logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අතීතයට යන්නේ අනාගතයේ ද?

මහාචාර්ය නලින් ද සිල්වා

අපි නැවතත් බටහිර භෞතික විද්‍යාව දෙසට හැරෙමු. බටහිර භෞතික විද්‍යාවෙහි ප්‍රධාන වශයෙන් සුසමාදර්ශ දෙකක්‌ ද චින්තන දෙකක්‌ ද වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාව හා අයින්ස්‌ටයිනීය භෞතික විද්‍යාවන් සුසමාදර්ශ දෙකකට අයත් වන නමුත් එක ම චින්තනයක, එනම් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි බිහි වී ඇත. ක්‌වොන්ටම් භෞතික විද්‍යාව හා තාපගතික විද්‍යාව වෙනත් චින්තනයක බිහි විය යුතු ව තිබී එහෙත් අංග විකලව ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි නිර්මාණය වී ඇත. ඇතැම් විට පසුව සඳහන් කෙරුණු විද්‍යා දෙක එකිනෙකින් වෙනස්‌ වූ චින්තන දෙකක බිහි වීමට තිබූ විද්‍යාවන් විය හැකි ය.

නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි මෙන් ම අයින්ස්‌ටයිනීය භෞතික විද්‍යාවෙහි ද නිරීක්‍ෂකයා ගෙන් තොර ලෝකයක්‌, විශ්වයක්‌ උපකල්පනය කෙරෙයි. ඊනියා වාස්‌තවික යථාර්ථයක්‌ උපකල්පනය කෙරෙයි. නිරීක්‍ෂකයන් සිටියත් නැතත් ලෝකයටත් භෞතික විද්‍යාවේ නියමවලටත්, නිරීක්‍ෂණවලටත් අබමල් රේණුවක වුව ද බලපෑමක්‌ නො සිදු වේ යෑයි එහි දී උපකල්පනය කෙරෙයි. ඒ උපකල්පනයක්‌ බවත් ඒ උපකල්පනය ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි අඩංගු බවත් අමතක නො කළ යුතු ය.

එක ම චින්තනයක බිහි වී ඇතත් සුසමාදර්ශ අතින් නිව්ටෝනීය භෞතික විද්‍යාව අයින්ස්‌ටයිනීය භෞතික විද්‍යාවෙන් වෙනස්‌ වෙයි. ඒ ඊනියා සාපේක්‍ෂතාව සම්බන්ධයෙන් නො වේ. නිව්ටෝනීය භෞතික විද්‍යාවේ ද සාපේක්‍ෂතාවක්‌ වෙයි. ඒ ගැලිලීය සාපේක්‍ෂතාව ලෙස ප්‍රසිද්ධ ය. ඒ ඒ නිරීක්‍ෂකයාට ලෝකය පෙනෙන්නේ එක ම ආකාරයට නො වන බව ගැලිලීය සාපේක්‍ෂතාවෙන් ඉගැන්වෙයි. උසස්‌ පෙළ පරීක්‍ෂණයට නියමිත සාපේක්‍ෂ ප්‍රවේග ගැටලුව පදනම් වන්නේ ගැලිලීය සාපේක්‍ෂතාව මත ය. එහෙත් ඒ ඒ නිරීක්‍ෂකයා ගේ නිරීක්‍ෂණ ඉක්‌මවූ අවිචලක (Inva riant) ඇති බව ගැලිලීය සාපේක්‍ෂතාවෙහි කියෑවෙහි. උදාහරණයක්‌ ලෙස ගත හොත් යම්කිසි සිද්ධි දෙකක්‌ අතර කාල ප්‍රාන්තරය නිව්ටෝනීය සුසමාදර්ශයෙහි හා ගැලිලීය සාපේක්‍ෂතාවෙහි අවිචලක වෙයි. එයින් කියෑවෙන්නේ කිනම් නිරීක්‍ෂකයාට වුව ද සිද්ධි දෙකක්‌ අතර කාල පරිච්ඡේදය එක ම බව ය.

