logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ඉලෙක්‌ට්‍රොaන දුසිමක්‌ අවශ්‍ය ව ඇත,
එහෙත් ඒ ඉන්ද්‍රිය ගෝචර විය යුතු ය


රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ හා රසදිය බව දැන් තහවුරු වී ඇත. එහෙත් ජලයෙහි රසදිය හා ආසනික්‌ තිබූ පමණින් ඒ පානය කරන්නන්ට වකුගඩු රෝග වැළඳෙන්නේ යෑයි නො සිතිය යුතු ය. ඒ සඳහා ජලයෙහි කිවුල් ගතිය ද බලපායි. කිවුල නොමැති ජලයට ආසනික්‌ (ආසනික්‌ යනුවෙන් මෙහි දී සඳහන් වන්නේ රසදියට වඩා ආසනික්‌ මෙහි දී ප්‍රධාන වන බැවිනි.) මුසු වූ පමණින් රජරට වකුගඩු රෝගය නො වැළඳෙයි. එහි දී කිවුල යනුවෙන් සඳහන් වන කැල්සියම්, මැග්නීසියම් ලවණ වර්ග ජලයෙහි තිබීම වැදගත් වෙයි. මේ රසායනික ද්‍රව්‍ය සිරුර තුළ (in vivo) රසායනික ප්‍රතික්‍රියා ඇති කර අදාළ සයනේට්‌ හා සයනයිට්‌ ලවණ සාදන බවට මතයක්‌ වෙයි.

රජරට වකුගඩු රෝගය පිළිබඳ අධ්‍යයන කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මගේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් කණ්‌ඩායම පමණක්‌ නො වේ. එහි දී විවිධ කණ්‌ඩායම්, ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ විවිධ ආයතන විසින් ආධාර කෙරෙන කණ්‌ඩායම්, අවුරුදු කිහිපයක සිට ඊනියා පර්යේෂණ කරන බව රහසක්‌ නො වේ. එහෙත් ඔවුන් ආසනික්‌ හා රසදිය ගැන සඳහන් කර නොමැත. ආසනික්‌ හා රසදිය ජලයට මිශ්‍ර වී ඇති බව පළමුවරට ප්‍රකාශ කරනු ලැබුයේ කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්‌ඩායම විසිනි.

කලින් ප්‍රකාශ කෙරී ඇති ආකාරයට මේ කණ්‌ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයයේ බටහිර විද්‍යා පීඨයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ, භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ හා ගණිත අධ්‍යයන අංශයේ ආචාර්යවරු ද, පේරාදෙණිය හා රජරට විශ්වවිද්‍යාලවල බටහිර වෛද්‍ය පීඨවල කථිකාචාර්යවරු ද අයත් වෙති. මෙවැනි පර්යේෂණ කණ්‌ඩායමකට ගණිත අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් සහභාගී වීම ඇතැම් රසායන විද්‍යා මහාචාර්යවරුන් ගේ මුවගට සිනහ නංවන නමුදු අප ඒ ගැන තැකීමක්‌ නො කරන්නේ ඒ මහාචාර්යවරුන්ට රජරට වකුගඩු රෝගයට හේතු කාරක ලෙස ඉදිරිපත් කිරීමට කිසිවක්‌ නොමැති නිසා පමණක්‌ නො ව ඔවුන් ගේ කාර්යයන් බොහෝ විට තාක්‍ෂණික නිලධාරීන් ගේ කටයුතුවලට එහා නො යන බැවිනි.

මේ මෙරට විශ්වවිද්‍යාලවල කෙරෙන ඊනියා පර්යේෂණවල දුබලකම පෙන්වන ලක්‍ෂණයකි. බොහෝ බටහිර රටවල ද ඊනියා විද්‍යා පර්යේෂණ, තාක්‍ෂණ නිලධාරීන් ගේ කටයුතුවලින් එහාට නො යයි. එහෙත් බටහිර රටවල සුළු හෝ සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ ඉදිරිපත් කරන, කළ හැකි විද්‍යාඥයෝ වෙති. ලංකාවේ එවැන්නකු පවා දකින්නට නැත. මෙරට ඇත්තේ ප්‍රවාද නො ව වැඩි ම වුව හොත් ප්‍රවාත (ප්‍ර-වාත) ඉදිරිපත් කරන්නන් ය.

