logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ක්‌වොන්ටම් භෞතිකයෙන් නිරීක්‍ෂකයන් එළවමු

ඉන්ද්‍රිය ගෝචර නො වන ඉලෙක්‌ට්‍රොaනයක ගම්‍යතාව හෝ පිහිටීම හෝ වෙනත් ගුණයක්‌ හෝ දැනගැනීම සඳහා "උපකරණයක්‌" අවශ්‍ය බව අපි කීවෙමු. ඒ අප වැනි නිරීක්‍ෂකයන්ට ය. වෙනත් වචනවලින් කිව හොත් අප වැනි නිරීක්‍ෂකයන්ට ඉලෙක්‌ට්‍රොaනයක්‌ වැනි ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‌වොන්ටම් අංශුවක ගුණයක්‌ මැන ගැනීමට යම් "උපකරණයක්‌" අවශ්‍ය වෙයි. එවිට ඉලෙක්‌ට්‍රොaනය "උපකරණය" සමඟ ගැටී අපට යම් කිසි අගයක්‌ ලබා දෙයි. අප වැනි නිරීක්‍ෂකයකු යනුවෙන් මෙහි දී බටහිර භෞතික විද්‍යාඥයන් අදහස්‌ කරන්නේ විඥනයක්‌ සහිත නිරීක්‍ෂකයෙකි.

අනිශ්චය මූලධර්මයට අනුව ඉලෙක්‌ට්‍රොaනයක හෝ වෙනත් ක්‌වොන්ටම් අංශුවක හෝ යම් ගුණයක්‌ දත් විට එහි ප්‍රතිබද්ධ (Conjugate) ගුණය දැනගත නොහැකි ය. නිරීක්‍ෂකයාට කිව හැක්‌කේ "උපකරණයක්‌" යොදා ගනිමින් ප්‍රතිබද්ධ ගුණය මැන්නොත් එහි අසවල් අගය ලැබීමට අසවල් සම්භාවිතාව ඇති බව පමණ ය. නිරීක්‍ෂකයා ඒ ප්‍රතිබද්ධ ගුණය මනින තෙක්‌ අංශුවෙහි එම ගුණය ගැන, එනම් එහි අගය ගැන නිරීක්‍ෂකයාට කිසිවක්‌ කිව නො හැකි ය. කෝපන්හේගන් විවරණය අනුව ඒ ගුණය ගැන කතා කිරීම ද තේරුමක්‌ නැත.

එම විවරණය අනුව එයටත් වඩා දෙයක්‌ කියෑවෙයි. ඒ අනුව අදාළ ප්‍රතිබද්ධ ගුණයට අගයක්‌ ලබා දෙන්නේ නිරීක්‍ෂකයා ය. අප මෙය තරමක්‌ දුරට තවත් විග්‍රහ කළ යුතු ය. ඒ සඳහා අංශුවක පිහිටීම හා ගම්‍යතාව යන ප්‍රතිබද්ධ ගුණ සලකමු. අප අංශුවක ගම්‍යතාව (ඒ සමඟ ශක්‌තිය) දන්නේ නම් එවිට එහි පිහිටීම ගැන අපට කිසිවක්‌ කිව නො හැකි ය. අංශුව අසවල් තැන නිශ්චිත ව ඇතැයි කීමට අපට නො හැකි ය. අපට කිව හැක්‌කේ අප අංශුවේ පිහිටීම ගැන දැනගැනීම සඳහා "උපකරණයක්‌" යොදා ගත හොත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස අංශුවට අසවල් තැන පිහිටීම සඳහා අසවල් සම්භාවිතාවක්‌ ඇත යන්න ය. දැන් අපට අදාළ "උපකරණය" යොදා ගැනීමෙන් අංශුවේ පිහිටීම දැනගත හැකි ය. එවිට අංශුව පිහිටිය හැකි ස්‌ථානවලින් එකක්‌ ලැබෙනු ඇත.

