logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බටහිර විද්‍යාඥයන් ගේ පඹගාල

බර්ක්‌ලි බිෂොප්වරයා හැඳින්වෙන්නේ විඥනවාදියෙකු ලෙස වුව ද ඔහු ද දැනුම ලැබෙන්නේ පංචෙන්ද්‍රිය මත පදනම් ව යෑයි විශ්වාස කෙළේ ය. ඔහුට රතු යනුවෙන් පාටක්‌ විය. එය ඇස නම් ඉන්ද්‍රිය ඔස්‌සේ ලැබෙන්නක්‌ විය. එමෙන්ම ශබ්ද කන නම් ඉන්ද්‍රිය ඔස්‌සේ ද, සුවඳ නාසය ඔස්‌සේ ද, මුදු හෝ තද හෝ බව ස්‌පර්ශයෙන් ද දැනගත හැකි විය. බොහෝ විඥනවාදීන්ට ප්‍රශ්නය වූයේ එසේ එක්‌ එක්‌ ඉන්ද්‍රිය මඟින් ලැබෙන සංජානන නො වී ය. (මේ සංජානන කිසිවක්‌ මනස නොමැති ව නො ලැබෙන බව ද අමතක නො කළ යුතු ය.)

බොහෝ විඥානවාදීන්ට ප්‍රශ්නය වූයේ මල වැනි වස්‌තුවක්‌ සංජානනය කිරීම ය. මල යන්න එක්‌ ඉන්ද්‍රියකින් පමණක්‌ සංජානනය කළ හැකි වස්‌තුවක්‌ නො වේ. එවිට පැන නඟින ප්‍රශ්නය වනුයේ එක්‌ ඉන්ද්‍රියකින් පමණක්‌ සංජානනය කළ නොහැකි වස්‌තුවක්‌ පවතින්නේ කොහේ ද, කෙසේ ද යන්න ය. එක්‌ ඉන්ද්‍රියක්‌ පමණක්‌ ඔස්‌සේ සංජානනය කළ නොහැකි නම් එය සංජානනය කිරීමට ඉන්ද්‍රිය කිහිපයක්‌ අවශ්‍ය වෙයි. එහෙත් අපට එක ම අවස්‌ථාවෙහි ඉන්ද්‍රිය කිහිපයක්‌ යොදාගත හැකි නො වේ.

එසේ නම් මල නම් සංකල්පය නිර්මාණය කළ හැක්‌කේ මනසට පමණක්‌ යෑයි විඥනවාදීන් ලෙස හැඳින්වෙන දාර්ශනිකයන් නිගමනය කරන්නට ඇතැයි සිතමු. මල යන්න මනසෙහි නිර්මාණයක්‌ වන්නේ යෑයි ඔවුන් නිගමනය කිරීමේ ඇති වරදක්‌ නැත. මල යන සංකල්පය නිර්මාණය (සංස්‌කරණය) කිරීමට මනස අවශ්‍ය වෙයි. එසේ ම එක ම ඉන්ද්‍රියකට වත් මනස සමඟ එකතු වී වුව ද මල යන සංජානනය ලබා දිය නො හැකි ය. මල එලෙස හෝ වෙනත් ක්‍රමයකින් හෝ මනසින් නිර්මාණය කෙරෙන්නක්‌ යෑයි බර්ක්‌ලී බිෂොප්වරයා හා විඥනවාදීන් යෑයි කියෑවෙන අනෙක්‌ දාර්ශනිකයන් නිගමනයකට එළැඹී නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ.

පුදුමය නම් ද්‍රව්‍යවාදීන් ලෙස හැඳින්වෙන දාර්ශනිකයන් මල යනුවෙන් අපෙන් ස්‌වාධීන වූ වාස්‌තවික වස්‌තුවක්‌ ඇතැයි නිගමනය කෙළේ කෙසේ ද යන්න ය. ඔවුන් මල දැක්‌කේ කෙසේ ද? ඔවුන්ට මල දැනුණේ කිනම් ඉන්ද්‍රියකට ද? මල යනු මනසින් නිර්මාණය කරගත් වස්‌තුවක්‌ මිස අනෙකක්‌ නො වේ. එහෙත් ඔවුන් කියන්නේ ඔවුන් නැති ව වුව ද මල පවතින බව ය. මල දැකීමට ඉන්ද්‍රියක්‌ නැති ඔවුන් තමන් නැති ව මල පවතින බව දැනගත්තේ කෙසේ ද? ඒ කිනම් ඉන්ද්‍රියකින් ද? සියලු දැනුම ඉන්ද්‍රියන් ගෙන් ආරම්භ වන බව ඔවුන් කියන්නේ මල යන සංකල්පය කිනම් ඉන්ද්‍රියකින් ඇරඹිණි දැයි නො කියමිනි.

