ආයු බෝ වේවා
තීන්දුව කල් දමාගැනීමට පුළුවන්

තුසිත මලලසේකර

යුරෝපීය ඇඳුමින් සැරසී ටයි-පටියක්‌ ද පැළඳ සිටි වයස 40ක්‌ පමණ පෙනුමැති ඔහු මා දුටුවේ වෛද්‍යවරයකු ගේ සායනයක දී ය. වෛද්‍යවරයා ඔහු ගේ රුධිර පීඩනය මැන "ඔයා ගේ බ්ලඩ් ප්‍රෙෂර් එක හුඟක්‌ වැඩියි නේ" පවසනු ඇසිණි.

ඊළඟට මා දුටුවේ වෛද්‍යවරයා අසල ක්‌ලාන්තව බිම ඇද වැටුණු රෝගියා ය. බැලු බැල්මට පෞද්ගලික අංශයේ විධායක නිලධාරියකු යෑයි නිගමනය කළ හැකි ඔහුට වෛද්‍යවරයා ගේ ප්‍රකාශය "මරණ තීන්දුවක්‌" වූවා විය හැකි ය. සිය කළණ බිරිඳ, චූටි දූ පුතුන්, ගත් නිවාස ණය, වාහන බද්ද, මේ සියල්ල මතකයට නැඟෙන්නට ඇත. "ප්‍රෙෂර් එක වැඩියි - ඊළඟට මරණය" ලෙස දෝංකාර දුන් තම සිත ඉදිරියේ ඔහු කම්පනයට පත් වන්නට ඇත. එහෙත් එය එසේ විය යුතු නැත.

වෛද්‍ය සඟරාවක මා කියවූ මේ වාක්‍යය බලන්න.

පිළිකාව සුව කළ හැකියි. අධික රුධිර පීඩනය, දියවැඩියාව පාලනය කළ හැකියි. හෘදයාබාධ සඳහා පිළියම් කළ හැකියි.

එසේ නම් සමහර විට "මරණ තීන්දුවක්‌ සේ" පෙනිය හැකි වෛද්‍යවරයා ගේ රෝග විනිශ්චයට මුහුණ දීමට අපට නොහැකි ද?

"මෙයා ජීවත් වෙන්නෙ තව තුන් මාසයයි. නැත්නම් අවුරුද්දයි. එහෙමත් නැතිනම් වැඩි ම වුණොත් අවුරුදු 5යි." වැනි තීන්දු අවසාන තීන්දු ම නො වේ. ඔබට අභියාචනා කළ හැකි ය. එසේ අභියාචනා කර තීන්දුව කල් දමා ගත් ධෛර්ය සම්පන්න අය අප අතර ද සිටිති.

මේ අභියාචනයට පෙර මෙවැනි "තීන්දුවක්‌" හමුවේ අප පියවර 4කට යොමු වන බව මනෝ වෛද්‍ය මතයයි. ඉන් පළමුවැන්න "කම්පනය" සහ/හෝ "ප්‍රතික්‌ෂේප කිරීම"යි. "...පිස්‌සු ද මට එහෙම වෙන්න විදියක්‌ නැහැ. මට කොහොම ද එහෙම වෙන්නේ.....? අපේ පරම්පරාවල කාට වත් මේ වගේ ලෙඩ නැහැ.." වැනි අදහසක්‌ පළ කරමින් වෛද්‍යවරයා ගෙන් වෛද්‍යවරයා වෙත යමින් සහ සමහර වෙලාවට සනාථ නො කළ ප්‍රතිකාර සපයන හොර වෙදුන් වෙත යැමට මේ අවස්‌ථාවේ දී පෙලඹීම සාමාන්‍ය දෙයකි. තවත් සමහර වෙලාවට මුල දී සඳහන් කළ රෝගියා මෙන් කම්පනයට පත් වීමට ද පිළිවන.

දෙවැනි අදියර ( තරහව සහ ඒ හා සමග ම වරදක්‌ කළාක්‌ වැනි හැඟීමක්‌ ඇති වීමයි.

තමන් සමග ම තම හිත මිතුරන්, පවුලේ අය මෙන්ම සමාජය කෙරෙහි ද වෛර කිරීමක්‌ මෙහි දී දැකිය හැකි ය. "ඇයි....මම ඔච්චර කල් තෙල් කෑම කෑවේ?" "ඇයි මගේ බිරිඳ මට තෙම්පරාදු කළ කෑම දුන්නේ?" "ඇයි මම ඒ හදිස්‌සියේ හම්බ වෙච්ච කෙනත් එක්‌ක අනාරක්‌ෂිත ලිංගික සම්බන්ධතාවක්‌ පැවැත්වූවේ?"

සමහර විට මේ අය සෞඛ්‍ය සේවකයන් සහ තමන්ට සහන සලසන අයට ද වෛර කරති.

තෙවැනි අදියර යම් මානසික අවපීඩනයකට නැතිනම් විෂාදයකට පත් වීමයි. තමන් වැටී සිටින තත්ත්වය, වැළඳී තිබෙන රෝගය ගැන බොහෝ සේ පසුතැවෙන, දුක්‌ වන, හඬන මේ අදියරේ දී සමාජයෙන් පලා යැමට උත්සාහ දරනු දක්‌නට ලැබේ. සමහර විට සියදිවි නසා ගැනීමට පවා යොමු විය හැකි ය.

