logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සුන්දර ඉතිහාසයක්‌ සඟවාගත් ඩෙල්ෆ්ට්‌ දූපතේ සංචාරයක්‌

අදින් දශක තුනක පමණ කාලයක්‌ ශ්‍රී ලංකාවේ උතුරු නැඟෙනහිර දේශ සීමාව, දකුණු සීමාවට තහනම් ප්‍රදේශයක්‌ විය. එහෙත් දැන් එම තහංචි අවසන් ය. අභිමානවත් ඉතිහාසයක්‌ ඇති උතුරේ පරිසර ගවේශනයක පසුගිය දා නියෑළුණු මේ ලියුම්කරු ශ්‍රී ලංකාවට අයත් දූපත් අතරින් සුවිසල් දූපතක්‌ වූ ඩෙල්ෆ්ට්‌ දූපතේ කළ සංචාරයේ දී ගවේශනය කළ තොරතුරු ඇසුරින් මේ ලිපිය සැකසෙයි.

වත්මන් ශ්‍රී ලංකාවේ යාපනය යනු හින්දු දෙමළ සංස්‌කෘතියේ කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස සැලකෙන බැව් රහසක්‌ නො වේ. එහෙත් සිංහල රාජ්‍ය බලය ශ්‍රී ලංකාද්වීපය පුරා ම පැතිරී තිබුණු බැව් පුරාවිද්‍යාත්මක මෙන්ම සමාජ විද්‍යාත්මක සාධකවලින් ද පැහැදිලි වෙයි.

ක්‍රි.ව. 1638 මැයි මස 18 වැනි දින මඩකලපුව කොටුව ලන්දේසීන් විසින් අල්ලා ගනු ලැබීමෙන් පසු රසික්‌ලොප් වෑන් හොයන්ස්‌ නම් සෙනෙවියා යටතේ ක්‍රියාත්මක වූ හමුදා කණ්‌ඩායමක්‌ විසින් පෘතුගීසීන් සතු ව පැවැති මන්නාරම, යාපනය යන බලකොටු අල්ලා ගැනීමේ කටයුතු සම්පාදනය කරන ලදී. මහත් වෑයමකින් පසු එනම් වර්ෂ 1658 දී යාපනය කොටුව ලන්දේසි විසින් අල්ලා ගන්නා ලදී.

ලන්දේසීන් යාපනය අර්ධද්වීපයේ බලය තහවුරු කිරීමෙන් පසු ඒ අවට දූපත්වල ද සිය බලය තහවුරු කරගෙන ඇත. වත්මන් යාපනය දිස්‌ත්‍රික්‌කයට අයත් දූපත් ගණන 19කි. ඊට අනලතිව්, චිරුතිව් හෙවත් සිරුතිව්, එලුවයිතිව්, කුච්චතිව්, කාරතිව්, කනන්තිව්, කරයිතිව්, කයිට්‌ස්‌, කුරිකඩ්ඩුවන්, මන්ඩතිව්, නඩුතුරුතිව්, නයිනතිව් හෙවත් නාගදීප, නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ්ට්‌ දූපත, පලායිතිව්, පරට්‌ටිතිව්, පුලියන්තිව්, පුන්ගුඩතිව්, තෝරට්‌ට පූට්‌ටු ආදි දූපත් අයත් වෙයි. මේ සැම දූපතක්‌ ම අතීතයේ දී සිංහල රාජ්‍ය බලයට අයත් ව තිබී ඉන්පසු ලන්දේසීන් ගේ ආධිපත්‍යයට නතු වී ඇත.

