logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මන්දාකිණියක්‌ මනසෙන් කෙතරම් ඈත පිහිටියේ ද?

අතීතයට බලපාන පරි සංකල්ප නිර්මාණය යන්න තවදුරටත් පැහැ ලි කළ යුතු වෙයි. බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කර තවම අවුරුදු සියයක්‌ නැත. එහෙත් බෞද්ධයනට සක්‌වළ දස දහස්‌ ගණනක්‌ අවුරුදු දෙ දහස්‌ පන්සියයකට පෙර ද තිබී ඇත. සක්‌වළක්‌ හෙවත් චක්‍රාවාටයක්‌ යනු මන්දාකිණියක්‌ යෑයි අපි කිසිසේත් නො කියමු. මුගලන් මහ රහතන් වහන්සේ විශ්වයේ කෙළවර සොයන්නට උත්සාහ ගත් අවස්‌ථාවෙහි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් වළකනු ලැබූ හ. බෞද්ධයන් එවැනි විශ්වයක්‌ ගැන හුදු ආධ්‍යාත්මික ශක්‌තියෙන් පමණක්‌ දැන සිටි අවධියක බටහිරයන් ගේ විශ්වය සෞර්ය ග්‍රහ මණ්‌ඩලයටත් කුඩා විය.

මා මෙයින් පෙන්නුම් කිරීමට තැත් කරන්නේ අවුරුදු දෙ දහස්‌ පන් සියයකට පෙර බෞද්ධයන් ගේ විශ්වවේදී දැනුම බටහිරයන් ගේ දැනුමට වඩා ඉතා උසස්‌ මට්‌ටමක තිබූ බව නො වේ. අවුරුදු දෙ දහස්‌ පන් සියයකට පෙර බටහිරයන්ට මන්දාකිණි හෝ ඉතා විශාල විශ්වයක්‌ හෝ නො තිබුණු බව ය. එවැනි තත්වයක ඊනියා මහා පිපිරුමක්‌ ගැන කතා කිරීම පවා අනවශ්‍ය ය. එහෙත් අවුරුදු දෙ දහස්‌ පන් සියයකට පෙර බෞද්ධයනට අති විශාල විශ්වයක්‌ තිබුණා පමණක්‌ නො ව ඒ විශ්වය කලක දී ප්‍රසාරණය වන තවත් කලක දී සංකෝචනය වන විශ්වයක්‌ ද විය.

ඒ විශ්වය රහතන් වහන්සේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් දුටු විශ්වයක්‌ විය. එපමණක්‌ නො ව ඒ විශ්වය අද බටහිරයන් කතා කරන ඊනියා මහා පිපුරුම හා සම්බන්ධ ගින් ගට ම ප්‍රසාරණය වන විශ්වයට වඩා මට විශ්වාස ය. මහා පිපිරුම හා ප්‍රසාරණය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි බිහි වූ විශ්වයක ආකෘතියකි. එහි දෙවියන් වහන්සේ හෙවත් මැවුම්කරුවකු නැත. එහෙත් මැවීමක්‌ ඇත. ඒ විශ්වයට ආරම්භයක්‌ ඇත. එයට එරෙහි ව කැලණිය විශ්වවිද්‍යාලයයේ සංවට්‌ටකප්ප විවට්‌ටකප්ප විශ්වයක්‌ ගැන ආකෘතියක්‌ තනා ඇත. ඒ රහතන් වහන්සේ දුටු මුලක්‌ අගක්‌ නැති විටෙක ප්‍රසාරණය වන තවත් විටෙක සංකෝචනය වන විශ්වයකි.

බටහිරයන් කැලණිය විශ්වවිද්‍යාලයයේ විශ්වය නො පිළිගන්නා බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් ඒ ආකෘතියෙන් අපට බොහෝ කලකට පෙර ඇති විණි යෑයි කියන උද්ධමනය ද, පසුව ඇති වූ මන්දනයක්‌ සහිත ප්‍රසාරණය ද දැන් ඇතැයි කියන ත්වරණයක්‌ සහිත ප්‍රසාරණය ද තේරුම් ගත හැකි ය. එපමණක්‌ නො ව, තව ටික කලකින් නැවතත් මන්දනයක්‌ සහිත ප්‍රසාරණයක්‌ වන බව ද ඉන් පසු ප්‍රසාරණය සංකෝචනයකට පෙරළෙන බව ද අපට අනාවැකියක්‌ පළ කළ හැකි ය. අපේ අනාවැකි සඵල වන්නේ දැයි දැනගැනීමට අපි පුල පුලා බලා සිටිමු.

