logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බර්ට්‍රන්ඩ් රසල් ගේ නීලපට දර්ශනය

මලක්‌ හෝ වෙනත් ද්‍රව්‍යයක්‌ හෝ අපට දැනගත හැක්‌කේ ග්‍රහණය කරගත හැක්‌කේ මනසින් පමණක්‌ බව ඒත්තු ගැන්වී ඇතැයි සිතමි. එහි දී වෙනත් කිසි ම ඉන්ද්‍රියක්‌ යොදාගත නො හැක්‌කේ මලෙහි පැහැය හැඩය ආදිය එක්‌ වර දැනගැනීමට ග්‍රහණය කර ගැනීමට නො හැකි වීමත් ඒ සියලු ම ගුණ මතකයෙහි තබා ගනිමින් ඒ සියල්ල අනුකලනය කර එක්‌ වර සංකල්පයක්‌ තනා ගැනීමට මනසට වෙනත් කිසි ම ඉන්ද්‍රියකින් සහායක්‌ නො ලැබීමත් නිසා ය. මෙයට විරුද්ධ මතයක්‌ ගෙනහැර දැක්‌විය හැකි අයකු සිටින්නේ නම් කරුණාකර ඒ බව දන්වන්න.

මල එසේ වුවත් මලේ පැහැය ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? "මලේ පැහැය" ඇස නමැති ඉන්ද්‍රිය හා එක්‌ ව මනස විසින් නිර්මාණය කෙරෙන්නකි. එහෙත් එය මලේ පැහැය නො වන බව තේරුම් ගත යුතු ය. එයට හේතුව මල යන සංකල්පය මනස විසින් නිර්මාණය (සංස්‌කරණය) කෙරෙන්නේ පැහැය ආදී ගුණ එකතු කර ගැනීමෙන්, අනුකලනය කිරීමෙන්, පසුව පමණක්‌ වන බැවිනි. එසේ මල යන සංකල්පය නිර්මාණය කර ගැනීමෙන් පසුව පැහැය යන්න මලේ පැහැය ලෙස අප විසින් හඳුනා ගනු ලැබේ.

එහෙත් පැහැය ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? එය අපෙන් තොර ව, එනම් නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින්නක්‌ ද? අදාළ පැහැය රතු යෑයි සිතමු. එවිට ප්‍රශ්නය වන්නේ රත යන ගුණය අපෙන් තොර ව පවතින්නක්‌ ද යන්න ය. මෙරට ඇතැම් යථාර්ථවාදීන් ගේ ද ආනුභවිකවාදීන් ගේ ද මහත් සම්භාවනාවට පත් වී සිටින ඉංගිරිසි ජාතික දාර්ශනිකයකු වූ බර්ට්‍රන්ඩ් රසල් විද්වතා එයට දෙන පිළිතුර ඔව් යන්න ය. ඔහුට අනුව නීල (Bluishness) යන්නෙන් ගුණයක්‌ අපෙන් තොර ව, නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතියි. අප සිටියත් නැතත් නීල ගුණය පවතියි. අප කරන්නේ ඇස්‌ උපයෝගී කරගෙන ඒ නීල ගුණය ග්‍රහණය කර ගැනීම පමණකි.

එහෙත් ඊනියා නීල ගුණය නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව මලෙහි ප්‍රවේගය මත පදනම් වන බව බටහිර භෞතික විද්‍යාව ම උගන්වයි. ඩොප්ලර් ආචරණය හේතු කොටගෙන ඒ පැහැය වෙනස්‌ විය හැකි ය. එහෙත් සාමාන්‍යයෙන් මේ සාපේක්‍ෂ ප්‍රවේගය අධික නො වන බැවින් එලෙස සාපේක්‍ෂ ප්‍රවේගය අනුව පැහැය වෙනස්‌ වන බව අපට නො දැනෙයි. එහෙත් යමකුට කිව හැක්‌කේ එසේ පැහැය වෙනස්‌ වන නමුත් එසේ වෙනස්‌ වන පැහැය ද අපට බාහිර ව අපෙන් ස්‌වායත්ත ව පවතින බව ය.