මේ දූපත් අතරින් රමණීය සුන්දර වටපිටාවක්‌ ඇති දූපතක්‌ ලෙසට ඩෙල්ෆ්ට්‌ දූපත හැඳින්විය හැකි ය. දෙමළ බසින් නෙඩුන්තිව් යනුවෙන් හැඳින්වෙන මේ දූපත ලන්දේසීන් විසින් හඳුන්වන ලද්දේ ඩෙල්ෆ්ට්‌ (Delft) යනුවෙනි. ඩෙල්ෆ්ට්‌ යනු එදා ඕලන්දය හෙවත් අද නෙදර්ලන්තයේ පිහිටි නගරයකි. යාපනය අර්ධද්වීපයේ බටහිර දෙසින් පිහිටා ඇති මේ දූපත අණ්‌ඩාකාර ස්‌වරූපයක්‌ හෙවත් ඉලිප්සයකට ආසන්න හැඩයක්‌ ගනී. වර්ග කිලෝමීටර් 50ක වපසරියකින් යුතු මේ දූපත දිගින් කිලෝමීටර් 08ක්‌ පමණ වන අතර පළලින් කිලෝමීටර් 06ක්‌ පමණ වෙයි. තැනිතලා බිමක්‌ සහිත මෙය දර්ශනීය මුහුදු වෙරළ තීරයකින් හා වගුරු බිම්වලින් පොහොසත් ය. ඇසි දිසි මානයේ තෙරක්‌ නො පෙනෙන හිස්‌ බිමක්‌ දක්‌නට ඇත. වැලි සහ හුණුගල් සහිත පසක්‌ ඇති මෙහි තිබෙන පාෂාණ මයෝසීන යුගයට අයත් වෙයි. දූපත පුරා ම විවිධ ප්‍රමාණයේ හුණුගල් තට්‌ටු වශගෙන් හා ගෝලාකාර හැඩයෙන් විසිරි තිබීම ද සුවිශේෂී ලක්‌ෂණයකි. ඉපැරැණි ගොඩනැඟිලි හුණුගල්වලින් ගොඩනඟා තිබීම ද සුවිශේෂී ය. මේ සඳහා කදිම නිදසුනක්‌ වන්නේ ඩෙල්ෆ්ට්‌ දූපතේ රජයේ රෝහල් භූමියේ පිහිටි පැරැණි ඕලන්ද බළකොටුව සහ එකල පණිවිඩ යෑවීම සඳහා පුහුණු කළ පරෙවියන් ගේ නිවහන වූ පරෙවි කූඩුවයි.

                                     

මේ හැරුණු කොට ඕලන්ද සමයේ අශ්වයන් පුහුණු කිරීමටත් උන් රඳවා තබා ගැනීමටත් ඉදි කළ අශ්ව ඉස්‌තාලය ද ගොඩනඟා ඇත්තේ යෝධ හුණුගලිනි. එදා මෙන් පරිපූර්ණව නැතත් ගරා වැටුණු නටබුන් මෙහි දක්‌නට ඇත. හුණුගල්වලින් හැකි උපරිමයෙන් ප්‍රයෝජන ගන්නා ඩෙල්ෆ්ට්‌ වැසියෝ ඔවුන් ගේ ඉඩම් හා ගෙවතු මායිම් වෙන් කර ඇත්තේ හුණුගල් එකපිට එක තබා මැනැවින් සකස්‌ කළ අඩි 5කට වඩා උසැති තාප්පවලිනි. මෙය අද ඩෙල්ෆ්ට්‌ දූපතේ ඉපැරැණි සංස්‌කෘතික ඉතිහාසයක්‌ පිළිබිඹු කරන කදිම සංකේතයක්‌ වෙයි.

                                   

වියළි දේශගුණික රටාවක්‌ පෙන්නුම් කරන්නේ මුහුදෙන් හමන ලවණ මිශ්‍ර වියළි සුළඟත් දවසේ වැඩි කාල සීමාවක පවතින සූර්ය රශ්මියත් නිසාවෙනි. හුණුගල් සහිත පසක්‌ දූපත පුරා ම පැතිරී ඇති බැවින් උල්පත් ජලය දැඩි කිවුල් ස්‌වභාවයක්‌ ගනී.

ශාක වැස්‌ම

මිශ්‍ර ශුෂ්ක වියළි ඝර්මකලාපීය (Semi arid tropical type) වනාන්තර රටාවක්‌ දූපත පුරා ම පෙන්නුම් කරයි. දූපතේ වැවෙන ප්‍රධාන බෝගය තල්ගස්‌ ය. දූපතේ බොහෝ පෙදෙස්‌ තල් ගස්‌න් පිරී වනාන්තර ස්‌වභාවයක්‌ පෙන්නුම් කරයි. වවන තල් ගස්‌වලට වඩා වැවුණු තල් ගස්‌ බහුල ය. තල් ගසෙන් සිඳගන්නා රා ඩෙල්ෆ්ට්‌ වැසියන් ගේ ප්‍රියතම පානයකි. තල් ආශ්‍රිත නිෂ්පාදන ද සිදු කෙරෙයි තල් හැරුණු කොට සරු පොල් වගාවක්‌ ඩෙල්ෆ්ට්‌ දූපත සතු ය. තැනිතලා බිම්වල පඳුරු සහිත කැළෑ දක්‌නට ලැබේ. නුග ගස ද බහුලව දක්‌නට ලැබෙන මහා ශාකයකි. ගංසූරිය වැනි ශාක ද දක්‌නට ඇත. වෙරළ ආශ්‍රිත වත් දූපත මැද ප්‍රදේවලත් කෝමාරිකා ශාකයේ සරු ගහණයක්‌ දක්‌නට ලැබේ. මේ කෝමාරිකා ශාකය ඖෂධ පිණිස ගන්නා ශාකය නො වන අතර එය Aloe vera යන විද්‍යාත්මක නමින් හැඳින්වෙයි. කටු ඉකිලි, මූදු බිංතඹුරු, මුඩුමහන, නාගදරන වැනි ශාක වෙරළ ආශ්‍රිතව දක්‌නට ඇත. මිනීමල් ශාක ද ඩෙල්ෆ්ට්‌ දූපතේ බහුලව දක්‌නට ලැබෙන සපුෂ්ප ශාකයකි. මෙහි දී කිව යුතු දෙයක්‌ නම් ඩෙල්ෆ්ට්‌ දූපත ආශ්‍රිත ශාක පිළිබඳව විධිමත් අධ්‍යයනයක්‌ මේ වන තෙක්‌ කර නො තිබීම අඩුපාඩුවක්‌ බව ය.

