logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අවුකන හා සමාධි පිළිම වහන්සේලා

මහාචාර්ය නලින් ද සිල්වා

දීපවංශය, මහාවංශය හා අනෙක්‌ වංශකතා ලිවීම ඇරඹී ඇත්තේ හතර වැනි සියවසේ දී පමණ ය. එතෙක්‌ නො ලියෑවුණු වංශකතා එකල ලිවීම ඇරඹීමට ද හේතුවක්‌ තිබිය යුතු ය. පඬු අබා රජු ගෙන් සියවස්‌ හතකට පමණ පසු ව ද යක්‍ෂ ගෝත්‍රිකයන් මුළුමනින් ම සිංහල ජාතියට ඇතුළු කර ගැනීමට නොහැකි වී ඇති බව පමණක්‌ නො ව යක්‍ෂ ගෝත්‍රිකයන්ට පඬුඅබා පරම්රපාවට කෙසේ වෙතත් ගැමුණු රජතුමා ගෙන් ඇරඹුණු රජ පරම්පරාවට අභියෝග කිරීමට තරම් ශක්‌තියක්‌ මෙකල වන විට තිබී ඇත.

මෙහි දී පඬුඅබා පරම්පරාවට කෙසේ වෙතත් ගැමුණු රජු ගෙන් ඇරඹුණු පරම්පරාව යන්නෙන් අදහස්‌ වන්නේ ගැමුණු කුමරු නව රජ පරපුරක්‌ බිහි කළ බව ය. ගැමුණු කුමරු ගේ පියා හා මව රුහුණේ විසූ අර්ධ වෛදික රජ පෙළපත් දෙකකින් පැවත ආවෝ වෙති. අර්ධ වෛදිකයන් අනුරාධපුරය අවට මල්වතු ඔය හා වෙනත් ගංගා, ඔය අසබඩ මෙන් ම රුහුණේ ගංගා හා ඔය අසබඩ ද කුඩා රාජධානි ගොඩනඟාගෙන ඇත. මේ කුඩා රාජධානි එකතු කර තරමක විශාල රාජධානියක්‌ ගොඩනැඟූ පළමු තැනැත්තා පඬුඅබා රජු ය. එතුමා අනුරපුර තම රාජධානියේ අගනුවර කරගත්තේ ය.

එහෙත් එතුමාට රුහුණ අවනත වූ බවක්‌ නො පෙනෙයි. රුහුණේ කුඩා රාජධානි එකතු කර තරමක විශාල රාජධානියක්‌ මාගම (මහගම හෙවත් ප්‍රධාන ග්‍රාමය - පසු කලෙක මහනුවර මෙනි) ගොඩනඟනු ලැබ ඇත්තේ කාවන්තිස්‌ස රජු විසිනි. එතුමා රුහුණේ හැඩඔය හෙවත් කළ්‍යාණිය අසබඩ විසූ රජ පෙළපතේ විහාරමහාදේවිය විවාහ කර ගත්තේ ද මේ බල ව්‍යාපෘතියේ කොටසක්‌ ලෙසින් යෑයි ඇතැම් ඉතිහාසඥයෝ පවසති. කාවන්තිස්‌ස රජු යටාලතිස්‌ස රජු ඔස්‌සේ දේවානම්පියතිස්‌ස රජුට ගැටගැසීමට වංශකතා දරා ඇති උත්සාහය සාර්ථක යෑයි කිව හැකි නො වේ.

වංශකතාවල සඳහන් ඉතිහාසය යනු ප්‍රධාන වශයෙන් ඒ කතා ලියන කාලයේ ජනප්‍රවාදයේ තිබූ කතා මිස වංශකතාකරුවන් නිර්මාණය කළ කතා නො වන බව පැහැදිලි ය. වංශකතාකරුවන් කර ඇත්තේ මූලික වශයෙන් ගත් කල ඒ ජනප්‍රවාද පොත්වල ලිවීම ය. වංශකතාකරුවන් විසින් එකතු කරන ලද කතා කිහිපයක්‌ ද ඒ අතර තිබියේ නම් ඒ පුදුමයක්‌ නො වේ. බුද්ධිමතුන් ලෙස ඔවුන් සමස්‌ත ඉතිහාස රාමුව තුළට කතා කිහිපයක්‌ එකතු කරන්නට ඇත. ඒ සඳහා ඔවුනට යම් යම් සාක්‍ෂි තිබෙන්නට ඇත.

