වැදි ජනතාව ගේ ආහාර පිළියෙල කිරීමේ රටා

සාමාන්‍ය ගැමි ගෙදරක ආහාර පිසින ක්‍රමවේදවලට වඩා හාත්පසින් ම වෙනස්‌ වූ ආහාර පිසින ක්‍රමවේදයක්‌ වැදි ජනතාව අනුගමනය කළ හ. මෙහි දී ඔවුහු ගින්දර භාවිත කර අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හෝ සකසාගත් ආහාරයක්‌ භාවිත කළ බැව් පෙනේ. මස්‌ බහුලව ආහාරයට ගත් වැදි ජනතාව ඒ සඳහා තලගොයා, ගෝනා, මුවා, වඳුරා, වැනි සතුන් ගේ මස්‌ තෝරා ගත් අතර මිරිදිය මත්ස්‍යයන් ද ඊට ඇතුළත් විය. එහෙත් කැළේ සිටි සියලු ම සතුන් වැදි ජනතාව ගේ ආහාරයට ඇතුළත් නො වී ය. ගව මස්‌ හෙවත් ගෙරි මස්‌, ඉබි මස්‌, ඉත්තෑ මස්‌, වලි කුකුළු මස්‌, මොණර මස්‌ ආහාරයට ගැනීම තහනම් විය. මේවා තහංචි මස්‌ යනුවෙන් හැඳින්විණි. කෙසේ වෙතත් කැළේ සතුන් සිටි පලියට දඩයම් කිරීමට අවසරයක්‌ තිබුණේ නැත. එය ආහාර සංරක්‍ෂණ ක්‍රමයේ මූලික පියවර විය. මෙහි දී කුසගින්න දැනෙන ප්‍රමාණය හා ගිනි අවුලා ගැනීමට යන කාලය වැනි සාධක මත අමු මස්‌ හෝ සකස්‌ කළ මස්‌ භාවිතයට ගැනිණි. වර්තමානයේ අප භාවිත කරන සොසේජස්‌ නිපදවීමේ ක්‍රමය ද වැදි ජනයා අතර වෙයි. මෙය ලේ පිරුම යනුවෙන් හැඳින්වෙයි. සතුන් ගේ ලේ හා තෙල් මස්‌ ආහාර පිළියෙල කිරීම වැදි ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධ ය.

මස්‌ වෑංජනය

මෙහි දී මරන ලද සතා ගේ හම ඉතා ම පරෙස්‌සමෙන් ඉවත් කරයි. ඉන්පසු දැල්වෙමින් තිබෙන ගිනිමැළයකට අඩි 1ක්‌ පමණ ඉහළින් කණු 6ක්‌ සිටුවා ඒ ලී කණු 6 ආධාරයෙන් පියනක්‌ මෙන් සිටින සේ සතා ගේ හම ලොම් ඇති පැත්ත පොළොව දෙසට සිටින සේ තදින් බැඳ ගනී. මෙහි දී හම මැද බොක්‌කක්‌ ආකාරයට සිටින සේ බැද ගැනීමට අමතක නො කරයි. දඩයම් කළ සතා මස්‌ කරන්නේ ඉන් පසුව ය. මස්‌ කරද්දී ගලා එන ලේ සියල්ල එකතු කර හමේ බොක්‌ක පෙදෙසට දමයි. ඉන්පසු හෘදය, පෙනහළු, පීකුදු වැනි මෘදු මස්‌ සහිත කොටස්‌ හා තෙල් වැදලි සහිත මස්‌ සියල්ල ම කපා හමේ බොක්‌ක පෙදෙසට දමයි. ඉන්පසු කරන්නේ කැළෙන් ම සපයා ගත් මිරිස්‌ ආදිය ද එකතු කිරීමයි. අනතුරුව ගිනි මැළයකට අඟුරු එක්‌ කරයි. මෙහි දී ගිනි දලු නො නඟින දැඩි රශ්මියක්‌ ඇති ගිනි අඟුරු නිපදවන දර එකතු කරයි. මෙසේ රත් වන මස්‌වලට මිරිස්‌, කරපිංචා (වල් කරපිංචා විය හැකි ය) හැවැන් දලු හෝ කැළෙන් ම සොයාගත් ලුණු වර්ගයක්‌, ගොරකා වැනි ඇඹුල් කාරක එකතු කර ගැනීමක්‌ සිදු කෙරේ. වැදි ජනයා අතර ඉතා ම රසවත් පෝෂ්‍ය ගුණයෙන් පිරි ආහාරයක්‌ ලෙසට මේ මස්‌ වෑංජනය ප්‍රසිද්ධ ය.

