logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ගංවතුරෙන් පාඩම් උගෙන
ජලාශ ප්‍රතිසංස්‌කරණය කරන ක්‍රමවේදය


මේ ගංවතුරෙන් ප්‍රධාන වැව් බැමිවලට අලාභ හානි සිදු නො වුණ ද ඒ ආශ්‍රිත වාරි මාර්ග පද්ධතිවලට අලාභ හානි රැසක්‌ සිදු වී ඇත. මේ අලාභ හානිවල මූලික ඇස්‌තමේන්තුව රුපියල් බිලියන 1.8ත් 2ත් අතර දක්‌වා ප්‍රමාණයකි. මේ වැව් බැමි වාරිමාර්ග යන සියල්ල ම කඩිනම්ව අලුත්වැඩියා කර ඉදිරියේ දී එන කන්නවල ගොවිතැන් කිරීම සඳහා ගොවීන්ට පහසුකම් සැපයිය යුතු ය.

මේ අලුත්වැඩියාවන් තුන් ආකාරයකට සිදු කිරීමට නියමිත ය. ඉන් පළමු වැන්න මේ කන්නයේ වගා සඳහා අවශ්‍ය ජලය සැපයීමට වාරි මාර්ග තාවකාලිකව අලුත්වැඩියා කිරීම ය. දෙවැන්න 2011 යල කන්නයට පෙර ස්‌ථිර අලුත්වැඩියා කිරීම් සිදු කිරීම ය. තුන්වැන්න වාන් පුළුල් කිරීම, අලුත් ජල දොරටු සවි කිරීම වැනි දිගු කල් විසඳුම් ලබා දීම සිදු කිරීම ය. මෙය ලෙහෙසියෙන් කළ හැකි දෙයක්‌ නො වන අතර ඒ සඳහා අභියෝග රැසකට මුහුණ දිය යුතු ව ඇත.

මේ තත්ත්වය පිළිබඳව අදහස්‌ දැක්‌වූ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ වේලි ආරක්‍ෂක සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ වාරි ඉංජිනේරු සුධර්ම ඇළකන්ද මහතා,

"මේ වර්ෂාව සමග ඇති වූ ගංවතුර අපට හොඳ පාඩමක්‌ උගන්වා තිබෙනවා. ඒ තමයි මේ මහා ජලාශ පිළිබඳ වත් වැව් පිළිබඳ වත් අවධියෙන් සිටිය යුතු ය යන්න. අපි මේ වේලි සංරක්‍ෂණ ව්‍යාපෘතිය සැලසුම් කිරීම ආරම්භ කළේ වසර 2005 අග භාගයේ දීයි. එසේ කළේ ගංවතුරක්‌ ඇති වේ ය යන අදහසින් නො වේ.

රජය තීරණයකට ආවා, අපේ රටේ තිබෙන ඇළ වේලි පිළිබඳව අධ්‍යයනය කර ඒවා සංරක්‍ෂණය කරන්න. මේක මම විතරක්‌ කරපු දෙයක්‌ නො වෙයි. ශ්‍රී ලංකාවේ ජලය හා සම්බන්ධව කටයුතු කරන ආයතන කිහිපයක්‌ තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය සහ විදුලිබල මණ්‌ඩලය වැනි රාජ්‍ය ආයතන ඊට අයත් වෙනවා. මේ ආයතන ප්‍රධාන අභියෝග කිහිපයකට මුහුණ දෙනවා.

අදින් වසර දෙ දහසකට පමණ පෙර සිට මේ දක්‌වා ක්‍රියාත්මක වන වැව් ජලාශ රාශියක්‌ තිබෙනවා. මේ ජලාශ විවිධ කාල පරිච්ඡේදවලට බෙදා වෙන් කරන්න පුළුවන්. එකක්‌ අවුරුදු 100කට වඩා

පැරැණි ජලාශ. අනෙක්‌ වර්ගය අවුරුදු 50ත් 60ත් අතර කාලයකට අයත් ජලාශ. මේවාට විදුලිබල මණ්‌ඩලය වෙනුවෙන් නිර්මාණය කළ ලක්‌ෂපාන සහ කාසල්රී වැනි ජලාශ අයත් වෙනවා. අනෙක්‌ වර්ගය අවුරුදු 25ත් 30ත් අතර කාලයකට පෙර නිර්මාණය කළ වික්‌ටෝරියා,

රන්දෙනිගල, රන්ටැඹේ වැනි මෑත යුගයේ ජලාශ

අපි අතර තිබෙන මතයක්‌ තමයි, මේ සැම ජලාශයක්‌ ම පරම්පරා ගණනක්‌ පවතිනවා ය කියන එක. මේක වැරැදි මතයක්‌. ඉතිහාසය අධ්‍යයනය කරන කොට අපිට පේනවා විවිධ කාල වකවානුවල දී ජලාශ කැඩී ගොස්‌ තිබෙන බව.

