logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජගත් පරිසර විමසුම 18
ධනේෂ් විසුම්පෙරුම

තල්මහ දඩයම සීමා කිරීමේ උත්සාහය සාර්ථක වේ ද?

සාගරයේ ජීවත් වන ජීවීන් වුවත්, තල්මහ මිනිසා ගේ නොමඳ අවධානයට ලක්‌ වී ඇති සත්ත්ව කාණ්‌ඩයකි. ඒ හුදෙක්‌ ඔවුන් අප ද අයත් වන ක්‌ෂීරපායි කාණ්‌ඩයට අයත් වන නිසා ම නො ව ඔවුන් මෙලොව වසන විශාලතම ජීවී විශේෂ අතර වන නිසාත් බුද්ධිමත් සත්ත්වයකු ලෙස සැලකෙන නිසාත් ය. තල්මහ අයත් වන සිටේසියා කුලයට ඩොල්ෆින් විශේෂ ද ඇතුළුව විශේෂ 88ක්‌ පමණ අයත් වේ. මේ වන විට තල්මහ නැරඹීම සංචාරක ආකර්ෂණය ද දිනාගෙන තිබේ. යුද්ධය නිමා වූ පසුව අපේ රට ද දැන් තල්මහ නැරඹීම සඳහා සංචාරකයන් අතර යළිත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

තල්මහ දඩයම හා එහි සැබෑ තත්ත්වය

මිනිසුන් හා තල්මහ අතර සම්බන්ධතාව මෙන්ම තල්මහ දඩයමට ද සැලකිය යුතු අතීතයක්‌ හිමි ය. අතීතයේ පටන් තල්මහ දඩයම් කරන ලද්දේ ප්‍රධාන වශයෙන් මස්‌ ලබා ගැනීම හා තෙල් වැනි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ය. වෙරළබඩ පිහිටා ඇති රටවල් ගණනාවක තල්මහ ගේ මස්‌ සාම්ප්‍රදායික ආහාරයකි. තල්මහ දඩයම වාණිජ කර්මාන්තයක්‌ ලෙස වර්ධනය වන්නේ 17වැනි සියවසේ පමණ සිට ය. එහි දී විශාල වශයෙන් දඩයම් කරන ලද බැවින් ඇතැම් තල්මහ විශේෂවල පැවැත්ම පවා තර්ජනයට ලක්‌ විය. මේ නිසාත් තල්මහ දඩයමේ දී අනුගමනය කෙරෙන කෲර ක්‍රියාමාර්ග නිසාත් මේ දඩයම් කිරීම නවතා දැමිය යුතු බවට පරිසර හා සත්ත්ව හිංසා විරෝධී අංශවලින් පැවසුණු අතර දැඩි විරෝධයක්‌ ද ඇති වීමට මේ තත්ත්වය හේතු විය.

මේ තත්ත්වය හේතුවෙන් තල්මහ දඩයම පාලනය කිරීම සඳහා පිහිටුවා ඇති ජාත්‍යන්තර තල්මහ කොමිසම විසින් වාණිජ වශයෙන් තල්මහ දඩයම් කිරීම 1986 වර්ෂයේ දී තහනම් කරන ලදි. එහෙත් එහි ඇති අඩුපාඩු නිසා රටවල් කිහිපයක්‌ තවමත් තල්මහ දඩයමේ යෙදෙයි. නෝර්වේ රාජ්‍යය හා අයිස්‌ලන්තය තල්මහ දඩයම් කරන්නේ උක්‌ත තහනමට එකඟ නො වෙමිනි. ජපානයේ තල්මහ දඩයම විද්‍යාත්මක පර්යේෂණ සඳහා කෙරෙන බව ප්‍රකාශ වී ඇත. ඇලස්‌කාවේ ඉනුයිට්‌වරුන් වැනි සාම්ප්‍රදායික ජීවන රටා ගෙවන ජනතාවට ද සීමිත තල්මහ ප්‍රමාණයක්‌ දඩයම් කිරීමට අවසර දී ඇත. මේ අනුව ලෝ පුරා වර්ෂයකට තල්මහ 2000කට අධික ප්‍රමාණයක්‌ මරා දැමේ.

