logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පරිප්පු නිසා නම් කෙරුණු කාච

පසුගිය සතියේ "අභ්‍යවකාශ මිරිඟු" යන මැයෙන් පළ වූ ලිපියෙහි අවසාන ඡේදයෙහි මුල් පේළි දෙකෙහි තාත්වික හා අතාත්වික යන වචන දෙක මාරු වී යෙදී තිබිණි. ඒ පේළි දෙක පහත සඳහන් අයුරින් නිවැරැදි විය යුතු ය. "මිරිඟු හා ප්‍රතිබිම්බ අතර වෙනසක්‌ ඇති බවත් අභ්‍යවකාශයේ ගුරුත්වජ කාච මගින් ඇති කෙරෙන ප්‍රතිබිම්බ ඊනියා අතාත්වික ප්‍රතිබිම්බ ලෙස නම් කළ හැකි බවත් මතක තබාගත යුතු ය. ගුරුත්වජ කාච මගින් ඊනියා තාත්වික ප්‍රතිබිම්බ නිර්මාණය විය හැකි ද යන ප්‍රශ්නය තවමත් කිසිවකු නඟා නැත."

මෙයට අමතරව විවිධ වෙබ් අඩවි හා පොතපත ඇසුරෙන් තොරතුරු ලබාගන්නා පාඨකයන්ට ද ගැටලුවක්‌ වී ඇත්තේ අභ්‍යවකාශ මිරිඟු පිළිබඳව පළමු වරට සඳහන් කෙරෙන්නේ විදුසර පුවත්පතෙන් බව කීම ය. එයට හේතුව සූර්යයා, චන්ද්‍රයා, ඇතැම් විට තාරකා හා ධූමකේතු ද මිරිඟු නිර්මාණය කිරීම ය. සූර්යයා ආදී වස්‌තු ද අභ්‍යවකාශ වස්‌තු ලෙස සැලකෙන බැවින් අභ්‍යවකාශ මිරිඟු පිළිබඳව පළමුවරට සඳහන් වන්නේ විදුසර පුවත්පතෙහි ද යන ප්‍රශ්නය පැනනඟියි.

සූර්යයා ආදී වස්‌තුන් ගෙන් ලැබෙන මිරිඟුවලට ද අභ්‍යවකාශ මිරිඟු යෑයි කිව හැකි බව සැබෑ ය. එහෙත් පසුගිය සතියෙහි අභ්‍යවකාශ මිරිඟු යන්න යෙදුණේ වෙනත් අර්ථයකිනි. එය තවදුරටත් පැහැදිලි කර දිය යුතු යෑයි සිතමි. පළමුවෙන් ම අප සාමාන්‍යයෙන් දන්නා මිරිඟු යනු පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යෑයි බටහිර භෞතික විද්‍යාවේ හැඳින්වෙන සංසිද්ධිය හේතු කොටගෙන ඇතිවන ඊනියා දෘෂ්ටි මායාවකි. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයෙහි දී සිදු වන්නේ පරාවර්තනයකි. සාමාන්‍ය පරාවර්තනයක දී එක්‌ මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයක්‌ වෙතට ගමන් කරන ආලෝක ධාරාවක්‌ මාධ්‍ය වෙන් කෙරෙන පෘෂ්ඨයෙහි දී නැවතත් ආපසු ආලෝකය පැමිණි මාධ්‍යය වෙතට ම හැරෙයි. එහෙත් එහි දී ආලෝක ධාරාවෙන් කුඩා කොටසක්‌ වර්තනය වී දෙවැනි මාධ්‍යය තුළට ද ගමන් කරයි.

එහෙත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක දී එක්‌ මාධ්‍යයක සිට ප්‍රකාශ ගුණයෙන් (Optically) අඩු ඝන මාධ්‍යයකට ගමන් කරන ධාරාවක එසේ කුඩා වුව ද වර්තනයය සිදු නො වෙයි. ආලෝකය මාධ්‍ය වෙන් කරන පෘෂ්ඨයෙහි දී මුළුමනින් ම ආපසු හැරෙයි. එනම් මුළුමනින් ම පරාවර්තනය වෙයි. මිරිඟු යෑයි අපට දෘශ්‍ය වන්නේ වාතයේ ප්‍රකාශ වශයෙන් වැඩි ඝන මාධ්‍යයක සිට අඩු ඝන මාධ්‍යයකට ආලෝකය ඇතුළු වීමට උත්සාහ කරද්දී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නිසා ඇති වන ප්‍රතිබිම්බ ය.

