logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මෞර්ය වංශය

මහාචාර්ය නලින් ද සිල්වා

එළාර රජුට අනුරාධපුරයෙහි යම් පිරිසක්‌ සහාය දක්‌වා ඇති බව පැහැදිලි ය. අවුරුදු හතළිස්‌ හතරක්‌ එක දිගට රජ කිරීමට ඔහුට හැකි වූයේ කෙසේ ද යන්න ද නො විසඳුණුq ප්‍රශ්නයකි. ඔහු දකුණු දඹදිවෙන් පැමිණියේ නම් ඔහු ගේ රාජ්‍යය හා රාජධානිය කවරක්‌ වී ද? එළාර රජුට සහාය දැක්‌වූ පිරිස කවුද? ඔවුන් අතර නන්දිමිත්‍ර සෙනෙවියා ගේ මාමා වූ මිත්‍ර සෙනෙවියා ද වූ බව පැවසෙයි. එළාර රජුට කලින් මෙහි පැමිණියේ යෑයි කියන සේන හා ගුත්තික කවුද? ඔවුන් පැමිණියේ කොහි සිට ද? අශ්ව වෙළෙඳුන් දෙදෙනකුට අනුරාධපුර රාජධානිය පහසුවෙන් පැහැර ගැනීමට හැකි වූයේ කෙසේ ද?

පණ්‌ඩුකාභය රජතුමා ලංකාව එක්‌සේසත් කළ ද යක්‍ෂයන් හා අර්ධ වෛදිකයන් අතර වූ ගැටුම නිමාවට පත් විණි යෑයි සිතිය නොහැකි ය. යක්‍ෂ ගෝත්‍රිකයෝ විවිධ පළාත්වල විසිරී සිටිය හ. අනුරාධපුරයේ රිටිගල ප්‍රදේශයේ ද, වෙනත් තැන්වල ද, මහවැලි ගඟ අවට ප්‍රදේශවල ද ඔවුහු වාසය කළ හ. එයට අමතරව ඔවුන් තවත් ප්‍රදේශවල ජීවත් වන්නට ඇත. පණ්‌ඩුකාභය රජතුමා ගෙන් අවුරුදු දහස්‌ ගණනකට පසුව ද මෑතක්‌ වන තුරු ම යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් යම් පිරිසක්‌ තම අනන්‍යතාව ආරක්‍ෂා කර ගැනීමට වෙහෙස වූ හ. තවමත් තමන් යක්‍ෂ ගෝත්‍රිකයන් යෑයි කියන, ඒ අනන්‍යතාව ගැන ආඩම්බර වන පිරිස්‌ සුළුවෙන් නමුත් සිංහලයන් අතර වෙති.

මහසෙන් රජු දවස යක්‍ෂ ගෝත්‍රිකයන් තරමක්‌ බලවත් වූ බව පෙනී යයි. අපේ ඉතිහාසය හදාරන්නන් මහායානික සබඳතා ගැන අවධානය යොමු කළත් යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් වූ බලපෑම් ගැන නො හැදෑරීම කණගාටුවට කරුණකි. ලම්බකර්ණික රජ පෙළපත පිළිබඳව තවමත් සැලකිය යුතු යමක්‌ කීමට ඉතිහාසඥයන්ට නොහැකි ය. වසභ රජු ගෙන් ලම්බකර්ණ රජ පෙළපත ආරම්භ වූ බව කීව ද සුභ රජු ගැන යමක්‌ නො කියෑවෙයි. සුභ දොරටු පාලකයකු පමණක්‌ ලෙසින් අපට ඉදිරිපත් කෙරෙයි.