මේ ඊනියා ද්‍රව්‍යවාදීන් ඇතැම් විට කියනු ඇත්තේ සියලු දැනුම ඉන්ද්‍රියයන් ගෙන් ඇරඹුණ ද එය ඉන්ද්‍රියයන් ගෙන් ම අවසාන නො වන බව ය. දැනුම ලබාගැනීමේ දී මනස ද ආධාර වන බව ඔවුන් ගෙන් ඇතැමකු කීමට ඉඩ ඇත. මෙහි දී ආධාර වන්නේ ය යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි ඔවුහු පැහැදිලි නො කරති. මනස එහි දී යමක්‌ නිර්මාණය කරන බව ඔවුහු නො කියති. ඔවුන්ට කීමට ඇත්තේ අප සිටියත් නැතත් අපෙන් තොර ව මල සහිත වාස්‌තවික ලෝකයක්‌ පවතින බව ය.

මාක්‌ස්‌වාදීන් දැනටත් මහා උජාරුවෙන් කියන කීමක්‌ ඇත. ඔවුන්ට අනුව දෘශ්‍යමාන යථාර්ථය නම් විද්‍යාවක්‌ අවශ්‍ය නැත. මේ කියමන ඔවුන් කියන්නේ මාක්‌ස්‌වාදය ද විද්‍යාවක්‌ ලෙස සලකමිනි. සමාජ විකාශය තේරුම් ගැනීමට හුදු නිරීක්‍ෂණවලින් පමණක්‌ නො හැකි බව කියන ඔවුහු ඒ නිරීක්‍ෂණ සහිත දෘශ්‍යමානය විනිවිද යන විද්‍යාවක අවශ්‍යතාව අවධාරණය කරති. ඔවුන්ට අනුව ඒ දෘශ්‍යමානය විනිවිද දැකිය හැක්‌කේ ඔවුන් ගේ විද්‍යාව වූ මාක්‌ස්‌වාදය මඟිනි.

එහෙත් මාක්‌ස්‌වාදීන් අමතක කරන කරුණු කිහිපයක්‌ වේ. පළමුවෙන් ම පොපර් පඬිවරයා වැනි බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් මාක්‌ස්‌වාදය විද්‍යාවක්‌ නො වන බව ඔහු ගේ නිර්ණායක අනුව පැහැදිලි කර ඇති බව ය. දෙවනුව මාක්‌ස්‌වාදයේ කියෑවෙන අනාවැකි එකක්‌ වත් සනාථ නො වී තිබීම ය. බටහිර විද්‍යාවේ එක්‌ ලක්‍ෂණයක්‌ නම් අනාවැකි කීමට ඇති හැකියාව යෑයි මාක්‌ස්‌වාදීහු ම කියති. එහෙත් මාක්‌ස්‌වාදයේ ඊනියා අනාවැකි අසත්‍ය වී ඇත.

අද ලෝකයේ කිසි ම රටක ඊනියා කම්කරු පංති රාජ්‍යයක්‌ දකින්නට නැත. කියුබාව යනු මාක්‌ස්‌වාදී සමාජවාදී රාජ්‍යයක්‌ නො ව ඇමෙරිකා එක්‌සත් ජනපදයේ අඥන විදේශ ප්‍රතිපත්තිය නිසා බිහි වූ රාජ්‍යයකි. වත්මන් කියුබන් රාජ්‍යයේ නිර්මාතෘ කස්‌ත්‍රොa බැටිස්‌ටා ගේ රජය පෙරළන විට මාක්‌ස්‌වාදියකු තබා කිසි ම ආකාරයක සමාජවාදියෙක්‌ නො වී ය. ඔහු අදත් මාක්‌ස්‌වාදියෙක්‌ නො වේ. ඔහු ගේ යටතේ කියුබාවේ ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ වත් නැත. කියුබාවේ ඇත්තේ ජනතාවාදී ඒකාධිපතිවාදයකි. මාක්‌ස්‌වාදයට නොහැකි වුව ද අපට අනාවැකියක්‌ කිව හැකි ය. ඒ අප ඊනියා විද්‍යාඥයන් වූ නිසා නො වේ. කස්‌ත්‍රොa වැඩිකල් නො ගොස්‌ මිය යනු ඇත. ඉන් ටික කලකට පසු වත්මන් කියුබාව ද මිය යනු ඇත. ඉන් පසු ඇමෙරිකන් ආධිපත්‍යයට යට වූ කියුබාවක්‌ ඇති වනු ඇත.

