|
ඉතිහාසය වෙනස් කළ නියඟයේ
බලපෑම විද්‍යාත්මකව හඳුනාගැනීම
ධනේශ් විසුම්පෙරුම
ඉතිහාසය අධ්‍යයනය සඳහා යොදාගන්නා ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ ඓතිහාසික ග්‍රන්ථ
ය. එහෙත් ඉතිහාස ග්‍රන්ථවල අතීතයේ දී සිදු වූ සියල්ල ඒ අයුරින් ම සඳහන් වන්නේ
නැත. සම්භාව්‍ය ඉතිහාස ග්‍රන්ථවල පැහැදිලිව සඳහන් නො වන කරුණු අතීතයේ සිදු වී
ඇති බවට වාර්තා ලෝකයේ බොහෝ රටවලින් දැක්‌විය හැකි ය. මේ සඳහා නිදසුනක් අපේ
ඉතිහාසයෙන් දැක්‌විය හැකි ය. ක්‍රිස්‌තු පූර්ව 1-2 සියවස්‌වලට අයත් වන වළගම්බා
රජ සමය අර්බුදකාරී සිදුවීම්වලින් පිරී තිබූ සමයයකි. එකල මෙරට තුළ තීය නම්
බමුණකු විසින් මෙහෙයවන ලද කැරැල්ලක් ඇති වූ අතර ඒ සමඟ ම ඇති වූ දකුණු ඉන්දීය
ආක්‍රමණයක් නිසා රජුට පලා යැමට සිදු විය. වසර දහ තුනක කාලයක් තිස්‌සේ
ආක්‍රමණිකයන් ගේ පාලනය පැවැති අතර ඉන් පසු යළිත් රාජ්‍යත්වයට පත් වීමට රජුට
හැකියාව ලැබිණි. මේ අපේ ප්‍රධාන වංසකතාව වන මහාවංසයේ සඳහන් වන ආකාරයයි. එහෙත්
මේ කාලයේ දී දරුණු සාගතයක් ඇති වූ බවක් වෙනත් මූලාශ්‍රයවල සඳහන් වේ. මෙය
බැමිණිතියාසාය නමින් ප්‍රකට ය.
මෙවැනි ස්‌වාභාවික ආපදා මානව ශිෂ්ටාචාරයේ ගමන්මඟ තීරණය කිරීම සඳහා බලපා ඇති
ආකාරය තවත් රටවල, විවිධ ශිෂ්ටාචාරවලට අදාළ ඓතිහාසික ලේඛන ඇසුරින් පෙන්වා දී
තිබේ. විශේෂයෙන් අධික වර්ෂාපතනයේ ප්‍රතිඵලයක් වූ ජල ගැලීම් හා ජල හිඟතාව නිසා
ඇති වූ නියඟය වැනි ආපදා මේ අතරින් වැදගත් ස්‌වාභාවික ආපදා වේ. ලෝකයේ විවිධ
ප්‍රදේශවල පැවැති ශිෂ්ටාචාර බිඳ වැටීමට මේ ආපදා හේතු වී තිබේ. මේ සඳහා වැඩි
වශයෙන් ඇත්තේ ඓතිහාසික සාධක ය.
එහෙත් ඇතැම් විට ඓතිහාසික වාර්තාවල මෙවැනි ස්‌වාභාවික ආපදා පිළිබඳ ප්‍රමාණවත්
තොරතුරු සඳහන් නො වන්නේ එම ඓතිහාසික වාර්තාකරණ සම්ප්‍රදායයන්හි මෙවැනි
ස්‌වාභාවික ආපදා වාර්තාකරණයට එතරම් වැදගත්කමක් හිමි වී නො තිබූ නිසා ය. මෙවැනි
අවස්‌ථාවක කරුණු නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා පුරාවිද්‍යාත්මක ක්‍රමවේද
වැදගත් වේ. වර්ෂාපතනයේ වෙනස්‌කම් ඇති වූ ආකාරය පැහැදිලි කර ගත හැකිs
විද්‍යාත්මක ක්‍රම මේ වන විට භාවිතයේ ඇත. එමඟින් ඇතැම් විට ඉතිහාසයේ ඉඟි කර ඇති
හෝ ඉතිහාසයේ සඳහන් නො වන නියං තත්ත්ව හඳුනාගැනීමට මේ වන විට අවස්‌ථාව ලැබී ඇත.
