logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අතීත අනාගත අසමමිතිය

මහාචාර්ය නලින් ද සිල්වා

අර්නස්‌ට්‌ මාක්‌ නම් දාර්ශනිකයා හා භෞතික විද්‍යාඥයා කියා සිටියේ ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප ඇසුරෙන් බටහිර භෞතික විද්‍යාව සූත්‍රගත නො කරන ලෙස ය. එනම් බටහිර භෞතික විද්‍යාව විස්‌තර කිරීමේ දී ඒ තේරුම් කර දීමේ දී ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප යොදා නො ගන්නා ලෙස ය. මාක්‌ විද්වතා පරමාණු පමණක්‌ නො ව අවස්‌ථිති සමුද්දේශ රාමු යොදා ගැනීමට ද විරුද්ධ වූයේ ඒ ඉන්ද්‍රිය ගෝචර නො වන බැවිනි. අප ඒ ගැන වැඩිදුරටත් සාකච්ජා කිරීමට පෙර කුණ්‌ඩලනී යෝගය ආදී පෙරදිග දැනුම සම්බන්ධ කරගනිමින් කාලය පිළිබඳ තවත් යමක්‌ සඳහන් කළ යුතු ය.

කුණ්‌ඩලනී යෝගයට එළඹි යෝගියකුට භව ගණනක්‌ ගෙවී ගිය අතීතය මතක්‌ කරගත හැකි ය. එහෙත් එයින් කියෑවෙන්නේ එවැන්නකුට අතීතයට යා හැකි බව නො වේ. අතීතයට යැම යන්න අර්ථ රහිත ය. අතීතය වර්තමානයේ දී ද අනාගතයේ දී ද මතක්‌ කරගත හැකි ය. එහෙත් අතීතය අතීතයේ දී මතක්‌ කර ගැනීමට නොහැකි ය. යමකුට අඩු ම තරමින් කලින් දිනට යා නොහැකි ය. එයට ප්‍රධාන හේතු වනුයේ ඒ කලින් දින අදාළ සිද්ධිවලට සහභාගී වූවන්ට ඒ ඒ තැන්වලට පැමිණීමට නොහැකි වීම ය. එහෙත් අපට අතීතය මතක්‌ කර ගැනීමේ බාධාවක්‌ නැත. ඒ ඒ පුද්ගලයා ගේ ස්‌මරණ ශක්‌තිය අනුව අතීතය මතක්‌ කරගත හැකි ය. අප බොහෝ දෙනකුට අපේ ළදරු වියේ සමහර සිද්ධි මතක්‌ කරගත හැකි ය. එහෙත් අපෙන් අති විශාල බහුතරයට අප මවු කුස සිටි ආකාරය පිළිබඳ කිසිදු මතකයක්‌ නැත.

මේ කරුණෙන් අපට තවත් වැදගත් දෙයක්‌ කිව හැකි ය. අපට යමක්‌ මතක නැති පමණින් එවැන්නක්‌ සිදු නො වී යෑයි නිගමනය කළ නොහැකි ය. අප සියල්ලන්ට ම පාහේ මවුකුස සිටි ආකාරය මතක නැති නිසා අප මවුකුස නො සිටියේ යෑයි නිගමනය කළ නොහැකි ය. එමෙන් ම අප සියල්ලන්ට ම පාහේ පෙර ආත්මභාව අමතක බැවින් පෙර භවයන් නො තිබිණි යෑයි නිගමනය කළ හැකි නො වේ.

අතීතය යම් ප්‍රමාණයකට අපට මතක්‌ කරගත හැකි වුව ද අප කිසිවකුට වත් අතීතය වෙනස්‌ කළ නොහැකි ය. වෛදික යෝග අභ්‍යාස මාර්ගයෙන් නො වුණ ද බෞද්ධයනට ද භවනානුයෝගී වීමෙන් අතීතය මතක්‌ කරගත හැකි ය. බුදුන් වහන්සේට අවශ්‍ය නම් කල්ප ලක්‍ෂ ගණනාවක්‌ අතීතය දැකීමේ හැකියාව තිබිණි. සියලු ජාතක කතා පෙර භවවලට සම්බන්ධ ය. වර්තමානයේ මේ තැනැත්තා පෙර භවයක අහවලා යෑයි බුදුන් වහන්සේ නොයෙකුත් අවස්‌ථාවල දේශනා කර ඇත. එයින් අදහස්‌ වන්නේ කාලය යනුවෙන් සංකල්පයක්‌ තිබෙන බව නො වේ. වෙනත් වචනවලින් කිව හොත් සෘජුව හෝ වක්‍රව හෝ ඉන්ද්‍රිය ගෝචර කාලයක්‌ ඇති බවක්‌ එයින් නිගමනය කළ නොහැකි ය. එමෙන් ම භවයෙන් භවයට යන ආත්මයක්‌ ගැන ද ඉන් නො කියෑවෙයි.

