logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සුවඳ විහිදුවන දෙවිවරු

අප ගුරුත්වජ කාච අභ්‍යවකාශ මිරිඟු ආදිය ගැන කතා කළේ අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන ඇතැම් දෑ හුදු ප්‍රතිබිම්බ බව පෙන්වීමට ය. විශ්වයෙහි ද එවැනි ප්‍රතිබිම්බ වෙයි. ඒ එකක්‌වත් අපේ ඉන්ද්‍රියයන්ට දැනෙන පුටු, මේස ආදිය මෙන් නො වේ. පුටු, මේස ආදිය ඇතැයි අපි සිතමු. එහෙත් වර්තනයෙන්, පරාවර්තනයෙන් නිර්මාණය වන ප්‍රතිබිම්බ ඇතැයි අපි නො සිතමු. යමක්‌ පෙනෙන්නට තිබූ පමණින් ඒ ඇතැයි අපි නො කියමු. අපේ ඉන්ද්‍රියයන්ගෙන් අප වඩාත් විශ්වාස කරන්නේ ස්‌පර්ශෙන්ද්‍රිය යෑයි සිතමි. යමක්‌ ස්‌පර්ශ කිරීමට හැකිනම් ඒ ඇතැයි අපි කියමු.

අපට ඇතැම් විට විවිධ සුවඳ නාසයට දැනෙයි. ඇතැම් ගඳක්‌ සුවඳක්‌ කිසියම් වූ ස්‌පර්ශය කිරීමට හැකි හෝ දැකගැනීමට හැකි හෝ වස්‌තුවක්‌ නැතිව ම දැනෙන්ට හැකි ය. එය මලක සුවඳ මෙන් නො වේ. මලක සුවඳ අපට දැනෙනවා පමණක්‌ නොව ඒ සුවඳ විහිදෙන වස්‌තුවක්‌ ද අපට දැකගත හැකි වෙයි. එසේත් නැතහොත් ඒ ස්‌පර්ශ කිරීමට හැකි වෙයි. මලේ සුවඳ එන්නේ මලකින් බවට අපට සැකයක්‌ නොමැතිව ම දැනගත හැකි ය.

එහෙත් ඇතැම් විට ඇතැමුන් ප්‍රේත ගඳ ලෙස හඳුන්වන ගඳ අප සමහරකුට දැනෙයි. එසේත් නැත්නම් දෙවියන්ගෙන් විහිදෙන්නේ යෑයි කියෑවෙන සුවඳක්‌ අපට දැනගත හැකි වෙයි. මෙවැනි අවස්‌ථාවල ඒ ගඳ හෝ සුවඳ හෝ විහිදෙන මලක්‌ වැනි වස්‌තුවක්‌ දැක ගැනීමට හෝ ස්‌පර්ශ කිරීමට හෝ නො හැකි ය. ඇතැමුන්ට ඒ සුවඳ විහිදුවන දේව රූප ද දැක ගැනීමට හැකි වී තිබේ. එහෙත් ඒ සියලු දෙනාට ම දැකගත හැකි නොවන බැවින් ඒ ගැන විවිධ මත වෙයි.

දැන් එවැනි දැකගත හැකි වස්‌තුවක්‌ නොමැතිව (ස්‌පර්ශ කිරීමක්‌ මෙහි දී කිසිසේත් ම නො සිදුවෙයි.) සුවඳක්‌ හෝ ගඳක්‌ විහිදෙන විට අප කරන්නේ කුමක්‌ ද? ඒ ගඳ හෝ සුවඳ හෝ සුළඟ මගින් ඈත පිහිටි වස්‌තුවකින් ගෙන එනු ලැබ ඇතැයි විශ්වාස කිරීම ය. ඇතැම් අවස්‌ථාවල එවැනි වස්‌තු ඉතා ඈතින් පිහිටන්නේ යෑයි අපි විශ්වාස කරමු. එහෙත් ඒ වස්‌තු(ව) පොළොවේ වායුගෝලයෙන් පිටත ඇත්තක්‌ යෑයි නො සිතමු. එයට හේතුව පොළොවෙන් යම් දුරකට ගිය විගස වායුගෝලය නොමැති වීමත් වායුගෝලයක්‌ නොමැතිව ගඳට සුවඳට සන්නිවේදනය විය නො හැකි වීමත් ය.

