logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


නව සුසමාදර්ශයෙන් ඉතිහාසයට නව එළියක්‌

මහාචාර්ය නලින් ද සිල්වා

ඉතිහාසය පිsළිබඳව ලියන ලද තවත් ලිපි කිහිපයක්‌ අවසන් කළ යුතු යෑයි අදහස්‌ කරමි. මේ ලිපි පෙළෙන් අපි නව සුසමාදර්ශයක්‌ ඉදිරිපත් කෙළෙමු. වංසකතාවල අපේ ඉතිහාසයහි යක්‍ෂ ගෝත්‍රික සංරචකය ඉවත් කෙරී ඇත. අර්ධ වෛදිකයන් මෙරටට පැමිණෙන විට විවිධ ගෝත්‍රිකයෙන් මෙරට සිටි බව වංසකතාවලින් ම පැහැදිලි වෙයි. ඒ අතර යක්‍ෂ, නාග, දේව, රාක්‍ෂස ප්‍රධාන වෙයි. එයට අමතරව වැදි ආදී තවත් ගෝත්‍ර ද වාසය කර ඇත. පණ්‌ඩුකාභය රජු දවස සිදු වී ඇත්තේ යක්‍ෂ හා වැදි ගෝත්‍රිකයන් හැරෙන්නට අනෙක්‌ ගෝත්‍රිකයන් සමග අර්ධ වෛදිකයන් එකතු වී සිංහල ජාතිය ගොඩනැගීම ආරම්භ කිරීම ය. වැදි ගෝත්‍රිකයෝ මුළුමනින් ම සිංහල ජාතිය ගොඩනැගීමේ කාර්යයෙන් බැහැර ව සිටි අතර යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් කිහිප දෙනකු එයට සහභාගි වී ඇත. විත්‍රරාජ, කාළදේව යන නායකයන් ද වාලමු වැනි නායිකාවන් ද පඬුඅබා රජුට ආධාර කර ඇත.

වැදි ගෝත්‍රිකයෝ සිංහල සමාජයට ඇතුළු aවීමට උත්සාහ නො කළ අතර සිංහල ජාතියට විරුද්ධ ව ද ක්‍රියා නො කළ හ. ඔවුහු තම ජීවන රටාව වෙනස්‌ කර කෘෂිකාර්මික සංස්‌කෘතියට ඇතුළු වීමට උත්සාහ නො කළ හ. එහෙත් යක්‍ෂ ගෝත්‍රිකයෝ එසේ නො වූ හ. යක්‍ෂ ගෝත්‍රිකයෝ ද අර්ධ වෛදිකයන් මෙන් ම කෘෂි ජීවන රටාවක්‌ අනුගමනය කළ හ. ඔවුන් අර්ධ වෛදිකයන් ගෙන් වෙනස්‌ වූයේ විශේෂයෙන් ම වාපී සංස්‌කෘතියක්‌ බිහි කිරීමෙනි. අර්ධ වෛදිකයෝ ගංගා නිම්න කෘෂිකාර්මික සංස්‌කෘතියකට උරුමකම් කී හ. අර්ධ වෛදිකයන් සිංහල ජාතියේ දේශපාලන ආධිපත්‍යයට පත් වූ නමුත් වාපී කෘෂිකාර්මික සංස්‌කෘතිය සිංහල ජාතිය විසින් ද අනුගමනය කෙරිණි. එසේ කිරීමට හැකි වූයේ බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයට වඩා එකල යටත්විජිතවාද වෙනස්‌ වූ බැවිනි.

