logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


2012 ලෝක විනාශය

ඒ ඒ සංස්‌කෘතියෙහි ඇති සංකල්ප අතර ඇත්තේ ඉතා දළ සම්බන්ධයයක්‌ බව මේ වන විට අවබෝධ වී ඇතැයි සිතමි. අප අම්මා යෑයි කියන්නේ ඉංගිරිසීන් මදර් හෝ මමී හෝ යෑයි කියන අරුතින් ම නො වේ. සිංහල බෞද්ධයන් ගේ සත්ත්වයා යනු ඉංගිරිසින් ගේ ඇනිමල් නො වේ. පසුගිය සති දෙකෙහි සඳහන් කරන ලද දෙයින් ඉංගිරිසින් ගේ ඇනිමල් යනු සිංහල බෞද්ධයන් ගේ සත්ත්වයන් යන කුලකයෙහි උපකුලකයක්‌ ලෙස නො සැලකිය යුතු බව අවබෝධ විය යුතු ය. එමෙන් ම ඉංගිරිසින් ගේ මදර් යන්නෙන් කියෑවෙන ගුණවලට අමතරව තවත් ගුණ සිංහල බෞද්ධයන් ගේ අම්මා යන්නෙහි අන්තර්ගත වී ඇතැයි නො සිතිය යුතු ය.

ඒ ඒ සංකල්ප වෙන වෙන ම සංකල්ප වෙයි. එහි ඇති යම් සමානත්වයක්‌ හේතු කොටගෙන අපි ඒ ඒ සංකල්ප එක්‌ භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කරමු. එහෙත් එහි දී ඉතා ම සාමාන්‍ය අවස්‌ථාවල දී මිස සියුම් අවස්‌ථාවල දී ඉන් අරුතක්‌ ලබා දීමට හැකි නො වෙයි. වචනවල (සංකල්පවල) අදහස්‌ හකුළුවා ව්‍යංගයෙන් විවිධ අදහස්‌ ප්‍රකාශ කරන කවියෙහි මේ ප්‍රශ්නය බැරෑරුම් ලෙස උද්ගත වෙයි. එක්‌ භාෂාවකින් ලියෑවුණු කවි වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේ දී පරිවර්තකයාට විවිධ අභියෝගවලට මුහුණ පෑමට සිදු වෙයි.

බුදුදහම ඉංගිරිසියෙන් ප්‍රකාශ කිරීමට හැකි යෑයි මම නො සිතමි. ඉංගිරිසියෙන් බුදුදහම ප්‍රකාශ කරද්දී ඒ භාෂාව නිර්මාණය වී ඇති ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි බලපෑම ජයගැනීම ප්‍රශ්නයක්‌ වෙයි. ශක්‌තිය යන වචනය ඉංගිරිසියට පරිවර්තනය කරන්නේ කෙසේ ද? නැත හොත් එනර්ජි යන වචනය සිංහලට පරිවර්තනය කරන්නේ කෙසේ ද? මේ සංකල්පවලින් ඉංගිරිසියෙහි හා සිංහලයෙහි දැක්‌වෙන්නේ එක ම අදහස නො වන බැවින් අප එකිනෙකා මුහුණපාන ප්‍රශ්න කෙතෙක්‌ ද?

කුසල් ශක්‌තිය, අකුසල් ශක්‌තිය, පාරමී ශක්‌තිය ආදිය ඉංගිරිසියට පරිවර්තනය කළ හැකි යෑයි නො සිතමි. මේ ශක්‌ති සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නම් ආධ්‍යාත්මික ශක්‌ති වෙයි. එහෙත් සාමාන්‍යයෙන් ඉංගිරිසියෙහි ශක්‌තිය යන්නෙන් අදහස්‌ වන්නේ භෞතික ශක්‌තියකි. මිනිසාට තම සිරුරේ ඇති ශක්‌තිය යොදා ගනිමින් යම් වස්‌තුවක්‌ තල්ලු කළ හැකි ය. එසේත් නැත්නම් ඇදගෙන ගිය හැකි ය. බටහිර සංස්‌කෘතියෙහි ඇතැම් සත්ත්වයන්ට ද, එනම් සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නම් ඇතැම් තිරිසන් සතුන්ට ද එසේ කළ හැකි ය. ඉංගිරිසින් ගේ බලය (Force) යන සංකල්පය තැනී ඇත්තේ මේ භෞතික ශක්‌තිය පදනම් කරගනිමිනි.

