logo11.gif (617 bytes)

HOME


පිරිහුණු මිනිස්‌සු

කඳවුරුලාගත් එළිමහන් තැන පසුකල අප පිවිසියේ ඝන නො වූ වන රොදක්‌ තුළටයි. වන රොද එතරම් පළල් නො වූ අතර එයට එපිටින් යළි මීටර පන්සියයක්‌ පමණ වූ එළිමහන් පෙදෙසක්‌ විය. එළිමහන් පෙදෙසේ අන්තයට පැමිණි අපි අසල වූ උස්‌ ගසක්‌ පාමුල ගිමන් හැරීම සඳහා නැවතුණෙමු.

"උෂ්ණත්වයේ වෙනසක්‌ නෑ. වායුපීඩනය මිලි බාර් 300 යි. පෘථිවියේ ප්‍රමාණයට වඩා ඔක්‌සිජන් ප්‍රතිශතය වැඩියි"

මිණුම් උපකරණ පරීක්‌ෂා කළ ලීග් ඔහු විසින් එළැඹි නිගමන අපට ඉදිරිපත් කළේ ය. භෞතික විද්‍යාඥයකු වූ ඔහු කිසි දිනකවත් වැරදි මත පළ කරන්නෙකු නො වූ නිසා ඔහු ගේ විනිශ්චය ගැන සැක පහළ නො කළ මම රැගෙන ආ කෑම ප්‍රමාණය පරීක්‌ෂා කර බැලුවෙමි. ආහාර ද්‍රව්‍ය අඩංගු බෑගයෙන් පලතුරු යුෂ ටින් කිහිපයක්‌ එළියට ඇදගත් මම ඒවා ලේසර් තුවක්‌කු අතදරා සිටි භටයින් තිදෙනාටත් ලීග් ටත්, මිතුන්ටත් බෙදා දුන්නෙමි.

*        *        *        *        *        *        *        *
2021 සැප්තැම්බර් මස සොයාගත් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 16 ක්‌ දුරින් වූ මෙම ග්‍රහලොව නම් කරන ලද්දේ "අර්ත් II" යන නමිනි. පෘථිවිය හා සර්වසම මෙම ග්‍රහයා නිල් පැහැයෙන් අභ්‍යවකාශයට දිස්‌වේ. අර්ත් II හි පෘථිවියේ මහාද්වීප වැනි වූ ගොඩබිම් දහතුනක්‌ ඇති අතර එයින් හයක්‌ මේ වන විට ගවේෂණය කර ඇත. ගවේෂණය කළ එකදු ගොඩබිමකින්වත් තව ම මනුෂ්‍ය ජීවියෙකු හමු නො වූ අතර කොටි, වළසුන්, මුවන් වැනි ජීවීන් ද මේ වන විට පෘථිවියේ වඳවී ගොස්‌ ඇති අලින්ද ජීවත්වන බව වාර්තා වී ඇත. මේ ග්‍රහලොවේ කළ ගවේෂණවල දී මා ලැබුවේ ඇත්තෙන් ම පෘථිවියෙන් පිට ග්‍රහලොවක කරන ගවේෂණවලට වඩා පෘථිවියේ වනාන්තරයක කරන විනෝද සවාරියක අත්දැකීම ය. ස්‌වයංක්‍රීයව සිසිරතාරක නින්දෙන් අවදි වූ සතුන් මේ ග්‍රහලෝකය ආක්‍රමණය කර තිබීම පෘථිවි වැසියන් ගේ සතුටට හේතු වනු නොඅනුමානය. එහෙත් නින්දෙන් අවදි වූ මිනිසුන්... ඔවුන්ට කුමක්‌ වන්නට ඇත් ද?

*        *        *        *        *        *        *        *
විඩා නිවුණු පසු භටයින් පෙරටු කොටගත් අපි වනරොදට පිවිස ඉදිරියට ගමන් කළෙමු. සැතපුම් කාලක්‌ පමණ ඝන වනරොද පසුකරමින් පැමිණි අපි කඳුගැට සහිත ඝන නො වූ කැලෑ ප්‍රදේශයකට පිවිසියෙමු. කඳුගැට අතරින් ඉදිරියට ගමන්කළ අපිට හදිසියේ ම දිස්‌වූයේ ප්‍රධාන යානාවේ කැඩීගිය ප්‍රධාන සිසිරතාරක කොටසයි... එය දුටු අප තරමක්‌ සැලකිලිමත් වූයේ මීට පෙර හමුවූ කැඩී ගිය යානාවේ නැසිනි තුළ සැඟවීA සිටි වළසුන් දෙදෙනෙකු ගේ දිවි තොර කිරීමට අප ගේ භටයින්ට සිදු වූ හෙයිනි. සිසිරතාරක කොටසෙහි ඇතුළත පරීක්‌ෂා කරන ලෙස භටයන්ට නියෝග කළ මම අතෙහි සවිකර තිබූ රේඩියෝව ක්‍රියාත්මක කොට කඳවුර හා සම්බන්ධ වීමි.

"කඳවුර අමතන්න... අමතන්න... මේ නැගෙනහිරට පිටවූ සිග්මා කණ්‌ඩායමයි. අපට යානාවේ විශාලම කොටස, සිසිරතාරක කොටස හම්බ වුණා... දැන් සියලුම කොටස්‌ සම්පූර්ණයි... ම්... අවම හානියකුයි වෙලා තියෙන්නේ... ඔව්.. ඇතුළත පරීක්‌ෂා කර පසුව අමතන්නම්. පණිවිඩය අවසානයි..."

"සර්... සිසිරතාරක කුටීරවලට කිසිම හානියක්‌ වෙලා නෑ... ඒවා සියල්ලම ක්‍රියාත්මක වෙලයි තියෙන්නේ..." හා කැඩී ගිය මේ යානා කොටසෙහි ඇතුළත ඇති දේවල් අපට වැදගත් විය හැකි යෑයි.. ද එක්‌ භටයෙක්‌ මට කීවේය. මා වහාම යානා කොටස තුළට ඇතුල් වූයේ බලාපොරොත්තු හදේ පොදි බැඳගෙනයි.

ඇතුළට වතුර නෙඑන සේ යානාවේ කැඩීගිය දාරයේ කැටයම් කර තිබූ ගල් පුවරුවක්‌ විය. ඇතුළට වන්නට වූ යානාවේ පටු කොරිඩෝවේ ගමන්කළ අපට එහි පටු බිම්කඩෙහි පිළිවෙළට තබන ලද මිනිස්‌ ඇට කැබලි තොගයක්‌. හා දිරාගිය කොටි හම් කැබලි කිහිපයක්‌ ද දැකගැනීමට හැකි විය.

"මේක දැන් නොදියුණු මිනිසුන් පිරිසක ගේ සුසාන භූමියක්‌ වෙලා වගෙයි..." මා පැවසුවේ පුරාවිද්‍යාඥයකු වූ මිතුන් දෙස බලාගෙන ය.

"වෙන්න පුළුවන්... පෘථිවියෙත් අපිට මේ වගේ සුසාන භූමි හමුවෙලා තියෙනවා. හැබැයි ඒවා මීට අවුරුදු හාරදහසකට වඩා පැරණි ඒවා."

හදිසියේ ම මිනිස්‌ කණ්‌ඩායමක්‌ නඟන ඝෝෂාවක්‌ කැලේ මැදින් ඇසෙන්නට විය. ඝෝෂාව එන්න එන්නම වැඩි විය.

"අපට කරදරයක්‌ වගේ... හැකිඉක්‌මනින් අපි පිටත් වුණ දිශාවට... යානාවේ සිසිරතාරක කොටස ගාවට සිහිනැති කරන තුවක්‌කු භටයින් හය දෙනෙක්‌ එවන්න. ම්ලේච්ඡයන් පිරිසක්‌ හමුවුණා විස්‌තර පසුව දන්වන්නම්. පණිවුඩය අවසානයි..."

පණිවුඩය අවසාන වනවාත් සමගම ඝෝෂා කරමින් පැමිණි වනචාරී ම්ලේච්ඡයෝ පිරිස අප ඉදිරියේ දිස්‌ විය. බලාපොරොත්තු නො වූ දසුනකින් බිරාන්ත වූ ඔවූහු ලොකුකරගත් දෑස්‌වලින් අප දෙස බලා සිටින්නට වූ හ.

පහළොවක්‌වත් නොමැති වූ වනචාරී මිලේච්ඡයෝ පිරිසේ සතර දෙනෙකු ගේ කර මත මළසිරුරකි. කොළ අතු හා හම් කැබැලිවලින් නිරුවත වසා සිටි ඔවුන් සියල්ලන් ම පිරිමින් යෑයි කිව හැකි විය. කණ්‌ඩායමේ නායකයා යෑයි නිමානය කළ හැකි හැඩි දැඩි පුරුෂයෙක්‌ යමක්‌ පවසමින් අප ඉදිරියට එන්නට විය. අප භටයින් තිදෙනා ඔවුන් අත වූ ලේසර් තුවක්‌කු නායකයා වෙත එල්ල කිරීමට සැරසුණේ ය.

