logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


රතු පාට හා මල

පසුගිය සතියේ සඳහන් වූ වෙබ් පිටු කියවීමට නම් ප්‍රථමයෙන් ම arXiv.org වෙබ් අඩවියට ගොස්‌ 1008.4213 හා 1006.4712 පිටු ලබාගත යුතු ය. මෙරට සිටින බටහිර විද්‍යාඥයෝ ඒ ලිපි ගැන කිසි ම සැලකිල්ලක්‌ නො දක්‌වති. ඔවුනට අනුව ඒ වැරැදි ය. එහෙත් ඒ බවක්‌ ඔවුහු ප්‍රසිද්ධියේ නො කියති. එයට හේතුව ඔවුන් ඒ කියවා නො තිබීම ය. ඒ නො කියවා ඔවුහු ඒ වැරැදි බව තීරණය කරති. පිටරට සිටින බටහිර විද්‍යාඥයෝ ද සාමාන්‍යයෙන් එවැනි ලිපි නො කියවති. ඔවුන් ගේ උපකල්පනය අනුව අප වැනි රටවලින් නව අදහස්‌, විශේෂයෙන් ම බටහිර විද්‍යාවේ සම්මත මත අභියෝගයට ලක්‌ කරන අදහස්‌ ඉදිරිපත් වේ නම් ඒ වැරැදි ය. ඉඳහිට බටහිර එක්‌ අයෙක්‌ දෙදෙනක්‌ පමණක්‌ එවැනි ලිපිවලට ප්‍රතිචාර දක්‌වති. එහෙත් ඔවුහු ද බටහිර විද්‍යාවේ දැවැන්තයෝ නො වෙති.

බටහිර විද්‍යාවේ සිදු වන්නේ යමක්‌ ඇත්ත දැයි දැනගැනීම නො ව යමක්‌ වැරැදි බව දැනගැනීම යෑයි පසුගිය සතියේ ලිපියේ සඳහන් කෙරිණි. මේ ප්‍රකාශය ඇතැමුන් වැරැදියට තේරුම් ගැනීමට ඉඩ ඇත. එයට හේතුව බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ කාල් පොපර් විද්වතා ද එවැන්නක්‌ කියා තිබීම ය. එහෙත් ඒ එකක්‌ නො ව දෙකකි. මෙය තවදුරටත් පැහැදිලි කළ යුතු ය. පොපර් මහතා කියන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කරන අයුරින් සූත්‍රගත කෙරෙන බව ය. ඔහු බටහිර විද්‍යාව යන වචන යොදා නො ගනියි. ඔහු සඳහන් කරන්නේ ඊනියා විද්‍යාව ගැන ය. ඔහු ඊනියා විද්‍යාව අනෙක්‌ දැනුම්වලින් වෙන් කරන්නේ ඒ නිර්ණායකය යොදා ගනිමිනි.

පොපර් විද්වතාට අනුව අනෙක්‌ දැනුම් පද්ධතීන්හි දැනුම බොරු කළ නොහැකි අයුරින් සූත්‍රගත කෙරී ඇත. ඒ සඳහා ඔහු උදාහරණ වශයෙන් ජ්‍යෙdතිෂය හා මාක්‌ස්‌වාදය ගෙනහැර දක්‌වයි. ඔහු පෙන්වා දෙන්නේ මාක්‌ස්‌වාදයේ හා ජ්‍යෙdතිෂයේ අනාවැකි බොරු කළ නොහැකි බව ය. එහි යම් අනාවැකියක්‌ නො සිදුවුව හොත් එසේ නො වූයේ ඇයි ද යන්න ද තේරුම් කර දිය හැකි යෑයි පොපර් පඬිවරයා කියයි. එහෙත් ඔහු විද්‍යාව යනුවෙන් හඳුන්වන ක්‍ෂෙත්‍රයෙහි එසේ නො වේ. එහි දී යම් අනාවැකියක්‌ වැරැදුණ හොත් ඒ සමඟ ප්‍රවාදය කෙරෙහි පැවැති විශ්වාසය ද නැති ව යන්නේ යෑයි ඔහු කියයි. එමෙන් ම අනාවැකිය

වැරැදුණේa ඇයි දැයි නැවත ප්‍රවාදය ඇසුරෙන් ම තේරුම් ගැනීමේ හැකියාවක්‌ ද පොපර් මහතාට අනුව බටහිර විද්‍යාවේ නැත.