මෙයින් පැහැදිලි වන්නේ නොපෙනෙන වස්‌තුවකින් සුවඳක්‌ හෝ ගඳක්‌ හෝ විහිදෙන විට ඒ වස්‌තුව පොළොවෙහි වායුගෝලයෙහි තිබෙන බව ය. වායුගෝලයෙහි තිබෙන වස්‌තුවක්‌ නම් අපට ඒ සොයා යැමට ඇති බාධක දැනගෙන ඒ නැතිකර ගත හැකි යෑයි සිතමි. අද බැරි නම් කෙදිනක වුව ඒ කළ හැකි වේ යෑයි උපකල්පනය කරමු. එහෙත් එසේ උත්සාහයක්‌ ගෙන ඒ අසාර්ථක වුවහොත් අප බොහෝදෙනාට නොපෙනෙන, අපට ස්‌පර්ශ කළ නොහැකි වස්‌තූන්ගෙන් ගඳ සුවඳ නිකුත් විය හැකි බව අපට ඒත්තු ගැන්වෙන්නේ යෑයි සිතමි. මගේ අත්දැකීම් අනුව නම් ඇතැම් ස්‌ථානවල පිච්චමල් සුවඳ වැනි සුවඳක්‌ විහිදුවන වස්‌තු නොපෙනී වුවත්, ස්‌පර්ශ කිරීමට නොහැකිව වුවත් පවතී.

ඒ සුවඳ ප්‍රතිබිම්බ සුවඳක්‌ දැයි කෙනෙකුට ඇසිය හැකි ය. ප්‍රතිබිම්බ සුවඳක්‌ යනුවෙන් මා අදහස්‌ කරන්නේ ඇතැයි කියන වස්‌තුවකින් නිකුත් වන (පරාවර්තනය වන) ආලෝකය වර්තනය වී හෝ පරාවර්තනය වී හෝ ඇති කරන ප්‍රතිබිම්බ මෙන් ඇතැයි කියන වස්‌තුවකින් විහිදෙන සුවඳ ද යම්කිසි ආකාරයක වර්තනයකට හෝ පරාවර්තනයකට හෝ ලක්‌ වී සුවඳක්‌ නිකුත් කරන යම් ආකාරයක ප්‍රතිබිම්බයක්‌ ඇති කිරීම ය. එහෙත් බටහිර භෞතික විද්‍යාව එවැනි ප්‍රතිබිම්බ සුවඳ ගැන කතා නොකරනවා පමණක්‌ නො වේ. එවැනි ප්‍රතිබිම්බ සුවඳක්‌ ඇති කරන්නේ කෙසේ ද? යන්නවත් නො දනියි.

එහෙත් බටහිර විද්‍යාව නො දන්නා නිසා ම එවැන්නක්‌ නැතැයි අපි උපකල්පනය නො කරමු. සුවඳ බටහිර විද්‍යාවට එකඟ වුවත් නැතත් ආලෝකය මෙන් සරල රේඛා දිගේ ගමන් නො කරයි. සුවඳ ගමන් කරන්නේ, එනම් එක්‌ තැනක සිට තවත් තැනකට ගෙන යන්නේ වාතය මගිනි. ශබ්දය ද ගමන් කරන්නේ මාධ්‍යයක වූවත් සුවඳ ගමන් කිරීම ශබ්දය ගමන් කිරීමට ද වඩා සංකීර්ණ වෙයි. සුවඳ ශබ්දය මෙන් ම සෑම අතකට ම ගමන් කරයි. එහෙත් ඒ ශබ්දයට ද වඩා සංකීර්ණ වෙයි. සුවඳ විහිදී යැමේ වේගය කුමක්‌ ද? ඒ ශබ්දයේ වේගයට අඩුවන අතර ශබ්දය තරම්වත් පරාසයක නොවිහිදෙන බව පැහැදිලි ය. තරමක්‌ ඈතින් ඇතිවන ශබ්දයක්‌ ඇසිය හැකි මුත් එවැනි ඈතක ඇති සුවඳක්‌ ආඝ්‍රාණය කිරීමට අවස්‌ථාව නො ලැබෙයි. එවැනි පසුබිමක එක්‌ ලCෂ්‍යයකට හෝ කුඩා ප්‍රදේශයකට හෝ (ප්‍රතිබිම්බයකට) සුවඳ ඒකරාශී වීමට හා පසුව එතැනින් විහිදී යැමට අවස්‌ථාවක්‌ නොමැති වෙයි.