සත්ත්ව ගහණය

ඩෙල්ෆ්ට්‌ දූපතේ සත්ත්ව විශේෂ රැසක්‌ දක්‌නට නැතත් ගව රංචු සහ එළු රංචු නිදැල්ලේ හැසිරෙන අන්දම සුලබ දර්ශනයකි. ගවයින්ටත් එළුවන්ටත් අයිතිකරුවන් ඇතත් උන් නිදැල්ලේ ඇති කිරීම ඩෙල්ෆ්ට්‌ දූපත් වැසියන් ගේ සිරිතකි. කිරිදෙනක පමණක්‌ ගෙවත්තේ ගැටගසා කිරි දොවා ගැනීම පමණක්‌ සිදු කෙරේ. උරග විශේෂ අතර වැලි පොළඟුන් බහුලව සිටින අතර පොළොං දෂ්ටනය ද බහුලව සිදු වේ. වෙනත් උරග විශේෂ සිටින බවට සලකුණක්‌ නැත.

                      

ඩෙල්ෆ්ට්‌ දූපතේ චමත්කාරජනක දර්ශනය වන්නේ විවෘත තණබිම්වලත් වගුරු සහිත විල්ලු ප්‍රදේශවලත් කැළෑ පෝනියන් විශේෂ කීපයක්‌ රංචු වශයෙන් ගැවසීමයි. ඕලන්ද පාලන සමයේ දී ඩෙල්ෆ්ට්‌ දූපතට ගෙන ආ බව කියන පෝනින් එකල වැසියන් හා දූපත් පාලකයින් විවිධ වැඩ කටයුතු සඳහා යොදවා ගන්නට ඇත. ඒ බැව් පෙන්වන කදිම සාධකයක්‌ ලෙස පෝනියන් පුහුණු කළ හා උන් රඳවා තබාගත් ස්‌ථානවල නටබුන් අදත් දක්‌නට ලැබීම සුවිශේෂී ලක්‍ෂණයකි. එදා එසේ වුවත් පරපුරු ගණනාවක්‌ නො නැසී පැවත එන මේ පෝනියන් වල් දර්ශයක්‌ (Wild type) බවට පත් වී ඇත. දිගු කලක්‌ මේ පෝනි විශේෂ දූපතට සීමා වී ජීවත් වීමත් වෙනත් විශේෂයකට මුහුන් නො වීමත් හේතුවෙන් උන් විශේෂ ජාන දර්ශයක්‌ බවට පත් වී ඇතැයි සිතිය හැකි ය. මේ පිළිබඳව කිසිදු පර්යේෂණයක්‌ මේ වන තෙක්‌ සිදු කර නොමැත. මතු දිනක දී හෝ එවැන්නක්‌ සිදු කිරීම කාලෝචිත ය.

පක්‍ෂි විශේෂ

කාලයකට සිදු වන සංචාරක පක්‍ෂීන් ගේ පැමිණීම මේ දූපතේ ද සිදු වන බැවින් එවන් කාලවකවානුවල දී විවිධ විශේෂවලට අයත් පක්‍ෂීන් දැකගත හැකි බැව් දූපත් වැසියෝ පවසති. ඒ හැරුණු කොට දූපතට ආවේණික වූ හෝ නේවාසික වූ හෝ පක්‍ෂි විශේෂ දක්‌නට නැතත් මයිනන් රංචු වශයෙන් සිටින බැව් දක්‌නට ලැබිණි. ධීවර වාඩි අසල කපුටන් ගේ සුළු ගහනයක්‌ දක්‌නට ලැබේ.