කාලයක්‌ ගතවෙන කොට මිනිස්‌ සිරුර ලෙඩ වෙනවා වගේ ම ජලාශත් ලෙඩ වෙනවා. ඒ ලෙඩ තමයි වතුර කාන්දු වීම, වැව් බැම්මේ පිපිරීම් ඇති වීම, සොරොව් අවහිර වීම වැනි ආපදා. මේවාට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය දෙයක්‌. කුඩා ජල කාන්දුවක්‌ කල් යැමේ දී විශාල බැමි පිපිරීමක්‌ ඇති කරන්න පුළුවන්. එදා කන්තලේ වැවට සිදු වුණේ එවැනි දෙයක්‌. වැව් බැමි උඩ වාහන ධාවනය වීම නිසා ගිලා බැසීම් ඇති වෙන්න පුළුවන්. අනෙක්‌ කරුණ තමයි පැරැණි ජලාශවල සොරොව් ප්‍රමාණවත් නො වීම. අතීතයේ දී සොරොව්වලින් කළේ පෝෂක ප්‍රදේශයට වැටෙන ජලය රැස්‌ කිරීම පමණයි. අද මේ සොරොව් වෙනත් ෙද්‍රdaණිවලට යා කරල තිබෙනවා. මේවා ට්‍රාන්ස්‌ බේසින් (Trans Basin) කියලයි හැඳින්වෙන්නේ. කාලයක්‌ ගත වීමේ දී වැව් බැමි උඩ සිදුරු ඇති වෙනවා. මේ සිදුරු තුළට ජලය කාන්දු වීමෙන් වැව් බැමි කඩාගෙන යන්න ඉඩ තිබෙනවා. මෙන්න මෙවැනි දෝෂ පිළිබඳව විමසා බලා කටයුතු කිරීමයි මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ. ඒ නිසා මේ ව්‍යාපෘතියෙන් ආරක්‍ෂා කිරීම් 4ක්‌ තහවුරු කරනවා. පළමු වැන්න තමයි වැව් බැම්මේ ශක්‌තිය පිළිබඳව ආරක්‍ෂාව තහවුරු කිරීම. මේක Structural safty කියලයි හඳුන්වන්නේ. දෙවැන්න ගලන ජලයේ හැසිරීම පිළිබඳව සොයා බැලීම. මොකද ජලය හදිසි ගලා යැමකට ලක්‌ වුණොත් සිදු වන විනාශය විශාලයි. ඒ නිසා ජල පිටවාන ප්‍රමාණය ප්‍රමාණවත් ද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. මේ ආරක්‍ෂාව අපි හඳුන්වන්නේ ද්‍රව ආරක්‌ෂාව නැත්නම් Hydrolic safty කියලයි. තුන්වැන්න මේ ජලය විධිමත්ව ආරක්‍ෂාකාරීව නිකුත් කරන්න හැකියාව ලැබෙන්නේ ජල දොරටු (Water gates) හරියාකාරව ක්‍රියාත්මක කළ හැකි නම් පමණයි. නිදසුනක්‌ ලෙස පරාක්‍රම සමුද්‍රයේ ජල දොරටු දහය ගනිමු. මේවා අරින්න විශාල මිනිස්‌ ශ්‍රමයක්‌ අවශ්‍යයි. හදිසියක දී මේක අමාරු වැඩක්‌. ඒ නිසා මේවා නවීකරණය කරල කාර්යක්‌ෂමව වැඩ කරන්න නැවත සකස්‌ කරන්න ඕනේ. මේක මෙහෙයුම් කාර්යක්‍ෂමතාව නැත්නම් Oparational safty කියලයි හඳුන්වන්නේ. මේ සියල්ල ම සම්පූර්ණ වූ පසු මහජන ආරක්‌ෂාව නැත්නම් People safty නිතැතින් ම සිදු වනවා.

මෙහි දී තිබෙන අනෙක්‌ අභියෝගය තමයි මේ ක්‍රමවේද භාවිත කරන්නේ අලුතෙන් හදන ජලාශවලට නො වෙයි. කාලයක්‌ තිස්‌සේ මිනිසා ගේ ප්‍රයෝජනය සඳහා ක්‍රියාත්මක වන රන් දියවරින් පෝෂණය කරන පැරැණි ජලාශවලයි. ඒ නිසා විමසා බැලිය යුතු පැකිකඩ ගණනාවක්‌ තිබෙනවා. පරිසරයට සිදු විය හැකි හානිය සොයා බැලිය යුතු වෙනවා. ඒ නිසා පරිසර ඇගයීමක්‌ කළ යුතු වෙනවා. අලුත්වැඩියාවේ ස්‌වභාවය අනුව ජල ධාරිතාවක්‌ නිකුත් කරන්න සිදු වුවොත් එයින් ගොවිතැනට සිදු විය හැකි පාඩුව ගණනය කළ යුතුයි."