යසලාලකතිස්‌ස රජු සහ සුභ අතර ඇති වූ ගැටුම හුදු විහිළුවකට ලඝූ කිරීමට වඩා විහිළුවක්‌ තවත් තිබිය නොහැකි යෑයි කෙනකුට කිව හැකි ය. එහෙත් එය භයානක විහිළුවක්‌ වන්නේ එයින් ඉතිහාසය විකෘත වන බැවිනි. සුභ රජ වීමෙන් පසුව තමන්ට විරුද්ධ වන්නේ යෑයි කී වසභ කෙනකු ගැන සෙවීමට පටන් ගත් බවත් ඒ වසභ සුභ රජු ගේ නෑයකු බවත් කියෑවෙයි. සුභ රජු ලම්බකර්ණ ගෝත්‍රයට අයත් වී යෑයි සිතීමට ඉතිහාසඥයන් මැළිකමක්‌ දක්‌වන්නේ ඇයි ද යන ප්‍රශ්නය වෙයි. සුභ දොරටු පාලකයකු ලෙස ඉදිරිපත් කළ විගස අප සිතට එන්නේ වත්මන් ආරක්‍ෂක භටයකු ය. එහෙත් එකල දොරටු පාලකයා යනු වැදගත් නිලයක්‌ දැරූ තැනැත්තෙක්‌ විය.

බිරිතානි ආණ්‌ඩුව යටතේ ද ගේට්‌ මුඩ්ලියර්ලා සිටිය හ. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ගේ පියා ද ගේට්‌ මුඩ්ලියර්වරයෙකි. එකල බිරිතානි ආණ්‌ඩුව යටතේ ලාංකිකයකුට දැරිය හැකි උසස්‌ ම තනතුර වූයේ ගේට්‌ මුඩ්ලියර් නිලය ය. අවශ්‍ය නම් ගේට්‌ මුඩ්ලියර් යන්න දොරටු පාලක ලෙස පරිවර්තනය කළ හැකි යෑයි සිතමි. ගේට්‌ටුවේ හෙවත් දොරටුවේ මුදලි නැත්නම් දොරටුව භාර ව සිටි මුදලි වැනි අදහසක්‌ ගේට්‌ මුඩ්ලියර් යන්නෙන් ලැබෙයි.

මෙරට මෞර්ය යනුවෙන් රජ පෙළපතක්‌ පාරම්පරිකව මුල සිට ම තිබී ද යන්න ද ප්‍රශ්නයකි. ධාතුසේන රජු මෞර්ය වාංශික රජකු යෑයි කියෑවෙයි. පැහැදිලිව ම මෞර්ය යන්න අශෝක රජතුමා ගේ රාජවංශය අනුව මෙහි නිර්මාණය කරන ලද්දක්‌ විය යුතු ය. ගැමුණු රජතුමා හෝ වළගම්බා රජතුමා හෝ මෞර්ය වංශයට අයත් බවක්‌ සඳහන් නො වෙයි. එහෙත් කලකට පසු මෞර්ය රාජ වංශයක්‌ මෙරට ඇති වී තිබෙන බව පැහැදිලි ය.

