logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


රතු පාට මල්

පශ්චාත්නූතනවාදී සාපේක්‍ෂතාව ගැන සාකච්ඡා කිරීම පසුවට කල් තබමු. දැනට ඒ ගැන පැවසීමට ඇත්තේ ඒ අංගවිකල වූ සාපේක්‍ෂතාවක්‌ පමණක්‌ බව ය. බටහිර විද්‍යාවේ අධිපතිවාදී දර්ශනය බවට පත් වී ඇත්තේ ඊනියා වාස්‌තවික යථාර්ථවාදය ය. එහි විවිධ ප්‍රභේද තිබිය හැකි ය. එහෙත් අපෙන් තොර ව ලෝකයක්‌ (විශ්වයක්‌) පවතින බවත් ඒ ලෝකය වාස්‌තවික නියමවලට අනුව ක්‍රියා කරන බවත් ඒ නියම මිනිසුන්ට තම ඉන්ද්‍රිය පද්ධතිය උපයෝගී කරමින් අවබෝධ කරගත හැකි බවත් බටහිරයෝ විශ්වාස කරති.

මුලික වශයෙන් ගත් කල මේ අනුභූතිවාදයකි (Empiricism) ලෝකය ගැන දැනගැනීම ඇරඹෙන්නේ ඉන්ද්‍රියයන් මඟිනි. මෙහි දී මනස ගැන එතරම් දෙයක්‌ නො කියෑවෙන බව අවධාරණය කළ යුතු වෙයි. බටහිර දැනුමෙහි මනස ඉන්ද්‍රියයක්‌ ලෙස සලකනු නො ලැබෙයි. බර්ක්‌ලි බිෂොප්වරයා වැන්නෝ දැනුම ලබාගැනීමේ ක්‍රියාවලියට මනස ද එකතු කළ හ. එහෙත් මූලික වශයෙන් ගත් කල බටහිර දාර්ශනිකයන්ට අනුව දැනුම ලබාගැනීම ඇරඹෙන්නේ ඉන්ද්‍රියයන් ගෙනි.

හියම් වැනි දාර්ශනිකයෝ මෙය අන්තයකට ගෙන ගිය හ. බොහෝ අනුභූතිවාදීන්ට අනුව මනස යනු පිරිසිදු පුවරුවකි. (tabula rasa), මේ පුවරුවෙහි ඉන්ද්‍රිය මඟින් ලැබෙන සංඥා සටහන් වෙයි. ඒ සංඥා හැරෙන්නට අපට දැනගත හැක්‌කේ කුමක්‌ ද? උදාහරණයක්‌ ලෙස ගත හොත් හියුම් පඬිවරයාට අනුව හේතුව ඵලය අතර සම්බන්ධය අපට නිගමනය කළ හැකි දෙයක්‌ නො වේ. අපි මේසයට තට්‌ටු කරන්නේ යෑයි සිතමු. ඉන් ඉක්‌බිතිව අපට ශබ්දයක්‌ ඇසෙයි. දැන් අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන්නේ මේසයට තට්‌ටු කිරීම හා ශබ්දය පමණකි. ඒ දෙක අතර සම්බන්ධය අපේ ඉන්ද්‍රියයන්ට නො දැනෙයි. එසේ නම් අප මේසයට තට්‌ටු කිරීම නිසා ශබ්දයක්‌ ඇති වන්නේ යෑයි කියන්නේ කෙසේ ද?

මෙතෙක්‌ දවසක්‌ හිරු උදා වූ පමණින් අපට හෙට හිරු උදා වේ යෑයි නිගමනය කළ නො හැකි බව හියුම් විද්වතා පැවසී ය. එසේ හෙට හිරු උදා වේ වි යෑයි අද පැවසීම ඉන්ද්‍රිය ගෝචර අනුභූතියක්‌, එනම් අපේ ඉන්ද්‍රියවලට දැනෙන්නක්‌ නො වේ. මෙහි තවත් පැත්තක්‌ තිබේ. අප මේසය හෝ හිරු හෝ යනුවෙන් ගන්නේ කුමක්‌ ද? බර්ක්‌ලි බිෂොප්වරයා බටහිර දර්ශනයට වැදගත් වන්නේ මෙහි දී ය. බොහෝ විට එතුමන්ට විඥානවාදියකු යෑයි කියනු ලැබෙයි. එමෙන් ම මේ විඥානවාදය පැරැණි ග්‍රීසියේ ප්ලේටෝ විද්වතා ගේ දර්ශනය සමග ද සංසන්දනය කෙරෙයි.

ඒ කෙසේ වෙතත් මෙහි දී අපට වැදගත් වන්නේ මේසය යන්න හිරු මෙන් ම අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වන බව ය. අපි යම් වස්‌තුවක්‌ ස්‌පර්ශ කරමු. එහි තද බවක්‌ දැනෙයි. එහෙත් තද බව දැනෙන්නේ මේසවල පමණක්‌ නො වේ. පුටුවල ද ඇඳන්වල ද තද බව දැනෙයි. අප පුටුවක්‌ ඇඳකින් වෙන් කර ගන්නේ කෙසේ ද? ඇඳ, පුටුව, මේසය ආදියෙන් අපිට විවිධ ඉන්ද්‍රිය ගෝචර දත්ත ලැබෙයි. ඒවාහි හැඩ එකිනෙකින් වෙනස්‌ ය. සාමාන්‍යයෙන් අපි ඇඳක්‌, පුටුවක්‌, මේසයක්‌ හඳුනාගන්නේ ඇස ඔස්‌සේ ලැබෙන දත්ත අනුව ය. එහෙත් ඇස ඔස්‌සේ හෝ වෙනත් ඉන්ද්‍රියක්‌ ඔස්‌සේ අපට ඇඳ මේසය පුටුව යන සංකල්ප නො ලැබෙයි.

බර්ක්‌ලි බිෂොප්වරයාට අනුව අපි ඇඳ මේසය ආදී සංකල්පය මනසින් නිර්මාණය කරන්නෙමු. ඒ අපට ඇඳෙන්, පුටුවෙන්, මේසයෙන් ලැබෙන ඉන්ද්‍රිය ගෝචර දත්ත අනුව ය. මේ දර්ශනයට විඥානවාදයක්‌ යෑයි කීවත් නැතත් ඒ දර්ශනය ද ඊනියා ඉන්ද්‍රිය ගෝචර දත්ත මඟින් ඇරඹෙයි. ඊනියා අනුභූතිවාදී අදහස්‌ අනුව, විශේෂයෙන් ම හියුම් පඬිවරයා ගේ අදහස්‌ අනුව අපට මේසය යනුවෙන් සංකල්පයක්‌ නිගමනය කරගත නො හැකි ය. අපට ඇත්තේ තද බව, එහි හැඩය ආදී දත්ත මිස මේසය යන සංකල්පය නො වේ. අනුභූතිවාදයෙහි විවිධ ප්‍රභේද තිබුණ ද, මා මෙහි දී හියුම් පඬිවරයා ගේ ආන්තික අනුභූතිවාදය සලකන්නේ මා පවසන දේ තේරුම් ගැනීමට ඒ වඩාත් උපකාරී වන බැවිනි.

කෙසේ වෙතත් බටහිර යථාර්ථවාදීන්ට තබා කිසිවකුට වත් යථාර්ථය ඉන්ද්‍රිය ගෝචර නො වේ. ඉන්ද්‍රිය ගෝචර වන්නේ සීමිත සංසිද්ධි පමණකි. අඩු ම තරමින් මල යන සංකල්පය වත් අපට ඉන්ද්‍රිය ගෝචර නො වේ. අපට පාටක්‌ පෙනෙනු ඇත. සුමුදු බවක්‌ දැනෙනු ඇත. සුවඳක්‌ ආඝ්‍රාණය කළ හැකි වනු ඇත. එහෙත් අපට මලක්‌ පෙනෙන්නේ කෙසේ ද? මලක්‌ ස්‌පර්ශ වන්නේ කෙසේ ද? මල යන්න බර්ක්‌ලි සාමිවරයා පවසා ඇති ආකාරයට ම අපේ මනසේ සංස්‌කරණයකි. හියුම් පඬිවරයා තම දර්ශනයට අනුව කිව යුතු ව තිබුණේ හේතුවක්‌ ඵලයක්‌ ගැන කිව නො හැකිවාක්‌ මෙන් ම මලක්‌ ගැන ද කිව නො හැකි බව ය.

එහෙත් හියුම් විද්වතා මිනිසුන්ට රතු පාට පෙනීම ගැන සැකයක්‌ ඇති කර නො ගත්තේ ය. එසේත් නැත හොත් හිරු නැගීම ඔහුට සැකයක්‌ නො වී ය. හෙට හිරු නැඟීම ඔහුට ප්‍රශ්නයක්‌ වුවත් අද හිරු නැඟීම ප්‍රශ්නයක්‌ නො වී ය. එහෙත් හිරු යනුවෙන් වස්‌තුවක්‌ අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන්නේ දැයි හියුම්වාදීන්ට ප්‍රශ්නයක්‌ විය යුතු ව තිබිණි. එමෙන් ම ඉන්ද්‍රියානුභූතවාදීන්ට ද ගෝචර වන්නේ කුමක්‌ ද යන ප්‍රශ්නය ඇති විය යුතු ය. අපට දැනගත හැක්‌කේ අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක්‌ නම් ෂ්රූඩිංගර් ගේ බළලා ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියකට ද යන ප්‍රශ්නයට බෝර්, හයිසන්බර්ග් වැනි විද්‍යාඥයන් තම අවධානය යොමු කළ යුතු ව තිබිණි.

අනෙක්‌ පැත්තට විඥානවාදියකු යෑයි කියන බර්ක්‌ලි බිෂොප්තුමා මේසයට තද බවක්‌ ඇති බව පිළිගත්තේ ය. බටහිර විඥානවාදියකු වුව ද ඉන්ද්‍රිය ගෝචර දැනුම පිළිගත්තේ ය. ප්‍රශ්නය වූයේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් ඉන්ද්‍රිය ගෝචර නො වන දැනුම ලබාගැනීමේ දී ය. හියුම් පඬිවරයා සංගත ව නො වුණත් ඒ ලෙස දැනුමක්‌ ලබාගත නො හැකි බව කීවේ ය. බර්ක්‌ලි බිෂොප්තුමා ඉන්ද්‍රිය ගෝචර නො වන දැනුම මනස විසින් නිර්මාණය කෙරෙන්නේ යෑයි කීවේ ය. ඒ අතර කාන්ට්‌ පඬිවරයා කියා සිටියේ ඉන්ද්‍රිය ගෝචර වන වස්‌තුවලට ප්‍රකේවලත්වයක්‌ (thing in itself) ඇති බවත් අපට කිසි දිනෙක ප්‍රකේවලත්වය දැනගත නො හැකි බවත් ය.

අපි මේ සියල්ලන් ගෙන් ම ප්‍රශ්නයක්‌ අසමු. අපේ ඉන්ද්‍රියවල ගෝචර නො වන විශ්වය තිබේ ද? බර්ක්‌ලි බිෂොප්වරයාට විශ්වය මනසේ නිර්මාණයක්‌ යෑයි කිව හැකි ය. හියුම් විද්වතා කියනු ඇත්තේ එලෙස විශ්වයක්‌ ගැන කතා කිරීම වැරැදි බව ය. ඉන්ද්‍රියානුභූතිවාදීන්ට ද විශ්වය ගැන කතා කිරීම වැරැදි ය. කාන්ට්‌ පඬිවරයාට අනුව විශ්වය ඉන්ද්‍රිය ගෝචර වුවත් අපට නිරීක්‍ෂණය කළ නො හැකි ප්‍රකේවලත්වයක්‌ වෙයි. මෙහි දී කාන්ට්‌ පඬිවරයා ගෙන් ඇසිය හැකි ප්‍රශ්නය නම් ප්‍රකේවලත්වයක්‌ ඇති බව ඔහු දන්නේ කෙසේ ද යන්න ය. එහෙත් කාන්ට්‌ පඬිවරයා අප නිරීක්‍ෂණය කරන සංසිද්ධි යනු ප්‍රකේවලත්වය නො වන බව පිළිගත්තේ ය. වෙනත් වචනවලින් කියන්නේ නම් සංසිද්ධි නො වන ලෝකයක්‌ ඇති බව දන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ දිය නො හැකි වුවත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයෙන් සියල්ල කෙළවර නො වන බව විශ්වාස කළේ ය.

ඊනියා වාස්‌තවික යථාර්ථවාදීන්ට ද වාස්‌තවික යථාර්ථයක්‌ ඇති බව ඉන්ද්‍රියවලට ගෝචර වන්නක්‌ නො වේ. එහෙත් ඔවුහු යථාර්ථයක්‌ පිළිගනිති. ඊනියා යථාර්ථය ඉන්ද්‍රිය ගෝචර දත්තවලින් අපෝහනය කිරීමට හෝ අභ්‍යqහනය කිරීමට හෝ නො හැකි ය. වාස්‌තවික යථාර්ථවාදීන්ට ද බර්ක්‌ලි බිෂොප්වරයාට ද, හියුම් පඬිවරයාට ද අනෙක්‌ බටහිර දාර්ශනිකයන්ට ද වැරැදී ඇති බව පැහැදිලි ය. මේ වැරැදිවලට මුල කොතැන ද යන්න සොයා බැලීමේ දී පෙනෙන වැදගත් ම කරුණ නම් ඔවුන් මනස හා ඉන්ද්‍රිය ගෝචර බව අතර සම්බන්ධය නො දැකීම ය.

බර්ක්‌ලි බිෂොප්වරයා පුටුව යන්න මනසේ නිර්මිතයක්‌ ලෙස සැලකුවේ ය. එහෙත් එතුමා රතු යන්න මනසේ නිර්මාණයක්‌ ලෙස නො සැලකී ය. රතු යනු ඇසට පෙනෙන පාටක්‌ ලෙස එතුමා සලකන්නට ඇත. පංචෙන්ද්‍රියන්ට සෘජුව ගෝචර වන ගුණ එක්‌ ආකාරයකටත් ඒ ගුණ ඇසුරෙන් ලබාගන්නා දේ තවත් ආකාරයකටත් අවබෝධ කරගැනීමට උත්සාහ කිරීම බටහිර දාර්ශනිකයන් ගේ ප්‍රබල ම දුර්වලතාව ලෙස දැකිය හැකි ය.

හියුම් පඬිවරයාට හෝ බර්ක්‌ලි බිෂොප්වරයාට හෝ අපෙන් තොර ව බාහිර ලෝකයක්‌ තිබුණත් නැතත් ඉන්ද්‍රිය මාර්ගයෙන් අපට ලැබෙන දත්ත පිළිබඳ ප්‍රශ්නයක්‌ නො වී ය. අපට පෙනෙන දේ, අපට ඇසෙන දේ, අපට ස්‌පර්ශ වන දේ ආදිය මනසේ නිර්මාණ ලෙස සැලකීමට ඔවුන්ට අවශ්‍යතාවක්‌ නො වී ය. ඒ පිළිබඳ ඔවුන් අවධානය යොමු කළ බවක්‌ දැනගන්නට නැත. ඔවුන්ට ප්‍රශ්නය වූයේ රතු පාට යම් ද්‍රව්‍යයක්‌ ඇත් ද යන්න තීරණය කිරීමේ දී ය. හියුම් විද්වතා එසේ තීරණය කිරීම වැරැදි බව නිගමනය කළ අතර බර්ක්‌ලි බිෂොප්වරයා රතු පාට ද්‍රව්‍යයක්‌ තිබේ ය යන්න මනසේ නිර්මාණයක්‌ බව පැවසී ය. ඒ අතර ඊනියා ද්‍රව්‍යවාදීහු එසේ ද්‍රව්‍යයක්‌ ඇති බව උපකල්පනය කළ හ. එය උපකල්පනයක්‌ මිස වෙනත් දෙයක්‌ නො වී ය. රතු පාට දුටු පමණින් රතු පාට ද්‍රව්‍යයක්‌ ඇතැයි නිගමනය කිරීමට නො හැකි බව පැහැදිලි විය යුතු ය.

අහස ඇතැම් විට රතු පැහැ ගැන්වෙයි. එහෙත් රතු පාට අහසක්‌ ඇතැයි අපි නිගමනය නො කරමු. නිල් පාට අහස ගැන ද කිව හැක්‌කේ එය ම ය. එහෙත් රතු පාට මල් ගැන අපි කතා කරමු. ඇතැම් විට ඒ පිළිබඳ ගී ගයමු. රතු පාට අහසක්‌ නැති නමුත් රතු පාට මල් ඇති බව කිසිවකු කීමට ඉඩ ඇත. එයට හේතුව ඇස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රිය මඟින් ද මලේ වෙනත් ගුණ දැන ගැනීමට හැකි වීම ද? මල සුවඳ යෑයි අපට කිව හැකි ය. මල සිනිඳු යෑයි කීමට ද හැකි ය. අහස මෙන් නො ව මල අතට හසු වෙයි. ඒ නිසා මල්, මේ අවස්‌ථාවේ දී රතු පාට මල්, ඇතැයි අපි කියමු ද?

මෙහි දී හියුම් විද්වතා නිවැරැදි වෙයි. අපට කිසි ම ආකාරයකින් වත් අපේ ඉන්ද්‍රිය ගෝචර දත්ත ඇසුරෙන් රතු පාට මල් ඇති බව නිගමනය කළ හැකි නො වේ. රතු පාට මල් ඇති බව ඊනියා ද්‍රව්‍යවාදීන් අපට කීව ද ඔවුන්ට ඒ බව කිසි ම ආකාරයකින් වත් හුදෙක්‌ ඉන්ද්‍රිය මත පදනම් වී පෙන්වා දිය නො හැකි ය. එවිට කළ හැකි වන්නේ බර්ක්‌ලි බිෂොප්වරයා අනුව යමින් රතු පාට මල් යනු මනසේ නිර්මාණයක්‌ බව ප්‍රකාශ කිරීම පමණ ය. එහෙත් එයින් කියෑවෙන්නේ බිෂොප්වරයා නිවැරැදි බව ද? නැත. එවිට ප්‍රශ්නය වනුයේ රතු පාට මල් කෙසේ වෙතත් රතු පාට ගුණය ඇති බව එතුමා දැනගත්තේ කෙසේ ද යන්න ය. රතු පාට ගුණය අපෙන් තොර ව පවතින දෙයක්‌ ද? බර්ක්‌ලි බිෂොප්වරයා ඒ බව පිළිගත්තේ ද? එසේ පිළිගත්තේ නම් ඒ ප්‍රමාණයට එතුමා ද්‍රව්‍යවාදියකු වී ද? හියුම් විද්වතා රතු පාට මල් ඇතැයි කීමට නො හැකි බව ප්‍රකාශ කළත් රතු පාට නමින් ගුණයක්‌ ඇති බව දැනගත්තේ කෙසේ ද? අපට ඇසට යම් දෙයක්‌ දැනෙන්නේ කෙසේ ද? ඒ හුදෙක්‌ ඇස පමණක්‌ නිසා ද? එහි දී මනස වැදගත් වන්නේ ද? මනස නොමැතිව අපට රතු පාටත් තිබේ ද?

මහාචාර්ය නලින් ද සිල්වා