logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සියලු ඇනිමල්ලා නිදුක්‌ නො වීම

කිසි ම සත්ත්වයකුට සිය මනසින් තොර ව ලෝකයක්‌ ඇතැයි අපි නො කියමු. පැහැදිලිව ම ඒ කියමන මගේ මනසට සාපේක්‍ෂ වූවකි. එහෙත් මෙයින් අදහස්‌ වන්නේ ඒ ඒ අවස්‌ථාවේ දී මනස විසින් ග්‍රහණය කරගනු ලබන චිත්ත හෝ චිත්තවල අරමුණු හෝ නො වේ. චිත්තයකට නම් ඇත්තේ එක්‌ අරමුණක්‌ පමණකි. එහෙත් මනස යනු සිතිවිලි පරම්පරාවකි. ඒ සිතිවිලි පරම්පරාවෙහි ඇතැම් දේ අද අපට මතයකට නඟාගත හැකි ය. එලෙස මතකයට නඟාගත හැකි දේ ද ඒ ඒ සත්ත්වයා ගේ මනසට සාපේක්‍ෂව පවතින්නේ යෑයි අපි කියමු.

අප බොහෝ දෙනකුට අපේ කුඩා කල වූ ඇතැම් දේ මතක නමුත් අතීත ආත්මවල සිදු වූ දෑ මතක නැත. එසේ නම් ඒ අතීත ආත්ම අපට සාපේක්‍ෂව පවතී ද? ඒ අත්දැකීම් මනසෙහි ඇති නමුත් අපට ඒ දැක ගැනීමට ක්‍රමයක්‌ සාමාන්‍ය තත්ත්වයන්හි නැත. එහෙත් භාවනා කිරීමෙන් ඒ අත්දැකීම් ලබාගත හැකි යෑයි කියවෙයි. මනසෙහි ඇති සියල්ල අපට මේ මොහොතේ මතක්‌ කරගත හැකි වුවත් නැතත් අපට සාපේaක්‍ෂව පවතින්නේ යෑයි කියමු.

මෙය තරමක්‌ ගැටලු සහගත ය. අපට මතක්‌ කරගත නො හැකි දේ අපට සාපේක්‍ෂව පවතින්නේ යෑයි අප කියන්නේ කෙසේ ද? එසේ කියන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් නම් නො වන බව පැහැදිලි ය. එසේ නම් අප ඒ බව කියන්නේ අනුමානයෙන් ද? අපි යම්කිසි ආකාරයකින් එවැනි නිගමනයකට පැමිණෙමු ද? ඒ අනුමානයෙන් ද ලබාගත නො හැකි ය. එහෙත් අප සමඟ සිටින ඇතැම් විඤ්හු ඒ එසේ යෑයි පවසති. ඒ ඔවුන් ගේ ප්‍රත්‍යක්‍ෂය වෙයි. බුදුන් වහන්සේ ද අතීත භවයන් ගැන දේශනා කළ හ. අපි එබැවින් විඤ්න් අනුව යමින් ඒ බව පිළිගනිමු. මෙය කාලාම සුත්‍රයට එකඟ බව ඒ සූත්‍රය අවසානය වන තෙක්‌ කියවූවෝ දනිති.

අනෙක්‌ අතට අපට අවශ්‍ය නම් ඒ අත්දැකීම් ලබාගැනීමේ ක්‍රමයක්‌ ද අප සතු වෙයි. අපට ප්‍රශ්නය වී ඇත්තේ ඒ ක්‍රමය අනුගමනය කිරීමට අප සූදානම් නො වීම ය. අප ඒ ක්‍රමය අනුගමනය කරන්නේ නම්, එනම් අප භාවනා කරන්නේ නම් අපට ප්‍රත්‍යක්‍ෂයෙන් ම ඒ දැනගැනීමට හැකි වනු ඇත. ඇතැම් විට අතීත භවයන් දැකගැනීම සඳහා පමණක්‌ බෞද්ධ භාවනාවෙහි යෙදෙන්නන්ට ඒ නො පෙනී යැමට ඉඩ ඇත. එසේ වුවත් ඒ සඳහා බෞද්ධ නො වන වෙනත් භාවනා ක්‍රම තිබේ.