මේ කාලයේ, එනම් හතර වැනි සියවස පමණ වන විට ජනප්‍රවාදයේ වුව ද ඉතිහාස කතා ගෙතී ඇත්තේ අර්ධ වෛදිකයන්ට තම උරුමය සඳහා සටන් කරන්නට සිදු වීම නිසා යෑයි උපකල්පනය කළ හැකි ය. ඒ උරුමයට අභියෝගයක්‌ එල්ල කරන්නට ඇත්තේ වෙනත් කවුරුන් වත් නො ව යක්‍ෂ ගෝත්‍රිකයන් ය. ගැමුණු රජුට ද යක්‍ෂ ගෝත්‍රිකයන් මුළුමනින් ම සිංහල ජාතියට එකතු කර ගැනීමට නොහැකි වූ බව ගෝඨයිම්බර ජයසේන කතාවෙන් පැහැදිලි වෙයි. ඒ කතාවෙන් පැහැදිලි වන තවත් කරුණක්‌ නම් ඇතැම් යක්‍ෂ ගෝත්‍රිකයන්ට යම් යම් ධ්‍යාන ශක්‌තීන් තිබූ බව ය.

රිටිගල ජයසේනලා පමණක්‌ නො ව මහවැලි ගඟ ආසන්නයේ හා වෙනත් ප්‍රදේශවල ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් අර්ධ වෛදිකයන්ට අභියෝග කිරීමට තරම් තත්ත්වයකට මේ වන විට පත් වන්නට ඇත. ලම්බකර්ණ යනු යක්‍ෂ ගෝත්‍රික පෙළපතක්‌ (වංශයක්‌) හෝ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ආධාරය ලැබූ පෙළපතක්‌ හෝ වීමට ඇති ඉඩකඩ විශාල ය. අනුරාධපුරයේ රාජ්‍ය උරුමය ඉල්ලා යක්‍ෂ ගෝත්‍රිකයන් සටන් කිරිම ආරම්භ කරන්නට ඇත්තේ මේ අවධියෙහි විය යුතු ය. යක්‍ෂ ගෝත්‍රිකයන් අතර වූ බෞද්ධයන් (මේ වන විට ඇතැම් යක්‍ෂ ගෝත්‍රිකයන් බෞද්ධ වන්නට ඇතැයි සිතිය හැකි ය) මහාවිහාරය වෙනුවට අභයගිරිය තෝරාගත් බව ද පැහැදිලි ය.

අභයගිරිය දෙස අප බැලිය යුත්තේ මහායානික මූලස්‌ථානයකට වඩා යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ (ඇතැම් විට අබෞද්ධ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ද) දායකත්වය ලැබූ මධ්‍යස්‌ථානයක්‌ ලෙස ය. එහි මහායානික මතවාදවලට ඉඩ ලැබී ඇති මුත් එය මහායානික මධ්‍යස්‌ථානයක්‌ නො වූ බව ඇතැම් ඉතිහාසඥයන් ගේ මතය වෙයි. අභයගිරිය වළගම්බා රජු කල පිහිටුවන ලද්දකි. එහි එකල තිබෙන්නට ඇත්තේ ථෙරවාද බුදු දහම ය. එහෙත් පසු කලෙක එහි මහායාන මතවාදවලට ද ඉඩ ලැබී ඇත. අභයගිරිය ථෙරවාදයෙන් කැඩී මහායානයට ගිය අවස්‌ථාවක්‌ ගැන වංශකතාවල සඳහන් නො වෙයි.

මේ සියල්ලෙන් අපට නිගමනය කළ හැක්‌කේ අභයගිරිය ද ථෙරවාද මධ්‍යස්‌ථානයක්‌ වූ බවත් එහෙත් එය මහායාන අදහස්‌වලට ද විවෘත වූ බවත් ය.

බොහෝ විට යක්‍ෂ ගෝත්‍රික බෞද්ධයන් ගේ දායකත්වය අභයගිරියට වූ බැවින් පසු කලෙක එය පහතට දැමීම සඳහා එය මහායානික මධ්‍යස්‌ථානයක්‌ ලෙස හැඳින්වෙන්නට ඇත. මෙරට මහායාන බලපෑම් ඇති වීමට ප්‍රධාන හේතුව අභයගිරිය වත් යක්‍ෂ ගෝත්‍රිකයන් වත් නො වේ. ථෙරවාදය භාරතයේ පරාජය වීමත් සමඟ මෙහි ද මහායාන අදහස්‌ පැතිර යැම පුදුමයක්‌ නො වේ.