එකල රුසියාවේ වඩාත් ම තීක්‍ෂණ මාක්‌ස්‌වාදියා වූයේ ලියොන් ට්‍රොට්‌ස්‌කි ය. එහෙත් ඔහු ගේ අනාවැකිවලට සිදු වී ඇත්තේ කුමක්‌ ද? ඔහු ගේ එක්‌ අනාවැකියක්‌ පමණක්‌ සත්‍ය වී ඇත. ඒ තනි රටක, එනම් එකල රුසියාවේ, සමාජවාදය ගොඩනැඟීමට නොහැකි ය යන්න ය. එහෙත් ඔහු කියා සිටියේ ලෝකයේ ධනවාදය දියුණු රටවල සමාජවාදය ඇති වන බව ය. ඒ අනාවැකිවලට හා බලාපොරොත්තුවලට වැල්ලේ තැනූ මාළිගාවලට අත් වූ ඉරණම ම අත් විය. ඔහු නො දැන සිටිය ද ඔහු ගේ ගෝල බාලයන් වූ ට්‍රොට්‌ස්‌කිවාදීන් තේරුම් නො ගත්ත ද, නො දියුණු තනි රටක සමාජවාදය ගොඩනැඟීමට නො හැකි වූයේ කිසි ම රටක සමාජවාදය ගොඩනැඟීමට නො හැකි බැවින් මිස ඊනියා නො දියුණු රටක සමාජවාදය ගොඩනැඟීමට නො හැකි නිසා නො වේ. අද වන විට කිසි ම ඊනියා දියුණු රටක සමාජවාදය ගොඩනැඟීමේ කිසි ම සූදානමක්‌ නැත.

මාක්‌ස්‌වාදීන් හා මාක්‌ස්‌වාදය ගැන කතා කිරීම කාලය කා දැමීමක්‌ පමණකි. මාක්‌ස්‌වාදය ගැන මෙහි දී සඳහන් කෙළේ දෘශ්‍යමානය යථාර්ථය නම් විද්‍යාවක්‌ අවශ්‍ය නො වේ යන්න සාකච්ජා කිරීමට ය. මාක්‌ස්‌වාදයේ බංකොලොත් බව දැනගැනීමට අවශ්‍ය නම් මා ලියා පළ කර ඇති මාක්‌ස්‌වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය කියවිය හැකි ය. මේ දෘශ්‍යමාන කතාවේ තේරුම කුමක්‌ ද? පළමුවෙන් ම ඉන් කියෑවෙන්නේ දෘශ්‍යමාන ඊනියා යථාර්ථය නො වන බව ය. දෙවනුව ඊනියා යථාර්ථය දැනගැනීමට බටහිර විද්‍යාව, භෞතික විද්‍යාව වේ වා, සමාජ විද්‍යාව වේ වා, අවශ්‍ය බව ය.

අපි මේ කතාව තරමක්‌ විශ්ලේෂණය කරමු. මේ කතාව පිළිගන්නේ මාක්‌ස්‌වාදීන් පමණක්‌ නො වේ. බොහෝ ක්‍ෂෙත්‍රවල බටහිර විද්‍යාඥයෝ ද එය පිළිගනිති. මේ කතාවේ මුල ම ඇත්තේ දෘශ්‍යමාන ඊනියා යථාර්ථය නො වන බව ය. දෘශ්‍යමානය යනු අන් කිසිවක්‌ නො ව අප ඉන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා දැනුම ය. එහෙත් ඒ දැනුම ඊනියා යථාර්ථය නො වන බව බටහිර විද්‍යාඥයෝ ම පිළිගනිති. ඉන් කියෑවෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දැනුම ඊනියා යථාර්ථය නො වන බව ය. ඉන්ද්‍රිය ගෝචර දැනුම අප මුළා කරන බව ද ඉන් කියෑවෙයි. එබැවින් අප ඊනියා යථාර්ථය සොයා ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් ඔබ්බට යා යුතු ය.

මෙහි මූලික වශයෙන් පරස්‌පරයක්‌ නැත. දැනුම ලබාගැනීමේ ආරම්භය ඉන්ද්‍රිය ඇසුරෙන් කෙරුණ ද එහි අවසානය ද ඉන්ද්‍රිය සමඟ ම බැඳී තිබිය යුතු නො වේ. එබැවින් ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් ඔබ්බට ගොස්‌ වෙනත් දැනුමක්‌ "සොයාගැනීමේ" වරදක්‌ නැත. මෙහි දී එවැනි දැනුමක්‌ "සොයාගත" හැකි යෑයි විශ්වාස කෙරෙයි. උදාහරණයක්‌ වශයෙන් මෙහි දී මිරිඟුව ගෙනහැර දැක්‌වෙයි. අපට ඈත ජලය මෙන් ඇසට පෙනුණ ද එහි ඇති ජලයක්‌ නැත. ඒ අසලට ගිය විට එතැන ජලය නොමැති බව අපට වැටහෙයි.

මෙයින් පැවසෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දැනුම අප මුළා කරන බව ය. ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් අප මුළා වන්නේ කොතැනක දී ද, කිනම් අවස්‌ථාවක දී ද යන්න මෙයින් පැහැදිලි නො වේ. ජලය තිබුණේ යෑයි පෙනුණ තැන ජලය නැති බව දැනෙන්නේ ද ඉන්ද්‍රිය පද්ධතියට මිස අන් පද්ධතියකට නො වේ. අදාළ ස්‌ථානයෙහි ජලය ඇති බව හෝ නැති බව අප දැනගන්නේ කෙසේ ද? මේ ප්‍රශ්නයට අප දෙන පිළිතුර කුමක්‌ ද? අප ඉන්ද්‍රිය පද්ධතිය විශ්වාස කරන්නේ කිනම් අවස්‌ථාවන්හි දී ද? විශ්වාස නො කරන්නේ කිනම් අවස්‌ථාවන්හි දී ද? මේ සම්බන්ධයෙන් අපට යොදාගත හැකි නිර්ණායක කවරේ ද?

ඉන්ද්‍රිය ගෝචර දැනුම, එනම් සංජානන, ප්‍රතික්‍ෂේප කර හෝ ඒ තේරුම් ගැනීමට යෑයි කියමින් හෝ ඉන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත ප්‍රවාද නිර්මාණය (සංස්‌කරණය) කිරීම බටහිර විද්‍යාව විසින් අනුගමනය කෙරෙයි. දැන් එසේ වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීමෙන් පසුව බටහිර විද්‍යාඥයන් ඊළඟට කරන්නේ කුමක්‌ ද? ඔවුහු ඒ ප්‍රවාදවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය (Logic) යොදාගනිමින් නිගමනවලට එළඹෙති. ඉන්පසු ඒ නිගමන ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ සමඟ නැවත සන්සන්දනය කරති. දැන් මූලික ප්‍රශ්නය වනුයේ එසේ කරන නිරීක්‍ෂණ අප විශ්වාස කරන්නේ කිනම් පදනමකින් ද යන්න ය.

ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ ඊනියා යථාර්ථය යෑයි නො පිළිගන්නා බටහිර විද්‍යාඥයෝ ඒ යථාර්ථය සෙවීම සඳහා වියුක්‌ත ප්‍රවාද ගොතති. ඒ ගෙතීමක්‌ බව අවධාරණය කළ යුතු ය. එය යම්කිසි විද්‍යාඥයකු ගේ ප්‍රබන්ධයක්‌ මිස වෙනත් දෙයක්‌ නො වේ. දැන් ඒ ප්‍රබන්ධය ඊනියා යථාර්ථය ලෙස පිළිගනිමින් ඉන් ලැබෙන නිගමන නැවතත් ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ සමඟ සංසන්දනය කරමින් තම ප්‍රවාදය යථාර්ථය බවට තහවුරු කිරීමට බටහිර විද්‍යාඥයෝ වෙහෙසෙති.

මෙය පඹගාලක්‌ නො වේ ද? බටහිර විද්‍යාඥයන් පැටලී ඇත්තේ එසේ මෙසේ පඹගාලක නො වේ. එහෙත් ඔවුන් කටයුතු කරන්නේ මෙහි කිසි ම අවුලක්‌ නැති අන්දමට ය. ඔවුහු අඩු ම තරමින් අවුලක්‌ නැති බව ලොවට ඇඟවීමටත් එමඟින් ලොව මුළා කිරීමටත් උත්සාහ කරති.

මහාචාර්ය නලින් ද සිල්වා