එපමණක්‌ නො වේ. නිව්ටෝනීය භෞතිකයෙහි නිරපේක්‍ෂ සමුද්දේශ රාමුවක්‌ හා අවස්‌ථිති සමුද්දේශ රාමු ගැන කියෑවෙයි. මේ නිරපේක්‍ෂ රාමුව ඇත්තේ නිරපේක්‍ෂ අවකාශයෙහි ය. ඒ අවකාශයෙහි කිසිවක්‌ හෝ කිසිවෙක්‌ හෝ නැත. අප වැනි නිරීක්‍ෂකයන්ට ඒ නිරීක්‍ෂණය කළ නොහැකි ය. අප වැන්නකු යම් අයුරකින් නිරපේක්‍ෂ අවකාශයට ගිය හොත් ඒ තවදුරටත් නිරපේක්‍ෂ අවකාශයක්‌ නො වන්නේ එහි කිසිවකු (නිරීක්‍ෂකයකු) ඇති බැවිනි. නිරපේක්‍ෂ අවකාශය අප වැන්නන්ට නිරීක්‍ෂණය කළ නොහැකි වුව ද ඒ පවතී. ඒ නිරීක්‍ෂණය කළ හැක්‌කෙක්‌ වෙයි. ඒ දෙවියන් වහන්සේ යන්න නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි නො කියෑවෙන උපකල්පනයයි.

අවිචලක ඇත්තේ නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි පමණක්‌ නො වේ. අයින්ස්‌ටයිනීය භෞතික විද්‍යාවෙහි ද අවිචලක වෙයි. සිද්ධි දෙකක්‌ අතර අවකාශ - කාල ප්‍රාන්තරය එවැනි අවිචලකයකි. නිරීක්‍ෂකයා කවරකු වුව ද සිද්ධි දෙකක්‌ අතර අවකාශ - කාල ප්‍රාන්තරයට ලැබෙන්නේ එක ම අගයකි. එමෙන් ම බටහිර භෞතික විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් දන්නා ආකාරයට ඕනෑ ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ආලෝකයෙහි වේගය එක ම අගයක්‌ ගනියි. නිව්ටෝනීය භෞතිකයෙහි ආලෝකයේ වේගය ගැලිලීය සාපේක්‍ෂතා වාදයට අනුව නිරීක්‍ෂකයා ගෙන් නිරීක්‍ෂකයාට වෙනස්‌ වෙයි.

අයින්ස්‌ටයින් ගේ සුප්‍රසිද්ධ ප්‍රවාදය සාපේක්‍ෂතාවාදය යනුවෙන් හඳුන්වනු ලැබූව ද එහි දී අවධාරණය කෙරෙනුයේ අවිචලක ය. එනම් නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත වූ නිරීක්‍ෂණ ය. අයින්ස්‌ටයින් ගේ ප්‍රවාදය සාපේක්‍ෂතාවාදය යනුවෙන් හඳුන්වනු ලැබීම වරදකි. එහෙත් අද ලෝකයා ඒ ප්‍රවාදය හඳුන්වන්නේ ඒ නමිනි. අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය භෞතිකයෙන් වෙනස්‌ වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමු සම්බන්ධයෙන් හෝ නිරපේක්‍ෂ අවකාශය සම්බන්ධයෙන් හෝ නො ව කාලය හා අවකාශය දෙකක්‌ ලෙස නො ව එකක්‌ ලෙස ගැනීමෙනි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි අවකාශය හා කාලය යනු එකක්‌ නො ව එකිනෙකින් ස්‌වායත්ත වූ භූතාර්ථ දෙකකි. අයින්ස්‌ටයිනීය භෞතික විද්‍යාවෙහි ඒ දෙක එකතු වී එක්‌ භූතාර්ථයක්‌ බවට පත් වෙයි.

නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි නිරපේක්‍ෂ අවකාශයෙහි කාලය ඒකාකාරව ගලා යයි. ඒ දෙවියන් වහන්සේට සාපේක්‍ෂව ය. වෙනත් නිරීක්‍ෂකයකු ගේ අවකාශයෙහි ද කාලය ඒකාකාරව ගලා යයි. එපමණක්‌ නො ව ඒ ගලා යැම එක ම ආකාරයකින් සිදු වෙයි. එනම් කලින් සඳහන් කළ ආකාරයට ඒ ඒ නිරීක්‍ෂකයා සිද්ධි දෙකක්‌ අතර කාල

පරිච්ඡේදය එකක්‌ ම ලෙස නිරීක්‍ෂණය කරයි. ඔරලෝසුවක්‌ ආධාරයෙන් ඒ එක ම බව මැන ගනියි. ඒ සියල්ලට ම වඩා අපට මෙහි දී වැදගත් වන්නේ කාලය යනුවෙන් යමක්‌ ඇති බවත් ඒ අවකාශය පවතින අයුරින් ම පවතින බවත් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි උපකල්පනය කිරීම ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවේත් විශේෂ සාපේක්‍ෂතාවාදයේත් අවකාශයට මෙන් ම කාලයට ද භෞතික වූ පැවැත්මක්‌ ඇත. විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි භෞතික වූ පැවැත්මක්‌ ඇත්තේ අවකාශ - කාලයට බව අවධාරණය කළ යුතු ය. එසේ වුවත් එයින් කියෑවෙන්නේ අවකාශ කාලයෙහි කාල සංරචකයට භෞතික වූ පැවැත්මක්‌ ඇති බව ය.

අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි දී තරමක වෙනසක්‌ සිදු වෙයි. එහි දී ද කාලය හා අවකාශය දෙකක්‌ ලෙස නො ව අවකාශ - කාලය යනුවෙන් එක්‌ භූතාර්ථයක්‌ ලෙස පවතියි. එමෙන් ම අවකාශ -කාලයට භෞතික වූ පදනමක්‌ ඇතැයි සැලකෙයි. සාධාරණ සාපේක්‍ෂතාවාදය විශේෂ සාපේක්‍ෂතාවාදයෙන් ප්‍රධාන වශයෙන් ම වෙනස්‌ වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමු යනුවෙන් සමුද්දේශ රාමු විශේෂයක්‌ නො ගැනීමෙන් හා අවකාශ - කාලය ද්‍රව්‍යයෙන් හා විකිරණයෙන් තොර ව නො පවතින්නේ යෑයි ගැනීමෙනි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ලග්රාන්ජීය සූත්‍රගත කිරීමෙහි දී ද ස්‌ථානීය වශයෙන් ගත් කල අවස්‌ථිති රාමු යනුවෙන් විශේෂ සමුද්දේශ රාමු කුලකයක්‌ නො ගැනෙන බව මෙහි දී සඳහන් කළ යුතු ය.

අයින්ස්‌ටයිනීය සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි අවකාශ - කාලය නිර්ණය කෙරෙන්නේ ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තිය මගිනි. ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තිය වෙනස්‌ වන විට අවකාශ - කාලය ද වෙනස්‌ වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි අවකාශය හා කාලයත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි අවකාශ - කාලයත් ද්‍රව්‍ය හා විකිරණවලින් නිර්ණය වන්නේ නො වේ. ද්‍රව්‍ය හා විකිරණ ඇතත් නැතත් අවකාශය හා කාලයත් අවකාශ - කාලයත් පවතියි. ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තිය වෙනස්‌ වන විට අවකාශය හා කාලය හෝ අවකාශ - කාලය හෝ වෙනස්‌ නො වෙයි. එහි දී ද ද්‍රව්‍ය හා විකිරණ වෙනස්‌ නො වන (නිව්ටෝනීය භෞතික විද්‍යාවේ) අවකාශයෙහි හා කාලයේත් (විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි) අවකාශ - කාලයේත් චලනය වෙයි.

සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි හා විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි එවැනි වෙනසක්‌ ඇති නමුත් ඒ කිසිවෙක අවකාශ - කාලයෙහි භෞතික පැවැත්ම අභියෝගයට ලක්‌ නො කෙරෙයි. එබැවින් ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තියෙන් නිර්මිත වන අවකාශ-කාලය වාස්‌තවිකව පවත්නා භෞතික භූතාර්ථයක්‌ ලෙස සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ද සැලකෙයි. බටහිර භෞතික විද්‍යාවට කාලය යන්න අවකාශ - කාලය ලෙස හෝ හුදෙක්‌ කාලය ලෙස හෝ භෞතික ව පවතින්නකි. එය නිව්ටෝනීය සුසමාදර්ශයෙහි ද අයින්ස්‌ටයිනීය සුසමාදර්ශයෙහි ද පවතින්නේ ඒ සුසමාදර්ශ දෙක ම එක ම ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි නිර්මාණය වී ඇති බැවිනි. එහෙත් ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි හා තාප ගතිකයෙහි කාලය සූත්‍රගත වී ඇත්තේ වෙනත් ආකාරවලට ය. එහෙත් බටහිර භෞතික විද්‍යාවෙහි තැත් කෙරෙන්නේ ඒ අවස්‌ථා දෙකෙහි ද කාලය භෞතික පැවැත්මක්‌ ඇති භූතාර්ථයක්‌ ලෙස සැලකීමට ය.

