logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බටහිර දැනුමේ අකරතැබ්බයක්‌

මහාචාර්ය නලින් ද සිල්වා

අවකාශය සමමිතික යන්නෙන් මෙහි දී අදහස්‌ කෙරෙන්නේ වමක්‌ මෙන් ම දකුණක්‌ ද උඩක්‌ මෙන් ම පහතක්‌ ද ඉදිරිපසක්‌ මෙන් ම පසුපසක්‌ ද ඇති බව ය. අප වම යෑයි ගන්නා දිශාව අවශ්‍ය නම් දකුණ ලෙස ද ගත හැකි ය. අප පසුපසට හැරුණු විට එතෙක්‌ පසුපස ව තිබූ දිශාව (අභිදිශාව) දැන් ඉදිරිය බවට පත් වෙයි. උඩ සහ පහත සම්බන්ධයෙන් එවැනි අත්දැකීමක්‌ අපට නැත්තේ අප පෘථිවියට ඉතා ආසන්නයෙන් සිටින බැවිනි. නිව්ටෝනීය භෞතිකයට අනුව නම් ගුරුත්වය හේතු කොටගෙන උඩ පහත එකිනෙකින් වෙනස්‌ වෙයි. උඩ පහත යන සංකල්ප නිර්මාණය කෙරී ඇත්තේ නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය, එනම් පොල් හා වෙනත් ද්‍රව්‍ය පොළොවට ඇද ගැනීම හේතු කොටගෙන ය.

අප පොළොවෙන් ඉතා ඈතට ගිය හොත්, නිව්ටෝනීය ගුරුත්වය ශූන්‍ය යෑයි සැලකෙන ප්‍රදේශයකට ගිය හොත් එවිට අපට උඩ පහත යන සංකල්පවල වෙනසක්‌ නො දැනෙයි. එවැනි ප්‍රදේශයක උඩ පහත යන සංකල්ප සංස්‌කරණය (නිර්මාණය) කිරීමට වත් නො හැකි ය. එහි අවකාශය සමමිතික යෑයි අපට කිව හැකි ය. එහෙත් මෙහි දී ද ඇතැම් ප්‍රශ්න ඇසිය හැකි ය. අපේ මන්දාකිණිය වූ ක්‍ෂීරපථයෙන් වඩා ඈතකට අප නො ගිය හොත් මන්දාකිණිය දෙසට තාරකා රාශියක්‌ හා ප්‍රතිවිරුද්ධ දිශාවට තාරකා අඩු ප්‍රමාණයක්‌ පෙනෙයි. එවිට ඒ දිශා (අභිදිශා) අතර සමමිතියක්‌ ඇත්තේ කෙසේ දැයි ප්‍රශ්න කළ හැකි ය.

බටහිර විශ්වවේදයෙන් මෙයට එක්‌තරා පිළිතුරක්‌ ලැබෙයි. බටහිර විශ්වවේදීන්ට අනුව එවැනි අසමමිතිකභාවයන් හුදෙක්‌ ස්‌ථානීය වෙයි. අප පෘථිවියට හෝ ක්‍ෂීරපථයට හෝ ආසන්න ව සිටීම ස්‌ථානීය ප්‍රශ්නයක්‌ පමණ ය. විශ්වයේ ද්‍රව්‍ය හා කිරණ සජාතීය ව ව්‍යාප්ත වී ඇත්නම් එවිට අවකාශය සමමිතික වෙයි. අද අයින්ස්‌ටයින් විද්වතා ජීවත් ව සිටියේ නම් එවැන්නකට එකඟ වේ ද යන්න සැක සහිත ය. ඔහු විශ්වය සජාතීය යෑයි උපකල්පනය කෙළේ ගණනය කිරීමේ පහසුව සඳහා ය. අප කලින් ද කියා ඇති පරිදි අවකාශය පිළිබඳව සංකල්පයක්‌ ඇති කර ගැනීමට නොහැකි යෑයි ඔහු කියා ඇත. මේ ප්‍රකාශය 1920 දී පළ කර ඇති සාපේක්‍ෂතාව විශේෂ හා සාධාරණ ප්‍රවාද (Relativity The Special and General Theory) පොතෙහි සඳහන් වෙයි. ඔහුට අනුව අවකාශය පිළිබඳව අපට ඇත්තේ අවුල් සහගත විසිරුණු අදහසක්‌ පමණ ය.