මේ ප්‍රවාතකරුවන් ඉදිරිපත් කළ එක්‌ ප්‍රවාතයකින් කියෑවුණේ අපේ කණ්‌ඩායම ඔවුන් ගේ දත්ත සොරාගත් බව ය. එහෙත් කණ්‌ඩායමකට හෝ පුද්ගලයකුට හෝ සොරකම් කළ හැක්‌කේ ඇති දෙයකි. නැති දෙයක්‌ සොරකම් කරන්නේ කෙසේ ද යන්න මේ ප්‍රවාතකරුවන්ට තවත් ප්‍රවාතයක්‌ ඉදිරිපත් කිරීමෙන් තේරුම් කර දිය හැකි දැයි නො දනිමි. මේ ප්‍රවාතකරුවන් ගේ දත්ත පදනම්වල රජරට වැව්වල හෝ ළිංවල හෝ ඔයවල හෝ ඇළවල හෝ වෙනත් තැනක හෝ ආසනික්‌ තිබෙන බවක්‌ සඳහන් වී නැත. එසේ සඳහන් වී නො තිබුණු විට අපේ කණ්‌ඩායමට ආසනික්‌ ලැබුණේ ඔවුන් ගෙන් යෑයි කියන්නේ කෙසේ ද?

එහෙත් අපේ කණ්‌ඩායමට වචනාර්ථයෙන් නො වූවත් ආසනික්‌ දී අපේ අධ්‍යයනය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නෝ වෙති. ඔවුහු මහාචාර්යවරු වුව ද අඟුටුමිට්‌ටෝ ම පමණක්‌ වෙති. එහෙත් ඔවුන් පසුපස ජාත්‍යන්තර බලවේග සිටින බවත් මේ ඇතැම් ප්‍රවාතකරුවන් දැනටමත් ජාත්‍යන්තර බලවේග සමඟ සම්බන්ධකම් පවත්වන බවත් අපි දනිමු. රාජ්‍ය නො වන සංවිධාන ඇතුළු මේ බලවේගවලට ද අද අවශ්‍ය වී ඇත්තේ ඔවුන් විසින් ශිෂ්‍යත්ව, අධිශිෂ්‍යත්ව ආදිය දී පුහුණු කරවනු ලැබූ මේ අඟුටුමිටු ප්‍රවාතකරුවන් ලවා අපට විරුද්ධව කරුණු ගෙතීම ය.

රජරට වකුගඩු රෝගය යනු මේ ජාත්‍යන්තර බලවේග හා බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම විසින් රජරට ජන ජීවිතය අවුල් කරනු ලැබීම නිසා රජරට වැසියන්ට වැළඳුණු රෝගයකි. බටහිරයන් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ක්‍රියා කරන්නේ කිසියම් ලෙසකින් වුවත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය රැක ගැනීමට ය. එහෙත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට ප්‍රශ්නවලට විසඳුම් නැත. එහි නියමුවන්ට කළ හැක්‌කේ ප්‍රශ්න කළමනාකරණය කිරීම පමණකි. ඊනියා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්‌සත් ජාතීන් ගේ සංවිධානය හා එහි ආයතන මේ කළමනාකරණය වෙනුවෙන් බටහිරයන් විසින් පිහිටුවනු ලැබූ සමිති සමාගම් වෙයි.