අප කලින් ද කියා ඇති පරිදි ඉලෙක්‌ට්‍රොaන දුටු අය නැති වුවත් යම් සේයරූවල දැක්‌වෙන රේඛා විවරණය කිරීමෙන් ඉලෙක්‌ට්‍රොaන ඇති බව, පවතින බව භෞතික විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. ඒ භෞතික විද්‍යාඥයන් එසේ ඉලෙක්‌ට්‍රොaන පවතින බව කියන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් නො වේ. ඔවුහු තර්කය හා ප්‍රවාද උපයෝගී කරගෙන ඒ නිගමනයට පැමිණෙති. ඔවුන් පමණක්‌ නො ව කිසි ම දාක බටහිර භෞතික විද්‍යාව හදාරා නැති අය ද අර භෞතික විද්‍යාඥයන් ගේ කියුම් අනුව යමින් ඉලෙක්‌ට්‍රොaන පවතින බව පවසති.

ඒ කුමක්‌ වුවත් මේ සියල්ල කිසිවකු ගේ වත් මනසින් තොර ව පවතින්නේ නො වේ. සැම දෙයක්‌ ම ඒ ඒ අය ගේ මනසට සාපේක්‍ෂ ව පවතියි. භෞතික විද්‍යාඥයා සේයාරූවල රේඛා සමූහයක්‌ අතර ඉලෙක්‌ට්‍රොaනයක්‌ දකින්නේ කෙසේ ද? ඔහු දන්නා ප්‍රවාද හා නිරීක්‍ෂණ ඔස්‌සේ ඒ රේඛා මගින් ඉලෙක්‌ට්‍රොaනයක්‌ දැකීමට ඔහුට උගන්වා ඇත. ඒ සඳහා ඔහු පුහුණු කෙරී ඇත. ඔහු ගේ නිරීක්‍ෂණ, ප්‍රවාද, විවරණ අතර විසංවාද නොමැති තාක්‌ ඔහුට එලෙස ඉලෙක්‌ට්‍රොaන දැකීමේ බාධාවක්‌ නැත. මෙහි දී අවධාරණය කළ යුතු කරුණ වන්නේ ඉලෙක්‌ට්‍රොaනය යනු බටහිර භෞතික විද්‍යාඥයා ගේ ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වන බව ය.

බටහිර භෞතික විද්‍යාඥයකු එවැනි ප්‍රත්‍යක්‍ෂ නො වන දැනුමක්‌ ලබාගැනීමට කොපමණ මුදලක්‌ වැය කර අවුරුදු කීයක්‌ පුහුණුව ලබාගත යුතු ද? පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළු වූ දිනයේ සිට ගණන් බැලුව හොත් ඒ දීර්ඝ කාලයක්‌ හා විශාල මුදලක්‌ වෙයි. බටහිර භෞතික විද්‍යාඥයකු වීමට තබා විවිධ හේතු නිසා උසස්‌ පෙළ භෞතික විද්‍යාව හැදෑරීමට අවස්‌ථාව නො ලැබූ ඇතැම්හු අර බටහිර භෞතික විද්‍යාඥයන් ගේ දෙසුම් අසා ඉලෙක්‌ට්‍රොaන ඇතැයි විශ්වාස කරති. එහෙත් භාවනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස පෙර භවයන් දකින අයකු ගේ අත්දැකීම් විශ්වාස කිරීමට ඒ පඬියෝ අකැමැති වෙති. ඔවුන් එහි දී කියන්නේ ඒ අත්දැකීම් සැමට ම ලබාගත නො හැකි බව ය. එහෙත් ඔවුන්ට අර භෞතික විද්‍යාඥයන් ගේ ඉලෙක්‌ට්‍රොaන පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ නො වන අත්දැකීම් ලබාගත හැකි ද? ඒ සඳහා ලංකාවේ එක ම පරීක්‍ෂණාගාරයක වත් පහසුකම් නොමැතිවා පමණක්‌ නො වේ. අවශ්‍ය කරන භෞතික විද්‍යා දැනුම ලබාගැනීමට වත් බොහෝ විට මේ පඬියන්ට නො හැකි ය. ඔවුන් ගෙන් ඇතැමකු උසස්‌ පෙළට වත් භෞතික විද්‍යාව හදාරා නැත.