පොපර් විද්වතාට අනුව බටහිර විද්‍යාවේ සිදු වන්නේ යම් ප්‍රවාදයක්‌ නිවැරැදි බව පෙන්වීම නො ව ඒ ප්‍රවාදය අසත්‍ය බව පෙන්වීමට පරීක්‍ෂණ කිරීම ය. ඔහුට අනුව බටහිර විද්‍යාවේ සත්‍ය වූ ප්‍රකාශන නැත. ඇත්තේ අසත්‍යකරණයට ලක්‌ කෙරිය හැකි අයුරින් සූත්‍රගත කෙරුණු ප්‍රවාද ය. බටහිර විද්‍යාවේ යම් ප්‍රවාදයක්‌ පරීක්‍ෂණ රාශියකින් ම තහවුරු වුව ද ඊළඟ පරීක්‍ෂණයෙන් අසත්‍ය බව නිගමනය කෙරීමට විශාල ඉඩකඩක්‌ ඇත. ඔහු එවැනි ප්‍රකාශයක්‌ සඳහා උදාහරණයක්‌ ලෙස සියලු කපුටෝ කළු පාට වෙති යන ප්‍රකාශය ඉදිරිපත් කරයි. අප දැක ඇත්තේ කළු පාට කපුටන් පමණක්‌ බැවින් මේ ප්‍රකාශය සත්‍ය යෑයි යමකුට සිතෙනු ඇත. එහෙත් පොපර් පඬිවරයා පවසන්නේ ඊළඟ නිරීක්‍ෂණයෙහි දී සුදු පාට හෝ වෙනත් පාටක්‌ හෝ ඇති කපුටකු දක්‌නට ලැබුණ හොත් සියලු කපුටෝ කළු වෙති යන්න වැරැදි ප්‍රකාශයක්‌ වෙයි. ඒ ප්‍රකාශය අසත්‍ය වෙයි.

පොපර් විද්වතාට අනුව බටහිර විද්‍යාවේ ඇත්තේ හා තිබිය යුත්තේ සත්‍ය ප්‍රකාශන නො ව අසත්‍යකරණයට ලක්‌ කළ හැකි ප්‍රකාශන ය. එහෙත් මා පසුගිය සතියේ ප්‍රකාශ කළේ ඒ කරුණ ම නො වේ. මෙහි දී අවධාරණය කළ යුතු කරුණක්‌ නම් පොපර් විද්වතා ගේ අසත්‍යකරණය ද දැන් බටහිර ම ප්‍රතික්‍ෂේප වී ඇති බව ය. විශේෂයෙන් ම කුන් හා ෆෙයරාබන්ඩ් වැනි දාර්ශනිකයන් අතින් ඒ මතය ප්‍රතික්‍ෂේප වී ඇත. එසේ ප්‍රතික්‍ෂේප වී ඇත්තේ කිනම් කරුණු පදනම් කෙරීගෙන ද යන්න අපි මෙහි දී සාකච්ජා කිරීමට අදහස්‌ නො කරමු. ඒ සඳහා උනන්දුවක්‌ ඇත්තන්ට කුන් හා ෆෙයාරාබන්ඩ් විද්වතුන් ගේ ද තවත් අය ගේ ද පොතපත කියවිය හැකි ය.

