logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අතීතයට බලපාන පරිදි සංකල්ප නිර්මාණය

පළමුවෙන් ම නිවැරැදි කිරීමක්‌ කළ යුතු ව ඇත. පසුගිය ලිපියෙහි මාතෘකාව ලෝකය සංකල්පය වෙයි නො ව ලෝකය සංකල්පීය වෙයි යනුවෙන් වෙනස්‌ විය යුතු ය. අපට සංකල්පීය නො වන ලොවක්‌ නැත යන්න අපේ තේමාව වෙයි.

අප ඈත ඈත පිහිටි මන්දාකිණි නිරීක්‍ෂණය කිරිමට පෙර ඒවා පැවැතියේ ද යන්න අපේ සාකච්ජාවට බඳුන් විය. මෙහි දී කරුණක්‌ දෙකක්‌ පැහැදිලි කළ යුතු ව ඇත. අප මේ සන්දර්භයෙහි මන්දාකිණි යනුවෙන් අදහස්‌ කරන්නේ අද බටහිර තාරකා විද්‍යාඥයන් මන්දාකිණි යනුවෙන් හඳුන්වන වස්‌තු ය. අද බටහිර තාරකා විද්‍යාඥයෝ හා විශ්වවේදීහු විවිධ වර්ගවල දුරේක්‍ෂ යොදාගෙන මේ වස්‌තු නිරීක්‍ෂණය කරති. ආලෝක වර්ෂ කිහිපයක්‌ ඈතින් තිබෙන මන්දාකිණි මෙන් ම අවුරුදු බිලියන ගණනකට පෙර ආලෝකය නිකුත් වූ මන්දාකිණි ද අද ඔවුන් ගේ නිරීක්‍ෂණයට ලක්‌ වෙයි.

බටහිරයන් මන්දාකිණි නිරීක්‍ෂණය හා ඒ පිළිබඳ සංකල්ප නිර්මාණය කර තවමත් වසර සියයක්‌ වත් ගෙවී නැත. එබැවින් පැහැදිලිව ම අවුරුදු සියයකට පෙර ආලෝකය නිකුත් වූ මන්දාකිණියක්‌, එනම් ආලෝක වර්ෂ සියයකට ඈතින් පිහිටි මන්දාකිණි අද නිරීක්‍ෂණය කිරීමේ දී ඒ වස්‌තු එයට පෙර පැවතියේ ද යන්න වාස්‌තවිකවාදී යථාර්ථවාදීන් ගේ පැත්තෙන් බැලූ කල වැදගත් ප්‍රශ්නයක්‌ වෙයි. එයට හේතුව අප සංකල්පීය ලෝකයක්‌ ගැන කතා කිරීම ය. බටහිරයන් ගේ අදාළ සංකල්ප නිර්මාණය වූයේ අවුරුදු සියයකට පෙර නම් අවුරුදු සියයකට ඉහත කාලයක මන්දාකිණි තිබිය හැකි ද? අවුරුදු සියයකට පෙර පළමුවරට සංකල්ප නිර්මාණය කරගෙන මන්දාකිණියක්‌ නිරීක්‍ෂණය කිරීමට පෙර බටහිර විද්‍යාඥයන්ට විශ්වයේ මන්දාකිණි පැවැතියේ ද?

අපට අවශ්‍ය නම් මේ ප්‍රශ්නය වඩාත් පළල් කර මෙසේ ඇසිය හැකි ය. මන්දාකිණිය යන සංකල්පය නො දන්නා ළදරුවන්ට හා අනෙක්‌ අයට අදත් ඒ වස්‌තු පවතින්නේ ද? එයට ඇත්තේ එක්‌ පිළිතුරකි. ඒ නැත යන්න ය. ඔවුන්ට මන්දාකිණි නැත. එහෙත් පඬියන් ඇතැම් විට කියනු ඇත්තේ ළදරුවන්ට මන්දාකිණි ගැන දැනීමක්‌ නැති වුවත් මන්දාකිණි පවතින බව ය. එවිට අප අසන්නේ මන්දාකිණි පවතින්නේ කා හට ද යන්න ය. ඊනියා වාස්‌තවිකවාදීන් කියන්නේ කවුරුන් හිටියත් නැතත් මන්දාකිණි පවතින බව ය. එහෙත් අපි එයට එකඟ නො වෙමු.