එහෙත් අපට මෙහි දී අදාළ වන්නේ එය නො වේ. බටහිරයන් අවුරුදු සියයකට පෙර මන්දාකිණි ගැන දැනගැනීමට පෙර ඔවුන්ට මන්දාකිණි වී ද? මන්දාකිණි යනු විදුලි බල්බ නො වේ. තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය නිර්මාණය කිරීමට පෙර ලොවෙහි විදුලි බල්බ නො වී ය. ඔහු විදුලි බල්බය නිපදවා ඒ ගැන දැනගැනීමට පෙර ලොවෙහි කිසිවකුටත් විදුලි බල්බ නො වී ය. එහෙත් මන්දාකිණි ගැන එසේ කීමට හැකි දැයි පඬියන් ප්‍රශ්න කරනු ඇත.

ඒ ප්‍රශ්නයට අපි පැහැ ලි පිළිතුරක්‌ දෙමු. දැනට අවුරුදු සියයකට පෙර බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කිරීමට පෙර ඔවුන්ට මන්දාකිණි නො වී ය. තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය හා අදාළ සංකල්පය නිර්මාණය කිරීමට පෙර බටහිරයන්ට විදුලි බල්බ නො වී ය. එමෙන්ම බටහිරයන් මන්දාකිණි යන සංකල්පය සහිතව ප්‍රථම වරට මන්දාකිණියක්‌ නිරීක්‍ෂණය කරන තුරු ඔවුන්ට මන්දාකිණි නො වී ය.

මෙහි දී පැහැ ලි කරගත යුතු කරුණ නම් වෙනත් කිසිවකුට නො ව බටහිරයන්ට ඉන් පෙර මන්දාකිණි නො වූ බව ය. එහෙත් ඔවුන් ඒ ප්‍රථම මන්දාකිණිය නිරීක්‍ෂණයට කිරීමට පෙර විශ්වයේ මන්දාකිණි නො වී දැයි පඬිවරු අසනු ඇත. අප කියා සිටින්නේ නිරීක්‍ෂකයන් නොමැති ව කිසිවකුට සාපේක්‍ෂ නො වී මන්දාකිණි නො පවතින බව ය. එසේ නම් ඉන් පසුව නිරීක්‍ෂණය කරන ලද මන්දාකිණි ඒ ඒ මන්දාකිණිවලින් ආලෝකය නිකුත් කරන අවස්‌ථාවල හෝ එයට පෙර හෝ නො පැවතියේ ද යනුවෙන් නැවතත් බටහිරයන් ගෙන් ඉගෙන ගත් පඬියන් ප්‍රශ්න කරනු ඇත.

ඒ ප්‍රශ්නයට අප දෙන පිළිතුර සංකීර්ණ වෙයි. බටහිරයන් පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කරගන්නේ අතීතයට ද බලපාන පරි ය. එබැවින් ඔවුන්ට සාපේක්‍ෂව මන්දාකිණි ඉතා ඈත අතීතයේ සිට පවතියි. විශ්වයේ මන්දාකිණියක්‌ පළමුවෙන් නිර්මාණය වූයේ කෙ නක ද එ න සිට ම අවුරුදු සියයකට මෙහා ජීවත් වන බටහිරයන්ට මන්දාකිණි තිබී ඇත. එසේ වුවත් බටහිරයන්ට එසේ ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි ඇත්තේ ඔවුන් අවුරුදු සියයකට පමණ පෙර පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කරගැනීමෙන් පසුව ය.

වෙනත් වචනවලින් කියන්නේ නම් අවුරුදු සියයකට එහා ජීවත් වු බටහිරයන්ට මන්දාකිණි තිබී නැත. එහෙත් අවුරුදු සියයකින් පමණ මෑතක සිටින බටහිරයන්ට (ඈත්තට ම මන්දාකිණි ගැන අසා ඇති බටහිරයන්ට) ඉතා ඈත අතීතයේ සිට ම මන්දාකිණි ඇත. එමෙන් ම අවුරුදු සියයකට පමණ පෙර සිටි බටහිරයන්ට මෙන් ම ඉන් පසුව සිටින අති විශාල බටහිරයන් පිරිසකට ද බෞද්ධයන් දන්නා සක්‌වළ නැත. ඒ සක්‌වල ඇත්තේ බෞද්ධ පොතපත කියවා ඇති බටහිරයන් අතළොස්‌සකට පමණය ය.