බටහිර විද්‍යාවේ ප්‍රවාද පිළිබඳව අප කියන්නේ වෙනත් ම කරුණකි. බටහිර විද්‍යාවේ ප්‍රවාද ඇත්ත දැයි අපට දැනගැනීමට ක්‍රමයක්‌ නැත. මෙහි දී ඇත්ත යනු කුමක්‌ ද යන ප්‍රශ්නයට පළමුවෙන් ම පිළිතුරු දීමට සිදු වෙයි. පවත්නා පරම සත්‍යයක්‌, එනම් අපෙන් තොර ව පවත්නා සත්‍යයක්‌ නැතැයි යන්න අපේ දර්ශනයෙහි පළමු සටහනක්‌ වෙයි. දැනුම මිනිසා ගේ හෝ අදාළ සත්ත්වයා ගේ හෝ මනසට හා ඉන්ද්‍රිය පද්ධතියට (අවශ්‍ය නම් මනස ද ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට) සාපේක්‍ෂ ය. එපමණක්‌ නො ව සංස්‌කෘතියට ද සාපේක්‍ෂ ය. ඒ ඒ සත්ත්වයා දැනුම නිර්මාණය (සංස්‌කරණය) කරයි. එසේ කරන්නේ ද මනස ද ඇතුළු ඉන්ද්‍රියවලට හා සංස්‌කෘතියට සාපේක්‍ෂව ය. එයට අමතරව බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්‌ත දැනුමකි.

අපෙන්, එනම් නිරීක්‍ෂකයා ගෙන් තොර වූ යථාර්ථයක්‌, වාස්‌තවිකත්වයක්‌, බාහිර ලෝකයක්‌ ආදිය නැති වුවත් සංයුක්‌ත ව අප ලබා ගන්නා දැනුමක්‌ ඇත. ඒ දැනුම පංෙච්න්ද්‍රියන් හා මනස එක්‌ වී නිර්මාණය කෙරෙන්නකි. එහෙත් එහි ද යම් වියුක්‌ත බවක්‌ නැතිවා නො වේ. අප කලින් සඳහන් කළ පරිදි අපට පාට පෙනෙයි. අපට තද බව දැනෙයි. එසේත් නැත්නම් මුදු මොළොක්‌ බවක්‌ දැනෙයි. ගඳ සුවඳ දැනෙයි. රස බව දැනෙයි. විවිධ ශබ්ද ඇසෙයි. එහෙත් ඒ සෑම දෙයක්‌ ම නිරීක්‍ෂණය වන්නේ, එසේත් නැත්නම් දැනෙන්නේ මනසට ය. පංෙච්න්ද්‍රියන්ට දැනෙන රසක්‌ හෝ ගඳක්‌ සුවඳක්‌ හෝ නැත. පංචෙන්ද්‍රියන් හා මනස එකතු වීමෙන් අපට ඒ සියල්ල දැනෙයි.

බටහිර දාර්ශනිකයන්ට මුහුණ පෑමට සිදු වී ඇති ප්‍රශ්නවලට මුල පංචෙන්ද්‍රිය හා මනස වෙන වෙන ම ගැනීම ය. ඔවුහු ඒ එකට නො ගනිති. බටහිර ද්‍රව්‍යවාදිsහු ද විඥනවාදීහු ද මෙහි දී එකිනෙකා ගෙන් වෙනස්‌ නො වෙති. බටහිර පශ්චාත්නූතනවාදී දාර්ශනිකයෝ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට උත්සාහ දරති. එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙන් එයට අනුබලයක්‌ නො ලැබෙයි. බටහිරයන්ට මනස හා පංෙච්න්ද්‍රිය වෙනස්‌ ව සලකන තාක්‌ මේ ගැටලුවට විසඳුමක්‌ නැත.

