logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කුණ්‌ඩලනී යෝගය

මහාචාර්ය නලින් ද සිල්වා

සාධාරණ සාපේක්‍ෂතාවාදය හෙවත් අයින්ස්‌ටයින් ගේ "ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය" බටහිර භෞතික විද්‍යාවේ අනෙක්‌ බල ක්‍ෂෙත්‍ර තුන සමඟ එකතු කිරීමට නො හැක්‌කේ ඇයි ද යන ප්‍රශ්නයට දිය හැකි පිළිතුරක්‌ කිසිවකුට නැත. ඇතැමුන් සිතන්නේ අවකාශ කාල මාන සංඛ්‍යාව හතරේ සිට එකොළහට හෝ වෙනත් සංඛ්‍යාවකට හෝ වැඩි කිරීමෙන් ඒ කළ හැකි බව ය. එහෙත් දැනට දශක දෙකක කාලයක තිස්‌සේ එවැනි ක්‍රියා මාර්ගයකින්වත් විසඳුමක්‌ පෙනෙන මානයක්‌ නැත.

ඒ කෙසේ වෙතත් කාල චාරිකා ගැන බටහිර විද්‍යාඥයෝ විශ්වාස කරති. පණු හිල් (worm holes) මගින් වෙනත් විශ්වවලට යැම හා වෙනත් විශ්වවලින් අපේ විශ්වයට පැමිණීම ආදී මාර්ගවලින් කාලයේ සැරිසැරීමට හැකි යෑයි ඔවුහු විශ්වාස කරති. මේ සෑම විශ්වාසයකට ම මුල කාලය යනුවෙන් භෞතික වූ භූතාර්ථයක්‌ ඇතැයි විශ්වාස කිරීම ය. ඒ පිළිබඳ තවදුරටත් කතා කිරීමට පළමු පෙරදිග ලෝකයේ ද කාල චාරිකා පිළිබඳ විශ්වාසයක්‌ තිබි බැව් සඳහන් කළ යුතු ය.

කාලයේ ආ පස්‌සට යා හැකි බව වෛදිකයෝ විශ්වාස කළහ. එහෙත් එය හුදු මනෝමය ක්‍රියාවක්‌ බව ප්‍රථමයෙන් ම සඳහන් කළ යුතු ය. වෛදික යෝග අභ්‍යාස වර්ධනය කර යමකුට කුණ්‌ඩලනී යෝගය උපදවා ගත හැකි ය. යෝගයක්‌ යනු එකතුවකි. යෝග යන්නෙහි තේරුම ද එකතුවකි. ග්‍රහ යෝග යනු ග්‍රහයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු හෝ එක ම රාශියක දී එකතු වීම ය. වෛදික බමුණන් යෝග වැඩුවේ අවසානයේ දී මහා බ්‍රහ්මයා සමඟ එකතු වී විමුක්‌තිය ලැබීමට ය. එනම් අමරණීයත්වයට පත්වීමට ය. බ්‍රහ්මන් සමඟ එකතු විය හැක්‌කේ වෙන්වීම පිළිබඳ මායාව දුරු කිරීමෙන් යෑයි බමුණෝ විශ්වාස කළ හ. දැනුදු විශ්වාස කරති. අප කුඩා ආත්මවලට කැඩී ඇත්තේ මායාව නිසා බවත් මායාව දුරු කළ විට කුඩා ආත්ම මහා ආත්මය වූ බ්‍රහ්මන් සමඟ එකතු වන බවත් වෛදික දර්ශනයෙහි ඉගැන් වෙයි.

