* logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජගත් පරිසර විමසුම 47
ධනේෂ් විසුම්පෙරුම

අනාගතයේ දී ස්‌වාභාවික ආපදාවලින්
සිදු විය හැකි හානිය අතිවිශාලයි


ස්‌වාභාවික ආපදා පිළිබඳව අපි බොහෝ සේ සැලකිලිමත් වෙමු. ඒ නිසා ඇති විය හැකි ජීවිත හානි හා දේපොළ හානි විශාල වීම මේ සඳහා මූලික හේතුව වේ. අප අමතක කළ ද මේ නිසා පාරිසරික වශයෙන් ද විශාල හානියක්‌ ඇති විය හැකි ය. භූමිකම්පා, සුළිසුළං, කුණාටු, ගංවතුර, නියඟ, තාප ප්‍රවාහ හා නායයැම් මෙන් ම කලාතුරකින් වුවත් ඇතිවිය හැකි සුනාමි වැනි තත්ත්ව ස්‌වාභාවික ආපදා අතර වඩා ප්‍රකට ඒවා වේ. මේවායේ දැකිය හැකි සුවිශේෂත්වය වන්නේ ඒවා වැළැක්‌විය නො හැකි වීම ය. මිනිසුන්ට කළ හැකි එක ම දේ වන්නේ ඒවායෙන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට කටයුතු කිරීම පමණකි.

පසුගිය වර්ෂ 40ක පමණ කාලයේ දී ඇති වූ ස්‌වාභාවික ආපදාවලින් මියගොස්‌ ඇති මිනිසුන් ගණන මිලියන 3.3ක්‌ පමණ වේ. ඒ අනුව වර්ෂයක දී සාමාන්‍යයෙන් 82,500ක්‌ පමණ මිය ගොස්‌ තිබේ. නියඟයේ බලපෑම් හේතුවෙන් අප්‍රිකාවේ පමණක්‌ මිලියනයක්‌ පමණ පිරිසක්‌ මියගොස්‌ ඇත. මේ ආපදා නිසා ඇති වී තිබෙන දේපොළ හානිය ද සැළකිය යුතු ය. 1970-2008 අතර කාලයේ දී ඇති වූ හානියේ මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2,300ක්‌ (2008 අගයයෙන්) පමණ වී තිබේ. ඉන් වැඩි පිරිසක්‌ දුප්පත් රටවල් හා මධ්‍යම මට්‌ටමේ ආදායම් ලබන රටවල් ය.

අනාගතයේ දී ස්‌වාභාවික ආපදාවලින් ඇතිවිය හැකි බලපෑම් කෙසේ වේ ද? මේ පිළිබඳව යම් පුරෝකථනයක්‌ පසුගියදා පළ වූ වාර්තාවකින් සිදු කර තිබේ.

අනාගත ආපදා වර්ධනය

"ස්‌වාභාවික ආපදා, අස්‌වාභාවික ව්‍යසන ( ඵලදායී නිවාරණයක ආර්ථිකය" නම් මේ වාර්තාව එක්‌සත් ජාතීන් ගේ සංවිධානය හා ලෝක බැංකුව විසින් නිකුත් කළ ඒකාබද්ධ වාර්තාවකි. ඒ අනුව 2100 වර්ෂය වන විට ස්‌වාභාවික ආපදාවලින් සිදුවිය හැකි හානිය අද මෙන් තුන්ගුණයකින් පමණ වැඩි විය හැකි ය. එ නම් වාර්ෂිකව සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 185ක්‌ පමණ තරම් විය හැකි ය. මේ ගණනය කිරීම් සිදුකර ඇත්තේ දේශගුණ වෙනස්‌ වීම නිසා විය හැකි බලපෑම් නො සලකා වීම තවත් විශේෂත්වයකි.