මේ සංවිධාන හා බටහිර වෛද්‍ය විද්‍යාව අද රජරට වකුගඩු රෝගය කළමනාකරණය කිරීමට උත්සාහ ගන්නා නමුත් ඔවුන්ට එය කළ නො හැකි වී ඇත. ඔවුන් සපයන ප්‍රතිපාදන යොදා ගනිමින් කෙරෙන ඊනියා පර්යේෂණවලින් කෙරෙන්නේ ද රෝගය කළමනාකරණය කිරීම මිස රෝගය සුව කිරීම නො වේ. හැරත් ඒ පර්යේෂණවලින් රෝගකාරක හෙළි නො වනු ඇත. එයට හේතුව ආසනික්‌ පොළොවට එකතු වූයේ බටහිර විද්‍යාවේ "මහිමයෙන්" බිහි කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා වීම ය. රජරට වකුගඩු රෝගයට හේතුව බටහිර දැනුම් ආධිපත්‍යය යෑයි අඟුටුමිට්‌ටන් නො කියනු ඇත. මේ අඟුටුමිටි පර්යේෂකයන්ට ආසනික්‌ හසු නො වන කල අප ඔවුන් ගේ දත්ත හොරකම් කළේ යෑයි බෙරිහන් දීම වැඩි ම වුවහොත් විහිළුවක්‌ පමණකි.

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ඊනියා කෘෂි විප්ලවය ප්‍රචලිත කිරීම සඳහා මෙරටට එවනු ලැබූ මුමා නම් ලෝක බැංකු නියෝජිතයා මෙරට කුඹුරුවලින් මීමුන් ඉවත් කර ට්‍රැක්‌ටර් හඳුන්වා දීමේ මී හරක්‌ ප්‍රවාතය ඉදිරිපත් කෙළේ ය. මී හරකා ගේ කකුලට හා හීයට පෙරළෙන පස හා ට්‍රැක්‌ටරයෙන් පෙරළෙන පස අතර වෙනස බටහිර විද්‍යාඥයන් නො දැන සිටියේ දැයි නො දනිමි. මුමා ගෙන් දශක දෙකකට පමණ පසුව අපේ ගොවීන්ට ඊනියා රට පොහොර, කෘමිනාශක, වල් නාශක ආදිය හඳුන්වා දෙනු ලැබිණි. මේ ද්‍රව්‍යවල ආසනික්‌ රසදිය ආදිය බටහිරයන් අනුමත කරන සාමාන්‍ය ප්‍රමිතියට ද වැඩි මට්‌ටමක පවතියි. බටහිර මීමුන්ට හා මූමන්ට ආසියාතික අප්‍රිකානු ජීවිතවල අගයක්‌ නැත. අප්‍රිකාවට ඒඩ්ස්‌ රෝගය ලබා දුන්නේ බටහිරයන් ය යන මතයක්‌ ද සාකච්ජාවට බදුන් වී ඇත. ඒ කෙසේ වෙතත් රජරට වකුගඩු රෝගය ඇති කිරීම පිළිබඳව රජරට ජනතාවට වන්දි ගෙවන ලෙසට බටහිර ඊනියා බහුජාතික හා වෙනත් සමාගම්වලට බල කළ යුතු ය. ඒ වන්දිය බටහිරයන් මෙරටින් ඇදගත් ලාභය මෙන් දස දහස්‌ ගුණයක්‌ විය යුතු ය. ජීවිතවලට මිලක්‌ නියම කළ නො හැකි බව ද අමතක නො කළ යුතු ය.

අප තමන් ගේ දත්ත සොරා ගත්තේ යෑයි කී මෙරට අඟුටුමිටි පර්යේෂක මහාචාර්යවරු හා ඔවුන් පසුපස යන ඊනියා බටහිර විද්‍යාඥයෝ දැන් තවත් තැටියක්‌ වාදනය කරති. ආසනික්‌ නැති දත්ත සොරාගෙන ආසනික්‌ ඇති දත්ත ප්‍රසිද්ධ කිරීමට නො හැකි බව දත් මොවුහු අප සමඟ එකතු වීමට කැමැති ආචාර්යවරුන් දුර්වල කර ඔවුන් අපෙන් ඈත් කිරීමට විවිධ උපක්‍රම යොදා ගනිති. ඔවුන් පතුරුවන එක්‌ කතාවක්‌ නම් අප ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප යොදා ගන්නා බව ය. ඔවුන් ගේ කසිකබල් බටහිර විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප නැතැයි ඔවුහු සිතති.