කෝපන්හේගන් විවරණයට අනුව අංශුවේ පිහිටීම මැනීමට පෙර එයට පිහිටීමක්‌ නැත. වෙනත් අයුරකින් කිව හොත් එසේ අංශුවේ පිහිටීම මැනීමට පෙර අපට අංශුවේ පිහිටීම නිරීක්‍ෂණය කළ නො හැකි ය. බටහිර ඉන්ද්‍රියානුභූතවාදය (Postivism) අනුව නිරීක්‍ෂණය කළ නො හැකි දේ ගැන කතා කිරීමේ තේරුමක්‌ නැත. එබැවින් අංශුවේ පිහිටීම මැනීමට පෙර අංශූවේ පිහිටීම ගැන කතා කිරීම තේරුමක්‌ ඇති දෙයක්‌ නො වේ. අපට කළ හැක්‌කේ අංශුවේ ගම්‍යතාව මෙපමණ යෑයි කීම පමණකි. ඒ ගම්‍යතාව නිරීක්‍ෂණය කර ඇති බැවිනි. අංශුවේ ගම්‍යතාව අපට ප්‍රත්‍යක්‍ෂ වේ. එහෙත් එවිට පිහිටීම ප්‍රත්‍යක්‍ෂ නො වේ. මෙහි දී ප්‍රත්‍යක්‍ෂ යන්න පංෙච්න්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය පමණක්‌ වේ. බටහිර ඉන්ද්‍රියානුභූතවාදයට වෙනත් ප්‍රත්‍යක්‍ෂයක්‌ නැත.

අංශුවක ගම්‍යතාව ප්‍රත්‍යක්‍ෂ වී ඇති විට අපි එහි පිහිටීම දැනගැනීම සඳහා යම් "උපකරණයක්‌" යොදා ගනිමු. එහි ප්‍රතිඵලයක්‌ ලෙස අංශුවට යම් පිහිටීමක්‌ ලැබෙයි. ඉන් අදහස්‌ කරන්නේ අංශුවට පිහිටීම ලබා දෙන්නේ නිරීක්‍ෂකයා ය යන්න ද? කෝපන්හේගන් විවරණයට අනුව නම් ඒ එසේ ය. එසේ වන්නේ නිරීක්‍ෂකයා අංශුවේ පිහිටීම "උපකරණයක්‌" යොදා දැනගැනීමෙන් පසුව පමණක්‌ අංශුවට පිහිටීමක්‌ ලැබීම ය. එහෙත් බටහිර ඇතැම් භෞතික විද්‍යාඥයෝ ඒ විවරණය හා ඉන් ලැබෙන නිගමන නො පිළිගත් හ. ඒ අතර අයින්ස්‌ටයින් විද්වතා ද විය.

අප කෝපන්හේගන් විවරණය සමඟ එකඟ නො වන්නේ අයින්ස්‌ටයින් විද්වතා ඇතුළු පිරිසක්‌ ඒ නො පිළිගන්නා නිසා නො වේ. ඔවුන් ඒ සමඟ එකඟ නො වූයේ බටහිර වාස්‌තවික යථාර්ථවාදීන් ලෙස ය. කෝපන්හේගන් විවරණයෙන් ලැබෙන නිගමනයකට විරුද්ධව අයින්ස්‌ටයින්, පොඩොල්සිකි, රොසන් යන විද්වතුන් තිදෙනා නමින් හැඳින්වෙන විසංවාදයක්‌ ද වෙයි. සාමාන්‍යයෙන් ඊපීආර් විසංවාදය (EPR Paradox) නමින් හැඳින්වෙන එයින් කියෑවෙන්නේ ඇතැම් භෞතික පද්ධතියක යම් ගුණයක්‌ මැනීමට පෙර එහි අගය කල් තබා නිගමනය කළ හැකි බවත් එහෙත් ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙන් එය තේරුම් කර දිය නො හැකි බවත් ය. එහෙත් කෝපන්හේගන් විවරණයේ නියමුවකු වූ බෝර් පඬිවරයා එයට සාර්ථක පිළිතුරක්‌ දුන්නා පමණක්‌ නො ව 1982 දී ඇස්‌පෙ නම් ප්‍රංශ විද්‍යාඥයෙක්‌ පරීක්‍ෂණයක්‌ මගින් බෝර් පඬිවරයා නිවැරැදි බව පෙන්වා දුන්නේ ය.

බටහිර යථාර්ථවාදීන් විසින් කෝපන්හේගන් විවරණයට විරුද්ධව ඉදිරිපත් කරන ලද තර්ක නිශ්ප්‍රභ වී ඇති බැවින් ඒ ගැන වැඩිදුර සාකච්ජාවක්‌ අනවශ්‍ය වේ. එහෙත් යම්කිසි අගයක්‌ මැනීමට නිරීක්‍ෂකයකු අවශ්‍ය ද යන්න අපට ප්‍රශ්නයක්‌ වෙයි. අප කෝපන්හේගන් මතය පිළිගත හොත් අංශුවල හා පද්ධතිවල ප්‍රතිබද්ධ ගුණ ලැබෙන්නේ නිරීක්‍ෂකයන් මැදිහත් වී නිරීක්‍ෂණ කළ හොත් පමණකි. මේ නිරීක්‍ෂකයන් සවිඥනික නිරීක්‍ෂකයන් විය යුතු බව අවිවාදයෙන් පිළිගැනෙයි. මෙයින් අදහස්‌ වන්නේ විඥනයක්‌ සහිත නිරීක්‍ෂකයන් නොමැති ව ක්‌වොන්ටම් අංශුවල හා පද්ධතිවල ප්‍රතිබද්ධ ගුණ දැනගැනීමට නො හැකි බව ය. බටහිරයන් විඥනයක්‌ සහිත නිරීක්‍ෂකයන් ලෙස මෑතක්‌ වන තුරුම සැලකුවේ දෙවියන් වහන්සේ හා මිනිසුන් පමණ ය. දැන් බටහිර විද්‍යාඥයන් ගෙන් කිහිප දෙනකු තිරිසන් සතුන්ට ද විඥනයක්‌ ඇති බව පිළිගැනීමට සූදානම් බව පෙනෙයි.

අපි විශ්වය පැත්තකට දමමු. අපේ ක්‍ෂීරපථ මන්දාකිණිය ද පෘථිවිය හැරෙන්නට සෙසු සෞර්ය ග්‍රහ මණ්‌ඩලය ද පැත්තකට දමමු. මේ පෘථිවියේ වුවත් තවමත් මිනිස්‌ ඇසකට නො ගැටුණු පෙදෙස්‌ කෙතරම් වේ ද? ඒ ප්‍රදේශවල නිරීක්‍ෂණ කිරීමට මනුෂ්‍ය නිරීක්‍ෂකයන් නැත. එයින් කියෑවෙන්නේ ඒ ප්‍රදේශවල ක්‌වොන්ටම් අංශූවල හා පද්ධතිවල ඇතැම් ප්‍රතිබද්ධ ගුණ තවමත් නිරීක්‍ෂණය වී නොමැති බව ද? උදාහරණයක්‌ වශයෙන් ගත හොත් පරමාණුවක ක්‍ෂය වීම නිරීක්‍ෂණය කිරීමට මනුෂ්‍ය නිරීක්‍ෂකයකු නො සිටිය හොත් ඒ පරමාණුව ක්‍ෂය නො වී පවතින්නේ ද? එසේත් නැත්නම් පරමාණුව ක්‍ෂය වීම හා ක්‍ෂය නො වීම යන අවස්‌ථා දෙකෙහි ම පසු වන්නේ ද?

මේ ප්‍රශ්නය සුප්‍රසිද්ධ ෂ්රොඩිංගර් ගේ බළලා සම්බන්ධයෙන් ඇසිණි. මේ ෂ්රොඩිංගර් විසින් ඉදිරිපත් කරන ලද චිත්ත පරීක්‍ෂණයකි. අපි මෙය කලින් සාකච්ජා කර ඇත්තෙමු. ඉතා දළ වශයෙන් කිව හොත් ඒ පරීක්‍ෂණයෙහි මනාව වසන ලද කාමරයක ඇති බළලකු ගේ ජීවිතය පරමාණු කැටියක්‌ සමග බැඳී ඇත. ඉන් පරමාණුවක්‌ ක්‍ෂය වුව හොත් බළලා ජීවිතක්‍ෂයට පැමිණෙයි. කිසිදු පරමාණුවක්‌ ක්‍ෂය වී නොමැති නම් බළලා ජීවත් වෙයි. දැන් පරමාණුවක්‌ ක්‍ෂය වී ඇති අවස්‌ථාවෙහි මෙන් ම ක්‍ෂය නො වී ඇති අවස්‌ථාවෙහි ද පසු වන්නේ නම් (ප්‍රතිබද්ධ ගුණයක්‌ ලෙස) එවිට බළලා ද ජීවත් වී මෙන් ම මිය ගොස්‌ ද සිටිය යුතු ය.

ඒ ඉතා අස්‌වාභාවික තත්ත්වයක්‌ බව අමුතුවෙන් කිව යුතු නො වේ. ෂ්රොඩිංගර් විද්වතා බළලා ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නය බෝර් විද්වතා ප්‍රමුඛ කෝපන්හේගන් විවරණ මණ්‌ඩලයට යොමු කළ විට ලැබුණේ සුපුරුදු පිළිතුර ය. එනම් කාමරය හැර නිරීක්‍ෂණය කරන තුරු ඒ ගැන කතා කිරීම තේරුමක්‌ නැති දෙයක්‌ බව ය. එහෙත් බළලාට එය ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයකි. බටහිරයන්ට බළලාට විඥනයක්‌ නැතැයි කියා ඇඟ බේරාගත හැකි ය. එහෙත් අපට එසේ කළ නො හැකි ය. ජීවිතයක්‌ යනු ජීවිතයකි.

අනෙක්‌ අතට බටහිරයන්ට මෙහි දී ගැලවීමට තවත් විකල්පයක්‌ වෙයි. බළලාට විඥනයක්‌ තිබිණි නම් ඌ ඒ සියල්ල නිරීක්‍ෂණය කරන බවත් එවිට තමා මිය ගොස්‌ ඇත් ද නැත් ද යන්න වග බළලාට ම දැනගත හැකි වන බැවින් ප්‍රශ්නය එතැනින් කෙළවර වන බවත් ඔවුනට කිව හැකි වෙයි. එහෙත් බළලාට විඥනයක්‌ නැත්නම් ඌට එක්‌ විට ම ජීවත් වීමට හා මිය යැමට සිදුවේ ද? බෝර් විද්වතා ඇතුළු කෝපන්හේගන් විවරණයට අනුගමනය කරන්නන් බටහිර ඉන්ද්‍රියානුභූතවාදය අනුව යමින් නිරීක්‍ෂණය කරන තෙක්‌ ඒ ගැන කතා කිරීම තේරුමක්‌ නැතැයි කීව ද එය පිළිගත හැකි නො වේ. එලෙස ම මිනිස්‌ ඇසකට නො ගැටුණු පෙදෙස්‌වල පරමාණු තවමත් ක්‍ෂය වූ අවස්‌ථාවේ මෙන් ම ක්‍ෂය නො වූ අවස්‌ථාවේ ඇතැයි යන්න ද පිළිගත නො හැකි ය. එය චතුසකෝටිකයේ අන්ත හතරෙන් ඒකාන්ත පිළිතුරක්‌ දිය යුතු අවස්‌ථාවකි.

ඇතැම් බටහිරයෝ විඥනය සහිත නිරීක්‍ෂකයා ලෙස මෙවැනි අවස්‌ථාවල දී දෙවියන් ඉදිරිපත් කරති. ඒ එසේ නම් ෂ්රෝඩිංගර් ගේ බළලා පිළිබඳ ප්‍රශ්නයේ දී ද යෙදිය හැකි ය. දෙවියන් වහන්සේ ගේ විඥනය හැම තැන ම හැම විට ම ඇතැයි කියන බැවින් පරමාණුව ක්‍ෂය විම ද දෙවියන් වහන්සේ ගේ විඥනයට හසු විය යුතු ය. එවිට බළලා ජීවත් වන්නේ ද මිය ගොස්‌ ඇත් ද යන වග ද දෙවියන් වහන්සේ දැනගත යුතු ය. එහෙත් අවාසනාවකට එවිට බළලා සම්බන්ධ තවත් කරුණු ද දෙවියන් වහන්සේ ගේ විඥානයට හසු විය යුතු ය. අපි මේ ප්‍රශ්නයේ දී ද ක්‌වොන්ටම් භෞතිකය පිළිබඳ වෙනත් කරුණුවල දී ද ඊනියා නිරීක්‍ෂකයා පළවා හරිමු. මේ නිරීක්‍ෂකයා බටහිර ඉන්ද්‍රියානුභූතවාදය නිසා ක්‌වොන්ටම් භෞතික විද්‍යාවට රිංගා ගත් තැනැත්තෙකි. කලක දී මම ද මේ නිරීක්‍ෂකයා ඇතැයි විශ්වාස කෙළෙමි. යථාර්ථය, වාස්‌තවිකත්වය ආදිය මේ නිරීක්‍ෂකයා අතින් නැති වන්නේ ය යනු මගේ වැටහීම විය. එහෙත් දැනුමේ සාපේක්‍ෂත්වය ර පවතින්නේ මේ නිරීක්‍ෂකයා මත නො වන බව මගේ ලෝකය කෘතියෙහි තුන්වැනි මුද්‍රණය නිකුත් කරන කාලයෙහි දී ද මට අවබෝධ වී තිබිණි. දැනුමේ සාපේක්‍ෂත්වය යන්න ක්‌වොන්ටම් භෞතිකය මත පදනම් වන්නක්‌ නො වන බව ඒ කෘතියෙහි තුන්වැනි මුද්‍රණයට ලියන ලද පෙරවදනෙහි සඳහන් කර ඇත.

අපි ක්‌වොන්ටම් භෞතිකයෙන් සියලු නිරීක්‍ෂකයන් එළවා දමමු. නිරීක්‍ෂකයන් ඇතත් නැතත් පරමාණු ක්‍ෂය වෙයි. පරමාණුව ක්‍ෂය වී ද නැත් ද යන්න සිදුවීමට නිරීක්‍ෂකයකු අවශ්‍ය නො වේ. නිරීක්‍ෂකයා සිටියත් නැතත් පරමාණුව එක්‌කෝ ක්‍ෂය වී තිබිය යුතු ය. නැත්නම් ක්‍ෂය නො වී තිබිය යුතු ය. එසේ නම් ඒ යථාර්ථයක්‌ ද වාස්‌තවිකත්වයක්‌ ද ආදී ප්‍රශ්න ඇසිය හැකි ය. ඒ කිසිසේත් ම එසේ නො වේ.

දැනුමෙහි සාපේක්‍ෂත්වය යනු හුදු නිරීක්‍ෂණය පමණක්‌ නො වේ. පරමාණු පරමාණුව ලෙස ගැනීම ම සාපේක්‍ෂ ය. ඒ දැනුම ඇත්තේ ඇතැම් සංස්‌කෘතිවල පමණකි. පරමාණුව යන්න පවා සෑම සංස්‌කෘතියකට ම පොදු වූ දැනුමක්‌ නො වේ. බටහිර විද්‍යාවේ වුව ද පරමාණුව යන එක ම වචනය යොදා ගත්ත ද විවිධ පුද්ගලයන් ගේ පරමාණුව පිළිබඳ සංකල්ප වෙනස්‌ ය. ගී්‍රකයන් ගේ පරමාණුව නො සැලකුව ද රදර්ෆඩ් විද්වතාට පෙර බටහිර භෞතික විද්‍යාවේ පරමාණුව සම්බන්ධයෙන් තිබූ සංකල්පය එතුමා ගෙන් පසුව වෙනස්‌ විය. රදර්ෆඩ් විද්වතාට පෙර තිබුණේ පඨවි ධාතුවෙන් ආඪ්‍ය වූ පරමාණුවකි. එහෙත් ඉන්පසුව පරමාණුවේ මැද න්‍යෂ්ටියක්‌ තිබූ අතර ඈතින් ඉලෙක්‌ට්‍රොaන න්‍යෂ්ටිය වටා ගමන් කෙළේ ය. පරමාණුවේ වැඩියෙන් වූයේ හිස්‌ අවකාශයකි. බෝර් විද්වතා ඒ පරමාණුව ද වෙනස්‌ කෙළේ ය. අද පරමාණුව යනු ෂ්රොඩිංගර් සමීකරණයේ විසඳුමකි.

මහාචාර්ය නලින් ද සිල්වා