එවැනි ඇතැම් නියං ඉතිහාසයේ බරපතල වෙනස්‌කම් ඇති කිරීමට හේතු වූ ඒවා ය. චීනයට
ලැබෙන මෝසම් වැසි අඩපණ වීම එරට ඉතිහාසයේ වැදගත් රාජවංශ කිහිපයක පාලනය බිඳවැටීමට
බලපෑ බව විද්‍යාත්මකව පෙන්වා දීම මේ සඳහා එක් නිදසුනකි.
මෝසම් වැසි දුබල වීම හා
චීන රාජවංශ බිඳවැටීම
චීනයේ ශතවර්ෂයකට වඩා කලක් පැවැති ශක්‌තිමත් රාජවංශ තුනක් බිඳ වැටීම සඳහා
මෝසම් වැසි දුර්වල වීම හේතු වී ඇති බව 2008 වර්ෂයේ දී Sජසැබජැ සඟරාවේ පළ වූ
පර්යේෂණයකින් පෙන්වා දෙන ලදි. ඒ උතුරු චීනයේ පිහිටි වැංන්සියැං නම් ගුහාවකින්
ලබාගත් හිරිටැඹයක් විශ්ලේෂණයට ලක් කිරීම මඟිනි. මේ ගුහාව පිහිටි ප්‍රදේශය
චීනයේ ග්‍රීෂ්ම Rතුවේ මෝසම් වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශයේ උතුරුදිග සීමාවේ පිහිටා
ඇත. හිරිටැඹෙහි ඇතුළත් ඔක්‌සිජන් සමස්‌ථානික විශ්ලේෂණය මඟින් ප්‍රදේශයට වැටුණු
වර්ෂාපතනය වෙනස් වූ ආකාරය ගොඩනඟාගෙන ඇති අතර එය ඓතිහාසික වාර්තා සමඟ සංසන්දනය
කිරීමේ දී හෙළි වී ඇත්තේ ඇතැම් රාජවංශ බිඳවැටුණු කාලයේ දී මෝසම් වැසිවල
පැහැදිලි අඩු වීමක් තිබූ බව ය.
මෙහි දී භාවිත කර ඇති ක්‍රමවේදය ඉතා වැදගත් වේ. එය ඉතා විද්‍යාත්මක වූවක් ද
වේ. මෙහි දී යොදාගෙන ඇති ක්‍රමවේදය සැකෙවින් දක්‌වත හොත් මෙසේ ය. හිරිටැඹ ඇති
වන්නේ ගුහාවල පියස්‌ස හරහා වෑස්‌සෙන භූගත ජලයේ අඩංගු කැල්සියම් කාබනේට්
තැන්පත් වීමෙනි. ගුහා වහළ හරහා පැමිණෙන වර්ෂා ජලය මේ අයුරින් හිරිටැඹ තැනීමට
මුල් වේ. වායුගෝලයේ ඇති ඔක්‌සිජන් සමස්‌ථානිකයක් වන 18ධ සමස්‌ථානික සහිත
ජලවාෂ්ප මෝසම් වැසි සමයේ දී වැඩි වශයෙන් ඝනීභවනය වී පොළොවට පතිත වේ. මේ නිසා
මෝසම් වැසි අධික කාලයේ දී ජලයේ 18ධ හා 16ධ අතර අනුපාතය අඩු ය. මේ තොරතුරු
විශ්ලේෂණය කිරීමෙන් වර්ෂ 1810ක පමණ කාලයක් සඳහා මෝසම් වැසි වෙනස් වූ ආකාරය
පිළිබඳ තොරතුරු ගොඩනඟා ගැනීමට හැකියාව ලැබී ඇත.
මේ හිරිටැඹේ ස්‌ථරවල කාලනිර්ණය සිදු කර ඇත්තේ යුරේනියම්-තෝරියම් විකිරණශීලී
කාලනිර්ණයක් ලබාගැනීමෙනිs. මේ ක්‍රමයෙන් වසර දෙක හමාරක කාලයක සියුම් බවකින්
යුතු ව කාලනිර්ණයක් සිදු කළ හැකි අතර එA නිසා වඩාත් නිශ්චිත දින වකවානු ලබා
දීමට ද හැකියාවක් ලැබී ඇත.
මේ අධ්‍යයනයේ දී ලැබුණු තොරතුරු ප්‍රස්‌ථාරගත කිරීමේ දී ක්‍රි.ව. 850 හා 940
අතර, ක්‍රි.ව. 1350 හා 1380 අතර හා ක්‍රි.ව. 1580 හා 1640 අතර යන කාල වකවානුවල
දී මෝසම් වැසි කැපී පෙනෙන ආකාරයෙන් දුබල වී තිබූ බව පැහැදිලි ය. මේ අඩු වැසි
සහිත වියළි තත්ත්වය දශක කිහිපයක් තිස්‌සේ පැවැතී ඇති බව පෙනේ. මේ කාලවකවානු
ශතවර්ෂයකට අධික කාලයක් තිස්‌සේ චීනය පාලනය කළ වැදගත් රාජවංශ තුනක් වන ටැංග්,
යුආන් හා මිං යන රාජවංශ පිරිහී ගොස් බිඳ වැටුණු කාල වකවානු සමඟ මනාව ගැලපේ. එA
අනුව මේ රාජවංශවල පිරිහීම සඳහා මෝසම් වර්ෂාව දුබල වීම ද බල පෑ බව සිතීම සාධාරණ
ය. මේ කාලවකවානු හා සම්බන්ධ ඓතිහාසික වාර්තා අනුව එA කාලවල දී අස්‌වනු අඩු වීම
හා සමාජ අර්බුද හා කැරැලි ආදිය ඇති වී තිබේ. එමෙන්ම මේ හිරිටැඹෙන් දත්ත ලැබුණු
කාල පරාසය තුළ වැඩි ම වර්ෂාපතනයක් ලැබුණු ප්‍රබලතම මෝසම් වර්ෂාවක් පැවැති
කාලයක් වන ක්‍රි.ව. 960 සිට 1020 දක්‌වා වූ කාලය සමපාත වන්නේ චීන ඉතිහාසයේ
ස්‌වර්ණමය යුගයක් වන උතුරු සොං රාජවංශයේ ඉහළ ම වර්ධනයක් පැවැති යුගය සමඟ ය.
ඓතිහාසික වාර්තා අනුව මේ සමෘද්ධිමත් කාලයේ දී චීනයේ වගාබිම්වලින් ඉහළ අස්‌වනු
ලැබුණු අතර ජනගහනය ද අධික ලෙස වර්ධනය විය. එසේම සමාජ ස්‌ථාවරත්වය ද දැකිය හැකි
විය.
මේ හා සමාන අධ්‍යයන
මේ හා සමානව විද්‍යාත්මක ක්‍රම මඟින් අතීතයේ ඇති වූ නියං හා වැසි බිඳවැටීම්
පිළිබඳ තොරතුරු අනාවරණය කරන අධ්‍යයන චීනයේ මෙන්ම ලෝකයේ වෙනත් රටවල ද සිදු කර
තිබේ. ඒවායෙන් පෙන්වා දෙන්නේ ද මෝසම් වැසි දුබල වීම වැනි වර්ෂාපතනය අඩු වීම
සඳහා හේතු වන ක්‍රියාවලී නිසා ශිෂ්ටාචාරවල පැවැත්මට දැඩි තර්ජන ඇති විය හැකි බව
ය.
ඉන් එක් පර්යේෂණයක් 2001 වර්ෂයේ දී Sජසැබජැ සඟරාවේ පළ විය. එහි දී අනාවරණය
වූයේ මෙක්‌සිකෝවේ යුටාකාන් අර්ධද්වීප ප්‍රදේශයේ වරින් වර අඛණ්‌ඩව පැවැති දැඩි
වියළි කාලගුණයක් පිළිබඳව තොරතුරු ය. එA කාලවකවානුවල දී ප්‍රදේශයේ පැවැති ඉහළ
මට්‌ටමේ වූ මායා ශිෂ්ටාචාර බිඳ වැටී ඇත. මේ මායා ශිෂ්ටාචාරය වර්ෂාපතනය හා වාරි
ජලය මත බෙහෙවින් යෑපුණු එකක් වූ අතර නියඟය මේ ශිෂ්ටාචාරයේ පැවැත්මට ද බලපාන්නට
ඇත. මේ අධ්‍යයනය සඳහා ද යොදාගෙන ඇත්තේ ඔක්‌සිජන් සමස්‌ථානික විශ්ලේෂණය කිරීම හා
ජිප්සම් අවක්‌ෂේප තැන්පත් වීම් පිළිබඳව අධ්‍යයනය කිරීමේ ක්‍රමවේදයයි.
