වැවැලි බෝග අතර
ප්‍රධාන තැනක්‌ ගන්නා පොල්

පොල් ගසේ අපතේ හරින කොටසක්‌ නැත. ආහාර බෝගයක්‌, කර්මාන්ත බෝගයක්‌, අපනයන බෝගයක්‌ යන කුමන ආකාරයකින් හෝ මෙය හැඳින්විය හැකි ය. පොල් මිහිපිට ඇති කප්රුක ලෙස හඳුන්වන්නේ එහි ඇති මේ අගය නිසා ය. කුඩා ගෙවත්තක පොල් පැළයක්‌ හෝ සිටුවාගැනීමට බොහෝ දෙනකු උනන්දු වන්නේ මේ ගසෙහි ඇති වටිනාකම දන්නා නිසා ය. එදිනෙදා ආහාරවලට පොල් නැති ව ම බැරි ද්‍රව්‍යයකි.

මේ වන විට අප රටේ පොල් වගා කර ඇති බිම් ප්‍රමාණය අක්‌කර ලක්‍ෂ දහයකට පමණ ආසන්න බවට තොරතුරුවල සඳහන් වේ. මෙයට ගෙවතුවල වගා කර ඇති පොල් වගාව ද ඇතුළත් ය. පොල් වගාකරුවන් ගේ සංඛ්‍යාව ලක්‍ෂ 7ක්‌ ඉක්‌මවා ඇත. පොල් වගා බිම් ප්‍රමාණයෙන් 80%ක්‌ ම අක්‌කර 5ට අඩු ය. එය සමස්‌ත බිම් ප්‍රමාණයෙන් අක්‌කර ලක්‍ෂ 71ක්‌ ඉක්‌මවයි. පොල් වගාව රටේ බටහිර වෙරළ ප්‍රදේශයේ විශේෂයෙන් ම පැතිරී ඇතත් ජනගහන වේගය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබීමත් සමග පොල් ඉඩම් කැබැලිකරණය, වගාව පහත බැසීමට හේතු වී තිබේ. සාම්ප්‍රදායික පොල් ත්‍රිකෝණය ලෙස හඳුන්වන ලද ප්‍රදේශය ද මේ වන විට වෙනස්‌ වෙමින් පවතී. අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව වැනි දිස්‌ත්‍රික්‌ක කරා ද පොල් වගාව ව්‍යාප්ත ව පවතී. මේ නිසා පොල් ත්‍රිකෝණය තුළ වගාව 48%ක ප්‍රමාණයට සීමා වී තිබේ. උතුරු ප්‍රදේශයේ ද මනාව පොල්වගාව පිහිටුවිය හැකි බවට පෙනී ගොස්‌ තිබේ. ඒ අනුව ඉදිරි වසර තුළ කිලිනොච්චිය, පලෙයි, අලම්පිල් වැනි ප්‍රදේශවල ද අක්‌කර 45,000ක පමණ බිම් ප්‍රමාණයක පොල් වගාව ව්‍යාප්ත වී යනු ඇතැයි විශ්වාස කෙරේ.

පොල් ආහාරයට ගනු ලබන රටවල් අතර පොල් පරිභෝජනය කරන වැඩි ම ජනතාවක්‌ ඇති රට ශ්‍රී ලංකාව බව සඳහන් වේ. එක්‌ අයකු වසරකට පොල් තෙල් ද ඇතුළුව ආහාරයට ගන්නා පොල් ප්‍රමාණය ගෙඩි සියයකට අධික බව සඳහන් වේ. ඒ අනුව වසරකට දේශීය පරිභෝජනය සඳහා පොල් ගෙඩි මිලියන 2000ක්‌ පමණ අවශ්‍ය බවත්, එය සමස්‌ත ජාතික පොල් ඵලදාවෙන් 70%-80% දක්‌වා වන බවත් සඳහන් වේ. මේ පොල් ප්‍රමාණය පරිභෝජනය මඟින් දෛනික ශක්‌ති අවශ්‍යතාවෙන් 22%ක්‌ ද, ප්‍රොaටීන් අවශ්‍යතාවෙන් 10%ක්‌ ද, කෙඳි හා විටමින් සෑහෙන ප්‍රමාණයක්‌ ද සැපිරෙන බව සඳහන් කළ හැකි ය. පොල් තෙල් ශරීරයට අහිතකර යෑයි වැරැදි මත වරින් වර ඉස්‌මතු වුවත් එය මිථ්‍යාවක්‌ බවට තොරතුරු ඉදිරිපත් වේ. ශ්‍රී ලංකාවේ හදවත් රෝග අනුපාතය කෙරෙහි පොල් පරිභෝජනය බලපා තිබෙන්නේ ලක්‍ෂයකට එකක්‌ පමණක්‌ බව ද සඳහන් වේ. අනෙකුත් සත්aත්ව තෙල් හා මස්‌ වර්ග ලක්‍ෂයකට 16-187ක්‌ දක්‌වා බලපෑමක්‌ ඇති කරන බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි.

පොල් අපනයන බෝගයක්‌ ලෙසට ගත් කල අපනයනය සඳහා නිෂ්පාදනය වන ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 800-1000ක්‌ පමණ වන බව සඳහන් වේ. මේ මගින් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 150කට පමණ ආසන්න බව පෙනී යයි. මේ ප්‍රමාණයේ වර්ධනයක්‌ වසරින් වසර සංඛ්‍යාලේඛනවලින් පෙනී යයි. වෙනත් දේවල අපනයන ආදායම දෙස බලන කල මෙය 2%ක වටිනාකමක්‌ ලබා දෙන බව ද පෙනී යයි.