මේ පඬියන් බටහිර භෞතික විද්‍යාඥයන් ගේ ප්‍රත්‍යක්‍ෂ නො වන කියුම් බස්‌ විශ්වාස කිරීමටත් භාවනාවෙන් ආධ්‍යත්මික ගුණ වගාවක්‌ ලබාගත් අය ගේ ප්‍රත්‍යක්‍ෂ වූ අත්දැකීම් ප්‍රතික්‍ෂේප කිරීමටත් හේතු ගණනාවක්‌ ඇත. එක්‌ ප්‍රධාන හේතුවක්‌ වන්නේ බටහිර විද්‍යාව ඇතුළු දැනුම් පද්ධතියේ ආධිපත්‍යය ය. බටහිර දැනුම විශේෂයෙන් ම ඊනියා විද්‍යාත්මක දැනුම එක ම සත්‍ය දැනුම යෑයි විශ්වාස කිරීමට අඩු ම තරමින් වක්‍රව උගන්වන අධ්‍යාපනයක්‌ ලබා ඇති ඔවුන්ට වෙනත් දැනුම් පද්ධති මිථ්‍යාවන් ලෙස පෙනෙනන්ට සලස්‌වා ඇත. ඔවුහු ඒ වෙනත් දැනුම් පද්ධති ගැන සිතීමට වත් නො පෙලඹෙති.

තවත් හේතුවක්‌ වන්නේ ඔවුන් ගේ දරුණු හීනමානය ය. මේ හීනමානය ද කලින් කී දැනුම් ආධිපත්‍යයෙන් ම ගලා එයි. අද ඊනියා ප්‍රබුද්ධ සමාජයේ වැදගත් තැනක්‌ ඇත්තේ බටහිර දැනුම වමාරන්නන්ට ය. බටහිර විද්‍යාඥයන්, ගණිතඥයන් ගැන අතනින් මෙතනින් කරුණු සොයාගෙන ඔවුන් ගැන ලියන්නන්ට ය. එකී වැදගත්කම ලබාගැනීමේ දී ආධ්‍යාත්මික වශයෙන් ලබාගන්නා ප්‍රත්‍යක්‍ෂ දැනුමට ගැරහීම ඊනියා ප්‍රබුද්ධත්වයෙහි අංගයක්‌ ලෙස සැලකෙයි. ඒ වෙනුවට ප්‍රත්‍යක්‍ෂ පසෙකින් තබා ඇරිස්‌ටෝටල් ගේ න්‍යාය යොදාගෙන ලබාගන්නා නිගමන වැළඳ ගැනීම වැදගත් වෙයි.

මෙයින් අදහස්‌ කෙරෙන්නේ ප්‍රත්‍යක්‍ෂය අපට සැම විට ම නිවැරැදි දැනුමක්‌ ලබා දෙන බව නො වේ. ප්‍රත්‍යක්‍ෂ යනු ද අපේ නිර්මාණ වෙයි. එහෙත් ප්‍රවාද, න්‍යාය, තර්කය ආදියෙන් ලබාගන්නා නිගමන ද අවසාන වශයෙන් යම් ආකාරයක ප්‍රත්‍යක්‍ෂයකට යටත් කිරීමට සිදු වෙයි. ඒ ඊනියා නිගමන නිවැරැදි දැයි දැනගැනීමට පර්යේෂණ සිදු කිරීම වැදගත් යෑයි පැවසෙන්නේ එබැවිනි. ප්‍රත්‍යක්‍ෂය ද අපේ නිර්මාණ බවත් මුළු ලෝකය ම සංකල්පීය බවත් යන්න අපේ දැනුම වෙයි. අපේ ඒ දැනුම ද අපට සාපේක්‍ෂ වෙයි. අපි එය ඊනියා වාස්‌තවික දැනුමක්‌ බවට පත් කිරීමට වෙහෙස නො වෙමු.

