logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


වාස්‌තවික වන්නේ අපේ වස්‌තු ද? සුද්දා ගේ වස්‌තු ද?

මලක්‌ එක්‌වර ග්‍රහණය කර ගැනීමට නො හැකි ය යන්න ඇතැමුන්ට ප්‍රශ්නයක්‌ වන්නට ඇත. එයට හේතුව අපට මල පෙනෙන්නට ඇති බැවිනි. මල දැකීම යනු මල ග්‍රහණය කිරීම නො වේ දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. එහි දී අප යම් "වස්‌තුවක්‌" දකින බව උපකල්පනය කළත් මෙහි දී සිදු වන්නේ ඇසට හා මනසට ගෝචර වන්නක්‌, එසේත් නැත්නම් ඇස හා මනස එකතු වී නිර්මාණය කරන්නක්‌ අප එතෙක්‌ නිර්මාණය කර ඇති වස්‌තු සමඟ සන්සන්දනය කිරීමකි. එසේ සන්සන්දනය කෙරෙන්නේ ද වස්‌තුව "දකින" එනම් "ග්‍රහණය" කරන මොහොතේ නො ව චිත්තක්‍ෂණයකට පසුව ය. එසේ සන්සන්දනය කිරීමට අප "දුටු" වස්‌තුව ගැන අපට මතකයක්‌ තිබිය යුතු ය. එසේ අප "දුටු" වස්‌තුව අප නිර්මාණය කර ඇති වස්‌තු සමඟ සන්සන්දනය කිරීමේ දී අපි ඒ "දුටු" වස්‌තුව එතෙක්‌ දැක ඇති යම් මල් වර්ගයකට සමාන බව නිගමනය කරමු. ඒ "වස්‌තුව" "මලක්‌" ලෙස අප ග්‍රහණය කරගන්නේ ඉන් පසුව ය. මෙය අති සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ කෙසේ වෙතත් අප මල ලෙස හඳුනාගන්නේ මුල දී ඇස හා මනස පමණක්‌ උපයෝගී කර ගැනීමෙනි. අවශ්‍ය ප්‍රමාණයට මලට ළඟා වූ පසු සුවඳ ආදිය ද ග්‍රහණය කර ගන්නෙමු.

ඇතැම් විට අපේ පළමු නිගමනය වරදිනවා විය හැකි ය. එක ම හැඩයකින් යුත් මල් වර්ග දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ හෝ ඇත්නම් එවිට අපට "මල" කිනම් වර්ගයේ "මලක්‌" දැයි නිගමනය කිරීමට සිදු වන්නේ මනස සමඟ අනෙක්‌ පංෙච්න්ද්‍රිය ද යොදා ගැනීමෙන් පසුව ය. අප දකිනා "වස්‌තුව" අප සන්සන්දනය කරන්නේ අප දැක ඇති "මල්" හා වෙනත් වස්‌තු සමඟ ය. ඒ අප දැක ඇති "මල්" මේ මේ ගුණ සහිත යෑයි අපි කියමු. එහෙත් අප කර ඇත්තේ මනස වරින් වර අනෙක්‌ ඉන්ද්‍රිය සමඟ සම්බන්ධ කර ගනිමින් හඳුනාගෙන ඇති ගුණවල එකතුවට මලක්‌ යෑයි කීම පමණ ය.

ඊනියා මලක හෝ ඊනියා වෙනත් වස්‌තුවක හෝ ඒ ඒ ගුණ මනසට එක්‌වර ගෝචර නො වේ. එක්‌ වරකට ඇති වන්නේ එක්‌ චිත්තයක්‌ පමණක්‌ වීම එයට හේතුව වේ. අප නැවත වරක්‌ අවධාරණය කළ යුත්තේ වස්‌තුවක ඒ ඒ ගුණ යෑයි අප කීවාට වස්‌තුවක්‌ යනු ඒ ඒ ගුණවල එකතුවක්‌ පමණක්‌ බව ය. වස්‌තුවක්‌ යනු ඒ ඒ ගුණවල එකතුවක්‌ පමණක්‌ නො ව මනසේ පමණක්‌ නිර්මාණයක්‌ වෙයි. අප ඊනියා වාස්‌තවිකත්වය, යථාර්ථය, ද්‍රව්‍යවාදය ආදී දෑ ප්‍රතික්‍ෂේප කිරීමට එය ද හේතුවක්‌ වෙයි. එහෙත් අපි බටහිර හෝ පෙරදිග හෝ විඥනවාදීහු ද නො වෙමු.

