logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ලෝකය සංකල්පය වෙයි

මිනිසා හෝ මෑන් හෝ ඊනියා පරිවර්තන යෑයි සැලකෙන එවැනි නාම පදවලින් ඒ ඒ සංස්‌කෘතීන් විසින් හැඳින්වෙන්නේ එකක්‌ ම නො වේ යෑයි අපි කීවෙමු. අම්මා යන පදය ගත්ත ද එසේ ය. සිංහල බෞද්ධයන් අම්මා යෑයි කී කල ඔවුන්ට ජනිත වන හැඟීම් ඉංගිරිසීන්ට මදර් හෝ මමී යෑයි කී විට ඇති නො වේ. බුදු අම්මා, අමා මහා මෑණියන් වහන්සේ ආදී ප්‍රකාශ මදර් යන පදයත් සමඟින් ඉංගිරිසියට පරිවර්තනය කළ නො හැකි ය. සිංහල මවුවරු තම දරුවනට ද මගේ අම්මා කියා අමතති. එහෙත් ඉංගිරිසි මෑණිවරු එසේ නො කරති. විවිධ භාෂා කතා කරන්නන් අතර විවිධ වචන සම්බන්ධයෙන් එවැනි වෙනස්‌කම් පවතියි.

එසේ නම් වාස්‌තවික මිනිසා කවුද, වාස්‌තවික අම්මා කවුද ආදී ප්‍රශ්න පැන නඟී. මල ගැන වුව ද එසේ ම ය. සිංහල බෞද්ධයන් ගේ අරලිය මල් යනු ඉංගිරිසීන් ගේ අරලිය මල් නො වේ. අරලිය මල්වලට ඉංගිරිසියෙන් ටෙම්පල් ෆ්ලවර්ස්‌ යෑයි කියන්නේ යෑයි සිතමු. වචනය කුමක්‌ වුවත් සිංහල බෞද්ධයනට අරලිය මල් යනු බුදුන් වහන්සේට පූජා කරන මල් විශේෂයකි. අරලිය මලක්‌ දුටු විට සිංහල බෞද්ධයකුට ඇති වන හැඟීම ඉංගිරිසීන් ක්‍රිස්‌තියානි බැතිමතකුට ඇති නො වේ. අනෙක්‌ පද මෙන් ම මලක්‌ යන්න ද අපට ඇති වන හැඟීම් සමඟ ද බැඳී ඇත.

හිම යන්නට සිංහලෙන් ඇත්තේ එක්‌ වචනයකි. එහෙත් ඇස්‌කිමෝවරුන් ගේ භාෂාවෙන් හිමෙහි විවිධ ප්‍රභේදවලට විවිධ නම් විස්‌සකට වැඩි ප්‍රමාණයක්‌ ඇතැයි කියෑවෙයි. අපට ඒ ප්‍රභේද අතර වෙනසක්‌ නැත. සිංහලයන් ගේ හිම සහ ඇස්‌කිමෝවරුන් ගේ හිම යනු එකක්‌ නො වේ. එමෙන් ම හාල් හා බත් සම්බන්ධයෙන් සිංහලයන්ට විවිධ වචන ඇත. එහෙත් ඉංගිරිසියෙන් ඒ සියල්ලට ම ඇත්තේ රයිස්‌ (rice) යන වචනය පමණකි. ඉංගිරිසීන් ගේ රයිස්‌ හා සිංහලයන් ගේ හාල් යනු එකක්‌ නො වේ.

මෙවැනි උදාහරණ ඕනෑ ම අයකුට සිතාගත හැකි ය. එයින් පෙන්නුම් කරන්නේ ඒ ඒ සංස්‌කෘතියෙහි ඒ ඒ දෙය විවිධාකාරයෙන් ග්‍රහණය කෙරෙන බව ය. හුදෙක්‌ වචනයක්‌ පරිවර්තනය කිරීමෙන් එක්‌ භාෂාවක දනවන අරුතක්‌ තවත් භාෂාවකින් ප්‍රකාශ කළ හැකි නො වේ. අප ඒ ඒ වස්‌තු පවා හඳුනාගන්නේ සංස්‌කෘතියට සාපේක්‍ෂව ය. එබැවින් ඊනියා වාස්‌තවික වූ වස්‌තුවක්‌ වත් නැත. වස්‌තු ද වාස්‌තවික නො වේ නම් හැඟීම් ආදිය ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? ඊනියා වාස්‌තවික ලෝකය යනු කිනම් සංස්‌කෘතියකට සාපේක්‍ෂ වූ ලෝකය ද යන්න ඇසිය යුතු ප්‍රශ්නයක්‌ වෙයි.

