logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


රජරට වකුගඩු රෝගය හා අපේ ශක්‌තිය

කාලය පිළිබඳව කතා කරන විට වෙලාව ගැන ද කතා කිරීමට සිදු වන බවත් වෙලාව යනු යම් සිද්ධි දෙකක්‌ අතර කාල ප්‍රාන්තරය බවත් පැහැදිලි යෑයි සිතමු. යම් දිනයක දැන් වෙලාව රාත්‍රි අට යෑයි අප කිව හොත් ඉන් හැඟී යන්නේ එදින හිරු මුදුන් වීමේ (එදින වඩාත් ම මුදුන් වීමේ) සිට ඒ වන විට පැය අටක කාල ප්‍රාන්තරයක්‌ ගෙවී ඇති බව ය. මහා පිපුරුම අවුරුදු බිලියන 13.7කට පෙර සිදු විණි ය යන්නෙන් මහා පිපිරුම හා අද අතර කාල ප්‍රාන්තරය අවුරුදු බිලියන 13.7ක්‌ බව කියෑවෙයි. සිංහලයෙහි එසේ කාලය හා කාලය මැනීමට (සිද්ධි දෙකක්‌ අතර කාල ප්‍රාන්තරය මැනීමට) වචන දෙකක්‌ (කාලය හා වේලාව) ඇති නමුත් ඉංගිරිසියෙහි ඒ සඳහා ඇත්තේ එක්‌ වචනයක්‌ පමණකි. ඒ ටයිම් (Time) යන වචනයයි.

එහෙත් ඉංගිරිසියෙහි ඒ වචන යොදන ආකාරය අනුව එයට කාලය යන අර්ථය හා කාල ප්‍රාන්තරය (වෙලාව) යන අර්ථය ලැබෙයි. ඉංගිරිසියෙන් වට්‌ ඉස්‌ ටයිම් (What is time) යනුවෙන් ඇසුව හොත් එයින් ප්‍රශ්න කරන්නේ කාලය යනු කුමක්‌ ද යන්න ය. අනෙක්‌ අතට වට්‌ ඉස්‌ ද ටයිම් (What is the time) යනුවෙන් ඇසෙන්නේ වෙලාව කීය ද යන්න ය. එය එක්‌තරා ආකාරයකින් කාලය හා නිශ්චිත කාලය ගැන කතා කිරීමට, ඇසීමට සමාන වෙයි. ඉංගිරිසින්ට වඩා හොඳින් කාලය හා එහි මැනීම පිළිබඳ අවබෝධයක්‌ තිබුණු සිංහලයන්ට ඒ දෙක දෙකක්‌ ලෙස සිතීමට පැහැදිලි වෙනස්‌ වචන දෙකක්‌ තිබිණි. සිංහල බෞද්ධයන් අඩු ම තරමින් බුද්ධඝෝෂ හිමියන් ගේ කාලයේ සිට කාලය යනු පඤ්ඤත්තියක්‌ බව දැන සිටියේ යෑයි කිව හැකි ය.

මේ වෙනස්‌කම්වලට හේතුව සංස්‌කෘතිය ය. අපි සංස්‌කෘතික වෙනස්‌කම් නිසා සංකල්ප වෙනස්‌ වන ආකාරය පෙන්වීමට උදාහරණ ගෙනහැර දැක්‌වීමු. අපි එහි දී ශක්‌තිය හා එනර්ජි (Energy) පිළිබඳව ද කතා කෙළෙමු. මේ ගැන තවදුරටත් කතා කිරීමට දැන් අවස්‌ථාව එළඹී ඇත. රජරට වකුගඩු රෝගය ගැන බොහෝ දෙනා කතා කරති. ඒ පිළිබඳ ඇතැමුන් බටහිර විද්‍යාවට අනුකූලව ඊනියා පර්යේෂණ ද අරඹා ඇත. මේ ඇතැම් ඊනියා පර්යේෂණවල ප්‍රතිඵල ද ප්‍රචාරය වෙමින් පවතියි. ඒ පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්‌සත් ජාතීන් ගේ සංවර්ධන බැංකුව ආදියෙන් අරමුදල් ද ලැබෙයි. මේ පර්යේෂණ සඳහා ඉදිරි කාලයට මුදල් වෙන් කිරීම පිළිබඳ සාකච්ජාවක්‌ ඊයේ (ජනවාරි 18 වැනි දා) පැවැත්වීමට නියමිත ව තිබිණි.

