logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පොකුරු ලූනු වගාව

ඉදිරිපත් කරන්නේ කෘෂි උපදේශක සුසිලා රත්නසේකර

පොකුරු ලූනු කාණ්‌ඩයට අයත් රතු, රෝස හා සුදු පැහැති වගා දර්ශ තිබුණ ද අප රටේ රතු හා රෝස දර්ශ වඩාත් ජනප්‍රිය ව පවතී. මේවා රතු ලූනු ලෙසට වෙළෙඳපොළේ දක්‌නට ලැබේ. දේශීය අවශ්‍යතාව අප රට තුළ ම නිපදවා ගැනීමට සැලසුම් කර තිබීම නිසාත් ආනයනය මුළුමනින් ම නතර කිරීමට ඉලක්‌කගත වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන නිසාත් වගාකරුවන්ට හොඳ මිලක්‌ ලබා ගැනීමට අපහසු නො වනු ඇත.

පොකුරු ලූනු වගාව ආරම්භයේ දීත් අස්‌වනු නෙළන විටත් වියළි කාලගුණයක්‌ තිබීම යෝග්‍ය වන හෙයින් ඒ අනුව වගාව සැලසුම් කර ගත යුතු වේ. මුහුදු මට්‌ටමේ සිට මීටර් 200 දක්‌වා වූ ප්‍රදේශ වගාවට යොදාගත හැකි ය. හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය සහිත වැලි ලෝම පස මේ ලූනු වගාවට වඩාත් යෝග්‍ය වේ. ච්‍ය අගය 6.00-7.3 අතර වීම වගාවට හිතකරයි. වැලි පස (රෙගසෝල්), රතු දුඹුරු පස (ඇල්පිසෝල්) හා හුනු මිශ්‍ර පස (ලැටසෝල්) පවතින ප්‍රදේශයන්හි මේ ලූනු වගාව සාර්ථකව කළ හැකි ය. යල සහ මහ කන්න දෙකේ දී ම වගා කිරීමට පිළිවන. අහස්‌ දියෙන් මෙන්ම කෘත්‍රිම ජල සම්පාදනයෙන් ද වගාව පවත්වාගෙන යැමට පිළිවන.

නිර්දේශිත ප්‍රභේද

වේදාලන් - මේ වර්ගයේ බල්බිකා තරමක්‌ විශාල ය. සාමාන්‍යයෙන් සෙ.මි. 1.5-2.5 අතර වේ. රෝස පැහැයෙන් යුක්‌ත ය. මේ වර්ගයේ මල් හටගන්නා නිසා මල් ලූනු ලෙස ද හඳුන්වයි. මේ වර්ගය දේශීය ප්‍රභේදයන්ට වඩා සරු බවින් අඩු ය.

යාපනය දේශීය - බල්බිකා කුඩා ය. විෂ්කම්භය සෙ.මි. 1-15 අතර වේ. මේ වර්ගය තද රෝස පැහැති ය. වේදාලන් ප්‍රභේදයට වඩා සැර ගතිය වැඩි ය.

මේ වගාව ආරම්භ කිරීම සඳහා ගනු ලබන රෝපණ ද්‍රව්‍ය ලෙස බල්බිකා භාවිත කෙරෙයි. හෙක්‌ටයාර එකක වගාව සඳහා වේදාලන් ප්‍රභේදයේ බල්බිකා කි.ග්‍රෑ 1500-1750ක්‌ පමණ අවශ්‍ය වේ. වේදාලන් ප්‍රභේදයේ බීජ වගාව සඳහා යොදාගත හැකි ය. සත්‍ය බීජ යොදාගන්නේ නම් හෙක්‌ටයාරයක වගාව සඳහා සත්‍ය බීජ කි.ග්‍රෑ. 6ක්‌ පමණ අවශ්‍ය වේ. බල්බිකා සඳහා වියදම් වන අධික මුදල සත්‍ය බීජ වගාවට යොදා ගන්නේ නම් අඩු කරගත හැකි ය.