එලෙස ගත්කල සුවඳ ප්‍රතිබිම්බ නැතැයි තීරණය කළ හැකි බැවින් අපට සිදුවන්නේ එලෙස සුවඳ සෘජුව ම නිකුත් කරන වස්‌තු නෙපෙනුණත් ස්‌පර්ශය නො කෙරුණත් එවැනි වස්‌තු ඇතැයි නිගමනය කිරීමට ය. අදෘශ්‍යමාන වස්‌තු ඇති බව එලෙස දැනෙන සුවඳින් නිගමනය කළ හැකි යෑයි සිතමි. එයට විරුද්ධව කිව හැක්‌කේ එලෙස දැනෙන සුවඳ මනසේ ඇති වන භ්‍රාන්තියක්‌ පමණක්‌ බව ය. එහෙත් එවැනි සුවඳ එක්‌ අයෙකුට පමණක්‌ නොව බොහෝ දෙනෙකුට එකවර දැනෙන අවස්‌ථා ඇති බැවින් එසේ එය භ්‍රාන්තියකට ලඝූ කිරීමේ උත්සාහය ද අසාර්ථක වෙයි.

අප මෙහිදී අත්දකින දෙය නම් පුටුව, මේසය, මල වැනි වස්‌තුවල ඒ ඒ ගුණ පංෙච්න්ද්‍රියන්ගෙන් එකකට ගෝචර වන බවත් එහෙත් මනස නම් ඉන්ද්‍රිය නොමැතිව ඒ එක්‌ ගුණයක්‌වත් අපට නොදැනෙන බවත් ය. අනෙක්‌ අතට ප්‍රතිබිම්බ වැනි දෑ මනසේ ආධාරය ඇති ව ඇසට පමණක්‌ පෙනෙන බවත් අනෙක්‌ ඉන්ද්‍රියන්ට මනස සමඟ එකතුවීමෙන් එහි ගුණයක්‌ දැනගත නොහැකි බවත් ය. දැන් අපට මනස සමඟ එකතු වී ගඳ සුවඳ පමණක්‌ දනවන වස්‌තු ගැන අත්දැකීම් වෙයි. මේ වස්‌තු ඇතැම් අවස්‌ථාවල එක්‌විට බොහෝ දෙනෙකුට සුවඳ විහිදුවන වස්‌තු ලෙස අත්දැකගත හැකි වෙයි. කිහිප දෙනෙකුට ඒ සුවඳ විහිදුවන වස්‌තු දෘශ්‍යමාන ද වෙයි.

ඒ දෘශ්‍යමාන වන කිහිප දෙනාගේ ආධාරයෙන් එලෙස සුවඳ විහිදුවන වස්‌තු දෙවියන් ලෙස අපි හඳුනා ගනිමු. ඒ ඒකදේවවාදී දෙවියන් වහන්සේ කෙනෙකු නොව වෛදික බෞද්ධ හින්දු සංස්‌කෘතීන්හි සාහිත්‍යයෙහි සඳහන් වන බහුදේව දෙවිවරු ය. පැරැණි ගී්‍රක දෙවියන් ද එවැනි බහුදේව දෙවිවරුන් යෑයි සැලකිය හැකි ය. පැරැණි වෛදික දෙවිවරුන් මෙන් ම ගී්‍රක දෙවිවරුන් ද ඇතැම් මිනිසුන්ට දෘශ්‍යමාන වී ඇති බව ඒ ඒ සාහිත්‍ය පරිශීලනය කරන විට වැටහෙයි. අද ද එවැනි දෙවිවරුන් දෘශ්‍යමාන වන පුද්ගලයන් ඇති අතර ඔවුන්ට ඒ ඒ දෙවිවරුන් කතා කරන බස ද ඇසෙන්නේ යෑයි කියනු ලැබෙයි.

