logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මිනිස්‌ සතා හා තිරිසන් සතා

බෞද්ධයන් ගේ සත්ත්වයා යනු බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ජීවත් වන්නවුන් ගේ ඇනිමල් නො වන බව පැහැදිලි විය යුතු ය. බෞද්ධයන් ගේ සත්ත්වයෝ සසර සැරිසරති. බෞද්ධයන්ට අනුව මිනිස්‌සු වෙනත් භවයන්හි සත්ත්වයන් ලෙස ඉපදෙති. බෞද්ධයන්ට මිනිස්‌සු ද සත්ත්වයෝ වෙති. සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත් වා යනුවෙන් ප්‍රාර්ථනා කරන විට ඒ සත්ත්වයන් යන්නට මිනිස්‌සු ද අයත් වෙති. එහෙත් සාමාන්‍යයෙන් බටහිරයන්ට ඇනිමල් හා මෑන් අතර එවැනි සම්බන්ධයක්‌ නැත. ඇතැම් බටහිර විද්වතුන් මිනිසුන් ද සත්ත්වයන් (ඇනිමල්) ලෙස සලකන බව සැබෑ ය. එහෙත් සාමාන්‍ය බටහිරයෙක්‌ එසේ නො සිතයි.

බෞද්ධයන්ට තිරිසන් සතා යනුවෙන් ව්‍යවහාරයක්‌ වෙයි. තිරිසන් සතුන් යන්නෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ බටහිරයන් ඇනිමල්ස්‌ යනුවෙන් හඳුන්වන ප්‍රාණීන් ය. බෞද්ධයන්ට තමන් පෙර අත්භවවල හෝ මතු අත්භවවල හෝ තිරිසන් සතුන් ලෙස දිවි ගෙවීම අරුමයක්‌ නො වේ. අප මහ බෝසතාණන් වහන්සේ ද තිරිසන් සතකු ලෙස ඉපදුණු අවස්‌ථා ගැන බෞද්ධයන් ජාතක පොතින් මෙන් ම වැඩිහිsටියන් ගෙන් ද දැනගන්නා කරුණකි. බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි සසරක්‌ නොමැති බැවින් ඒ සංස්‌කෘතියෙහි ජීවත් වන්නෝ ඔවුන්ට සාපේක්‍ෂව තිරිසන් සතුන් ලෙස නූපදිති.

බෞද්ධයෝ තිරිසන් සතුන් අපා, දෙපා සිවුපා, බහුපා ආදී වශයෙන් වර්ග කරති. බටහිරයෝ තිරිසන් සතුන් වෙනත් ආකාරවලට වර්ග කරති. මත්ස්‍යයෝ ද බෞද්ධයන්ට අනුව අපා හෙවත් පාද නැති සත්තු වෙති. තුන් පා සතුන් ලොවේ නැතැයි සිතමි. තුන් පා සතුන් නැත්තේ එවැනි සතුන්ට චලනය (ගමන් කිරීම) නො හැකි බැවින් දැයි නො දනිමි. බහු පා සත්ත්ව ගණයට කැරපොත්තෝ, පත්තෑයෝ ආදීහු අයත් වෙති. විවිධ වූ ආකාරවල උරගයෝ සාමාන්‍යයෙන් අපා ගණයට අයත් වෙති.

බෞද්ධයන් ගේ සත්තු මිනිස්‌සු හා තිරිසන් සත්තු පමණක්‌ නො වෙති. බෞද්ධයන්ට අමනුෂ්‍යයෝ ද දෙවිවරු ද බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලැබූවෝ ද වෙති. ඒ සියල්ලෝ ම බෞද්ධයන්ට සත්ත්වයෝ වෙති. අමනුෂ්‍යයෝ විවිධාකාරයෙන් වර්ග කෙරෙති. පෙA්‍රත, පිශාච, කුම්භාණ්‌ඩ, භූත, යක්‍ෂ ආදී වශයෙන් අමනුෂ්‍යයෝ වෙති. දෙවියෝ ද එක්‌ ආකාරයකට භූමාටු, වෘක්‍ෂ, දිව්‍ය ලෝකවල වෙසෙන ආදී වශයෙන් ද තවත් ආකාරයකින් සම්‍යක්‌ දෘෂ්ටික හා මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු වශයෙන් ද වර්ග කෙරෙති.

