logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බටහිර තාක්‍ෂණයේ හා නූතනත්වයේ බළකොටු බිඳ වැටීම

රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් තවත් කිව යුතු කරුණු බොහොමයක්‌ වෙයි. එහෙත් අප මෙහි දී ප්‍රධාන වශයෙන් ම සඳහන් කරන්නේ බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය හා සිංහල බෞද්ධ චින්තනය අතර වෙනස පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණු ය. බටහිර වෛද්‍ය විද්‍යාවට රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාරයක්‌ නැති බව මෙරට බටහිර වෛද්‍ය සභාව (මෙඩිකල් කවුන්සිලය) ද පිළිගනියි. එබැවින් ම රජරට වකුගඩු රෝගීන්ට බටහිර නො වන ප්‍රතිකාර කිරීමට ද බටහිර වෛද්‍ය සභාවෙන් බටහිර වෛද්‍යවරුන්ට අවසර ලැබී ඇත.

බටහිර වෛද්‍ය සභාවෙන් සාමාන්‍යයෙන් එවැනි අවසර නො ලැබෙයි. රජරට වකුගඩු රෝගය හමුවේ බටහිර වෛද්‍ය විද්‍යාව ඉතා අසරණ තත්ත්වයකට පත් වී ඇති බව මේ අවසර දීමෙන් පැහැදිලි වෙයි. දැනටමත් රජරට පදවි ශ්‍රීපුර රෝහලෙහි බටහිර වෛද්‍යවරුන් විසින් විකල්ප ප්‍රතිකාර කෙරෙන බවත් එහි රෝගීන් කිහිප දෙනකුට එවැනි විකල්ප ප්‍රතිකාරවලින් සුවය අත් වී ඇති බවත් වාර්තා වෙයි. එහෙත් මෙරට ජනමාධ්‍යවලින් ඒ සඳහා ප්‍රචාරයක්‌ නො ලැබෙන බව ද කණගාටුවෙන් සඳහන් කළ යුතු ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ රෝහලක එවැනි තත්ත්වයක්‌ මෙතෙක්‌ තිබී නැත.

මේ බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකු විසින් කෙරෙන්නේ ඔවුනට ආධ්‍යාත්මික වශයෙන් දැනගැනීමට ලැබෙන පැරැණි සිංහල වෙදකමේ නියමිත ප්‍රතිකාර බව සඳහන් කළ යුතු ය.

පැරැණි සිංහල වෙදකම ප්‍රධාන වශයෙන් ම නිල වෙදකමක්‌ විය. එනම් සිරුරේ නිල ඔස්‌සේ කරන වෙදකමක්‌ විය. මේ නිල වෙදකමට අද කටු චිකිත්සාව යනුවෙන් හැඳින්වෙන වෙදකම ද අයත් වෙයි. කටු චිකිත්සාව කෙරෙන්නේ ද සිරුරේ නිලවලට ය. චීනයට කටු චිකිත්සාව ගෙන ගියේ ලංකාවෙන් බවට ද මතයක්‌ වෙයි.

සිංහල නිල වෙදකම අංගම්පොර හා වෙනත් යුද අභ්‍යාස සමඟ ද බැඳී ඇත. නිලය එල්ල කර දෙන පහරින් ඇතැම් විට මරණීය ප්‍රතිඵල ද අත් කර දිය හැකි ය. පැරැණි රාක්‍ෂස ගෝත්‍රිකයන් අංගම් පොරවල අති දක්‍ෂයන් වූ බව කියෑවෙයි. රාක්‍ෂසයෝ බොහෝ විට නායකයන් ගේ (රජවරුන් ගේ) ආරක්‍ෂකයෝ වූ හ. ගැමුණු රජු ගේ ප්‍රධාන ආරක්‍ෂකයා වූ ද ප්‍රධාන සෙනෙවියා වූ ද නන්දිමිත්‍ර සෙනෙවි රාක්‍ෂස ගෝත්‍රයට (එකල ඔවුන් සිංහල වී සිටිය ද කුල ශ්‍රේණි පවත්වාගෙන යැමට ඒ බාධාවක්‌ නො වී ය) අයත් වූ ද අංගම් පොරවල අති දක්‍ෂ වූ තැනැත්තෙක්‌ විය. අද ද රජරට ඇතැම් ප්‍රදේශවල අංගම් පොරවල දක්‍ෂයෝ තම දස්‌කම් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන සිටිති.