මෞර්ය රාජ වංශය අශෝක රජුට නෑකමක්‌ නැති වුව ද ඒ රාජ වංශය කවුරුන් විසින් ඇති කෙරුණ ද ඒ නම රාජ වංශයට දෙන්නට ඇත්තේ අර්ධ වෛදිකයන් බව පැහැදිලි ය. පණ්‌ඩුකාභය රජු ද අර්ධ වෛදිකයෙකි. ඔහු විසින් කරන ලද්දේ යක්‍ෂ ගෝත්‍රිකයන් යම් ප්‍රමාණයක්‌ සමඟ එකතු වී අර්ධ වෛදික තම මාමාවරුන් බහුතරයක්‌ නසා සිංහල ජාතිය නිර්මාණය කිරීමට පසුබිම සකස්‌ කිරීම ය. ඒ සිංහල ජාතියට අර්ධ වෛදිකයන් ද, යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් යම් පිරිසක්‌ ද, වැදි ගෝත්‍රය හැරෙන්නට වෙනත් ගෝත්‍ර ද එකතු වී ඇති බව පෙනෙයි. වැදි ගෝත්‍රය තම සංස්‌කෘතිය හා ජීවනෝපාය වෙනස්‌ කර ගැනීමකින් තොර ව සිංහල ජාතියෙන් බාහිර ව ජීවත් වී ඇති අතර යක්‍ෂ ගෝත්‍රිකයන් විශාල ප්‍රමාණයක්‌ සිංහලයන් සමඟ ගැටෙමින් තම අනන්‍යතාව රැකගනිමින් ජීවත් වී ඇත. යක්‍ෂ ගෝත්‍රිකයන් ද වැදි ගෝත්‍රිකයන් මෙන් නො ව එහෙත් අර්ධ වෛදිකයන් මෙන් ගොවිතැන තම ජීවනෝපාය කර ගනිමින් ජීවත් වූ පිරිසකි. දඹදිවින් පැමිණි අර්ධ වෛදිකයන් ගංගාශ්‍රිත සංස්‌කෘතියක්‌ නිර්මාණය කිරීමට වෙහෙසෙද්දී (මල්වතු ඔය හා රුහුණේ ගංගා හා ඔය) යක්‍ෂ ගෝත්‍රිකයන් යම් පිරිසක්‌ වැව් කර්මාන්තයෙහි නිරත වී ඇත. පඬු අබා කුමරු සැඟවුණු ගස්‌ බෙනය තිබූ වැව අර්ධ වෛදිකයන් වැව් තැනීමේ තාක්‍ෂණය ඉගෙනීමට පෙර යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් කරන ලද්දක්‌ බව පැහැදිලි ය.

පඬු අබා විසින් පිහිටුවන ලද සිංහල රාජ්‍යයට යක්‍ෂ ගෝත්‍රිකයන් යම් ප්‍රමාණයක්‌ මුල දී ම විරුද්ධ වන්නට ඇත. පඬු අබා රජු ගේ සිට ගැමුණු රජ කාලය දක්‌වා ඒ ඒ රජවරුන් ගේ රාජ්‍ය කාල පිළිබඳ වංශකතාවල දැක්‌වෙන තොරතුරු පිළිබඳ සැක මතු වෙයි. පඬු අබා රජු ම සැත්තෑ වසරක්‌ රජ කළ බව සඳහන් වෙයි. යමකුට සැත්තෑ වසරක්‌ රජ කිරීම නොහැකි කරුණක්‌ නො වුණ ද ඒ පිළිගැනීමේ යම් ගැටලු මතු වෙයි.

වංශකතාවල කුමක්‌ සඳහන් වුව ද පඬු අබා රජු ගේ සිට ගැමුණු රජු දක්‌වා අර්ධ වෛදික රාජ වංශයක්‌ එක දිගට අඛණ්‌ඩව රාජ්‍ය පාලනයෙහි යෙදුණේ ද යන්න ප්‍රශ්නයක්‌ වෙයි. වංශකතාවලට අනුව ගැමුණු කුමරු ගේ පෙළපත ද අනුරාධපුරයෙන් රුහුණට පලා ගිය පඬු අබා පෙළපතේ ශාඛාවක්‌ වෙයි. එහෙත් ඒ එලෙස ම සිදු වී ද යන ප්‍රශ්නය පැන නඟී. වංශකතාවල කෙසේ හෝ ගැට ගසා ඉදිරිපත් කරන එක ම රජ පෙළපතේ කතාව විශ්වාස කිරීම තරමක්‌ අපහසු ය. කාවන්තිස්‌ස රජු හා විහාර මහා දේවිය රුහුණේ පදිංචි වූ වෙනත් අර්ධ වෛදික පෙළපත්වලට අයත් වූවන් ලෙස සැලකීමට ඇති ඉඩකඩ වැඩි ය.