එහෙත් අද්වෛත වේදාන්තයට අනුව ඉහත සඳහන් ප්‍රකාශය වැරැදි ය. එයට හේතුව අද්වෛත වේදාන්තයට අනුව ඇත්තේ බ්‍රහ්මන් පමණක්‌ වීම ය. එබැවින් අප වැනි කුඩා ආත්ම ඇතැයි යනුවෙන් සඳහන් කිරීම පවා වැරැදි ය. එක්‌ ආත්මයක්‌ වෙනුවට ආත්ම ගණනාවක්‌ ඇතැයි සිතන්නේ මායාව හේතුවෙනි. මායාව නැති වූ විට එසේ නො සිතෙයි. එවිට එක්‌ ආත්මයක්‌ (බ්‍රහ්මන්) පමණක්‌ ඇති බව වැටහෙයි. එහි දී අපේ ආත්ම බ්‍රහ්මන් සමඟ එකතු වීමක්‌ නො සිදුවෙන බව පැහැදිලි විය යුතු ය.

බුදුන් වහන්සේ අපේ ආත්ම පමණක්‌ නොව බ්‍රහ්මන් ගේ ආත්මය ද නැති බව දෙසූහ. බ්‍රහ්මන් සමඟ එකතු වී හෝ බ්‍රහ්මන් පමණක්‌ ඇති බව තේරුම් ගැනීමෙන් හෝ ඊනියා අමරණීයත්වයක්‌ ලබාගත නො හැකි යෑයි උන් වහන්සේ අපට කියා දුන්හ. බුදුන් වහන්සේ අපට කියා දුන්නේ මරණය නැති කිරීමට නොව ඉපදීම නැති කිරීමට ය. බ්‍රහ්මන් සමඟ යම් යම් පමණට එකතු වී අඩු වැඩි වශයෙන් බ්‍රහ්මන්ට අයත් ගුණ ලබාගැනීම සඳහා යෝග අභ්‍යාසයෙහි යෙදීම බෞද්ධයන් සඳහා නො වේ. සිදුහත් තවුසාණන් අයත් වූයේ දඹදිව ශ්‍රමණ සම්ප්‍රදායට ය. වෛදික බමුණෝ දඹදිව තිබූ ඇතැම් අදහස්‌ උඩු යටි කළෝ ය. එසේ කිරීමෙන් ඔවුහු භාරතයක්‌ බිහි කළ හ. අද ඉන්දියාවේ මධ්‍යම පාංතික සංස්‌කෘතිය ගාන්ධිගෙන් නියෝජනය වූ මේ භාරතයේත් මවුන්ට්‌බැට්‌න්ගෙන් නියෝජනය වූ බටහිර ඉංගිරිසි සංස්‌කෘතියේත් කැඳ හැළියක්‌ බවට පත් වී ඇත. ජවහර්ලාල් නේරු එහි සංකේතය වෙයි. එක්‌ අතකින් ගත් කල ඔවුහු ගාන්ධි - මවුන්ට්‌බැට්‌න් යෝගයෙන් බිහි වූවෙකි.

කුණ්‌ඩලනී යෝගය ද යෝග අභ්‍යාසවල නිරත වීමෙන් ලබාගත හැකි එකතු වීමේ තත්ත්වයකි. යෝග අභ්‍යාස මඟින් දැනට සර්පයකු (කුණ්‌ඩලනී යනු සර්පයාට නමකි) සේ දඟර ගැසී ඇති ශක්‌තියක්‌ මිනිසුන් ගේ කොඳු ඇට පෙළේ පහළ සිට මොළය දක්‌වා දිග හැර ගැනීම මගින් බ්‍රහ්මන්ට ඇතැයි කියන යම් ශක්‌ති විශේෂ කිහිපයක්‌ මිනිසුන්ට ද අත්කර ගැනීමක්‌ මෙහි දී සිදු වෙයි. එහෙත් මේ මානසික ශක්‌තීන් බව අවධාරණය කළ යුතු ය. කුණ්‌ඩලනී යෝගය අත්කරගත් අයට මනස(අවශ්‍ය නම් නාමය එහි ප්‍රධාන සංරචකය වූ විඥනය) ශරීරයෙන් වෙන්කර අතීතයට යා හැකි බවක්‌ මෙහි දී කියෑවෙයි. එහෙත් එයින් කියෑවෙන්නේ අතීතය මතක්‌ කර ගැනීමට වැඩි දෙයක්‌ නො වේ. අපට බොහෝ දේ මතක නැත. එහෙත් ඒ බොහෝමයක්‌ අපේ මනසෙහි ඇත. ඒ මතක එක්‌ චිත්තයකින් අනුගාමී චිත්තයට ලැබෙයි. වැඩි විස්‌තර සඳහා කාලය වෙබ් අඩවියේ සිංහල බෞද්ධ මනස ලිපිය (www.kalaya.org/fils/nps070405.pdf) කියවන්න. ඇතැම් සිද්ධි අපට මතක්‌ කරගත හැකි නමුත් බොහෝ සිද්ධි අපට මතක්‌ කරගත නො හැකි ය. අප ඉතා කුඩා කල සිදු වූ දෑ අප මව්කුසේ සිටිය දී සිදු වූ දෑ අපට මතක නැත. තවත් ඈතට ගියහොත් අපට පෙර භවවල සිදු වූ කිසිවක්‌ මතක නැත. එහෙත් කුණ්‌ඩලනී යෝග ශක්‌තියෙන් අපට ඒ සිද්ධි මතක්‌ කරගත හැකි ය. එහෙත් අපට ඒ සිද්ධිවල නැවත ජීවත්විය හැකි ද?