ප්ලේටෝ පඬිවරයා වැනි බටහිර විඥනවාදීන් ද ඊනියා වස්‌තු යනු ගුණවල එකතුවක්‌ බව කියා ඇති බව සෑබැ ය. එහෙත් ඔවුන්ට ඉහත සඳහන් අන්දමෙන් චිත්තක්‍ෂණ මත පදනම් ව විග්‍රහයක්‌ නො තිබුණා පමණක්‌ නො ව ඔවුහු මනස පවතින්නක්‌ බව පිළිගත් හ. වෙනත් වචනවලින් කියන්නේ නම් මනස ඔවුන් ගේ යථාර්ථය විය. මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අද දවසේ වුව ද බටහිරයන්ට විශ්වසනීය වූ ආකෘතියක්‌ නැත. එකක්‌ පසුපස පහළ වන චිත්ත පරම්පරාවක්‌ ගැන ඔවුහු සඳහන් නො කරති. ඔවුන්ට අනුව මනසෙහි විවිධ සිත් ඇති වන්නේ යෑයි සිතිය හැකි ය.

සිංහල බෞද්ධයනට, බටහිරයන්ට අවශ්‍ය අන්දමට බුදුදහම විවරණය කරන ඕල්කට්‌ බෞද්ධයනට හා වෙනත් අයට නො ව, අනුව මනස ද ඊනියා යථාර්ථයක්‌ නො වේ. මනස ද මනසේ ම නිර්මාණයක්‌ යෑයි අපි කියමු. මේ පිළිබඳව කාලය වෙබ් අඩවියෙහි ඇති සිංහල බෞද්ධ මනස නමින් පළ වී ඇති ලිපිය කියවන්න. මනස මනසේ නිර්මාණයක්‌ වන්නේ කෙසේ දැයි එහි පැහැදිලි කර දී ඇත. එය මනස පිළිබඳව වියුක්‌ත ප්‍රවාදයක්‌ පමණක්‌ මිස ඊනියා යථාර්ථවාදී මනසක්‌ ගැන කියෑවෙන්නක්‌ නො වන බව සිහි තබාගත යුතු ය.

දැන් අපි බර්ට්‍රන්ඩ් රසල් විද්වතා ගේ නීලපට දර්ශනයට නැවතත් යමු. ඔහුට අනුව නිරීක්‍ෂකයා ගෙන් තොර ව නීලභාවය පවතියි. එහෙත් අප පෙන්වා සිටියේ මනස නොමැති ව නීලභාවයක්‌ දැනගැනීමට නොහැකි බව ය. මිය ගිය අයකු ගේ ඇස්‌ තිබුණ ද, ඇස්‌ ඇරී තිබුණ ද මළ සිරුරට කිසිවක්‌ නො පෙනෙයි. ඒ මළ සිරුරට මනසක්‌ නැති බැවිනි. නීලභාවය යන්න නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින්නේ යෑයි පෙන්වීමට රසල් විද්වතාට නො ව අන් කිසිවකුට වත් කළ නො හැකි ය. නිරීක්‍ෂකයකු ගේ ඇස හා මනස නොමැති ව නීලභාවයක්‌ නැත.

ඇතැම් මිනිසුනට ඇතැම් වර්ණ නො පෙනෙන බව කීවෙමු. අපට නො පෙනෙන "වර්ණ" ඇතැම් වෙනත් සතුනට පෙනෙන බව පැහැදිලි ය. අපේ ඇස්‌ වෙනත් ආකාරයකින් නිර්මාණය වී තිබිණි නම් අපට වර්ණ යනුවෙන් සංකල්පයක්‌ ඇති නො වීමට ද ඉඩ තිබිණි. අපේ ඇස්‌වලට හා මනසට බාහිරව ඊනියා වර්ණයක්‌ තිබෙනවා නො ව මනස හා ඇස්‌ නොමැති ව වර්ණ නැත. වර්ණ සම්බන්ධයෙන් පමණක්‌ නො ව ඊනියා අනෙක්‌ ගුණ හා වස්‌තු ගැන ද කිව හැක්‌කේ එවැන්නකි. ඊනියා වර්ණ ආදී ගුණ මනස හා පංෙච්න්ද්‍රිය සම්බන්ධ වී නිර්මාණය කෙරෙන අතර ඊනියා වස්‌තු මනසේ පමණක්‌ නිර්මාණ වෙයි.

