logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මලක වරුණ

බටහිර බොහෝ විද්‍යාඥයෝ ද භෞතික විද්‍යාඥයන් නො වන බොහෝ අය ද ගුරුත්වාකර්ෂණය යනුවෙන් ප්‍රපංචයක්‌ ඇති බව පිළිගනිති. අප බොහෝ අවස්‌ථාවල දී කියා ඇති ආකාරයට ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන අතර එවැන්නක්‌ නැති බව අයින්ස්‌ටයිනීය ප්‍රවාදයෙන් ගම්‍ය වෙයි. මා මෙයින් තහවුරු කිරීමට අදහස්‌ කරන්නේ මිනිසුන්ට යමක පැවැත්ම හෝ නො පැවැත්ම හෝ තීරණය කිරීමේ දී අදෘශ්‍යමාන වේ ය යන්න බල නො පාන බව ය. අදෘශ්‍යමාන වූ (පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වූ) ගුරුත්වාකර්ෂණය යනුවෙන් ප්‍රපංචයක්‌ නොමැති වුවත් මිනිස්‌සු ඒ පවතින බව පිළිගනිති. බටහිර විද්‍යාව එක ම සත්‍යය ලෙස දැකීමට පුහුණු කෙරී ඇති තැනැත්තාට බටහිර විද්‍යාවේ තමන්ට වැටහෙන ප්‍රමාණයේ ප්‍රවාද, සංකල්ප ආදියෙන් කියෑවෙන අන්දමට පවතින බව අඟවන දේ එසේ පවතින්නේ යෑයි පිළිගැනීම අසීරු කරුණක්‌ නො වේ.

ගුරුත්වාකර්ෂණයෙහි දී කෙරෙන්නාක්‌ මෙන් ඇතැම් විට එයට වඩා සංකීර්ණ ප්‍රවාදයකින් එය නැති බව කියෑවෙන්නේ වුවත් තමන්ට ඒ වඩා සංකීර්ණ (ඇතැම් විට සංකල්පීය වශයෙන් සරල එහෙත් ගණිතමය වශයෙන් සංකීර්ණ) ප්‍රවාදය ගැන නිසි වැටහීමක්‌ නොමැති බැවින් පැරැණි ප්‍රවාදයෙන් කියෑවෙන්න පවතින්නේ යෑයි පිළිගැනීමට මිනිස්‌සු පෙලඹෙති. එය විශ්වාසය මත පදනම් වූවකි. බටහිර විද්‍යාව ද විශ්වාසය මත පවතින්නකි. අප බොහෝ දෙනාට පාසලේ දී බටහිර විද්‍යාව ගැන විශ්වාසයක්‌ ඇති කෙරෙයි. එහෙත් ඒ විශ්වාසය ඇති කෙරෙන්නේ විශ්වාසය යන්න අත්හැරීමට උපදෙස්‌ දීම මගින් වීම බටහිර විද්‍යාවෙහි ඇති අරුමය වෙයි.

ඊනියා විද්‍යාත්මක ක්‍රමයක්‌ පිළිබඳ ගජබින්නාලංකාර කතා කියා හෝ එවැන්නක්‌ ඇති බවට අඟවා හෝ අපට බටහිර විද්‍යාව පිළිබඳ විශ්වාසයක්‌ ඇති කෙරෙයි. ගැලීලියෝ විද්වතා විසින් පීසා නුවර ඇල වන කුලුණෙහි කරන ලද පරීක්‍ෂණය අපට බටහිර විද්‍යාවේ ඊනියා පරීක්‍ෂණාත්මක ක්‍රමය ගැන කියා දීමට උපයෝගී කර ගැනෙන්නේ ආනුභවිකවාදයක (Empiricism) ඇති ගුණ ගැන කියමිනි. නැත හොත් ඒ ගැන ඇඟවෙන්නට හරිමිනි. එහෙත් ඒ ඊනියා පරීක්‍ෂණයෙහි ඇති අඩුලුහුඬුකම් ගැන අපි සඳහන් කර ඇත්තෙමු. ගැලීලියෝ විද්වතා ඒ පරීක්‍ෂණයෙහි දී පීසා නුවර ඇල වන කුලුණ අසල රික්‌තයක්‌ නිර්මාණය නො කළ බවත් එහෙත් ඒ පර්යේෂණය අදාළ වන්නේ රික්‌තයක දී බවත් අපි කියා ඇත්තෙමු. ඒ පරීක්‍ෂණය පිළිබඳ ඇති තවත් ගැටලු දැනගැනීමට කැමැති අයට ෆෙයරාබන්ඩ් මහතා ගේ "විධික්‍රමයට එරෙහි ව" (Against Method) නමැති පොත කියවිය හැකි ය.

