logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පොල් ගෙඩි වැටීම හා කාලය

ඒ ඒ සංස්‌කෘතීන් විසින් ග්‍රහණය කෙරෙන ලෝක වෙනස්‌ වේ ය යන්න පෙන්වීම සඳහා මෙතෙක්‌ උදාහරණ ගෙන දක්‌වනු ලැබී ය. ඒ ඒ සංස්‌කෘතිය සමජාතීය යෑයි මෙයින් ගම්‍ය නො වන බව අවධාරණය කළ යුතු ය. ඕනෑ ම සංස්‌කෘතියක උප සංස්‌කෘති රාශියක්‌ තිබෙන අතර ඒ ඒ මිනිසාට ද ඇත්තේ තමන් ගේ ම වූ ලෝකයකි. එක්‌ අයකු ගේ ලෝකය තවත් අයකු ගේ ලෝකයෙන් වෙනස්‌ වෙයි. අප යම් සංස්‌කෘතියක (උප සංස්‌කෘතියක) උපත ලැබූව ද අපේ සංසාරගත කුසලාකුසල ශක්‌තීන් මත අපි එකිනෙකා ගෙන් වෙනස්‌ වන්නෙමු. මා ලෝකය ග්‍රහණය කරගන්නේ තවත් අයකු ග්‍රහණය කරගන්නා ආකාරයට නො වේ.

එහෙත් මෙයින් කියෑවෙන්නේ අප එකිනෙකා අපෙන් තොර ව පවත්නා ලෝකයක්‌ එක්‌ එක්‌ ආකාරයෙන් ග්‍රහණය කරගන්නා බව නො වේ. අප ලෝකය ග්‍රහණය කරගැනීම යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ අප ලෝකයක්‌ නිර්මාණය (සංස්‌කරණය) කරන බව ය. ලෝක නිර්මාණයක්‌ මිස පවත්නා ලෝකයක්‌ ග්‍රහණය කිරීමක්‌ සිදු නො වේ. අප ලෝක නිර්මාණය කිරීම යනු අන් කිසිවක්‌ නො ව සංකල්ප නිර්මාණය කිරීම ය. අපේ ලෝක යනු අපේ සංකල්පවල ලෝකය ය. ලෝකය යන්න ද තවත් සංකල්පයක්‌ පමණක්‌ බව අමතක නො කළ යුතු ය. සංකල්පවලින් තොර කිසිවක්‌ අපට නැත.

සාමාන්‍ය මිනිසකු පොල් වැටෙන බව දනියි. ඒ සංසිද්ධිය පිළිබඳ ඔහු ගේ සංකල්ප වනුයේ පොල් ගහ, පොල්ගෙඩි, පොල් ගෙඩියේ නැට්‌ට, පොළොව, පොළොවට වැටීම හෙවත් පොළොව දෙසට යමක්‌ ඇදී ඒම ආදිය ය. නටුවෙන් ගිලිහුණු හෝ ගිලිහීමට ලක්‌ කළ හෝ පොල් ගෙඩියක්‌ පොල් ගහෙහ් මුදුනේ සිට පොළොවට ඇදී එන බව ඔහු දනියි. සාමාන්‍ය මිනිසකුට ගුරුත්වාකර්ෂණය පිළිබඳ සංකල්පය නැත. ඔහුට පොල් පොළොවට වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය ද නැත. ඔහු දන්නේ පොල් වැටෙන බව පමණකි.

එහෙත් යමක්‌ කමක්‌ දන්නේ යෑයි කියන අයට ගුරුත්වාකර්ෂණය යන සංකල්පය ද වෙයි. එවැන්නකුට අනුව පොල් වැටෙන්නේ පොළොව විසින් පොල් ගෙඩිය මත ඇති කෙරෙන ගුරුත්වාකර්ෂණ බලය හේතු කොටගෙන ය. පොළොව ගුරුත්වාකර්ෂණය හේතු කොටගෙන පොල් ගෙඩිය ඇද ගනියි. පාසලේ දී හෝ විශ්වවිද්‍යාලයේ දී හෝ ගුරුත්වාකර්ෂණය ගැන තරමක්‌ ගැඹුරෙන් හදාරා ඇති අයකුට එය එතරම් ම සරල ක්‍රියාවක්‌ නො වේ. පොළොවෙන් පොල් ගෙඩිය ආකර්ෂණය කෙරෙන්නාක්‌ මෙන් ම පොල් ගෙඩියෙන් පොළොව ද ආකර්ෂණය කෙරෙයි. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයට අනුව වස්‌තු එකිනෙක ආකර්ෂණය කරයි.