රාක්‍ෂස යන වචනයෙහි රක්‍ෂා කිරීම, රැකීම යන අදහස්‌ ගැබ් වී ඇත. රකුස්‌ යන්නට අද භාවිත කරන දරුණු, බියකරු ආදී අර්ථ දෙන්නට ඇත්තේ රකුසන් ගේ සතුරන් බව පැහැදිලි ය. සිංහලයේ විරුද්ධකාරයෝ අද සිටින රාජ්‍ය නො වන සංවිධානවල සාමාජිකයෝ පමණක්‌ නො වෙති. එදා ද "රාජ්‍ය නො වන සංවිධානවල" පඬියන් විවිධාකාරයෙන් සිංහලයන්ට විරුද්ධ ව කටයුතු කර ඇති බව පැහැදිලි ය.

ගැමුණු රජුට දුටුගැමුණු යන නම ආරෝපණය කරන්නට ඇත්තේ ද එකල විසූ "රාජ්‍ය නො වන සංවිධානවල සාමාජිකයන්" වන්නට ඇතැයි අපි කලකට පෙර කීවෙමු. එළාර ධාර්මික අයකු ලෙස ප්‍රචාරය කිරීමත් බෝධිසත්ත්වයාණන් වහන්සේ කෙනකු (මෛත්‍රී බෝසතුන් වහන්සේ) බව පැහැදිලි ගැමුණු රජු දුෂ්ට යන විශේෂණයෙන් හඳුන්වා දීමත් එකල විසූ සිංහල බෞද්ධ විරෝධීන් ගේ ක්‍රියාවක්‌ බව පැහැදිලි ය. එහෙත් අවාසනාව අවුරුදු දෙ දහස්‌ දෙසීයකට පමණ පසු වත් සිංහල බෞද්ධයන් ද තවමත් එවැනි මතයක්‌ දැරීම ය. සමාජගත කරන ලද මතයක්‌ ජනතාව ගේ සිත් සතන්වලින් ඉවත් කිරීම පහසු කාර්යයක්‌ නො වේ. අප ගැමුණු රජතුමාට දුටුගැමුණු යන නම යෙදීම අත්හැරීමට ජනතාවට කියා දිය යුතු ය.

අද ද මහින්ද රාජපක්‍ෂ මහතා යුද අපරාධකරුවකු ලෙස හැඳින්වීමටත් බටහිරයන් විසින් පෝෂණය කරනු ලැබූ ප්‍රභාකරන් නම් ත්‍රස්‌තවාදියා එළාර වැනි ඊනියා ධාර්මිකයකු ලෙස හැඳින්වීමටත් බටහිර සිංහල බෞද්ධ විරෝධීහු උත්සාහ ගනිති. මෙරට සිටින පඬියන් ද ඒ මතය ඉදිරියට ගෙන යැමට නො කරන දෙයක්‌ නැත. දෙමළ ජාතිවාදයේ මතවාද බිඳ දමා ඇති නමුත් දෙමළ ජනයා ගේ සිත් සතන්වල සිංහල බෞද්ධයන් තමන්ට අසාධාරණයක්‌ කළ බවට අදහසක්‌ තැන්පත් වී ඇත. මේ අදහස අඩු ම තරමින් දෙමළ දරුවන් ගෙන් ඉවත් කිරීමට අප උත්සාහ ගත යුතු ය.

අද බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට ප්‍රධානතම අභියෝගය එල්ල වී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනයෙන් හා සංස්‌කෘතියෙනි. එබැවින් සිංහල බෞද්ධ සංස්‌කෘතිය නැසීම සඳහා අද ද බටහිරයෝ දෙමළ හින්දු ජනයා යොදා ගැනීමට වෙර දරති.

2012 ලෝක විනාශය ගැන අපි පසුගිය දිනෙක සඳහන් කෙළෙමු. මේ ලෝක විනාශය යනු අන් කිසිවක්‌ නො ව බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ කඩාවැටීම විය හැකි බව ද ප්‍රකාශ කෙළෙමු. මේ කියන ලෝක විනාශය සම්බන්ධයෙන් බටහිරයන් කැළඹීමට පත් වී ඇති බව පැහැදිලි ය. පසුගිය දිනෙක කොළඹ නගරයේ ඇතැම් තැන්වල කැලිෆොaනියාව තම මධ්‍යස්‌ථානය කරගත් සුද්දන් (සුදු හම ඇති බටහිරයන්) පිරිසක්‌ බෙදා හැර ඇති පත්‍රිකාවකින් කියා ඇත්තේ ලෝක විනාශය 2012 දී නො ව 2011 දී සිදු විය හැකි බවත් එහෙත් යාඥ කිරීම් මගින් ඒ නවතා ගත හැකි බවත් ය. ඔවුන් ලෝක විනාශය 2012 දී නො ව 2011 දී වන බව කියන්නේ මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයට අනුව නො ව බයිබලයට අනුව ය. බයිබලයට අනුව 2011 මැයි මස 21 වැනි දා අවසාන විනිශ්චය දෙන දිනය යෑයි ඔවුහු විශ්වාස කරති. 2600 වැනි සම්බුද්ධ ජයන්තිය 2011 මැයි 17 වැනි දාට යෙදී ඇති බව අමතක නො කළ යුතු ය.