බටහිර විද්‍යාවෙහි කියෑවෙන සැම පරීක්‍ෂණයක්‌ ම කිරීමට අප කිසිවකුට වත් හැකියාවක්‌ නැත. අපි අනෙක්‌ අය විසින් කරන ලදැයි කියන පරීක්‍ෂණ විශ්වාස කරමු. මේ පරීක්‍ෂණ තේරුම් ගැනීමේ හැකියාවක්‌ ද බොහෝ දෙනකුට නැත. එහෙත් අපි ඒ සියල්ල විශ්වාස කරමු. අප කලින් ද කියා ඇති පරිදි මේ විශ්වාසය ඇති කිරීමේ දී බටහිර විද්‍යාවටත් වඩා බටහිර තාක්‍ෂණයේ විස්‌කම් යොදා ගැනෙයි. බටහිර තාක්‍ෂණයේ ඊනියා සොයාගැනීම් කළ ඇතැම් අයට අදාළ බටහිර විද්‍යා දැනුමක්‌a නො තිබුණත් බටහිර තාක්‍ෂණය යනු බටහිර විද්‍යාවේ ප්‍රතිඵලයක්‌ යෑයි සිතීමට අපි පෙළගැසී සිටිමු. බටහිර විද්‍යාව හා බටහිර තාක්‍ෂණය අතර ඇත්තේ සරල සෘජු සම්බන්ධයක්‌ නො වන බව අපි කලින් කියා ඇත්තෙමු. වාෂ්ප යන්ත්‍රය නිපදවූ ඡේම්ස්‌ වොට්‌ මහතා තාපගතික විද්‍යාව දැන නො සිටි අතර, විදුලි බල්බය නිර්මාණය කළ තෝමස්‌ අල්වා එඩිසන් මහතා ඕම් නියමය නො දැන සිටියේ ය.

විශ්වාසය අත්හැර දැමීමට කියමින් හා පර්යේෂණ කරන්නට කියමින් විශ්වාසය ඇති කිරීම මත යෑපීම ගැන බටහිර විද්‍යාවට ඇත්තේ අපකීර්තිමත් වාර්තාවකි. ඒ කුමක්‌ වුවත් අප සාකච්ජා කරමින් සිටින්නේ පංෙච්න්ද්‍රියට ගෝචර අත්දැකීම් හා පංෙච්න්ද්‍රියට ගෝචර නො වන අත්දැකීම් ගැන ය. පංෙච්න්ද්‍රියට ගෝචර නො වන අත්දැකීම් තිබේ දැයි යමකුට ඇසිය හැකි ය. පංෙච්න්ද්‍රියට ගෝචර නො වී, එනම් පංචෙන්ද්‍රිය ඔස්‌සේa නො ගොස්‌ මනසට පමණක්‌ ගෝචර වන අත්දැකීම් කොතෙකුත් වෙයි. එහෙත් අපි එවැනි අත්දැකීම් අමතක කරමු.