ඇතැමුන්ට අනුව මිථ්‍යාදෘෂ්ටික දෙවියන් නැත. එහෙත් මට තේරෙන අයුරින් නම් (වසවර්ති) මාර දිව්‍ය පුත්‍රයා මිථ්‍යාදෘෂ්ටික දෙවියෙකි. පරනිර්මිත වසවර්තියේ පමණක්‌ නො ව වෙනත් දිව්‍ය ලෝකවල ද මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු වෙති. ඔවුහු විවිධ මතධාරීහු වෙති. විවිධ ආගමිකයෝ වෙති. නිවන් සුව ලැබීම ගැන දන්නෝ, ඒ සඳහා ඉඳහිට වත් කටයුතු කරන්නෝ සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරු වෙති. මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට නිවනක්‌ ගැන විශ්වාසයක්‌ නැත.

දෙවියකු ලෙස ඉපදීමට පෙර භවයෙහි බෞද්ධයකු ම විය යුතු යෑයි නො සිතිය යුතු ය. ආනන්ද මෛත්‍රීය හිමිපාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට මිනිසුන් ලෙස බෞද්ධ නො වන ආගම් අදහන අය මරණින් මතු දිව්‍ය ආත්මභාවයක්‌ (පුනර්භවයක්‌) ලබන්නේ නම් ඒ දේවතාවුන්ට ද ඇත්තේ මිනිස්‌ භවයේ ඇදහූ ආගම ය. පුනර්භවය සිදු වන්නේ චුති චිත්තය හා උත්පාද චිත්තය අනුව මිස ඒ ඒ සත්ත්වයා ගේ ආගම අනුව නො වේ.

විවිධ දෙවියන් හා අමනුෂ්‍යයන් මිනිසුන් සමඟ සන්නිවේදනය කරන බවත් එවැනි මනුෂ්‍යයන් මගින් අපට ඒ දෙවියන් හා අමනුෂ්‍යයන් ගේ ආධාර ලැබෙන බවත් කිව හැකි ය. එමෙන් ම එහි අනෙක්‌ පැත්ත ද සිදු වෙයි. ඇතැම් විට ඔවුහු මනුෂ්‍යයන්ට විපත්ති හා අලාභ හානි ද කරති. එසේ කරන්නෝ අමනුෂ්‍යයෝ පමණක්‌ නො වෙති. බෝසතාණන් වහන්සේට අපමණ කරදර කළ මාර දිව්‍ය පුත්‍රයා එවැනි දෙවියෙකි. ඔහු තවමත් පරනිර්මිත වසවර්ති දිව්‍ය ලෝකයෙහි වාසය කරමින් මෛත්‍රී බෝසතාණන් වහන්සේට විවිධ බාධක පැමිණවීමට උත්සාහ කරන්නේ යෑයි සිතිය හැකි ය.