අපි කුඩා කල සිට ක්‍රමයෙන් විවිධ සංකල්ප දැනගන්නෙමු. පුටුව, පොත, බත්, ගස්‌ ආදිය එවැනි සංකල්ප වෙයි. ඒ සංකල්ප අපට වැඩිහිටියන් ගෙන් ලැබුණු දේ ය. ඒ සංකල්ප අපට ලැබෙන්නට පෙර අපට ඒවා නො වී ය. එහෙත් අපේ වැඩිහිටියෝ ඒ ගැන දැන සිටිය හ. අප ඒ සංකල්ප ගැන දැනගැනීමට පෙර අපේ වැඩහිටියන්ට මේස පුටු ආදිය විය. අප ඒ සංකල්ප දැනගැනීමෙන් පසුව අපට ඒ සංකල්ප පවතින්නේ එසේ දැන ගැනීමෙන් පසුව පමණක්‌ නො වේ. අප ඒ සංකල්ප ගැන දැනගන්නේ අතීතයේ සිට ම පැවැති ඒවා ලෙස ය.

අපේ මනසේ සිදු වන මේ ක්‍රියාවලිය අපට ඊනියා වාස්‌තවික යථාර්ථයක්‌ ගැන උපකල්පනය කිරීමට අනුබල දෙයි. අපි බත් ගැන දැනගත් දිනය (වචනය නැති ව වුව ද ප්‍රශ්නයක්‌ නැත. අවශ්‍ය වන්නේ චිත්ත රූපයක්‌ පමණකි) අප කිසිවකුට මතක ඇතැයි නො සිතමි. එහෙත් එදිනට පෙර අපට බත් නො පැවතිණි. එසේ වුවත් අප ඒ සංකල්පය ගැන දැනගන්නේ බත් කලින් සිට ම පැවතෙන්නක්‌ ලෙස ගනිමින් යෑයි සිතමි. ඒ අවස්‌ථාවේ ම නැති වුවත් කිසියම් අවස්‌ථාවක දී අපි බත් කලින් සිට ම පවතින දෙයක්‌ ලෙස ගන්නෙමු.

එහෙත් බත් නැති කාලයක්‌ ද ලෝකයේ තිබී ඇත. වී ගොවිතැන් කිරීමට පෙර බත් නො තිබිණි යෑයි මෙයින් නො කියෑවෙයි. තමන් විසින් වගා කෙරුණු ගොයමට පළමුව ආසියාතිකයන් ස්‌වාභාවිකව වැවුණු ගොයම් ගැනත් ඉන් ලබාගත් වී ගැනත් දැන සිටින්නට ඇත. ඒ වීවල පොත්ත ඉවත් කර ඒ තම්බා කෑමට යම් කාන්තාවන් කටයුතු කරන්නට ද ඇත. වී ගොවිතැනට පෙර ද ආසියාතිකයන්ට එසේ බත් තිබුණ ද ඔවුන්ට හා මිනිස්‌ වර්ගයාට ම කිසි ම ආකාරයකින් බත් ගැන අවබෝධයක්‌ නො තිබූ කාලයක්‌ ද තිබෙන්නට ඇතැයි සිතමු. අනෙක්‌ සතුන්ට වී (චිත්ත රූප ලෙස වුවත්) ගැන ඇතැම් විට අවබෝධයක්‌ තිබුණ ද ඔවුන්ට මිනිසුන් බත් ගැන දැන ගැනීමට පෙර බත් නො තිබිණි. මා මෙයින් කීමට අදහස්‌ කරන්නේ ලෝකයේ කිසි ම සත්ත්වයකු බත් ගැන නො දැන සිටි යුගයක්‌ තිබිණි ය යන්න ය. මෙය බත්වලට පමණක්‌ නො ව විදුලි බල්බය වැනි මිනිසුන් විසින් නිර්මාණය කෙරී ඇති වස්‌තුවලට ද පොදු වූවකි. මිනිසුන් එවැනි වස්‌තු ගැන දැනගන්නේ යම්කිසි දිනයක සිට ය. එහෙත් පළමුවෙන් බත් ගැන දැනගන්නා ළදරුවා හෝ පළමුවරට විදුලි බල්බයක්‌ දකින තැනැත්තා හෝ ඒ දැනගන්නේ අදාළ දිනයෙහි සිට අදාළ වස්‌තු පවතින ආකාරයෙන් නො ව බොහෝ කලක සිට ඒ පවතින්නේ ය යන හැඟීමෙනි.