හමේ ඔතා මස්‌ පිළිස්‌සීම

මස්‌ ලබාගත් සතා ගේ උදර පෙදෙසේ හෙවත් බඩ පෙදෙසේ හම පරෙස්‌සමෙන් ගලවා ගැනීම පළමුවෙන් ම සිදු කෙරේ. ගලවාගත් හම ගල් පොත්තක අතුරා සතා ගේ ගාත්වල හා පිට වැටියේ මස්‌ ද, කර හෙවත් බෙල්ල පෙදෙසේ මස්‌ ද අතුරා ගත් හම මතුපිටට දමයි. මේ මස්‌වලට ලුණු, කරපිංචා, කොච්චි හෝ වෙනත් මිරිස්‌ වර්ගයක්‌ එකතු කර හොඳින් කලවම් කරයි. ඉන්පසු ගලේ අතුරන ලද හමෙන් මස්‌ ඔතා ලිහිනිය පට්‌ටාවලින් ළඟින් සිටින සේ තදින් වෙළා තදින් බැමි යොදයි. දැන් මෙහි ඇත්තේ මස්‌ පාර්සලයකි. මේ මස්‌ පාර්සලය ගිනි අඟුරු මතට දමා ඒ මේ අත පෙරළමින් මස්‌ පැස හෙවත් පාර්සලය හොඳින් තම්බා ගනී. පාර්සලය වෙළනු ලැබූ ලිහිනියා පට්‌ට පිළිස්‌සී එකින් එක ගැලවී යන තෙක්‌ මස්‌ තම්බා ගන්නා අතර පට්‌ට ගැලවී යත් ම මස්‌ පැස ඉවතට ගනී. පසුව ක්‍රමයෙන් නිවෙන්නට හැර ඊතල හිසකින් කැබැලි කපා ආහාරයට ගනී.

ඉතා ඉක්‌මනින් මස්‌ ආහාරයට ගැනීමට අවශ්‍ය වූයේ නම් වැදි ජනතාව කළේ මස්‌ පතුරක්‌ ආකාරයට සිටින සේ කපා හෝ ඉරා ගිනි මැළයකට දමා පුළුස්‌සා ගැනීමයි.

අමු මස්‌ මී පැණි සමග ද ආහාරයට ගන්නා ක්‍රමවේදයක්‌ වැදි ජනතාව තුළ අදත් දක්‌නට ඇත. ගිනි උපද්දවා ගැනීමට යන කාලය තුළ කුසගින්න දරා ගැනීමට අපහසු නම් ඔවුන් කළේ අමු මස්‌ මී පැණි සමග තවා කෑමට ගැනීමයි.

එසේ ම මී පැණි නොමැති නම් අමු මස්‌ මිරිස්‌ සමග ද ආහාරයට ගන්නා ක්‍රමයක්‌ ද ඇත.

තෙල් තැවරූ මස්‌ කුට්‌ටි පුළුස්‌සා කෑම වැදි ජනතාව අතර ප්‍රසිද්ධ ය. අත්ලට මිට මොලවා ගත හැකි ප්‍රමාණයට කපාගත් මස්‌ කුට්‌ටි විශේෂයෙන් මුව හෝ ගෝන මස්‌ ලී උල්වල අමුණා ගෝන, මුව, ඌරු හෝ ගෙරි තෙල් හෙවත් හරක්‌ තෙල්වල දමා ගිනි අඟුරු මත තබා කර වන්නට සලස්‌වා පලහා හෙවත් පුළුස්‌සා ගැනීමෙන් පසු මිරිස්‌ තැවරුමක්‌ සමග ආහාරයට ගැනීම සිදු කෙරේ.