පොල් ගෙඩිය හා පොළොව එහි ස්‌කන්ධ කේන්ද්‍රය දෙසට ආකර්ෂණය කෙරෙන්නේ යෑයි නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙන් හා නිව්ටෝනීය ගතිකයෙන් කියෑවෙයි. පොළොවට පොල් ගෙඩියකට වඩා ඉතා විශාල වූ ස්‌කන්ධයක්‌ ඇති බැවින් ඒ දෙකෙහි ස්‌කන්ධ කේන්ද්‍රය ඇත්තේ පොළොවේ කේන්ද්‍රයට ඉතා සමීප ව ය. එබැවින් පොල් ගෙඩිය පොළොවේ කේන්ද්‍රය දෙසට ඇදෙන්නේ යෑයි සැලකිය හැකි ය. අනෙක්‌ අතට පොල් ගෙඩිය මගින් පොළොව මත ඇති කෙරෙන බලය නො සලකා හැරිය හැකි ය. ප්‍රායෝගිකව ගත් කල එසේ වුවත් තරමක්‌ ගැඹුරට ගුරුත්වාකර්ෂණය හදාරා ඇති අයකු පොල් ගෙඩිය පොළොවෙහි හා පොල් ගෙඩියෙහි ස්‌කන්ධ කේන්ද්‍රය දෙසට ඇදී යන්නක්‌ ලෙස සලකනු ඇත.

එහෙත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් විද්වතා ඒ සියල්ල වෙනස්‌ කෙළේ ය. ඔහුට අනුව ගුරුත්වාකර්ෂණයක්‌ නැත. එනම් ගුරුත්වාකර්ෂණ බලයක්‌ යනුවෙන් ඒ ඒ අංශූ වස්‌තු අතර බලයක්‌ ක්‍රියා නො කරයි. වස්‌තු හා විකිරණ විසින් අවකාශ කාලය නිර්ණය කෙරෙන අතර එවැනි අවකාශ කාලයක වස්‌තු නේ මෙන් ම විකිරණ ද චලනය වෙයි. විකිරණ චලනය වීම යනු විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රයෙහි වෙනස්‌ වීම ප්‍රචාරණය කිරීමකි.

ඒ කෙසේ වෙතත් අයින්ස්‌ටයින් විද්වතාට අනුව වස්‌තු අවකාශ කාලයෙහි චලනය වන්නේ අවකාශ කාලයෙහි වක්‍රතාව හේතු කොටගෙන ය. අවකාශ කාලයෙහි එවැනි වක්‍රතාවක්‌ ගැන නො දන්නා අය නිව්ටෝනීය ආකාරයට වස්‌තු චලනය වන්නේ ගුරුත්වාකර්ෂණ බලයක්‌ නිසා යෑයි කියති. අයින්ස්‌ටයිනීය අවකාශ කාලය ගැන දන්නා අයකුට නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ බලයක්‌ නැත. එවැන්නකු පොල් පොළොවට වැටෙනු දකින්නේ අවකාශ කාලයෙහි වක්‍රතාව නිසා සිදු වන්නක්‌ ලෙස ය.

එහෙත් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය මෙන් ම අයින්ස්‌ටයිනීය අවකාශ කාල වක්‍රතාව ද පොළොවට පොල් වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට දෙන ලද පිළිතුරු දෙකක්‌ පමණක්‌ වෙයි. එහි දී ගුරුත්වාකර්ෂණය යන සංකල්පය ද අවකාශ කාලය යන සංකල්පය ද අවකාශ කාලයක වක්‍රතාව යන සංකල්පය ද ගොඩනැඟී ඇත. ඒ ඒ අය ගේ ලෝකවල පොල් වැටෙන්නේ එක ම අයුරින් නො වේ. ඇතැමුනට කිනම් ආකාරයකට වුව නටුවෙන් ගිලිහුණු පොල් ගෙඩිය පොළොවට වැටෙයි. ඔවුනට පොල් වැටෙන්නේ ඇයි දැයි සොයා බැලීsමට අවශ්‍ය නො වේ.