වාතය රත් වීම හේතුවෙන් ඇතැම් අවස්‌ථාවල පොළොවට ඉතා ම ආසන්නයෙහි උෂ්ණත්වය අධික වායු ස්‌ථරයක්‌ ඇති වෙයි. එවිට ඒ වායු ස්‌ථරයෙහි උෂ්ණත්වය එයට ඉහළින් වූ වායු ස්‌ථරයෙහි උෂ්ණත්වයට වැඩි වී ඝනත්වයෙන් අඩු වායු ස්‌ථරයක්‌ බවට පත් වෙයි. මෙහි දී ප්‍රකාශ වශයෙන් ද පොළොවට ඉතා ආසන්නයෙහි වූ වායු ස්‌ථරයෙහි ඝනත්වය අඩු වෙයි. (සැම විට ම එසේ වන්නේ යෑයි උපකල්පනය නො කළ යුතු ය) එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඒ අඩු ඝන වායු ස්‌ථරයට එයට ඉහළින් වූ වායු ස්‌ථරයෙන් ඇතුළු වීමට උත්සාහ දරන ආලෝක ධාරාවක්‌ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක්‌ වෙයි.

අපේ ඇස්‌ හා ගසක්‌ වැනි වස්‌තුවක්‌ ඉහත කී ලෙස පොළොවට ඉතා ආසන්නයෙහි වූ අධික ලෙස රත් වී (දහවල තාර පාරක්‌ ආසන්නයෙහි පිහිටි වායු ස්‌ථරයක්‌ මෙන්) ඇති වායු ස්‌ථරයකට ඉහළින් පිහිටි අවස්‌ථාවෙහි, ගසෙන් පරාවර්තනය වන ආලෝක ධාරාවන් පොළොව ආසන්නයෙහි දී ඉහත සඳහන් වායු ස්‌ථරයට ඇතුළු වීමට යැමේ දී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්‌ වී අපේ ඇස්‌ කරා පැමිණිය හැකි ය. එවැනි අවස්‌ථාවල දී අපට පෙනෙන්නේ ඒ රත් වූ වායු ස්‌ථරයෙන් පරාවර්තනය වී අපේ ඇස්‌වලට ලැබෙන ආලෝකය නිසා ඇති වන ප්‍රතිබිම්බයකි. ඡායාවකි. ඒ ඡායාව මිරිඟුවක්‌ ලෙස අපට පෙනෙයි.

සූර්යයා ගේ, චන්ද්‍රයා ගේ හෝ ධූම කේතුවක හෝ නිසා මිරිඟු ඇති වන්නේ ද එපරිදි ම ය. මෙහි දී ද පොළොවට ඉතා ආසන්නයේ අධික ලෙස රත් වූ වායු ස්‌ථරයක්‌ ඇති වෙයි. සූර්යයා චන්ද්‍රයා ආදී වස්‌තු අභ්‍යවකාශ වස්‌තු ලෙස සැලකුව ද ඒ නිසා හටගන්නා මිරිඟු පොළොවට ඉතා ආසන්නයේ වූ අධික ලෙස රත් වූ වායු ස්‌ථර ඇසුරු කරයි. ඒ මිරිඟුවලට අභ්‍යවකාශ මිරිඟු යෑයි කෙනකුට කිව හැක්‌කේ එයට මුල් වූ වස්‌තු අභ්‍යවකාශ වස්‌තු වීම නිසා ය. එහෙත් මිරිඟු නිර්මාණය පොළොවෙහි දී පොළොවට ඉතා ආසන්නයෙහි අධික ලෙස රත් වූ (අඩු ම තරමින් එයට ඉහළින් වූ වායු ස්‌ථරයට වඩා රත් වූ) වායු ස්‌ථර ඇසුරෙන් ය. ඒ හේතුවෙන්, එනම් අදාළ ක්‍රියාවලිය වූ අභ්‍යන්තර පූර්ණ පරාවර්තනය, පොළොවෙහි දී සිදු වන බැවින් ඒ මිරිඟු අභ්‍යවකාශ මිරිඟු ලෙස අපි නො සලකමු.

පසුගිය සතියේ ලිපියෙන් අප අදහස්‌ කෙළේ අභ්‍යවකාශයෙහි සිදු වන ක්‍රියාවලියකින් නිර්මාණය විය හැකි මිරිඟු පිළිබඳව ය. එවැනි මිරිඟු තිබේ දැයි අපි නො දනිමු. සෛද්ධාන්තික වශයෙන් වත් එවැනි මිරිඟු ගැන සඳහන් වූ තැනක්‌ නැතැයි සිතමි. එබැවින් අභ්‍යවකාශ මිරිඟු ගැන පළමුවරට සඳහන් වූයේ විදුසර පුවත්පතෙහි යෑයි සිතමි. ඒ කෙසේ වෙතත් අභ්‍යවකාශ මිරිඟු නිර්මාණය ගැන තවත් යමක්‌ කිව යුතු වෙයි.