මස්‌ ලේ පිරුම ද වැදි ජනයා අතර ප්‍රසිද්ධ ආහාර සකස්‌ කිරීමකි. කටු අල හෝ ගෝනල පොතු ගලවා සුද්ධ කර කෑලි කපා බාගෙන තම්බා වතුර පෙරා හරියි. ඉන්පසු වෙනත් හට්‌ටියක්‌ ලිප තබා නො සේදු ලේ සහිත මස්‌ තට්‌ටුවක්‌ අහුරා ඊට උඩින් සත්ත්ව තෙල් තට්‌ටුවක්‌ දමයි. මේ සත්ත්ව තෙල් තට්‌ටුවට උඩින් තැම්බූ අල තට්‌ටුවක්‌ අතුරා ඒවා කෙළින් ම ලෙයින් තැම්බීමට හරින අතරේ ලුණු, මිරිස්‌, කරපිංචා දමා වඩාත් හොඳින් තම්බා ආහාරයට ගනී.

ලේ පිරුම හෙවත් වැදි සොසේජස්‌

ලේ පිරුම ද වැදි ජනයා අතර ප්‍රසිද්ධ ආහාර සකස්‌ කිරීමකි. දඩයම් කළ සතා මස්‌ කරන විට ගලන ලේ බඳුනකට හෝ කොළයකට එකතු කරයි. සතා මස්‌කර උගේ බඩවැල් හෙවත් අන්ත්‍රකොටස්‌ හෝ මුත්‍රාශ්‍රය ගෙන පිරිසිදු කර කලින් එකතු කරගත් සත්ත්ව ලේ සහිත අන්ත්‍රය හෝ මුත්‍රාශය කොපුවක්‌ ආකාරයට සිටින සේ සකසා ගිනි මැලයක්‌ උඩින් අල්ලා රත් වන්නට හරියි. මෙය පදමට ලේ කුට්‌ටියක්‌ බවට තද වී කර වී ගෙන එන විට ගිනි මැලයෙන් ඉවත් කර සිසිල් වන්නට හැර කැබැලිවලට කපා ආහාරයට ගනී.

අල වර්ග ද වැදි ජනතාව අතර මස්‌ ආහාර තරමට ම ප්‍රසිද්ධ ය. ගෝනල, කටු අල, ඌරල වැනි අල වර්ගවලින් සකසා ගත් ආහාරවලින් පිෂ්ට ධාතු ලබාගත් අතර මී ගස්‌වල මී මල්වලින් සකසා ගන්නා මී පැණි, කිතුල් පැණි ආහාර සඳහා භාවිත කරන අතර වනගත පලතුරු

රැසක්‌ ද වැදි ජනතාව ගේ පෝෂ්‍ය ගුණය එදා මෙන් අදත් වර්ධනය කරයි.

මඩු පිටි සකස්‌ කිරීම

මඩු පිති කඩා පොතු ගලවා අව්වේ වියළා ගනී. කෑලිවලට කපාගත් මඩු පියලි වතුරේ දමා වතුර බේරෙන්නට හැර වංගෙඩියේ කොටා මඩු පිටි සකස්‌ කරයි. මඩු පිටි මඳක්‌ මත් ගතියකින් යුක්‌ත ය. මත් ගතිය ඉවත් කිරීමේ දී මඩු පියලි පණ අතුවල හෝ උල් කැන්ද කොළවල ඔතා වැල් පටකින් හොඳින් බැඳ දින දෙකක්‌ පමණ වතුරේ දමා ඉන්පසු ගොඩට ගෙන දිය බේරෙන්නට හරී. දිය බේරුණු මඩු පියළි වංගෙඩියේ දමා කෙටීමෙන් ලබාගත් පිටිවල මත් ගතිය ඉවත් වී ඇත.