පැරැණි ගී්‍රක කතාවල හා වෛදික කතාවල මිනිසුන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ දෙවිවරුන් ගැන සඳහන් වෙයි. ඒ හුදෙක්‌ මිථ්‍යා කතා යෑයි ඉවත දැමිය නො හැකි ය. කෘෂ්ණ දෙවියන් අර්ජුන සමඟ පැවැත්වූ සංවාද පිළිබඳ මහාභාරතයේත්, ගී්‍රකයන් ඇපලෝ දෙවියන් සමඟ කරන ලද ගනුදෙනු පිළිබඳව හෝමර් කවියා ගේ කෘතිවලත් සඳහන් වෙයි. මේ දෙවියන් එක්‌ අයකු වත් සම්‍යක්‌දෘෂ්ටික දෙවියකු යෑයි කිව නො හැකි ය. එහෙත් අවශ්‍ය නම් යම් අයකුට එවැනි දෙවියන් ගේ පැවැත්ම ගැන ම ප්‍රශ්න කළ හැකි ය. කිසි ම දෙවි කෙනකු ගැන විශ්වාසයක්‌ නැති අයකු ගේ එවැනි ප්‍රශ්න කිරීමක සංගත බවක්‌ දැකිය හැකි නමුදු සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරුන් ගැන පමණක්‌ විශ්වාස කරන්නන් මිථ්‍යාදෘෂ්ටික දෙවියන් ගේ පැවැත්ම ගැන අවිශ්වාස කරන්නේ කිනම් පදනමකින් ද යන්න ප්‍රශ්නයක්‌ වෙයි.

දෙවියන් අතර පමණක්‌ නො ව බ්‍රහ්ම ලෝකවල සිsටින බ්‍රහ්මයන් අතර ද මිථ්‍යාදෘෂ්ටික බ්‍රහ්මයන් සිටිය හැකි ය. මෙහි දී මිථ්‍යාදෘෂ්ටික යන්නෙන් අදහස්‌ වන්නේ නිවන් දැකීමක්‌ ගැන විශ්වාසයක්‌ නොමැති යන්න ය. දෙවියකු මනුෂ්‍යයකුට වඩා උසස්‌ නිසා මිථ්‍යාදෘෂ්ටික දෙවියන් සිටිය නො හැකි ය යන්න පදනම් විරහිත ය. ධ්‍යාන උපදවා ගත් මිනිස්‌සු සිටිති. එවැනි මිනිස්‌සු අනිවාර්යයෙන් ම නිවන් අවබෝධය පිණිස ධ්‍යාන උපදවා ගෙන ඇතැයි නො සිතිය යුතු ය. එහෙත් මේ මිනිස්‌සු මනස සම්බන්ධයෙන් ගත් කල බොහෝ දෙවියන්ට වඩා උසස්‌ වෙති. එහෙත් ඔවුන් පසුව තම ධ්‍යාන බිඳ ගැනීමට ද ඉඩ ඇත. එවැනි මිනිස්‌සු සම්‍යක්‌දෘෂ්ටික වීම අනිවාර්ය නැත. උද්දාල බ්‍රාහ්මණයා ගැන පුවත මේ සඳහා නිදසුනකි.

මිථ්‍යාදෘෂ්ටික බ්‍රහ්මයන් බඹලොවින් චුත වී අමනුෂ්‍යයන් ලෙස ඉපදීමේ ඉඩක්‌ නැතුවා නො වේ. නෙවසඤ්ඤා නාසඤ්ඤා බ්‍රහ්ම ලෝකයෙහි උපත ලැබුවත් මිථ්‍යාදෘෂ්ටික බ්‍රහ්මයකුට නිවන් අවබෝධ නො වේ. මෙවැනි බ්‍රහ්මයන් බ්‍රහ්ම ලෝකයෙන් චුත ව මනුෂ්‍ය ලෝකයෙහි උපත ලැබීම පිළිබඳ කතා බෞද්ධ සාහිත්‍යයෙහි වෙයි. ඕනෑ ම අවස්‌ථාවක දෙවියන්ට හා බ්‍රහ්මයන්ට වඩා උසස්‌ මිනිස්‌සු මිනිස්‌ ලොව සිටිය හැකි ය. එහෙත් ඊළඟ මොහොතෙහි ඔවුනට කුමක්‌ සිදු වේ දැයි අපට කිව නො හැකි ය.