එහෙත් මේ සියල්ල ප්‍රකාශ කිරීමෙන් පසුවත් ඊනියා යථාර්ථයක්‌ ඊනියා වාස්‌තවිකත්වයක්‌ ගැන කතා කරන්නෝ වෙති. මෙරට ඇතැම් බෞද්ධයෝ ද යථාර්ථයක්‌ ගැන කතා කරති. ඔවුහු ක්‍ෂණයකට පවතින ධර්ම ගැන දොඩවති. මොවුන්ට ක්‍ෂණය යන්න ඊනියා වාස්‌තවික ආකාරයකට අර්ථ දැක්‌විය හැකි ද? ක්‍ෂණය අර්ථ දක්‌වන්නේ නැති ව ක්‍ෂණයක්‌ පවතින ධර්ම අර්ථ දක්‌වන්නේ කෙසේ ද? මෙහි දී සිහි තබාගත යුතු කරුණ නම් ක්‍ෂණය අර්ථ දැක්‌විය යුතු වන්නේ කිසි ම අයුරකින් වත් එක්‌ එක්‌ අයට සාපේක්‍ෂ නො වන අයුරකින් බව ය.

බටහිර විද්‍යාව අනුවත් බයිබලය අනුවත් (බටහිර විද්‍යාවේ කෙරෙන්නේ මූලික වශයෙන් ගත් කල බයිබලයේ ඇති කරුණු සංකේත ආදිය යොදාගෙන වෙනස්‌ අයුරකින් ප්‍රකාශ කිරීමක්‌ පමණකි) පෘථිවියෙහි මිනිසා ඇති වීමට (නිර්මාණය කිරීමට) පෙර තාරකා පමණක්‌ නො ව පෘථිවියෙහි සතා සර්පයා ද ඇති වී තිබිණි. සිංහල බෞද්ධයන්ට අනුව සතුන්ට ද විඥනයක්‌ වෙයි. එහෙත් බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනුව සතුන්ට විඥනයක්‌ නැත. බටහිර ඊනියා වාස්‌තවිකයන් ගේ ද අපේ ද පහසුවට අපි සතුන්ට පෙර තිබුණේ යෑයි කියන ලෝකය (විශ්වය) ගැන සිතමු. බයිබලයට අනුව ද බටහිර විද්‍යාවට අනුව ද එවැනි ලෝකයක්‌ තිබී ඇත.

දැන් පඬියන් අපෙන් අසන්නේ කිසි ම සවිඥනික සතකු ඇති වීමට පෙර ලෝකයක්‌ තිබිණි නම් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වූ ලෝකයක්‌ පමණක්‌ ගැන කියන්නේ කෙසේ ද යන්න ය. ඔවුන්ට අනුව සවිඥනික නිරීක්‍ෂකයන්ට පෙර ලෝකයක්‌ තිබී ඇත. අපට අවශ්‍ය නම් මෙය බයිබල් මතය හා බටහිර විද්‍යාවේ මතය පමණක්‌ යෑයි කියා මුළු මහත් මතය ම ප්‍රතික්‍ෂේප කළ හැකි ය. එහි කිසි වරදක්‌ නැත. යමක්‌ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ මතය වූ පමණින් එය ඊනියා වාස්‌තවික ප්‍රකාශයක්‌ බවට පත් නො වේ. එසේ වුවත් යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතික ආධිපත්‍යය අපට එසේ ගැනීමට (උපකල්පනය කිරීමට) බල කරයි.

එහෙත් අපි එලෙස එය ප්‍රතික්‍ෂේප නො කර වෙනත් ප්‍රශ්නයක්‌ අසමු. කිසි ම සවිඥනික සතකු ඇති වීමට පෙර තිබිණි යෑයි කියන ඊනියා ලෝකය (විශ්වය) පිළිබඳ සංකල්පය ඉදිරිපත් වන්නේ කිනම් සංස්‌කෘතියක ද? කිනම් ප්‍රවාදයකට අනුව ද? ඒ ලෝකය ප්‍රසාරණය වන්නක්‌ ලෙස අපි නො සලකමු ද? ඊනියා මහා පිපුරුමේ සිට සත්ත්වයා ඇති වී යෑයි කියන කාලය දක්‌වා තිබිණි යෑයි කියන විශ්වය ගැන අදහසක්‌ පහළොස්‌වැනි සියවසේ ජීවත් වූ යුරෝපීයනට තබා එඩ්වින් හබල් විද්වතාට පෙර සිටි බටහිරයන්ට වත් තිබිණි ද?