මේ අතර 2007 වර්ෂයේ දී භ්එමරු සඟරාවේ ප්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකින්
පෙන්වා දී තිබුණේ ද වර්ෂාපතනය අඩු වී ගිය සමයක් පිළිබඳව සාධක ය. මෙහි දී
යොදාගෙන තිබුණේ අග්නිදිග චීනයේ වෙරළබඩ ප්‍රදේශයේ පිහිටා ඇති හුගුවාං මාර් නම්
විල් පත්ලේ තිබූ තැන්පතුවක් විශ්ලේෂණය කිරීම ය. එA සඳහා අවසාදිතවල ටයිටේනියම්
තැන්පතු හා චුම්බක ස්‌වභාවය යොදාගෙන තිබේ. එහි දී පෙන්වා දෙන්නේ අන්තර්-නිවර්තන
අභිසරණ කලාපය වෙනස් වීම නිසා යම් යම් කාලවල දී වැසි අඩු වී ඇති බව ය. චීනයේ
ටැං රාජවංශය බිඳවැටීමට මෙන්ම ඇමෙරිකා මහාද්වීපයේ පැවැති සම්භාව්‍ය මායා
ශිෂ්ටාචාරයෙහි බිඳවැටීමට ද මේ වෙනස් වීම් හේතු වී ඇති බවක් එහි දී යෝජනා කර
තිබේ.
මේ ආකාරයෙන් සිදු වන වර්ෂාපතනයේ බිඳවැටීම් මානව ශිෂ්ටාචාරවලට තීරණාත්මක ලෙස
බලපා ඇති බවත් පාලන තන්ත්‍ර හා රාජවංශ බිඳ වැටීමට ද ඒ තත්ත්වය හේතු වූ බවත්
ඔප්පු වේ. එවැනි වෙනසක් ඇති කිරීමට බලපෑ එක ම සාධකය නියඟය නො විය හැකි ය. ඊට
තවත් සාධක (එනම් අභ්‍යන්තර අර්බුද, දුර්වල පාලකයන් වැනි) හේතු විය හැකි නමුත්
ලෝක ඉතිහාසයේ වෙනස්‌කම් ඇති කිරීම සඳහා ස්‌වාභාවික ආපදා හා දේශගුණයේ ඇති වූ
වෙනස් වීම් ද වැදගත් බවට ඉහත කී පර්යේෂණ තහවුරු කරයි.
මේ පර්යේෂණවල වැදගත්කම
ඉතිහාසයේ ඇති කරුණු තහවුරු කර ගැනීමට යොදාගත හැකි අපූරු විද්‍යාත්මක ක්‍රමවේද
කිහිපයක් උක්‌ත අධ්‍යයනවලින් තහවුරු වේ. ලිත ඉතිහාසයේ සඳහන් නො වන හා
පැහැදිලි ලෙස සඳහන් ව ඇති සිදුවීම් අතර ඇති ස්‌වාභාවික ආපදා මේ ක්‍රමවේද මඟින්
හඳුනාගත හැකි ය. එය ඉතිහාසය වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට උපකාර වන අතර මානව
ශිෂ්ටාචාරය හා ස්‌වභාවධර්මය අතර ඇති සම්බන්ධය ප්‍රබල එකක් බව තහවුරු කරයි. එ
මඟින් ඉතිහාසයේ යම් යම් ගැටලූ ද විසඳාගත හැකි ය.
අනෙක් අතට එදාට වඩා සංකීර්ණ ශිෂ්ටාචාරයක් වර්තමානයේ පැවතුණ ද අද දිනයට ද මේ
තත්ත්වය වලංගු වන බවක් අනුමාන කළ හැකි ය. දේශගුණයේ වෙනස් වීම්වලින් බලපෑම්
සිදුවීම වළක්‌වා ගැනීම අපට ද පහසු නො වේ. නිදසුනක් ලෙස අපේ කලාපයේ මෝසම් වැසි
දුබල වෙමින් ඇති බවට පර්යේෂණ මඟින් මේ වන විට අනතුරු හැඟවීම් සිදු කර තිබේ.
එසේම ගත වූ 2009 වර්ෂයේ මේ කලාපයේ රටවල් ගණනාවක වී අස්‌වනුවල කැපී පෙනෙන අඩු
වීමට ද මේ මෝසම් වැසි අඩු වීම හේතු වූ බවක් පැවසේ. කෙසේ වෙතත් විද්‍යාත්මක
දියුණුව අතින් ඉහළ වර්තමානයේ සම්පත් අතින් හා තාක්‌ෂණය අතින් අපට මේ තත්ත්වය ජය
ගැනීම සඳහා වැඩි අවස්‌ථාවක් හිමි වී ඇති බවක් සිතේ.
|