අලාරකාලාම, උද්දකාරාම පුත්ත වැනි තවුසෝ සම්‍යක්‌දෘෂ්ටික නො වූ හ. එහෙත් ඔවුහු ධ්‍යානලාභීහු වූ හ. සම්‍යක්‌දෘෂ්ටික දෙවියන් අතරත් සෝවාන් ආදී මාර්ගඵලවලට පැමිණි අය කෙතෙක්‌ වෙත් ද? මෙයින් මා කීමට අදහස්‌ කරන්නේ දෙවියෝ සෑම විට ම මිනිසුන්ට වඩා උසස්‌ වෙති යන්න පදනම් විරහිත බව ය. අනෙක්‌ අතට බුදුන් වහන්සේ ද මනුෂ්‍යයෙක්‌ වූ සේක. උන්වහන්සේට වඩා ශේ්‍රෂ්ඨ දෙවියෙක්‌ හෝ බඹෙක්‌ හෝ නො වී ය. දෙවියන්ට මිනිසුන්ට වඩා සැප වැඩි ය. එහෙත් ඔවුන් ගේ කුසල් අවසන් වූ පසු ඔවුන් අමනුෂ්‍යයන් ලෙස වුව ද ඉපදීමට හැකි ය. (මේ ලිපියෙහි දී පුනරුත්පත්තියක්‌ නැත, එහෙත් පුනර්භවයක්‌ ඇත යනුවෙන් පවසන පඬියන් ගේ කියුම් නො සලකා හැර ඇත). සැප වැඩි වූ පමණින් දෙවියන් මිනිසුන්ට වඩා උසස්‌ ය, ශ්‍රේෂ්ඨ ය ආදී නිගමනවලට එළඹිය නො හැකි ය.

දෙවියකු ලෙස උපත ලබන ඕනෑ ම අයකු ඕනෑ ම මිනිසකුට වඩා උසස්‌ වන්නේ වත් ඕනෑ ම දෙවියකු තබා ඕනෑ ම බඹකු වත් සම්‍යක්‌දෘෂ්ටික වන්නේ වත් නො වේ. හින්දු භක්‌තික බ්‍රහ්මයන් සිsටිය හැකි ය. එපමණක්‌ නො ව ක්‍රිස්‌තු භක්‌තික දෙවියන් ද සිටිය හැකි ය. මේ ඇතැම් මිථ්‍යාදෘෂ්ටික දෙවියන් දිව්‍ය ලෝකයෙන් චුත ව මනුෂ්‍ය ලෝකයෙහි ඉපදී බුදු දහමට හා බෞද්ධ සංස්‌කෘතියට එරෙහි ව කටයුතු කරන අවස්‌ථා තිබෙන්නට ඇත. දැනුදු තිබිය හැකි ය. අප සිතනවාට වඩා දෙවියන් මිනිස්‌ ලොව කටයුතුවලට සහභාගී වන බවක්‌ හැඟී යයි.

මිථ්‍යාදෘෂ්ටික යන්නෙහි තේරුම වැරැදි දැක්‌මක්‌ සහිත යන්න මිස සිත නො දියුණු යන්න නො වේ. නිවන් අවබෝධය ගැන පැතුමක්‌ නොමැති ව භාවනාවෙහි යෙදිය හැකි ය. යෝගී අභ්‍යාසවල යෙදෙන්නන්ට නිවන් අවබෝධය පිළිබඳ හැඟීමක්‌ තිබිය යුතු නො වේ. එහෙත් සිත ද අවසාන වශයෙන් ගත් කල තවත් ඉන්ද්‍රියයක්‌ පමණක්‌ වෙයි. සියලු සංකල්ප සිතෙහි නිර්මාණ වෙයි. සිත ඇතැම් සංකල්ප අනෙක්‌ ඉන්ද්‍රිය සමඟ එකතු වී ද තවත් සංකල්ප අනෙක්‌ ඉන්ද්‍රියයන් ගෙන් ස්‌වායත්තව ද නිර්මාණය කරයි. මේ සංකල්ප නිවැරැදි නො වූවත් යම් කාලයක දී සිත එක්‌ අරමුණක තබාගැනීමට හැකි වීම උසස්‌ ක්‍රියාවක්‌ ලෙස අපි සලකමු.