පැරැණි යටත්විජිතවාද දේශපාලන ආධිපත්‍යය වටා භ්‍රමණය විණි. සංස්‌කෘතික ආධිපත්‍යය එයින් ඇතැම් විට ගලා එන්නක්‌ පමණක්‌ විය. එහෙත් දේශපාලන ආධිපත්‍යයට යට වූ ජනතාව ගේ සංස්‌කෘතිය ඇතැම් විට දේශපාලන ආධිපත්‍යය ඇති කළ ජනවර්ගයට හෝ ජාතියට හෝ ආරෝපණය විය. යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ වාපී කෘෂිකාර්මික සංස්‌කෘතිය අර්ධ වෛදිකයන්ට හා සිංහල ජාතියට හිමි වූයේ එලෙසිනි. මෙහි දී කිව යුත්තක්‌ වෙයි. යක්‍ෂ වාපී සංස්‌කෘතියෙහි වැව් තැනුණේ තාවල්ලක්‌ සහිත ජල පෝෂණයක්‌ සහිත ප්‍රදේශයක ය. වැව් යා කරමින් ඇළවල් බැඳ ඇති නමුත් ගංගා ඔය හරස්‌ කර වැව් බැඳීම යක්‍ෂ සම්ප්‍රදාය නො වී ය. එහෙත් අර්ධ වෛදිකයෝ පළමු වරට ඔයක්‌ හරස්‌ කර කලාවැව නිර්මාණය කළ හ. එයින් වැව් තාක්‍ෂණය ඉදිරි පිම්මක්‌ පැන්න නමුත් යක්‍ෂ ගෝත්‍රිකයන් එයට විරුද්ධ වී ඇති බව පෙනෙයි. ධාතුසේන රජු එසේ ඉදිරි පිම්මක්‌ පැනීමෙන් නිර්මාණය කළ කලාවැව තම වස්‌තුව ලෙස සැලකීම පුදුමයක්‌ නො වේ.

බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය අෙන්‍යාන්‍ය වශයෙන් බහිෂ්කාර නො වූ සංරචක තුනකින් සමන්විත වෙයි. ඒ දේශපාලන, සංස්‌කෘතික හා ආර්ථික යනුවෙනි. බටහිර යටත්විජිතවාදය මේ සියලු සංරචක යටත්විජිත වැසියන් වෙත පතුරවයි. මෙය ඉතා දැඩි මර්දනයක්‌ යටත්විජිත වැසියා වෙත ඇති කරන අතර ඒ එකිනෙක සංරචක අතර ඇති සම්බන්ධතා හේතුවෙන් ග්‍රැමිසිකි නම් මාක්‌ස්‌වාදියා කියා ඇති ආකාරයෙන් හෙජමනියක්‌ ද ඇති කරයි. හෙජමනිය දේශපාලන ආධිපත්‍යයකට වඩා ඉතා වැඩි දෙයකි. එහෙත් අප සඳහන් කරන සංරචක අතර සම්බන්ධයට වඩා අඩු දෙයකි. අද මෙරට ද සිටින ඇතැම් මාක්‌ස්‌වාදී පඬියෝ ඊනියා හෙජමනියක්‌ ගැන කතා කරති. එහෙත් මේ හෙජමනියෙහි යම් සංස්‌කෘතික යටත්විජිතවාදයක්‌ ද ඇති බව පඬියෝ තේරුම් නො ගනිති. ග්‍රැමිස්‌කි වුව ද තේරුම් නො ගත් දෙයක්‌ නම් බටහිර දැනුම ද මේ යටත්විජිතවාදයෙහි කොටසක්‌ බව ය. හෙජමනිය යන නො පැහැදිලි සංකල්පය වෙනුවට අපි අෙන්‍යාන්‍ය වශයෙන් බහිෂ්කාර නො වූ දේශපාලනික සංස්‌කෘතික හා ආර්ථික යටත්විජිතවාදී සංරචකවලින් සමන්විත බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය යන සංකල්පය යොදාගනිමු.

කෙසේ වෙතත් වාපී කෘෂිකාර්මික සංස්‌කෘතියක්‌ ඇති කරගත් සිංහල ජාතියට විරුද්ධ වූ යක්‍ෂ ගෝත්‍රිකයෝ පඬුඅබා දවස සිට ම මෙරට ජීවත් වූ හ. වංසකතාවල මේ ගෝත්‍රිකයන් අමතක කෙරෙයි. ඒ හේතුවෙන් ඇතැම් විට යක්‍ෂ ගෝත්‍රිකයන් ගැන සඳහන් විය යුතු තැන්වල දෙමළ යනුවෙන් සඳහන් වෙයි. එළාර රජු ආශ්‍රිත කතාව එවැන්නකි. එළාර නම් දෙමළ රජ කෙනකු භාරතයේ දකුණු දෙසින් පැමිණ අනුරාධපුරය හතළිස්‌ වසරක්‌ පමණ පාලනය කිරීමට තරම් ශක්‌තිමත් දෙමළ වාංශික රාජ්‍යයක්‌ එවකට භාරතයේ නො තිබිණි.