පංචෙන්ද්‍රියන්ට මනස නොමැති ව රසක්‌ හෝ සුවඳක්‌ හෝ නො දැනෙන මුත් මනසට දැනුම ලබාගැනීමට පංෙච්න්ද්‍රියන් අවශ්‍ය ම නො වේ. වෙනත් වචනවලින් කිව හොත් මනසට පංචෙන්ද්‍රියන් ගෙන් තොර ව දැනුම නිර්මාණය කරගත හැකි ය. අපි මනසින් නොයෙකුත් දේ නිර්මාණය කරමු. අපි දිව්‍ය ලෝක ගැන කතා කරමු. මේ දිව්‍ය ලෝක මනස දියුණු කරගත්තවුන් දැකගන්නට ඇත. එහෙත් එහි දී සාමාන්‍ය ඇස උපයෝගී නො කෙරෙයි. එසේත් නැත්නම් දිව්‍ය ලෝක ගැන අප අසා ඇති තොරතුරු මත පදනම් වී අපි මනසෙහි දිව්‍ය ලෝක මෙසේ විය හැකි යෑයි සිතන්නෙමු.

දිව්‍ය ලෝකය අපේ පංචනේද්‍රියන්ට ගෝචර වන්නක්‌ නො වේ. ඒ අපේ මනසට පමණක්‌ ගෝචර වන්නකි. එහි දී මනස පංචෙන්ද්‍රියන් ගේ ආධාරයෙන් මෙලොව නිර්මාණය කර ඇති වස්‌තු ද ප්‍රයෝජනයට ගන්නවා නිසැක ය. අපි පරසතු මල් සිතෙන් මවා ගනිමු. එහෙත් එහි දී අපට මෙලොව දැක ඇති මල් ප්‍රයෝජනවත් වෙයි. එහෙත් අප පරසතු මල් නිර්මාණය කරගන්නේ තනි මනසින් මිස පංෙච්න්ද්‍රියන් ඇසුරු කරගත් මනසකින් නො වේ. එහෙත් නෙළුම් මලක පාට පිළිබඳ සංකල්පය, අපට ලැබෙන්නේ මනසින් පමණක්‌ නො ව පංචෙන්ද්‍රියන් ද සහභාගී කරගත් මනසකිනි. රතුපාට මලක්‌ පිළිබඳ සංකල්පයේ රතු පාට යන්න ද අපට එලෙසින් ම මනස හා පංචෙන්ද්‍රිය එකතු වීමෙන් ලැබෙන්නකි. එහෙත් මෙය තවදුරටත් විග්‍රහ කළ යුතු වෙයි.

රතු පාට යන්නෙහි රතු ගුණය මනසෙන් තොර ව පවත්නා එකක්‌ නො වේ. රතු පාට යන්න සංකල්පයකි. ඒ සංකල්පය නිර්මාණය වන්නේ ඇස හා මනස එක්‌ වීමෙනි. කිසි ම සංජානනයක්‌ සංකල්පයකින් තොර ව ඇති නො වේ. අප බොහෝ විට කියා ඇති පරිදි සංකල්පයක්‌ සඳහා වචන අවශ්‍ය නො වේ. අවශ්‍ය වන්නේ චිත්ත රූපයක්‌ පමණකි. එබැවින් භාෂාවක්‌ නො දන්නා ළදරුවන්ට මෙන් ම මිනිසුන් නො වන සතුන්ට ද සංකල්ප ඇති කර ගත හැකි ය. රතු පාට යන්න එසේ මනස හා ඇස එකතු වීමෙන් තනාගන්නා සංකල්පයක්‌ වුවත් රතුපාට මලේ රතු යන්න මනස හා පංචෙන්ද්‍රිය එකතු වීමෙන් ලැබෙන සංකල්පයක්‌ වුවත් මල යන්න මනසින් පමණක්‌ තනාගන්නා සංකල්පයකි.

