|
මතභේදයට තුඩු දී ඇති ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක භාවිත ශ්‍රී ලංකාවේ භාවිත වන දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල ප්‍රතිකාර පිණිස බහුලව ඖෂධීය ශාක ද්‍රව්‍ය යොදාගැනෙයි. ඕනෑ ම වෛද්‍ය ක්‍රමයක් සාර්ථකව සිදු කිරීමට වෛද්‍යවරයා, රෝගියා, ඖෂධ හා උපස්‌ථායකයා යන කරුණු 4 ම නිවැරැදිව සංයෝග විය යුතු බවත් මේ සැම දෙයක ම තිබිය යුතු ගුණාංගයන් පිළිබඳ වත් ආයුර්වේදය තුළ සඳහන් කර තිබේ. 2010 ආයුර්වේද වසර ලෙසින් නම් කර ඇත. මේ වසර තුළ දී ආයුර්වේද ක්‍ෂෙත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතු අතර වර්තමානයේ ප්‍රතිකාර සඳහා බහුලවම භාවිත කරන ඖෂධීය ශාක කිහිපයක නිරවද්‍යතාව පිළිබඳව පවතින මතභේද කෙරෙහි අදාළ ක්‍ෂෙත්‍රවල අවධානය යොමු කරමින් මතවාදයක් ගොඩනැඟීමත් ඒ මඟින් වඩාත් නිවැරැදි ඖෂධ යොදාගැනීමට අවකාශය ලබා දීමත් කාලෝචිත ය. ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන ඖෂධ ද්‍රව්‍යවල නම්, ආයුර්වේද සංහිතා ග්‍රන්ථවල සඳහන් කර ඇත්තේ ඒවායේ සංස්‌කෘත නම්වලිනි. එම සංස්‌කෘත නම් පසුකාලීනව හඳුනාගෙන විවිධ භාෂාවලට පරිවර්තනය කර ඇත. එසේම ඒවා ශාක විද්‍යාත්මව හඳුනාගෙන ඒවාට විද්‍යාත්මක නම් ලබා දී ඇති නිසා බහුතරයක් ශාකවල යොදාගැනීම් පහසු විය. එහෙත් සමහර ඖෂධීය ශාක පිළිබඳ පැරැණි ග්‍රන්ථවල සඳහන් විස්‌තරවලට අනුව ඒවා හඳුනාගැනීම අපහසු වී ඇත. නිවැරැදිව හඳුනාගත් ශාක විශේෂය වෙනුවට එම වර්ගයේ ම හෝ වෙනත් ඊට සමාන බාහිර රූපාකාර තිබෙන හෝ විවිධ අනුකාරක ශාක ද යොදාගැනීම බහුලව සිදු වෙයි. ලංකාවේ දැනට භාවිත කරනු ලබන ඖෂධ පැළෑටි නිවැරැදිව හඳුනාගැනීමට අවශ්‍ය ක්‍රමවත් වූ ක්‍රමවේදයක් තවමත් සැකසී නැත. විවිධ අනුකාරක ශාක, ඖෂධීය ශාකය වෙනුවට යොදාගන්නා නමුත් ඒවායේ ඖෂධීය වටිනාකම කෙතෙක් දුරට සාර්ථක ද යන වග කිසිවකුත් නො දනිති. මේ පිළිබඳව 1970 දී රාජකීය පණ්‌ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියනුත්, 1962 දී පණ්‌ඩිත ග්‍රේබියල් ගුණවර්ධන ශුරිනුත් විස්‌තරාත්මකව කරුණු දක්‌වා ඇත. එහෙත් අද වන තුරු මේ මතභේදවලට තුඩු දුන් ශාකවල නිරවද්‍යතාව පිළිබඳ පර්යේෂණ සිදු වී නොමැති වීම කණගාටුවකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ යොදාගන්නා ප්‍රතිකාර අතර දශමූල කෂාය ප්‍රධාන තැනක් ගනියි. එසේම එය බහුලවම යොදාගැනෙන ඖෂධයකි. දශමූල සඳහා ශාක වර්ග 10ක මුල් ලබාගනී. මේ සඳහා ශාලපර්ණි හා පෘෂ්ණපර්ණි ලෙස සඳහන් වන ශාක 2 වෙනුවට ලංකාවේ අස්‌වැන්න හා පොල්පලා ශාක යොදා ගැනේ. එහෙත් මේ ශාක දෙක කෙලෙස, කවර කලක, කවුරුන් විසින් භාවිතයට ගැනුණේ දැයි සඳහනක් නැත. ඉන්දියාවේ නිවැරැදි ශාලපර්ණි, පෘෂ්ණපර්ණි භාවිත කෙරෙයි. එහෙත් ලංකාවේ ශාලපර්ණි, පෘෂ්ණපර්ණි