අපට අදෘශ්‍යමාන වුවත් අපට කටහඬ නො ඇසුණත්, අපට ඇතැම් අවස්‌ථාවල සුවඳ දැනෙන මේ ප්‍රාණීන් කිහිප දෙනෙකුටවත් දෘශ්‍යමාන වන අතර ඒ අයට ඔවුන්ගේ කටහඬ ද ඇසිය හැකි ය. අප දෙවියන් ලෙස හඳුනාගන්නා මේ ප්‍රාණීහු ප්‍රතිබිම්බවලින් වෙනස්‌ වෙති. මේ ප්‍රාණීන්ගෙන් විහිදෙන සුවඳ සියල්ලන්ට ම පාහේ ඇතැම් අවස්‌ථාවල එකවිට ආඝ්‍රාණය කළ හැකි ය. කිහිප දෙනෙකුට ඔවුන් දැකගත හැකි ය. ඒ කිහිප දෙනාගෙන් ද ඉතා සුළු ප්‍රමාණයකට ඔවුන්ගේ කටහඬට ද සවන්දිය හැකි ය. එහෙත් මා දන්නා කිසිවෙකුට ඒ ප්‍රාණීන් ස්‌පර්ශ කිරීමට අවස්‌ථාවක්‌ ලැබී නැත. එමෙන් ම අපට සාමාන්‍යයෙන් වස්‌තු ලෙව කෑමේ පුරුද්දක්‌ ද නැති බැවින් ඒ ප්‍රාණීන් ලෙව කෑ අයකු ද දැනගැනීමට නැත.

කෙසේ වෙතත් පැරැණි ග්‍රීකයන් හා වෛදිකයන් අතර දෙවියන් ස්‌පර්ශ කළ අය ද සිටි බව පැරැණි පොතපතින් හෙළි වෙයි. අපි ඒ පැරැණි ලෝකයෙන් අවුරුදු තුන්දාහක්‌ පමණ විකාශය වී ඇත්තෙමු. දෙවියන් ස්‌පර්ශ කිරීමේ හැකියාව අද අප කාහටවත් නැතිවා වන්නට හැකි ය. එහෙත් පංචෙන්ද්‍රියන්ගෙන් එක්‌ ඉන්ද්‍රියකට හෝ වැඩි ගණනකට හෝ මනස සමඟ එකතු වී සංවේදී වන ගුණ සහිත වස්‌තු (ප්‍රාණීන් ද ඇතුළුව) විශ්වයෙහි ඇති බවත් එමෙන් ම ඉන්ද්‍රිය මුළා කරන ප්‍රතිබිම්බ, මිරිඟු වැනි වස්‌තු ද ලෝකයේ ඇති බවත් අපේ අත්දැකීම වෙයි.