අතීතය

ලන්දේසීන් ඩෙල්ෆ්ට්‌ දූපත අල්ලා ගැනීමට පෙර එය අලංකාර මල් වත්තක්‌ ලෙස තිබුණු බවට ඉතිහාස තොරතුරු අනාවරණය කරයි. එවකට එම මල් වත්තක්‌ වූ දූපත පාලනය කර ඇත්තේ වීදියරසන් නම් ඉන්දියානු ජාතික මුහුදු කොල්ලකරුවෙකි. ඔහු විසින් දූපතේ වැව් දෙකක්‌ සාදන ලද අතර එකල එහි විසූ වැසියන් සමග සුකුමාර ජීවිතයක්‌ ගත කර ඇත. ඉන්පසුව තන්නායම් මුදලි නම් දෙමළ නායකයකු වීදියරසන් ඝාතනය කර දූපත අල්ලාගෙන ඇත. ඔහු ගෙන් පසු පෘතුගීසීන්ටත් ඉන්පසු ලන්දේසීන්ටත් අයත් වී පසුව අද තිබෙන තත්ත්වයට පත් ව ඇත. වත්මන් ඩෙල්ෆ්ට්‌ වැසියෝ දෙමළ ජාතිකයන් වන අතර ඔවුහු ක්‍රිස්‌තියානි මෙන්ම හින්දු ආගම අදහන්නන් අතරට අයත් වෙති. පැරැණි හින්දු කෝවිලක්‌ හා දැනට ඉදි කරගෙන යන හින්දු කෝවිලක්‌ තිබෙන අතර දකුණු ඉන්දියානු සභාවට අයත් පල්ලියක්‌ හා ක්‍රිස්‌තියානි පල්ලියක්‌ ද ඇත.

බෞද්ධ උරුමය

ඩෙල්ෆ්ට්‌ දූපතේ අතීත බෞද්ධ උරුමය පෙන්වන බෞද්ධ ස්‌ථූප තුනක නටබුන් අදත් දක්‌නට ඇත. පුරාවිද්‍යාත්මක සාක්‌ෂිවලට අනුව අතීතයේ දී යාපනය අර්ධද්වීපය පුරා ම බෞද්ධ සංස්‌කෘතිය පැතිරී තිබුණු බැව් පැහැදිලි වෙයි. ක්‍රි.පූ. තුන්වැනි සියවසේ දී සිදු වූ මහින්දාගමනයත් සමග යාපනය අර්ධද්වීපයේ බුදු දහම පැතිරී තිබුණු බැව් දීපවංශ හා මහාවංශ යන ග්‍රන්ථවලින් පැහැදිලි වෙයි.

යාපනේ බෞද්ධ මධ්‍යස්‌ථාන අතරින් කන්තරොඩෙයි හෙවත් කදුරුගොඩ ඉතා ම වැදගත් තැනක්‌ ගනී. නූතන කන්තරෝදය හෙවත් පැරැණි කදුරුගොඩ පිහිටා ඇත්තේ චුන්නාකම් මනිපායි පාරේ චුන්නාකම්හි සිට සැතපුම් දෙකහමාරක්‌ පමණ දුරිනි. මහනුවර යුගයේ ලියවුණු නම්පොත නම් ග්‍රන්ථයේ කදුරුගොඩ විහාරය පිළිබඳව සඳහන් වෙයි.

කදුරුගොඩ පුරාවිද්‍යා කැණීම් කළ ස්‌ථානය ගම් වැසියන් විසින් හඳුන්වන ලද්දේ කයාංගන යනුවෙනි. මෙය සිංහල ව්‍යවහාරයට අනුව ගයාංගන යන වචනය දෙමළ ඌරුවෙන් භාවිත කළ බවත් පෙන්වයි. යාපනයේ මූල ඵෙතිහාසික යුගයේ දී වාසය කළ ජනයා සංක්‍රමණිකයන් නො ව ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට පැවැත ආ සිංහල බව අනාවරණය වී ඇත. මෙයින් කදුරුගොඩ සුවිශේෂී පුරා විද්‍යා ස්‌ථානයක්‌ ලෙසට අවිවාදයෙන් පිළිගත හැකි ය. මෙයට අමතරව යාපනයේ චුන්නාකම්, කොඩ්ඩියතෝට්‌ටම්, මල්ලාකම් මහයියාපිටි, පුරලාලි සහ උඩුවිල් යන ස්‌ථානවලින් හමු වන පැරැණි නටබුන්වලින් බෞද්ධ ප්‍රබෝධයක්‌ තිබුණ බැව් පිsළිගත හැකි ය. දක්‌නට ලැබෙන බෞද්ධ ස්‌ථූප තුනක නටබුන්වලින් ඩෙල්ෆ්ට්‌ දූපත ද බෞද්ධ උරුමයක්‌ ලත් ස්‌ථානයක්‌ ලෙසට පිළිගත හැකි ය.

එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා විසින් වර්ෂ 1944 දී ලියන ලද ලංකාවේ කාසි හා මුදල් නමැති කෘතියේ දී කදුරුගොඩ ප්‍රදේශයෙන් හමු වූ කාසි රැසක්‌ පිළිබඳව සඳහන් කර ඇත. මුදලියාර් සී. රාසනායගම් විසින් වර්ෂ 1926 දී ලියන ලද Ancient Jaffna නම් කෘතියෙහි ද කදුරුගොඩ ප්‍රදේශයේ පැරැණි බෞද්ධ විහාරස්‌ථානයක නටබුන් තිබුණු බැව් සඳහන් වෙයි. (වල්ලිපුරම් රන් සන්නස්‌ සහ හෙළ උරුමය- සිරිසමන් විඡේතුංග පිටුව 70 සිට 77 දක්‌වා)

නයිනනිව් හෙවත් නාගදීපයේ නාකපූසානි අම්මාන් කෝවිල අසලින් හමු වූ නයිනතිව් සෙල් ලිපිය, ක්‍රි.ව. 1153, 1186 දක්‌වා පොළොන්නරුවේ රජ කරමින් රට එක්‌සේසත් කළ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් පිහිටුවන ලද්දක්‌ බැව් එම ශිලාලේඛනයේ ම සඳහන් වෙයි. දෙමළ භාෂාවෙන් මේ සෙල් ලිපිය ලියා තිබීම ද විශේෂත්වයකි. පුවරු ලිපි ගණයට අයත් මෙහි පේළි 24ක්‌ පමණ අද ඉතිරි වී ඇත. වර්ෂ 1986 දී මහාචාර්ය අබය ආර්යසිංහයන් විසින් ලියන ලද සකල සිංහල චක්‍රවර්තී නම් කෘතියේ සෙල්ලිපියේ සිංහල පරිවර්තනයෙහි මෙසේ සඳහන් වෙයි. අපි පිටරටුන් ගේ වාඩිලෑමට ද ඔවුන් රකිනු ලැබීමට ද පිටරට බොහෝ වරායවලින් මෙහි එන්නන්ට අප වරායේ නැවතීමට ද (අවසර දෙමු). අසුන් හා ඇතුන් මෙහි ගෙන එන නැව් විනාශ වුවොත් අප අසුන්ට හා ඇතුන්ට කැමැති බැවින් මුල් සතුන් ගණනින් හතරෙන් එක භාගයක්‌ රාජ්‍ය භාණ්‌ඩාගාරයට ද හැරිය යුතු ය. ඉතිරි තුන් භාගය අයිතිකාරයන්ට පැවරිය යුතු ය. වෙනත් බඩු ගෙන එන නැව් විනාශ වුවොත් ඉන් සම අඩක්‌ රාජ්‍ය භාණ්‌ඩාගාරයට ද හැරිය යුතු ය. ඉතිරි අඩ අයිතිකරුවන්ට හැරිය යුතු ය. ඉරහඳ පවතින තුරු මේ අණ බලපායි. මේ අණ සිලෙයි ද තඹ පතක ද ලියන ලදී. මේ පනත දෙවා වදාළේ ශත්‍රැ රාජ වංශයට ලැව්ගින්නක්‌ වූ සකල සිංහල චක්‍රවර්තී පරාක්‍රමභුජදේවයන් වහන්සේ විසිනි.

මෙයින් ක්‍රි.ව. 12 වැනි සියවසේ දී යාපනය ඇතුළු ප්‍රදේශ පොළොන්නරුවේ පැවැති සිංහල අධිරාජ්‍යයට අයත් ව පැවැති බැව් මේ නයිනතිව් පුවරු ලිපියෙන් තහවුරු වෙයි. මේ පුවරු ලිපිය ප්‍රථම වරට කියවන ලද්දේ වර්ෂ 1926 දී මුදලිඳු සී. රාසනායගම් මහතා විසිනි.

මේ පුවරු ලිපියෙන් පරාක්‍රමබාහු රජතුමා ගේ අණසක යාපනේ පැවැති බව ද නාවික ගමනාගමනය ආශ්‍රිතව පැවැති තීරු බදු ප්‍රතිපත්තියත් පැවැත් බව ද පැහැදිලි වෙයි.

අද මේ සෙල් ලිපිය නාකපූසානි අම්මාන් කෝවිලේ බිත්තියක්‌ අසල සිටුවා ඇති අන්දම දක්‌නට ලැබේ. මෙහි අකුරු තිබෙන පැත්තේ දිග අඩි 3 අඟල් 11කි. මුදුන් පැත්ත අඩි 1 අඟල් 7කි. පාදම් පැත්ත අඩි 3 අඟල් 11කි. පැත්තක්‌ කැඩී ගොස්‌ ඇත. බොහෝ අකුරු මැකී ගොස්‌ ඇත්තේ කෝවිලේ සේවකයන් පිහියා වැනි ආයුධ මුවහත් කිරීමට මේ සෙල් ලිපිය ප්‍රයෝජනයට ගත් බැවිනි. යන්තම් කියවා ගත හැක්‌කේ අධිපත හා පරාක්‍රම යන වදන් දෙක පමණි.