එහෙත් මල නිරීක්‍ෂකයා ගෙන් තොර ව නො පවතින්නේ ද යන ප්‍රශ්නය නැවත නැවතත් පඬියන් අසනු ඇත. මා මළ පසු ද මල් තිබෙන බව ඔවුන් පෙන්වා දෙනු ඇත. එහි බැලු බැල්මට පෙනෙන ඇත්තක්‌ වෙයි. අප අරලිය මල් යනුවෙන් හඳුන්වන මල් හෝ වෙනත් මල් හෝ අප මිය යැමෙන් පසුව ද පවතින බව සෑබැ ය. එයට හේතුව මා අරලිය මල් යනුවෙන් හඳුන්වන්නේ මට අරලිය මල් ලෙස වැඩිහිටියන් විසින් හඳුන්වා දෙනු ලැබූ මා නිර්මාණය කළ මල් වර්ගයකට වීම ය. මල යන සාධාරණ (පොදු) සංකල්පය ද මට හඳුන්වා දෙනු ලැබුයේ වැඩිහිටියන් විසිනි. මා විසින් ඊනියා වස්‌තු ලෙස නිර්මාණය කරනු ලැබූ වස්‌තු වර්ගයකට වැඩිහිටියෝ මල් යන නාමය දුන් හ. ඒ වස්‌තුවලට මම ඉන්පසු මල් යෑයි කීවෙමි.

ඉන්පසුව එලෙස මල් යනුවෙන් හඳුන්වා දෙනු ලැබූ ඊනියා වස්‌තු කුලකයෙන් උප කුලකයකට වැඩිහිටියෝ අරලිය මල් යන නාමය දුන් හ. ඒ නම මා ද යොදාගත්තා පමණක්‌ නො ව මගේ දරුවන්ට ද දුනිමි. ඔවුහු ද දැන් අරලිය මල් යන සංකල්පය යොදා ගනිති. එලෙස අරලිය මල යන සංකල්පය, නාමය පරම්පරාවෙන් පරම්පරාවට යයි. සිංහල මිනිසුන් පවතින තාක්‌ ඇතැම් විට ඒ සංකල්පය පවතිනු ඇත. එහෙත් සිංහල ජාතිය නැති වීමෙන් පසු අරලිය යන සංකල්පය ද නැති වනු ඇත. ඇතැම් විට ඒ මල්වලට, එසේ නැත හොත් ඒ නමින් නිර්මාණය කෙරුණු මල්වලට, වෙනත් බසකින් වෙනත් නමක්‌ යොදා ගන්නවා විය හැකි ය. එසේ නම් සිංහල ජාතිය නැති වී ගියත් අරලිය මල් යනුවෙන් අප ගන්නා මල් වෙනත් (බසක) නමකින් පවතිනු ඇත යනුවෙන් පඬියකුට කිව හැකි ය.

එය සාකච්ජා කිරීමට පළමු තවත් ප්‍රශ්නයක්‌ ගනිමු. යම්කිසි හේතුවකින් සියලු මිනිසුන් අභාවයට ගිය හොත් අරලිය මල් කිසි ම සංකල්පයකින්, නමකින් නො පවතිනු ඇත. එහෙත් නමක්‌ නැති ව වුව ද අරලිය මල් දිගින් දිගට ම පවතිනු ඇති බව පඬියන් පෙන්වා දෙනු ඇත. එසේ වුවත් මේ ඊනියා වාස්‌තවිකවාදී ද්‍රව්‍යවාදී පඬියන් නො කියන දෙය නම් එලෙස අරලිය මල් දිගින් දිගට ම පවතින්නේ විඥනවාදීන් කියන ආකාරයට නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් බව ය. එසේත් නො වේ නම් නමක්‌ නැති ව වුව ද අරලිය මල් අරලිය මල් ලෙස ම නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින බව අප දන්නේ කෙසේ ද?

මේ පඬියන් සිතන්නේ අරලිය මල් හෝ වෙනත් දේ හෝ මිනිසුන් ගෙන් තොර ව පැවතිය ද මිනිසුන් දැන් ඒවා වර්ග කරගෙන ඇති ආකාරය, වෙන් කරගෙන ඇති ආකාරය වෙනත් සතුන්ට ප්‍රශ්නයක්‌ නො වේ ය කියා ය. වෙනත් සතුන් වෙනත් ආකාරයකින් අරලිය මල් හෝ ඒ වටා ඇති වෙනත් දේ සමඟ හෝ අවබෝධ කරගෙන ඇත්නම් ඔවුන් එසේ අවබෝධ කරගෙන ඇති දේ නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින්නේ ද? ඒ නිරීක්‍ෂකයන් ද ලෝකයෙන් නැති වුව හොත් ඔවුන් ගේ පඬිවරුන් ද කියනු ඇත්තේ ඒ නිරීක්‍ෂකයන් ලෝකයෙන් අභාවයට ගියත් ඔවුන් හැඳින්වූ ආකාරයෙන් ම අරලිය මල් හෝ එයට අදාළ වස්‌තු පවතින බව ය.

