|
විල්පත්තු කියන්නේ වනෝද්‍යානයක් පමණක් නො වෙයි ජාතික කෞතුකාගාරයක් අමල් උඩවත්ත (විල්පත්තු සංචාරයෙන් පසු) "විල්පත්තුව කියන්නේ නිකම් ම නිකම් වනාන්තරයක් නො වෙයි. පුරාවිද්‍යාත්මක ප්‍රාග් ඵෙතිහාසික, පුරා ඓතිහාසික යනාදී කාල සීමාවලට අයත් වටිනා ඉතිහාසයක් හා වටිනා සාධක රැසක් සඟවාගත් පර්යේෂණාගාරයක් බඳු භූමියක්. වර්ෂ 1905 දී අභයභූමියක් බවට ප්‍රකාශයට පත් කළ විල්පත්තුව ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශයට පත් කළේ වර්ෂ 1938 පෙබරවාරි 25 වැනි දිනයි. මේ උද්‍යානයේ අද හෙක්‌ටයාර 131667.1ක විශාලත්වයක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ විශාලතම වනෝද්‍යානය බවට පත් වී තිබෙනවා" යනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවීන වනජීවී පර්යේෂකයකු මෙන්ම වන ජීවී ඡායාරූප ශිල්පියකු වන විමුක්‌ති වීරතුංග මහතා පැවසී ය. පෙබරවාරි 27 වැනි දින විල්පත්තුව ජාතික වනෝද්‍යානය යළි විවෘත කිරීමේ උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්‌වූ වීරතුංග මහතා "පසුගිය කාල සීමාවේ දී අපි කළ පර්යේෂණ රැසකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ අවුරුදු මිලියන 12 කට වඩා පැරැණි මයෝසීන යුගයට අයත් ෆොසිලත්, ප්ලයිස්‌ටෝසීන යුගයට අයත් ෆොසිලත් තිබෙන බැව් හෙළිදරව් කරගැනීමට හැකි වුණා. පොන්පරිප්පුව කියන ප්‍රදේශයෙන් ඉපැරැණි සුසාන භූමියක් හමු වනවා. මේ පිළිබඳව කළ පර්යේෂණවලින් මෙහි මිනිසුන් 5000ත් 12000ත් අතර ප්‍රමාණයක් භූමදානය කළ බවට සාක්‍ෂි හමු වනවා. ඒ වගේම මේ සුසාන භූමියෙහි හමු වන විශාල මැටි මුට්‌ටිවලින් උතුරු ඉන්දියාවේ මොහැන්දජාරෝ ශිෂ්ටාචාරයට ශ්‍රී ලංකාව සෘජු සබඳතාවක් දක්‌වන බැව් පෙනෙනවා. ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික යුගයට අයත් පන්සල් හෝ දේවස්‌ථාන යෑයි
සිතිය හැකි ස්‌ථාන 68ක් මෙහි දැනට වාර්තා වී තිබෙනවා. ශිලා ලිපි රාශියක් හමු
වනවා. වීරසෝලි කියන ප්‍රදේශයෙන් බුදුරජාණන් වහන්සේ ගේ මුචලින්ද නාගදරනය පෙන්වන බුදු
පිළිමයක් හමු වුණා. ශ්‍රී ලංකාවෙන් මෙවැනි බුදුපිළිම පුරාවස්‌තු හැටියට හමු වන්නේ
4යි. ඉන් එකක් විල්පත්තුවෙන්. මේ නිසා විල්පත්තුව කියන්නේ වන සතුන් සිටින
වනාන්තරයක් පමණක් නො වෙයි. අපේ ඈත අතීත ඉතිහාසයක් සඟවාගත් පර්යේෂණාගාරයක් බව
පෙනී යනවා. ඒ නිසා කවර හෝ ආකාරයකින් විනාශ වීමට ඉඩ නො දී විල්පත්තුව රැකගත යුතුයි"
යනුවෙන් පැවසී ය. |
||||
|
||||