ගුරුත්වාකර්ෂණය එවැනි අත්දැකීමක්‌ බව අපට නො වැටහෙන්නේ ඒ සමඟ පංචෙන්ද්‍රියන්ට ගෝචර අත්දැකීම් ද ගැටගසා ඇති බැවිනි. ගුරුත්වාකර්ෂණය අපේ සිතට ඇතුළු කර ඇත්තේ පොල් ආදී ද්‍රව්‍ය පොළොවට වැටීමත් සමඟ සම්බන්ධ කිරීමෙනි. එහෙත් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ නියමයෙන් කියෑවෙන්නේ ඕනෑ ම වස්‌තු දෙකක්‌ යම්කිසි ගණිතමය නීතියකට යටත් ව එකිනෙක ආකර්ෂණය කරන බව ය. එය පොළොවට පොල් වැටීම ගැන පමණක්‌ කියෑවෙන්නක්‌ නො වේ. එකිනෙක ඉතා ඈතින් පිහිටි කුඩා වැලි කැට දෙකක්‌ අතර වුවත් ගුරුත්වාකර්ෂණ බලයක්‌ වෙයි.

එවැනි බලයක්‌ පංෙච්න්ද්‍රියනට ගෝචර නො වේ. එහෙත් එය මනසට ගෝචර වන්නකි. විවිධ හේතු නිසා වැලි කැට දෙක එකිනෙක කරා ගමන් නො කරයි. එහෙත් සෛද්ධාන්තික ව ගත හොත් වෙනත් හේතු පසෙක දැමුව හොත් එලෙස එකිනෙක කරා චලනය වීමට වැලි කැටවලට බාධාවක්‌ නැත. එවැනි බලයක්‌ ඇති බව "දැන ගැනීමට" මවා ගැනීමට මනසට හැකි ය. පංෙච්න්ද්‍රියන් නොමැති ව මනසට ගෝචර වන බොහෝ දේ වෙයි. පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන දැනුමක්‌ ඇති මිනිසුන්, ශෝකය ප්‍රීතිය වැනි භාවයන්a ස්‌වභාව සෞන්දර්යය ආදිය මත පදනම් වී ඇති කර ගන්නේ යෑයි යමකුට සිතෙනු ඇත. එමෙන් ම ගීතයකට සවන් දීමෙන් ලැබෙන වින්දනය ද කණ ඇසුරු කරගෙන ඉපදෙන්නේ යෑයි සිතෙනු ඇත. එහෙත් සිතිවිල්ලක්‌ ගැන සිතීමෙන් ද වින්දනයක්‌ ලබාගත හැකි බව අපි දනිමු.

මනස නොමැති ව පංෙච්න්ද්‍රියන් පමණක්‌ ක්‍රියාත්මක වී කිසි ම වින්දනයක්‌, සතුටක්‌ ආදී වශයෙන් නො ලැබෙන මුත් පංෙච්න්ද්‍රිය නොමැති ව මනසට පමණක්‌ ක්‍රියාත්මක විය හැකි ය යනු මෙහි කියෑවෙන ප්‍රධාන කරුණ වෙයි. එහෙත් මේ එකකින් වත් පැවැත්ම යනු කුමක්‌ දැයි විස්‌තර නො වේ. අප මෙතෙක්‌ කියා ඇති දෙයින් පැහැදිලි වන්න නම් මල ආදී වස්‌තු ඒ ආකාරයෙන් ම එනම් වස්‌තු ලෙස දැනගැනීමට මනසට ආධාර වන ඉන්ද්‍රියක්‌ පංෙච්න්ද්‍රියන්ට අයත් නො වන බව ය. මලෙහි පාට ඇසට හසු වුවත් මලෙහි සුවඳ නාසයට හසු වුවත් මල හසු වන ඉන්ද්‍රියක්‌ පංෙච්න්ද්‍රිය අතර නැත.