කෙසේ වෙතත් ඇතැම් පඬියන් අදෘශ්‍යමාන වස්‌තුවල පැවැත්ම නොපිළිගන්නා බව අපි දනිමු. එහෙත් ඒ පඬියන්ට වුවද ප්‍රතිබිම්බ, මිරිඟු වැනි දෘශ්‍යමාන යෑයි ගත හැකි වස්‌තු නො පවතින බව පිළිගැනීමට සිදු වෙයි. අප ඉන් අදහස්‌ කරන්නේ යමක්‌ දෘශ්‍යමාන වීම ඒ පැවැත්ම සඳහා අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතා නො වන බව ය. දෘශ්‍යමාන යෑයි ගැනෙන දෑ නොපවතින්නටත් අදෘශ්‍යමාන දෑ පවතින්නටත් හැකි ය. පඬියන් සමහර විට එයට කියනු ඇත්තේ දෘශ්‍යමාන දේ නො පැවැතිය හැකි වුවත් අදෘශ්‍යමාන දේ නම් නො පවතින බව ය. එහෙත් අදෘශ්‍යමාන වස්‌තූන්ගෙන් ඉතා පැහැදිලිව ම සුවඳ විහිදෙන බව කීවෙමු. මට ද එවැනි අත්දැකීම් රාශියක්‌ ඇත. අප මෙහිදී සාකච්ජා කරන්නේ ඉතා සංකීර්ණ ප්‍රශ්නයකි. යමක්‌ පවතින්නේ ය යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? පඬියන් මොන වාස්‌තවික කතා කීවත් ප්‍රථමයෙන් ම සඳහන් කළ යුත්තේ යමක්‌ පවතින්නේ ද නැත් ද යන්න තීරණය කරන්නේ මනස විසින් බව ය. මනස නොමැති ව හුදු පංෙච්න්ද්‍රිය ගෝචර වීමක්‌ ගැන පඬියන් ද ඇතුළු කිසිවෙකුටවත් සිතිය නො හැකි ය. මනස සියල්ලට ම ප්‍රධාන වෙයි.

අනෙක්‌ ඉන්ද්‍රිය නොමැතිව මනසට පමණක්‌ ගෝචර විය හැකි සංසිද්ධි තිබිය හැකි වුවත් මනස නොමැතිව අනෙක්‌ ඉන්ද්‍රියයන්ට ගෝචර විය හැකි ගුණයක්‌ නැත. අපට එක්‌ වරකට ගෝචර වන්නේ වස්‌තුවක එක්‌ ගුණයක්‌ පමණකි. ඒ එක්‌වර සිත් එකකට වඩා ඇති නොවන බැවිනි. ඒ ඒ ගුණ එකතු කර ගුණවල අනුකලිත (integrated) වස්‌තුවක්‌ මනසෙහි ඇති කරන ඇස, කන වැනි ඉන්ද්‍රියයක්‌ අපට නැත. මලෙහි සුවඳ සිනිඳු බව මනස සමඟ එකතු වන නහයට හා ස්‌පර්ශයට පිළිවෙලින් දැනෙයි. එහෙත් මනස සමඟ එකතු වී අපට මල නම් වස්‌තුව දනවන ඉන්ද්‍රියයක්‌ අපට නැත. මල යනු මනසේ නිර්මාණයකි. මල පවතින්නේ මනසේ පමණ ය.

එසේ ම මලෙහි සුවඳ ද මනසෙහි නිර්මාණය වන ගුණයක්‌ බව වැටහිය යුතු ය. අපි එය පසුව සාකච්ජා කරමු. මලෙහි සුවඳ යනුවෙන් සංකල්පයක්‌ ආරම්භයෙහි නො වේ. ආරම්භයෙහි ඇත්තේ මනස හා නහය එකතු වී නිර්මාණය කරන සුවඳකි. එලෙස ම පැහැය, සුමුදු බව ආදිය ද මනස හා ඒ ඒ ඉන්ද්‍රිය එකතු වී නිර්මාණය කරන ගුණ වෙයි. සංකල්පය හා සංජානනය මෙහි දී එකතු වෙයි. සංජානනයකින් තොර සංකල්පයක්‌වත් සංකල්පයකින් තොර සංජානනයක්‌වත් නැත. ඒ ගුණ නමැති සංකල්ප සියල්ල එකතු කර මනසට ඇති ස්‌මරණ ශක්‌තිය ද උපයෝගී කරගෙන මනස මල නමැති සංකල්පය නිර්මාණය කරයි. මනසට ස්‌මර්ණ ශක්‌තිය ලැබෙන්නේ ඒ ඒ චිත්තය නැති වී අලුත් චිත්තයක්‌ නිර්මාණය වීමේ දී පැරැණි චිත්තයෙහි තොරතුරු විශාල ප්‍රමාණයක්‌ අලුත් චිත්තයට දෙන බැවිනි. මනස යනු එවැනි චිත්ත පරම්පරාවක්‌ පමණකි.

මහාචාර්ය නලින් ද සිල්වා