මෙරට විද්‍යාඥයන් යෑයි කියාගන්නා බොහෝ අය පාසලේ දී විද්‍යාඥයන් වීමේ අභිලාෂයෙන් උගත්තෝ නො වෙති. ඔවුන් ඊනියා විද්‍යාඥයන් වී ඇත්තේ අහම්බෙනි. ඔවුහු උසස්‌ පෙළ හෝ තුල්‍ය පරීක්‍ෂණයක දී හෝ බටහිර ඉංජිනේරු පීඨයකට හෝ බටහිර වෛද්‍ය පීඨයකට හෝ ඇතුළු වීමට තරම් ප්‍රමාණවත් ලකුණු නො ලැබීම හේතුවෙන් බටහිර විද්‍යාව පදනම් කරගත් වෙනත් විවිධ පීඨවලට ඇතුළු වී බොහෝ මහන්සි වී පාඩම් කර පංති සාමර්ථ්‍යය ලබා ගත්තෝ වෙති. ඉන්පසුව එලෙස ම වෙහෙස වී දර්ශන විශාරද (ආචාර්ය) උපාධියක්‌ ද ලබාගෙන ඇති ඔවුහු මෙරට විශ්වවිද්‍යාලවල හා ඊනියා පර්යේෂණ ආයතනවල වැඩ පෙන්වති. ඔවුහු තමන් විද්‍යාඥයන් යෑයි සිතා සිටිති. ඔවුන් සිතන්නේ තමන් ගේ කසිකබල් බටහිර විද්‍යාවට ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක්‌ තිබෙන බව ය.

ඔවුන් සිතන ආකාරයට ඔවුන් ගේ විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප යොදා නො ගැනෙයි. මේ සැම විද්‍යාඥයකු ම පාහේ ඉලෙක්‌ට්‍රොaන ගැන දන්නේ යෑයි සිතමි. මට ඉලෙක්‌ට්‍රොaන දුසිමක්‌ පමණ අවශ්‍ය වී ඇත. මා මේ පඬි විද්‍යාඥයන් ගෙන් ඉල්ලා සිටින්නේ මට ඉලෙක්‌ට්‍රොaන දුසිමක්‌ එවන ලෙස ය. එහෙත් එක්‌ කොන්දේසියක්‌ වෙයි. ඒ ඉලෙක්‌ට්‍රොaන ඉන්ද්‍රිය ගෝචර විය යුතු ය. බුදුන් වහන්සේ කිසාගෝතමියට කිසිවකු නො මළ ගෙදරකින් අබ ඇට කිහිපයක්‌ ගෙනෙන ලෙස දෙසූ සේක. කිසාගෝතමියට එසේ ගෙන ඒමට නො හැකි විය. එහෙත් මේ පඬි විද්‍යාඥයෝ කිසාගෝතමිය සේ නො වෙති. ඔවුහු බොහෝ විට බටහිර රටකින් විද්‍යාව පිළිබඳ දර්ශන විශාරද උපාධි ලැබුවෝ වෙති. ඔවුන් සිතන්නේ තමන් ගේ "මහේශාක්‍ය" බටහිර විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප නැති බව ය.

