logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අභ්‍යවකාශ මිරිඟු

පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන ලෝකය, එනම් අප සාමාන්‍යයෙන් කියන පරිදි දෘශ්‍යමාන ලෝකය, යථාර්ථය නො වේ යෑයි කියමින් යථාර්ථයක්‌ සෙවීම සඳහා හෝ සෘජුව ම යථාර්ථය සෙවීම සඳහා වියුක්‌ත ප්‍රවාද ගොතන බටහිර විද්‍යාඥයන් ඒ වියුක්‌ත ප්‍රවාද නිවැරැදි දැයි දැනගැනීම සඳහා නැවතත් පරීක්‍ෂණ ඔස්‌සේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන ලෝකය උපයෝගී කරගැනීම විහිළුවක්‌ ද නැත්නම් රැවටීමක්‌ ද යන්න ප්‍රශ්නයකි. ඒ කුමක්‌ වූවත් මෙහි පරස්‌පරයක්‌ ඇති බව පැහැදිලි ය.

පොළොවට පොල් වැටීම, හඳ පොළොව වටා යැම ආදිය නිරීක්‍ෂණය වෙයි. ඒ එසේ වන්නේ ඇයි දැයි නිව්ටන් විද්වතා ඇසී ය. ඔහු එයට දුන් පිළිතුර ගුරුත්වාකර්ෂණය යන්න විය. එහෙත් ගුරුත්වාකර්ෂණ බලය පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වේ. ගුරුත්වාකර්ෂණ යථාර්ථය බව දැනගැනීමට ඒ ඇසුරෙන් ලබාගත් නිගමන පංෙච්න්ද්‍රියන්ට ගෝචර නිරීක්‍ෂණ, පරීක්‍ෂණ ආදියෙන් තහවුරු කිරීමට සිදු විය.

එහෙත් පසුව නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය ද යථාර්ථය නො වේ යෑයි සැලකිණි. එයට ද හේතු වූයේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන නිරීක්‍ෂණයකි. බුධ ග්‍රහයා ගේ කක්‍ෂය අචල ඉලිප්සයක්‌ නො වන බව බොහෝ කලක සිට දැන සිටි නමුදු ඒ බව නො සලකා නිව්ටෝනීය ප්‍රවාදය ඊනියා යථාර්ථය ලෙස සැලකීමට බටහිර භෞතික විද්‍යාඥයෝ පුරුදු ව සිටිය හ. එහෙත් අයින්ස්‌ටයිනීය සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් පසු නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය තවදුරටත් ඊනියා යථාර්ථය ලෙස සැලකීමට බටහිර භෞතික විද්‍යාඥයන්ට නො හැකි විය. මේ සියල්ල අවසන් වශයෙන් තීරණය කෙරෙන්නේ විශ්වාස කළ නො හැකි යෑයි පැවසෙන පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන නිරීක්‍ෂණ මත පදනම් ව ම බව බටහිර විද්‍යාඥයන්ට අවබෝධ නො වන්නේ ද?

පංෙච්න්ද්‍රියවලට ගෝචර වන දෑ පිළිබඳ නිදර්ශනයක්‌ මිරිඟුව ඇසුරෙන් ලබාගත හැකි ය. මිරිඟුව මිරිඟුවක්‌ බව අප දන්නේ මිරිඟුවක්‌ පෙනුණ තැනට ළඟා වන විට ය. මිරිඟුව පෙනුණු තැනට යන විට මිරිඟුව නො පෙනී යයි. එක්‌ තැනක සිට බලන විට පෙනීමටත් තවත් තැනක සිට බලන විට නො පෙනීමටත් හේතුව බටහිර භෞතික විද්‍යාවේ පූර්ණ පරාවර්තනය ඇසුරෙන් පැහැදිලි වෙයි. පූර්ණ පරාවර්තනය හේතුවෙන් නැතැයි කියන දෑ ඇතැයි කියන තත්ත්වයකට පැමිණිය හැකි බව මෙයින් උපකල්පනය කළ හැකි ය. මෙහිදී වැදගත් ම කරුණ නම් මිරිඟුව පෙනී පසුව නො පෙනී යන්නේ එක්‌ පුද්ගලයෙකුට පමණක්‌ නොව සාමාන්‍ය පුද්ගලයන් සියල්ලන්ට ම බව ය.