ඒ සිද්ධි නැවත මතක්‌ කරගැනීම යනු අවශ්‍ය නම් ඒ සිද්ධිවලට මනසින් යැමක්‌ ලෙස සැලකිය හැකි ය. එහෙත් එසේ මනසින් යැම යනු ඒ සිද්ධිවල ජීවත්වීමක්‌ නො වේ. ඒ සිද්ධිවල නැවත ජීවත්වීමට නම් ඒවාට සම්බන්ධ අනෙක්‌ චරිත ද අඩු ම තරමින් මනසින් ඒ ඒ තැන්වලට පැමිණිය යුතු ය. යම් හෙයකින් යම් අයකු නිවන් අවබෝධ කර පිරිනිවන් පා ඇත්නම් එතැනට පැමිණෙන්නේ කෙසේ ද? අනෙක්‌ අතට ඒ චරිත එසේ පැමිණීමට නම් ඔවුන් ද කුණ්‌ඩලනී යෝගය වඩා තිබිය යුතු ය. ඇතැම් අයකුට එයට පිළිතුරු ලෙස කුණ්‌ඩලනී යෝගය හොඳින් වැඩූ තැනැත්තකුට ඒ අනෙක්‌ අය ගේ මනස්‌ කැඳවා ගැනීමට හැකි යෑයි කිව හැකි ය. එහෙත් වෛදික දහම අනුව වුව ද යම් චරිතයක්‌ බ්‍රහ්මන් සමඟ එකතු වී ඇත්නම් ඒ චරිතය එතැනට කැඳවා ගන්නේ කෙසේ ද?

කුණ්‌ඩලනී යෝගය අත්කරගත් තැනැත්තා බ්‍රහ්මන් සමඟ ඒ යෝගය සම්බන්ධයෙන් එකතු වී ඇති බැවින් ඒ කරුණ සම්බන්ධයෙන් බ්‍රහ්මන් ද එතැන ඇති නිසා අර බ්‍රහ්මන් සමඟ මුළුමනින් ම එකතු වී ඇති තැනැත්තා ද එතැන ඇතැයි කිසිවකුට තර්ක කළ හැකි ය. එහෙත් ප්‍රශ්නය ඒ තැනැත්තා දැන් බ්‍රහ්මන්ගෙන් වෙන්කර ගන්නේ කෙසේ ද යන්න ය. ඔහු බ්‍රහ්මන්ගෙන් වෙන්කර ගැනීම යනු ඔහුට විමුක්‌තිය නැති කිරීමකි. ඒ කළ හැකි ද? එහෙත් මෙහි දී යමකුට කිව හැක්‌කේ ඒ තැනැත්තා බ්‍රහ්මන්ගෙන් වෙන්කර ගන්නේ අද නොව කලින් වූ දිනක (භව ගණනකට පෙර) බව ය. එවිට ප්‍රශ්නය වන්නේ ඒ කලින් දිනයෙහි අද කුණ්‌ඩලනී යෝගය අත්කරගත් තැනැත්තාට කුණ්‌ඩලනී යෝගයක්‌ නො තිබීම ය. කිනම් ආකාරයකින් තර්ක කළ ද මෙහි විසංවාද ඇති වෙයි.