ලෝක විනාශයක්‌ වනු දැකීමට අපි දූ අකැමැති වෙමු. එහෙත් අපි සුද්දන් ගේ යාඥවන්ට සහභාගී නො වෙමු. බටහිරයන් කොළඹ වැනි නගරයක ද පත්‍රිකා බෙදීමෙන් බලාපොරොත්තු වන්නේ මුළු ලෝකය ම එක ම අවුලක්‌ බවට පත් කළ ඔවුන් ගේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය රැකගැනීම සඳහා මෙරට වැසියන් ද, ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධන් ද සහභාගී කරගැනීම ය. අපි එයට එකඟ නො වෙමු. අපට අවශ්‍ය වන්නේ ඊනියා ලෝක විනාශයක්‌ නො ව බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය, (ඒ සමඟින් ධනපති ක්‍රමය ද) පරාජය කිරීම ය. මාක්‌ස්‌වාදීන් මෙන් ධනපති ක්‍රමය පරාජය කර බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ඉදිරියට ගෙන යැමට අප සූදානම් නැත.

බොහෝ දෙනා විශ්වාස නො කළ ද, මෙලොව වැඩ කටයුතුවලට දෙවියෝ ද සහභාගී වෙති. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි කිසි විටෙක දෙවියන් නැතැයි කියා නැත. අපි දෙවියන්ට පිං දෙමු. බුදුන් වහන්සේ ගෙන් බණ ඇසීමට දෙවියන් රාත්‍රියෙහි ආලෝකය විහිදුවමින් ඡේතවනාරාමයට පැමිණි බව අපි කුඩා කල සිට ම දන්නෙමු. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි දෙවියන්ට කළ හැකි කාර්යයන් බොහෝ වෙයි. සක්‌ දෙවිඳු මිනිස්‌ ලොවට බැස අප මහ බෝසතාණන් වහන්සේට ආධාර කළ අවස්‌ථා ගැන බෞද්ධ පොතපතෙහි සඳහන් වෙයි. එහෙත් දෙවියන්ට අපට නිවන් අවබෝධ කරවීමට නො හැකි ය.

බයිබලය යනු යෙහෝවා නම් දෙවි කෙනකු මිනිසකුට කී කතා සටහන් කළ පොතක්‌ ලෙස පිළිගැනීම අපහසුවක්‌ නැත. (එවැනි කතා අදත් ඇතැම් දෙවිවරුන් මිනිසුන්ට කීම දුලබ නො වන බව පමණක්‌ දැනට සඳහන් කරමි). එහෙත් යෙහෝවා යනු තවත් දෙවි කෙනකු මිස ලෝකය මැවී යෑයි කියන දෙවියන් වහන්සේ නමින් හැඳින්වන්නෙක්‌ නො වේ. බයිබලය යනු යෙහෝවා නම් දෙවියන් මිනිසකුට කී කතා අඩංගු පොත වන්නා සේ ම යේසුස්‌ වහන්සේ ද ඇතැම් බටහිරයන් කියන පරිදි ක්‍රිස්‌තුස්‌ නම් දෙවි කෙනකු විසින් යම් කාර්යයක්‌ සඳහා මෙලොවට එවනු ලැබූ වෙනත් දෙවි කෙනකු විය හැකි ය. යේසුස්‌ වහන්සේ හා ක්‍රිස්‌තුස්‌ නම් දෙවියන් අතර වූ සම්බන්ධය යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ යන නමෙන් ද, යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ වරෙක තමන් දෙවියන් වහන්සේ ගේ පුතා ලෙසත් වරෙක තමන් දෙවියන් වහන්සේ ලෙසත් හඳුන්වා දීමෙන් ද පැහැදිලි වෙයි. මේ පිළිබඳ තවත් විස්‌තර පසුව සඳහන් කිරීමට අදහස්‌ කරමි.

