ඔවුන් ගේ මතය වෙයි. අනෙක්‌ අතට යථාර්ථවාදීන්ට නිරීක්‍ෂකයා යන්න ම පිළිගත හැක්‌කක්‌ නො වේ. නිරීක්‍ෂකයකු නිරීක්‍ෂණය කළත් නැතත් ක්‌වොන්ටම් අංශූවල ගුණයකට අගයක්‌ ඇති බවත් ඒ අගය කුමක්‌ දැයි කීමට ක්‌වොන්ටම් භෞතික විද්‍යාවට ක්‍රමයක්‌ නැති බවත් ඒ නිසා ක්‌වොන්ටම් භෞතිකය අසම්පූර්ණ බවත් ඊනියා යථාර්ථවාදීහු කියති.

මහාචාර්ය නලින් ද සිල්වා