අශ්ව බලය (Horse power) යනුවෙන් ඇති සංකල්පය (අද ඊනියා ජාත්‍යන්තර සම්මත ඒකක යටතේ එය භාවිත නො කෙරේ) අශ්වයකු පැයක දී කරන කාර්යය මත පදනම් ව ගොඩනඟා ඇත. කාර්යය යනු දළ වශයෙන් බලයේ හා බලය යෙදෙන ලCෂ්‍යයෙහි විස්‌ථාපනයෙහි ගුණිතය වෙයි. ජවය යන සංකල්පය ඒකක කාලයක දී සිදු කරන කාර්යය සඳහා යොදා ගැනෙන්නේ යෑයි සිතමි. ඒ කෙසේ වෙතත් ශක්‌තිය යන්න ඉංගිරිසි සංස්‌කෘතියෙහි මුල දී යෙදුණේ මිනිසුන්, අශ්වයන් වැනි සතුන්, දුම්රිය ඇන්ජිම වැනි යන්ත්‍ර විසින් යම් වස්‌තුවක්‌ ස්‌පර්ශ කරමින් තල්ලු කිරීමෙහි දී හෝ ඇදගෙන යැමෙහි දී වැය වන්නක්‌ හැඳින්වීම සඳහා ය.

එහෙත් නිව්ටන් හා පසුව ෆැරඩේ හා මැක්‌ස්‌වෙල් විද්වතුන් විසින් ඒ සංකල්පය වෙනස්‌ කරනු ලැබිණි. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ බලය යෙදවීමට ස්‌පර්ශ වීම අනවශ්‍ය විය. සූර්යයා හා පොළොව එකිනෙක මත ගුරුත්වාකර්ෂණ බලයක්‌ යොදන්නේ එකිනෙක ස්‌පර්ශ කරමින් නො වේ. කාන්දමක්‌ විසින් අල්පෙනෙත්තක්‌ මත බලයක්‌ යෙදෙන්නේ අල්පෙනෙත්ත ස්‌පර්ශ කරමින් නො වේ. එය තේරුම් කර දීම සඳහා මැක්‌ස්‌වෙල් විද්වතාට ක්‍ෂෙත්‍රය (Field) යන සංකල්පය හඳුන්වා දීමට සිදු විය. ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය යන්න ද මැක්‌ස්‌වෙල් විද්වතා ගෙන් පසුව භාවිතයට ආ සංකල්පයක්‌ විය. නිව්ටන් විද්වතාට සූර්යයා හා පොළොව එකිනෙක ස්‌පර්ශ නො කර බලයක්‌ යොදන්නේ කෙසේ දැයි තේරුම් කර දීමට නො හැකි විය.