අයින්ස්‌ටයින් විද්වතා මෙහි සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් අප සංකල්ප යනුවෙන් අදහස්‌ කරන දෑ පිළිබඳව ය. සංකල්පයක්‌ යනු කුමක්‌ ද යන ප්‍රශ්නය මෙහි දී පැනනඟියි. මේ ඒ පිළිබඳ සාකච්ජාවකට උචිත අවස්‌ථාවක්‌ වෙයි. අපට යම් යම් දේ ගැන අදහස්‌ ඇත. එහෙත් මේ අදහස්‌ බොහෝ විට නිරවුල් නො වේ. අදහසක්‌ නිරවුල් කිරීම සමඟ සංකල්පය යන අදහස බැඳී ඇත. සංකල්පයක්‌ නිරවුල් ව නිර්වචනය කළ හැකි විය යුතු ය. එහෙත් නිර්වචනයක්‌ කෙරෙන්නේ වෙනත් වචන භාවිතයෙනි. ඒ වෙනත් වචන ද සංකල්ප, විශේෂයෙන් ම නාම පද සංකල්ප විය යුතු ය. එහෙත් මෙහි කෙළවර ඇත්තේ කොතැන ද? යම් සංකල්පයක්‌ නිර්වචනය කිරීමට යොදා ගැනෙන සංකල්ප ද වෙනත් සංකල්ප ඇසුරෙන් නිර්වචනය කරනු ලැබිය යුතු වෙයි. ඒ වෙනත් සංකල්ප ද තවත් සංකල්ප ඇසුරෙන් නිර්වචනය විය යුතු ය.

අවසානයේ දී අපට මුල් සංකල්පයක්‌ හෝ සංකල්ප කිහිපයක්‌ වෙනත් සංකල්පවලින් නිර්වචනය කිරීමට නොහැකි තත්ත්වයකට පත් වෙයි. ඒවා සංකල්ප ද යන ප්‍රශ්නය අපට එවිට ඇති වෙයි. අපට මුල දී ඇති වන්නේ අදහස්‌ ය. ඒ අදහස්‌ සංකල්ප බවට පත් කරනු ලබන්නේ තීක්‍ෂණව සිතන්නට හැකි අය විසිනි. තම තීක්‍ෂණභාවය වැඩි වත් ම සංකල්පයේ නිරවුල්භාවය වැඩි කිරීමට ද ඒ සංස්‌කරණය කරන්නාට හැකි වෙයි.

සංකල්පයක්‌ වුවත් අදහසක්‌ වුවත් ඒ යම් සත්ත්වයකු විසින් සංස්‌කරණය (නිර්මාණය) කෙරෙන්නකි. සත්ත්වයන් ගේ අවිද්‍යාව හේතුවෙන් සංස්‌කරණය සිදු වෙයි. ඒ සියලු සංස්‌කරණ ඒ ඒ සත්ත්වයාට, එනම් සත්ත්වයා ගේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්‌කෘතියට, සාපේක්‍ෂ වෙයි. මෙහි දී සත්ත්වයන් යන්නෙන් මිනිසුන් මෙන් ම මිනිසුන් නො වන්නන් ද සැලකෙයි. කෙසේ වෙතත් සංකල්පයක නිරවුල් බව අදහසක නිරවුල් බවට වැඩි වෙයි. එහෙත් නිරවුල් බව කෙතෙක්‌ වුවත් අදහසක්‌ සංකල්පයක්‌ වන්නේ ද වැනි ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරු දිය හැකි නො වේ.

සංකල්පයක්‌ සංස්‌කරණය කිරීමෙහි දී බුද්ධිය බලපාන බව පැහැදිලි ය. අපි හැඟීමෙන් මෙන් ම බුද්ධියෙන් ද සිතන්නෙමු. හැඟීම් ඔස්‌සේ ලැබෙන අදහස්‌ සංයුක්‌ත යෑයි සිතිය හැකි ය. එහි දී අපට යමක්‌ පංෙච්න්ද්‍රියට ගෝචර වෙයි. පංෙච්න්ද්‍රියට ගෝචර වීමට නම් මනසක්‌ තිබිය යුතු ය. මනසක්‌ (විඥනයක්‌) නැති මළ කඳකට පංෙච්න්ද්‍රිය තිබිණි ද එයට සංකල්ප තබා අදහස්‌ වත් ඇති නො වේ. පුටුවක්‌ යනු කුමක්‌ දැයි අපි හැඟීමෙන් දනිමු. පුටුව යන්නෙහි නිර්චචනය ගැන අපි සැලකිලිමත් නො වෙමු. බසයක හෝ දුම්රියක හෝ ඇති ආසනයකට අපි පුටුවක්‌ යෑයි නො කියමු. එහෙත් ඇතැම් විටක කුඩා ළමයකු එවැන්නකට පුටුවක්‌ යෑයි කියනු ඇත. පසු කාලයක දී ඒ ළමයා සමාජයේ මෙහෙයවීම යටතේ ඒ ආසනවලට පුටු යෑයි නො කීමට ඉගෙන ගනියි. එහෙත් ඒ පුටුව පිළිබඳ නිරවුල් සංකල්පයක්‌ ඇති ව නො වේ. සිදු වී ඇත්තේ පුටුව පිළිබඳ ඔහු ගේ අදහස්‌ වෙනස්‌ වීම ය.

ශාස්‌ත්‍රීය ලෝකයේ සංකල්ප හා අදහස්‌ අතර වෙනසක්‌ තිබිණි ද සංස්‌කාර ගැන කතා කිරීමේ දී අපි ඒ වෙනස නො සලකා හරිමු. අවිද්‍යාව හේතුවෙන් සංස්‌කාර ඇති වන්නේ යෑයි පවසන විට ඉන් අවුල් අදහස්‌ මෙන් ම නිරවුල් අදහස්‌ ගැන ද කියෑවෙයි. එහෙත් මේ ඊනියා නිරවුල් අදහස්‌ කෙතෙක්‌ දුරට නිරවුල් ද යන්න ප්‍රශ්නයකි. සම්පූර්ණයෙන් ම නිරවුල් අදහස්‌ පෘථග්ජනයන්ට තිබිය හැකි යෑයි මම විශ්වාස නො කරමි. එසේ වුවත් අදහස්‌ හැකිතාක්‌ නිරවුල් කර ගැනීමෙහි වරදක්‌ ද නො දකිමි. එහෙත් ඒ නිවන් අවබෝධය අරමුණු කරගෙන නො ව අපේ පැවැත්ම සඳහා ය. පැවැත්ම යන්නෙන් පුද්ගලයකු ලෙස පැවැත්ම මෙන් ම ජාතියක්‌ කණ්‌ඩායමක්‌ ලෙස පැවැත්ම ද අදහස්‌ කෙරෙයි. විශේෂයෙන් ම ප්‍රවාද සංස්‌කරණය කිරීමේ දී හැකිතාක්‌ නිරවුල් අදහස්‌, එනම් සංකල්ප ඉතා ප්‍රයෝජනවත් වෙයි.

අයින්ස්‌ටයින් විද්වතා අවකාශය ගැන සංකල්පයක්‌ ඇති කර ගැනීමට නොහැකි යෑයි කියන්නේ අවකාශය ගැන අපට ඇත්තේ අවුල් සහගත අදහස්‌ කිහිපයක්‌ පමණක්‌ නිසා යෑයි සිතිය හැකි ය. අවකාශය යනු ඉතා ම මූලික අදහසකි. ද්‍රව්‍ය හා විකිරණ ඇත්තේ අවකාශයෙහි යෑයි අපි කියමු. මේ අවකාශයට යම් ගුණයක්‌ හෝ ගුණ හෝ තිබිය හැකි ද? එසේ තිබේ නම් ඒ අවකාශය පැරැණි ඊතරයෙන් වෙනස්‌ වන්නේ කෙසේ ද? ඊතරයට යම් යම් ගුණ තිබිණි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඊතරයට සාපේක්‍ෂව ආලෝකයේ වේගය වෙනස්‌ නො වුණ ද ඒ ඒ නිරීක්‍ෂකයාට අනුව ආලෝකයේ වේගය වෙනස්‌ විය යුත =ව තිබිණි. එමෙන් ම පොළොව ඊතරයට සාපේක්‍ෂව චලනය වන බැවින් යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ආලෝකයේ වේගය ඒ ඒ දිශාව අනුව වෙනස්‌ විය යුතු ව තිබිණි.

එහෙත් ආලෝකයේ වේගය එලෙස දිශාව අනුව වෙනස්‌ නො වන්නේ යෑයි මයිකල්සන් මෝර්ලි යන විද්‍යාඥයන් දෙදෙනා විසින් කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු වී තිබිණි. මේ පරීක්‍ෂණයෙන් පෙන්නුම් කෙරුණේ ඊතරයක්‌ නොමැති බව ය. ඊතරයක්‌ නැත්නම් අවකාශයට යම් යම් ගුණ ද තිබිය නොහැකි ය. එයට හේතුව යම් යම් ගුණ සහිත අවකාශයක්‌ ඊතරයට තුල්‍ය වීම ය. අයින්ස්‌ටයින් විද්වතා තම විශේෂ සාපේක්‍ෂතාවාදය සූත්‍රගත කරන විට මයිකල්සන් මෝර්ලි පරීක්‍ෂණය පිළිබඳ දැන නො සිටි බව එතුමා ම කියා ඇත. එසේ වුවත් විශේෂ සාපේක්‍ෂතා ප්‍රවාදයෙහි දී ඊතරයක්‌ නැතැයි ගැනෙයි. අයින්ස්‌ටයින් විද්වතා එවැනි නිගමනයකට පැමිණියේ කෙසේ ද යන්න පැහැදිලි නැත. එහෙත් ඊතරයක්‌ නැත්නම් අවකාශයට යම් යම් ගුණ තිබිය නොහැකි බව ද අයින්ස්‌ටයින් විද්වතා අවබෝධ කරගන්නට ඇත.

ප්‍රශ්නය වනුයේ එවැනි ගුණ නැති අවකාශයක්‌ සංකල්පගත කරගන්නේ කෙසේ ද යන්න ය. අපට අවකාශය පිළිබඳ හැඟීමක්‌ අදහසක්‌ ඇත. එහෙත් නිශ්චිත යෑයි කිව හැකි සංකල්පයක්‌ නැත. නිව්ටෝනීය ගුරුත්වයෙන් නිදහස්‌ වූ ප්‍රදේශයක විශ්වයේ ද්‍රව්‍ය හා විකිරණ සජාතීය ව ව්‍යාප්ත වී ඇති විට අවකාශයේ සමමිතියක්‌ ගැන අපට කතා කළ හැකි ය. එහෙත් අවකාශය යනු කුමක්‌ ද? ද්‍රව්‍ය හා විකිරණ පවතින්නේ අවකාශයෙහි ද? නැත්නම් ද්‍රව්‍ය හා විකිරණ නොමැති විට, එනම් ද්‍රව්‍ය හා විකිරණ අතර, අවකාශය පවතින්නේ ද? එසේ නම් ද්‍රව්‍ය හා විකිරණ කිසිවක්‌ නොමැති විට අවකාශය පවතින්නේ ද?