මේ සෙල් ලිපියට අනුව යාපනයත් ඊට අයත්a දූපත් සමූහයත් මහා පරාක්‍රමබාහු රජතුමා ගේ අණසකට යටත් ව තිබුණු බැව් තහවුරු වෙයි. මේ සෙල් ලිපියේ ම සඳහන් අන්දමට ඇතුන් හා අසුන් හුවමාරුවක්‌ හෝ වෙළෙඳාමක්‌ හෝ සිදු කර ඇති බැව් සිතිය හැකි ය. එසේ නම් ඩෙල්ෆ්ට්‌ දූපත මහා පරාක්‍රමබාහු රජ දවස නැව් තොටක්‌ වන්නට ඇතැයි සිතිය හැකි අතර අද වෙසෙන පෝනියන් එදා නැව්වලින් මෙරටට ගෙන ආ සතුන් ගෙන් පැවත එන්නන් බව ද අනුමාන කළ හැකි ය. සමහර විට ඕලන්ද යුගයේ දී මේ පෝනියන් ගෙන් කිසියම් ප්‍රයෝජනයක්‌ ගන්නට ඇතැයි ද සිතිය හැකි ය.

ඩෙල්ෆ්ට්‌ දූපතේ අද වෙසෙන්නේ ද්‍රවිඩ ජන කොටස්‌ ය. මහා පරාක්‍රමබාහු යුගයේ බෞද්ධ සංස්‌කෘතියක්‌ තිබුණු බැව් තහවුරු වන අදත් එහි දක්‌නට ලැබෙන බෞද්ධ ස්‌ථූප 3ක නටබුන්වලට අනුව එදා ඩෙල්ෆ්ට්‌ දූපතේ සිංහල බෞද්ධ වැසියන් සිටි බැව් තහවුරු වෙයි. එසේ නම් අද සිංහල ජන කොටස්‌ තුරන් වී ද්‍රවිඩ ජන කොටස්‌වලට මේ දිවයින අයත් වූයේ ඇයි ද යන්න විමසිය යුතු වෙයි.

මහාචාර්ය අබය ආර්යසිංහයන් පෙන්වා දුන් අන්දමට අදත් බොහෝ නම්වල මුල් කොටස සිංහල උරුවත් අග කොටස දෙමළ උරුවත් ගෙන ඇති ආකාරයෙන් එය පැහැදිලි වෙයි. ගොඩ-කොට්‌ටෙයි, ගම-කම්, මලුව-මලෛ, අමුණ-මුණෙයි, වත්ත-කෝට්‌ටම්, දීප-තීව්, ගඟ-ආරු, යාපා පටුන-යාල්පාන පට්‌ටනම්, හුණුගම-චුන්නාකම්, වරල-විරාලෙයි, වඩුමා කඩුව-වඩ්ඩුමාකඩ්ඩු, උඩුවිල-උඩුවිල්, කොඩියවත්ත-කොඩ්ඩියවන්තෙයි, මලලගම-මල්ලාකම්, මහයියාපිටිය-මාහියාප්පිට්‌ටි, පුවඟුදීප-පුන්ගුඩුතීව්, කිලිනිකේ-කිලිනොච්චි දිවෙල් දුව-ඩෙල්ෆ්ට්‌ හෙවත් නෙඩුන්තිව් යන වදන්වලින් අතීත යාපා පටුනේ ස්‌ථාන නාම සිංහල ව්‍යවහාරයට තිබී පසුව දෙමළ භාෂා ව්‍යවහාරයට පරිවර්තනය වීමට හේතුව විමසිය යුතු වෙයි.

ක්‍රි.ව. 993-1070 වැනි කාල සීමාවක්‌ දක්‌වා සිංහල රාජ්‍ය බලය අඩපණ වීමත් සමග චෝල බලය උතුරේ හා රජරට ප්‍රබල වීම ද්‍රවිඩ බලපෑමට හේතුවක්‌ වූ බැව් මහාචාර්ය අබය ආර්යසිංහයන් පෙන්වා දෙයි. වසර 77ක්‌ පැවැති චෝල පාලනය නිසා දෙමළ බලය ඉස්‌මතු වුවත් ක්‍රි.ව. 1153-1186 කාල සීමාවේ දී මහා පරාක්‍රමබාහු රජු ගේ අණසකට යටත් විය. මහා පරාක්‍රමබාහු රජු ගෙන් පසු රාජ්‍ය බලය පිරිහෙන්නට විය. නිස්‌සංක මල්ල රජු පුවඟු දිවයින මණිනක්‌ දිවයින, කප්ප දිවයින කාර දිවයින වැනි දිවයින් නිස්‌සංක මල්ල රජු යටතට ගත් බැව් රාමේෂ්වරම් සෙල් ලිපියෙහි සඳහන් වෙයි.