සත්‍ය බීජ වගා කරන්නේ නම් ඒවා තවාන් කිරීම සඳහා තවානක්‌ ඇති කරගත යුතු ය. සාර්ථක වගාවක පදනම වන්නේ සාර්ථක තවාන් පැළ යොදා ගැනීම නිසා ඉතා ම සැලකිල්ලෙන් තවාන නඩත්තු කර ගැනීම අවශ්‍ය ය. ඒ සඳහා මුල සිට ම සැලකිලිමත් වීම අවශ්‍ය වේ. තවානක බීජ පැළ කර එම පැළ දින 35-40ක්‌ පමණ තවානේ ම නඩත්තු කළ යුතු ය. තවාන සඳහා හොඳින් හිරු එළිය වැටෙන ස්‌ථානයක්‌ මෙන්ම සරු පසක්‌ සහිත ස්‌ථානයක්‌ තෝරාගත යුතු ය. පහසුවෙන් නඩත්තු කළ හැකි ආරක්‍ෂා සහිත යෙදවුම් පහසුවෙන් ලබාගත හැකි ස්‌ථානයක මේ තවාන පවත්වාගෙන යැම වඩාත් ඵලදායි වේ.

තවාන් පාත්ති සකස්‌ කිරීමේ දී සෙ.මි. 20ක්‌ පමණ ගැඹුරට පස පෙරළා හොඳින් කැට පොඩි කරගෙන ගල්, බොරළු හා වල් පැළෑටි කොටස්‌ ද ඉවත් කරගත යුතු ය. මෙසේ සියුම්ව සකස්‌ කරගත් පසට හොඳින් දිරාපත් වූ කාබනික පොහොර ද යොදා පස සමග හොඳින් කලවම් කිරීම අවශ්‍ය ය. අවශ්‍යතාව අනුව තවාන් පාත්තිවල දිග ද, නඩත්තු කිරීම පහසුව අනුව පාත්තියේ පළල ද පවත්වාගත යුතු ය. පොළොව මට්‌ටමෙන් උසට සකස්‌ කරගන්නා තවාන් පාත්තියක උස සෙ.මි 15ක්‌ වීම අවශ්‍ය වේ.

මෙසේ සකස්‌ කරගත් තවාන් පාත්තිවල තවාන් පස ජීවාණුහරණය කිරීම ද ඉතා වැදගත් ය. පසේ ඇති රෝගකාරක විනාශ කිරීම මගින් තවාන් පැළ ලෙඩ රෝගවලින් ආරක්‍ෂා කිරීමේ මූලික පියවර ආරම්භ කළ හැකි ය.

පස ජීවාණුහරණය කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම කීපයකි.

පිළිස්‌සීම මඟින් ජීවාණුහරණය කිරීම සඳහා සකස්‌ කරගත් තවාන් පාත්ති ජලයෙන් තෙත් කර ඒ මත දහයියා හෝ පිදුරු තට්‌ටුවක්‌ ද ඊටත් උඩින් දහයියා තට්‌ටුවක්‌ ද අතුරාගත යුතු ය. මේ එක්‌ තට්‌ටුවක ඝනකම සෙ.මී. 5ක්‌ පමණ වීම සුදුසු ය. මෙසේ අතුරා ගත් තට්‌ටුවලට ගිනි තැබීම සුළඟ හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට සිදු කිරීම මඟින් එම ද්‍රව්‍ය පිළිස්‌සී යැම සිදු වේ. ඒත් සමග ම ඇති වන තාපය මඟින් පසේ රෝගකාරක මෙන්ම වල් බීජ ද විනාශ වේ. බීජ තවාන් කිරීමට පෙර වැඩිපුර තිබෙන අළු ඉවත් කළ යුතු ය.