කුණ්‌ඩලනී යෝගයෙන් පවුල් පිටින් අතීතයට යා හැකි යෑයි විශ්වාස කරන්නෝ ටෙලි නාට්‍ය හා චිත්‍රපටි අධ්‍යක්‍ෂවරු ය. කැමරාවෙන් තමන් පැරණි ගමක්‌ හා ගම්මුන් යෑයි සිතන ප්‍රදේශ හා චරිත රූගත කිරීම අතීතයට යැමක්‌ ලෙස දැක්‌වීමට ඔවුන් සිතනවා විය හැකි ය. පවුල් පිටින් මිතුරන් ද සමඟින් වත්මන් භවවලින් ඉකුත් වී මනසින් ගිය ද එකල තිබූ ශරීරවලට ඇතුල් වීම කැමරා යෝගයෙන් මිස කුණ්‌ඩලනී යෝගයෙන් හෝ වෙනත් යෝගයකින් හෝ කළ හැක්‌කක්‌ නො වේ. එවැනි කතා ඊනියා අධියථාර්ථවාදයක සිරකර තැබීම නම් අයහපත් නො වූණ ද, ඒ කළ හැකි දෙයක්‌ යෑයි කියා පෑමට තැත්කිරීම නම් යහපත් නො වේ.

මේ කලාකරුවන්ට ද, ඇතැම් බමුණන්ට ද බටහිර විද්‍යාඥයන්ට ද කාලයෙහි ආපස්‌සට ගමන් කිරීමක්‌ ගැන සිතෙන්නේ ඔවුන්ට අනුව කාලය යනුවෙන් භෞතික භූතාර්ථයක්‌ පවතින බැවිනි. මෙහි දී භෞතික භූතාර්ථයක්‌ යනුවෙන් මා විසින් හඳුන්වනු ලබන්නේ කුමක්‌ දැයි විස්‌තර කළ යුතු ය. භෞතික වූ භූතාර්ථයක්‌ යනු පවත්නා දෙයක්‌ නො වේ. සියලු සංස්‌කාරයන් අනිත්‍ය වූ විට අනාත්ම වූ විට ඊනියා ක්‍ෂණයක්‌ වුවත් පවතින්නේ කුමක්‌ ද? (www.kalaya.org/files2/VesakHan da201005.pdf)(www.kalaya.org/files2/dinamina201005.pdf) අප භෞතික වූ භූතාර්ථයක්‌ ලෙස සලකන්නේ සෘජුව හෝ වක්‍රව හෝ ඉන්ද්‍රිය ගෝචර වී මනසත් සමඟ එකතුවෙන් මනසින් සංස්‌කරණය කෙරෙන (නිර්මාණය කෙරෙන) සංකල්පයකි. සංස්‌කරණ ලෙස ගත් කල , සංකල්ප ලෙස ගත්කල ඒ සියල්ල ශූන්‍ය වෙයි. එහෙත් සම්මුතියෙන් අපි ඒ ඇතැයි සලකමු.