මේ ආකාරයෙන් වර්ධනය විය හැකි ආපදා කෙබඳු ද යන්න ඒ වාර්තාවේ දක්‌වා තිබේ. නිදසුනක්‌ ලෙස 2050 වර්ෂය වන විට විශාල නගර ආශ්‍රිතව ඇතිවිය හැකි සුළිකුණාටු හා භූමිකම්පාවලට නිරාවරණය වන ජනතාව ගේ ප්‍රමාණය දෙගුණයකින් පමණ ඉහළ යනු ඇත. ඒ අනුව බිලියන 1.5ක පමණ පිරිසක්‌ මේ අවදානමට ලක්‌විය හැකිය. එය ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකි. මේ ඉහළ යැමට එක්‌ හේතුවක්‌ වන්නේ වැඩි ජනතාවක්‌ ඒ වනවිට නාගරික ප්‍රදේශවලට පැමිණීමෙන් ඇතිවිය හැකි ආර්ථික වර්ධනයත් නිසා ය. ජනතාව ආර්ථික අතින් වඩා ඉහළ තලයක සිටීම නිසා ඔවුන්ට අහිමි වීමට ඇති දේ ද අධික ය.

මේ අතර දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි බලපෑම් හේතුවෙන් ස්‌වාභාවික ආපදා නිසා ඇතිවන හානිය තවත් ඉහළ යා හැකි ය. නිදසුනක්‌ ලෙස මේ වන විට සැක කරනු ලබන දේශගුණ අවදානමක්‌ වන කුණාටුවල ප්‍රබලතාව ඉහළ යැම නිසා පමණක්‌ ඩොලර් බිලියන 28ත් 68ත් අතර හානියක්‌ ඇති විය හැකි වේ.

වැදගත් වන්නේ ආපදා නිවාරණයයි

මේ තත්ත්වය වැළැක්‌වීම නිසා සිදුකළ යුත්තේ කුමක්‌ ද? මේ වන විට ආපදාවල දී වැඩි අවධානයක්‌ යොමු වී ඇත්තේ සහන සැලසීම සඳහා ය. ඒ වෙනුවට අපදාව වැළැක්‌වීමේ ක්‍රම හෙවත් නිවාරණය වෙත වැඩි අවධානයක්‌ යොමු කළ හැකි ය. මේ වාර්තාවෙන් දක්‌වා ඇති පරිදි එවැනි ප්‍රයත්න සාර්ථක වූ අවස්‌ථා ද බොහෝ සේ තිබේ. උක්‌ත වාර්තාවේ දැක්‌වෙන මෙවැනි ක්‍රියාමාර්ග ඇතැම් විට බොහෝ සරළ ය. ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග රැසක්‌ ද පෙන්වා දී ඇත. නිදසුනක්‌ ලෙස කාලගුණ අනාවැකි ජනතාව වෙත කල්තබා සන්නිවේදනය කළ හැකි ය. කාලගුණ අනාවැකි පැවසීම අද වන විට තාක්‌ෂණික වශයෙන් දියුණු වී ඇති අතර තෙදිනක්‌ සඳහා පවසන අනාවැකි සියයට 95ක්‌ ද සත්දිනක්‌ සඳහා වන අනාවැකි සියයට 50ක්‌ පමණ ද නිවැරැදි ය. එහෙත් ඇතැම් රටවල මේ අංශයට ප්‍රමාණවත් මුදලක්‌ වෙන් නො කිරීම නිසා ආපදා තත්ත්ව පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හා සන්නිවේදනයේ ගැටලූ ඇති වී තිබේ.

එමෙන් ම පාලම් ආදී වානේ ව්‍යqහ මල බැඳීමෙන් වළක්‌වා ගැනීම, කුණාටු ආදියෙන් එක්‌වන ජලය බැසයන පද්ධති නිසි පරිදි නඩත්තු කොට තබා ගැනීම වැනි වඩා සරළ ක්‍රියාමාර්ග ද නිවාරණ ක්‍රියාමාර්ග අතරට එයි. ඇතැම් විට ඉදිකිරීම් නඩත්තු නො කිරීම ද ඒවා විනාශ වීම සඳහා හේතු විය හැකි ය. මේ සඳහා ප්‍රතිපත්තිමය වෙනස්‌කම් ද වැදගත් වේ. නිදසුනක්‌ ලෙස ඉඩම්වල හිමිකම් නිසි ලෙස පවරාදුනහොත් ඒ ජනතාව තම වාසස්‌ථාන හා වෙනත් ඉදිකිරීම් වඩා හොඳින් පවත්වාගෙන යාමට පෙළඹේ.