කෙසේ වෙතත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ පසුබෑම ඊනියා දෙවැනි ලෝක යුද්ධය සමයේ සිට ම විද්‍යමාන වෙයි. එතැන් සිට ලෝකය පත්වාගෙන යනු ලබන්නේ බටහිර තාක්‍ෂණයේ මහිමයෙන් ය. බටහිර විද්‍යාවේ අතුරු ඵලයක්‌ ලෙසින් ද සැලකිය හැකි බටහිර තාක්‍ෂණය, විශේෂයෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව, පසුගිය සමයෙහි බටහිර විද්‍යාව ද පසු කර ගියේ ය. එහෙත් බටහිර තාක්‍ෂණය ද අද කෙළවරකට පැමිණ ඇත. රජරට වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර නැති වුව ද, සිංහල නිල වෙදකමේ ප්‍රතිකාර ඇත. අද රජරට පදවි ශ්‍රීපුර රෝහලේ ඒ බව ඇස්‌ පනාපිට දැකගත හැකි ය. රජරට වකුගඩු රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවට තේරුම්ගත නො හැකි වුවත් සිංහල නිල වෙදකමට අනුව එය ජලයේ කිවුල හා එහි ඇති ආසනික්‌ හා රසදිය නිසා ඇති වන, සෛල හා සම්බන්ධ රෝගයකි. පසුගිය අවුරුදු හැට පහක පමණ කාලයක බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය මූලික වශයෙන් ක්‍රියා කර ඇත්තේ තමන්ට ඇති ප්‍රධාන ම අභියෝගය වූ බෞද්ධ සංස්‌කෘතීන් විනාශ කර දැමීමට ය. සිංහල බෞද්ධ සංස්‌කෘතිය පැතුරුණු වියට්‌නාමය, කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, මියන්මාරය විනාශ කිරීමට ඔවුන් නො කළ දෙයක්‌ නැත. එහෙත් ඔවුන් ගේ ආක්‍රමණයට වඩාත් ම ගොදුරු වී ඇත්තේ ජපානය, දකුණු කොරියාව වැනි මහායාන රටවල් ය. දකුණු කොරියාව අද මුළුමනින් ම මෙන් ක්‍රිස්‌තියානි වී ඇමෙරිකාවේ යටත්විජිතයක තත්ත්වයට පත් වී ඇත. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ නායකත්වය එංගලන්තයෙන් ඇමෙරිකාවට මාරු විය. කැලිෆොaනියාව ආශ්‍රිතව ක්‍රියාත්මක වන බෝර්න්, අගේන් වැනි ක්‍රිස්‌තියානි ව්‍යාපාර ද ඇමෙරිකානුවන් ගේ නිර්මාණ වෙයි.

ලංකාවේ ද මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙයි. එහෙත් එහි දී තවමත් ආගමික කෙසේ වෙතත් දේශපාලන නායකත්වය දරන්නේ එංගලන්තය ය. ඒ සඳහා ඇමෙරිකාවේ නොමඳ සහාය එංගලන්තයට ලැබෙයි. මෙරට විවිධ ඊනියා නූතන ක්‍රිස්‌තියානි ව්‍යාපාර බෞද්ධයන් ක්‍රිස්‌තියානීන් බවට හැරවීමට විවිධාකාරයෙන් කටයුතු කරද්දී පසුගිය අවුරුදු හැටක පමණ කාලයක්‌ තිස්‌සේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය සංවිධානාත්මක ව චෙල්වනායගම් නම් දෙමළ ක්‍රිස්‌තියානි නායකයා ඔස්‌සේ ඉංගිරිසි කතා නො කරන දෙමළ ජනතාව සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව කටයුතු කිරීට යොදා ගැනීමට උත්සාහ ගත්තේ ය. ඒ උත්සාහය හැත්තෑවේ දශකයේ ඵල දැරීමට පටන් ගත්තේ ය. විවිධ රාජ්‍ය නො වන සංවිධාන, ඊනියා සාම සංවිධාන, වර්ල්ඩ් විෂන් වැනි ආයතන මෙහි දී ප්‍රධානත්වය ගත්තේ ය. රජරට වකුගඩු රෝගය ද බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ සිංහල බෞද්ධ විරෝධී හා අන් සංස්‌කෘතික විරෝධී ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි. පසුගිය අවුරුදු පනහක හැටක කාලයෙහි විශේෂයෙන් ම රජරට ගොවිතැනට කෘෂි රසායනික ද්‍රව්‍ය හඳුන්වා දී සිංහල බෞද්ධ ජනතාව ගේ ජීවන රටාව වෙනස්‌ කරමින් ඔවුන් විසින් කරන ලද්දේ එක්‌ අතකින් එකල ඊනියා මායිම් ගම්මාන යනුවෙන් හැඳින්වූ ප්‍රදේශවල සිංහල බෞද්ධ ජනතාව නැති කිරීම ය. අද ඒ සියල්ල බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට පාරාවළල්ලක්‌ බවට පත් වෙමින් ඇත. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ බටහිර වෛද්‍ය විද්‍යාවට නැති වූ පළමු බළකොටුව පදවි ශ්‍රීපුර රෝහල ය. එහෙත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට අරලියගහ මන්දිරය නැති වී ටික කලකි. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ඒ සියල්ල ආපසු ගැනීමට උත්සාහ දරනු ඇත. අපි වහා ම බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ විජිතපුර බළකොටුව ද බිඳීමට සැරසෙමු.

මහාචාර්ය නලින් ද සිල්වා