මල,ගස,හිස,දුගඳ ආදිය සෘජුව ම ඉන්ද්‍රිය ගෝචර වී මනස විසින් සංස්‌කරණය කෙරුණු සංකල්ප වෙයි. චුම්බක ක්‍ෂෙත්‍රය, ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය ආදිය වක්‍රව ඉන්ද්‍රිය ගෝචර වී මනස විසින් සංස්‌කරණය කෙරුණු සංකල්ප වෙයි. චුම්බකයක චුම්බක ක්‍ෂෙත්‍රය අපේ ඉන්ද්‍රිය පද්ධතියට නො දැනෙයි. එහෙත් චුම්බකයක්‌ ඉදිරියෙන් අල් පෙනෙත්තක්‌ තබා එය චුම්බකයට ඇදී යන අයුරු අපට දැකගත හැකි ය. ඒ සංසිද්ධිය විස්‌තර කිරීමට මනස විසින් චුම්බක ක්‍ෂෙත්‍රය යන සංකල්පය සංස්‌කරණය කෙරී ඇත. ඇතැම් විට අයින්ස්‌ටයින් විද්වතා පසුකාලීන ව කළ ගවේෂණ සාර්ථක වී නම් චුම්බක ක්‍ෂෙත්‍රය ද ඊනියා අවකාශ-කාලයෙහි (පංචමාන හෝ ඉහළ මානයක හෝ) වක්‍රතාවක්‌ ලෙස හඳුනා ගැනීමට, සංස්‌කරණය කිරීමට ඉඩ තිබුණි. ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය යනු පොල් (ඇපල්) පොළොවට වැටීම නම් සංසිද්ධිය තේරුම් ගැනීමට නිව්ටන් විද්වතා කළ සංස්‌කරණයක්‌ පමණකි.

චුම්බක ක්‍ෂෙත්‍රය මෙන් ම ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය ද අපේ ඉන්ද්‍රිය පද්ධතියට සෘජුව ගෝචර නො වෙයි. අපට ගෝචර වන්නේ අල්පෙනෙත්ති ඇදී යැම, පොල් වැටීම වැනි සංසිද්ධි ය. අපි ඒ සංසිද්ධි තේරුම් ගැනීම සඳහා සංකල්ප සංස්‌කරණය කරමු. එසේ සංස්‌කරණය කළ සංකල්පවලට ද මලක පැහැය වැනි පංෙච්න්ද්‍රියට සෘජුව ම ගෝචර වන සංකල්පවලට ද අපි භෞතික ව පවත්නා භූතාර්ථ යෑයි කියමු. එහෙත් මේ පැවැත්ම අපේ සංස්‌කරණ පමණ ය. ඉන් එහා ගිය යථාර්ථයක්‌ නැත. ඒ පැවැත්ම සම්මුතියක්‌ පමණකි.

බටහිර භෞතික විද්‍යාඥයකු වූ ද දාර්ශනිකයකු වූ ද ඉන්දියානු භූතවාදයේ පුරෝගාමියකු වූ බෞද්ධ පොතපත කියවා ගාල්ලේ භීක්‍ෂුන් වහන්සේ නමක සමඟ ලිපි ගනුදෙනු කරගනිමින් බෞද්ධයකු ලෙස ජීවත්වීමට උත්සාහ ගත්තා වූ ද අර්නස්‌ට්‌ මාක්‌ විද්වතා සෘජුව ඉන්ද්‍රිය ගෝචර සංකල්ප හැරෙන්නට අනෙක්‌ සංකල්ප පිළිගැනීම ප්‍රතික්‍ෂේප කෙළේ ය. ඒ ඔහු තේරුම් ගත් බුදු දහම අනුව ය. එහෙත් සෘජුව ඉන්ද්‍රිය ගෝචර වන සංකල්පවලට ද පැවැත්මක්‌ නැති බවත් ඒ ද සංකල්ප ලෙස ශූන්‍ය බවත් ඔහු තේරුම් නො ගත්තේ ය. පරමාණුව ඉන්ද්‍රිය ගෝචර නො වන බැවින් බටහිර භෞතික විද්‍යාවෙහි ප්‍රපංච පරමාණු ඇසුරෙන් විස්‌තර කිරීමට එතුමා විරුද්ධ විය. අපට නම් ඉන්ද්‍රිය ගෝචර වුවත් නැතත් සංකල්ප යනු සංකල්පම ය. ඒ ශුන්‍ය ය. එහෙත් සම්මුතියෙන් පරමාණුවට ද, ගුරුත්වාකර්ෂණයට ද, මලට ද භෞතික පැවැත්මක්‌ ඇතැයි අපි කියමු. කාලයට එවැනි වූ පැවැත්මක්‌වත් නැත. ඒ පඤ්ඤත්තියක්‌ පමණකි.