නිවැරැදි ශාක වැවෙන නමුත්, ඒවා හඳුනාගැනීමට ඇති නොදැනුවත් බව නිසා වගා කිරීමක් ද නොමැත. ඒ වෙනුවට අස්‌වැන්න, පොල්පලා භාවිතයට ගැනෙන්නේ විධිමත් වූ කිසිදු ක්‍රමවේදයකට නො ව හුදෙක් පුරුදු වූ යොදාගැනීම් මඟිනි. ශාලපර්ණි - Desmodium gangiticum අස්‌වැන්න - Alyssicarpus vaginalis පෘෂ්ණපර්ණි - Uraria picta පොල්පලා - Aervalanata එසේම බැබිල ඖෂධිය වශයෙන් බහුලව යොදාගන්නා වූ ශාකයකි. ඖෂධීය වටිනාකම ඇති බැබිල විශේෂය පිළිබඳව නිවැරැදි පර්යේෂණ නොමැති නිසා විවිධ බැබිල විශේෂ භාවිතයට ගනු ලැබේ. බැබිල විශේෂ 15කට වැඩි ප්‍රමාණයක් දැනට හඳුනාගෙන ඇත. ඒ අතර නාගබලා, අතිබලා, රාජබලා, මහාබලා ආදි නම්වලින් ආයුර්වේදයේ සංස්‌කෘතයෙන් සඳහන් අතර ලංකාවේ බිම්බැබිල, වැල්බැබිල, කොටිකන් බැබිල, සිරිවැඩි බැබිල, සුළු බැබිල, වැල්බැබිල, කේසර බැබිල, රත් බැබිල,.......... ආදී ලෙස වර්ග ගණනාවක් ඇත. මේවායෙන් ප්‍රතිකාර සඳහා සකස් කරන ඖෂධවලට සුදුසු වන බැබිල විශේෂයන් නිවැරැදිව හඳුනාගත යුතු ය. ලොත්සුඹුලු ශාකය ද එසේ යොදාගන්නා වූ තවත් ශාකයකි. ආයුර්වේදයේ "ලෝධ්‍ර" නමින් සඳහන් ශාක විශේෂය වෙනුවට ලංකාවේ ලොත්සුඹුලු වගා කරනු ලැබේ. බහුලව යොදා ගැනෙයි. පට්‌ටිපොළ ප්‍රදේශයේ ලොත්සුඹුqලු විශාල වශයෙන් වගා කෙරෙයි. එහෙත් ඉන්දියාවේ නියම ලෝධ්‍ර ශාකය භාවිත කෙරෙන අතර සමහර අවස්‌ථාවල ඉන්දියාවෙන් ගෙන්වන ලද නිවැරැදි "ලෝධ්‍ර" වෙළෙඳ පොළෙන් ලබා ගැනීමට ද හැකියාව ඇත. ලෝධ්‍ර වෙනුවට ලොත්සුඹුලු යොදාගත්තේ කුමන කරුණු මත පදනම් ව ද යන්න ගැටලුවකි. ලෝබු - Symplocus racemosus ලොත්සුඹුලු- Melaleuca leucadendra රත්හඳුන් වෙනුවට රත් කිහිරිය භාවිතය ද මෙසේ මතභේද සහිත අවස්‌ථාවකි. මේ ශාක 2 ම ලංකාවේ හමු වේ. එහෙත් බාහිර රූපාකාරය හෝ වෙනත් කුමන කරුණක් මත හෝ රත් හඳුන් වෙනුවට රත් කිහිරිය පමණක් යොදාගනී. රත් හඳුන් - Pteroscarpum santalinus රත් කිහිරිය - Acacia chundra අතිවිඩයන් ශාකය වෙනුවට ලංකාවේ අතිඋඩයන් ශාකය යොදාගැනේ. අතිවිඩයන් - Acoritum heterophyllum අතිඋඩයන් - Langenandra lancifolia මේ ශාක විශේෂ දෙක ද විද්‍යාත්මක ශාක වර්ගීකරණ අනුව කුල දෙකක් යටතට අයත් වෙයි. මෙසේ බහුලව භාවිත වන තවත් විශේෂයකි දැත්ත. සංස්‌කෘතයෙන් දන්තිමූලාදිය ලෙස සඳහන් වන දන්ති ශාකය වෙනුවට ශ්‍රී ලංකාවේ දැත්ත ශාකය යොදාගැනෙයි. දන්ති ලංකාවෙන් හමු නො වේ. ඉන්දියාෙවි ඇත. දන්ති - Baliospermum montanium (කුලය - Euphorbiaea) දැත්ත - Boehmeria nivea (කුලය - Urticaceae) මෙලෙස අපේ රටේ බහුල වශයෙන් යොදා ගන්නා අනුකාරක ශාකවල බලපෑම් පිළිබඳව කිසිවෙකුත් නො දනිති. ඒකීය වශයෙන් ශාකය යොදාගැනීමට වඩා ප්‍රතිකාරවල දී සංයෝගයක් ලෙස ඖෂධ ශාක කිහිපයක් ම එකට යොදාගැනෙන නිසා