ජපානය තල්මහ දඩයම් කරන්නේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා බව කියතත් ඒවා අවසන් වන්නේ ආහාර ලෙස අලෙවි කිරීමෙන් බව රහසක්‌ නො වේ. පසුගිය දා Biology Letters සඟරාවේ පළ වූ ලිපියකින් මේ බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. ඒ අනුව ජපානය පර්යේෂණ සඳහා අල්ලාගත් තල්මහ මස්‌ කොරියාවේ සියෝල් හා ඇමෙරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නගරවල සුෂි ආපනශාලාවල අලෙවි කරන බව හෙළි වී ඇත. තල්මහ ගේ DNA ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයක්‌ වන අතර මෙහි දී අදාළ තල්මහ කුමන තල්මහ දඩයමක දී අල්ලා ගන්නා ලද්දේ ද යන්න පවා හෙළි කරගෙන තිබේ. CITES සම්මුතිය අනුව අන්තර්ජාතික වෙළෙඳාම තහනම් කර ඇති ආරක්‌ෂිත තල්මහ විශේෂ තුනක්‌ මේ අතර තිබීම බරපතල කරුණකි. මෙයින් පැවසෙන්නේ ද අනාගතයේ තල්මහ දඩයම පාලනය කිරීමේ අවශ්‍යතාවයි.

තල්මහ දඩයම පාලනයට ඇති යෝජනා

ජුනි මාසයේ දී පැවැත්වෙන තල්මහ කොමිසමේ වාර්ෂික රැස්‌වීමේ දී සාකච්ඡාවට ලක්‌ කිරීම සඳහා නිකුත් ව ඇති යෝජනාවලියක්‌ මේ වන විට සාකච්ඡාවට ලක්‌ වෙමින් තිබේ. ඉදිරි වසර දහයක කාලය සඳහා තල්මහ දඩයම පාලනය කිරීමට ගෙන ඇති යෝජනාවලියක්‌ වන එමඟින් කොමිසම උත්සාහ කර ඇත්තේ තල්මහ දඩයමට පක්‌ෂ හා විරුද්ධ පාර්ශ්වයන් යම් සමථයකට පැමිණීම ය. වර්තමාන තත්ත්වය තුළ දඩයම මුළුමනින් නවතා දැමිය නොහැකි බැවින් (ඇතැම් රටවලට එරෙහි ව කටයුතු කිරීමට බලයක්‌ නොමැති වීම නිසා) යම් සමථයකට පැමිණීම වැදගත් බව පැහැදිලි ය.

ඒ අනුව දැනට තමන් විසින් ම නම් කරනු ලබන සීමා තුළ තල්මහ දඩයමේ යෙදෙන රටවලට දඩයම් කළ හැකි ප්‍රමාණය පිළිබඳව සීමා පැනවීමට නියමිත ය. ඒ අනුව උක්‌ත කාලය තුළ ජපානයේ තල්මහ දඩයම අද ප්‍රමාණයෙන් හතරෙන් පංගුවක්‌ පමණ දක්‌වා අඩු කිරීමට නියමිත ය. එසේ ම වෙනත් කිසිදු රටකට තල්මහ දඩයම් කළ නොහැකි වන අතර දැඩි නිරීක්‌ෂණ වැඩපිළිවෙළක්‌ ද අනුගමනය කිරීමට නියමිත ය. මේ ක්‍රියාවලිය සම්මත වුව හොත් තල්මහ 4000-18000 අතර ප්‍රමාණයක්‌ මරණයෙන් බේරා ගැනීමට හැකි බව කොමිසම පවසයි. මේ යෝජනාව ක්‍රියාත්මක වුව හොත් එහි ප්‍රගතිය පස්‌ වසරකට පසු සමාලෝචනයට ලක්‌ කිරීමට නියමිත අතර, තල්මහ ගහන පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වන තොරතුරු අනුව ලබා දී ඇති ප්‍රමාණ වෙනස්‌ කිරීමට ද හැකියාවක්‌ තිබේ.

දැනටමත් මේ යෝජනාවලිය පිළිබඳව පක්‌ෂ-විපක්‌ෂ මත පළ වී ඇත. එය තල්මහ දඩයමට අනුග්‍රහයක්‌ ය යන අදහසින් ඇතැම් රටවල් හා පරිසර අංශ රැසක්‌ විරෝධය පළ කර සිටියි. ඒ දඩයමේ පූර්ණ තහනමක්‌ ඉල්ලා සිටින පිරිස්‌ ය. එහෙත් පවත්නා යථාර්ථය අනුව තමන්ට අවශ්‍ය පරිදි දඩයමේ යෙදෙන රටවල් සඳහා යම් සීමාවක්‌ පැනවීම වැදගත් බව කරුණු විමසිල්ලෙන් බලන විට පැහැදිලි වන කරුණකි. ඒ අතින් මේ යෝජනාවලිය කිසියම් වැදගත්කමක්‌ දරයි.