මඩු පිටිවලින් සකස්‌ කර ගන්නා ගිනිපූ

සකසා ගත් මඩු පිටි ගාන ලද පොල් සමග කලවම් කරයි. කිතුල් පැණි මඳක්‌ උණු කර මඩු පිටි පොල් මිශ්‍රණයට දමා කලවම් කර ගුලියක්‌ ලෙස සකස්‌ කර ගනු ලැබේ. මෙසේ සකස්‌ කර ගත් ගුලිය පැයක්‌ පමණ තිබෙන්නට හැර කැන්ද කොළයක තුනී කර රොටියක්‌ මෙන් සාදා ඇතුරුමට උඩින් කැන්ද කොළ තබා පාර්සලයක්‌ ලෙස සීරුවට පිටි මිශ්‍රණය පලුදු නො වන සේ පට්‌ටාවලින් කොළේ එතු මිශ්‍රණය ඉරි නො යන සේ වෙළුම් යොදයි. කොටු දැලක ආධාරයෙන් සාදන ලද අමු ලී මැස්‌සක තබා (ගිනි මැලයක්‌ මත) දෙපැත්ත පෙරළමින් මිශ්‍රණය පුළුස්‌සයි. හොඳින් පිළිස්‌සුණු පාර්සලය පෝරණුවෙන් ඉවතට ගෙන නිවුණු පසු කර වුණු දවටන ඉවත් කර කැබැලි කපා ආහාරයට ගනී.

ඉරුන් බත් පිළියෙල කිරිම

බඩ ඉරිඟු ඇටවලට වතුර ටිකක්‌ මුසු කර වංගෙඩියේ දමා කොටා ඉරිඟු ඇටයේ ඝනකම පොත්ත ඉවත් කර පැය කීපයක්‌ දියේ දමා පෙඟෙන්නට හැර නැවතත් වංගෙඩියේ දමා කොටා කුල්ලෙන් පොලා පූ කරයි. එවිට බඩ ඉරිඟු ඇටයේ පැළ වන කොටස්‌ කුඩා කැබැලි වශයෙන් කැඩී වෙන් වෙයි. මේවා කුල්ලෙන් පොලා වෙන් කරගත් හාල් ඇට තරම් වූ ඉරුන් ඇට කැබැලි හාල් සමග මුසු කර ඉරුන් බත් පිළියෙල කර ආහාරයට ගැනීම වැදි ජනතාව ගේ ක්‍රමවේදයකි. හාල් සමග මුසු කර ගත් ඉරුන් ඇට කැබැලි පොල් කිරි සමග පිසීමෙන් ඉරුන් කිරිබත් පිළියෙල කර ගනී.

මොර අග්ගලා

මොර අග්ගලා යනු වැදි ජනතාව ගේ තවත් ජනප්‍රිය අතුරු ආහාරයකි. මොර ගස්‌වල දිරා ගිය රොටු සුඹුළු කුඩු කර මී පැණියෙන් අනා අග්ගලා පිළියෙල කර ගනී. බඩ ඉරිඟු ගිනි මැලයක්‌ ආධාරයෙන් රත් කර පොරි ලෙස සකස්‌ කර මී පැණිවලින් අනා පොරි අග්ගලා සාදා ගනී.

මීක්‌ හැලප

මීක්‌ හැලප වැදි ජනතාව ගේ තවත් අතුරු ආහාරයකි. මීක්‌ යනු මී ගස්‌වලට වැදි ජනතාව ගේ ව්‍යවහාර නමකි. මී ගසේ මල් පිපෙන කාලයට බිම වැටෙන මී මල් උදේ පාන්දර අහුලා අව්වේ වියළා ගනී. හොඳින් වියළුණු මී මල් පැසක්‌ තුළට දමා කට බැඳ පොල්ලකින් තැලීමෙන් මල්වල රේණු කොටස්‌ ඉවත් කර ගනී. හොඳින් රේණු ඉවත් වූ වියළන ලද මීක්‌ මල් දියේ පෙඟෙන්නට හැර වතුර බේරා වංගෙඩියේ දමා කොටයි. ඉන්පසුව කුරහන් පිටි සමග අනා කැන්ද කොළවල හැලප තම්බාගන්නා සේ කඩ පිම්මේ ජල වාෂ්පයෙන් තම්බා ගනී. ඉහත ආකාරයට වියළා ගත් මීක්‌ මල් රේණු ඉවත් කර මඳක්‌ කොටා හැලියක දමා උණු කර මීක්‌ පැණි සාදා ගනී.