ධාතුසේන රජු මෞර්ය වාංශික රජකු ලෙස හැඳින්වෙයි. අවුකන බුදු පිළිම වහන්සේ තනවන ලද්දේ එතුමන් විසින් යෑයි කියනු ලැබෙයි. එහෙත් අවුකන බුදු පිළිමය මහායාන අදහස්‌ මත නිර්මාණය කරනු ලැබූවකි. සාමාන්‍ය මිනිස්‌ කයක්‌ තිබූ බුqදුන් වහන්සේ ථෙරවාදයට අනුව නිවන් අවබෝධ කරගත් මිනිසෙකි. නිවන් අවබෝධ කරගත් තථාගතයන් වහන්සේ පවතී ද නැත් ද ආදී දාර්ශනික මතිමතාන්තර මෙහි දී අදාළ නො වේ. ථෙරවාදී සම්ප්‍රදායට අනුව විශාල බුද්ධ කාය නැත.

ධාතුසේන රජු මහා විහාරයට පක්‍ෂපාත විය. එහෙත් එතුමා අතින් ද මහායානික අදහස්‌ ප්‍රකාශයට පත් වී ඇත. අනෙක්‌ අතට අභයගිරියට අයත් යෑයි සැලකෙන සමාධි පිළිම වහන්සේ අධි මානුෂික ගුණ නිරූපණය නො කරයි. මහායාන අදහස්‌ මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ නො දැනුවත් ව වුවත් මෙරට බෞද්ධ සංස්‌කෘතියට කාන්දු වී ඇත. මේ අදහස්‌ අභයගිරියෙහි දැනුවත් ව සාකච්ජා වී ඇත.

යක්‍ෂ ගෝත්‍රිකයන් හා ඔවුන් විසින් පිළිගනු ලැබූ ලම්බකර්ණ වාංශිකයන් ප්‍රබල වත් ම අර්ධ වෛදිකයන්ට ප්‍රශ්න ඇති වී තිබෙන බව පැහැදිලි ය. අනුරාධපුර රාජ්‍යයට වඩා උරුමකම් තිබෙන්නට ඇත්තේ අර්ධ වෛදිකයන්ට වුවත් යක්‍ෂ ගෝත්‍රිකයන්ට වඩා පැරැණි ඉතිහාසයක්‌ තිබූ බව පැහැදිලි ය. අර්ධ වෛදිකයන් අලුතෙන් ඉතිහාසයක්‌ නිර්මාණය කරන්නට පෙලඹෙන්නට ඇත්තේ තම අයිතිය තහවුරු කර ගැනීමට ය. ඒ නිර්මාණය ජනප්‍රවාදයෙහි මෙන් ම බුද්ධිමතුන් අතර ද සිදු වන්නට ඇත.

අද වුවත් ඉතිහාසය නිර්මාණය කෙරෙනු විමර්ශනය කළ හොත් මේ කරුණු ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකි වනු ඇත. දෙමළ ජනයා තමන් අවුරුදු දෙ දහසකට වැඩි කලක්‌ මෙරට සිටි බව කියති. ඔවුහු වෙන ම රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා විවිධ තර්ක ගෙන එති. ඊනියා නිජභූමි සංකල්පයක්‌ ගැන ඔවුහු කතා කළ හ. මොවුන් ගේ සංකල්ප හා ඊනියා ප්‍රවාද අද ප්‍රවාදාත්මක තලයෙහි හා දේශපාලනයෙහි පරාජය කෙරී ඇත. එහෙත් තවමත් දෙමළ ජාතිවාදය පරාජය කෙරී නැත. දෙමළ ජාතිවාදය අද විසිරුණු දෙමළ ජනයා අතර ජීවත් කරවීමට බටහිරයෝ උත්සාහ දරති.

අද යාපනයේ ජීවත් වන දෙමළ ජනයා ගේ ඉතිහාසය 1650 වසරෙන් ඔබ්බට නො යන බව අපි කියමු. අප සත්තකින් ම එසේ කියන්නේ දෙමළ ජාතිවාදයට එරෙහි ව ය. දෙමළ ජාතිවාදය නො වන්නට අපට එවැනි අධ්‍යයනයක්‌ කිරිමට වත් අවශ්‍ය නො වීමට තිබිණි. එහෙත් අප එහි දී ද අපේ ප්‍රවාද නිර්මාණය කරන්නේ අනෙක්‌ සාධක සමඟ සංගත වන ආකාරයකින් මිස අපේ සිතැඟි අනුව නො වේ.

හතර වැනි පස්‌වැනි සියවස්‌වල ද ඉතිහාසය පිළිබඳ විවිධ ප්‍රවාද මතිමතාන්තර ආදිය නිර්මාණය වී ඇත. වාසනාවකට හෝ අවාසනාවකට හෝ යක්‍ෂ ගෝත්‍රිකයන් වෙන ම රාජ්‍යයක්‌ ඉල්ලා නැත. ඔවුන් වැඩි ම වුව හොත් කර ඇත්තේ අනුරාධපුර රාජධානිය තමන්ට දෙන ලෙස ඉල්ලීම ය. ඒ සඳහා ඔවුන් ඉතිහාස ප්‍රවාද නිර්මාණය කරන්නට ඇත. එසේත් නැත හොත් එතෙක්‌ තිබූ ප්‍රවාද වර්ධනය කරන්නට ඇත. තවත් ඇතැම් ප්‍රවාදයක්‌ හෝ මතයක්‌ හෝ ඉවත දමන්නට ද ඇත.

අපේ ඉතිහාසයෙහි වැදගත් ම අවධිය වූයේ පස්‌ වැනි සියවස හා ඒ ආසන්න වර්ෂ ය. මෙරට ඉතිහාසය පමණක්‌ නො ව අද දක්‌වා වූ අනාගතය ද නිර්මාණය වූයේ එකල ය. එය යුද්ධ මගින් මෙන් ම ප්‍රවාද නිර්මාණය මගින් ද සිදු වී ඇත. ගැමුණු රජු ගැන පවා අප දන්නේ එකල ලියෑවුණු ඉතිහාසය ය. ඒ ඉතිහාසයට පිටින් යන සාක්‍ෂි

රැගත් පොත් පත් නැති කිරීම පවා එකල සිදු වන්නට ඇත. වංශකතාවලට පෙර ලියෑවුණු පොත්පත් ගැන සඳහන් වෙතත් අද ඒ පොත් දැකගැනීමටත් නැත. ඒ පොත්වල වෙනත් ඉතිහාසයක්‌ තිබිණි ද?

වංශකතාවල සඳහන් ඉතිහාසය බොහෝ දුරට නටබුන් හා පුරාවිද්‍යාත්මක සාධක සමඟ එකඟ වන බැවින් අපට විස ගැනීමට අමාරු ප්‍රශ්න නැත. එහෙත් ධාතුසේන රජු මෞර්ය ලෙස හැඳින්වෙන්නේ ඇයි ද? සීගිරිය හෙවත් සිහිගිරිය යනු කුමක්‌ ද? ආදී ප්‍රශ්නවලට පිළිතුරු වංශකතාවලින් බැහැර ව ලබාගැනීමට සිදු වෙයි. මෙරට යක්‍ෂ උරුමයට වංශකතාවලින් සාධාරණය ඉටු වී නොමැති බව පැහැදිලි ය.

යක්‍ෂ ගෝත්‍රික ඉතිහාසය ඇතැම් විට මහායානය ඔස්‌සේ මඟහැර ඇත. යක්‍ෂ ගෝත්‍රිකයන් යම් පිරිසක්‌ බොහෝ කල් ගත වනතුරු ම බෞද්ධයන් නො වී සිටීම ඔවුන්ට පාඩුවක්‌ වී ඇත. යක්‍ෂ ගෝත්‍රිකයන්ට කලාත්මක හැකියාවක්‌ තිබූ බව විජය කුමරු පැමිණියේ යෑයි කියන දිනවල තිsබි සංගීත උත්සවලින් ද සීගිරි (සිහිගිරි) චිත්‍රවලින් ද පැහැදිලි වෙයි. අභයගිරි භූමියෙහි ඇති සමාධි පිළිම වහන්සේ ද වෙනත් බොහෝ පුරා වස්‌තු ද යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ නිර්මාණ නම් පුදුම විය යුතු නො වේ. පස්‌ වැනි සියවසේ ඉතිහාසය ලිවීමේ කාර්යය හේතුවෙන් අද දක්‌වා ම මෙරට ථෙරවාදය රැක ගැනීමටත් සිංහල ජාතිය පවත්වාගෙන යැමටත් හැකියාව ලැබී ඇත. ඒ සියල්ල ධන පැත්ත ය. එහෙත් එහි සෘණ පැත්තක්‌ නැතිවා නො වේ.