එබැවින් එය එක්‌ පුද්ගලයකු ගේ භ්‍රාන්තියක්‌ ලෙස අපට ඉවත දැමිය නො හැකි ය. ඒ පොදු අත්දැකීමකි. පරාවර්තනයට අමතරව වර්තනය ද අපට වැදගත් වෙයි. දියෙහි බහාලූ කෝටුවක්‌ අපට ඇද වී (නැවී) පෙනෙයි. කෝටුව ඇද වී නැතැයි අපට එය දියෙන් ඉවතට ගැනීමෙන් දැනගත හැකි ය. එහෙත් අපට සෑම විට ම එසේ කළ හැකි නො වේ. එවැනි අවස්‌ථාවල දී වර්තනය නිසා ඇති වන්නේ යෑයි කියන දෘෂ්ටි ඊනියා යථාර්ථය ද කියා දැනගන්නේ කෙසේ ද?

අපි වර්තනය බොහෝ අවස්‌ථාවලදී දද යොදා ගන්නෙමු. දුරේක්‍ෂ හා අන්වීක්‍ෂ තනා ඇත්තේ වර්තනය මත පදනම් වී ය. මේ උපකරණ ඔස්‌සේ ලැබෙන අනුභූති කෙතරම් දුරට නිවැරැදි දැයි අප දැනගන්නේ කෙසේ ද? වර්තනය සම්බන්ධයෙන් බටහිර භෞතික විද්‍යාවේ නියම අප දන්නා බැවින් අප විසින් නීරීක්‍ෂණය කෙරෙන ප්‍රතිබිම්බයෙහි ප්‍රභවය අපට දැනගත හැකි යෑයි කිසිවෙකුට කීමට හැකි ය. එහෙත් මෙය නිවැරැදි ප්‍රකාශයක්‌ ද?

දුරේක්‍ෂයේ නිරීක්‍ෂණය කෙරෙන ඇතැම් වස්‌තු (ප්‍රතිබිම්බ) කෙසේ නිර්මාණය වන්නේ දැයි අපට කිසිම සැකයකින් තොරව කිව හැකි ද? දැන් කලෙක සිට ගුරුත්වජ කාච (Gravitational lenses) ගැන විශ්වවිද්‍යාවෙහි සඳහන් වෙයි. මෙහිදී කාච ලෙස ක්‍රියා කරන්නේ මන්දාකිණි වැනි විශාල ස්‌කන්ධයකින් යුක්‌ත වස්‌තු ය. මේ වස්‌තු කාච ලෙස ක්‍රියා කිරීමෙන් ඇතැම් තාරකාවලින් හෝ මන්දාකිණිවලින් ලැබෙන විකිරණවල තීව්‍රතාව වැඩි කෙරෙයි. විශ්වයෙහි අපට නිරීක්‍ෂණය වන ක්‌වේසාර ගුරුත්වජ කාච මඟින් නිර්මාණය කෙරෙන ප්‍රතිබිම්බ යෑයි විශ්වාස කෙරෙයි. මේ ගුරුත්වජ කාච මගින් ඇතැම් විට එක්‌ වස්‌තුවක ප්‍රතිබිම්බ කිහිපයක්‌ නිර්මාණය කෙරෙන බව පෙන්විය හැකි බව ද අමතක නො කළ යුතු ය. මෙයට අවුරුදු හතලිහකට පමණ පෙර ගුරුත්වජ කාච ඔස්‌සේ ක්‌වේසාර තේරුම් ගැනීමට උත්සාහ දැරූ මල් අවධියෙහි ඒ අධ්‍යයනයෙහි කොටස්‌කරුවකු වීමට මට ද අවස්‌ථාව ලැබිණි. ගුරුත්වජ කාච මගින් ප්‍රතිබිම්බ දෙකකට වඩා නිර්මාණය විය හැකි බව පළමු වරට සඳහන් වූයේ මගේ ආචාර්ය උපාධි නිබන්ධයෙහි ය.

මෙයට අමතරව විශ්වයෙහි ද වර්තනය හේතු කොටගෙන මිරිඟුව වැනි ප්‍රතිබිම්බ නිර්මාණය වන්නේ ද? යම් අයුරකින් දුරේක්‍ෂ ඔස්‌සේ අපට මිරිඟු නිරීක්‍ෂණය වන්නේ නම් අප ඒවා මිරිඟු බව දැනගන්නේ කෙසේ ද? අපට අභ්‍යවකාශයෙහි අපේ ක්‍ෂීරපථය නම් මන්දාකිණිය ද පසුකර ඒ මිරිඟුවක්‌ විය හැකි ස්‌ථානයට ගොස්‌ එතැන මිරිඟුවක්‌ ඇත් ද නැත් ද යන්න දැනගත හැකි නො වේ. යම් අයුරකින් දුරේක්‍ෂ ඔස්‌සේ අපට මිරිඟු පෙනෙන්නේ නම් විශ්වයෙහි ඇති වස්‌තු ප්‍රමාණය ගැන අප දරන මත හා විශ්වය සම්බන්ධයෙන් ගොතා ඇති ප්‍රවාද ගැන අපට කුමක්‌ කිව හැකි ද? අප නිරීක්‍ෂණය කරන්නේ හුදෙක්‌ වස්‌තු නො වන බව අමතක නො කළ යුතු ය. අප දුරේක්‍ෂ ඔස්‌සේ වස්‌තු නිරීක්‍ෂණය කරන්නේ ප්‍රවාද හා සංකල්ප ද උපයෝගී කරගනිමිනි.