බටහිර භෞතික විද්‍යාඥයන්ට කාලය යන්න ඉමහත් ගැටලු ඇති කරන සංකල්පයක්‌ බවට පත් වී ඇත. අද ස්‌ටීවන් හෝකින් වැනි කීර්තිමත් විශ්වවේදියෝ ඊනියා කාල තරණයක්‌ ගැන සඳහන් කරතිs. බටහිර පළ වන විද්‍යා සඟරාවල මේ පිළිබඳ නිතර ලිපි පළ වෙයි. කාලයට නිව්ටෝනීය සුසමාදර්ශයෙහි මෙන් කාලයට හා අවකාශයට ලෙස තනි තනි ව ම හෝ අයින්ස්‌ටයිනීය සුසමාදර්ශයෙහි මෙන් අවකාශ- කාලය ලෙස හෝ භෞතික පැවැත්මක්‌ ඇත්නම් අපට කාලයෙහි ආ පස්‌සට යා හැකි විය යුතු ය යන්න බටහිර භෞතික විද්‍යාඥයන් ගේ උපකල්පනය වී ඇත.

අපි අවකාශයෙහි ඉදිරියට මෙන් ම පස්‌සට ද යමු. දකුණට මෙන් ම වමට ද යමු. ඉහළට මෙන් ම පහළට ද යමු. අවකාශයෙහි මාන තුනක්‌ ඇති බැවින් එසේ අභිදිශා හයකට යැමේ අවස්‌ථාව අපට ලැබී ඇත. එහෙත් නිව්ටෝනීය සුසමාදර්ශයෙහි මෙන් ම අයින්ස්‌ටයිනීය සුසමාදර්ශයෙහි ද කාලයට ඇත්තේ එක්‌ මානයක්‌ පමණකි. කාලයට භෞතික පැවැත්මක්‌ ඇති බැවින් අපට කාලයේ ඉදිරියට මෙන් ම ආපස්‌සට ද යා හැකි විය යුතු යෑයි බොහෝ බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරති. උපකල්පනය කරති. කාලයෙහි ඉදිරියට යැම හා ආපස්‌සට යැම යනුවෙන් අප අදහස්‌ කරන්නේ කුමක්‌ ද?

කාලයෙහි ඉදිරියට යැම යනුවෙන් අදහස්‌ කරන්නේ අපට අනාගතයක්‌ එළඹෙන බව ය. තව පැයකින් මට කාර්යාලය බලා ගමන් ඇරඹිය හැකි ය. තව විනාඩි පහකින් දුම්රිය පැමිණෙනු ඇත. ආදී වශයෙන් අපි කියමු. එහෙත් ඒ කාලයෙහි ඉදිරියට යැමක්‌ නො වෙයි. තවමත් සිදු නො වී ඇති සිද්ධියක්‌ සිදු විය හැකි බව පමණක්‌ අපි දනිමු. මෙහි දී වැදගත් වන්නේ තවමත් සිදු නො වී ඇති සිද්ධියක්‌ යන්න ය. ඒ සිද්ධිය සිදු වීමට මෙන් ම නො වීමට ද ඉඩක්‌ (සම්භාවිතාවක්‌) ඇත. විනාඩි පහකින් පැමිණීමට ඇති දුම්රිය යම්කිසි හේතුවක්‌ නිසා පමා වී පැමිණිය හැකි ය. එසේත් නැත හොත් ඒ නො පැමිණී ම පැය බාගයකින් පැමිණීමට නියමිත දුම්රිය පැමිණිය හැකි ය. අනාගතය අවිනිශ්චිත ය.

එහෙත් අතීතය ගැන අපට කිව හැක්‌කේ කුමක්‌ ද? අතීත සිදුවීම් සිදු වී අවසාන ය. ඒ ගැන අපට නිශ්චිතව ම කිව හැකි ය. අපට අතීතයට යා හැකි ද? අතීතයට යැම යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? මට අතීතයට ගොස්‌ මගේ මිය ගිය පියා හෝ මව හෝ මුණගැසීමට හැකි ද? එසේත් නැත හොත් එයටත් වඩා අතීතයට ගොස්‌ සීයා මුණගැසිය හැකි ද? මට 1815ට ආපසු ගොස්‌ ඊනියා උඩරට ගිවිසුම හෙවත් සිංහල-ඉංගිරිසි ගිවිසුම අත්සන් කරනු දැකගත හැකි ද? මට ආපසු යා හැක්‌කේ මගේ උත්පත්තියෙන් පසු මා සම්බන්ධ වූ සිද්ධිවලට පමණක්‌ ද? වඩාත් ප්‍රශ්නකාරී අන්දමට ඇසුව හොත් මට අතීතයට යා හැක්‌කේ අනාගතයේ ද? අතීතයට යැම අතීතයට අයත් සිද්ධියක්‌ ද? එසේත් නැත්නම් අනාගතයට අයත් සිද්ධියක්‌ ද?

මහාචාර්ය නලින් ද සිල්වා