වස්‌තු එකිනෙක ස්‌පර්ශ කරමින් හෝ නො කරමින් හෝ ශක්‌තිය වැය කරන්නේ ය යන්න බටහිර අදහසකිs. ඒ සමඟ ඇත්තේ යාන්ත්‍රික, විද්යුත් චුම්බක, ආදී භෞතික ශක්‌තියක්‌ පිළිබඳ සංකල්පයකි. එහි ආධ්‍යාත්මික ශක්‌තියක්‌ පිළිබඳ සංකල්පයක්‌ නැත. එහෙත් සිංහල බෞද්ධයනට ශක්‌තිය යන්නෙන් ආධ්‍යාත්මික ශක්‌තිය පිළිබඳ අදහසක්‌ ද ගෙන දෙයි. සිංහල බෞද්ධ ශිෂ්‍යයනට එනර්ජි යන්න ශක්‌තිය ලෙස පරිවර්තනය කිරීමෙන් බටහිරයන් බලාපොරොත්තු වන අදහස ලැබෙන්නේ ද යන්න සැක සහිත ය. ඇතැම් සිංහල බෞද්ධ ශිෂ්‍යයන් බටහිර එන්ර්ජි හා සිංහල ශක්‌තිය යන සංකල්ප දෙකෙහි වෙනස අවබෝධ කර ගනිමින් ඒ සංකල්ප නිරවුල් ව යොදා ගන්නවා ඇත. එහෙත් සිංහල බෞද්ධ සිසුන් බහුතරයක්‌ මේ සංකල්ප දෙක මිශ්‍ර කරගනු නිසැක ය.

ඉංගිරිසි ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි බිහි වී ඇති ශක්‌තිය සංස්‌ථිතික වෙයි. එනම් ශක්‌තියේ ස්‌වරූපය තාපයෙන් විද්යුතයට, යාන්ත්‍රිකයෙන් තාපයට ආදී වශයෙන් වෙනස්‌ කළ හැකි නමුදු ශක්‌තිය විනාශ කිරීමට හෝ නිර්මාණය කිරීමට හෝ නො හැකි ය. මෙය ගලා එන්නේ දෙවියන් වහන්සේ ශක්‌තිය නිර්මාණය කිරීමෙන් පසුව එය අඩු වැඩි කිරීමට කිසිවකුට නො හැකි බව පදනම් කර ගනිමිනි. බටහිර ක්‍රිස්‌තියානි විද්‍යාවේ සංකල්ප නිර්මාණය වී ඇත්තේ දේව නිර්මාණයට එකඟ ව ය. එහි අද දෙවියන් වහන්සේ කෙනකු ගේ නිර්මාණයක්‌ නැති වුවත් අහම්බෙන් සිදු වන නිර්මාණයක්‌ වෙයි. විශ්වවේදයේ ඊනියා මහා පිපුරුම (Big Bang) යනු දෙවියන් වහන්සේ කෙනකු නැති ව සිදු වන නිර්මාණයකි. මෙරට අනෙක්‌ අය මහා පිපුරුම පිළිගත්තත් සිංහල බෞද්ධයකු ලෙස මම එය ප්‍රතික්‌ෂේප කරමි.

සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ශක්‌තිය යන්න සංස්‌ථිතියක්‌ නො වේ. මා දැනට තේරුම් ගන්නා ආකාරයෙන් සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ශක්‌තිය අනන්ත වෙයි. විශ්වය ද අනන්ත වෙයි. එපමණක්‌ නො වේ. එය අපරිමිත ද වෙයි. මේ විශ්වය විටෙක සංකෝචනය වෙයි. තවත් විටෙක ප්‍රසාරණය වෙයි. ප්‍රසාරණය වන්නා වූ ද සංකෝචන වන්නා වූ ද පරිමිත විශ්වයක්‌ සඳහා ආකෘතියක්‌ අපි කැලණිය විශ්වවිද්‍යාලයෙහි නිර්මාණය කර ඇත්තෙමු. යථා කාලයේ දී අපරිමිත වූ ද අනන්ත වූ ද සංකෝචනය වන්නා වූ ද ප්‍රසාරණය වන්නා වූ ද විශ්වයක්‌ (විශ්වයක ආකෘතියක්‌) නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

අද ලෝකයේ අකුසල් ශක්‌තිය කුසල් ශක්‌තියට වඩා විශාල වන බව පෙනී යයි. ලෝකයේ වැඩියෙන් ඇත්තේ පන්සිල් රකින මිනිසුන් නො ව කඩන මිනිසුන් ය. මිනිසුන් හැරෙන්නට අමනුෂ්‍යයන් ගේ ද තිරිසන් සතුන් ගේ ද මිථ්‍යාදෘෂ්ටික දේවතාවන් ගේ ද අකුසල් ශක්‌තිය ඉමහත් වෙයි. අකුසල් ශක්‌තිය වර්ධනය වීම බටහිර ක්‍රිස්‌තියානි සංස්‌කෘතික ආධිපත්‍යය යටතේ ඉතා වේගයෙන් සිදු වී ඇත.