එසේම ඇතැම් ඉදිකිරීම් කාර්යයන් දෙකක්‌ උදෙසා භාවිත කළ හැකි වීම වියදම් අවම කළ හැකි උපාය මාර්ගයකි. නිදසුනක්‌ ලෙස බංගලාදේශයේ පාසල් ගොඩනැගිලි කුණාටුවලින් ආරක්‌ෂා වීම සඳහා ආවරණයක්‌ ලෙස ද භාවිත කෙරේ. මේ වන විට බංගලාදේශයේ කුණාටු නිසා ඇතිවන මරණ ප්‍රමාණය බෙහෙවින් අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබේ. එසේ ම මැලේසියාවේ මහාමාර්ග වැසි ජලය බැසයාමේ මාර්ගයක්‌ ලෙස ද භාවිත වේ.

එසේම පාරිසරික ස්‌වාරක්‌ෂක පිළිබඳව අවධානය යොමුකිරීමේ ඇති වැදගත්කම ද මේ වාර්තාව අවධාරණය කරයි. නිදසුනක්‌ ලෙස කඩොලාන ශාක තිබීම කුණාටු හා සුනාමි තත්ත්වවලින් ආරක්‌ෂා වීම සඳහා වැදගත් ය. වනාන්තර වැස්‌ම පැවැතීම නිසා ගංවතුර හානිය අඩුකර ගැනීමට හැකියාවක්‌ ද තිබේ.

(මූලාශ්‍රය: Natural Hazards, UnNatural Disasters:
The Economics of Effective Prevention,
2010 - http://www.gfdrr.org/gfdrr/nhudhome)

ආහාර දවටනවල ඇති රසායන ශරීරගත වීමේ අවදානමක්‌?

ආහාර දවටනවල විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි ය. ආහාරවල සෞඛ්‍යාරක්‌ෂිතභාවය පවත්වා ගැනීම සඳහා දවටන වැදගත් වන නිසා මේවා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලෙස සැලකේ. එහෙත් ආහාර ද්‍රව්‍ය අඩංගු දවටනවල ඇතුළත් ඇතැම් රසායන ද්‍රව්‍ය ආහාරවල එක්‌වන අතර ඉන්පසුව මිනිසුන් ගේ ශරීරගත වන බව විද්‍යාත්මකව පෙන්වා දී තිබේ. එවැනි තවත් වාර්තාවක්‌ මෑත දී පළ වී තිබේ.

මේ අධ්‍යයනයේ අවධානය යොමු වී තිබුණේ පර්ෆ්ලොරිනේටඩ් කාබොක්‌සිලික්‌ අම්ල (Perfluorinated carboxylic acids) හෙවත් PFCA කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍ය පිළිබඳව ය. මේවා නො ඇලෙන සුලූ බව හා ජලය හා පැල්ලම් ආදිය ඇලීම වැළැක්‌වීම වැනි ලක්‌ෂණ ලබාදීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍යවල අඩංගු රසායන ද්‍රව්‍ය බිඳීයාමේ ප්‍රතිඵලයකි. මේවා විවිධ භාණ්‌ඩවල අඩංගු ය. නිදසුනක්‌ ලෙස මුළුතැන්ගේ භාවිත කරන බඳුන් හා ආහාර දවටන මෙන් ම ඇතැම් ඇඳුම්වල ද ඇතුළත් වේ. මයික්‍රොවේව් උඳුන්වල බහාලන පොප්කෝන් ආවරණ තුළ ද මේවා ඇතුළත් ය. මේ රසායන ද්‍රව්‍ය මිනිසුන aගේ ශරීරවල හමුවන බව මින් පෙර පර්යේෂණාත්මකව පෙන්වා දී තිබිණි. ඒවා ශරීරගත වූ ක්‍රමය ලෙස සැක කරන ලද්දේ පොලිෆ්ලෝරොඇල්කයිල් පොස්‌පේට්‌ එස්‌ටර (PAP) නම් රසායන ද්‍රව්‍යය ජෛව-පරිණාමනය වීම නිසා විය හැකි බව පෙන්වා දී තිබිණි.

Environmental Health Perspectives සඟරාවේ පසුගියදා පළ වූ (මූලාශ්‍රය - DOI: 10.1289/ehp.1002409) මේ අධ්‍යයනයේ දී ඡ්ඡ වර්ග ශරීරගත කරන ලද මීයන් ගේ රුධීරයේ, මළ ද්‍රව්‍යවල හා මුත්‍රාවල ඇතුළත් PAP හා PFCA ද්‍රව්‍ය අඩංගු වන සාන්ද්‍රණය පරීක්‌ෂා කර තිබේ. ඒ අනුව ඔවුන් පැමිණ ඇති නිගමනය ඇතැම් PAP වර්ග PFCA බවට පරිවර්තනය වන බව ය. මේ අතරින් පර්ෆ්ලෝරෝඔක්‌ටැනොයික්‌ අම්ලය (PFOA) වඩාත් සුලභ ද්‍රව්‍යයයි. අනෙක්‌ අතට මිනිසුන් PFCAවලට සෘජුවම නිරාවරණය වන බව ද සැලකිය යුතු කරුණකි.

මේ කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍ය භාවිතය සීමා කළ හැකි ආකාරය පිළිබඳව සංවාදයක්‌ මේ වන විට ඇතැම් දියුණු රටවල දැකිය හැකි ය. මේවායේ දිගුකාලීන බලපෑම් පරික්‌ෂා කිරීම සඳහා ද අවධානය යොමු වී ඇති බව පෙනේ.

* පුවත් සැකෙවින්

ඉන්දීය සාගර ජෛව විවිධත්වය

සාගරයේ දැකිය හැකි ජෛව විවිධත්වය පිළිබඳ ඇති අවධානය මෙන් ම අවබෝධය ද අඩු බව ප්‍රකට කරුණකි. මේ නිසා විවිධ රටවල් හා පර්යේෂණායතන සාගර ජීවීන් පිළිබඳ සිදුකෙරෙන පර්යේෂණ ප්‍රමාණය ඉහළ නංවා තිබේ. ඉන්දීය සාගරයේ සිදුකරන ලද මෙවැනි අධ්‍යයනයකින් නව ජීවී විශේෂ සැලකිය යුතු ප්‍රමාණයක්‌ මැත දී හමු වී ඇති බව පසුගියදා වාර්තා වූ පුවතක්‌ අනුව පෙනේ.

වසරක්‌ පුරා ඉන්දීය සාගරයේ දැකිය හැකි උස්‌බිම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිදුකරන ලද මේ අධ්‍යයනයේ දී ජීවී විශේෂ නිදර්ශන 7000ක්‌ පමණ රැස්‌කර ඇති අතර ඉන් සැලකිය යුතු කොටසක්‌ හෝ නව ජීවී විශේෂ විය හැකි ය. මේ බව තීරණය කිරීමට නියමිතව ඇත්තේ ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අධ්‍යයන මගිනි. එසේම දැනට හඳුනාගෙන ඇති ජීවී විශේෂ පිළිබඳව නව තොරතුරු ද මේ සමඟ අනාවරණය වනු ඇත. කෙසේ වෙතත් සාගරයේ දැකිය හැකි ජෛව විවිධත්වය පිළිබඳ අපේ අවබෝධය තවමත් ප්‍රමාණවත් නො වන බවට මෙය ද සාධකයක්‌ වේ. අවාසනාව වන්නේ සාගර ජෛව විවිධත්වය ද විවිධ හේතු නිසා තර්ජනයට ලක්‌ වී තිබීම ය.

මේ අධ්‍යයනය ආයතන ගණනාවක දායකත්වයෙන් යුක්‌ත ව දියත් කරන ලද්දකි. රටවල් හතක පමණ විද්‍යාඥයින් 21 දෙනෙක්‌ මීට සම්බන්ධ වූහ.