අපට අපේ ශක්‌ති ප්‍රමාණ අනුව අතීතය මතක්‌ කර ගත හැකි වුව ද අතීතය වෙනස්‌ කළ හැකි නො වේ. එසේ අතීතය වෙනස්‌ කළ හැකි නම් කුමක්‌ සිදු වේ ද? එවිට එතැන් සිට අප වෙනස්‌ විය යුතු ය. එයින් අදහස්‌ වන්නේ අද අප ජීවත් වන වර්තමානය අපට අහිමි වී අපට වෙනත් වර්තමානයක්‌ ලැබෙන බව ය. පෙර භවවලට නො ගොස්‌ අපේ එදිනෙදා අත්දැකීම්වලට සීමා වෙමු. අහවල් ක්‍රීඩකයා අහවල් උඩපන්දුව රැක ගත්තේ නම් අපේ කණ්‌ඩායමට තරගය දිනාගත හැකි ව තිබිණි යෑයි අපි කියමු. අප කිසිවකුට දැන් ඒ අතීතයට ගොස්‌ ඒ වෙනස්‌ කිරීමේ හැකියාව තිබිණි යෑයි ද සිතමු. අතීතයට යැම යනු ඒ අවස්‌ථාවට අප සියලු දෙනා ම රැගෙන යැම ය. එසේ සියලු දෙනා ම ඒ අතීතයට රැගෙන ගොස්‌ ඒ උඩපන්දුව රැක්‌කවී යෑයි සිතමු. එහෙත් ඉන්පසු කුමක්‌ සිදු වීමට තිබිණි දැයි අපි දනිමු ද?

අපට කිව හැක්‌කේ තරගය වෙනස්‌ මඟක යැමට අවස්‌ථාව සැලසුණු බව පමණ ය. සමහර විට අපේ කණ්‌ඩායමට තරගය දිනා ගැනීමට හැකි වීමට තිබිණි. ඒ උඩපන්දුව රැකගත්ත ද තවත් උඩපන්දු කිහිපයක්‌ පසුව ගිලිහීමෙන් අපේ කණ්‌ඩායම පරාජය වීමට ද තිබිණි. ඒ උඩපන්දුව හා අවස්‌ථා කවරේ දැයි අපි නො දන්නෙමු. අදාළ උඩපන්දුව රැකගැනීමෙන් පසුව වෙනත් ම තරගයක්‌ ක්‍රියාත්මක වෙයි. එහෙත් ඒ නව තරගය ක්‍රියාත්මක කළ නොහැකි බව අපි දනිමු. එකී උඩපන්දුව අත්හැරීම නිසා කම්පනයට පත් ව මිය ගිය අයකු උඩපන්දුව රැක්‌කවීම නිසා නැවතත් ජිවත් වන්නේ ද? පුනරුත්පත්තියක්‌, පුනර්භවයක්‌ ගැන විශ්වාසයක්‌ නොමැත්තකුට වුවත් ඒ ප්‍රශ්නය අදාළ ය.

අතීතය මතක්‌ කරගත හැකි වුවත් අතීතය වෙනස්‌ කළ නොහැකි ය. අතීතය හේතුවෙන් වර්තමානය ඇති වී තිබේ. ඒ අතීතය නො වන්නට මේ වර්තමානය නැත. ඒ ඒ හේතු නිසා මේ මේ ඵල ඇති වෙයි. ඒ ඒ හේතු නො වන්නට මේ මේ ඵල නොමැත. අපට ඇත්තේ එවැනි හේතු ඵල ධර්මතාවක්‌ මිස ඊනියා කාලයක්‌ නො වේ. බුදුන් වහන්සේ අතීතය දුටු නමුත්, එනම් අතීතය මතක්‌ කරගත් නමුත් අතීතය වෙනස්‌ නො කළ හ. සත්ත්වයා කෙරෙහි මහා කරුණාවක්‌ දැක්‌වූ බුදුන් වහන්සේ සත්ත්වයා ගේ යහපත පිණිස අතීතය වෙනස්‌ කළ හැකි වී නම් අතීතය වෙනස්‌ නො කර සිටිනු ඇත් ද?

බුදුන් වහන්සේ අතීතය වෙනස්‌ නො කළ ද අනාගතය වෙනස්‌ කළ හ. අතීතය සිදු වී හමාර ය. එහෙත් අනාගතය ගැන කිව හැක්‌කේ ඒ සිදු වීමට හැකි බව පමණ ය. අද භාවිත කරන සංකල්ප යොදා ගන්නේ නම් අනාගතය සිදුවීමට ඇත්තේ සම්භාවිතාවකි. අවශ්‍ය නම් ඒ වෙනස්‌ කළ හැකි ය. අහිංසක හෙවත් අංගුලිමාල තම මව මරා ආනන්තරීය පාප කර්මයක්‌ කිරීමට සූදානම් ව සිටියේ ය. බුදුන් වහන්සේ ඒ බව දුටු සේක. එහෙත් අනාගතයට අයත් ඒ සිදුවීම තවමත් සිදු වී නැති බැවින් ඒ වෙනස්‌ කිරීමේ හැකියාව තිබිණි.