එසේ වුවත් තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය ගැන දැනගත්තේ එසේ කල් තබා දැන සිටි වස්‌තුවක්‌ ලෙස නො වේ. විදුලි බල්බය ඔහු ගේ නිර්මාණයකි. එය තමා ඒ නිර්මාණය කිරීමට පෙර නො තිබූ බව ඔහු දැන සිටියේ ය. විදුලි බල්බය හා සංකල්පය ද ඔහු විසින් නිර්මාණය කෙරිණි. එයට පෙර වෙන අයට තබා ඔහුට වත් ඒ සංකල්පය නො වී ය. එහෙත් ඔහුට පසුව සියලු දෙනා ම විදුලි බල්බය ගැන දැනගන්නේ, ඒ සංකල්පය ඇති කර ගන්නේ කලින් තිබූ දෙයක්‌ ලෙස ගනිමිනි.

අද පාසල්වල විදුලි බල්බය ගැන උගන්වන්නේ අපෙන් තොර ව පවතින වස්‌තුවක්‌ ලෙස එය ගනිමිනි. ඊනියා තිබෙන විදුලි බල්බයක්‌ ගැන අපට ගුරුවරු කියා දෙති. අපි එය වාස්‌තවික වූ දෙයක්‌ ලෙස සලකමින් ඉගෙන ගනිමු. දැනුම මිනුම තරගවලට අවශ්‍ය බැවින් තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය සොයා ගත්තේ ය කියා ද ඉගෙන ගනිමු. එසේ වුවත් අපේ විදුලි බල්බය පිළිබඳ සංකල්පය ඊනියා වාස්‌තවික වූ විදුලි බල්බයකි. එය සොයා ගැනීමේ ගෞරවය පමණක්‌ එඩිසන් විද්වතාට දෙමු.

අප යම් සංකල්පයක්‌ ගැන කවදා දැනගත්ත ද, අප ඒ දැනගන්නේ නීතියේ කියන්නාක්‌ මෙන්, අතීතයට ද බලපාන පරිදි (with retorspective effect) ය. අතීතයට බලපාන පරිදි යන්න ද අප දැනගන්නේ අතීතයට බලපාන පරිදි ය. ඒ සැම දා මත් තිබූ ආකාරයෙනි. අප පාසලේ දී පළමුවරට ඉගෙන ගන්නා සංකල්ප ඉන් පෙර අපට නො තිබුණ ද, ඒ සියලු සංකල්ප අපට සැම දා මත් තිබූ දේ මෙන් අපි ඉගෙන ගනිමු. අප බොයිල් ගේ නියමය ඉගෙන ගන්නේ අප එය සැම දා මත් දැන සිටි ආකාරයෙනි. එපමණක්‌ නො ව අප සිටියත් නැතත් බොයිල් ගේ නියමය වායුවල ගුණයක්‌ ලෙස ද ඉගෙන ගනිමු.

බත්, විදුලි බල්බ ආදිය යම්කිසි දවසකට පෙර ලෝකයේ (විශ්වයේ) නො තිබුණු බව ඇත්ත නමුත්, අපි වායු සැම දා මත් ලෝකයේa තිබිණි යෑයි සලකමු. අප නැතත් වායු ලෝකයේ තිබිණි ද? වායුව යන සංකල්පය මිනිසුන් විසින් හෝ වෙනත් සත්ත්වයන් විසින් හෝ තනාගැනීමට පෙර ලෝකයේ වායු තිබිණි ද? අවශ්‍ය නම් ලෝකය (විශ්වය) තිබිණි ද යන ප්‍රශ්නය ද ඇසිය හැකි ය. මෙවැනි ප්‍රශ්නවලට ද අපට දිය හැකි පිළිතුර අප වායු පිළිබඳ සංකල්පය ඉගෙන ගන්නේ හෝ තනා ගන්නේ හෝ නිර්මාණය කරන්නේ හෝ සංස්‌කරණය කරන්නේ හෝ අතීතයට ද බලපාන පරිදි ය යන්න ය.

අප වායු යන සංකල්පය සංස්‌කරණය කිරීමට පෙර ද වායු මෙලොව තිබිණි යෑයි අපි ගනිමු. එය අප වැන්නන් විදුලි බල්බය ගැන ඉගෙන ගැනීමට පෙර ද විදුලි බල්බය තිබිණි යෑයි ගැනීමට සමාන ය. එහෙත් මෙහි අසමානකම් නැතිවා නො වේ. විදුලි බල්බය යම් මිනිසකු ගේ නිර්මාණයකි. එහෙත් වායු හෝ විශ්වය හෝ එසේ නො වේ. අපි වායු හෝ විශ්වය හෝ නිර්මාණය කළ මිනිසකු හෝ වෙනත් සත්ත්වයකු හෝ ගැන නො දනිමු. විදුලි බල්බය යන සංකල්පය විදුලි බල්බය නිර්මාණය වීමත් සමඟ ඇති වූවකි. ඒ සංකල්පය ඒ අයුරින් ම එඩිසන් විද්වතාට ඇති විණි දැයි අප නො දනිතත් අඩු ම තරමින් ඒ සංකල්පයෙහි ප්‍රාථමික ස්‌වරූපයක්‌ වත් ඔහුට ඇති වූ බව නිසැක ය. එඩිසන් විද්වතා තනාගත් බල්බය මෙන් ම සංකල්පය ද පසුව වර්ධනය කෙරෙන්නට ඇත.