මේ පඬියන්ට ඉන්ද්‍රිය ගෝචර වන ඉලෙක්‌ට්‍රොaන, ඔවුන් සිතන ආකාරයට එතරම් දියුණු නැති ශ්‍රී ලංකාවෙන් ලබාගත නො හැකි නම් බටහිර රටකට ගොස්‌ අවශ්‍ය ඉලෙක්‌ට්‍රොaන ලබාගෙන පැමිණිය හැකි ය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කොන්දේසිවලට යටත් ව ලබා දීමට මා සුදානම් ය. ඇතැම් විට තමන් ආචාර්ය උපාධිය ලැබූ විශ්වවිද්‍යාලයයේ හෝ සප්තවාර්ෂික නිවාඩු ගත කළ ආයතනයක හෝ මේ ඉලෙක්‌ට්‍රොaන තිබිය හැකි ය. එහෙත් ප්‍රතිපාදන ලබා දීමට පෙර මට අදාළ විශ්වවිද්‍යාලයයේ හෝ ආයතනයේ හෝ ප්‍රධාන විධායක නිලධාරි තැන ගෙන් (ඇමෙරිකන් කළමනාකරණයේ පාරිභාෂික වචන) එසේ ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්‌ට්‍රොaන ඇති බවට නිල ලිපියක්‌ ගෙනැවිත් දිය යුතු ය. එමෙන් ම යම් ආකාරයකින් එවැනි ඉලෙක්‌ට්‍රොaන නැති ව පැමිණිය හොත් හෝ ලංකාවට නො පැමිණිය හොත් හෝ ලබා දුන් සියලු ප්‍රතිපාදන ආපසු ගෙවන බවට මෙරට ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නීතියට එකඟව ගිවිසුමකට එළඹිය යුතු ය.

එහෙත් අවාසනාවකට මෙරට ඇතැම් විද්‍යාඥයෝ ඉන්ද්‍රිය ගෝචර යන්නෙහි තේරුම වත් නො දනිති. ඔවුන් ගෙන් ඇතැමකුට අනුව දැනෙනවා යන්න ද ඉන්ද්‍රිය ගෝචර වෙයි. මේ පඬි විද්‍යාඥයන් ඉන්ද්‍රිය යනුවෙන් හඳුන්වන්නේ පංෙච්න්ද්‍රිය මිස සිතත් ඇතුළු ඉන්ද්‍රිය නො වේ. බිය යන්න දැනෙන්නේ පංෙච්න්ද්‍රියන් ගෙන් කිනම් ඉන්ද්‍රියට දැයි මේ පඬියන් ගෙන් එක්‌ අයෙකු වත් අපට කියන්නේ ද? මට මෙසේ ඇසීමට සිදු වී ඇත්තේ මේ ඇතැම් පඬියන්ට අනුව ගුරුත්වාකර්ෂණය ඔවුන්ට දැනෙන බැවින් ය. අහෝ මේ දැනෙන ඉන්ද්‍රිය අයින්ස්‌ටයින් විද්වතාට නො තිබෙන්නට ඇත. එසේ තිබිණි නම් ඔහු ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රයක්‌ (අවශ්‍ය නම් බලයක්‌) නැතැයි නො කියනු ඇත.

අයින්ස්‌ටයින් විද්වතාට නො තිබි මෙරට පඬි විද්‍යාඥයන්ට ඇති මේ ගුරුත්වාකර්ෂණය දැනෙන ඉන්ද්‍රිය ඇත්තේ සිරුරේ කොහේ දැයි දැන ගැනීමට ඊනියා පර්යේෂණයක්‌ කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇත. ඒ සඳහා කිසිවකු ඉදිරිපත් වී ඒ අසාමාන්‍ය ඉන්ද්‍රිය නිරීක්‍ෂණය කිරීමේ අවස්‌ථාව ලබා දෙන්නේ නම් ඔහුට හෝ ඇයට හෝ බටහිර රටකට ගොස්‌ ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්‌ට්‍රොaන ගෙන ඒම සඳහා ගිවිසුමකින් තොර ව ම ප්‍රතිපාදන ලබා දිය හැකි ය. ගුරුත්වාකර්ෂණය දැනෙන ඒ අසාමාන්‍ය ඉන්ද්‍රියට ගෝචර වන ඉලෙක්‌ට්‍රොaන ද තිබිය හැකි බවට මට ඉවක්‌ වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා