logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ඊනියා යථාර්ථය මැනීම

රැෂනලිසම් (Rationalism) යන්නට සිංහලෙන් පාරිභාෂික වචන දෙකක්‌ ඇත. එකක්‌ හේතුවාදය වන අතර අනෙක බුද්ධිවාදය වෙයි. ඉංගිරිසියෙන් කීව ද රැෂනලිසම් යන්නෙහි ඒ අර්ථ දෙක ම ඇත. අද සාමාන්‍යයෙන් රැෂනලිසම් යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ හේතුවාදය ය. එහෙත් එදා ඉන් අදහස්‌ වූයේ බුද්ධිවාදයකි. ලංකාවේ ඇතැම්හු රැෂනලිසම් යන්නට යථාර්ථවාදය යෑයි කියති. ඔවුන් අතර ඊනියා යථාර්ථවාදීහු ද වෙති. එහෙත් මෙය වැරැදි පරිවර්තනයකි. යථාර්ථවාදය යනු ඉංගිරිසියෙන් රියෑලිසම් (realism) වෙයි. යථාර්ථවාදියා යන්න රියෑලිස්‌ට්‌ (realist) යන්නෙහි පරිවර්තනයකි.

යථාර්ථවාදයට අනුව අප (එනම් නිරීක්‍ෂකයන්) හිටියත් නැතත් ලෝකයක්‌ (විශ්වයක්‌) පවතියිs. එහි ද්‍රව්‍ය හා විකිරණ හා වෙනත් සතුන් ද ඇත. ඉතා මෑතක්‌ වන තුරු ම බටහිර විද්‍යාඥයන්ට අනුව මනසක්‌ තිබුණේ මිනිසුන්ට පමණ ය. අනෙක්‌ සතුන් හා ද්‍රව්‍ය අතර වෙනසක්‌ නො වී ය. එහෙත් ඉතා මෑතක සිට ඇතැම් බටහිර විද්‍යාඥයෝ ඇතැම් සතුන්ට මනස්‌ ඇති බව පිළිගනිති. ඒ කෙසේ වෙතත් යථාර්ථවාදීන්ට අනුව නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කිරීමට පෙර ද ද්‍රව්‍ය හා විකිරණවලින් සැදි ලෝකය පවතියි.

අයින්ස්‌ටයින් හා බෝර් විද්වතුන් අතර පැවැති සුප්‍රසිද්ධ විවාදවල දී අයින්ස්‌ටයින් විද්වතා එක්‌තරා ආකාරයකට යථාර්ථය යන්න අර්ථ දැක්‌වී ය. ඔහු කියා සිටියේ අපට යම් වස්‌තුවක යම් ගුණයක අගය ඒ මැනීමට පෙර කිව හැකි නම් හා මැනීමෙන් පසු අපට ඒ අගය එම ගුණයට ඇති බව තහවුරු වන්නේ නම් ඉන් යථාර්ථයක්‌ ගැන කියෑවෙන බව ය. යම් ද්‍රව්‍යයක යම් ගුණයක අගය මැනීමෙන් තොර ව කිව හැකි නම් ඉන් කියෑවෙන්නේ අපෙන් තොර ව, අපේ නිරීක්‍ෂණයෙන් තොර ව ඒ අගය එම ද්‍රව්‍යයෙහි අදාළ ගුණයට ඇති බව ය. ඒ අගය පසුව නිරීක්‍ෂණය කළ හැකි නම්, එනම් ඒ අගය මැනගත හැකි නම්, අපෙන් තොර ව යථාර්ථයක්‌ පවතින බව තහවුරු වෙයි. අයින්ස්‌ටයින් විද්වතා කියා නොමැති නමුත් කිසිවකුට ඉන් යථාර්ථය පවතින බව පමණක්‌ නො ව යථාර්ථය දැනගත හැකි බවත් කිව හැකි ය.

අයින්ස්‌ටයින් විද්වතා මේ අර්ථ දැක්‌වීම කෙළේ බෝර් පඬිවරයා ගේ මතිමතාන්තරවලට එරෙහි ව ය. බෝර් විද්වතා කියා සිටියේ නිරීක්‍ෂකයා යමක්‌, යම් ද්‍රව්‍යයක යම් ගුණයක්‌, ආදී වශයෙන් නිරීක්‍ෂණය කිරීමට පෙර ඒ ගැන කිසිවක්‌ කිව නො හැකි බව ය. මෙහි දී හොඳ ම උදාහරණ වනුයේ සුප්‍රසිද්ධ ෂ්රෝඩිංගර් ගේ බළලා සහ ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ය. ෂ්රෝඩිංගර් ගේ බළලා පිළිබඳ චින්තා පරීක්‍ෂණයෙහි (thought experiment) බෝර් සහ හයිසන්බර්ග් විද්වතුන් ගේ කෝපන්හේගන් විවරණයට අනුව බළලා ජීවත් වන මෙන් ම මිය ගොස්‌ ද ඇති අවස්‌ථාවක්‌ තිබිය හැකි බව ෂ්රෝඩිංගර් විද්වතා කියා සිටියේ ය.

එහි දී බෝර් විද්වතා කියා සිටියේ නම් නිරීක්‍ෂකයකු ඒ නිරීක්‍ෂණය කරන තෙක්‌ බළලා ජීවත් ව සිටින්නේ ද මිය ගොස්‌ ද ආදී වශයෙන් කිසිවක්‌ කිව නො හැකි බව ය. එනම් අපේ පරීක්‍ෂණවලින් තොර ව ලෝකයක පැවැත්මක්‌, යථාර්ථයක්‌, ගැන කතා කිරීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක්‌ බව බෝර් විද්වතා පැවසී ය. ෂ්රෝඩිංගර් පඬිවරයා තම චින්තා පරීක්‍ෂණයෙන් පෙන්වා දීමට තැත් කෙළේ නම් ගුණයක්‌ මැන්නත් නැතත් එහි අගය කල් තබා ම ප්‍රකාශ කළ හැකි විය යුතු බව ය.

ඒ සඳහා අයින්ස්‌ටයින් විද්වතා තවත් චින්තා පරීක්‍ෂණයක්‌ යොදා ගත්තේ ය. අයින්ස්‌ටයින් පඬිවරයා තරම් චින්තා පරීක්‍ෂණ යොදා ගත්තෙක්‌ නො වී ය. ඔහු එක්‌ විට විකිරණයෙන් ඇති වූ අංශූ දෙකක්‌ එම චින්aතා පරීක්‍ෂණයෙහි යොදා ගත්තේ ය. ඒ අංශූ දෙකෙහි බැමුම (Spin) සැලකුව හොත් අංශූ දෙක ඇති වීමට පෙර බැමුම ශූන්‍ය බැවින් එක්‌ අංශුවක බැමුම දැනගත හොත්, මැන්නොත් අනෙක්‌ අංශුවෙහි බැමුම මැනීමක්‌ නො කර ම කිව හැකි ය. එයට හේතුව දෙවැනි අංශුවෙහි බැමුම පළමු අංශුවෙහි බැමුමට ප්‍රතිවිරුද්ධ එහෙත් විශාලත්වයෙන් සමාන විය යුතු බැවිනි.

එහි දී බෝර් විද්වතා කියා සිටියේ එසේ අංශු දෙක වෙන වෙන ම ගැනීම වරදක්‌ බව ද අංශු දෙක සමස්‌තයක්‌ ලෙස ගත යුතු බව ද එක්‌ අංශුවක යම් ගුණයක වෙනසක්‌ කරන විට (එය මනින විට) අනෙක්‌ අංශුවෙහි ද අදාළ වෙනස ඒ ක්‍ෂණයෙහි ම සිදු වන බව ය. එහෙත් අයින්ස්‌ටයින් පඬිවරයා ඒ පැහැදිලි කිරීම සමඟ එකඟ නො වී ය. ඔහු කියා සිටියේ එසේ ක්‍ෂණිකව අනෙක්‌ අංශුවට බලපෑම් ඇති කිරීමට තම සාපේක්‍ෂතාවාදයෙන් ඉඩ නො ලැබෙන බව ය. සාපේක්‍ෂතාවාදයට අනුව එක්‌ අංශුවකට අනෙක්‌ අංශුවට යම් සන්නිවේදනයක්‌ කිරීමට සුළු වේලාවක්‌ හෝ ගත වන බව ය.

එයට හේතුව සාපේක්‍ෂතාවාදයට අනුව ආලෝකයේ ප්‍රවේගයට වැඩි වේගයකින් සන්නිවේදනයක්‌ නො කළ හැකි බැවිනි. ආලෝකයේ වේගයෙන් සන්නිවේදනය කළ ද එක්‌ අංශුවක සිට තවත් අංශූවකට යම් තොරතුරක්‌ යෑවීමට යම් කාලයක්‌ ගත වෙයි. එබැවින් අයින්ස්‌ටයින් විද්වතා පළමු අංශුව තමා ගේ බැමුම මැන ඇති බව දෙවැනි අංශුව වෙත දැන්වීම ක්‍ෂණිකව සිදු කළ හැකි ය යන්න ප්‍රතික්‍ෂේප කෙළේ ය. මෙහි දී යම් සන්නිවේදනයක්‌ සිදු වන බව පැහැදිලි ය. පළමු අංශූව තම බැමුම මැන ඇති බව දෙවැනි අංශූවට දැන්විය යුතු ය. දෙවැනි අංශුව තම බැමුම අදාළ ආකාරයට සකස්‌ කරගන්නේ ඉන් පසුව ය.

අංශුවලට පණ ඇති බවක්‌ හෝ අංශූ දැනුවත් (සවිඥනික) ව එකිනෙක සමඟ සන්නිවේදනය කර ගන්නේ යෑයි නො සිතිය යුතු ය. මෙහි දී සිදු වන්නේ එක්‌ අංශුවක බැමුම මැනගත් විගස ඒ අංශූවෙන් යම් සංඥවක්‌ මුදා හැරීම ය. ඒ සංඥව දෙවැනි අංශුවට ලැබීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දෙවැනි අංශූවෙහි බැමුම ද අදාළ පරිදි සකස්‌ වෙයි. මේ සංඥ යෑවීම ලබාගැනීම සකස්‌ වීම ආදියට යම් කාලයක්‌ ගත වන බව අයින්ස්‌ටයින් විද්වතා කියා සිටි අතර බෝර් පඬිවරයා ගේ අදහස වූයේ එතැන අංශූ දෙකක්‌ නොමැති බවත් ඒ එක්‌ පද්ධතියක්‌ ලෙස ක්‍රියා කරන බවත් ක්‍ෂණයක දී දෙවැනි අංශූවෙහි ද බැමුම සකස්‌ වන බවත් ය. ක්‍ෂණයක දී සිදු වන්නේ යෑයි කියන ඒ ක්‍රියාවලිය අයින්ස්‌ටයින් විද්වතා විසින් හඳුන්වනු ලැබුයේ දුරක දී සිදු වන අවතාරමය ක්‍රියාවක්‌ (Spooky action at a distance) ලෙස ය.

මේ ක්‍රියාවලිය නිරාකරණයට ලක්‌ කිරීමට ඇස්‌පේ නම් ප්‍රංශ විද්‍යාඥයෙක්‌ 1982 දී පර්යේෂණයක්‌ කෙළේ ය. ඔහු එක්‌ අංශුවක බැමුම මැන ඒ අංශුවෙහි සිට දෙවැනි අංශුවට ආලෝකයේ වේගයෙන් යවන ලද සංඥවක්‌ දෙවැනි අංශුවට ලැබීමට පෙර දෙවැනි අංශුවෙහි බැමුම මැන්නේ ය. එහි දී ඔහු ලබාගත් ප්‍රතිඵලය අනුව දෙවැනි අංශුවේ ද බැමුම බෝර් විද්වතා කී පරිදි ම සකස්‌ වී තිබිණි. අයින්ස්‌ටයින් විද්වතා කල්පනා කළ ආකාරය නිවැරැදි නො වන බව එහි දී වැටහිණි. මෙහි දී සිදු වන්නේ බෝර් පඬිවරයා කී ආකාරයෙන් ම අංශූ දෙක එක්‌ පද්ධතියක්‌ ලෙස ක්‍රියා කිරීම විය හැකි ය. එහෙත් ඒ වෙනත් දෙයක්‌ ද විය හැකි ය. එනම් වෙනත් අර්ථ විවරණයක්‌ ඒ සඳහා ලබා දිය හැකි කමක්‌ ද වෙයි. ඒ කුමක්‌ දැයි අපි නො දනිමු. අපට දැනට කිව හැක්‌කේ අයින්ස්‌ටයින් විද්වතා වැරැදි බව පමණ ය.

බටහිර විද්‍යාවේ සි දුවන්නේ යමක්‌ ඇත්ත දැයි දැනගැනීම නො ව යමක්‌ වැරැදි බව දැන ගැනීම ය. අද අපි නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය වැරැදි බව දන්නෙමු. එහෙත් අයින්ස්‌ටයිනීය ගුරුත්වාකර්ෂණය නිවැරැදි යෑයි නො දනිමු. මා අදහස්‌ කරන ආකාරයට අප කිසි දිනෙක අයින්ස්‌ටයිනීය ගුරුත්වාකර්ෂණය හෝ අද දවසේ බටහිර විද්‍යාවේ යොදා ගැනෙන කදිම ප්‍රවාදයක්‌ හෝ නිවැරැදි දැයි දැනගැනීමට නො හැකි ය. මේ ප්‍රවාද සියල්ල බටහිර විද්‍යාඥයන් විසින් යම් යම් ප්‍රපංච තේරුම් ගැනීම සඳහා සකස්‌ කෙරී ඇති කතන්දර පමණ ය.

ඒ කතන්දර හා කතන්දර පමණක්‌ වන්නේ එහි ඇති වියුක්‌ත බව නිසා ය. මේ කතන්දර නිවැරැදි නො වුණ ද සන්නිකර්ෂණව ඉන් සංසිද්ධි විස්‌තර කළ හැකි වෙයි. පොල් ගෙඩි පොළොවට වැටෙන්නේ ඇයි ද යන්න, පොළොව සහ ග්‍රහ වස්‌තු ඉර වටේ යන්නේ ඇයි ද යන්න ආදිය නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙන් තේරුම් ගත හැකි ය. එහෙත් ග්‍රහ වස්‌තු හරියට ම ඉර වටා අචල ඉලිප්සවල ගමන් කරන්නේ නැත්තේ ඇයි දැයි නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙන් තේරුම් ගත හැකි නො වේ. ග්‍රහ වස්‌තු ඉර වටා ගමන් කරන්නේ අචල ඉලිප්සවල නො ව එක්‌තරා ආකාරයකින් ගත හොත් භ්‍රමණය වන ඉලිප්සවල ය. එවැනි ඉලිප්ස නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයේ අවකල සමීකරණවලින් ලබාගත නො හැකි ය.

එහෙත් එලෙස භ්‍රමණය වන ඉලිප්ස අයින්ස්‌ටයිනීය සමීකරණවලින් ලබාගත හැකි ය. එයින් කියෑවෙන්නේ අයින්ස්‌ටයිනීය ප්‍රවාදය හා අදාළ අවකල සමීකරණ නිවැරැදි බව නො වේ. විශ්වය ප්‍රසාරණය වන බව අයින්ස්‌ටයිනීය ප්‍රවාදයෙන් කිව හැකි නමුත් එය මේ වකවානුවේ විශ්වය ත්වරණයක්‌ සහිතව ප්‍රසාරණය වන්නේ ඇයි දැයි ඒ ප්‍රවාදයෙන් ලබාගත හැකි නො වේ. අයින්ස්‌ටයිනීය ප්‍රවාදය ද නිවැරැදි නො වන බව පැහැදිලි ය. වියුක්‌ත ප්‍රවාදවලින් සංයුක්‌ත සංසිද්ධි තේරුම් ගැනීමට උත්සාහ කිරීම ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලීමකි. එහෙත් සන්නිකර්ෂණව සංයුක්‌ත සංසිද්ධි විස්‌තර කිරීමට බටහිර විද්‍යාවේ වියුක්‌ත ප්‍රවාද උපයෝගී කරගත හැකි ය.

ෂ්රෝඩිංගර් ගේ බළලා සම්බන්ධ චින්aතා පරීක්‍ෂණය පිළිබඳව හා ක්‌වොන්ටම් යාන්ත්‍රිකයෙහි විවරණ හා ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ගැන අප විසින් ඉලෙක්‌ට්‍රොaන සඟරාවක (e- Journal) පළ කෙරුණු ලිපි දෙකක්‌ පිළිවෙළින් ෂ්රෝඩිංගර් ගේ බළලා (Schrodinger's cat) හා වෙනත් සත් බවක ක්‌වොන්ටම් භෞතික විද්‍යාව (Quantum physics in different antology) මාතෘකා යටතේ arXiv.1008.4213 හා arXiv.1006.4712 වෙබ් පිටුවල පළ වී ඇත. එහි බළලා පිළිබඳව ෂ්රෝඩිංගර්, අයින්ස්‌ටයින්, බෝර් ආදී විද්වතුන් ගේ අර්ථ නිරූපණ වැරැදි බව ද බළලා එක්‌කෝ ජීවත් විය යුතු බව හෝ මිය ගොස්‌ ඇති බව හෝ කිව හැකි බව පෙන්වා දී ඇති අතර සුප්‍රසිද්ධ ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙහි ඉලෙක්‌ට්‍රොaනය සිදුරු දෙක අතරින් ම යා යුතු බව ද තරංග ප්‍රවාදය වැරැදි බව ද පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් කරුණු පසුගිය වසර හයක පමණ කාලයක්‌ තිස්‌සේ කැලණිය විශ්වවිද්‍යාලයයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදයෙහි පත්‍රිකා මගින් ඉදිරිපත් කර ඇති නමුත් හා කැලණිය විශ්වවිද්‍යාලයට අවුරුදු පනහක්‌ පිරීම නිමිත්තෙන් පළ කරන ලද පත්‍රිකා සංග්‍රහයෙහි පත්‍රිකාවක්‌ ලෙස පළ කර ඇති නමුත් මෙරට භෞතික විද්‍යාඥයන් ගෙන් ඒ සඳහා කිසි ම ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

මහාචාර්ය නලින් ද සිල්වා