දේශගුණ වෙනස්‌වීම පිළිබඳ විද්‍යාත්මක වාර්තා අඩුයි

2009 වර්ෂයේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හි දී දේශගුණ සමුළුව පැවැත් වුණු කාලය තුළ දී දේශගුණ වෙනස්‌වීම පිළිබඳ විද්‍යාත්මක පදනම පිළිබඳ විස්‌තර ඇතුළත් ලිපි පුවත්පත්වල පළවීම අඩු වූ බව බව පසුගියදා පළ වූ අධ්‍යයනයකින් හෙළි වී ඇත. ඒ අනුව අදාළ සමයේ රටවල් 12ක පුවත්පත්වල පළ වූ වාර්තා හාරසියයක්‌ පමණ අතරින් දේශගුණ වෙනස්‌වීම පිළිබඳ විද්‍යාත්මක දත්ත පිළිබඳව මූලික වශයෙන් සැලකිල්ල දක්‌වා තිබුණේ ලිපි අතරින් සියයට 10ක්‌ තරම් සුළු ප්‍රමාණයක්‌ පමණි. සෙසු ලිපි වැඩි ප්‍රමාණයක අවධානය යොමු වී තිබුණේ එකල සිදු වූ ඊමේල් පණිවුඩ එළිදරව්ව සම්බන්ධව ය. (මේ චෝදනාවලින් අදාළ දේශගුණ විද්‍යාඥයින් අත වරදක්‌ නොමැති බව මේ වන විට පෙන්වා දී තිබේ).

එසේ ම දේශගුණ කරුණු ආවරණය වීමේ දී රටවල් අනුව ද වෙනස්‌කම් තිබී ඇත. මුද්‍රිත මාධ්‍යවලින් වැඩි වශයෙන් දේශගුණ සමුළුව පිළිබඳව සාකච්ඡා වී තිබුණේ ඉන්දියාවේ හා බ්‍රසීලයේ ය. අඩුවෙන් සාකච්ඡාවට ලක්‌ වී තිබුණේ අප්‍රිකානු රටවල ය. උක්‌ත වාර්තාව පළ වූ කාලය වැදගත් වන්නේ මේ වර්ෂයේ දේශගුණ සමුළුව ලබන සතියේ මෙක්‌සිකෝවේ දී ආරම්භ වන බැවිනි. එහි ප්‍රතිඵල පිළිබඳව අපි ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ඕසෝන් වනසන ද්‍රව්‍ය රැසක්‌ හමුවේ

ඕසෝන් වියනට හානිකරන රසායන ද්‍රව්‍ය භාවිතය සීමා කර ඇතත් මේ වන විටත් ඒවා නීති විරෝධී ආකාරයෙන් අපනයනය කරන ආකාරය හා භාවිත කරන ආකාරය දැකිය හැකි ය. මේ තත්ත්වය වැළැක්‌වීම සඳහා විවිධ රටවල පරිසර හා ආනයන පාලක අංශ පියවර ගනිමින් තිබේ. එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන හා ලෝක රේගු සංවිධානය මගින් දියත් කරන ලද වැඩපිළිවෙලක්‌ මගින් මෙවැනි කටයුතු අනාවරණය කර ගැනීමට සමත් වී තිබේ.

ඒ අනුව ලෝකයේ රටවල් කිහිපයකින් ඕසෝන් වියනට හානි කරන විවිධ රසායන ද්‍රව්‍ය ඇතුළත් සිලින්ඩර් 7500කට අධික ප්‍රමාණයක්‌ සොයාගැනීමට හැකියාව ලැබී ඇත. එවායේ අඩංගු වන මුළු රසායන ද්‍රව්‍ය තොගයේ බර ටොන් 108ක්‌ පමණ වේ. මේ ප්‍රමාණය හමු වී ඇත්තේ මාස හයක පමණ කාලයක්‌ තුළ දී ය. ඉන් වැඩි ප්‍රමාණයක්‌ හමු වී ඇත්තේ ආසියා-පැසිෆික්‌ කලාපීය රටවලිනි. එහි දී චීනය, තායිලන්තය, හොංකොං හා ඉන්දියාවෙන් මේ රසායන ද්‍ර්‍රව්‍ය ඇතුළත් සිලින්ඩර සැලකිය යුතු ප්‍රමාණයක්‌ හමු වී ඇත.