එමෙන් ම අර්ධ වෛදිකයන්ට පඬු අබා රජු ගේ සිට එළාර රජු රජ වන තෙක්‌ අඛණ්‌ඩව අනුරාධපුරය පාලනය කිරීමට හැකි වී ද යන්න ප්‍රශ්නයකි. අඩු ම තරමින් සේන ගුත්තික ප්‍රවෘත්තිය එසේ නො වූ බවට සාක්‍ෂියකි. සේන ගුත්තිකට පෙර මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන්

කැරැලිs ගැසූ අවස්‌ථා ද තිබෙන්නට ඇත. ඔවුන් එළාර රජ වන තෙක්‌ තමන් ගේ ම වූ රාජ්‍යයක්‌ අනුරාධපුරයේ නො පිහිටුව ද ඒ ආසන්න ප්‍රදේශවල රාජ්‍ය පවත්වාගෙන යන්නට ඇතැයි සිතිය හැකි ය. එවැනි අවස්‌ථාවල ඇතැම් විට අනුරාධපුරයේ රජුන් නොමැති අවස්‌ථා ද තිබෙන්නට ඇත.

වංශකතා, අනුරාධපුරයේ එසේ රජවරුන් නො සිටි වකවානු මඟහරින්නේ ද? එසේ මඟහැරීමට ගොස්‌ පඬු අබා ආදී රජවරුන් ගේ රාජ්‍ය කාල දික්‌ කර ඇත් ද? පඬු අබා රජු ගෙන් පසුව යක්‍ෂ ගෝත්‍රිකයන් ටික කලක්‌ වුවත් අනුරාධපුරය අල්ලා නො ගත්තත් එහි අර්ධ වෛදිකයන්ට රජ වීමට අවස්‌ථාව නො දෙන්නට ඇත. වංශකතාවල එවැනි කාල වෙනත් රජකුට භාර දී ඒ වෙනත් රජු ගේ රාජ්‍ය කාලය දික්‌ කර ඇති බව පෙනෙයි. පඬු අබා අනුරාධපුර රජ කෙළේ යෑයි කියන අවුරුදු හැත්තෑවෙන් යම් කාලයක්‌ එතුමා ගේ මරණින් පසු ක්‍ෂණිකව හෝ කලකට පසුව හෝ අනුරාධපුරය අරාජික වූ සමයක්‌ විය හැකි ය. ඒ අරාජික සමය පඬු අබා රජුට ම බැර කිරීමට වංශකතා පෙලඹෙන්නට ඇත. එහෙත් මේ පිළිබඳ නිගමනවලට එළඹීමට පෙර තවත් අධ්‍යයනය කළ යුතු වෙයි.

සේන ගුත්තික කෙසේ වෙතත් එළාර රජු මෙරට ම යක්‍ෂ ගෝත්‍රික රජකු විය හැකි ය. එසේත් නැත්නම් දඹදිවින් හෝ පර්සියාවෙන් හෝ පැමිණි යක්‍ෂ ගෝත්‍රික රජකු විය හැකි ය. මෙරට සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් අර්ධ වෛදිකයනට විරුද්ධව එළාර රජුට සහාය දෙන්නට ඇතැයි සිතිය හැකි ය. රිටිගල මෙන් ම අනුරාධපුර අවට වෙනත් ප්‍රදේශවල ද යක්‍ෂ ගෝත්‍රිකයන් එළාර රජුට ආධාර කිරීම හේතුවෙන් පමණක්‌ නො ව දිවයිනෙහි වෙනත් ප්‍රදේශවල, විශේෂයෙන් ම මහවැලි ගඟ දිගේ පොළොන්නරුවේ සිට මහියංගනය දක්‌වා ආසන්න ප්‍රදේශවල (බුදුන් වහන්සේ මහියංගනයේ දී යක්‍ෂ ගෝත්‍රිකයන්ට දහම් දෙසූ බව ද අමතක නො කළ යුතු ය) යක්‍ෂ ගෝත්‍රිකයන් ද එතුමාට ආධාර කළ බැවින් අවුරුදු හතළිස්‌ හතරක්‌ රජ කිරීම ප්‍රශ්නයක්‌ වී නැත. මහවැලිය ආසන්නයේ ජීවත් වූ ජනයා මහවැලි ගඟ දිගේ කඳවුරු තිස්‌ දෙකක්‌ බැඳ රුහුණෙන් අනුරාධපුරයට සේනා යැමට බාධා පමුණුවා ඇති බව පැහැදිලි ය.