සිත් පිත් නැති භෞතික ලෝකය ද, දෙවියන්, මිනිසුන්, තිරිසන් සතුන්, අමනුෂ්‍යයන් සහිත සත්ත්ව ලෝකය ද එකිනෙකින් වෙන් ව පවතින්නේ නො වේ. මුළු මහත් සත්ත්ව ලෝකය ම එකිනෙකාට සම්බන්ධ වී ඇත. අපි දෙවියන්ට හා භූතයන්ට පින්දෙමු. ඇතැම් මිනිසුන්ට අමනුෂ්‍ය දෝෂ ඇති වෙයි. ඒ අමනුෂ්‍ය දෝෂ දුරු කර ගන්නා අයුරු ද අපට උගන්වා ඇත. ඒ සඳහා ආධ්‍යාත්මික ගුණ වගාව අත්‍යවශ්‍ය වෙයි. සාමාන්‍ය අමනුෂ්‍යයන්ට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට තම ශක්‌තියෙන් (අකුසල් ශක්‌තියෙන්) ආධ්‍යාත්මික ගුණයෙන් පොහොසත් අයට වින කළ නො හැකි ය. එහෙත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා වැනි බලසම්පන්න අයට බෝසතාණන් වහන්සේලාට වුව ද බාධක පැමිණ විය හැකි ය.

සත්ත්වයන් ගේ කුසල් අකුසල් ශක්‌ති ස්‌වභාව ධර්මයාට ද බලපායි. කැලණිතිස්‌ස රජු ගේ ක්‍රියාවක්‌ හේතු කොටගෙන මුqහුද ගොඩ ගැලූ බව අපි අසා ඇත්තෙමු. එය සුනාමියක්‌ ද නැද්ද එහි දී මුහුදේ සිදු වූ භූමිකම්පාවක්‌ අතරමැද හේතුවක්‌ වී නැද්ද ආදිය පසුගිය සුනාමියෙන් වසර හයකට පසු මට ප්‍රශ්න නො වේ. මුහුද ගොඩ ගැලුයේ කැලණිතිස්‌ස රජු රහතන් වහන්සේ නමකට පිරිනිවන් පෑමට සැලැස්‌වූ බැවිනි. කුසල් ශක්‌තිය හෝ අකුසල් ශක්‌තිය හෝ හේතු කොටගෙන භූමිකම්පා (මිහිකත සෙලවීම්) ඇති වන බව අපි දනිමු.

අද ලෝකයේ සැම තැනක ඊනියා ස්‌වාභාවික ආපදා ඇති වෙයි. හිම නිසා ගුවන් යානා ඇණහිටියි. ගුවන් තොටුපළ වසා දැමෙයි. ලෝකයේ හැම රටක ම පාහේ ගංවතුර ගැලීම් ඇති වෙයි. දේශගුණික වෙනස්‌කම් ඇති වෙයි. මේ දේශගුණික වෙනස්‌කම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම වැනි හුදු භෞතික වෙනස්‌කම්වල ප්‍රතිඵල ද? එසේත් නැත්නම් මිථ්‍යාදෘෂ්ටික දෙවියන් ගේ හා මනුෂ්‍යයන් ගේ අධාර්මික ජීවන රටාවල ප්‍රතිඵලයක්‌ ද එහි දැකිය හැකි ද? ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ ද බටහිර ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය විසින් මිනිසා ගේ ඉන්ද්‍රිය පිනවීම සඳහා බටහිරයන් ම කියන පරිදි ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ආදී රසායනික ද්‍රව්‍ය වායුගෝලයට එකතු කිරීම නිසා ය. තිරිසන් සතුන් ගේ හා අමනුෂ්‍යයන් ගේ අකුසල් ශක්‌තිය හැම දා මත් ඉහළ බැවින් ඔවුන් මේ ව්‍යසනයට දායක වී යෑයි සිතිය නො හැකි ය.