අභ්‍යවකාශ මිරිඟු යනු අභ්‍යවකාශයෙහි සිදු වන ක්‍රියාවලියකින් නිර්මාණය වන ප්‍රතිබිම්බ, ඡායා වෙයි. සන්සන්දනය කළ හැක්‌කේ ගුරුත්වජ කාච සමඟ ය. ගුරුත්වජ කාචවල ක්‍රියාවලිය අභ්‍යවකාශයෙහි සිදු වන්නකි. අදාළ ප්‍රතිබිම්බ දුරේක්‍ෂවල ක්‍රියාකාරකම් නිසා පොළොවෙහි දී නිර්මාණය වන්නේ නො වේ. ගුරුත්වජ කාච ඇති වන්නේ මන්දාකිණියක්‌ වැනි ස්‌කන්ධය විශාල වූ වස්‌තුවකින් ආලෝකය නැමීම (bending of light) හේතුකොට ගෙන ය. මේ වස්‌තු විසින් ආලෝකයේ ගමන් මඟ තමන් වෙතට හරවා ගනු ලැබෙයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ගුරුත්වජ කාච නිසා ඇති වන්නේ ඊනියා අතාත්වික ප්‍රතිබිම්බ ය.

කාච (ගුරුත්වජ කාච නො ව සාමාන්‍යයෙන් අප දන්නා කාච) ගැන කතා කිරීමේ දී දැනගත යුතු කරුණක්‌ නම් කාච යන්නට ඉංගිරිසියෙන් කියන ලෙන්ස්‌ (lens) යන්න නිර්මාණය වී තිබෙන්නේ ලෙන්ටිල්ස්‌ (lentils) යන පදයෙන් බව ය. ලෙන්ටිල්ස්‌ යනු ඉංගිරිසියෙන් (මෙහි ඇත්තේ ලතින් සම්භවයකි) අප දන්නා (මයිසූර්) පරිප්පුවලට ඇති වචනය ය. පරිප්පු ඇටය අවතල කාච හැඩය ගත් එකට ඇති පෙති දෙකක ස්‌වරූපය ගනියි. මුල් කාච අවතල කාච වන්නට ඇතැයි අපට නිගමනය කළ හැකි ය. ඒ කාච පරිප්පු ඇටවල ස්‌වරූපය ගත් බැවින් හා පරිප්පු පැළයේ ජනුවට (Genus) ලෙන්ස්‌ යෑයි කියන බැවින් කාචවලට ලෙන්ස්‌ නම යෙදිණි යෑයි විකිපීඩියාවෙහි සඳහන් වෙයි.

කාච අපේ කලාපයේ නිර්මාණය වීමට ඇති ඉඩකඩ ඉතා අධික ය. පරිප්පුවල නිජබිම භාරතය වෙයි. (1987 දී ඉන්දියාව අපට තර්ජනය කිරීම සඳහා පළමුව ගුවන් යානාවලින් පරිප්පු හෙළුE බව ද මෙහි දී මතක්‌ කරගත යුතු වෙයි). බටහිරයන් පරිප්පු ගැන මෙන් ම කාච ගැන ද භාරතයෙන් දැනගත් බැවින් කාච ලතින් ඇතුළු බටහිර භාෂාවලින් ලෙන්ස්‌ ආදී නම් ගන්නට ඇතැයි සිතිය හැකි ය. භාරතීයයන් ද සිංහලයන් ද කාච ගැන දැන සිටි බවට සාධක වෙයි. අභයගිරිය කැණීමේ දී කාච විශාල සංඛ්‍යාවක්‌ හමු වී ඇත. එමෙන් ම අපේ සාහිත්‍යයෙහි නැවක ගමන් කරද්දී දුරේක්‍ෂයක්‌ යොදා ගනිමින් අනෙක්‌ නැවක්‌ නිරීක්‍ෂණය කළ භික්‍ෂූන් වහන්සේ නමක ගැන සඳහන් වෙයි. දුරේක්‍ෂය නිර්මාණය කිරීමේ ගෞරවය ගැලීලියෝට දීමට තැත් කරන්නන් මේ කරුණු ගැන සැලකිලිමත් විය යුතු ය. බටහිර පළ වන ජනප්‍රිය පොතපත කියවා එහි තිබෙන ප්‍රචාරාත්මක කරුණු ඔස්‌සේ බටහිර එතරම් වැදගත් නො වන උගතුන් කෙරෙහි අපේ සිසුන් ගේ භක්‌තියක්‌ ඇති කිරීමට ගන්නා බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී උත්සාහයන් ද පරාජය කළ යුතු ය.