එහෙත් මා දන්නා තරමින් ඒ එක්‌ පර්යේෂණයකින් වත් රජරට වකුගඩු රෝගීන් සුව කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ සෙවීමට උත්සාහ නො කෙරෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවට තවමත් ඒ රෝගීන් සඳහා වූ ප්‍රතිකර්මයක්‌ නැත. බටහිර වෛද්‍ය විද්‍යාව කෙසේ වත් රෝගීන්ට ප්‍රතිකාර නො කරයි. එහි ප්‍රතිකාර කෙරෙන්නේ රෝගවලට මිස රෝගීනට නො වේ. මා මෙහි දී කීමට අදහස්‌ කරන්නේ ඔවුන් ගේ බසින් ම නම් බටහිර වෛද්‍ය විද්‍යාවට රජරට වකුගඩු රෝගයට ප්‍රතිකාරයක්‌ නොමැති බව ය. බටහිර විද්‍යාව සාමාන්‍ය ජනයා අතරට යන්නේ එහි ව්‍යවහාරික විද්‍යාවන් වූ බටහිර වෛද්‍ය විද්‍යාවේ හා බටහිර ඉංජිනේරු විද්‍යාවේ ඊනියා දියුණුව හේතු කොටගෙන මිස නිව්ටන් ගේ හෝ අයින්ස්‌ටයින් ගේ හෝ නියම හේතු කොටගෙන නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව නො වන්නට බටහිර නූතනත්වයට සාපේක්‍ෂව නම් පසුගාමී රටක්‌ වූ ලංකාවේ බටහිර විද්‍යාවට කිසිදු තැනක්‌ නො ලැබෙනු ඇත.

අද ද මෙරට බොහෝ දක්‍ෂ යෑයි කියන සිසුන් (එනම් උසස්‌ පෙළ පරීක්‍ෂණය ද ඇතුළු පරීක්‍ෂණවලින් වැඩි ලකුණු ගන්නා සිසුන්) සියලු දෙනා ම පාහේ ඉංජිනේරු හා වෛද්‍ය පීඨවලට ඇතුළත් විමට ප්‍රමුඛතාව දෙන්නේ රැකියා බලාපොරොත්තුවෙන් මෙන් ම මෙරට එවැනි දක්‍ෂ යෑයි කියන සිසුන් ද සාමාන්‍ය ජනයා අයුරින් සිතමින් බටහිර ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යා ප්‍රාතිහාර්ය යෑයි සැලකීමෙන් ද යෑයි කිව හැකි ය. ඊනියා දක්‍ෂ සිසුන්ට ද බටහිර විද්‍යාවේ "උසස්‌ බව" පෙනෙන්නේ බටහිර ඉංජිනේරු විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවෙහි ය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය සම්බන්ධයෙන් ගත් කල මෙරට ඊනියා දක්‍ෂ සිසුන් ද සිතන්නේ සාමාන්‍ය ජනයා සිතන අයුරින් ය. රජරට වකුගඩු රෝගයට හේතුව නිව්ටන් ගේ නියම ඉංජිනේරු විද්‍යාවේ යෙදීමෙන් කළ හැකි දෙයක්‌ නො වේ.

රජරට වකුගඩු රෝගය ගැන චින්තන පර්ෂදයේ අපි ද අවුරුදු හතරක පමණ කාලයක්‌ තිස්‌සේ විමසිල්ලෙන් පසුවෙමු. පළමුව එය පැතුරුණේ එකල මායිම් ගම්මාන යෑයි හැඳින්වුණු ගම්වල ය. අද මායිම් ගම්මාන යන පද රාජ්‍ය නො වන ආයතනවල පඬියන් යොදාගනු දැකිය නොහැකි ය. කෙසේ වෙතත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ නිවට දාසයන් වූ මොවුන් ද විශ්වවිද්‍යාලවල උගන්වන එවැනි ම වූ පඬියන් ද ඔවුන් දැන් අරක්‌ගෙන සිටින මෙරට දැනුම් ක්‍ෂෙත්‍රයෙහි කේන්ද්‍රයෙහි සිට මායිමට තල්ලු කිරීම අපේ ප්‍රධාන අරමුණක්‌ වෙයි. අපි දු රජරට වකුගඩු රෝගය පැතිරීම පිළිබඳ විවිධ උපකල්පන කෙළෙමු. එහි දී විශේෂයෙන් ම ඒ රෝගය ඊනියා මායිම් ගම්මානවල පැතිරීම අපේ සැකයට තුඩු දෙන්නක්‌ විය. ඒ ගම්මානවලින් සිංහලයන් පන්නා දැමීම සඳහා යම් වසක්‌ මිශ්‍ර කෙරෙන්නේ ද යන්න සොයා බැලීමට අපි උනන්දු වීමු. එහි දී ප්‍රායෝගික වශයෙන් ක්‍රියාකාරී වූයේ වෛද්‍ය චන්න ජයසුමන මහතා ය.