ඒ මහතා පවසන පරිදි අවුරුදු 100කට වඩා පැරැණි වැව්වල සොරොව්වල තිබෙන දුර්වලතා සොයා බැලීම අත්‍යවශ්‍ය ය. නිදසුනක්‌ ලෙස තබ්බෝව වැවේ දකුණු ඉවුර වර්ෂ 1904 තනන ලද්දකි. මෙවැනි තැන්වල පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක්‌ ද තිබෙන බැවින් කිසියම් අලුත්වැඩියාවක්‌ හෝ එවැනි දෙයක්‌ කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර හා උපදෙස්‌ ද ගත යුතු වෙයි. මෙයින් මෙවැනි පැරැණි වැව් ප්‍රතිසංස්‌කරණය කිරීමේ දී පැතිකඩ රාශියක්‌ පිළිබඳව සෙවීමක්‌ කළ යුතු බැව් පෙනේ.

මෙවර වර්ෂාව සමග ඇති වූ ගංවතුර මෙරට රාජ්‍ය තන්ත්‍රයටත් පොදු මහජනතාවටත් කිසියම් පාඩමක්‌ ඉගැන්වූ බැව් කිව යුතු වෙයි. නාච්චදූව වැවේ ජල ධාරිතාවට වඩා තුන් ගුණයක ජල ධාරිතාවක්‌ මේ වර්ෂාව නිසා ඉවත් කර ඇත. මඩකලපුවේ නවගිරි වැවේ ජල ධාරිතාව මෙන් දහගුණයක ජල ධාරිතාවක්‌ ඉවත් කර ඇති බැව් තවත් නිදසුනක්‌ ලෙස පෙන්වා දිය හැකි ය. මෙයින් පෙනී යන ප්‍රධාන කරුණු වන්නේ වර්ෂයක දී ලැබෙන ජල ධාරිතාව මාස තුනක්‌ වැනි කාලයක දී ජලාශවලට ලැබුණු බව ය. එසේ වුවත් පොදුවේ ගත් කල වැව් බැමි ශක්‌තිමත් බවෙන් යුක්‌ත වූ බැවින් හා ඉංජිනේරුවන් ගේ දුර දක්‌නා නුවණින් වැව් බැමි
රැකගත් බව ද කිව යුතු වෙයි.

ජලාශ 32ක්‌ ප්‍රතිසංස්‌රණයේ

මේ ඇළ වේලි සංරක්‍ෂණය පිළිබඳව ඊට අවශ්‍ය මිනිස්‌ ශ්‍රමය පිළිබඳවත් ඉංජිනේරු ඇළකන්ද මහතා දක්‌වන්නේ මෙවන් අදහසකි.

"මේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 7500ක පොලී රහිත ණයක්‌ ලැබුණා. මේ මුදලින් දැනට ප්‍රයෝජනයට ගන්නා ජලාශ 80න් 32ක්‌ ප්‍රතිසංස්‌රණය කරන්න සැලසුම් කර තිබෙනවා. මේ ජලාශ 32ක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමෙන් පසු ඉතිරි ජලාශ 48ත් ප්‍රතිසංස්‌කරණය කිරීමයි අපේ අරමුණ. මෙහි දී විශේෂඥ දැනුම අත්‍යවශ්‍යයි. මේ විශේෂඥ දැනුම ලබාගන්නේ කෙසේ ද? දේශීය ඉංජිනේරුවන් ගෙන් ද, නැත්නම් විදේශීය ඉංජිනේරුවන් ගෙන් ද යන්න විමසා බැලිය යුතුයි. බොහෝ අවස්‌ථාවල දී මෙවැනි කටයුතුවල දී දේශීය ඉංජිනේරුවන් ගේ සහාය ලබාගෙන තිබෙනවා. අපි දන්නවා අපේ දක්‍ෂ වාරි ඉංජිනේරුවෝ ඇමෙරිකාව, ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල සේවය කරනවා ඒ නිසා දැනුමේ හිදැසක්‌ ඇති වී තිබෙනවා. ඒ නිසා යම් තරමකට විදෙස්‌ විශේෂඥයන් ගේ උපදෙස්‌ ලබාගත යුතු වෙනවා. ඒ සමගම අපේ මානව සම්පත් ප්‍රයෝජනයට ගෙන ඉදිරියේ දී කරන ජලාශ ප්‍රතිසංස්‌කරණයේ දී අපේ ම මානව සම්පත යොදා ගන්න කියල මම යෝජනා කර තිබෙනවා. එයට අවශ්‍ය පුහුණුව හා දැනුම මේ ව්‍යාපෘතිවලින් ලැබේ වි.