මිණිපේ ශිලා ලිපියට අනුව ක්‍රි.ව 1209 දී කල්‍යාණවතීs බිසව ගේ රාජ්‍ය සමයේ විශාල දෙමළ සේනාවක්‌ ලංකාවට ගොඩ බැස මහා විනාශයක්‌ කර ඇත. ක්‍රි.ව. 1211-1214 දක්‌වා පාණ්‌ඩ්‍ය කුමාරයාත් පොළොන්නරුවේ සිට රට පාලනය කර ඇත. ඔහු බලයෙන් පහ කර මාඝ රජ කිරීම හේතුවෙන් දෙමළ බලය තවත් තහවුරු විය. මාඝ අවුරුදු 21ක්‌ දැඩි කෲර පාලනයක්‌ ගෙන ගොස්‌ ඇත. ක්‍රි.ව. 1245 දී චන්ද්‍රභානු නම් ජාවකයා යාපනය ඔහු ගේ යටතට ගෙන වසර 18ක්‌ පාලනය ගෙන ගියේ ය. ඉන්පසු එනම් 1263 සිට වසර 20ක්‌ ශ්‍රී ලංකාවේ මහා සාගතයක්‌ ඇති විය. මෙයින් පසු යාපනය අර්ධද්වීපය දෙමළ ජනකොටසක ගේ ආධිපත්‍යයට පත් විය. සිංහල ගම්වල නාම ද්‍රවිඩ බසට අනුව සකස්‌ වීම ශීඝ්‍රයෙන් සිදු විය. (වල්ලිපුරම් රන් සන්නස හෙළ උරුමය පිටුව 73,74 සිරිසමන් විඡේතුංග)

මේ කරුණු අනුව ඩෙල්ෆ්ට්‌ දූපතේ අතීත වැසියන් බෞද්ධ සංස්‌කෘතියක්‌ හිමි වූ සිංහලයන් වූ බවත් පසුව ක්‍රමයෙන් දෙමළ ජන කොටසක්‌ වූ බවත් සඳහන් කළ හැකි ය. දකුණු ඉන්දියානු බලපෑම් මේ දූපතට ලැබුණු බැව් පෙන්වන කදිම සාධකයක්‌ ලෙස අවුරුදු 150ක්‌ පමණ පැරැණි දකුණු ඉන්දියානු සභාවට අයත් කතෝලික පල්ලිය හැඳින්විය හැකි ය.

සමරු දූව

ඩෙල්ෆ්ට්‌ දූපත සමරු දූපතක්‌ ලෙසට හැඳින්වුවොත් එහි ඇති වරදක්‌ නැත. සිංහල රාජ සමයේ සිට මේ දක්‌වා පැවතුණු කාල වකවානුවල වැදගත් සමරු සටහන් අදත් දක්‌නට ලැබීම විශේෂත්වයකි. ඩෙල්ෆ්ට්‌ දූපතේ නැඟෙනහිර සීමාවට ගිය විට එනම් නැඟෙනහිර වෙරළට අහස පැහැදිලිව දිස්‌ වන සැන්දෑවක එහි ගිය විට ඉන්දියාවේ රාමේෂ්වරම්හි පිහිටි ප්‍රදීපාගාරය දැකගත හැකි අතර මඳක්‌ අඳුරු කාල සීමාවක දී එහි ගොඩනැඟිලිවල ආලෝකය ද දැකගත හැකි ය.

ක්‌වීන් ටවර් (Queen tower) යනුවෙන් හැඳින්වෙන ප්‍රදීපාගාරයක්‌ ඩෙල්ෆ්ට්‌ දූපතේ පිහිටා ඇත. මෙය ඕලන්ද පාලන සමයේ නැව්වලට දිසාව පෙන්වූ ප්‍රදීපාගාරයක්‌ ලෙසට ඩෙල්ෆ්ට්‌ වැසියෝ හඳුන්වති. වෙනත් ප්‍රදීපාගාරවලට වඩා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගත් මේ ප්‍රදීපාගාරයේ පහළ සිදුරෙන් කුඩා ආලෝක ධාරාවක්‌ දැල්වුවත් ඉහළ කවුළුවලින් දීප්තිමත් ආලෝක ධාරාවක්‌ ලෙස විහිදීම සමහර විට පුදුමයට හේතුවක්‌ විය හැකි ය.