අප ක්‌වොන්ටම් භෞතිකය ගැන කතා කිරීමට පෙර තවදුරටත් ක්‌වොන්ටම් නො වන ලෝකයෙහි දැනුම ද අප විසින්, එනම් අපේ මනස්‌ විසින් සංස්‌කරණය කරන ලද දැනුමක්‌ පමණක්‌ බව තේරුම් ගත යුතු ව ඇත. එයට හේතුව අපෙන් තොර ව පවතින ඊනියා නීල ගුණයක්‌ ආදී ගුණ පිළිබඳව රසල් වැනි බටහිර ලෝකයේ ඉහළ දාර්ශනිකයන් ප්‍රකාශ කර තිබීම හා මෙරට බොහෝ දෙනා ඒ විශ්වාස කිරීම ය. එපමණක්‌ නො වේ. බිත්ති ආදිය අපෙන් තොර ව පවතින වස්‌තු බවත් අප ඒ ගැන දැනගන්නේ ප්‍රධාන වශයෙන් ම දැකීමෙන් හා ස්‌පර්ශ කිරීමෙන් බවත් අපි විශ්වාස කරමු.

බිත්තිය තනන්නේ, නිර්මාණය කරන්නේ මේසන් බාසුන්නැහැ පමණක්‌ නො වේ. අපි ද බිත්තිය නිර්මාණය කරමු. අපි සියල්ලෝ ම එකතු වී බිත්තිය නිර්මාණය කරමු. නැත හොත් අපේ මුතුන් මිත්තෝ එසේ කළ හ. බිත්තිය පිළිබඳ සංකල්පය අපේ, එනම් මිනිසුන් ගේ නිර්මාණයක්‌ මිස මේසන් බාසුන්නැහැ ගේ නිර්මාණයක්‌ නො වේ. අපේ පංෙච්න්ද්‍රිය හා මනස ඒ ආකාරයෙන් අපට සාපේක්‍ෂව නො පවතින්නට අපට බිත්තියක්‌ අප දැන් දන්නා ආකාරයෙන් නො පවතින්නට තිබිණි.

අපේ ශරීරයට බිත්තිය පසාරු කරගෙන යැමට හැකි විණි නම් අපට තද බිත්තියක්‌ පිළිබඳ සංකල්පයක්‌ ඇති නො වේ. අපට කොට්‌ටයක්‌ යන්න තද වස්‌තුවක්‌ නො වේ. අපට එය යම් ප්‍රමාණයකට වුවත් පොඩි කළ හැකි ය. පොඩි කිරීම යන්නෙහි මුල් තේරුම යම් වස්‌තුවක පරිමාව තිබෙන ප්‍රමාණයට වඩා කුඩා (පොඩි) කිරීම විය හැකි ය. අපට කොට්‌ට ආදී වස්‌තුවල පරිමාව යම් පමණකින් කුඩා කළ හැකි වුව ද බිත්තියක හෝ කළු ගලක හෝ පරිමාව එසේ කුඩා කළ හැකි නො වේ. එහෙත් අලියකුට ගලක්‌ වෙනත් ආයුධයක්‌ නැති ව කුඩු කළ හැකි ය. එසේ ම කුහුඹුවකුට කොට්‌ටයක්‌ පොඩි කළ හැකි නො වේ. කුහුඹුවන්ට කොට්‌ට යනු තද වස්‌තු වෙයි. අලින්ට ගලක්‌ යනු තද වස්‌තුවක්‌ නො වනු ඇත. අප ඒ ඒ වස්‌තුවල ගුණ නිර්මාණය කරන්නේ අපේ ඉන්ද්‍රියයන්ට සාපේක්‍ෂව ය. වෙනත් සත්තු වෙනත් වෙනත් ලෝක නිර්මාණය කරති. කුහුඹුවන්ට හා අලින්ට සංකල්ප නැතැයි කියා ප්‍රශ්නයෙන් පැන යා නො හැකි ය. කුහුඹුවන්ට, අලින්ට හා අනෙක්‌ සතුන්ට මනස්‌ නැතැයි මෑතක්‌ වන තුරු සිතුවෝ බටහිර විද්‍යාඥයෝ ය. අදත් බටහිර විද්‍යාඥයන් කිහිප දෙනකු හැරුණු විට බොහෝ දෙනා මිනිසුන් හැරෙන්නට අනෙක්‌ සතුන්ට මනස්‌ නැතැයි ගනිති. එහෙත් බෞද්ධයන් සතුන් ගැන දන්නේ ජිවීන් ලෙස පමණක්‌ නො ව මනස්‌ සහිත ප්‍රාණීන් ද ලෙස ය.

අප කලින් ද කියා ඇති පරිදි බටහිර ජීව විද්‍යාවට ජීවය යන සංකල්පය මිස ප්‍රාණය යන සංකල්පය නැත. එහි සත්ත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව යනුවෙන් විද්‍යා දෙකක්‌ තිබිණි ද, ප්‍රාණය, ප්‍රාණියා යන සංකල්පය නැත. මිනිසුන් හැරෙන්නට අනෙක්‌ සතුන්ට මනස්‌ නැතැයි තවමත් බොහෝ බටහිර ජීව විද්‍යාඥයන් සිතන්නේ එබැවිනි. මෙය මිනිසුන් එක ම ආකාරයෙන් නො සිතන බවට ද උදාහරණයක්‌ වෙයි. මනස්‌ තිබිණි ද සියලු මිනිස්‌සු එක ම ආකාරයෙන් නො සිතති. බටහිර බොහෝ ජීව විද්‍යාඥයන්ට හා බොහෝ බටහිරයන්ට අනුව අනෙක්‌ සතුන්ට මනස්‌ නැත. එහෙත් බෞද්ධයෝ අනෙක්‌ සතුන්ට මනස්‌ ඇතැයි ගනිති. මේ පැහැදිලිව ම සංස්‌කෘතික වෙනසකි. බෞද්ධයන් අනෙක්‌ සතුන්ට ද මනස්‌ ඇතැයි සිතන්නේ ඔවුන්ට සංස්‌කෘතියෙන් එසේ සිතීමට පුරුදු කර ඇති බැවිනි.

බෞද්ධයන්ට සසර නැමැති සංකල්පය ඇත. මේ ඝෝර සසරේ අපි මිනිසුන් පමණක්‌ නො ව සතුන් ලෙස ද භවයන් අත් කර ගනිමු. අපේ කුසල් අකුසල් විඥනය අනුව සසරේ සැරිසරමු. මේ සියලු කරුණු සංගත වන්නේ මනස්‌ ඇති සතුන් ද සහිත ලෝකයක ය. බෞද්ධයෝ අනෙක්‌ සතුන් තමන් වෙනුවෙන් මවා හෝ මැවී හෝ ඇතැයි නො සලකති. එහෙත් බටහිර ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි සතුන් මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසුන් වෙනුවෙනි. බෞද්ධ සංස්‌කෘතියෙහි සත්ත්වයා යනු බටහිර ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි සත්ත්වයා (animal) නො වේ. බෞද්ධයන් විසින් සත්ත්වයා යන සංකල්පය නිර්මාණය කෙරී ඇත්තේ සසර සමඟ සංගත වන අයුරින් ය. බටහිරයන්ට සියලු ඇනිමල්ලා නිදුක්‌ වෙත් වා යනුවෙන් ආකල්පයක්‌ නැත.

මහාචාර්ය නලින් ද සිල්වා