ඕපුල්ල තලප පිට්‌ටු හා රොටී

දිය සීරාව සහිත පහත් බිම්වල වැවෙන ඕපුල්ල මධ්‍යම ප්‍රමාණයේ ශාක විශේෂයකි. පුවක්‌ ගෙඩියක්‌ තරම් වූ ඕපුල්ල ගෙඩි සුද්ද කර පොතු ඉවත් කර පියලි වශයෙන් වෙන් කර පෙඟෙන්නට දමා කොටා පිටි කර ගනී. මේ පිටිවලින් තලප, පිට්‌ටු හෝ රොටී හෝ සාදා ආහාරයට ගනී.

හල් ගෙඩිවලින් තලප සැදීම

හල් ගෙඩිවල පොත්ත සුද්ද කර ඇට රිටි සුඹුලෙන් කපාගත් මල්ලක දමා ගලා යන දිය පාරකට දමා දින දෙකක්‌ හෝ තුනක්‌ තබයි. මෙසේ දැමීමෙන් හල් ඇටවල අඩංගු මත්කාරක ස්‌වභාවය ඉවත් ව යයි. ඉන්පසු හල් ගෙඩිවල ඇට ගල් පොත්තක හෝ ගල් කෙමක බහා අත් ගලකින් අඹරා සකස්‌ කරගන්නා පිටිවලින් තලප සාදා කෑම වැදි ජනතාව ගේ සිරිතකි.

වැදි ජනයා ගේ ආහාර වට්‌ටෝරුවට අයත් වන ප්‍රධාන පලතුරු අතරට මොර, කෝන්, මාදං, දං, හිඹුටු, කරඹ, උල්කැන්ද, ගල් සියඹලා, කීන, වෙලං, කළු පැණි ගෙඩි, ලා වේනියා, කොතලංගා, බලු දං, ඇටඹ, එරමිණියා, ඇටි කෙහෙල්, ගල් අන්නාසි, දිවුල්, වීර, පලු බුලංගා අයත් වන අතර වෙනත් සාමාන්‍ය පලතුරු අතරට තිඹිරි, ගොරකා, නෙල්ලි, වල් ඉද්ද සහ කම්මේරියා අයත් වෙයි.

මසුන් ඇල්ලීම

මසුන් ඇල්ලීමේ දී වළ ඉසීම නිතර ම භාවිත කරන ක්‍රමවේදයකි. ඇළේ කොටසක වේල්ලක්‌ බැඳ වතුර ඉසීම සිදු කරයි. දඹ, නහපට, පුසැල්ල ගස්‌වල පොතු හෝ තිඹිරි කොළ හෝ කකුරුකන් ගෙඩි තලා වතුරට දැමීමෙන් පසු ජලය කලතයි. ජලය කලතන විට විෂ මිශ්‍ර වී මාළු මත් වී දිය මතුපිට පා වෙයි. දිය මතුපිට පා වන මාළුන් අල්ලා ගැනීම වැද්දා ගේ සිරිතයි. මෙසේ අල්ලා ගත් මාළුන් අතර වලිපොත්තා, අඟුලුවා, ලූලා, කටුකනයා, ආඳා, මගුරා, හුන්ගා, කැහැලියෝ පෙතියා, වැලිගොව්වා, වැලි හයිරියා, පිනිවැලියා, ගල් පඳුරුවා, වඩාත් ප්‍රසිද්ධ ය. මිරිස්‌ හා ලුණු දමා මාළු පිසගනී. සමහර අවස්‌ථාවල දී මැස්‌සක තබා අව්වේ වියළා ගනී.

තොරතුරු එකතුවේ ලිපි සම්පාදනය අමල් උඩවත්ත
මෙවැනි ලිපි එකතුවක්‌ පළ කිරීමේ වැදගත්කම ගැන අපගේ අවධානය යොමු කර ඊට අදාළ පසුබිම සකසා දුන් ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්‌ෂ ගාමිණී ගමගේ මහතාට විශේෂ ස්‌තුතිය පිරිනමමු.