වෙනත් සතුන්ට අපට පෙනෙන පැහැය ඒ අයුරින් ම නො පෙනෙන බව පැහැදිලි ය. නිරීක්‍ෂකයාට පෙනෙන පැහැය ඇස නමැති ඉන්ද්‍රිය සකස්‌ වී ඇති ආකාරය මත පදනම් වෙයි. ඇතැමුන්ට ඇතැම් වර්ණ නො පෙනෙන බව අපි දනිමු. එවැන්නන් ඒ වර්ණ අපෙන් තොර ව, එනම් නිරීක්‍ෂකයා ගෙන් තොර ව, පවතින බව දන්නේ යෑයි අපි කියමු ද? ඔවුන් මත එවැනි මතයක්‌ අප විසින් අධිපතිවාදී ව පටවා තිබීමෙන් ඔවුන් එවැන්නක්‌ දන්නා බව නො කියෑවෙයි. ගුරුත්වාකර්ෂණ බලයක්‌ ඇතැයි යන මතය අපට පාසල්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය ඔස්‌සේ පටවා තිබූ පමණින් අපෙන් තොර ව ගුරුත්වාකර්ෂණයක්‌ ඇති බවක්‌ නො කියෑවෙයි. ඒ ආයතන මඟින් නැති ගුරුත්වාකර්ෂණයක්‌ ඇති බව සිතන්නට අප පොලඹවා ඇති බව අද අපි දනිමු.

නිල් යන පැහැය නිරීක්‍ෂකයා ගෙන් තොර ව ලෝකයේ පවතින්නක්‌ නො වේ. අපට යම් අයුරකින් ඇස නැමැති ඉන්ද්‍රිය නො තිබුණා නම් අප පැහැය යන සංකල්පය වත් නිර්මාණය කර නො ගැනීමට තිබූ ඉඩකඩ ඉතා අධික ය. අප අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන ගුණ පමණක්‌ ගැන බොහෝ විට කතා කරන්නේ ඇයි? ඒ ගුණ පවතින බව කිසි ම සැකයකින් තොර ව පවසන්නේ ඇයි? අපේ ඉන්ද්‍රියවලට සෘජුව ගෝචර නො වන චුම්බකත්වය, ගුරුත්වාකර්ෂණය ආදීය පවතින බව අප (අප වැරැදියට) තීරණය කරන්නේ එමඟින් ඇති කෙරෙන්නේ යෑයි සිතන චලිත නිරීක්‍ෂණය කිරීමෙනි. එහෙත් එහි දී ද එවැනි චලිත ඉන්ද්‍රියක්‌ (ඇස) මගින් නිරික්‍ෂණය කෙරෙයි.

අප සාමාන්‍යයෙන් කරන්නේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වන ගුණ පවතින බව උපකල්පනය කිරීම ය. බර්ට්‍රන්ඩ් රසල් විද්වතා ආනුභවිකවාදීව නීලගුණය අපෙන් තොර ව පවතින ගුණයක්‌ ලෙස සලකයි. එහෙත් ඔහු එසේ කරන්නේ ඇසට පෙනෙන, ඇසට ගෝචර වන යම් ගුණයක්‌ ඇති බව උපකල්පනය කිරීමෙන් මිස වෙනත් අයුරකින් නො වේ. නීල ගුණය පවතින බව පෙන්වා දෙන්න යෑයි ඔහුට අභියෝග කෙළේ නම් ඔහු කුමක්‌ කිරීමට ඉඩ තිබිණි ද? නීල ගුණය නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින බව පෙන්වන්නේ, අපට ඒත්තු ගන්වන්නේ කෙසේ ද? රසල් විද්වතාට එවැනි ප්‍රශ්නයකට පිළිතුරක්‌ නැති බව පැහැදිලි ය. මෙරට සිටින රසල්වාදීන්ට, රසල් අනුගමනය කරන්නන් ගෙන් එවැනි ප්‍රශ්නයක්‌ ඇසීම කාලය කා දැමීමක්‌ පමණකි. ඔවුහු පුස්‌සෝ ම වෙති.

නීල ගුණය ඇති බව පෙන්වා දිය හැක්‌කේ ඇස නමැති ඉන්ද්‍රිය යොදා ගැනීමෙන් පමණකි. එහෙත් අපේ ප්‍රශ්නය ම වන්නේ ඉන්ද්‍රියක්‌ යොදා නො ගනිමින් ඒ බව පෙන්වන්නේ කෙසේ ද යන්න ය. ඇස නොමැති ව නීල ගුණය පවතින බව පෙන්විය නො හැකි ය. එහෙත් නීල ගුණය යන්න ම ඇස නිසා ඇති වන්නකි. එහි ඇත්තේ චක්‍රීයභාවයකි. ඇරිස්‌ටෝටලීය න්‍යාය මත පදනම් වන බටහිරයන්ට චක්‍රීය තර්ක පිළිගැනීමට නො හැකි ය.