මේවායේ එතරම් බලපෑමක් නො දැනෙනු ඇත. එහෙත් ඖෂධයක තිබිය යුතු ප්‍රමිතිය අනුව බලන කල එය ඉතා ම නුසුදුසු ය. ඉන්දියාවේ මෙලෙස අනුකාරක ශාක භාවිත කරන්නේ නම් ඒ, ඒ පිළිබදව පරික්‍ෂණ සිදු කර ඒවායේ ප්‍රතිඵලවලට අනුව ය. අයුර්වේදයේ සඳහන් "රාස්‌නා" ශාකය වෙනුවට හීන් අරත්ත ශාකය යොදාගැනීම පිළිබඳව ඉන්දියාවේ පර්යේෂණ සිදු කර එය සුදුසු බව තහවුරු කර ඇත. එම නිසා මහා පරිමාණයෙන් වගා කරමින් හීන් අරත්ත එරට තුළ යොදාගැනෙයි. එසේම "පාෂාණභේද" යන ශාකය ඉන්දියාවේ එතරම් සුලබ නො වන නිසා ඒ වෙනුවට ප්‍රතිනිධියක් වශයෙන් පොල්පලා ශාකය භාවිත කෙරෙයි. ඒ සඳහා ද අදාළ පර්යේෂණ සිදු කර ඒවා සුදුසු බවට තහවුරු කරගෙන ඇත. මෙලෙස ඉන්දියාවේ ශාක ගණනාවක් සඳහා සුදුසු වෙනත් ශාකවල ගුණාත්මක බව, සංයෝග ආදිය පර්යේෂණාත්මකව විශ්ලේෂණනය කර, රාජ්‍ය මට්‌ටමේ පර්යේෂණ කමිටු මගින් තහවුරු කර භාවිත කරනු ලැබේ. එහෙත් අපේ රටේ කිසිදු පර්යේෂණයකින් තොර ව අනුකාරක ශාක යොදාගන්නා බවක් පෙනෙයි, මෙලෙස සිදු කිරීම මඟින් ඖෂධයක වටිනාකම, ප්‍රමිතිය, ආරක්‍ෂිත බව පිළිබද වගකීමක් ගැනීම ද අපහසු වේ. ලංකාවේ වැවෙන්නේ නොමැති දේවදාර, පෙරුංකායම්, කිරාත, කටුකා, විවච්චනාවි වැනි විශේෂ ඉන්දියාවෙන් ගෙන්විය යුතු ය. එසේම ලංකාවේ වැවෙන ශාක නිවැරැදිව හඳුනාගෙන ඒවා මහා පරිමාණයෙන් වගා කර ප්‍රයෝජනයට ගත යුතු ය. එහෙත් ලංකාවේ වැවෙන ශාක ද බහුලව ඉන්දියාවෙන් ගෙන්වීම තවමත් සිදු වෙයි. 2009 මැයි මස 5 වැනි දින ගැසට් පත්‍රය අනුව ශාක විශේෂ 73ක් ද, ඛනිජ විශේෂ 21 ද, සත්ත්ව කොටස් වර්ග 7ක් ද ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධ අතර වෙයි. මේ අතරින් අශෝක, ඉඟුරු, හීං අරත්ත, කටුවැල්බටු, කොත්තමල්ලි, මලිත, නෙල්ලි, පත්පාඩගම්, සුදුදුරු, සාරණ, සතකුප්ප, සෙනෙහෙකොළ, තිප්පිලි, වදකහ, වැල්මදට ආදිය ලංකාවේ ම වගා කර භාවිතයට ගත හැකි නමුත් මේවා ද මහා පරිමාණයෙන් ආනයන කිරීම සිදු වෙයි. 2010 ආයුර්වේද වසර ලෙස නම් කර ඇති බැවින් මේ වසර තුළ දී වත් ක්‍ෂෙත්‍රය තුළ පවතින මෙවැනි අඩුපාඩු නිවැරැදිව සකස් කර ගත යුතු ව ඇත. මෙහි දී ඖෂධ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර අයුර්වේද හා දේශීය ඖෂධ සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් ඖෂධ නිෂ්පාදනයේ දී, ගබඩාකරණයේ දී, ඒවායේ පිරිසිදු බව, ඒවායේ ප්‍රමිතිය, ආරක්‍ෂිත බව, නියම ඖෂධ ද්‍රව්‍ය යොදාගැනීම් ආදි කරුණු පිළිබඳව ඉතා ම සැලකිලිමත් වීමටත් සඳහා අවශ්‍ය නිතිරීති, ප්‍රතිපත්ති, දේශීය වෛද්‍ය අමාත්‍යංශය හරහා සකස් විය යුතු ය. කොළඹ විශ්වවිද්‍යාලයයේ, දේශීය වෛද්‍ය විද්‍යායතනයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ස්‌වර්ණා හපුආරච්චි සමග සාකච්ඡා කර සකස් කළේ සන්ධ්‍යා හල්ලල |
||||
|
||||