එහෙත් ඒ සඳහා අදාළ රටවල් (තුන) මේ සඳහා කැමැත්ත දැක්‌විය යුතු ය. යෝජනාවලිය හමුවේ ඇති වඩාත් බරපතල අභියෝගය මෙයයි. තහනම නො තකා හා එහි අඩුපාඩුවලින් ප්‍රයෝජන ගෙන තල්මහ දඩයමේ යෙදෙන රටවල් තම හිතුවක්‌කාර දඩයම සීමා කිරීමට ගන්නා මේ උත්සාහය ගැන දක්‌වන ආකල්පය පැහැදිලි නැත. තම රටවලට සීමා පැනවීමට එරෙහි ව ජපානය වැනි රටවල් මින් පෙර ද කටයුතු කර ඇත. කෙසේ වෙතත් යෝජනාවලිය සම්මත වීමට අනෙක්‌ රටවල් ද කැමැති විය යුතු ය. යෝජනාවලිය සම්මත වීමට නම් දඩයමට පක්‌ෂ හා විපක්‌ෂ යනුවෙන් දැනටමත් කඳවුරු බෙදී ඇති කොමිසමේ අනෙක්‌ රටවල් ද ඊට කැමැත්ත දැක්‌විය යුතු ය. සියලු ස්‌වාභාවික සම්පත් සේ ම තල්මහ ගේ අනාගතය ද මිනිසුන් විසින් තීරණය කෙරෙන බව පැහැදිලි ය.

පුවත් සැකෙවින්

හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ වාර්තා දෙකක්‌

2008 වර්ෂයේ දී දියුණු කාර්මික රටවලින් නිකුත් වූ හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ඉන් පෙර වර්ෂයට වඩා සියයට 2.2කින් අඩු ව ඇත. මේ බව හෙළි වී ඇත්තේ රොයිටර් ආයතනය කළ ගණන් බැලීමකිනි. එය සෝවියට්‌ දේශය බිඳවැටීමෙන් පසු ඇති වූ ඉහළතම හරිතාගාර වායු අඩු වීම වේ. මේ සඳහා ලෝකයේ පැවැති ආර්ථික අර්බුදය හේතු වී ඇති අතර 2009 දී වඩාත් අඩු වන්නට ඇති බව ද උක්‌ත වාර්තාවේ සඳහන් වේ. මේ අනුව 2008 දී දියුණු රටවල හරිතාගාර වායු විමෝචන 1990 මට්‌ටමට වඩා සියයට 6.7ක්‌ අඩු ය. කෙසේ වෙතත් ඉන් පෙනෙන්නේ කියෝටෝ සන්ධානයෙන් බලාපොරොත්තු වූ හරිතාගාර වායු අඩු කිරීම (1990 මට්‌ටමට වඩා අවම වශයෙන් සියයට 5.2කින්) ලෝකයේ අද දැකිය හැකි දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් වැළැක්‌වීමට ප්‍රමාණවත් නො වන බව ය.

මේ නිසා 2020 දී ඇති කරගන්නා ගිවිසුමකින් වැඩි වායු විමෝචන සීමා කිරීමක්‌ අපේක්‌ෂා කළ යුතු ය. මේ වන විට කෝපන්හේගන්හි දී ඇති වූ එකඟතාව අනුව විවිධ රටවල් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා මේ වන විට තම ප්‍රතිඥා පළ කර ඇත. එහෙත් ඒවා ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 2ක මට්‌ටමට සීමා කිරීමට ප්‍රමාණවත් නො වන බව භ්එමරු සඟරාවේ පළ වූ ලිපියක්‌ පෙන්වා දෙයි. ඊට අනුව 2100 වර්ෂය වන විට උෂ්ණත්වය අවම වශයෙන් සෙල්සියස්‌ අංශක තුනකින් පමණ ඉහළ යැමට සියයට 50කට අධික වූ අවස්‌ථාවක්‌ පවතී. එසේම 2050 වර්ෂය වන විට වායු විමෝචන සියයට 50කින් අඩු කිරීම සඳහා රටවල් එකඟ වුව ද උෂ්ණත්වය ඉහළ යැම අංශක 2ක්‌ ඉක්‌මවීමට සියයට 50කට අධික අවස්‌ථාවක්‌ ඇත.