එහෙත් වැඩි කල් නො ගොස්‌ ම වැව් හා වෙනත් ප්‍රභවවල අප සැලකූ විස වර්ගවල සාන්ද්‍රතාව අප සිතු පමණට නොමැති බව අපට වැටහිණි. ඉන්පසු දැනට ටික කලකට පෙර රජරට වකුගඩු රෝගය ගැන සොයා බැලීමටත්, ඒ රෝගීනට ප්‍රතිකාරයක්‌ දැන ගැනීමටත්, රෝගයේ හේතුකාරක නැති කිරීමටත් කටයුතු කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්‌ඩායමක්‌ පිහිටුවා ගත්තෙමු. එය මූලික වශයෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයයේ බටහිර විද්‍යා පීඨයේ මගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ නමුදු එම විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාඥයන්ට, උද්භිද විද්‍යාඥයන්ට, ගණිතඥයන්ට (ගණිතමය ආකෘතියක්‌ නිර්මාණය කිරීමට) අමතරව රජරට හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල බටහිර වෛද්‍යවරු ද එහි සාමාජිකයෝ වෙති. මගෙන් ඒ කණ්‌ඩායමට ශාස්‌ත්‍රීය වශයෙන් ලැබෙන ප්‍රදානයක්‌ නැත. මම අදාළ විෂයයන්හි ඊනියා විශේෂඥයෙක්‌ නො වෙමි.

එහි දී අපට පෙනී ගිය කරුණු බොහොමයකි. ඒ පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ කිරීමට මම බලාපොරොත්තු නො වෙමි. එහෙත් දැනට බටහිර විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් රෝගකාරක යෑයි සිතන, සිතූ, ෆ්ලෝරයිඩ්, කැඩ්මියම්, නීල හරිත ඇල්ගී ආදියෙහි රජරට ජලයෙහි සාන්ද්‍රතාව අද රජරට පවතින ආකාරයෙන් රෝගය පැතිරීමට තරම් ප්‍රමාණවත් නො වන බව අපේ මූලික විශ්ලේෂණවලින් හෙළිදරව් වෙයි. මේ රසායනික ද්‍රව්‍ය ජලයෙහි ඇති බව නිගමනය කළ කණ්‌ඩායම් රෝගීන් සුව කිරීම කෙරේ තම අවධානය යොමු කර නොමැති බව ද සඳහන් කළ යුතු ය. කෙසේ වුවත් හරිත ඇල්ගී නම් යම් ප්‍රමාණයක්‌ ජලයෙහි තිබෙන බවත් එය නීල හරිත ඇල්ගී ලෙස හඳුනා ගැනීමේ ඉඩකඩක්‌ ඇති බවත් අපේ උද්භිද විද්‍යාඥයෝ පිළිගනිති.