ඒ සඳහා අපි මොරටුව හා පේරාදෙනිය යන විශ්වවිද්‍යාලවලට ගිහින් මේ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කළා. කියන්න සතුටුයිs අපිට 70 දෙනකු ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණා. ඒ අය අපි දැන් බඳවාගෙන ඉන්නේ. වෙනත් ඉංජිනේරු ක්‍ෂෙත්‍ර වගේ නො වෙයි. වාරි ඉංජිනේරුවන් වගේම තාක්‌ෂණික ශිල්පීන් ඉන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක්‌. මේ සුළු ප්‍රමාණය මේ රටේ රඳවා ගන්න උත්සාහ කරන්න ඕනෙ.

ඔවුන්ට ප්‍රමාණවත් වැටුප් හා අනෙකුත් පහසුකම් නොඅඩුව ලබා දෙන්න ඕනේ. ඔවුන් සේවය කරනා පරිසරය සිත්ගන්නාසුලු පරිසරයක්‌ බවට පත් කරන්න ඕනේ. විදෙස්‌ රටවලට යැමට ඉඩ සලසා දී දැනුම හා පුහුණුව ලබා දී ඔවුන් දිරිමත් කරන්න ඕනේ. අපේ කාලේ, ප්‍රධානියා කියන විදිහට ලැබුණ තැනක ඉඳගෙන වැඩ කළා. අද ඊට වඩා වෙනස්‌. ඔවුන්ට සිතන්න ඉඩ දීල වැඩ කළ යුතුයි. අද ඉන්නේ වෙනත් පරපුරක්‌. ඔවුන්ට ඉඩ දිය යුතුයි. ඒ නිසා ඉදිරියේ දී දිගින් දිගට ම බඳවා ගැනීම් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇමතිතුමා ගේ අදහස එයයි."

පසුගිය වැසි සමයේ දී අපට පෙනී ගිය දෙයක්‌ වන්නේ වාන් දැමීමෙන් කුඩා වැව් රාශියක බැමි පුපුරා යැමෙන් ගම්මාන රාශියක්‌ ජලයෙන් යට වී විනාශ වී ගිය බව ය. ඉදිරියේ දී මෙවන් දෙයක්‌ නැවත සිදු වීමට ඉඩ නො තැබිය යුතු ය. ඒ සඳහා පෙර සූදානමක්‌ ද විය යුතු ය. මේ සූදානම අද හෙට ම විය යුතු ය. මෙහි දී කළ යුත්තේ කුමක්‌ ද යන්න පිළිබඳව ඉංජිනේරු ඇළකන්ද මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

"අපි දන්නවා විශාල ජලාශයක හෝ කුඩා ජලාශයක හෝ බැම්මක්‌ කැඩී ගියොත් ඒ කැඩී ගිය ප්‍රමාණය අනුව ගම්මාන හෝ අවට පරිසරය ජලයෙන් යට වෙන්න ඉඩ තිබෙනවා. මේ යට වෙන ප්‍රමාණය අපට තක්‌සේරු කරන්න පුළුවන් නම් ඒ වගේ ම ඒ ප්‍රදේශයේ වෙසෙන ජන සංඛ්‍යාව සොයාගන්න පුළුවන් නම් ඒ අනුව අපිට වැවක්‌ හෝ ජලාශයක්‌ හෝ කැඩී ගියොත් ඉන් කොපමණ ජන සංඛ්‍යාවක්‌ විනාශයට ගොදුරු වෙනවා ද කියල කියන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘතියෙන් වැව් ආශ්‍රිත ගම්මාන සිතියම්ගත කිරීමකට ලක්‌ කරනවා. මේක හඳුන්වන්නේ Innandation Mapping කියලයි. මෙවැනි සිතියම්ගත කිරීමකින් පසු වැව් බැමි පුපුරා ගියොත් ඇති වන ජල ගැලීමකින් හානියට ලක්‌ වන ප්‍රදේශය කොපමණ විශාල ද, ඒ වගේ ම හානියට පත් වන නිවාස හා ගම්මාන ප්‍රමාණය කොපමණ ද කියල කල් තියා හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව පූර්ව දැනුම් දීමක්‌ කරන්න පුළුවන්. පසුගිය කාලේ නාච්චදූව වැවට හදපු සිතියම් තමයි මෙවර ප්‍රයෝජනයට ගත්තේ."