මිනිසුන් විසින් වායු පිළිබඳ සංකල්පය ද නිර්මාණය කෙරී ඇත්තේ අතීතයට ද බලපාන අයුරිනි. එහෙත් මේ අතීතය කෙළවර වන්නේ කෙදිනක ද? එඩිසන් විද්වතා විදුලි බල්බය පිළිබඳ සංකල්පය ඇති කර ගන්නට ඇත්තේ විදුලි බල්බය නිර්මාණය කිරීම සමග වුවත් මිනිසුන් වායු පිළිබඳ සංකල්පය ඇති කර ගත්තේ ඔවුන් වායු නිර්මාණය කිරීමත් සමඟ නො වේ. මිනිසුන් වායු යෑයි කියන්නේ, නැත්නම් ඒ සංකල්පයෙන් හඳුන්වන්නේ මිනිසුන් නැතත් තිබුණු යම් ද්‍රව්‍යවලට නො වේ දැයි කිසිවකුට ඇසිය හැකි ය.

ඒ ද්‍රව්‍ය දෙවියන් වහන්සේ නිර්මාණය කෙළේ ද, එසේත් නැත්නම් විශ්වය මහා පිපුරුමේ සිට විකාශය වීමේ දී යම් අවස්‌ථාවක නිර්මාණය වී ද, එසේත් නැත්නම් වරින් වර සංකෝචනය වන හා ප්‍රසාරණය වන විශ්වයක යම් අවස්‌ථාවක නිර්මාණය විණි ද යන්න මෙහි දී අදාළ නො වේ. අදාළ වන්නේ මිනිසුන් වායු යන සංකල්පය නිර්මාණය කිරීමට, සංස්‌කරණය කිරීමට, තනා ගැනීමට පෙර වායු පැවතිණි ද නැද්ද යන්න ය. වාස්‌තවික යථාර්ථවාදීන්ට අනුව මිනිසුන් වායු පිළිබඳ සංකල්පය නිර්මාණය කිරීමට පෙර වායු තිබී ඇත.

තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය තැනීමට පෙර විදුලි බල්aබය යන සංකල්පය නො තිබුණ බවත් ආසියාවේ කාන්තාවන් පළමුව බත් පිසීමට පෙර බත් යන සංකල්පය නො තිබුණු බවත් එහි විලෝමත් වාස්‌තවික යථාර්ථවාදීන් පිළිගත්තත් මිනිසුන් වායු යන සංකල්පය නිර්මාණය කිරීමට පෙර වායු නො තිබිණි යෑයි ඔවුන් නො පිළිගනු ඇත. වාස්‌තවික යථාර්ථවාදියකු නො ව සිහි බුද්ධිය ඇති කිසිවකු එසේ නො තිබුණු බව පිළිගන්නේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කිරීමට ඉඩ ඇත.

ලොවෙහි තිබෙන ප්‍රධාන ම ප්‍රශ්නය මෙය වීමට බෙහෝ සෙයින් ඉඩ ඇත. මෙහි දී අපට වැදගත් වන කරුණක්‌ නම් අප සංකල්ප තනා ගැනීමේ දී අතීතයට ද බලපාන පරිදි එසේ කරන බව ය. වායු පිළිබඳ සංකල්පය මිනිසුන් නිර්මාණය කර ඇත්තේ අතීතයට ද බලපාන පරිදි ය. බටහිරයන් ගේ මන්දාකිණි සංකල්පය ද එසේ ම ය. අපි එහි ඇති සමානකම් හා වෙනස්‌කම් ක්‌වොන්ටම් යාන්ත්‍රිකයෙහි සුප්‍රසිද්ධ ෂ්රොඩිංගර් ගේ බළලා ද සහභාගී කරවා ගනිමින් පසුව සාකච්ජා කරමු.

මහාචාර්ය නලින් ද සිල්වා