නිව්ටෝනීය අවකාශය ඉතා සරල වූවකි. එහි අවකාශයෙහි ද්‍රව්‍ය හෝ විකිරණ නැත. එහෙත් ද්‍රව්‍ය හා විකිරණ හැසිරෙන්නේ අවකාශයෙහි ය. නිව්ටෝනීය භෞතිකයෙහි ද්‍රව්‍ය හා විකිරණ කිසිවක්‌ නැති වත් අවකාශය පැවතිය හැකි ය. එහෙත් එලෙස පවතින අවකාශය නිරීක්‍ෂණය කළ නොහැකි බව අපි කලින් පෙන්වා දුනිමු. අයින්ස්‌ටයිනීය අවකාශය එවැන්නක්‌ නො වේ. අයින්ස්‌ටයිනීය අවකාශය, නිවැරැදිව කිව හොත් අයින්ස්‌ටයිනීය අවකාශ - කාලය ද්‍රව්‍ය හා විකිරණ මගින් නිර්ණය වෙයි. එහෙත් අයින්ස්‌ටයින් විද්වතාට අනුව අවකාශය යන්න හුදෙක්‌ අදහසක්‌ මිස සංකල්පයක්‌ නො වේ.

අයින්ස්‌ටයින් විද්වතා ගේ මතය අනුව අවකාශය සංකල්පීය ගත කළ නොහැකි නම් කාලය යන්න කෙසේ වත් සංකල්පගත කිරීමට නොහැකි ය. එහෙත් ඔහු තරම් අවකාශය හා කාලය ගැන කල්පනා කළ අයකු තවත් සිටියේ යෑයි කිව නොහැකි ය. අවකාශය යනු නිරවුල් සංකල්පයක්‌ නො වුණ ද, කාලය යනු අදහසක්‌ වත් නො වුණ ද, අපට අවකාශය හා කාලය නොමැතිව බොහෝ දේ ගැන කල්පනා කළ නොහැකි ය. මුළු මහත් බටහිර භෞතික විද්‍යාව ම අවසානයේ දී කාලය හා අවකාශය මත පදනම් වෙමින් සංස්‌කරණය කෙරී ඇත. අංශුවක හෝ වස්‌තුවක හෝ පිsහිටීම, විස්‌ථාපනය, ප්‍රවේගය, ත්වරණය ආදිය නොමැති ව බටහිර භෞතික විද්‍යාවක්‌ නැත. එහෙත් අයින්ස්‌ටයින් විද්වතාට ම අනුව අපට අවකාශය සංකල්පගත කිරීමට නොහැකි ය.

මෙහි පුදුම වීමට දෙයක්‌ නැත. අවකාශය හා කාලය බටහිර භෞතික විද්‍යාවේ සියලු සංකල්ප හා අදහස්‌ අතර මූලික ම වෙයි. ඒ සංකල්පගත කිරීමට නම් අපට එයට වඩා මූලික වූ සංකල්ප හෝ අඩු ම තරමින් අදහස්‌ හෝ අවශ්‍ය වෙයි. එහෙත් අපට එවැනි අදහස්‌ හෝ සංකල්ප හෝ දැනට නැත. රේය චින්තනය මත පදනම් වූ බටහිර දැනුමට අවකාශය හා කාලය මූලික සංකල්ප (අදහස්‌) ලෙස ගැනීමට සිදු වෙයි. බොහෝ බටහිර භෞතික විද්‍යාඥයන්ට මේ අකරතැබ්බය පිළිබඳ හෝඩුවාවක්‌ වත් නැත. එහෙත් ඉතා උසස්‌ බුද්ධියකට හිමිකම් කී අයින්ස්‌ටයින් විද්වතා මේ අකරතැබ්බය තම අන්තර්ඥනයෙන් අවබෝධ කරගන්නට ඇත.