මල යන වස්‌තුව එලෙස ගත් කලළ, එනම් වස්‌තුවක්‌ ලෙස ගත් කල, මනසට පමණක්‌ දැනෙන්නකි. එසේ නො වේ යෑයි කියන අය කළ යුත්තේ මනස සමඟ එකතු වී මල වස්‌තුවක්‌ ලෙස හඳුනාගන්නේ පංෙච්න්ද්‍රියන් ගෙන් කිනම් ඉන්ද්‍රියක්‌ දැයි කීම මිස වෙනත් තර්ක විතර්ක ඇද බෑම නො වේ. අප කලින් කියා ඇත්තේ මල යන වස්‌තුව අනෙක්‌ ඉන්ද්‍රිය සමඟ එකතු වී මනස විසින් නිර්මාණය කෙරෙන පැහැය, සුවඳ ආදී ගුණ මතකයෙහි තබා ගනිමින් ඒ ගුණ අනුකලනය කරමින් මනස විසින් නිර්මාණය කෙරෙන වස්‌තුවක්‌ බව ය.

මල යනු ඒ ආකාරයෙන් ගත් කල පංෙච්න්ද්‍රියන් ගේ ආධාරය නොමැති ව මනස විසින් අනුකලිත, මනසට පමණක්‌ ගෝචර වන අන්දමින් නිර්මාණය කෙරුණු වස්‌තුවකි. මෙයින් අදහස්‌ කරන්නේ ඇස, නාසය ආදී ඉන්ද්‍රිය නොමැති ව මනස විසින් මල නිර්මාණය කරන ලද්දක්‌ නො වන බව අවධාරණය කළ යුතු ය. මලෙහි පැහැය ආදී ගුණ වෙන වෙන ම ගත් කල ඒවා මනස පංෙච්න්ද්‍රියන් ගෙන් ඒ ඒ ඉන්ද්‍රිය සමඟ එකතු වී ග්‍රහණය කරගත්ත ද මල යන්න තනි වස්‌තුවක්‌ ලෙස ග්‍රහණය කරගැනීමේ දී පංචෙන්ද්‍රියන් ගෙන් එක්‌ ඉන්ද්‍රියක්‌ වත් ආධාරයට නො පැමිණෙන බව මෙහි දී අවධාරණය කෙරෙයි.

අප මල මනසේ නිර්මාණයක්‌ යෑයි කියන්නේ ඒ අරුතිනි. පංෙච්න්ද්‍රියන් ගෙන් එක්‌ ඉන්ද්‍රියකට වත් ග්‍රහණය නො වන එහෙත් පවතින්නේ යෑයි කියන වස්‌තුවක්‌ මල ලෙස මනස විසින් නිර්මාණය කෙරෙයි. එලෙස ගත් කල මලට හෝ වෙනත් වස්‌තුවකට හෝ මනසින් තොර ව පැවැත්මක්‌ නොමැත. මනස නොමැති ව මලක්‌ නැත. මල යන්න මනසෙහි පමණක්‌ නිර්මාණය වන්නකි. මල යන සංකල්පය නිර්මාණය කරනු ලබන්නේ මනස විසින් ය. සංකල්පයෙන් තොර වස්‌තුවක්‌ වේ ද? එසේ වස්‌තුවක්‌ වේ නම් කරුණාකර ඒ වස්‌තුව ග්‍රහණය කරගන්නේ පංෙච්න්ද්‍රියන් ගෙන් කිනම් ඉන්ද්‍රියක්‌ ආධාර කරගනිමින්a ද යන වග පැහැදිලි කරන්න යෑයි අපි ඊනියා ද්‍රව්‍යවාදීන්ට අභියෝග කරමු. අප එක විට සියලු පංෙච්න්ද්‍රිය යොදා ගන්නේ ය යන්න බොල් කියමනක්‌ පමණකි. ඈත සිට මලක්‌ දෙස බලා ස්‌පර්ශ නො කර ඒ මලක්‌ යෑයි අප කියන්නේ එක්‌ විට සියලු පංෙච්න්ද්‍රිය යොදා ගැනීමෙන් නො වේ.