ඇමෙරිකානු තෙල් ළිං අනතුරෙන් ඇති වන ගැටලූ

ඇමෙරිකාවේ මෙක්‌සිකෝ බොක්‌ක ආශ්‍රිත මුහුදේ පිහිටා තිබූ තෙල් ළිඳක සිදු වූ අනතුර නිසා උද්ගත වී තිබෙන අර්බුදය හුදෙක්‌ ඇමෙරිකාවට පමණක්‌ සීමා වූවක්‌ නො වන බව පෙනේ. ඒ ඉන් මතු වන ගැටලූ සමහරක්‌ වඩා පුළුල් ඒවා වන නිසා ය. අප්‍රේල් මස 20 දින ඩීප්වෝටර් හොරයිසන් නම් මේ තෙල් ළිඳේ ඇති වූ පිපිරීමකින් පසු තෙල් ළිඳේ කොටස්‌ මුහුදට ගිලා බැස ගිය අතර තෙල් ළිඳෙන් තෙල් සාගරයට එක්‌ වීම ආරම්භ විය. දිනකට තෙල් බැරල් 5000ක්‌ පමණ සාගරයට එක්‌ වූ අතර මැයි 2 වැනි දා වන විට තෙල් ගැලූම් මිලියන 1.6 ක්‌ පමණ සාගරයට එක්‌ වී ඇත. එහි ඇති වූ ගින්න නිවා දැමීමට ද මේ සටහන ලියන දින වන විටත් නොහැකි වී තිබේ. මේ ප්‍රදේශයට මායිම් ව පිහිටා ඇති ප්‍රාන්ත හතරක්‌ මේ වන විට හදිසි අවස්‌ථාවක්‌ ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් ප්‍රදේශවල වෙරළාශ්‍රිත සංචාරක කටයුතු හා ධීවර කටයුතු නවතා දමා ඇත. එය ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම තෙල් කාන්දුව විය හැකි බව පෙන්වා දී තිබේ. මුහුද ආශ්‍රිතව අලුතින් තෙල් කැණීම් සිදු කිරීම තාවකාලිකව නතර කිරීමට ද ඇමෙරිකාව තීරණය කර ඇත

මේ තත්ත්වය මත සමස්‌ත තෙල් කර්මාන්තයේ දැකිය හැකි අඩුපාඩුවක්‌ ගැන ද අවධානය යොමු කර ඇත. එනම් තෙල් සමාගම් මෙවැනි අවස්‌ථා සඳහා අවශ්‍ය තරම් ආරක්‌ෂිත පියවර ගෙන නොමැති බව ය. මේ ළිඳ අයත් ඊඡ සමාගමට මින් ඉහත දී ද මෙවැනි අනතුරුවල දී විශාල දඩ මුදල් නියම කළ අවස්‌ථා තිබේ. එහෙත් පරිසරයට සිදු වන හානිය වන්දි මගින් මුළුමනින් ම යථා තත්ත්වයට පත් කිරීම අසීරු ය. මෙවැනි සිදුවීම් වළක්‌වා ගැනීම පසුව ප්‍රතිකර්ම යෙදීමට වඩා සුදුසු වන්නේ මේ නිසා ය.

සාක්‌ සමුළුවේ ප්‍රතිදානය

පසුගිය සතියේ දී භූතානයේ පැවැත්වී අවසන් වූ දහසය වැනි සාක්‌ සමුළුවේ දී අවධානයට ලක්‌ වූ විෂයයන් අතර පරිසරය, විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම ප්‍රධාන විෂයයක්‌ විය. සමුළුවේ තේමාව වූයේ ද "හරිතවත් හා සතුටු දකුණු ආසියාවක්‌ කරා" යන්න ය.

මෙහි දී කලාපීය රටවල එකඟතාවෙන් "දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ තිම්පු ප්‍රකාශය" නම් ප්‍රකාශයක්‌ නිකුත් කරන ලදි. එය කලාපීය වශයෙන් සාමූහිකව කටයුතු කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කරන අතර මේ ප්‍රකාශයේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව සමුළුවේ සමස්‌ත ප්‍රකාශයෙන් ද පෙනේ. මේ රටවලට දේශගුණ වෙනස්‌ වීමෙන් යම් බලපෑමක්‌ ඇති වන බව පිළිගෙන ඇති අතර සමානතාවත්, පොදු එහෙත් වෙනස්‌ වගකීම් සහිතව දේශගුණ සාකච්ඡා ඉදිරියට යා යුතු බවත් මෙහි දී පෙන්වා දී ඇත. පොදු මතයක්‌ ඇති කණ්‌ඩායමක්‌ ලෙස ඉදිරිපත් වීම ද මෙහි එක්‌ වැදගත් ප්‍රතිඵලයකි.

එසේම පරිසරය පිළිබඳ වෙනත් කරුණු

රැසක්‌ ද මේ සමුළුවේ අවධානයට ලක්‌ විය. ඒ අතර පරිසර හායනය, ජලජ පරිසර පද්ධති ආරක්‌ෂා කිරීම, පරිසර හිතවාදී පිළිවෙත් හා තාක්‌ෂණය අනුගමනය කිරීම වැනි කරුණු පිළිබඳව සමුළුවේ අවධානය යොමු වී ඇති බව සමස්‌ත ප්‍රකාශය අනුව පෙනේ.