                                           

යෝධ බයෝ බැබ් ගස (Adansonia dligitata) ඩෙල්ෆ්ට්‌ දූපතේ අනන්‍යතා ලක්‌ෂණයකි. මේ ගසේ කඳ වට අඩි 20ක පමණ විශාලත්වයක්‌ ඇත. ගස මැද ස්‌වාභාවිකව පිහිටා ඇති ගුහාව අඩි 10ක්‌ පමණ උසකින් යුක්‌ත වන අතර එතුළ 10 දෙනකුට පහසුවෙන් සිටිය හැකි ය. දූපත් වැසියන් පවසන අන්දමට මේ බයෝබැක්‌ ගස්‌ ඕලන්ද පාලන සමයේ දී අශ්වයන්ට ආහාර පිණිස මෙහි ගෙනැවිත් ඇත. එහෙත් අද ඉතිරි ව ඇත්තේ මේ ගස පමණි.

                                                      

අක්‌කර භාගයක පමණ විශාලත්වයක්‌ තුළ පැතිරී ඇති ඉපැරැණි නුග ගස ද ඩෙල්ෆ්ට්‌ දූපතේ සමරු ගසක්‌ ලෙසට හැඳින්විය හැකි ය. මෙහි මුල් ශාකය කුමක්‌ ද යන්න සොයා ගැනීමට නොහැකි ය. එහෙත් අතුවලින් පහළට ඇදී ආ මුල්වලින් නව ශාක බිහි වීම අක්‌කර භාගයක පමණ විශාලත්වයක්‌ දක්‌වා පැතිරීමට හේතුවක්‌ වී ඇත. මේ ලියුම්කරු ගේ අදහසට අනුව මේ නුග ගසේ වයස වසර 500කට පමණ ආසන්න විය හැකි ය.

අනෙක්‌ සුවිශේෂී සිහිවටනය වන්නේ මේ දූපතේ අතීතයේ විසූ බවට ජනප්‍රවාදයේ එන යෝධ මිනිසා ගේ පතුලේ සටහන් ය. අඩි 1 1/2ක පමණ දිගින් යුත් මේ යෝධ පතුල් සටහන ආදම් ගේ පාදය යනුවෙන් ද හැඳින්වෙයි. පොළොවෙන් අඩි 5ක්‌ පමණ උසට මතු වූ පාෂාණයක්‌ ඩෙල්ෆ්ට්‌ දූපතේ ඇත. මෙය ලියලන ගල යනුවෙන් දූපත් වැසියෝ හඳුන්වති. එසේ හැඳින්වෙන්නේ දිනෙන් දින වර්ධනය වීම නිසා ය. මේ පාෂාණයේ වැඩීමක්‌ සිදු වන බැවින් ඉමහත් ගෞරවයකින් යුතු ව ඩෙල්ෆ්ට්‌ වැසියෝ මෙයට වැඳ නමස්‌කාර කර පුද පූජා පවත්වති.

ඩෙල්ෆ්ට්‌ දූපතේ පිහිටා ඇති අපූරු ළිං හත එහි අතීත වැසියන් ගේ කුල බේදය කියාපාන්නක්‌ වෙයි. කුලෙන් උසස්‌ අයට වෙන් වූ මේ ළිං හත මුහුදු තීරය ආසන්නයේ පිහිටා ඇතත් එහි ඇත්තේ කරදිය නො ව මිරිදියයි. මේ ළිං හතෙන් ම නාන අය ගේ තාරුණ්‍යය දිගු කලක්‌ රැඳෙන බැව් ජනප්‍රවාදයේ එයි. සමහර විට මේ ළිං හතෙන් ස්‌නානය කිරීම කුලයෙන් උසස්‌ යෑයි සම්මත අයට පමණක්‌ සීමා වූයේ මේ හේතුව නිසා ම විය හැකි ය.

අද සතියේ විමසුම
අමල් උඩවත්ත

ඡායාරූප අමල් උඩවත්ත

විශේෂ ස්‌තූතිය : ඩෙල්ෆ්ට්‌ දූපතේ දකුණු ඉන්දියානු සභා දේවස්‌ථානයේ ජෙයප්‍රකාශම් තාවිදු පියතුමාට, ආරක්‌ෂක අමාත්‍යංශයට, යාපනය යුද හමුදා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, බ්‍රිගේඩියර් ආර්. ඩබ්ලිව්. උඩවත්ත, ඩෙල්ෆ්ට්‌ දූපතේ නාවික හමුදා සේනාංකයේ අණ දෙන නිලධාරීතුමා ඇතුළු නිලධාරීන්ට ඩෙල්ෆ්ට්‌ පොලිස්‌ ස්‌ථානයේ සියලු ම නිලධාරීන්ට