අපේ කණ්‌ඩායම නිරත වන්නේ අනෙක්‌ කණ්‌ඩායම්වලට වඩා පළල් අරමුණු සහිතව පුළුල් වපසරියක ය. අපට වඩාත් ම වැදගත් වන්නේ රෝගීන් සුව කිරීම ය. අප අපේ විද්‍යාව සොයා යන ගමන ද අමතක කර නැත. එකතු කෙරෙන හෝ එකතු කරන හෝ රසායන ද්‍රව්‍ය මගින් වැව්වල හෝ ළිංවල හෝ ජලයේ රසායන සංයුතිය වෙනස්‌ වීම යනු අපට එක්‌ සාධකයක්‌ පමණකි. අපට පරිසරයේ පස මෙන් ම වෘක්‍ෂලතා ද වැදගත් වෙයි. අපට වැව් තාක්‍ෂණය ද වැදගත් වෙයි. එහෙත් ඒ නිව්ටන් ගේ නියමවලින් විස්‌තර කිරීමට නො වේ. අපි එසේ කිරීමට තරම් අඳබාලයෝ නො වෙමු. අවුරුදු විසි පහක්‌ වෙහෙස දරමින් ඉවසීමෙන් අපේ වැව් තාක්‍ෂණය හා අනෙක්‌ තාක්‍ෂණ හා විද්‍යා දැනගැනීමට අප ගත කළ කාලය අපතේ යැමක්‌ නො වන බව අපි දනිමු. තවත් අවුරුදු කිහිපයක්‌ ඉවසීමට නොහැකි ව නිව්ටන් ගේ තුරුල්ලට ගිය දෙතුන් දෙනාට අපි අනුකම්පා කරමු. නිව්ටන් සමඟින් ඔවුන් ගේ අනුකාරක අදහස්‌ ද ලන්ඩනයේ වෙස්‌ට්‌මිනිස්‌ටර් පල්ලියේ හා කේම්බ්‍රිඡ්හි ත්‍රිත්ව විද්‍යාලයේ මිහිදන් කිරීමට කාලට එළඹී ඇත.

අපි අවුරුදු විසි පහක පමණ කාලයක්‌ තිස්‌සේ එකල දිවයින බදාදා අතිරේකයෙහි පළ වූ මුදියන්සේ තෙන්නකෝන් මහතා ගේ ලිපි ඇසුරෙන් වැව් තාක්‍ෂණය පිළිබඳව යමක්‌ දැන සිටියෙමු. වැව් තාවුල්ල, ජල පෝෂිතය, කුළු වැව්, නිවුන් වැව් ආදිය ගැන මුදියන්සේ තෙන්නකෝන් මහතා විස්‌තර කෙළේ නිව්ටන් ගේ නියම ආධාර කරගනිමින් නො වේ. අද අපි එයට ද වඩා වැව් තාක්‍ෂණය ගැන දනිමු. මා ද කලක්‌ සිතා සිටියේ වැව් තාක්‍ෂණය යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් ලැබුණු එකක්‌ ලෙස ය. එහෙත් එය වැරැදි බව දැන් දනිමි. වැව් තාක්‍ෂණය අපට නාගයන් ගෙන් ලැබී ඇත. වැව් නිර්මාණය සිංහල, දේව, නාග එකතුවකින් කෙරුණක්‌ බවත් වැව් ආශ්‍රිතව ක්‍රමානුකූලව වෘක්‍ෂලතා රෝපණය කළ බවත් අපි දැන් දනිමු. මෑතක්‌ වන තුරු ම ළිං ආශ්‍රිත ව කුඹුක්‌ ගස්‌ තිබුණේ ද පස, ජලය හා වෘක්‍ෂලතා අතර තිබූ සම්බන්ධය සිහිගන්වමිනි. වෘක්‍ෂලතා, පස ආදිය ඉවත් කර වැව ගැන අධ්‍යයනය (නිවැරැදිව කියන්නේ නම් ධ්‍යයනය-භාවනාවෙන් යන අරුතෙන්) කළ හැකි නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට රජරට වකුගඩු රෝගය ගැන කිසි ම හෝඩුවාවක්‌ නැත. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සාමාන්‍යයෙන් වකුගඩු රෝගය වැළඳීමට හේතු වන දියවැඩියාව, රුධිර පීඩනය ආදිය රජරට වකුගඩු රෝගීන් ගෙන් විද්‍යමාන නො වේ. රජරට වකුගඩු රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව රෝගකාරකය හඳුනා නො ගත්- නාඳුනන කාරක විද්‍යාවක්‌ (unidentified etiology) සහිත රෝගයකි. එහෙත් අපේ රසායනික විද්‍යාඥයන් දැනටමත් දන්නා කාරක කිහිපයක්‌ වෙයි. ඒ අතර රජරට ජලයේ ඇති ආසනික්‌ හා රසදිය, කිවුල ආදිය වෙයි. එමෙන් ම රජරට නැති කරන ලද වෘක්‍ෂලතා ද එහි බලපාන බව අපේ උද්භිද විද්‍යාඥයන් ගේ මූලික විශ්ලේෂණවලින් හෙළි වී ඇත.