හබල් විද්වතාට ටික කාලයකට පෙර බටහිරයන් ගේ විශ්වය ක්‍ෂීරපථ මන්දාකිණියට පමණක්‌ සීමා විය. විශ්වයේ තවත් මන්දාකිණි ඇති බව බටහිරයන් දැනගෙන වැඩි කලක්‌ නො වේ. බෞද්ධයෝ නම් වසර දෙ දහස්‌ පන් සියයකට පෙර ද විශ්වයේ චක්‍රාවාට දහස්‌ ගණනක්‌ ඇති බව කිවූ හ. එහෙත් බටහිරයන්ට ඒ පිළිබඳ වගක්‌ නො වුණා පමණක්‌ නො වේ. කොපර්නිකස්‌ විද්වතාට පෙර එතෙක්‌ බටහිරයන් දැන සිටි විශ්වය ම පෘථිවිය වටා කරකැවිණි.

1917 දී අයින්ස්‌ටයින් පඬිවරයා විශ්වයට තම සාධාරණ සාපේක්‍ෂතාවාදය යෙදීමෙන් පසුව ලැබුණේ ප්‍රසාරණය වන විශ්වයකි. එහෙත් සැණෙකින් ම ඔහු ඒ විසඳුම ප්‍රතික්‍ෂේප කෙළේ එවකට බටහිර කිසිවකු ප්‍රසාරණය වන විශ්වයක්‌ ගැන විශ්වාස නො කළ බැවිනි. ඔහු එකල විශ්වාස කෙරුණු දැනුමෙන් කෙතරම් මෙහෙවිණි ද යත් තම සමීකරණ පවා සංශෝධනය කිරීමට පියවර ගත්තේ ය. අද බටහිරයන්ට ඉතිරි කෙරී ඇති විශ්වවේද නියතය (Cosmological constant) තම සමීකරණවලට එකතු කිරීමට අයින්ස්‌ටයින් විද්වතාට සිදු වූයේ ප්‍රසාරණය නො වන අචල විශ්වයක්‌ ලබා ගැනීමට ය.

1998න් පමණ පසුව බටහිරයෝ ත්වරණයකින් ප්‍රසාරණය වන විශ්වයක්‌ ඇතැයි සිතති. තව ටික කලකින් ඔවුන් කුමක්‌ සිතා වි දැයි විශ්වාස කරා වි දැයි අපි නො දනිමු. ඒ කුමක්‌ වුවත් අප සත්ත්වයන් නො සිටි යුගයක විශ්වය ගැන සිතන්නේත් කතා කරන්නේත් ඒ එක්‌ කාලයෙහි අප සතු ව ඇති සංකල්ප හා ප්‍රවාද ඔස්‌සේ බව පැහැදිලි ය. කිසි ම සත්ත්වයකු නො සිටි යුගයක විශ්වය යන්න පවා මෙකල සංකල්පයකි. එය අඩු තරමින් ඩාවීනීය විකාශය හා විශ්වය පිළිබඳ අයින්ස්‌ටයින් විද්වතා ගෙන් පසුව ඇති වූ ප්‍රවාද මත පදනම් වෙයි.

අප කෙතරම් වෑයම් කළත් අපට සංකල්පවලින් තොර ව සිත්නනට, කතා කරන්නට නො හැකි ය. මෙහි දී සංකල්ප යනු වචනවලින් පමණක්‌ ප්‍රකාශ කළ යුතු දැ නො වන බව නැවත නැවතත් අවධාරණය කළ යුතු ය. චිත්ත රූප ද සංකල්පය විය හැකි ය. සංකල්පවලින් තොර ලෝකයක්‌ කිසි ම සවිඥනික සත්ත්වයකුට තිබිය හැකි නො වේ. අප ලෝකය (විශ්වය) යෑයි ගන්නා දෙය ම සංකල්පයක්‌ වෙයි. ප්‍රශ්නය වනුයේ වාස්‌තවික වූ සංකල්ප නො තිබීම ය. සංකල්ප යම් සංස්‌කෘතියකට සාපේක්‍ෂ වෙයි. මේ සංස්‌කෘතිය මිනිසුන් ගේ සංස්‌කෘතියක්‌ වීම අනිවාර්ය නො වේ. සත්ත්වයන්ට ද සංස්‌කෘතීන් ඇත. ඒ ඒ සතුන් ගේ සංකල්ප ඔවුන් ගේ ඒ ඒ සංස්‌කෘතිවල සංස්‌කරණය (නිර්මාණය) වෙයි.

දැන් පඬියන් අසනු ඇත්තේ සංකල්පවලින් තොර ව කිසිවක්‌ නැද්ද යන්න ය. ලෝකය යනු සංකල්පීය ලෝකයක්‌ යෑයි අප ගත්ත ද මිනිසුන් හෝ වෙනත් සවිඥනික සතුන් හෝ සංකල්පීය වශයෙන් ගන්නා දෙයට අමතරව වෙනත් දේ ලෝකයේ නැත් ද යනුවෙන් කිසිවකුට ඇසිය හැකි ය. එසේ ප්‍රශ්න අසන පඬියන්ට නො තේරෙන කරුණ නම් වෙනත් දේ යන්න ද අප විසින් නිර්මාණය කරන ලද සංකල්පයක්‌ බව ය.