මව මැරී නම් අංගුලිමාල දීර්ඝ කාලයක්‌ අපාගත වීමට තිබිණි. එහෙත් ඔහු කුසල් පිරූ පුද්ගලයෙක්‌ ද විය. ඔහුට නිවන් අවබෝධ කර ගැනීමේ හැකියාව ද විය. බුදුන් වහන්සේ ඒ තීරණාත්මක දිනයේ ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් ලොව බලන කල දුටුවේ මේ තුං මං හන්දියේ සිටි අංගුලිමාල ය. බුදුන් වහන්සේ අංගුලිමාල ගේ අනාගතය තීරණය කිරීමේ දී මැදිහත් වූ හ. ආනන්තරිය පාප කර්මයක්‌ කිරීමට සිටි අංගුලිමාල නිවන් අවබෝධ කළේ ය. අනාගතය ගැන අපට නියත වශයෙන් යමක්‌ කීම උගහට ය. අසවල් සිද්ධිය සිදුවීමට අසවල් සම්භාවිතාව ඇතැයි යන්න හැරෙන්නට අපට කිව හැකි දෙයක්‌ නැත.

අනාගතය දැක ඒ වෙනස්‌ කිරීමට බුදුන් වහන්සේ ක්‍රියා කළ ආකාරයට අපට ක්‍රියා කළ නොහැකි වුවත් අපි ද අපේ මෙන් ම අන් අය ගේ ද අනාගතය වෙනස්‌ කරන තීරණ ගනිමු. අපට විකල්ප ක්‍රියා මාර්ග දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ හෝ ඇති විට අපි එක්‌ විකල්පයක්‌ තෝරා ගනිමු. එසේත් නැත හොත් වෙනත් අයකුට එලෙස එක්‌ විකල්පයක්‌ තෝරා ගැනීමට උපදෙස්‌ දෙමු. එවැනි අවස්‌ථාවල දී අපි අනාගතය වෙනස්‌ කරමු. එනම් අනාගතය ඒ ආකාරයෙන් (වෙනත් ආකාරයකින්) නො ව මේ ආකාරයෙන් සිදු විය යුතු යෑයි තීරණය කරමු. අනාගතය යම් ප්‍රමාණයකට අපට සකස්‌ කරගත හැකි ය. එහෙත් අපට අතීතය අපට අවශ්‍ය අන්දමට තීරණය කළ නොහැකි ය. අතීතය සිදු වී අවසන් ය. අතීතය, අතීතයට අයත් වෙයි.

එහෙත් සාමාන්‍ය ලෝකයේ අනාගතය ගැන අපට යම් යම් තීරණ ගත හැකි ය. අනාගතය තවම සිදු වී නැත. අපට අනාගතය ගැන කිව හැක්‌කේ සම්භාවිතා යොදා ගනිමිනි. එහෙත් මේ සම්භාවිතා ක්‌වොන්ටම් භෞතිකයේ සම්භාවිතාවලට වඩා වෙනස්‌ වෙයි. හෙට ඉර පායන බවට අපට ඇත්තේ තදබල විශ්වාසයකි. එසේ නො වීමටත් ඉඩ ඇත. එහෙත් ඒ සඳහා ඇති සම්භාවිතාව ඉතා කුඩා ය.

සාමාන්‍ය ලෝකයේ ඕනෑ ම අවස්‌ථාවක එක්‌කෝ ඉර පායා ඇත. නැත්නම් ඉර පායා නැත. ඉර පෑයූ මෙන් ම ඉර නො පෑයූ ද අවස්‌ථාවක්‌ එහි නො වේ. එහෙත් ක්‌වොන්ටම් භෞතිකයේa එවැනි අවස්‌ථා ඇත. ඉර පායා ඇත් දැයි දැන ගැනීමට අප නිරීක්‍ෂණයක්‌ කළ යුතු ය. නිරීක්‍ෂණයෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉර පායා ඇත් ද එසේත් නැත්නම් ඉර පායා නැත් ද යන්න දැනගත හැකි ය. ඒ නිරීක්‍ෂණය කරන තෙක්‌ ඉර පායා ඇත් ද නැත් ද යන්න අපට දැනගත නොහැකි ය. අපට කිව හැක්‌කේ ඉර පෑයීමට අසවල් සම්භාවිතාව ඇති බව පමණ ය. වාසනාවකට ඉර ක්‌වොන්ටම් අංශූවක්‌ නො වන බැවින් එවැනි තත්ත්වයකට මුහුණ පෑමට අපට සිදු නො වෙයි.