අවසන් නැත්නම් හතර වැනි අදියර ලෙස මනෝ වෛද්‍යවරුන් සලකන්නේ පිළිගැනීම ය. තමන් මුහුණ දී සිටින තත්ත්වයේ ඇති ධනාත්මක, හිතකර පැත්ත දෙස බැලීමට සමත් වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙවැනි ව්‍යසනයකට මුහුණ දුන් එක ම තැනැත්තා තමන් පමණක්‌ නො වන බව හේ පිළිගනියි. මරණය ගැන සිතීමට නම් ජීවත් වීම ගැන සිතීම ප්‍රයෝජනවත් බව වටහා ගනියි. සිටින ටික කාලයේ දී තමන්ට, තම පවුලට පමණක්‌ නො ව තමන් වැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී සිටින අයට ද සහාය වීමට පවා කෙනකු ඉදිරිපත් වන්නේ මේ අදියරේ දී ය.

මේ අදියර 4 මේ පිළිවෙළට ම සැම කෙනකුට ම බල නො පාන්නට ඉඩ තිබේ. ඒවා එහා මෙහා විය හැකි ය. අද තම තත්ත්වය පිළිගත් අයකු හෙට ඉන් පලා යැමට ද යොමු විය හැකි ය. කම්පනයට පත් විය හැකි ය. එහෙත් මෙහි දී වැදගත් වන්නේ "තීන්දුව" ලැබීමෙන් පසු හැකි ඉක්‌මනට 4 වැනි අදියරට පත් වීමට - පිළිගැනීමේ තත්ත්වයට පත් වීමට උත්සාහ දැරීම ය. ඒ සඳහා ඔහුට/ඇයට අවශ්‍ය සහාය සහ ශක්‌තිය සැපයීම සෙසු අය ගේ වගකීම වේ.

තමන් මුහුණ පා සිටින තත්ත්වයේ යථාර්ථය සිහිපත් වූ විට ඒ තත්ත්වය රැක ගැනීම සඳහා උදව් අවශ්‍ය ය. පළමුව ඔබට ඇති විකල්ප විමසිය යුතු ය. සමහර විට අදාළ රෝගය හා සම්බන්ධ ඉහළ ම දැනුම ඇති විශේෂඥයෙකු හමු වීම ඔබට ප්‍රයෝජනවත් විය හැකි ය. අන්තර්ජාලයේ විශ්වාසදායි වෙබ් පිටුවක්‌ වෙත යොමු ව අදාළ රෝගය සහ එහි ප්‍රගමනය ගැන තව තවත් තොරතුරු විමසා දැනගන්නට පිළිවන..

ඔබට උදව් වන සහායක කණ්‌ඩායමක්‌ වට කර ගන්න. එහි දී ඔබේ වෛද්‍යවරයා, සෞඛ්‍ය සේවකයා, බිරිඳ හා පවුලේ අය මෙන්ම දැන උගත් මිතුරු මිතුරියන් ද එම කණ්‌ඩායමට එක්‌ කර ගැනීමට උත්සාහ කරන්න.

ඔබට සිතෙන දේ, හැඟෙන දේ, අවශ්‍ය දේ වෛද්‍යවරයාට පමණක්‌ නො ව හිත මිතුරු අයකුට ද නොසඟවා පළ කරන්න.

ඔබේ බර සැහැල්ලු කරගන්න. ඔබ ගේ දේපළ, බැංකු පොත්පත් ආදිය කවර දාක හෝ ඔබේ දරුවන්ට ලබා දීමට සිදු වන බව පිළිගන්න. දැන් ම එය කළ හොත් ඔබට ඇති වගකීම් අඩු වනු නිසැකයි. ලබාගත් ණය-තුරුස්‌වලින් මිදෙන්නට නොහැකි නම් ඒවා ගැන පවුලේ අය දැනුවත් කරන්න. විවාහයට ආසන්න දූ පුතුන් සිටී නම් ඔවුන් ගෙන් නිදහස්‌ වීම ද මෙයට ඇතුළත් ය.

නිකරුණේ නො සිටින්න. හැකියාව ඇත්නම්, වෛද්‍ය නිර්දේශ ලැබේ නම් දැනට නියෑළෙන

රැකියාවේ දිගට ම රැඳෙන්න. නැතිනම් විකල්ප රැකියාවක්‌ හෝ කාලය ගත කළ හැකි විනෝදාංශයක්‌ හෝ තෝරා ගන්න.

හැකි පමණ අනුන්ට උදව් කරන්න. පිහිට වන්න. ආගමික හා ආධ්‍යාත්මක වත් පිළිවෙත්හි යෙදෙන්න. භාවනා හා යාඥා ආදියෙහි නිරත වීමෙන් සිත අවනත කරගන්න. රෝගය යටපත් කරන්නටත් මේ ක්‍රියා උදව් වේ වි.

රෝගය හා ගැටෙන්න. අන්තිම මොහොත දක්‌වා රෝගයට ඔබ යටපත් කිරීමට ඉඩ නො දෙන්න. එය අභිබවා යැම සඳහා ඖෂධීය ප්‍රතිකාර හා නිර්දේශිත පිළියම් එලෙස ම කරගෙන යන්න. නිසි පෝෂණය ලබන්න. ආහාර රුචිය නැති වුව ද හිතේ සවියෙන් පෝෂ්‍යදායි ආහාර ලබාගන්න.

මේ සියල්ල තීන්දුව කල් දමා ගැනීම සඳහා ඔබ භාරගන්නා අභියෝගයේ අංගයයන් ය. අද වගේ ම හෙටත් ජීවත් වීමට ඒවා ඔබට උදව් වේ වි.