අප නැවතත් අවධාරණය කරන්නේ බටහිරයන් ගේ මන්දාකිණියක්‌ හා බෞද්ධයන් ගේ චක්‍රාවාටයක්‌ යනු එකක්‌ ම නො වන බව ය. එබැවින් බෞද්ධයනට ද චක්‍රාවාට තිබී ඇති නමුත් මන්දාකිණි තිබී නැත. එයින් කියෑවෙන්නේ අවුරුදු සියයකට පමණ පෙර ලෝකයේ කිසිවකුට මන්දාකිණි නො තිබුණු බව ය එහෙත් පඬියන් නැවතත් අසනු ඇත්තේ ඉන් පෙර විශ්වයේ මන්දාකිණි නො තිබිණි ද යන්න ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නො වී නිරපේක්‍ෂව විශ්වයේ අසවල් එක තිබිණි ද නැත් ද යන ප්‍රශ්නය ම අර්ථ ශූන්‍ය ප්‍රශ්නයකි. මෙහි විහිළුවක්‌ ද වෙයි. නිරපේක්‍ෂ යන්න නිරපේක්‍ෂ ව යෙ ය හැකි නො වේ. නිරපේක්‍ෂ වන්නේ ද නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව යෘ නිරපේක්‍ෂව නිරපේක්‍ෂ වීමක්‌ ගැන කතා කළ හැකි ද?

විශ්වයේ යමක්‌ තිබෙන්නේ යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නො වී පවත්නා යමක්‌ ගැන කතා කිරීම ම විහිළුවකි. එසේ නම් අවුරුදු සියයකට පමණ පෙර බටහිරයන්ට සාපේක්‍ෂව මන්දාකිණි පැවතීමට පෙර ඒ මන්දාකිණි විශ්වයේ නො තිබිණි ද යන ප්‍රශ්නය කිසිවකු අසනු ඇත. අවුරුදු සියයකට පෙර සිටි බටහිරයන්ට කිසි නෙක මන්දාකිණි නො පවතින්නටත් අවුරුදු සියයකින් මෙහා සිටින බටහිරයන්ට ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි පැවතීමටත් හේතුව ඒ අවස්‌ථාවේ දී බටහිරයන්ට සියලු මන්දාකිණි පහළ වීම දැයි පඬියකු අසනු ඇත.

පඬියා නො දන්නවාට ඔහු අසන්නේ පිළිතුරක්‌ ඇති ප්‍රශ්නයකි. ප්‍රශ්නයට පිළිතුර ඔව් යන්න ය. එහෙත් එහි තේරුම විශ්වයේ සියලු මන්දාකිණි ඒ අවස්‌ථාවේ දී, එනම් අවුරුදු සියයකට පමණ පෙර, විශ්වයේ භෞතිකව (ද්‍රව්‍යමයව) නිර්මාණය වූ බව හෝ ප්‍රාදුර්භූත වූ බව හෝ නො වේ. ඒ අවස්‌ථාවේ දී බටහිරයෝ විශ්වයේ මන්දාකිණි සංකල්පීය ව අතීතයට බලපාන පරි නිර්මාණය කළ හ. අපට වැදගත් වන්නේ මේ සංකල්පීය නිර්මාණය ය.

සංකල්පය නිර්මාණය වන්නේ සිතෙහි ය. එහි දී සිත අනෙක්‌ ඉන්ද්‍රිය ද, එනම් බටහිරයන් පංචෙන්ද්‍රිය ලෙස ගන්නා ඉන්ද්‍රිය ද, ආධාරයට ගනියි. දුරේක්‍ෂයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ ඈත මන්දාකිණියක්‌ දෙස ඇසෙන් බලන්නේ මනසෙහි නිර්මාණය වන්නා වූ සංකල්පය ද සමගින් ය. සංකල්පය ද සංජානනය ද එකට ඇති වෙයි. සංකල්පයකින් තොර ව සංජානනයක්‌ හෝ සංජානනයකින් තොර ව සංකල්පයක්‌ හෝ ඇති නො වෙයි.

වචනයෙන් හෝ චින්ත රූපයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ නිර්මාණය කෙරෙන සංකල්පයකින් තොර ව සංජානනයක්‌ නැත. සංජානනයක්‌ නොමැති ව ඊනියා බාහිර වස්‌තු නැත. ඒවා බාහිර වස්‌තු ලෙස ගත්ත ද ඒවා අපේ මනස විසින් අනෙක්‌ ඉන්ද්‍රියයන් ආධාර කරගනිමින් ග්‍රහණය කරගනු ලැබුව ද ඒවාහි සංකල්ප ඇති වන්නේ මනසෙහි ය. අප බාහිර වස්‌තුවක්‌ යනුවෙන් හඳුන්වන්නේ අපේ භෞතික ශරීරයෙන් බාහිර ව අවකාශයෙහි පවතින්නේ යෑයි අප විසින් සැලකෙන වස්‌තුවකි.