එසේ නම් පොල් පොළොවට වැටෙන්නේ ඒ ඒ අය ගේ ලෝකයේ සංකල්පවලට අනුව ය. එයින් අදහස්‌ කරන්නේ පොල් වැටීම යනු සංකල්ප ඔස්‌සේ තේරුම් ගන්නා සංසිද්ධියක්‌ බව ය. ඒ ඒ අය ගේ ලෝකයේ සංකල්ප යනු අන් කිසිවක්‌ නො ව ඒ ඒ අය ගේ සංකල්පීය ලෝකය වෙයි. ඒ ඒ අයට සංකල්පවලින් තොර ව ලෝකයක්‌ නැත. මිනිසුන් හා අනෙක්‌ සතුන් ලෝකයක සංකල්ප තනාගන්නවා නො වේ. ලෝකය යනු සංකල්ප හා ප්‍රවාද ආදිය පමණ ය.

පොල් ගෙඩිය, වැටීම ආදිය ද සංකල්ප වන බව තරමක්‌ කල්පනා කිරීමෙන් තේරුම් ගත හැකි ය. අපි පොල් ගෙඩි අනෙක්‌ ගෙඩිවලින් වෙන් කර හඳුනා ගන්නෙමු. ඒ සඳහා අපේ මනස හා අනෙක්‌ ඉන්ද්‍රිය විසින් ගොඩනඟනු ලැබූ සංකල්ප අවශ්‍ය වෙයි. ඒ සංකල්ප තනාගනු ලැබ ඇත්තේ අප විසින් ය. පොළොව දෙසට වස්‌තුවක චලනය වැටීම ලෙස ගනු ලැබේ. වස්‌තුව, චලනය ආදිය ද අපේ සංකල්ප, එනම් අප විසින් නිර්මාණය කෙරී ඇති සංකල්ප ඔස්‌සේ අප විසින් අවබෝධ කරගනු ලැබේ.

අවබෝධය යනු සංකල්ප ඔස්‌සේ කෙරෙන්නෙකි. සංකල්ප නිර්මාණයකින් තොර ව සිදු වන අවබෝධයක්‌ නැත. අපි ඇතැම් විට සංකීර්ණ සංකල්පයක්‌ එයට වඩා සරල වූ සංකල්ප ආශ්‍රයෙන් තේරුම් ගන්නා අතර තවත් විටෙක තවත් සංකීර්ණ යෑයි කිව හැකි සංකල්ප ඔස්‌සේ තේරුම් ගන්නෙමු. පොල් වැටීම තේරුම් ගැනීම සඳහා නිර්මාණය කෙරී ඇති අයින්ස්‌ටයිනීය අවකාශ කාල වක්‍රතාව සංකීර්ණ සංකල්පයකි. එවැනි සංකීර්ණ සංකල්පයක්‌ මිනිසුන් විසින් ගොඩනැඟෙන්නේ පොල් වැටීම පමණක්‌ නො ව වෙනත් සංසිද්ධි ද තේරුම් ගැනීම සඳහා ය. එය බොහෝ විට එක්‌ ගලකින් කුරුල්ලන් කිහිප දෙනකු මැරීම වැන්නකි.

පොල් පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගැනීම සඳහා අප යොදා ගන්නා සරල සංකල්පයක්‌ වූ නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ සංකල්පය ගනිමු. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙන් තේරුම් ගැනෙන්නේ පොල් පොළොවට වැටීම පමණක්‌ නො වේ. පොළොව ඇතුළු අනෙක්‌ ග්‍රහ වස්‌තු ඉර වටේ යන්නේ ඇයි දැයි "තේරුම් ගැනීම" සඳහා ද අපි එම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය යොදා ගනිමු. අනෙක්‌ අතට අයින්ස්‌ටයිනීය සංකල්ප විශ්වය ප්‍රසාරණය වන්නේ ඇයි ද යන්න "තේරුම් ගැනීමට" ද යොදා ගනිමු.

සංකීර්ණ සංකල්ප යනුවෙන් බොහෝ විට හැඳින්වෙන්නේ වියුක්‌ත සංකල්ප ය. සංයුක්‌ත සංකල්ප අපේ මනස හා අනෙක්‌ ඉන්ද්‍රිය ද ඇසුරෙන් ගොඩනැඟෙයි. එහෙත් වියුක්‌ත සංකල්ප මනසට පමණක්‌ ගෝචර වෙයි. අවකාශ කාල වක්‍රතාව තබා අවකාශ කාලය වත් මනස හැරෙන්නට අනෙක්‌ ඉන්ද්‍රිය ඇසුරෙන් ගෝචර නො වේ. කාලය යන්න ද අනෙක්‌ ඉන්ද්‍රියයන්ට ගෝචර නො වන්නක්‌ බව පැහැදිලි විය යුතු ය.