දෙමළ ජාතික රාජ්‍යයක්‌ ලෝකයේ කිසි ම තැනක කිසි ම දිනෙක තිබී නැත. චෝලයන් දෙමළ වංශයක්‌, එනම් දෙමළ බස කතා කළ වංශයක්‌ ලෙස සැලකිය හැකි ය. පාණ්‌ඩ්‍ය වංශය ද ෙච්ර වංශය ද එසේ ම ය. එහෙත් මෙහි දී සඳහන් කළ යුතු කරුණක්‌ වනුයේ පාණ්‌ඩ්‍යයන් කලින් අර්ධ වෛදිකයන් වූ බව ය. පඬුවස්‌දෙව් කුමරු එසේ දකුණු භාරතයට උතුරෙන් පැන ආ අර්ධ වෛදික වංශයකට අයත් වූවෙකි. විජය රජුට මනාලිsයක ගෙන ආවේ අර්ධ වෛදික පාණ්‌ඩ්‍ය වංශයෙන් මිස දෙමළ පාණ්‌ඩ්‍ය වංශයකින් නො වේ.

ද්‍රවිඩයන් භාරතයට පැමිණ ඇත්තේ ම ක්‍රිස්‌තු පූර්ව හයවැනි සියවසේ දී ය. එදා සිට ගැමුණු රජ දවස වන විට භාරතයේ ශක්‌තිමත් දෙමළ හෝ වෙනත් වර්ගයක හෝ ද්‍රවිඩ වාංශික බලවත් රාජ්‍ය ඇති වී නො තිබිණි. එළාර රජු යක්‍ෂ ගෝත්‍රිකයන්ට සම්බන්ධකම් තිබූ පැරැණි පර්සියාව ප්‍රදේශයෙන් පැමිණි රජ කෙනකු වීමට ඇති ඉඩකඩ ඔහු දෙමළ රජකු වීමට ඇති ඉඩකඩට වඩා ඉතා වැඩි ය. එහෙත් වංසකතාවේ යක්‍ෂ ගෝත්‍රික ඉතිහාසය වසං කර ඒ වෙනුවට පැරැණි යක්‍ෂ ගෝත්‍රිකයන් දෙමළ වැසියන් බවට පත් කෙරෙයි. මාගම සිට අනුරාධපුරයට ගිය ගැමුණු කුමරුට මහවැලි ගඟ තරණය කිරීමට පෙර බිඳීමට සිදු වූ බලකොටු තිස්‌ දෙක යක්‍ෂ නො වී දෙමළ වන්නේ ඒ විධික්‍රමයට අනුව ය. එළාරට මෙහි පැමිණ එතරම් සුළු කාලයක දී මහවැලි ගඟෙන් එගොඩ, එනම් වත්මත් නැගෙනහිර පළාතේ (රුහුණේ) බලකොටු තිස්‌ දෙකක්‌ ඉදි කිරීමට හැකියාවක්‌ තිබිණි ද? මේ අතර ගැමුණු කුමරු කොත්මලේ ගියේ එහි සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් තමන්ට පක්‍ෂපාතී කරගැනීමට ය යනුවෙන් ඒ ප්‍රදේශයෙහි ඇති ජනප්‍රවාදය අමතක නො කළ යුතු ය.

යක්‍ෂ ගෝත්‍රික ඉතිහාසය වෙනුවට දෙමළ ඉතිහාසයක්‌ ලිවීමෙන් වංසකතා වක්‍ර ව නමුත් දෙමළ ජාතිවාදයට පැරැණි ඉතිහාසයක්‌ උරුම කර ගැනීමට අවස්‌ථාව සපයා ඇත. අද දෙමළ ජාතිවාදීන්ට මෙරට එළාර කාලයේ සිට ම වායස කෙළේ යෑයි කීමට සාධක නැතත් ඔවුහු වංසකතා ඇසුරෙන් එවැනි ඉතිහාසයක්‌ නිර්මාණය කරති. එසේ නිර්මාණය කරන අතර ම වංසකතාවලට ද පහර දෙති. ඇතැම් දෙමළ ජාතිවාදීන් ලෝකයට කියන්නේ වෙනත් බෞද්ධයනට ඇත්තේ ත්‍රිපිටකයක්‌ පමණක්‌ නමුත් සිංහල බෞද්ධයනට මහාවංසය නමින් හතරවැනි පිටකයක්‌ ද ඇති බව ය.