ගුරුත්වජ කාචවලින් ප්‍රතිබිම්බ නිර්මාණය වී ප්‍රතිබිම්බ වඩා විශාල තීව්‍රතාවකින් නිරීක්‍ෂණය කෙරෙන්නේ විකිරණ ගුරුත්වජ කාචයෙන් ආකර්ෂණය වී කාචය දෙසට ම නැවෙන බැවිනි. එහෙත් යම්කිසි අයුරකින් විශ්වයෙහි කාච මගින් විකිරණ ආකර්ෂණය නො කෙරී විකර්ෂණය කෙරේ නම් අපට විශ්වයේ ද මිරිඟු පෙනීමට ඉඩක්‌ ඇත් ද? දැනටමත් අපට එසේ මිරිඟු පෙනෙතත් ඒ මිරිඟු බව තේරුම් ගැනීමට නො හැකි ව අපි පසුවෙමු ද? එසේත් නොමැතිව පූර්ණ පරාවර්තනවලින් අභ්‍යවකාශයෙහි මිරිඟු නිර්මාණය වීමට හැකි ද?

අපට පාර තොටේ දී පෙනෙන මිරිඟු වස්‌තු නො වන බව ඒ මිරිඟුව ඇතැයි සිතූ තැනට ගොස්‌ නිගමනය කළ හැකි ය. එමෙන් ම පූර්ණ පරාවර්තන ඔස්‌සේ ඒ සිදුවන බවට අපට ප්‍රවාදයක්‌ ද වෙයි. දැන් අපට එවැනි ප්‍රවාදයක්‌ නැතැයි ද ඒ මිරිඟුව පෙනෙන තැනට යැමේ හැකියාවක්‌ නැතැයි ද සිතමු. එවිට අපට සිදුවන්නේ මිරිඟුව ඇත්තට ම පවත්නා වස්‌තුවක්‌ ලෙස තීරණය කිරීමට ය. මෙයින් පැහැදිලි වන්නේ කුමක්‌ ද?

අපට යමක්‌ නිරීක්‍ෂණය කරන්නේ හුදු ඉන්ද්‍රිය පද්ධතිය පමණක්‌ යොදාගෙන නො වේ. එහිදී අපේ පංෙච්න්ද්‍රියවලට අමතරව මනස ද ක්‍රියාත්මක වෙයි. එමෙන් ම අප නිර්මාණය (සංස්‌කරණය) කර ගෙන ඇති සංකල්ප හා ප්‍රවාද ද එහි දී බලපායි. දැන් සංකල්ප හා ප්‍රවාද යනු අපේ නිර්මාණ වෙයි. එසේ බැලු කළ අපට හුදු නිරීක්‍ෂණ යනුවෙන් කිසිවක්‌ නැත. සෑම නිරීක්‍ෂණයක්‌ මත ම සංකල්ප හා ප්‍රවාද බලපෑම් ඇති කරයි.

ඈත අභ්‍යවකාශයෙහි පෙනෙන යම්කිසිවක්‌ මිරිඟුවක්‌ ද නැත් ද යන්න තීරණය කිරීමට නො හැකි ව ඊනියා යථාර්ථයක්‌ ගැන සිතන්නේ කෙසේ ද? (යථාර්ථය ගැන ද සිතීම හැර කරන්නට වෙනත් දෙයක්‌ නැත) ඊනියා යථාර්ථය පසක්‌ කළ හැකි දෙයක්‌ ද? අභ්‍යවකාශයෙහි ඇතැයි කියන වස්‌තු එසේ පවතින්නේ යෑයි නිගමනය කිරීමේ දී අප යොදා ගන්නේ ඇස හා මනස පමණකි. පාර තොටේ දී පෙනෙන මිරිඟුව වස්‌තු නොවන බව ඒ අදාළ ස්‌ථානයට ගොස්‌ දැනගත හැකි ය. එපමණක්‌ නොව එහිදී අදාළ ස්‌ථානයට ගොස්‌ මනස සමඟ කණ, නාසය, දිව හා ස්‌පර්ශේන්ද්‍රිය ද යොදා ගෙන වස්‌තුවක්‌ නොමැති බව දැනගත හැකි ය.