කාලය යනු සිංහල බෞද්ධයනට නම් පඤ්ඤ්ත්තියක්‌ පමණ ය. එනම් කාලය යන්න මනස විසින් පනවනු ලැබුවකි. කාලය යන්න අවබෝධ කරගැනීම එතරම් පහසු නො වේ. එය මනස පමණක්‌ යොදා ගෙන නිර්මාණය කෙරුණු සංකල්පයක්‌ වෙයි. අප බොහෝ දෙනා දන්නේ කාලය යන සංකල්පය නො ව කාලය මැනීම පිළිබඳ සංකල්ප ය ය. අපි එයට වෙලාව යෑයි කියමු. දැන් වෙලාව කීsය ද යනුවෙන් ඇසුව හොත් අපට එයට දිය හැකි පිළිතුරක්‌ වෙයි. එහෙත් කාලය යනු කුමක්‌ දැයි ඇසුව හොත් දිය හැකි පිළිතුර කුමක්‌ ද?

ඉංගිරිසියෙහි මෙය තවත් අවුල් වන්නේ කාලය හා වෙලාව යන සංකල්ප දෙකට ම ඉංගිරිසින්ට ඇත්තේ ටයිම් යන එක ම සංකල්පය පමණක්‌ වීම නිසා ය. ඒ කෙසේ වෙතත් අපි වෙලාව මැනීමට ඔරලෝසු යොදා ගනිමු. එදා ඒ සඳහා පෑ තැටිය, පියවර මැනීම ආදිය යොදාගන්නට ඇත. වෙලාව යන්න පොළොවට සාපේක්‍ෂව හිරු ගේ චලනය සමඟ බැඳී ඇත. වෙලාව යනු පොළොවට සාපේක්‍ෂව සිදු වන හිරු ගේ චලිතයෙහි පිහිටීම් දෙකක්‌ (එනම් සිද්ධි දෙකක්‌) අතර වූ කාල ප්‍රාන්තරය ය. අපට කාල ප්‍රාන්තරය මැනිය හැකි ය. ඒ සඳහා අපි එක්‌කෝ හිරු ගේ ගමන සමඟ සෘජුව බැඳුණු පියවර මැනීම යොදා ගනිමු. එහි දී අප යොදා ගන්නේ හිරු නිසා ඇති වන අපේ සෙවණැල්ලේ දිග හිරු ගේ ගමන මත ර පවතින්නේ ය යන ප්‍රවාදය ය.

ඔරලෝසුව පෑ තැටිය ආදි උපකරණ භාවිතයෙහි දී තවත් චලිතයක්‌ හිරු ගේ චලිතය සමඟ අනුරූපිතව සංසන්දනය කෙරෙයි. පැරැණි ඔරලෝසුවක නම් ගුරුත්වාකර්ෂණයට අනුව සිදු වන ඔරලෝසුවේ බට්‌ටා ගේ චලිතය පොළොවට සාපේක්‍ෂව සිදු වන හිරු ගේ චලිතය සමඟ සංසන්දනය කරමු. පෑ තැටිය යොදා ගැනීමෙහි දී ද ගුරුත්වාකර්ෂණය නිසා සිදු වන චලිතයක්‌ යොදාගනු ලැබේ. නූතන ඔරලෝසුවල පරමාණුක ආදී වෙනත් චලිත යොදා ගනු ලැබේ.

අපට කාල ප්‍රාන්තරය මැනිය හැකි වුවත් කාලය මැනගත නො හැකි ය. ඊනියා මහා පිපුරුම අවුරුදු බිලියන 13.7කට පෙර සිදු වී ඇතැයි අප කියන විට එහි දී ද කෙරෙන්නේ කාල ප්‍රාන්තරයක්‌ මැනීමක්‌ පමණ ය. විශ්වය ආරම්භ වීමේ සිට අද දක්‌වා ඇති කාල ප්‍රාන්තරය අවුරුදු බිලියන 13.7ක්‌ යෑයි අපි කියමු. කාල ප්‍රාන්තරය යනු සැම විට ම සිද්ධි දෙකක්‌ අතර වූ කාල ප්‍රාන්තරයකි. ඒ කාලය නො වේ.

මහාචාර්ය නලින් ද සිල්වා