අපේ කණ්‌ඩායමේ බටහිර වෛද්‍යවරු ආසනික්‌ වස වීමෙන් රෝගාතුර වූවන් ගේ රෝග ලක්‍ෂණ රජරට වකුගඩු රෝගීන් ගේ ද දකිති. බංගලිදේශය විශේෂයෙන් ම ආසනික්‌ වස වීමෙන් රෝගීන් වූ ජනයා විශාල වශයෙන් දැකිය හැකි රටකි. රජරට වාසය කරන ජනතාව ගේ හා බංග්ලාදේශයේ ජනතාව ගේ ජානවල සමීප බවක්‌ ද එයට හේතුවක්‌ විය හැකි දැයි නො දනිමි. එහෙත් අපි බටහිරයන් මෙන් හුදෙක්‌ (රසායනික ද්‍රව්‍ය වූ ජාන ද ඇතුළුව) ද්‍රව්‍යවල ඇති හෝ ඇති වන හෝ වෙනස්‌කම් හා සමානකම් මත පමණක්‌ අපේ හැදෑරීම නො කරමු. අපේ ශක්‌තිය යන සංකල්පය යාන්ත්‍රික, විද්යුත් චුම්බක, රසායනික ආදී ශක්‌තිවලට පමණක්‌ සීමා නො වේ. මිනිසුන් ගේ ආධ්‍යාත්මික ශක්‌තිය ද අපේ විද්‍යාවට අනුව ශක්‌ති විශේෂයකි. අපේ විද්‍යාවේ ශක්‌ති සංස්‌ථිති නියම නැත. අද ලෝකයේ ඇති වන දේශගුණික හා වෙනත් විපර්යාසවලට මිනිසුන් ගේ ආධ්‍යාත්මික ශක්‌තිය පිරිහීම ද ප්‍රධාන හේතුවක්‌ වෙයි. මනුෂ්‍ය ලෝකයේ සිදු වන නොයෙකුත් ක්‍රියාකාරකම් සමඟ දෙවියන්, නාගයන්, අමනුෂ්‍යයන් ආදීන් බැඳී සිටින බවත් ඔවුන් ගේ ශක්‌තීන් අනුව ද මිනිස්‌ ලොව වෙනස්‌ වන බවත් අපි දනිමු. ඒ ඒ සංස්‌කෘතියෙහි ශක්‌තිය යන්න විවිධාකාරයෙන් අර්ථදැක්‌වී ඇත.

අප බටහිර විද්‍යාව යොදාගන්නේ ඇතැමුන් මෙන් එහි ආධාරයෙන් අපේ පැරැණි විද්‍යාව බැබළවීමට නො වේ. අප බටහිර විද්‍යාව යොදාගන්නේ එහි ඇති අඩුපාඩුකම්, පරස්‌පර, විසංවාද ආදිය පෙන්වීමට ය. රජරට වකුගඩු රෝගය හමුවේ වඩාත් ම රෝගී වී ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාව ය. රජරට වකුගඩු රෝගයට පිළියම් අපේ වෛද්‍ය විද්‍යාවෙහි ඇතැයි අපි සිතමු. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය විසින් මිනිසුන් පරිහානියට පත් කරනු ලැබ ඇත. එසේ කර ඇත්තේ එක්‌ අතකින් මිනිසුන් ඉන්ද්‍රිය පිනවීමට යොමු කරමින්, පරිසරයෙන් ඈත් කරමින් ඔවුන් ගේ ආධ්‍යාත්මික ශක්‌තිය දුර්වල කිරීමෙනි. දැනට කලකට පෙර මිය ගිය බොරුපන වෙදමහතා ගෙන් මා ඉගෙන ගත් කරුණක්‌ වෙයි. ඒ යම් ප්‍රදේශයක ඇති වන රෝගයකින් පෙළෙන්නන් සුව කිරීම සඳහා බෙහෙත් ඒ ප්‍රදේශයෙන් ම සොයාගත හැකි බව ය. මම එයට බොරුපන ප්‍රවාදය යෑයි කියමි.

මහාචාර්ය නලින් ද සිල්වා