එසේ සිත එක්‌ අරමුණක තබාගත හැකි වීමට නිවන පිළිගත යුතු ම නො වේ. නිවන නො පිළිගන්නෝ සිතෙහි ශක්‌තිය (චිත්ත ශක්‌තිය) වැඩි කර නොයෙකුත් ලෞකික බල ලබාගනිති. ඔවුන් ගේ සිත (ශක්‌තියෙන්) උසස්‌ වුවත් ශ්‍රේෂ්ඨ යෑයි කිව හැකි නො වේ. මාර්ගඵල අත්පත් කරගත්තෝ ශ්‍රේෂ්ඨ වෙති. මාර්ගඵල අත් කර ගැනීමේ දී ලෝභ, ද්වේෂ, මෝහ සිත් අත්හැරීමට සිදු වේ. භාවනාවෙන් වුව ද දැනුම ලබාගැනීමට ඇති කැමැත්ත ලෝභ සිත් උපදවයි. ඒ හේතුවෙන් ඇතැම් විට දැනුම ලබාගැනීමට ඇති අවස්‌ථා ද නැති වීමට හැකි ය.

මෙහි දී අපට අවශ්‍ය වන්නේ මිථ්‍යාදෘෂ්ටික දෙවියන් ගේ පැවැත්ම පිළිබඳ සාකච්ජාවක්‌ නො ව බෞද්ධයන් සත්ත්වයන් වර්ගීකරණයට ලක්‌ කරන්නේ කෙසේ දැයි පෙන්වා දීම හා බෞද්ධයන් ගේ සත්ත්වයා බටහිර ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ජීවත් වන්නන් ගේ සත්ත්වයා (ඇනිමල්) අතර ඇති වෙනස ඉස්‌මතු කිරීම ය. යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ සත්ත්වයා යන්න තිරිසන් සතුන්ට සීමා වෙයි. යෙහෝවා දෙවියන් වහන්සේ නෝවාට උපදෙස්‌ දුන්නේ තම යාත්‍රාවට සැම සත්ත්ව වර්ගයකින් ම ජෝඩුවක්‌ බැගින් ලබාගන්නට ය. එපමණක්‌ නො ව පරණ තෙස්‌තමේන්තුවේ ද සඳහන් වන්නේ දෙවියන් වහන්සේ ඒ ඒ සත්ත්වයා මවා පසුව තමන් වහන්සේ ගේ ප්‍රතිබිම්බය ලෙස මිනිසා මැවූ බව ය. දෙවියන් වහන්සේ මිනිසුන් වෙනුවෙන් සත්ත්වයා ද ලෝකය ද මැවූ හ.

බෞද්ධයන් ගේ සත්ත්වයා යන සංකල්පයට තිරිසන් සතුන් පමණක්‌ නො ව අමනුෂ්‍යයෝ ද මිනිස්‌සු ද දෙවියෝ ද බ්‍රහ්මයෝ ද අයත් වෙති. එපමණක්‌ නො ව අනෙක්‌ සත්ත්වයන් ඇත්තේ මිනිසා වෙනුවෙන් නො වේ. මිනිස්‌සු අනෙක්‌ සතුන්ට ප්‍රධාන නො වෙති. දෙවියන් ද තිරිසනුන් ද ඇතුළු අනෙක්‌ සතුන්ට මෙන් නො ව උපේක්‍ෂාවෙන් කරුණු තේරුම් ගැනීමේ හැකියාවක්‌ මිනිසුන්ට ඇති බව සැබෑ ය. එහෙත් එපමණකින් මිනිස්‌සු සතුන්ට ප්‍රධාන නො වෙති. මිනිස්‌ සතකු ඊළඟ අත්භවයෙහි තිරිසන් සතකු ලෙස ඉපදිය හැකි ය.

මහාචාර්ය නලින් ද සිල්වා