අනෙක්‌ අතට ඇස නමැති ඉන්ද්‍රිය නිසා නොමඟ යන අයුරු අපි කලින් දුටුවෙමු. මිරිඟු ඇති බව අපට පෙනෙන්නේ ඇස නිසා ය. එහෙත් මිරිඟු නො පවතින බව අපි දනිමු. අප ඇස ගැන විශ්වාසය තබන්නේ කෙසේ ද? එමෙන් ම ඇසේ සීමිත බව ගැන ද අපි සඳහන් කර ඇත්තෙමු. මිනිස්‌ ඇසට වඩා "සංවේදී" ඇස්‌ ඇති සතුන් ගැන අපි දනිමු. අප විශ්වාසය තැබිය යුත්තේ අපේ ඇස්‌ ගැන ද නැත්නම් එවැනි සතුන් ගේ ඇස්‌ ගැන ද?

ඇස ද කාචයක්‌ ලෙස ක්‍රියා කරයි. කාච මගින් සිදු කෙරෙන වර්තන, සාදන ප්‍රතිබිම්බ ගැන අපට කිව හැක්‌කේ කුමක්‌ ද? කාච සහිත ඇස්‌ නොමැති ව සෘජුව නිරික්‍ෂණය කළ හැකි ක්‍රමයක්‌ වේ ද? අනෙක්‌ අතට අපේ ඇස්‌වලට ගෝචර වන්නේ ඉතා සීමිත පැහැය ය. බටහිර භෞතික විද්‍යාව අනුව කියන්නේ නම් විද්යුත් චුම්බක විකිරණවල සීමිත සංඛ්‍යාත කිහිපයක්‌ පමණක්‌ මිනිස්‌ ඇස්‌වලට ගෝචර වෙයි. එලෙස ගෝචර වූ පමණින් අපි අදාළ පැහැය ඇතැයි කියන්නෙමු ද?

අඩුපාඩුකම් සහිත වන්නේ ඇස පමණක්‌ නො වේ. අනෙක්‌ ඉන්ද්‍රිය ද එසේ ම ය. ආනුභවිකවාදීන් පදනම් වන්නේ මේ කසිකබල් ඉන්ද්‍රිය පද්ධතිය මත ය. මෙයටත් වඩා විහිළුවක්‌, විකාරයක්‌ තවත් තිබිය හැකි ද? අපට සුමුදු යෑයි දැනෙන ගුණය වෙනත් සතකුට, උදාහරණ වශයෙන් කුහුඹුවකුට දැනෙන්නේ කෙසේ ද? ජලය මත ගමන් කළ හැකි ඇතැම් කෘමීන් ජල පෘෂ්ඨ ගැන සිතන්නේ අප සිතන අයුරින් ම ද? ලෝකය යනු තමන් ගේ ඉන්ද්‍රිය පද්ධතියට සෘජුව හෝ වක්‍රව හෝ ගෝචර වන දේ යෑයි සිතීමට ආනුභවිකවාදී මිනිසුන්ට අවසර දුන්නේ කවුද?

අපේ ඉන්ද්‍රියවලින් තොරව නීල ගුණයක්‌ ගැන, රතු පැහැයක්‌ ගැන අපට කතා කළ හැකි නො වේ. මේ ඉන්ද්‍රියවලට ගෝචර වන ගුණවලට මනසෙන් තොර ව පැවැත්මක්‌ වේ ද? මිය ගිය මිනිසකු ගේ ඇස්‌ ඇරී ඇත්නම් (උදාහරණයකට මිය ගිය ප්‍රභාකරන්) ඒ ඇස්‌වලට පෙනෙන දෙයක්‌ වේ ද? ආලෝකය එවැනි ඇස්‌ ඔස්‌සේ ගමන් කරන බව පැහැදිලි ය. එහෙත් මිය ගිය තැනැත්තාට ඒ සංඥ පිළිබඳ ඇති වන හැඟීම් කුමක්‌ ද? කෙටියෙන් කියන්නේ නම් ඒ සංඥ ද?

බටහිර මෙන් ම පෙරදිග ද ඇතැම් දාර්ශනිකයෝ සංජානන (Perceptions) ගැන හා සංකල්ප (Concepts) ගැන කතා කරති. අපෙන්, එනම් නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින බාහිර ලෝකයක්‌ ගැන උපකල්පනය කරන දාර්ශනිකයන්ට සංජානන හා සංකල්ප වෙන වෙන ම ගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක්‌ නැත. එලෙස බාහිර ලෝකයක්‌ ඇතැයි ගැනීමට දේව නිර්මාණය උපකල්පනය කරන, විශ්වාස කරන ඕනෑ ම සංස්‌කෘතියක සිදු වෙයි. යෙහෝවා දෙවියන් වහන්සේ, අල්ලා දෙවියන් වහන්සේ, බ්‍රහ්මන් හෝ වෙනත් අයකු විසින් මවන ලද ලෝකයක්‌, අප සිටියත් නැතත් පවතින්නේ ය යන්න එවැනි සංස්‌කෘතික උපකල්පනය කිරීමට සිදු වෙයි. එසේ උපකල්පනය නො කළ හොත් අදාළ දෙවියන් විසින් මවන ලද ලෝකයට කුමක්‌ වී ද යන ප්‍රශ්නය ඇති වෙයි.