අභ්‍යවකාශයෙහි වස්‌තු නිරීක්‍ෂණය කිරීමේ දී අපට යොදාගත හැක්‌කේ මනස හා ඇස (දුරේක්‍ෂයේ ද ආධාරය ඇතිව) පමණ ය. මෙහි දී මනස යනුවෙන් හැඳින්වෙන්නේ සාමාන්‍ය මිනිසකුගේ මනස ය. දියුණු කරන ලද මනසක්‌ ඇත්තකුට ඈත සක්‌වල ස්‌පර්ශ කිරීමට වුව ද හැකි යෑයි සිතමි. මුගලන් මහ රහතන් වහන්සේ එවැන්නක්‌ කිරීමට ගිය බවත් බුදුන් වහන්සේ ඒ වැළක්‌වු බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. දියුණු කරන ලද මනසක්‌ ඇත්තකුට දුරේක්‍ෂයක්‌ අවශ්‍ය නොවන බව ද සඳහන් කළ යුතු වෙයි.

මෙතෙක්‌ අප කීවේ අභ්‍යවකාශයෙහි ගුරුත්වජ කාච මගින් ඇති කෙරෙන ප්‍රතිබිම්බ වන බවත් එමෙන් ම මිරිඟු ද තිබිය හැකි බවත් අපේ නිරීක්‍ෂණවල දී ආධාරයට ගන්නා දුරේක්‍ෂවලින් ද කෙරෙන්නේ ප්‍රතිබිම්බ නිර්මාණය කිරීමක්‌ බවත් ය. එබැවින් අප නිරීක්‍ෂණය කරන විශ්වය කෙසේවත් ඊනියා ඇත්ත වස්‌තුවලින් පමණක්‌ සමන්විත වන්නේ නො වේ. අනෙක්‌ අතට අපට නිරීක්‍ෂණය නොවන වස්‌තු ද විශ්වයේ තිබිය හැකි ය. අප විශ්වයට ආකෘති තනන්නේ එවැනි පසුබිමක බව දැනගෙන සිටීම වැදගත් ය. එමෙන් ම අභ්‍යවකාශ මිරිඟු පිළිබඳව මෙතෙක්‌ කිසිවකු සිතා නැති බවත් ඒවා ඇත් ද නැත් ද යන ප්‍රශ්නය පවා පළමුවෙන් නඟන්නේ විදුසර පුවත්පතෙන් බවත් අවධාරණය කළ යුතු ය.

මිරිඟු හා ප්‍රතිබිම්බ අතර වෙනසක්‌ ඇති බවත් අභ්‍යවකාශයේ ගුරුත්වජ කාච මගින් ඇති කෙරෙන ප්‍රතිබිම්බ ඊනියා තාත්වික ප්‍රතිබිම්බ ලෙස නම් කළ හැකි බවත් මතක තබාගත යුතු ය. ගුරුත්වජ කාච මගින් ඊනියා අතාත්වික ප්‍රතිබිම්බ නිර්මාණය විය හැකි ද යන ප්‍රශ්නය තවමත් කිසිවකු නඟා නැත. දක්‍ෂ ශිෂ්‍යයන් වෙතොත් ඔවුන්ට මේ ඔස්‌සේ සිතිය හැකි ය. එහිදී අපේ සංස්‌කෘතියෙහි ඒ පිළිබඳ සඳහන් වන දෑ දැනගැනීම ඉතා වැදගත් වෙයි. අප ප්‍රවාද නිර්මාණය කළ යුත්තේ අපේ සංස්‌කෘතියෙහි ය. මේ පිළිබඳ අපේ ප්‍රවාද තැනීමට අදහස්‌ කරන්නකු පළමුව ගැඹුරින්, ජනප්‍රිය පොතපතින් නොව, සාධාරණ සාපේක්‍ෂතාවාදය හා විශ්වවේදය ද සිංහල බෞද්ධ සාහිත්‍යය ද සිංහල බෞද්ධයන් අතර ඒ සම්බන්ධයෙන් ඇති ජනප්‍රවාද ද හැදෑරිය යුතු ය. එහෙත් එහි දී කෙරෙන්නේ හුදු වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීමක්‌ පමණක්‌ බව අමතක නොකළ යුතු ය. අප යම් යම් නිරීක්‍ෂණ කරන්නේ ඒ වියුක්‌ත පවාද ද ආධාර කරගනිමිනි. එහෙත් ඒ කිසිවක්‌ ප්‍රත්‍යක්‍ෂය නො වේ.

මහාචාර්ය නලින් ද සිල්වා