පොල් මද නිෂ්පාදන ලෙස කොප්පරා, අමුපොල් හා පොල්තෙල් නිෂ්පාදනය වේ. පොල් මද නො වන නිෂ්පාදන මගින් ද අපනයන ආදායමක්‌ ලබාගැනීමට හැකි වී තිබේ. ඒවා අතරින් කොහුබත්, කොහු, පොල්කටු අඟුරු ප්‍රධාන තැනක්‌ ගන්නා අතරට ඒවා මගින් විදේශ විනිමය ඉහළ ප්‍රමාණයකින් ලැබී ඇති බව වාර්තාවල සඳහන් වේ.

පොල් වගා කරන්නන් හට ලැබෙන ආදායම පිළිබඳව කිසිදු සැකයක්‌ ඇති කර ගැනීමට අවශ්‍ය නො වේ. එයට හේතු වන්නේ අනෙකුත් වැවිලි බෝග මෙන් නො ව පොල් ගසෙන් අපනයන මාර්ග රාශියක්‌ ලැබෙන අතර ම දේශීයව ද ආදායම් මාර්ග රාශියක්‌ උත්පාදනය කර ගැනීමේ හැකියාව තිබීම ය. මේ වන විට පොල් කිරි පිටි, ක්‍රීම් ලෙසට සකස්‌ කිරීම සංවර්ධනය වෙමින් පවතී. ඒවායෙහි වාර්ෂික අපනයන වේගය ද වර්ධනය වෙමින් පවතී. පොල් තෙල් "නැවුම් පොල් තෙල්" වශයෙන් වර්ධනය කෙරේ. නැවුම් පොල් තෙල් මෝරතෙල් මෙන් විටමින් ඊ - අඩංගු පෙත්තක්‌ ලෙස සැකසී තිබේ.

ආහාර ලෙස ශරීරයට හිතකර මේ නිෂ්පාදනවලට අමතරව ස්‌වාභාවික කෙඳි අතර පොල් කෙඳි විශේෂ තැනක්‌ ගනියි. පොල් කෙඳි නිෂ්පාදනවල විවිධත්වයක්‌ මේ වන විට හිමි වී තිබේ. පොල් කෙඳිවලින් සාම්ප්‍රදායික ලෙස භාවිත කෙරෙන දේවලට අමතරව ගෘහ අලංකරණයට, පැළ සිටුවීමට, බඳුන් නිෂ්පාදන රාශියක්‌ වෙළෙඳපොළට පිවිස තිබේ. සැහැල්ලු බඳුන් වන මේවාට ඇති ඉහළ ඉල්ලුම මේ කර්මාන්තයේ විවිධ නිපැයුම්වලට මඟපාදා දී තිබේ. යුරෝපා රටවල්, ජපානය මේ සඳහා වැඩි කැමැත්තක්‌ පෙන්වයි. කොහු බත් කඳු වශයෙන් ඈත අතීතයේ ගොඩ ගසා තිබුණත් මේ වන විට එවන් තත්ත්වයක්‌ දක්‌නට නැත. පොහොරක්‌ ලෙසට හෝ අතුරුනුවක්‌ ලෙසට හෝ කොහුබත් යෙදීමට ජනතාව පුරුදු වී සිටිති. මේ ආකාරයෙන් කොහුබත් නිෂ්පාදන සැකසීමට යොමු වීම විශාල ජයග්‍රහණයකි.

පොල් කෙඳි , පොල් මදවල වූ විශාල වෙනස පොල් වතුර කෙරෙහි ද බලපා තිබේ. තැඹිලි වතුර ගෙදර ම තබාගෙන බීමේ හැකියාව තාක්‍ෂණයේ දියුණු ක්‍රම උපයෝගී කරගෙන ලබා දී ඇත. පොල් රා භාවිත කර නිෂ්පාදනය කරන පොල් විනාකිරි, පොල් හකුරු ආදිය ඉහළ ගුණාත්මයකින් යුතුව වෙළෙඳපොළේ දක්‌නට ඇත. මෙයටත් වඩා ඉහළ තත්ත්වයක්‌ උදා කර ගැනීමට ද අවධානය යොමු වී තිබීම විශේෂත්වයකි. පොල් රාවලින් බලශක්‌තිය නිපදවා ගැනීමට යොමු ව ඇති අවධානය අනුව විජලන එතනෝල් ලබාගෙන පෙට්‍රල් සමග මිශ්‍ර කර වාහන ධාවනය කළ හැකි වීමේ හැකියාව මත අනාගතයේ දී බලශක්‌ති අර්බුදයට පිළියම් ගෙන දෙන බෝගයක්‌ බවට පොල් පත් වීමේ හැකියාව තිබේ. පොල් කර්මාන්තශාලා ආශ්‍රිතව දුර්ගන්ධය වහනය කරමින් ගලා යන පොල් වතුර ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම මඟින් පරිසර දූෂණයට හොඳ පිළිතුරක්‌ ලබා දීමට හැකි වනු ඇත.

පොල් අප ගේ සංස්‌කෘතිය හා දේශීයත්වය හා එක්‌ ව බැඳී පවතින බෝගයකි. මේ බෝගය ආර්ථික වැවිලි බෝගයක්‌ ලෙස සංවර්ධනය කිරීමට වගකීම දරන ආයතන කටයුතු කරයි. පොල් පර්යේෂණ ආයතනය, පොල් වගා කිරීමේ මණ්‌ඩලය හා පොල් සංවර්ධන අධිකාරිය මේ වෙනුවෙන් කටයුතු කරන ආයතන වේ. ඔවුන් හා එක්‌ ව තමන් ගේ වගාවන් ඉහළ තත්ත්වයෙන් පවත්වා ගැනීමට කටයුතු කළ හැකි ය.


ඉදිරිපත් කරන්නේ
කෘෂි උපදේශක
සුසිලා රත්නසේකර