අපි මේ වෙනත් දේ යන්න නැති ව අදාළ ප්‍රශ්නය ඇසීමට උත්සාහයක්‌ ගනිමු. ඒ කිනම් උත්සාහයක්‌ ගත්තත් අපට සංකල්පවලින් තොර ව කිසි ම ප්‍රශ්නයක්‌ ඇසිය නො හැකි ය. එහෙත් පඬිවරුන් මෙවැනි ප්‍රශ්නයක්‌ අසනු ඇත. අද බටහිර විශ්වවේදීහු ක්‍ෂීරපථය හැරෙන්නට වෙනත් මන්දාකිණි ගැන කතා කරති. එවැනි වෙනත් මන්දාකිණි අද දස දහස්‌ ගණනින් නිරීක්‍ෂණයට ලක්‌ වෙයි. මේ මන්දාකිණි නිරීක්‍ෂණය කිරීමට පෙර ඒවා නො තිබිණි ද? මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කිරීමට පෙර ඒ මන්දාකිණි නො තිබිණි ද?

ඒ ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයකි. එයට දිය හැකි එක්‌ පිළිතුරක්‌ නම් බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කිරීමට පෙර ඒ සංකල්පය බෞද්ධයන් අතර තිබූ බව ය. භාවනා කර සිත සමාධිගත කළ බෞද්ධයන් මෙන් ම අබෞද්ධයන් ද ඒ මන්දාකිණි දකින්නට ඇත. සිත යම් මට්‌ටමකට දියුණු කිරිමට බෞද්ධයකු වීම අනිවාර්ය නො වේ. බෞද්ධයන් හා වෙනත් අය සිත දියුණු කිරීමෙන් දුටු මන්දාකිණි බටහිරයන් තම ප්‍රවාද සමඟින් දුරේක්‍ෂවලින් දකින මන්දාකිණි ම යෑයි මෙයින් ගම්‍ය නො වන බව අවධාරණය කළ යුතු වෙයි.

එහෙත් පඬියන් තම සුපුරුදු රේය න්‍යාය ඔස්‌සේ ගොස්‌ බෞද්ධයන් හෝ වෙනත් අය හෝ කිසියම් ආකාරයක මන්දාකිණි පිළිබඳ දැනුමක්‌ ලැබීමට පෙර ඒ මන්දාකිණි තිබිණි ද යන්න අසනු ඇත. අපට ඒ ප්‍රශ්නයට දිය හැකි පිළිතුර මගින් කලින් සඳහන් කළාක්‌ මෙන් මන්දාකිණි යන්න අද අප ගේ සංකල්පයක්‌ බව පෙන්වා දිය හැකි ය. එවිට අපට කිව හැකි වන්නේ අප අද සඳහන් කරන මන්දාකිණි එදා ද තිබුණු බව ය. එහි ගැටලුවක්‌ නැත. අද බටහිරයන් දුරේක්‍ෂවලින් නිරීක්‍ෂණය කරන මන්දාකිණිවලින් ආලෝකය නිකුත් වී ඇතැම් විට අවුරුදු ලක්‍ෂ ගණනක්‌ ගත වන්නට ඇත. දුරේක්‍ෂවලින් අද නිරීක්‍ෂණය කෙරෙන්නේ අවුරුදු ලක්‍ෂ ගණනකට ඉහත තිබූ මන්දාකිණි යෑයි කිසිවකුට කිව හැකි ය. එසේ නම් ඒ මන්දාකිණි බටහිරයන් ඔවුන් ගේ මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කිරීමට පෙර තිබී ඇති බව පැහැදිලි ය.

මන්දාකිණි නිරීක්‍ෂණය කිරීමට පෙර මන්දාකිණි තිබිණි ද යන ප්‍රශ්නයට ද එයින් පිළිතුරක්‌ ලැබෙයි. සත්තකින් ම මන්දාකිණියක්‌ නිරීක්‍ෂණය කිරීමට පෙර ඒ මන්දාකිණිය තිබී ඇත. එහෙත් එසේ තිබී ඇත්තේ අද බටහිරයන් මන්දාකිණියක්‌ ලෙස හඳුන්වන්නක්‌ බව අමතක නො කළ යුතු ය. මේ නිරීක්‍ෂණය ප්‍රශ්නය එක්‌ පැත්තකින් ක්‌වොන්ටම් භෞතිකයට හා කෝපන්හේගන් විවරණයට සම්බන්ධ ය. එය වැඩිදුරටත් සාකච්ජා කළ යුතු වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා