* logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජගත් පරිසර විමසුම 56
ධනේෂ් විසුම්පෙරුම

අනාගත ආර්ථික වර්ධනයේ සීමාව බලශක්‌ති සැපයුමයි

ලෝකයේ සියලූම රටවල අරමුණ ආර්ථික වර්ධනය තුළින් තම රටවල සංවර්ධනය අත්පත් කර ගැනීම හා ජනතාව ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ය. ඒ සඳහා ස්‌වාභාවික සම්පත් විශාල ලෙස පරිභෝජනය කෙරේ. මේ සංවර්ධන සිහිනයට සීමාවක්‌ තිබේ ද හා එසේ නම් ඒ කුමන කරුණක්‌ නිසා ද යන්න ඇතැම් විට ප්‍රශ්නයකි. පසුගියදා නිකුත් වූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව බලශක්‌ති භාවිතය ද ආර්ථික සංවර්ධනය සඳහා සෘජුව බලපාන සාධකයක්‌ බව පෙනී ගොස්‌ ඇත. මෙය බැලු බැල්මට පැහැදිලි කරුණක්‌ වුවත් මේ අධ්‍යයනය එහි ඇති සංකීර්ණ සම්බන්ධය පැහැදිලි කරයි. (මූලාශ්‍රය : (BioScience, DOI:
10.1525/bio.2011.61.1.7)

බලශක්‌තිය හා වර්ධනය අතර බැඳීම

මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ජාත්‍යන්තර බලශක්‌ති අධිකාරිය (IEA) හා ලෝක සම්පත් ආයතනයේ (WRI) දත්ත ය. එහි දී අනාවරණය වී ඇති ආකාරයට ඒක පුද්ගල බලශක්‌ති පරිභෝජනය හා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය අතර ඇති සම්බන්ධය සමාන වන්නේ සත්ත්වයින් ගේ දේහ බර හා පරිවෘත්තීය අතර ඇති සම්බන්ධයට ය. ඒ අනුව මානව නගර හා රටවල වර්ධනය සඳහාත් පැවැත්ම සඳහාත් බලශක්‌ති භාවිතය වැදගත් සාධකයක්‌ වේ. මානව ජීවන තත්ත්වය මානනය කිරීම සඳහා භාවිත කරන බොහෝ දර්ශක, බලශක්‌ති භාවිතය හා දළ දේශීය නිෂ්පාදනය සමඟ සම්බන්ධයක්‌ පෙන්වයි. නිදසුනක්‌ ලෙස කිසියම් රටක හෝ ප්‍රදේශයක සිටින වෛද්‍යවරුන් ගණන, ළමා මරණ අනුපාතිකය ආදිය පවා බලශක්‌ති භාවිතය සමඟ සම්බන්ධතාවක්‌ පෙන්වන බව මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

මේ අනුව දිනෙන් දින ඉහළ යන ජනගහනයට සාපේක්‌ෂව වර්තමාන ආර්ථික වර්ධනය ඒ හා සමානව පවත්වා ගැනීමට නම් බලශක්‌ති සැපයුම විශාල ලෙස වර්ධනය කළ යුතු ව තිබේ. දියුණුවන රටවල් දුප්පත්කමින් මුදා ගැනීමට හා ඒ ජනතාව ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය බලශක්‌තිය ද මීට ඇතුළත් ය. නිදසුනක්‌ ලෙස වර්තමාන ලෝක ජනගහනයට ම ඇමෙරිකානු වැසියන් හා සමාන ජිවන තත්ත්වයක්‌ ලබා දීමට නම් ලෝකයේ බලශක්‌ති භාවිතය අද මෙන් 5 ගුණයකින් පමණ ඉහළ නැංවිය යුතු ය. එනම් බලශක්‌ති පරිභෝජනය ටෙරාවොට්‌ 17ක සිට 77ක්‌ පමණ දක්‌වා ඉහළ නැංවීමට අවශ්‍ය ය. මේ සඳහා ජනගහන වර්ධනය ද ඇතුළත් කළහොත් 2050 දී අපේක්‌ෂිත සමස්‌ත ලෝක ජනගහනයට ම (බිලියන 9.5) වර්තමාන ඇමරිකානු ජිවන රටාව හා සමාන ජීවන රටාවක්‌ ලබා දීමට නම් බලශක්‌ති භාවිතය අද මෙන් 16 ගුණයකින් ඉහළ නැංවිය යුතු වේ. වෙනත් වචනවලින් පවසන්නේ එය ටෙරාවොට්‌ 268ක්‌ පමණ දක්‌වා ඉහළ නැංවිය යුතු වේ. ඇමෙරිකාව හා සාපේක්‌ෂව වඩා අඩු සම්පත් පරිභෝජනයක්‌ ඇති චීන වැසියකු ගේ ජිවන තත්ත්වය සමස්‌ත ලෝක ජනගහනයට ලබාදීමට පවා අද මෙන් 2.5 ගුණයක පමණ බලශක්‌ති පරිභෝජනයක්‌ අවශ්‍ය වේ.

බලශක්‌තිය සීමාකාරී වේ

මේ තත්ත්වය අත්පත් කර ගැනීම අසීරු බව පැහැදිලි ය. ලෝකයේ වර්තමාන බලශක්‌ති භාවිතයෙන් සියයට 83ක්‌ පමණ සැපයෙන්නේ පොසිල ඉන්ධනවලිනි. යෝජනා වී ඇති විකල්ප බලශක්‌ති ප්‍රභවවල ඇති වෙනත් බලපෑම් නිසා ඒවා ගැන විශාල බලාපොරොත්තු තැබීම අපහසු විය හැකි ය. තාක්‌ෂණික විසඳුම්වල ද මෙවැනි ගැටලූ පවතී. ඒ නිසා නව බලශක්‌ති සැපයුම් ලබා ගැනීමට සිදුකරනු ලබන උත්සාහයට ගැටලූ ඇති වීමේ ඉඩක්‌ තිබේ. ලෝක බලශක්‌ති භාවිතයේ අඩුවීමක්‌ සිදුවේය යන්න ද සිතීම අසීරු ය. ඒ දුප්පත් රටවල ජනතාව තම ජීවන මට්‌ටම ඉහළ නංවාගැනීම සඳහා උත්සාහ කරන අතර දියුණු රටවල ජනතාව තම සුභෝපභෝගී ජීවන රටාව අත්හැරීමට සූදානම් නැති නිසා ය. මේ අනුව අනාගත ආර්ථික වර්ධනය සඳහා බලශක්‌තිය සීමාකාරී ලෙස බලපාන බව පැහැදිලි ය. ඒ ගැන අදාළ පාර්ශ්වවල අවධානය යොමු කිරීම මේ අධ්‍යයනයේ එක්‌ අරමුණකි.

ලෝකය ඉදිරියේ ඇති අභියෝගය මෙවැන්නකි. මෙය අපට යළිත් සිහිපත් කරන්නේ 1968 දී එළි දුටු ජනගහන බෝම්බය (Population Bomb) හා 1972 දී පළ වූ වර්ධනයේ සීමා (Limits of Growth) යන කෘතිවලින් පෙන්වා දුන් කරුණ ය. එනම් වේගයෙන් වැඩිවන ජනගහනයත් සමඟ ඔවුන්ට අවශ්‍ය දේ සම්පූර්ණ කිරීම සඳහා ලෝකයේ ඇති සීමිත සම්පත් ප්‍රමාණය යොදා ගත හැකි ආකාරය ගැන ය. එහෙත් ආර්ථික මූලධර්මවල හෝ පිළිවෙත් සඳහා මේ දක්‌වා සම්පත්වල මේ සීමාකාරී ස්‌වභාවය ප්‍රාමාණික තරමින් අන්තර්ග්‍රහණය කර නොමැත.

පිරිසිදු බලශක්‌තිය විසඳුමක්‌ ද?

බලශක්‌තිය පිළිබඳ වූ බොහෝ දේ දැනටමත් සාකච්ඡාවට ලක්‌වෙමින් තිබේ. නිදසුනක්‌ ලෙස අනාගත ලෝකයේ බලශක්‌ති භාවිතය කෙබඳු වනු ඇති ද? එය පිරිසිදු බලශක්‌තියෙන් සමන්විත විය යුතු බව පැහැදිලි ය. හරිතාගාර ආචරණය හා පරිසර දූෂණය එවැනි අවශ්‍යතාවයක්‌ ඇති බව තහවුරු කර තිබේ. එහෙත් එය පහසු කරුණක්‌ ද? මේ බව එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ මහලේකම් බන් කි-මුන් පසුගියදා ප්‍රකාශ කළේ ලෝකයේ බලශක්‌ති අවශ්‍යතාවය පිරිසිදු ආකාරයෙන් සපුරා ගැනීම සඳහා ජගත් මට්‌ටමේ පෙරළියක්‌ අවශ්‍ය බව ය. ඔහු පැවසූ ආකාරයට ලෝකයේ මුළු ජනගහනයෙන් බිලියන 1.6ක පමණ පිරිසක්‌ තවමත් විදුලි සැපයුමක්‌ නොමැතිව සිටිති. මේ බලශක්‌ති සැපයුම සම්පූර්ණ කර ගැනීම සඳහා පිරිසිදු බලශක්‌තිය යොදා ගැනීමට නම් සුවිසල් පෙරළියක්‌ අවශ්‍ය බව ඔහු ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. එය හෙට දවසේ අභියෝගයයි

වැඩි ම උෂ්ණත්වයක්‌ තිබූ වර්ෂය 2010 ද?

උෂ්ණත්ව දත්ත අනුව ගත වූ 2010 වර්ෂයේ දී ලෝකයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වය ලෝකයේ මෙතෙක්‌ වාර්තා වී ඇති වැඩි ම උෂ්ණත්වයක්‌ තිබූ වර්ෂ හා සමාන විය හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) නිවේදනයකින් පෙන්වා දී ඇත. ඒ අනුව 1961-90 අතර කාලයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ගත වූ 2010 වර්ෂයේ දී ලෝකයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 0.53කින් අධික වේ. එය 1880 වර්ෂයෙන් අනතුරුව මෙතෙක්‌ වැඩි ම උෂ්ණත්වයක්‌ වාර්තා වී ඇති වර්ෂ වන 1998 වර්ෂ හා 2005 වර්ෂ හා ආසන්න වේ. මේ පිළිබඳව අවසන් ප්‍රකාශය නිකුත් වනු ඇත්තේ ලබන මාර්තු මාසයේ දී පමණ ය.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ නිවේදනය සඳහා පදනම් කරගන්නේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ පර්යේෂණායතන තුනක උෂ්ණත්ව දත්ත ආශ්‍රයෙන් සිදුකරන ලද විශ්ලේෂණයකි. ඒ නිසා මේ විශ්ලේෂණය වඩා පිළිගත හැකි ය. මේ ආයතන වන්නේ ඇමෙරිකාවේ පිහිටා ඇති නාසා ආයතනය, හා ජාතික දේශගුණ දත්ත මධ්‍යස්‌ථානය ද බ්‍රිතාන්‍යයේ කාලගුණ කාර්යාලයේ හැඩිලි මධ්‍යස්‌ථානය හා දේශගුණ පර්යේෂණ ඒකකය වේ. ලෝකය පුරා කාලගුණ මධ්‍යස්‌ථානවලින් ලබාගන්නා උෂ්ණත්ව දත්ත විශ්ලේෂණය සඳහා මේ ආයතන යොදා ගන්නා ක්‍රමවේදවල වෙනස්‌කම් නිසා ආයතන එකිනෙකෙහි සමාලෝචන අතර යම් යම් වෙනස්‌කම් දැකිය හැකි වුවත් 2010 වර්ෂය පොදුවේ ලෝකයේ ඉහළ ම උෂ්ණත්වයක්‌ ඇති වර්ෂයක්‌ ලෙස සැලකිය හැකි බව පැහැදිලි ය.

ලෝකයේ උෂ්ණත්වය ඉහළ යාම සඳහා මිනිසුන් විසින් සිදුකර ඇති හරිතාගාර වායු විමෝචන බලපා ඇති බව මේ විශ්ලේෂණය මගින් ද යළිත් තහවුරු වේ. ඉන් පෙනෙන පරිදි ලෝකයේ මෙතෙක්‌ වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වයක්‌ තිබූ වර්ෂ දහය ම වාර්තා වී ඇත්තේ 1998 වර්ෂයෙන් පසු ය. 2010 වර්ෂය අවසන් භාගයේ දී ලෝකයේ ඇතැම් ප්‍රදේශවල පැවැති අධික ශීත කාලගුණ තත්ත්වය නිසා මිහිතලය උණුසුම් වීම සැක කරන බවක්‌ ඇතැම් විට අපට දැකගත හැකි විය. වසර අවසානයේ ප්‍රබල වූ ලානිනා තත්ත්වය නිසා එවැනි තත්ත්වයක්‌ දැකිය හැකි වුවත් ඒ ලෝකයේ ප්‍රදේශ කිහිපයක පමණි. සමස්‌තයක්‌ ලෙස ගත්විට ලෝකයේ උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රවණතාවය දිගට ම පවතී. එසේ ම 2010 වර්ෂය ස්‌වාභාවික ආපදා විශාල ප්‍රමාණයක්‌ වාර්තා වූ වර්ෂයක්‌ ද වේ.

මේ දත්ත මගින් පෙන්වා දෙන්නේ මිනිසුන් විසින් සිදුකර ඇති මේ උෂ්ණත්වය ඉහළ යැම පාලනය සඳහා ක්‍රියාකාරී වීමේ අවශ්‍යතාවයි. එය යළිත් සිදුකරනු ලබන අනතුරු හැඟවීමක්‌ බඳු ය. එහෙත් මේ දක්‌වා ලෝකයේ අපට දකින්නට නොමැත්තේ ද මේ පිළිබඳ ක්‍රියාකාරී වීම ය.