මෙවැනි ව්‍යාපෘතියකින් කළ ප්‍රතිස්‌කරණයකින් පසු, පසු විපරමක්‌ නො කළොත් වසර ගණනාවක්‌ ගිය තැන සිදු වුණු හානි හා සිදු වන හානි වලටත් වඩා විශාල හානි සිදු විය හැකි ය. එබැවින් මේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක්‌ ලෙස ඇගයීමකට ලක්‌ කරන්නේ ඉදිරියේ දී සිදු විය හැකි හානි විනාශ වැළැක්‌වීම සඳහා ගෙන ඇති පියවර මොනවා ද යන්න විමසීමෙන් පසුව ය. ඒ සඳහා කිසියම් යාන්ත්‍රණයක්‌ අවශ්‍ය වෙයි. මේ යාන්ත්‍රණය කෙසේ විය යුතු ද යන්න පිළිබඳව වාරි ඉංජිනේරු ඇළකන්ද මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

මේ ජලාශ පුනරුත්ථාපනය කිරීමෙන් පසු නැවත සොයා බැලීමක්‌ සිදු කළ යුතු වෙනවා. මේ ජලාශ අයත් වෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය, විදුලි බල මණ්‌ඩලය වැනි රාජ්‍ය ආයතනවලටයි. මේ ආයතනවලට තිබෙන වගකීම්වලට අනුව විශේෂඥ පුද්ගලයන් එම ආයතනවලින් තෝරාගෙන කමිටුවක්‌ හදන්න තීරණය කර තිබෙනවා. මේ කමිටුවට රාජ්‍ය භාණ්‌ඩාගාරයෙන් කෙනකුත් සම්බන්ධ කර ගන්නවා. ඉන්පසු මේ කමිටුව කරන්නේ මාස 6කට වරක්‌ ජලාශ වේලි පරික්‍ෂාවට ලක්‌ කරල කළ යුතු දේ කුමක්‌ ද යන්න අපට වාර්තා කිරීමයි. අපි ඒ වාර්තා පරික්‍ෂාවලට ලක්‌ කරල අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. එයින් අපට කියන්න හැකි වෙනවා ඒ ඒ ජලාශ නඩත්තු කිරීමට කොපමණ මුදලක්‌ අවශ්‍ය වෙනවා ද, මිනිස්‌ ශ්‍රමය කොපමණ ද යන්න පිළිබඳව. මේ වගේ මූල්‍ය ඇස්‌තමේන්තුවක්‌ කළා ම හරි ම විනිවිද භාවයක්‌ තිබෙනවා. රටේ ජනතාවත් දන්නවා මේ කාර්ය භාරයේ විශාලත්වය හා වගකීම කුමක්‌ ද යන්න. මේ වගේ ජලාශ නඩත්තුවට අවශ්‍ය ඇස්‌තමේන්තු මුදලින් වැඩි කොටසක්‌ රාජ්‍ය භාණ්‌ඩාගාරයෙන් හා අනෙක්‌ කොටස ජලාශය අයත් වන ආයතනයෙන් ලබාගෙන ජලාශය ප්‍රතිසංස්‌කරණය කරන්න හැකියාව තිබෙනවා. මෙවැනි යාන්ත්‍රණයක්‌ සකස්‌ කළේ නැත්නම් ලෝක බැංකුවෙන් මේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක්‌ ලෙස අනුමත කරන්නේ නෑ. ඒ වගේ ම මෙවැනි යාන්ත්‍රණයක්‌ නැත්නම් මේ ජලාශ නඩත්තු කරන්න සිදු වෙන්නේ නෑ.

ඉදිරි කන්නයට ජලය

අපි දන්නවා සමහර ජලාශවල ජලය රඳවා ගන්නේ රඳවා ගත හැකි ප්‍රමාණයට වඩා අඩුවෙන්.. මොකද බැම්ම පුපුරා යයි කියන බයට. මේ ව්‍යාපෘතියෙන් එහෙම වෙන්නේ නෑ. දරාගත හැකි උපරිම ජල ධාරිතාව රඳවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා වෙනදාට වඩා අඩි 2ක්‌ හෝ 3ක්‌ හෝ උස ජල ධාරිතාවක්‌ අමතරව මේ ජලාශ සියල්ලේ ම රඳවා ගන්න හැකි වුණොත් ඒ සියලු ම ජල ධාරිතාව අලුතෙන් හදපු ජලාශයක ජල ධාරිතාවට සමාන වෙනවා. මේ අමතර ජලය කෘෂි කර්මාන්තයට වගේ ම මිනිසා ගේ ප්‍රයෝජනය සඳහා යොදවන්න පුළුවන්.

ජලාශය පිළිබඳ තොරතුරු ඇතුළත් අලුතෙන් හදපු ජලාශවල තිබෙනවා.

පැරැණි ජලාශවල නෑ. දැන් අපි පැරැණි ජලාශවල තිබෙන තොරතුරු එකතු කරල විධිමත්ව කියවා තේරුම් කර ගැනීමට හැකි වන පරිදි අත්පොතක්‌ සකස්‌ කරන්න කටයුතු කර තිබෙනවා.