ගැමුණු රජු ගෙන් පසුව ද විවිධ කාලවල යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බලය වැඩි වන්නට ඇත. සිංහල රජවරුන් දුර්වල වූ විට යක්‍ෂ ගෝත්‍රිකයන් බලවත් වන්නට ඇත. එසේ ම යක්‍ෂ ගෝත්‍රිකයන් බුදු දහම ප්‍රතික්‌ෂේප කිරීම, භාරතයෙන් ථෙරවාදය අතුරුදන් වීමට කටයුතු සැලසීම, මහායානික බලපෑම් ආදිය සියල්ල එකතු වූ විට පස්‌වැනි සියවස වන විට මෙරට සිංහල ථෙරවාද බෞද්ධ රාජ්‍යයට තර්ජන වන්නට ඇත. මෞර්ය වංශය යන්න එවැනි පසුබිමක නිර්මාණය කරගන්නා ලද සංකල්පයක්‌ බව පැහැදිලි ය. සිංහල රජවරුන් අශෝක රජුට ඥති සම්බන්ධයක්‌ නැති වුවත් ඉහත සඳහන් තර්ජන හමුවෙහි උත්තර භාරතය හෝ පැරැණි දඹදිව හෝ සමඟ තමන්ට තිබූ ආධ්‍යාත්මික සම්බන්ධකම් වර්ණනා කිරීමක්‌ පස්‌වැනි සියවසේ සිදු විණි යෑයි සිතා ගැනීමට හැකි ය. එකල උත්තර භාරතයෙහි ථෙරවාදයක්‌ නොමැති වීම ප්‍රශ්නයක්‌ නො වන්නට ඇත්තේ සිංහලයන් භෞතික උපකාරයකට වඩා ආධ්‍යාත්මික උත්තේජනයක්‌ උත්තර භාරතයෙන් බලාපොරොත්තු වූ නිසා විය යුතු ය.

අප මෙහි සඳහන් කරන මතවලට සාක්‍ෂි වංශකතාවලින් ලබාගත හැකි නො වේ. වංශකතා ලියෑවී ඇත්තේ ම එවැනි සාක්‍ෂි තිබිණි නම් ඒ නැති කිරීමට ය. එහෙත් වංශකතාවල ඇති පරස්‌පර ඔස්‌සේ අපට අලුත් ඉතිහාසයක්‌ ගොඩනැඟීමට සිදු වී ඇත. සිංහල රාජවංශයට මෞර්ය නමක්‌ පටබැඳීම මෙන් ම ලම්බකර්ණ වංශයක්‌ නිර්මාණය කිරීම ද එක ම කාලයක මෙන් සිදු වී ඇත. අපට මෙහි දී තවත් කරුණක්‌ සිහි වෙයි. දේවානම්පියතිස්‌ස රජු බුදු දහම වැළඳ ගැනීම එකකි. එහෙත් එතුමාට මෞර්ය අභිෂේකය ලබා දීම තවත් එකකි. අශෝක රජු තම මිතුරාට තම පෙළපතේ අභිෂේකය ද එවී යෑයි ද දේවානම්පියතිස්‌ස දේවානම්පිය යන අභිධානය ද සමඟින් දෙවැනි වරටත් අභිෂේකය ලබා ගත්තේ යෑයි ද වංශකතාවෙහි සඳහන් වෙයි. මේ කතාව ද ගෙතුණේ පස්‌වැනි සියවසේ පමණ ද? අශෝක රජුට කිsසි ම නෑකමක්‌ නො තිබූ සිංහල රජවරුන් මෞර්ය පෙළපතක ආධ්‍යාත්මික සාමාජිකයන් බවට පත් කරනු ලැබුයේ මේ අභිෂේකය මඟින් ද? එහෙත් වංශකතාවල අසංගත බව හේතු කොටගෙන ගැමුණු ආදී පස්‌වැනි සියවසින් පෙර සිටි සිංහල රජවරු මෞර්ය වාංශිකයන් ලෙස හඳුන්වනු නො ලැබෙති.