එහි දී අප කලින් කියා ඇති පරිදි මතකය ආධාරයෙන් කෙරෙන අනුකලනයක්‌ වෙයි. එයට අමතරව මනස තවත් දේ ද එහි දී යොදා ගනියි. මලක්‌ දුටු පමණින් අප ඒ මලක්‌ යෑයි පවසන්නේ ඒ මල කලින් ස්‌පර්ශ කර ඇති නිසා හෝ එහි සුවඳ ආඝ්‍රාණය කර ඇති නිසා හෝ නො වන බව පැහැදිලි ය. අපි මෙහි දී එක්‌තරා ආකාරයකින් අභ්‍යහනයක්‌ (induction) කරන්නෙමු. අප කලින් දැක ඇති මල් ආශ්‍රිත ව ඕනෑ ම මලක්‌ ගැන හෝ විශේෂිත වූ පිච්ච වැනි මලක්‌, ගැන හෝ අපට දත්ත රාශියක්‌ වෙයි. ඒ දත්ත අනුව එක ම ආකාරයෙන් ගුණ ඇතැයි අප සිතන වස්‌තු අපි මල් ලෙස එසේත් නැත්නම් විශේෂිතව පිච්ච ආදී මල් ලෙස හඳුනාගන්නෙමු.

අරලිය මලක හැඩය අපි දනිමු. එවැනි හැඩයක්‌ ඇති වස්‌තුවක්‌ දුටු විට, එය ආඝ්‍රාණය නො කර, එය ස්‌පර්ශ නො කර ඒ අරලිය මලක්‌ ලෙස අපි හඳුනාගන්aනෙමු. අප එහි දී කරන්නේ කුමක්‌ ද? එක්‌තරා හැඩයකින් යුතු සියලු මල් අරලිය මල් ලෙස හඳුනා ගැනීම ය. ඇතැම් විටෙක එක ම හැඩයක්‌ ගන්නා මල් වර්ග දෙකක්‌ තිබිය හැකි ය. එවැනි අවස්‌ථාවක අපට ඒ මල් වර්ග දෙක වෙන වෙන ම හඳුනා ගැනීමට තවත් නිර්ණායකයක්‌ අවශ්‍ය වනු ඇත. එසේ නොමැති නම්, එක ම හැඩයෙන් යුත් මල් අරලිය මල් ලෙස සැම විට ම හඳුනාගත හැකි නම්, අපට තවත් නිර්ණායකයක්‌ අවශ්‍ය නො වේ. මේ එක්‌තරා අයුරකින් අභ්‍යහනය පිළිබඳ ප්‍රශ්නයකි. එක්‌තරා හැඩයකින් යුත් මල් අරලිය මල් ලෙස අපි අභ්‍යහනය කරමු.

එසේ කිරීමට අපට හැකි වී තිබෙන්නේ ඒ හැඩයෙන් යුත් මල් ඇතැම් විට ලොකු කුඩා වශයෙන් වෙනස්‌ වුවත් එක ම පවුලකට අයත් බව අපට හැඟෙන නිසා ය. මේ හැඟීම බටහිර උද්භිද විද්‍යාවේ දී වඩාත් ඔප මට්‌ටම් සහිත ව ඉදිරිපත් වනවා විය හැකි ය. මල් සම්බන්ධයෙන් පමණක්‌ නො ව බල්ලන් ආදී සතුන් සම්බන්ධයෙන් ද ඒ එසේ ම ය. සියලු බල්ලන්ට පොදු වූ ගුණ තිබේ. එහෙත් විවිධ වූ බල්ලන් වර්ග ඇති බව අපි දනිමු. මේ සැම අවස්‌ථාවක ම අපි යම්කිසි ආකාරයක වර්ගීකරණයක යෙදෙමු.

මහාචාර්ය නලින් ද සිල්වා