අප ඉදිරිපත් කරන සුසමාදර්ශයට අනුව පඬුඅබා දවස සිට ම සිංහල ජාතියට එරෙහි වූ යක්‍ෂ ගෝත්‍රිකයෝ මෙරට වාසය කළ හ. ඔවුහු විටින් විට සිංහල ජාතියට හා රාජ්‍යයට අභියෝග කළ හ. යක්‍ෂ ගෝත්‍රිකයෝ කලාකරුවෝ වූ හ. දක්‍ෂ ශිල්පීහු වූ හ. ඔවුන් සතු සංගීතයක්‌ විය. මේ බොහෝ සංස්‌කෘතිකාංග ඔවුන් ගෙන් සිංහලයන්ට හිමි වී ඇත. ඒ අතර සිංහල ජාතියට නාග, දේව ආදී ගෝත්‍රිකයන් ගෙන් උරුම වූ සංස්‌කෘතිකාංග ද වෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන් බලවත් ම වී ඇත්තේ කාශ්‍යප රජු කාලයෙහි ය. ඔවුහු පළමු වතාවට සිංහල රාජ්‍යයෙහි බලය ලබාගත් හ. කාශ්‍යප රජු මවු පාර්ශ්වයෙන් යක්‍ෂ ගෝත්‍රිකයකු වූ බව පැහැදිලි ය.

මහසෙන් රජු ද මවු පාර්ශ්වයෙන් යක්‍ෂ ගෝත්‍රයට අයත් වුවත් ඔහු ද රජ බවට පත් වුවත් ඔහුට සහාය දිය හැකි තරමේ යක්‍ෂ ගෝත්‍රික බලයක්‌ තිබූ බවක්‌ නො පෙනෙයි. කාශ්‍යප කුමරුට එවැනි බලයක්‌ සහිත යක්‍ෂ ගෝත්‍රික පිරිසක්‌ වූ බව පෙනෙයි. කාශ්‍යප රජු සිංහල රාජ්‍යය දහ අට වසරකට වුවත් අත් කරගෙන ගෙන ඇත. එහෙත් ඒ යක්‍ෂ ගෝත්‍රිකයන් බලය අත් කරගත් ප්‍රථම හා අවසාන අවස්‌ථාව විය. මුගලන් කුමරු භාරතයට පැන ගොස්‌ හමුදාවක්‌ රැගෙනැවිත් කාශ්‍යප රජු පරදවා නැවතත් සිංහල රාජ්‍යයෙහි බලය තමන් අතට ගෙන ඇත. ඔහු එහි දී ඉතා දරුණු භීෂණ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කර ඇති බව පැහැදිලි වන අතර ඉන්පසු යක්‍ෂ ගෝත්‍රිකයන්ට සිංහලයන්ට අභියෝග කිරීමට තරම් ශක්‌තියක්‌ තිබී නැත. ඉන්පසු කෙමෙන් කෙමෙන් යක්‍ෂ ගෝත්‍රිකයන් සිංහල ජාතියට ඇතුළු වන්නට ඇත. අද වන විට එලෙස සිංහලකරණය වීම අවසාන අවස්‌ථාවට එළඹී ඇති බව පැහැදිලි ය.

මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක්‌ නම් යක්‍ෂ ගෝත්‍රිකයන් වෙන ම රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීමට උත්සාහයක්‌ දරා නොමැති බව ය. ඔවුහු වැඩි ම වශයෙන් ගත හොත් සිංහල ජාතියට අභියෝග කරමින් සිංහල රාජ්‍යයෙහි වාසය කළෝ ය. වෙන ම රාජ්‍යයක්‌ යන්න වත්මන් සංකල්පයක්‌ යෑයි කිසිවකුට කල්පනා විය හැකි ය. එහෙත් වෙන ම රාජ්‍යයක්‌ පිහිටුවීමට අවශ්‍ය මූලික අනිවාර්ය එහෙත් ප්‍රමාණවත් නො වන කොන්දේසියක්‌ වනුයේ යම් ජනවර්ගයක්‌ හෝ ගෝත්‍රයක්‌ හෝ ඉතා වැඩි වශයෙන් එක ප්‍රදේශයකට සීමා වීම ය. යක්‍ෂ ගෝත්‍රිකයෝ දිවයින පුරා විසිර සිටිය හ.

එබැවින් ඔවුනට අදාළ අනිවාර්ය අවශ්‍යතාව සපුරා ලීමට නො හැකි විය. වත්මන් දෙමළ ජනයා ද දිවයින පුරා විසිරී සිටිති. ඔවුන්ට ද වෙන ම රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා මූලික අනිවාර්ය අවශ්‍යතාව වත් නැත.

අපේ අවධානයට ලක්‌ විය යුතු තවත් කරුණක්‌ වෙයි. පොම්පරිප්පුවේ හා වෙනත් තැන්වල හමු වී ඇති සොහොන් දෙමළ ජනයා ගේ යෑයි කීමට ඇතැම් පඬියෝ උත්සාහ කරති. එහෙත් ඒ සොහොන් දෙමළ ජනයා මෙරට ස්‌ථිර වාසස්‌ථාන නිර්මාණය කළා යෑයි යාපනය විශ්වවිද්‍යාලයයේ පළමු ඉතිහාස මහාචාර්යවරයා වූ ඉන්ද්‍රපාලන් මහතා පවසන දොළොස්‌වැනි සියවසට ඈත අතීතයේ තිබී ඇත. ඒවා අර්ධ වෛදිකයන් පැමිණීමට පෙර මෙරට විසූ ගෝත්‍රික ජනයා ගේ බව පැහැදිලි ය. අර්ධ වෛදිකයන් පැමිණීමෙන් පසු ඒ සොහොන් ක්‍රමයෙන් අභාවයට යැමෙන් පෙනී යන්නේ ඒවා සිංහල ජාතියෙහි කිඳාබැසි නාග වැනි ගෝත්‍රික පිරිසක ගේ හෝ පිරිස්‌ කිහිපයක හෝ සොහොන් බව ය. යක්‍ෂ ගෝත්‍රිකයන් සිංහල ජාතිය සමග සම්පූර්ණයෙන් නො බැඳුණු බැවින් ඒ සොහොන් ඔවුන් ගේ වී නම් අර්ධ වෛදිකයන් පැමිණීමෙන් කලකට පසුව ද ඒ සොහොන් නිර්මාණය කළ යුතු ව තිබිණි.

ඒ සොහොන්වල මුට්‌ටිවල මළ සිරුරු බහා ලා ඇත්තේ වක්‌ ගැසුණු අයුරකින් වීම නිසා ඒ නාග ගෝත්‍රිකයන් ගේ වීමට ඉඩක්‌ ඇත. නාග සංකේතයට අනුව දරණ ගසා සිටින අයුරට තරමක්‌ වුවත් සමීප වන ආකාරයට මළ සිරුරු වළ දැමීමට ඔවුන් කල්පනා කළා විය හැකි ය. ඒ සොහොන්වල ඇති අකුරු බ්‍රාහ්මී අක්‍ෂර නො වන බැවින් ද ඒ අර්ධ වෛදිකයන් මෙරටට පැමිණීමට පෙර මෙරට වාසය කළ ගෝත්‍රයක්‌ හෝ ගෝත්‍ර කිහිපයක්‌ හෝ නිර්මාණය කළ සොහොන් වීමට ඇති ඉඩකඩ අධික ය. කෙසේ වෙතත් මේ සියලු කරුණු සම්බන්ධයෙන් තව තවත් ගවේෂණ කළ යුතු ය. වංසකතාවල සුසමාදර්ශයට වෙනස්‌ සුසමාදර්ශයක්‌ පදනම් කරමින් ඒ ගවේෂණය සිදු නො කළ හොත් ඉන් අනිටු ඵල අත් වනු ඇත.