මායා ශිෂ්ටාචාරයේ පැරැන්නන්ට අනුව, අඩු ම තරමින් ඔවුන් ගේ දින දර්ශනයට අනුව, 2012 දී එනම් ලබන වසරේ දී ලෝක විනාශය සිදු වීමට නියමිත ය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය යටතේ ලෝකයේ අධර්මය වර්ධනය වන ආකාරය අධ්‍යයනය කිරීමේ දී මෙය සැබෑවක්‌ වීමට අඩු ම තරමින් සුළු ඉඩකඩක්‌ ඇති බව පෙනී යයි. ලෝකය බටහිර මිනිසා ගේ ආධිපත්‍යයට යට වූ දවසේ සිට ලෝක විනාශය ආරම්භ වී ඇත. මුළු ලෝකය ම බටහිර මිනිසා ගේ ආධිපත්‍යයට යට වීම ද දෙව් මිනිස්‌ ලෝකවල අධර්මය රජ කිරීමේ ප්‍රතිඵලයකි. ඇතැම් සම්‍යක්‌ දෘෂ්ටික දේවතාවන් ගේ පාරමී හා කුසල් ශක්‌තිය පසුගිය සියවස්‌ කිහිපයක විවිධ හේතු නිසා යටපත් වීම පසුබිම් කරගනිමින් එසේ සිදු වන්නට ඇතැයි සිතිය හැකි ය.

අපට ලෝක විනාශය නතර කළ හැකි ය. එමඟින් ලෝක විනාශයට නව අරුතක්‌ ද දිය හැකි ය. ඒ සඳහා සම්‍යක්‌ දෘෂ්ටික දේවතාවන් ගේ හා ගුණගරුක මිනිසුන් ගේ එකතුවක්‌ අවශ්‍ය වෙයි. අද සම්‍යක්‌ දෘෂ්ටික දේවතාවුන් හින්දු වැනි වෙනත් හිතවත් දෙවියන් ගේ ද ආධාරයෙන් බලයට පත් වී ඇති මිථ්‍යාදෘෂ්ටික දෙවියන් යටපත් කිරීමේ ක්‍රියාවලියක්‌ ආරම්භ වී ඇති බව ඇතැම් ධාර්මික මිනිසුන් කරන කියන දෙයින් පැහැදිලි වෙයි. එහි දී ධාර්මික මිනිසුන් ගේ කුසල් ශක්‌තියෙහි හා පාරමී ශක්‌තියෙහි ආනුභාවය ද සම්‍යක්‌ දෘෂ්ටික දේවතාවුන්ට ලබා දිය හැකි ය.

ලෝක විනාශය නතර කළ හැක්‌කේ අප ධාර්මික වීමෙනි. අපේ කුසල් ශක්‌ති වර්ධනය කිරීමෙනි. අප පන්සිල් රැකීමෙනි. සම්‍යක්‌දෘෂ්ටික දේවිදේවතාවුන්, ඔවුන් ගේ හිතවත් දේවතාවුන්, ධාර්මික මිනිසුන් එකතු වී ලෝක විනාශය වැළැක්‌විය හැකි ය. එහෙත් එසේ කරනු ඇත්තේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ලෝකය වෙනුවට වෙනත් ලෝකයක්‌ ඇරඹීමෙනි. ඒ අරුතින් ගත් කල බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ලෝකය විනාශ වීම ලෝක විනාශය ලෙස විවරණය කළ හැකි ය. අප අලුත් ලෝකයක්‌ ආරම්භ නො කළ හොත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්ව ලෝකය විනාශ වීම සමඟ ලෝකය විනාශ වනු ඇත.

මහාචාර්ය නලින් ද සිල්වා