ඒ කෙසේ වෙතත් අපට ඇති එක්‌ ප්‍රශ්නයක්‌ නම් ගුරුත්වජ කාච හේතුවෙන් ඊනියා තාත්වික ප්‍රතිබිම්බ ඇති විය හැකි ද යන්න ය. එනම් "තිරයක්‌ මත ලබාගත හැකි ප්‍රතිබිම්බ" ගුරුත්වජ කාච මගින් ඇති වන්නේ ද? එසේ ලබාගත හැකි නම් ඊළඟ ප්‍රශ්නය වනුයේ එවැන්නක්‌ ලබාගත හැකි "තිර" අභ්‍යවකාශයෙහි තිබේ ද යන්න ය. සත්තකින් ම එවැනි "තිර" ඇත්නම් ඒ මන්දාකිණි වැනි එවැනි ම වූ විශාල වස්‌තු විය යුතු ය. එහෙත් "තිරයක්‌" ඇතත් නැතත් "තිරය" තිබිය යුතු යෑයි ගණනය කිරීමෙන් ලැබෙන ස්‌ථානයේ ඇති වන ප්‍රතිබිම්බයෙන් ආලෝක ධාරා නිරීක්‍ෂකයන්ට ලැබෙනු ඇත. එවැනි ප්‍රතිබිම්බ විශ්වයේ ඇති විය හැකි ද යන්න තවමත් කිසිවකු ගේ අවධානයට ලක්‌ වී ඇති බවක්‌ දැනගැනීමට නැත. වර්තමානයෙහි ගුරුත්වජ කාච හදාරන්නෝ එමඟින් නිර්මාණය වන ඊනියා අතාත්වික ප්‍රතිබිම්බ ගැන පමණක්‌ සැලකිලිමත් වෙති. ගුරුත්වජ කාච එකකට වඩා වැඩි ගණනක්‌ සම්බන්ධ වී කාච පද්ධතියක්‌ නිර්මාණය වීමේ හැකියාව ඇත් ද ගැන ද අවධානය යොමු වී නැත. අප සහ අප විසින් නිරීක්‍ෂණය කෙරෙන වස්‌තුව අතර ගුරුත්වජ කාච වූ මන්දාකිණි දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ හෝ තිබුණ හොත් නිර්මාණය වන ප්‍රතිබිම්බ කවරේ ද? එවැනි ප්‍රතිබිම්බ විශ්වයේ ඇත් ද? මා මෙවැනි ප්‍රශ්න නඟන්නේ අප අපට බටහිරයන් ගෙන් හෝ වෙනත් අය ගෙන් හෝ ලැබෙන දැනුමට පමණක්‌ සීමා වී නො සිටිය යුතු බව අවධාරණය කිරීම සඳහාත් ය.

අභ්‍යවකාශයෙහි ම සිදු වන්නා වූ ක්‍රියාවලියකින් මිරිඟු නිර්මාණය විය හැකි ද? එසේ වීමට හැකි ද යන්න සොයා බැලීම ඇතැම් විට වැදගත් වනු ඇත. එසේ මිරිඟු නිර්මාණය වන්නේ නම් ඒ සිදු විය යුත්තේ පොළොවට ඉතා ආසන්නයේ පවතින වායු ස්‌ථරයක්‌ රත් වීමෙන් නො වේ. ඒ අභ්‍යවකාශයෙහි සිදු වන ක්‍රියාවලියක්‌ නිසා නිර්මාණය විය යුතු ය. එහි දී ආලෝකය නිකුත් කරන හෝ පරාවර්තනය කරන හෝ වස්‌තුව (පොළොවේ නම් ගසක්‌ මෙන්) නිරීක්‍ෂණය කරන අප ප්‍රකාශ වශයෙන් වැඩි ඝන මාධ්‍යයක විය යුතු අතර වස්‌තුවෙන් නිකුත් වන හෝ පරාවර්තනය කෙරෙන ආලෝකය ඒ වැඩි ඝන මාධ්‍යයෙන් අඩු ඝන මාධ්‍යයකට ඇතුළු වීමට ගොස්‌ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකින් පසු අප වෙත ළඟා විය යුතු ය. අප සලකා බැලිය යුතු වන්නේ විශ්වයේ එවැනි ගුණ සහිත මාධ්‍ය දෙකක්‌, අප සහ අදාළ වස්‌තුව වැඩි ඝන මාධ්‍යයෙහි ඇති අයුරින්, තිබිය හැකි ද, එසේ තිබෙන්නේ නම් ඒ කිනම් අවශ්‍යතා යටතේ ද යන්න ය.

මහාචාර්ය නලින් ද සිල්වා