පුවත් සැකෙවින්

කඳුකර ග්ලැසියර හා මුහුදු මට්‌ටම ඉහළ යැම

ලෝකයේ විවිධ ප්‍රදේශවල කඳුකර ග්ලැසියර දිය වී යැම නිසා පමණක්‌ 2100 වර්ෂය වන විට මුහුදු මට්‌ටම සෙන්ටිමීටර 12කින් පමණ ඉහළ යා හැකි බව පර්යේෂණ වාර්තාවක්‌ හෙළි කර තිබේ. ඒ වන විට මේ ග්ලැසියරවල ඇතුළත් අයිස්‌වලින් අඩක්‌ පමණ දියෑ වී යනු ඇතැයි මේ වන විට පුරෝකථනය කර තිබේ. මේ සංඛ්‍යා 2007 දේශගුණ ඇගයීම් වාර්තාව හා බොහෝ දුරට සමාන ය.

වර්තමානයේ දී පවා මුහුදු මට්‌ටම ඉහළ යැම සඳහා සියයට 40ක්‌ පමණ හේතු වී ඇති කඳුකර ග්ලැසියරවල අනාගත දායකත්වය කලාපීය වශයෙන් ගණනය කිරීමක්‌ මෙහි දී සිදු වී ඇත. මුහුදු මට්‌ටම ඉහළ යැමට අමතරව අදාළ ප්‍රදේශවල ජල සැපයුම කෙරේ ද මේ කඳුකර ග්ලැසියර මගින් ඇති කරන බලපෑම පිළිබඳව ද මෙහි දී අවධාරණය කර තිබේ. (මූලාශ්‍රය( Nature Geoscience, DOI: 10.1038/ngeo1052)

වැට එඬරු - කඩවුණු බලාපොරොත්තුව

වැට එඬරු (Jatropha curcas) ශාකය ජෛව ඉන්ධනයක්‌ ලෙස මෑත කාලයේ ලෝකයේ වැඩි අවධානයක්‌ යොමු වූ ශාකයකි. එහෙත් මේ වගාවෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳ සිදුකළ අධ්‍යයනවලින් එය තිරසර ජෛව ඉන්ධනයක්‌ නො වන බව අනාවරණය වී තිබේ.

Friends of the Earth International සංවිධානය මේ පිළිබඳව තවත් වාර්තාවක්‌ පසුගිය දා නිකුත් කළේ ය. වැට එඬරු වගාව ආර්ථික වශයෙන් ලාබදායක නො වීමට හා පරිසරයට හෝ ජනතාවට තිරසර නො වීමට හේතුවන ප්‍රධාන කරුණු දහයක්‌ එහි සම්පිණ්‌ඩනය කර තිබේ. මේ පාරිසරික හේතු සාධක අතර ජෛව විවිධත්වයට ඇතිකරන නිෂේධනීය බලපෑම හා වගාව සඳහා සැලකිය යුතු තරම් ජලය අවශ්‍ය වේ යන කරුණු මෙතෙක්‌ එතරම් අවධානයට ලක්‌ වී නො තිබිණි. (මූලාශ්‍රය: Jatropha: money doesn't grow on trees,
2010)

ආසනික්‌ තර්ජනය වියට්‌නාමයටත්

භූගත ජලය අධික ලෙස උකහා ගැනීම නිසා ජලයට ආසනික්‌ මිශ්‍ර වීම වියට්‌නාමයේ ද සිදුවෙමින් ඇති බව පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තාවක්‌ අනාවරණය කරයි. ශතවර්ෂයකටත් අධික කාලයක්‌ තිස්‌සේ එරට භූගත ජල සංචිතවලින් ජලය ලබා ගැනීම සිදු වී ඇත. මේ අධ්‍යයනයේ දී පරීක්‌ෂාවට ලක්‌ වූ නළ ළිං අතරින් සියයට 27ක ජලයේ ඇති ආසනික්‌ මට්‌ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරක්‌ෂිත මට්‌ටම ඉක්‌මවා ඇති අතර ඒ නිසා අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි ජනගහනය මිලියන 3ක්‌ පමණ වේ.

ආසනික්‌ ශරීරගත වීම නිසා ඇනීමියාව හා පිළිකා ඇතුළු රෝගාබාධ ඇති විය හැකි ය. පානීය ජලයේ අනතුරුදායක මට්‌ටමින් ආසනික්‌ අඩංගු වීම බංගලාදේශය ප්‍රමුඛව ආසියාවේ වෙනත් රටවලින් ද වාර්තා වී තිබේ. මේ වන විට ආසියාව පුරා මිලියන සියයක පමණ ජනතාවක්‌ ජලයේ ඇති ආසනික්‌ විෂවීමේ තර්ජනයට ලක්‌ වී සිටිති. (මූලාශ්‍රය: Proceedings of
the National Academy of Sciences:
DOI:10.1073/pnas.1011915108)