මෙහි දී විශේෂ දෙයක්‌ කිව යුතුයි. වාරි ඉංජිනේරුවන් වගේම වාරි කර්මාන්තයේ යෙදෙන සැම කෙනෙක්‌ ම ජලයටත්, ජලාශවලටත් හරි ම ආදරෙයි. අත්‍යවශ්‍ය නම් පමණයි ජලය පිට කර හරින්නේ. මේ වර්ෂාවේ දී පාලනය කරගත නොහැකි ජල ධාරිතාවක්‌ ලැබුණු නිසයි ජලය පිට කර හැරියේ. ඒත් පිට කළ යුතු පමණටයි. ඉතින් අද වෙන කොට මේ ජලාශ වාන් දමලත් පිරිලයි තිබෙන්නේ. මේ ජල ධාරිතාව ඉදිරියේ දී කන්න දෙකක්‌ පමණ වගා කිරීමට ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා යල කන්නයේ සියයට සියයක්‌ වගා කළොත් හොඳ අස්‌වැන්නක්‌ ලබාගැනීමට අපහසු වෙන්නේ නෑ. ඒ වගේ ම ගංවතුරෙන් වුණු හානිය අවම කරගන්නත් පුළුවන් වෙනවා. ඒත් අපිට විශාල අභියෝගයක්‌ තිබෙනවා මේ ගංවතුරට කැඩුණු ඇළ මාර්ග ඉක්‌මනින් ගොවීන්ට හදල දෙන්න. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී සැලසුම් කළේ ජලාශ 7ක ජලය ධාරිතාව අඩු කරල ප්‍රතිසංස්‌කරණ කරන්න. මේ සිදුවීම සමග ඒ සැලසුම වෙනස්‌ කළා. පසු ගිය කාලේ අපි නිතර ම දැක්‌කේ ජලය හිඳුණු මහා ජලාශ. ඒත් දැන් දකින්නේ ජලයෙන් පිරිණු මහා ජලාශ. ලබන මාස 24 වැනි දින ලෝක බැංකු නිලධාරින් සමග සාකච්ඡාවක්‌ තිබෙනවා. මේ සාකච්ඡාවේ දී ඇමතිතුමා උත්සාහ කරන්නේ අපේ ක්‍රමවේදය ඔවුන්ට අවබෝධ කරල දෙන්නයි.

මෑතක ඇති වූ ගංවතුරින් සිදු වූ අලාබහානිවල තරම

මෙරට ඇළ වේලි මෙන්ම ජලාශ පිළිබඳව විමසීමේ දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 59ක්‌ හා මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 155ක්‌ ඇති බැව් පෙනී යයි. මෙයින් විශාලත්වය අනුව ප්‍රධාන ජලාශ 10ක්‌ නම් කර ඇත. ඒවා අනුව අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත් අක්‌කර අඩි 770000ක්‌ වන සේනානායක සමුද්‍රය ද, අක්‌කර අඩි 183000ක්‌ වන හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට අයත් ලුණුගම්වෙහෙර ජලාශය ද, ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයට අයත් අක්‌කර අඩි 114000ක ධාරිතාවක්‌ ඇති කන්තලේ වැව ද, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට අයත් අක්‌කර අඩි 110000ක ධාරිතාවක්‌ ඇති මින්නේරිය වැව, අක්‌කර අඩි 109000ක ධාරිතාවක්‌ ඇති පරාක්‍රම සමුද්‍රය සහ අක්‌කර අඩි 104000ක ධාරිතාවක්‌ ඇති කවුඩුල්ල ජලාශය ද, අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් අක්‌කර අඩි 85000ක ධාරිතාවක්‌ ඇති පදවිය වැව, අක්‌කර අඩි 816000ක ධාරිතාවක්‌ ඇති රාජාංගනය වැව සහ අක්‌කර අඩි 55000ක ධාරිතාවක්‌ ඇති හුරුළුවැව ද, මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් අක්‌කර අඩි 53000ක ධාරිතාවක්‌ ඇති නවගිරි ජලාශය ද ලෙස වෙයි.

මහවැලි බල ප්‍රදේශවල පාලනය වන වික්‌ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ වැනි ප්‍රධාන ජලාශ 12ක්‌ සහ වැව් 286ක්‌ තිබෙන අතර මේ ජලාශවලට හා වැව්වලට අයත් ප්‍රධාන ඇළ මාර්ගවල දිග කිලෝමීටර් 346කි. අතු ඇළ මාර්ගවල දිග කිලෝමීටර් 559කි. බෙදුම් ඇළ මාර්ගවල දිග කිලෝ මීටර් 3274කි. කෙත් ඇළ මාර්ගවල දිග කිලෝමීටටර් 8384කි.

මේ සියලු ම වාරි ඇළ මාර්ගවලින් පෝෂණය වන වගා බිම් ප්‍රදේශ හෙක්‌ටයාර 92000කි. වැව් බැමිවල දිග කිලෝමීටර් 218ක්‌ වන අතර කෘෂිකාර්මික මාර්ගවල දින කිලෝමීටර් 3276කි. පසුගිය දිනවල වර්ෂාව නිසා හටගත් ගංවතුරට මහවැලි බල ප්‍රදේශ යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 12ට හානියක්‌ නො වන පරිදි ජලය මුදා හැර වැව් බැමි බේරා ගැනීමට හැකි විය. මේ අනුව මේ ජලාශවලින් ගලා ගිය පිටාර ජල ධාරිතාව අක්‌කර අඩි 1196741කි. මේ අතර ඉදිරි කෘෂිකාර්මික කටයුතු සඳහා රඳවාගෙන තිබෙන ජල ධාරිතාව අක්‌කර අඩි 1474845ක්‌ වන අතර ජලාශ ආශ්‍රිත වූ විදුලි බලාගාර මගින් නිපදවූ විදුලි ධාරිතාව ගිගාවොට්‌ 440කි.

වාරි පද්ධති පිළිබඳව විමසීමේ දී මහවැලි බල ප්‍රදේශවලට අයත් වැව් 286හි විශාල බිඳී යැම් හෝ සම්පූර්ණ බිඳී යැම් හෝ දක්‌නට නැත. වාරි පද්ධති නිසා ගංවතුර හානි ස්‌ථාන 21කට සිදු වී ඇත. වාරි ඇළ පද්ධති සම්පූර්ණ බිඳී යැම්වලට ලක්‌ නො වුණ ද වගාබිම් හෙක්‌ටයාර 5400ක්‌ ජලයෙන් යට වී ඇත. අබලන් වී ඇති කෘෂිකාර්මික මාර්ග පද්ධතිය කිලෝමීටර් 1500කට ආසන්න ය. මේ වන විට සම්පූර්ණ කර නැතත් කරන ලද දළ ඇස්‌තමේන්තු අනුව සිදු වී ඇති හානිය රුපියල් බිලියන 158කි. මේ ප්‍රදේශවල පූර්ණ වශයෙන් විනාශ වූ නිවාස 155ක්‌ හා අර්ධ වශයෙන් විනාශ වූ නිවාස 425ක්‌ පමණ ඇත. අවතැන් වූ ජන සංඛ්‍යාව අති විශාල සංඛ්‍යාවකි.

කලාප වශයෙන් විමසන විට මහවැලි එල් කලාපයේ මා ඔය පිටාර ගැලීමෙන් වැලිඔයට යන ගමන් මාර්ගය අබලන් වී ඇත. විනාශ වී ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර 2000කි. කෝන්වැව, ඇහැටුගස්‌ වැව සහ නෙළුම්වැව යන කුඩා වැව් තුනේ බැමි කඩාගෙන යන මට්‌ටමට හානි සිදු වී ඇත. නිවාස 6ක්‌ සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් හානියට ලක්‌ වූ නිවාස සංඛ්‍යාව 200කි. අවතැන් වූ ජනතාව 600කි.

මහවැලි ඩී කලාපයට අයත් කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු අඩි 9ක්‌ දක්‌වා ඉහළට විවෘත කිරීමෙන් පසු ගලා ගිය ජල ධාරිතාවේ වේගය තත්පරයට ඝන අඩි 35000කි. මේ හේතුවෙන් හිඟුරක්‌ගොඩ සිට එන සැපයුම් මාර්ගය අඩි 3 1/2ක්‌ උසට ජලයෙන් යට විය. මේ ප්‍රදේශයට අයත් කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 50ක්‌ ම සම්පූර්ණයෙන් ම යට වී විනාශ විය. මේ වන විටත් විනාශ වූ නිවාස ගණන සංගණනයකට ලක්‌ කෙරෙමින් ඇති අතර අවතැන් වූ පිරිස 2000කි.

මහවැලි බී කලාපයේ කුඩා වැව් හා විශාල වැව් යන සියල්ල ම වාන් දැමූ අතර කුඹුරු හෙක්‌ටයාර 3000ක්‌ පමණ ජලයෙන් යට වී විනාශ වී ඇත.

මහවැලි එච් කලාපයට අයත් කලාවැව වාන් දමන්නට පටන්ගත් පසු තත්පරයට ඝන අඩි 20000ක පමණ වේගයකින් ජලය මුදා හැරියේ ය. කලාඔය දෙපස කුඹුරු හෙක්‌ටයාර 200ක්‌ පමණ ජලයෙන් යට වී විනාශ වී ඇත.

මහවැලි සී කලාපයට අයත් උල්හිටිය ජලාශය ඇතුළු සියලු ම වැව් වාන් දැමූ බැවින් කුඹුරු හෙක්‌ටයාර 200ක්‌ පමණ ජලයෙන් යට වී පවුල් 108කට සහ අයත් 400ක පමණ ජනතාවක්‌ අවතැන් වී ඇත. කණ්‌ඩලම හා දඹුළු ඔය යන විශාල වැව් දෙක වාන් දමමින් මාර්ග අවහිරතා ඇති කර දේපළ හානි රැසක්‌ සිදු කර ඇත.

වසර 2010-2011 මාස්‌ කන්නය ආරම්භයේ දී එනම් ඔක්‌තෝබර් මාසයේ දී වියළි කාලගුණයක්‌ පැවැති අතර නොවැම්බර් මස වර්ෂාව ආරම්භ විය. මේ වර්ෂා රටාවේ වෙනසක්‌ විය. මෙය සාමාන්‍ය වර්ෂාපතනයට වඩා ඉහළ අගයක්‌ ගත් අතර දෙසැම්බර් 15 වැනි දින වන විට ලැබුණු වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතනය මෙන් 4 ගුණයක්‌ පමණ විය. නොවැම්බර් අග කාල සීමාවේත් දෙසැම්බර් මුල කාල සීමාවේත් අධික වර්ෂාව ඇති වීම හේතුවෙන් මඩකලපුව, හම්බන්තොට, මොණරාගල, පුත්තලම, කුරුණෑගල, මාතලේ යන දිස්‌ත්‍රික්‌කවලට අති විශාල බලපෑම් ඇති කළ අතර වැව් රාශියක්‌ වාන් දැමී ය. ලුණුගම්වෙහෙර ජලාශයේ ජල දොdරටු විවෘත කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මහත් අපහසුතා ඇති වූ අතර දෙසැම්බර් මුල් සතිය වන විට අනුරාධපුර ප්‍රදේශයට ද ගංවතුර ව්‍යාප්ත විය. පොළොන්නරුව, බදුල්ල, ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රිකක්‌වලට ද අධික වර්ෂාව ලැබීම හේතුවෙන් එම දිස්‌ත්‍රික්‌කවලට අයත් වැව් වාන් දැමීම ආරම්භ විණි. ජනවාරි දෙවැනි සතිය වන විට හටගත් වර්ෂාවෙන් අම්පාර ත්‍රිකුණාමලය පොළොන්නරුව, අනුරාධපුර, මඩකලපුව, වව්නියාව, මන්නාරම යන දිස්‌ත්‍රික්‌කවල සියලුම වැව් වාන් දැමීම සිදු විය. අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත් සේනානායක සමුද්‍රය හැර අනෙක්‌ සියලු ම වැව් වාන් දැමීම ආරම්භ කළ අතර ගල්ඔය ව්‍යාපෘතියේ වලහාපිටිය හා වලගම යන කුඩා වැව්වලට අලාභ හානි සිදු වීය.

මේ සිදුවීම් වලින් පසු නැවතත් ජනවාරි 26 වැනි දින තද වැසි ආරම්භ වීම හේතුවෙන් අම්පාර, මඩකලපුව ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය, වව්නියාව, සහ මන්නාරම යන දිස්‌ත්‍රික්‌කවලට දැඩි ලෙස ගංවතුර තත්ත්වයෙන් බලපෑම් සිදු විය. මේ කාල සීමාවේ දී කවුඩුල්ල ජලාශය අඩි 4කින් ද, නාච්චදූව අඩි 4 අඟල් 2කින් ද, කන්තලේ වැව අඩි 4කින් ද, වාහල්කඩ වැව අඩි 5 අඟල් 6කින් ද, මින්නේරිය අඩි 4කින් ද, පදවිය වැව අඩි 3 අඟල් 2කින් ද, මාන දිවුල් වැව අඩි 7කින් ද ජල මට්‌ටම ඉහළ නංවා තිබිණි. වසර ගණනාවකට පසු වාන් දැමූ ජලාශ ලෙස සේනානායක සමුද්‍රය, මහකනදරා වැව, වාහල්කඩ වැව, පදවිය වැව, පාවට්‌ටිකුලම් වැව සහ මුරුතවෙල වැව හැඳින්විය හැකි ය.

වැව් බැමි ආරක්‍ෂා කර ගැනීම සඳහා නාච්චදූව වැව, ඒරූ වැව, වාහල්කඩ වැව, මහදිවුල් වැව, කන්තලේ වැව, යෝධ වැව සහ මාවිල් ආරු යන වැව්වල වාන්දොරටු විවෘත කර ජලය ගලා යැමට සලස්‌වා ඊට අමතරව වැව්වල ගොඩ වාන් කපා ජලය ගලා යැමට ද සලස්‌වන ලදි. මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන වැව් සංකීර්ණය පද්ධතියක්‌ වශයෙන් කළමනාකරණය කර වැව් ආරක්‍ෂා කර හානිය අවම කරගැනිණි.
 

අද සතියේ විමසුම - අමල් උඩවත්ත
විශේෂ ස්‌තූතිය-වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
අමාත්‍යංශයේ මාධ්‍ය සංවිධායක බුද්ධදාස ජයවර්ධන මහතාට