එහෙත් නිරීක්‍ෂකයා ගෙන් තොර ව බාහිර ලෝකයක්‌ ඇති බව උපකල්පනය කරන්නෝ එලෙස කවුරුන් වුවත් දෙවි කෙනකු විසින් නිර්මාණය කරන ලද ලෝකයක්‌ (විශ්වයක්‌) ඇතැයි විශ්වාස කරන්නෝ පමණක්‌ නො වෙති. ලෝක නිර්මාපක දෙවි කෙනකු නැතැයි විශ්වාස කරන ඊනියා ද්‍රව්‍යවාදීහු ද නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින බාහිර ලෝකයක්‌ ගැන විශ්වාස කරති. එයට හේතුව ආගමික අදහස්‌වලින් වෙනස්‌ වුව ද ඔවුන් එක ම සංස්‌කෘතියකට අයත් වීම හා එක ම චින්තනයක කටයුතු කිරීම ය. මාක්‌ස්‌වාදීහු ද, ලිබර්ල්වාදීහු ද, විද්‍යාඥයෝ ද යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට අයත් වන අතර කතෝලික හෝ ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි හෝ චින්තනයෙහි ක්‍රියා කරති. යමකු පෞද්ගලිකව දෙවියන් ගැන විශ්වාස කළත් නො කළත් යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට දෙවියන් අවශ්‍ය වෙයි.

මෙරට සිටින ද්‍රව්‍යවාදීන් පමණක්‌ නො ව ඇතැම් ථෙරවාද බෞද්ධයෝ ද නිරීක්‍ෂකයා ගෙන් බාහිර වූ ලෝකයක්‌ ඇතැයි විශ්වාස කරති. ඒ බෞද්ධයෝ බටහිරයන්ට ගැලපෙන ආකාරයට බුදුදහම විකෘති කරති. නිවන වචනයෙන් ප්‍රකාශ කළ හැකි යෑයි පවසන්නෝ ද ඊනියා යථාර්ථයක්‌ ඇතැයි පවසන්නෝ ද ප්‍රත්‍යක්‍ෂය ඊනියා ආනුභවිකවාදී ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ පමණක්‌ බවට පත් කරන්නෝ ද, වෙබර් නම් බටහිර සමාජ විද්‍යාඥයා ගේ බුදු දහමෙහි ඉගැන්වෙන දුක පිළිබඳ විවේචනයෙන් ගැලවීමට බුදු දහමට අනුව වුවත් බටහිර ඊනියා සංවර්ධනය අත්පත් කරගත හැකි යෑයි පවසන්නෝ ද, තවත් එවැනි පඬියෝ ද මේ ගණයට අයත් වෙති. මෙරට සිංහල බෞද්ධ චින්තනයක අපේ ප්‍රවාද නිර්මාණය කිරීමෙහි දී මේ පඬියන් නිර්දය ලෙස විවේචනය කිරීමට ද සිදු වෙයි.

බෞද්ධයෝ ද බාහිර අරමුණු ගැන කතා කරති. ඒ බාහිර අරමුණු යනුවෙන් සඳහන් වන්නේ සිත පිළිබඳ නො වූ අරමුණු මිස ඊනියා බාහිර ලෝකයක්‌ ගැන නො වේ. සිතට සිත මෙන් ම වෙනත් දේ ද අරමුණු කරගත හැකි ය. සිතට සිත හැරෙන්නට වෙනත් දෙයක්‌ අරමුණු වන අවස්‌ථාවල දී ඇත්තේ බාහිර අරමුණකි. එහෙත් ඒ බාහිර අරමුණ නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින බාහිර අරමුණක්‌ නො වේ. සිතෙන් සිත නො වන අරමුණක්‌ ගන්නේ ද සිත මැදිහත් වී මිස සිතෙන් තොර ව නො වේ. සිතෙන් (මනසින්) තොර ව ඇති බාහිර අරමුණ කුමක්‌ ද?

මහාචාර්ය නලින් ද සිල්වා