ඒ කෙසේ වෙතත් නිව්ටෝනීය හෙවත් සම්භාව්‍ය භෞතිකයේ මෙන් ම ක්‌වොන්ටම් භෞතිකයේ ද අනාගතය නිශ්චිතව කිව නොහැකි ය. එහෙත් ඒ සැම තැන ම අතීතය නිශ්චිත ය. ඒ සිදු වී අවසාන ය. කාලය සම්බන්ධයෙන් එවැනි අසමමිතික බවක්‌ අතීතය හා අනාගතය සම්බන්ධයෙන් පවතියි. ජ්‍යෙdතිෂයෙහි ද අනාගතය සම්බන්ධයෙන් නිශ්චිත ව යමක්‌ කිව නොහැකි ය. එහි දී කෙරෙන්නේ වෙනත් හේතු කිසිවක්‌ නැත්නම් යම් අයකුට හුදු ග්‍රහ බලපෑම් නිසා ම මෙවැනි අනාගතයක්‌ තිබීමට ඉඩ ඇතැයි පැවසීම ය. ග්‍රහ බලපෑම්වලට අමතරව තවත් හේතු රාශියක්‌ ඇති බැවින් යමකු ගේ අනාගතය ගැන ජ්‍යෙdතිෂයෙන් කළ හැක්‌කේ මඟපෙන්වීමක්‌ පමණි.

කාලය සම්බන්ධයෙන් එවැනි අසමමිතික බවක්‌ තිබිණි ද, අවකාශය සම්බන්ධයෙන් එවැන්නක්‌ කිව නොහැකි ය. මෙහි දී අයින්ස්‌ටයින් විද්වතා අවකාශය සම්බන්ධයෙන් කියා ඇති කරුණක්‌ සිහියට නැඟෙයි. ඔහු කියා ඇත්තේ අවකාශය සම්බන්ධයෙන් කිසි ම සංකල්පයක්‌ තනා ගැනීමට නොහැකි බව ය. මේ පිළිබඳ විස්‌තරයක්‌ කිරීමට මේ අවස්‌ථාව නො වේ. එහෙත් කිව යුත්තක්‌ නම් ද්‍රව්‍යයෙන් හා කිරණයෙන් වියුක්‌ත වූ අවකාශයක්‌aa යන්න සංකල්පයක්‌ ලෙස ඉදිරිපත් කළ නොහැකි බව ය. එවැනි අවකාශයක්‌ නිරීක්‍ෂණය කළ නොහැකි වන්නේ නිරීක්‍ෂකයකු ඒ අවකාශයට ගිය වහා ම අවකාශයෙහි යමකු ඇති බැවින් ඒ තවදුරටත් ඉහත කී අර්ථයෙන් අවකාශයක්‌ නො වන බැවිනි.

අයින්ස්‌ටයින් විද්වතාට ඉතා තියුණු වියුක්‌ත මනසක්‌ තිබූ බව කීම අවශ්‍ය නො වේ. ඔහු අවකාශය සංකල්පයක්‌ ලෙස ඉදිරිපත් කිරීමේ ගැටලුව තේරුම් ගත්තාට සැකයක්‌ නැත. අවකාශය සංකල්පයක්‌ ලෙස ඉදිරිපත් කිරීම ගැටලු සහගත වුවත් එහි එක්‌තරා ආකාරයකින් සමමිතියක්‌ ඇත. අවකාශයෙහි වමක්‌a දකුණක්‌, උඩක්‌ පහතක්‌, ඉදිරියක්‌ පසුපසක්‌ ආදී වශයෙන් සමමිතිකයක්‌ ඇත. අපට අවකාශයේ දී වම දකුණින් හෝ ඉදිරිපස පසුපසින් හෝ වෙනස්‌ යෑයි ගත හැකි නො වේ. ස්‌ථානීය වශයෙන් වෙනස්‌කම් තිබුණ ද විශ්වීය වශයෙන් ගත් කල අවකාශයෙහි එවැනි වෙනස්‌කම් නැතැයි සැලකෙයි. එහෙත් කාලය සම්බන්ධයෙන් කිව හැක්‌කේ කුමක්‌ ද? එහි දී කාලයෙහි ඉදිරිපස (අනාගතය) පසුපස (අතීතය) සමඟ සමමිතික නො වේ. අවකාශය ගැන ද සංකල්පයක්‌ ඇති කර ගැනීම ගැටලුවක්‌ නම් කාලය පිළිබඳ සංකල්පයක්‌ ඇති කර ගන්නේ කෙසේ ද?