"එපා... මම කැමැති නැ සංස්‌කෘතියක්‌ විනාශ වෙනවාට. මෙයාට හානියක්‌ කරනවා කියන්නේ මේ සේරම මරන්න වෙනවා කියන එකයි. මතක තියාගන්න දෙවැනි නීතිය කිසිම සංස්‌කෘතියක්‌ විනාශ කරන්න බෑ..." මම භටයින්ව නැවත්තුවෙමි. මා අසලට පැමිණි නායකයා ම අත වූ බෑගය උදුරා එය නහයට ළං කොට බැලී ය. පසුව ඔහු ගේ සගයන්ට යමක්‌ පවසා භටයන් දෙසට අත දිගු කළේ ය. ම්ලේච්ඡයෝ කිහිපදෙනෙකු පැමිණ භටයින් අත වූ තුවක්‌කු ද, බෑග් ද, පරික්‌ෂා කරන්නට විය. අප සතුව තිබු සියලු දෑ පැහැරගත් ම්ලේච්ඡයෝ අපගේ දෙ අත් වැල් පොටවල්වලින් බැඳ අප අසල තිබු යානාවේ කොටස්‌වලට තබා නොසෙල් විය හැකි සේ බැන්දේ ය.

පසුව ඔවුන් ඔසවාගෙන ආ මළසිරුර යානාව තුළ තැන්පත් කළ ම්ලේච්ඡයෝ තාලානුකූල යමක්‌ ගායනා කොට මළ සිරුරට ගෞරව දැක්‌වූහ. පසුව පසෙකට රැස්‌ වූ පිරිස යමක්‌ සාකච්ඡා කරන්නට වූහ. යම් එකඟතාවකට පැමිණියා යෑයි සිතිය හැකි අයුරින් යමක්‌ පැවසූ නායකයා මුගුරක්‌ රැගෙන අප සිටි දෙසට එන්නට විය. බයින් බිරාන්ත වූ අප තුළ වූයේ ම්ලේච්ඡයා දෙසට හිස පහත් කරගත් අනුකම්පා සගහත බැල්මකි. නමුත් ම්ලේච්ඡ නායකයා ගේ මුහුණ උමතු බවින් පිරී පැවතිණි.

භටයකු අසලට පැමිණි ම්ලේච්ඡ නායකයා මුගුර භටයා ගේ ගෙල මතට වැරෙන් හෙළුවේ ය. කඳින් වෙන් වූ හිස භටයාගේ දෙපා මුල වැටිණි. අප කණ්‌ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකුට මේ ඉරණම අත්කර දීමට ම්ලේච්ඡයා සමත් විය.

*        *        *        *        *        *        *        *
අර්ත් II සොයාගැනීමෙන් පසුව ග්‍රහලොවේ ගවේෂණ සොයාබැලීම සඳහා කමිටුවක්‌ පත් කෙරිණි. අර්ත් II කමිටුව නමින් හැඳින්වූ මෙම කමිටුවේ අභිප්‍රාය වූයේ අර්ත් II ග්‍රහලොවේ බුද්ධිමත් ජීවියකු ඇත්දැයි සොයා බැලීමයි. ලීග්, මිතුන්, මා ඇතුළු අප කණ්‌ඩායම දැන් ඒ සොයාගැනීම කර තිබේ. දැන් අපට සිදු වී ඇත්තේ ඒ සොයාගැනීම ආරක්‌ෂා කිරීම පිණිස දිවි පිදීමටයි. නොදියුණු ශිෂ්ටාචාරයක්‌ ආරක්‌ෂා කරනු වස්‌ දිවි පිදු ගඟනගාමි පිරිසක්‌ ලෙස අප කණ්‌ඩායම ඉතිහාසගත වනු ඇත. මුගුර ඔසවා ගත් ම්ලේච්ඡයා මා අසලට පැමිණියේ ය. හදිසියේ ම ගස්‌ අතුරින් මතු වූ භට පිරිසක ගේ මුහුණු මට දිස්‌ විය. නමුත් ම්ලේච්ඡයාගේ මුගුර මා හිසට පහත්වත් ම අඳුර මා වෙලා ගත්තේ ය.

නිමි.

ප්‍රදීප් සංජීව පියසමර
පො/සේවාමුක්‌ත ක.න.ම විද්‍යාලය,
පොලොන්නරුව.