දැන් මෙහි දී බොහෝ දෙනකුට ප්‍රශ්න ඇති වනු නිසැක ය. රතු පාට මලේ රතු යන සංකල්පය මනස හා ඇස එකතු වීමෙන් තැනෙන්නේත් මල යන්න මනසින් පමණක්‌ තැනෙන්නේත් ඇයි ද යන්න ඉන් ප්‍රධාන ම ප්‍රශ්නය වෙයි. මලක විවිධ ගුණ වෙයි. රතු පාට යන්න ඉන් එකකි. එය ඇසට දැනෙයි. සුමුදු බව මලෙහි තවත් ගුණයකි. ඒ ගුණය ස්‌පර්ශයට දැනෙයි. මල අපට සුමුදු වුව ද කෘමියෙකුට සුමුදු නො වන්නේ යෑයි සිතිය හැකි ය. මල සිදුරු කිරීමට හැකි තුඩක්‌ සහිත කෘමීන්ට මල සමහර විට සුමුදු යෑයි දැනෙනු ඇත. එහෙත් එවැනි හැකියාවක්‌ ගෙන දෙන ඉන්ද්‍රිය නැති කෘමීන්ට මල තද වස්‌තුවක්‌ වන්නේ යෑයි සිතිය හැකි ය. එසේත් නැත්නම් තද යන්න ඔවුන්ට අරුත් සුන් විය හැකි ය. මලෙහි එවැනි ගුණ ඒ ඒ ඉන්ද්‍රිය ඔස්‌සේ අපට ලැබුණ ද මල යන සංකල්පය අපට ලැබෙන්නේ කිනම් ඉන්ද්‍රියයක්‌ මඟින් ද? ඒ ඇස හෝ නාසය හෝ ස්‌පර්ශය හෝ විය නො හැකි ය. තනි ඉන්ද්‍රියයක්‌ මඟින් අපට මල යන සංකල්පය නො ලැබේ. තනි ඉන්ද්‍රියයකට මනස සමඟ එකතු වී මල යන සංකල්පය නිර්මාණය කළ නො හැකි ය. මල යන්න ඉන්ද්‍රිය එකක්‌ නො ව කිහිපයක්‌ මනස සමඟ එකතු වී නිර්මාණය කරන සංකල්පයක්‌ යෑයි කිසිවකු කියනු ඇත. එහෙත් ඉන්ද්‍රිය කිහිපයක්‌ මනස සමඟ එකතු වී සංකල්පයක්‌ නිර්මාණය කිරීම නො කළ හැක්‌කකි.

මලේ පාට, එහි සුවඳ, එහි තද බව ආදිය අප එක විට අත්දකින ගුණ නො වේ. එසේ වුවත් අපට මතකයක්‌ ඇති බැවින් ඒ ගුණ අත්දැකීමෙන් පසු ඒවා මතකයෙහි රැඳේ. කිනම් අයුරකින් සැලකුවත් මතකය යනු මනසේ ක්‍රියාකාරීත්වයක්‌ වෙයි. ඒ ගුණ එකතු කර මනස විසින් මල යන සංකල්පය නිර්මාණය කෙරෙයි. මල යනු තනිකර ම මනසෙහි නිර්මාණයක්‌ වන්නේ එබැවිනි. එහෙත් රතු මල යෑයි කී විට එහි රතු යන්න මනස හා ඇස එකතු වී නිර්මාණය කෙරෙන්නකි. එහෙත් මල යන්න එසේ නො වේ. රතුපාට මල යන්නෙහි රතු පාට යන්න හා මල අතර වෙනසක්‌ ඇත. මෙහි දී අප උත්සාහ ගෙන ඇත්තේ ඒ වෙනස විස්‌තර කිරීමට ය. ඒ කෙතරම් සාර්ථක දැයි නො දනිමු. එහෙත් මේ වෙනස බර්ක්‌ලී බිෂොප්වරයා හා විඥනවාදීන් ලෙස හඳුන්වනු ලබන්නෝ යම් ප්‍රමාණය තේරුම් ගත් හ. ඔවුන් තේරුම් නො ගත් කරුණ නම් රතු පාට යන්න ද මනස සම්බන්ධ වී නිර්මාණය කෙරෙන්නක්‌ බව ය.

මහාචාර්ය නලින් ද සිල්වා