මේ බාහිර වස්‌තු අවකාශයෙහි අපේ සිරුරෙන් ඈත් වී පවත්නා වස්‌තු ලෙස අප සලකන්නේ ද සිතෙනි. අවකාශය, සිරුර, වස්‌තුව ආදී මේ සියල්ල සංකල්ප නොමැති ව අපට සාපේක්‍ෂව නො පවතියි. අපට ප්‍රශ්නය වී ඇත්තේ මනස ඉන්ද්‍රියයක්‌ ලෙස නො ගැනීමට අපට බටහිරයන් පුරුදු කර තිබී ය. මනස ද ඉන්ද්‍රියයක්‌ ලෙස ගත හොත් ඊනියා බාහිර වස්‌තු ද මනසෙහි නිර්මාණ බව පෙනී යනු ඇත. මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති වන්නේ මනසෙහි ය. අපට මනසෙන් තොර ව මන්දාකිණියක්‌ නැත. මනසක්‌ නැති හබල් දුරේක්‍ෂයට මන්දාකිණි තිබේ ද?

එපමණක්‌ නො ව මනසෙන් තොර ව මනසක්‌ ද නැත. මනස නම් සංකල්පය ද මනසෙහි නිර්මාණයකි. මනස යනු කුමක්‌ දැයි බටහිරයන්ට, එනම් ඊනියා නූතනවාදීන්ට, මාක්‌ස්‌වාදීන්ට, ලිබරල්වාදීන්ට, පශ්චාත් මාක්‌ස්‌වාදීන්ට, පශ්චාත් නූතනවාදීන්ට හා වෙනත් නොයෙකුත්වාදීන්ට කිසි නෙක තේරුම් ගත නොහැකි සංකල්පයක්‌ බවට පත් වී ඇත්තේ ඔවුන්ට බාහිරව මිස වෙනත් ආකාරයකට ඊනියා වස්‌තු දෙස නො බැලිය හැකි බැවිනි. මනස යනු මනසෙහි ම ඇති වන සංකල්පයක්‌ බව බටහිරයන්ට තේරුම් ගත හැකි වනු ඇත්තේ සුසමාදර්ශී විප්ලවයකින් නො ව චින්තන විප්ලවයකින් පසුව ය.

ඊනියා අවකාශයෙහි මන්දාකිණි ඇත්තේ අපේ සිරුරට බොහෝ ඈතින් ය. ඒ දුර මැනෙන්නේ ආලෝක වර්ෂවලිනි. එහෙත් මන්දාකිණියකට මනසෙන් ඇති දුර කොපමණ ද? සංකල්පයක්‌ ලෙස ගත් කල මන්දාකිණිය ඇත්තේ ද මනසෙහි බැවින් මන්දාකිණියකට මනසේ සිට ඇති දුර ශුන්‍ය වෙයි. මෙහි දුර යනු ඊනියා අවකාශයෙහි ඇති දුරක්‌ නො වන බව පැහැ ලි විය යුතු ය. මුළු ලොව ම ඇත්තේ බඹයක්‌ පමණ වූ මිනිස්‌ සිරුර තුළ යෑයි බුදුන් වහන්සේ දේශනා කළේ ඇයි දැයි අපට සිතාගත හැකි ය. එය ද මනස විසින් කෙරෙන සිතාගැනීමක්‌ බව අමතක නො කළ යුතු ය.

අපට දැන් ප්‍රශ්න නැතිවා නො වේ. එක්‌ පැත්තකින් මනස ද නිර්මාණයක්‌ පමණකි. මනස යනුවෙන් යම් කිසිවක්‌ පවතින බව හා සියල්ල මනසෙහි නිර්මාණ යනුවෙන් පවසන්නේ විඥානවා යෝ වෙති. අපි විඥානවාදීහු නො වෙමු. අපට සදාකාලික ව හෝ යථාර්ථයක්‌ ලෙස හෝ පවතින මනසක්‌ නැත. මනසක්‌ ඇතැයි ගන්නා අය නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පෑමෙන් පසුව මනස ඇත්තේ ද නැත්තේ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ නො දෙති. එවැනි ප්‍රශ්නවලට මනස ඇත්තේ ද නැත, නැත්තේ ද නැත ආදී පිළිතුරු වලංගු නො වේ.

මහාචාර්ය නලින් ද සිල්වා