සුර්ය තාපය මඟින් ද පස ජීවාණුහරණය කළ හැකි ය. පාත්ති සකස්‌ කර තෙත් කර විනිවිද පෙනෙන පොලිතීනයකින් වසා ගත යුතු ය. පාත්ති වටේට අඟලක්‌ පමණ උස්‌ කිරීමෙන් රත් වූ වාතය හොඳින් සංසරණය වේ. පොලිතීනය සුළඟින් ආරක්‌ෂා කර ගැනීමටත්, තාප හානිය සිදු වීම වළක්‌වා ගැනීමටත් අවශ්‍ය කටයුතු කළ යුතු ය. මෙසේ සති 2-3ක්‌ තැබීමෙන් පස රත් වී පසේ සිටින රෝගකාරක විනාශ වේ. සූර්යාලෝකය හොඳින් පවතින තත්ත්aවයක්‌ තිබීම ඉතා වැදගත් ය.

රසායනික ද්‍රව්‍ය යොදා පස ජීවාණුහරණය කිරීම ද එක්‌ ක්‍රමයකි. දිලීරනාශක යොදන විට පස වියළි ව තිබීම අවශ්‍ය ය. දිලීර නාශක දියර (සකස්‌ කරගත්) ලීටර 50ක්‌ වර්ග මීටර 10ක ප්‍රදේශයකට යෙදීම ප්‍රමාණවත් ය. දිලීර නාශක ලෙස කැප්ටාන්, තිරාම් වැනි දෙයක්‌ භාවිත කළ හැකි ය.

තවාන ජීවාණුහරණය මෙන්ම බීජ සඳහා ප්‍රතිකාරයක්‌ කිරීම ද ආරක්‌ෂාකාරී වේ. ඒ සඳහා ද කැප්ටාන්, තිරාම් වැනි දෙයක්‌ භාවිත කළ හැකි ය. බීජ කි.ග්‍රෑම් 1ක්‌ සඳහා කැප්ටාන් 50% තෙක්‌ කුඩු ග්‍රෑම් 6ක්‌ පමණ සෑහෙයි. 80% තෙක්‌ කුඩු ග්‍රෑම් 4-4 1/2ක්‌ පමණ සෑහෙයි

බීජ තවාන් කිරීම

බීජ කුඩා හෙයින් පේළියට බීජ දමා ගැනීම පහසු ය. බීජ විසුරුවා හැරීම ද කළ හැකි ය. පේළියට බීජ දමන විට සෙ.මි. 10ක පරතරය ඇති පේළිවල සෙ.මි 1ක පමණ ගැඹුරු ඇලි සකස්‌ කරගෙන ඒ මත බීජ දැමිය යුතු ය. පැළවලට පොහොර දැමීම, වල් මර්දනය ආදියට මේ ක්‍රමය පහසු ය. පාත්තිවල බීජ විසුරුවා හරින විට අවශ්‍ය පාත්ති ගණන අඩු ය. බීජ විසුරුවා හරින විට ඒකාකාරව එය සිදු කිරීම අවශ්‍ය වේ.

බීජ තවාන් කර තුනී පස්‌ තට්‌ටුවකින් බීජ වැසිය යුතු ය. ඉන් පසු පිරිසිදු වසුනකින් තවාන වසා ගන්න. බීජ ප්‍රරෝහණය සඳහා අවශ්‍ය තෙතමනය නිසි පරිදි ලැබෙන සේ ජලය සැපයීමත්a අවශ්‍යය වේ. බීජ තවාන් කර දින 5-7කින් පැළ වීම සිදු වේ. එවිට පිදුරු වසුන ඉවත් කර පේළි අතර ම තැන්පත් කිරීමෙන් පසේ තෙතමනය ආරක්‍ෂා වේ. වැසි පවතී නම් කුඩා පැළ ආරක්‍ෂා කර ගැනීමට ආවරණය කළ යුතු ය. වර්ධනයේ දුර්වල ලක්‍ෂණ පෙන්වයි නම් යුරියා ග්‍රෑම් 30ක්‌ ජලය ලීටර 10ක දිය කර යෙදිය හැකි ය. යුරියා යෙදීමෙන් පසුව පත්‍රවල ඇති ද්‍රdවණය ඉවත් වන සේ ජලය යෙදිය යුතු ය. පැළවලට සති 2ක්‌ පමණ ගත වන විට ජලය කාණුq දිගේ යවා පැළවලට උරා ගනීමට සැලැස්‌විය හැකි ය. පැළ තවානෙන් ඉවත් කිරීමට දින 20කට පෙර සිට ක්‍රමයෙන් ජලය සැපයීම අඩු කරමින් තවානේ පැළ දැඩි කළ යුතු ය.

ස්‌ථිර බිමේ සිටුවීම

ස්‌ථිර බිමේ පැළ සිටුවීම සඳහා සෙ.මි. 20ක්‌ පමණ ගැඹුරට පස පෙරළා, ගල් බොරළු ඉවත් කර පාත්ති සකසා ගැනීම අවශ්‍ය ය. නඩත්තු කටයුතු කිරීමේ පහසුව සඳහා මි. 3ක්‌ දිග සෙ.මි. 75ක්‌ පළල සෙ.මි 15ක්‌ උස පාත්ති සැකසිය හැකි ය. වැලි සහිත පසේ වගා කරන විට ගිල්වූ පාත්ති සකසා ගැනීම අවශ්‍ය ය. හොඳින් කාබනික පොහොර යෙදීම ඉතා වැදගත් ය. (හෙක්‌ටයාරයකට ටොන් 10ක්‌).

වගාව සඳහා සුදුසු තවාන් පැළ තෝරා ගත යුතු ය. පැළවලට වයස දින 40ක්‌ පමණ වන විට පත්‍ර 3ක්‌ හෝ ඊට වැඩි සංඛ්‍යාවක්‌ ද බල්බය කුඩාවට සලකුණු වී තිබීම ද දැකගත හැකි ය. එවැනි නිරෝගී පැළ වගාව සඳහා සුදුසු ය. වගාව ආරම්භ කිරීමට බල්බිකා යොදාගන්නේ නම් අක්‍රීය කාලය ඉවත් වීම සඳහා සති 8-10ක පමණ කාලයක්‌ ගබඩා කර තිබූ මධ්‍යම ප්‍රමාණයේ හෝ විශාල ප්‍රමාණයේ හෝ බල්බිකා යොදාගත යුතු ය.

යොදා ගනු ලබන රෝපණ ද්‍රව්‍ය (පැළ හෝ බල්බිකා හෝ) සඳහා මූලික ප්‍රතිකාරයක්‌ කරන්නේ නම් මුල දී වැළඳිය හැකි රෝගවලින් වගාව ආරක්‍ෂා කරගත හැකි ය. ඒ සඳහා නිර්දේශිත දිලීර නාශකයක්‌ (තිරාම් 80% තෙක්‌ කුඩු, තයෝෆනේට්‌ 70%ක්‌ තෙක්‌ කුඩු) යොදා සාදා ගත් ද්‍රdවණයක ගිල්වා සිටුවීමට යොදා ගත යුතු ය. ක්‍ෂෙත්‍රයේ සිටුවීමට පෙර පස හොඳින් තෙත් කළ යුතු ය. බල්බිකා සෙ.මි. 10දූ10 පරතරයට ද, බීජ සෙ.මි. 8දූ8 පරතරයට ද සිටුවිය යුතු ය. මූලිකව යොදන කාබනික පොහොරවලට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් රසායනික පොහොර නිර්දේශයක්‌ ලබා දී ඇත. මූලික පොහොර සිටුවීමට දින 1-2කට පෙර යෙදීම කළ යුතු ය. ඉන් පසු සති 3 දී හා 6 දී මතුපිට පොහොර යෙදීම නිර්දේශ කර තිබේ.

සිටුවීමෙන් පසු කරන නඩත්තු කටයුතු අතර ජල සම්පාදනය, වල් මර්දනය වැදගත් ය. පසේ ජල මට්‌ටම පරීක්‌ෂා කර බලා ජලය යෙදීම අවශ්‍ය ය. මුල් සතිය තුළ පසේ ගැඹුර අඟල් 2-3 දක්‌වාත්, ක්‍රමයෙන් පැළ වර්ධනය වන විට ඊට වඩා ගැඹුරටත් පස තෙත් වන සේ ජල සම්පාදනය කිරීම අවශ්‍ය ය. වල් මර්දනය සඳහා අවශ්‍ය කටයුතු කිරීම ද ඉතා වැදගත් ය.