මෙහි දී අපට ප්‍රශ්නයක්‌ වෙයි. ඒ ඒ නිරීක්‍ෂකයන්ට විවිධාකාරයෙන් අරලිය මල් හෝ මල් ද ඒ සමඟ ඇති අනෙක්‌ දේවල් ද පෙනෙන්නේ නම් ඒ සියලු නිරීක්‍ෂකයන් ගේ අභාවයෙන් පසු අරලිය මල් හෝ අදාළ වස්‌තු හෝ පවතින්නේ කිනම් නිරීක්‍ෂකයන් ගේ සංකල්ප පදනම් කර ගනිමින් ද? ඒ නිරීක්‍ෂකයන් කවුරුන් දැයි කීමට පඬියන් අසමත් වන්නේ නම් අප සියලු දෙනා ගේ සහභාගීත්වයෙන් අපට පොදු නිරීක්‍ෂණය කුමක්‌ ද කා ගේ ද යෑයි කීමට ඔවුන්ට හැකි ද?

ලෝකයේ සිටින එක ම නිරික්‍ෂකයන් මිනිසුන් නො වන කල, අනෙක්‌ සතුන් ද විවිධාකාරයෙන් ඒ ඒ සංකල්ප නිර්මාණය කරන කල, කිනම් සතකු ගේ නිරීක්‍ෂණ ඊනියා වාස්‌තවික නිරීක්‍ෂණ බවට පත් වන්නේ ද? මිනිස්‌ නිරීක්‍ෂකයාට මෙහි දී විශේෂ තැනක්‌ දිය හැකි නො වේ. මිනිසා මනසින් උසස්‌ ය ආදිය මෙහි දී වලංගු නො වේ. සසර සැරිසරන සතුන් ලෙස ගත් කල නිරීක්‍ෂණ සම්බන්ධයෙන් සියලු සත්තු සමාන වෙති. එවැනි කරුණුවල දී මිනිසා අනෙක්‌ සතුන්ට වඩා උසස්‌ යෑයි සැලකෙන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ය. යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මිනිසා මවා ඇත්තේ දෙවියන් වහන්සේ ගේ ආකාරයෙනි. ඒ නිසා ම මිනිසාට අනෙක්‌ සතුන්ට වඩා විශේෂයක්‌ අත් වෙයි. එවිට මිනිස්‌ නිරීක්‍ෂකයා ගේ ඊනියා වස්‌තු, එනම් මිනිස්‌ නිරීක්‍ෂකයා නිර්මාණය කර ඇති වස්‌තු ඊනියා වාස්‌තවික දේ බවට පත් වෙයි. එහෙත් මෙහි දී ද ප්‍රශ්නයක්‌ වෙයි. මේ මිනිසා යනු කවුද යන්න ඒ ප්‍රශ්නය වෙයි.

ඒ මිනිසා සිංහල ද, ඉංගිරිසි ද, ජර්මන් ද, ජපන් ද ආදී වශයෙන් ප්‍රශ්නය ඇසිය හැකි ය. ඊනියා වාස්‌තවික වන්නේ කා ගේ අරලිය මල් ද? ඉංගිරිසි ජාතිකයන්ට එංගලන්තයේ අරලිය මල් නැත. ඔවුන් අරලිය මල් ගැන දැනගන්නේ පරිවර්තනයක්‌ පමණක්‌ ලෙස ය. එවැනි පරිවර්තිත සංකල්පයක්‌ වාස්‌තවික සංකල්පයක්‌ ලෙස ගත හැකි ද? අරලිය මල නො ව සැම මිනිසකු ම දන්නේ යෑයි කියන මිනිසා යන සංකල්පය වුව ද සැම සංස්‌කෘතියක ම දැන ගන්නේ එක ම අයුරෙන් නො වේ.

සිංහල බෞද්ධ සංස්‌කෘතියේ මිනිසා යනු ඉංගිරිසි ඇංග්ලෝ සැක්‌සන් සංස්‌කෘතියේ මෑන් (Man) නො වේ. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි මිනිසකු යනු සසර සැරිසරන සතුන් ලබාගන්නා එක්‌ භවයක ජීවියකු වෙයි. අනෙක්‌ භවයකට වඩා මිනිස්‌ භවයෙහි දී සිත උපේක්‍ෂා තත්ත්වයකට පත් කිරීම පහසු වෙයි. ඉංගිරිසි ඇංග්ලෝ සැක්‌සන් සංස්‌කෘතියෙහි මෑන් යනු දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගේ ආකාරයෙන් මවා ඇති විශේෂිතයෙකි. ඔහු සසරක්‌ ගැන නො දනියි. සසර සැරිසරන්නා යන්න ඔහුට අදාළ නො වේ. සිංහල සංස්‌කෘතියෙහි මිනිසා හා ඉංගිරිසි ඇංග්ලෝ සංස්‌කෘතියෙහි මෑන් යනු එක ම සංකල්පය නො වේ. එවිට වාස්‌තවික වන්නේ කිනම් සංස්‌කෘතියක සංකල්ප ද? අපේ ද? සුද්දා ගේ ද?

මහාචාර්ය නලින් ද සිල්වා