logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සිහිගිරියෙන් සිහි වන යක්‍ෂ උරුමය

මහාචාර්ය නලින් ද සිල්වා

සුර අසුර යුද්ධය ආදිය පිළිබඳව නැවතත් වෙනත් අයුරකින් කල්පනා කිරීමට කාලය පැමිණ ඇත. ඕනෑ ම ඉතිහාසයක්‌ ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසින් යෑයි කියනු ලැබෙයි. විවිධ පුරාණ ග්‍රන්ථ ලියනු ලැබ ඇත්තේ වෛදිකයන් විසින් බව පැහැදිලි ය. සුරයන් අසුරයන්

පැරැදවූ පුවත් මේ ග්‍රන්ථවල බහුල ය. සුරයන් විසින් පරදවනු ලැබූ අසුරයන් සුර ලොවින් පිට කෙරී ඇත. මෙහි දී සිදු වන්නට ඇත්තේ කුමක්‌ ද යන්න පැහැදිලි කර ගැනීමට ඉරානයේ හෝ ඒ අවට හෝ අවුරුදු තුන් හාර දාහකට පෙර සිදු වූයේ කුමක්‌ ද යන්න නැවතත් අධ්‍යයනය කළ යුතු ය. කවුරුන් වුවත් ඉදිරිපත් වී එසේ කරන තුරු අපට කළ හැක්‌කේ ඒ පිළිබඳ අනුමාන කිරීම පමණ ය.

අසුර යන්න අහුරාමස්‌දා සමඟ සංසන්දනය කෙරෙයි. පුරාණ ග්‍රන්ථවල අසුරයන් පහත් ජීවීන් ලෙස සැලකුව ද ඉන් ඉහත ලියන ලද ග්‍රන්ථවල සුරයන් හා අසුරයන් සමානත්වයෙන් සැලකේ යෑයි කියනු ලැබේ. ඉන් පැහැදිලි වන්නේ පුරාණ ග්‍රන්ථ ලියා ඇත්තේ සුරයන් ගේ ජයග්‍රහණයෙන් පසුව බව ය. සුර අසුර යුද්ධයෙන් කියෑවෙන්නේ සුරයන් හා අසුරයන් අතර වූ යුද්ධයකට වඩා සුරයන් තම දෙවියන් ලෙස පිළිගත් ජන කොටසක්‌ හා අසුරයන් තම දෙවියන් ලෙස පිළිගත් ජන කොටසක්‌ අතර වූ යුද්ධයක්‌ යෑයි සැලකිය හැකි ය.

අසුරයන් තාවතිංසයෙන් පහතට ඇද දමනු ලැබුයේ ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් යෑයි කියනු ලැබේ. එයට හේතුව අසුරයන් පමණට වඩා සුරාව පානය කිරීම නිසා යෑයි ද කියනු ලැබෙයි. අසුරයන් යනු යක්‍ෂයන් ගේ දෙවියන් ලෙස ගත හොත් හා සුරයන් යනු ආර්යයන් ගේ (වෛදිකයන් ගේ) දෙවියන් ලෙස ගත හොත් සුර අසුර යුද්ධයෙන් කියෑවෙන්නේ යක්‍ෂයන් ආර්යයන් අතින් පරාජය වී තමන් ආර්යයන් සමඟ එකට ජීවත් වූ ප්‍රදේශයකින් පලවා හරිනු ලැබුම යෑයි සිතිය හැකි ය.

මේ එකට ජිවත් වූ ප්‍රදේශය වත්මන් ඉරානය අවට ප්‍රදේශයක්‌ යෑයි සිතිය හැකි ය. පන්නනු ලැබූ යම් පිරිසක්‌ ඉරානයේ ද, තවත් පිරිසක්‌ දඹදිව හා ලංකාවේ ද ලැගුම් ගත්තේ යෑයි සිතිය හැකි ය. ඉරානයේ දී යක්‍ෂ ගෝත්‍රිකයන් අතින් අහුරාමස්‌දා සංකල්පය මෙන් ම දේව සංකල්ප ද වර්ධනය වන්නට ඇත. යක්‌ හෙවත් යාඥ කළ පිරිසක්‌ වූ යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් ඇතැමුන් දෙවියන් සමඟ සම්බන්ධකම් පවත්වන්නට ඇති ඉඩකඩ වැඩි ය. දඹදිව හා ලංකාවේ ද පදිංචි වූ යක්‍ෂ ගෝත්‍රිකයන් ද ඉන්ද්‍ර ආදී දෙවියන් සමඟ දිගින් දිගට ම සම්බන්ධකම් පවත්වාගෙන යන්නට ඇතැයි සිතිය හැකි ය.

පසු කලෙක ඉහත කී ප්‍රදේශයෙන් ආර්යයන් ද දඹදිවට සංක්‍රමණය වී ඇති බව පැහැදිලි ය. මේ වන විට යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ඉන්ද්‍ර, ආර්යයන් ගේ දේවේන්ද්‍ර හෙවත් ශක්‍ර දේවේන්ද්‍ර බවට පත් වී අවසාන යෑයි සිතිය හැකි ය. අසුර යන වචනයෙහි ඇත්ත, ගුණගරුක භාවය ආදී තේරුම් තිබේ යෑයි කියෑවෙයි. එහෙත් සුරයන් ගේ ජයග්‍රහණයෙන් පසුව අසුර හා යක්‍ෂ යන වචනවලට පහත්, අසත්, විරූපී ආදී තේරුම් දෙන්නට ඇත. යක්‍ෂණියන්, යකින්නියන් පැහැපත් රුවැති කාන්තාවන් යෑයි කියෑවෙන බව අපි සීගිරිය ගැන සාකච්ජා කරද්දී පැවසුවෙමු. කාශ්‍යප රජුට තිබූ යක්‍ෂ සම්බන්ධය (මව ගෙන් උරුම වූ) හේතු කොටගෙන සීගිරි චිත්‍රවලින් මූලිකව දැක්‌වෙන්නේ යක්‍ෂ කාන්තාවන් (කුමරියන්) යෑයි අපට විශ්වාස කළ හැකි යෑයි අපි කීවෙමු.

ඉන්ද්‍ර දෙවියන් ගේ භාර්යාව ඉන්ද්‍රdණි වෙයි. අජන්තා බිතු සිතුවම්වල, විශේෂයෙන් ම එහි 17 වැනි ගුහාවෙහි ඉන්ද්‍ර හා ඉන්ද්‍රdණි ගේ සිතුවම් ඇත. ඒ ගුහාවෙහි ම සිංහල වෙළෙන්දා ගේ කතාව ද චිත්‍රයට නැඟී ඇත. ඉන්ද්‍රට හා ඉන්ද්‍රdණිට ආකාරයේ ඔටුනු නොමැති වුව ද සීගිරි කතුන්ට ද යම් ආකාරයක ශීර්ෂ පළඳනා වෙයි. ඉන් කියෑවෙන්නේ මේ කාන්තාවන් එක්‌කෝ කුමාරිකාවන් නැත්නම් බුමාටු හෝ රුක්‌ හෝ යක්‍ෂ දෙවඟනත් විය හැකි බව ය. අහසේ සිටින්නාක්‌ මෙන් ඇඳ ඇති බැවින් ඔවුන් යක්‍ෂ බුමාටු හෝ රුක්‌ හෝ දෙවඟනන් වීමට ඇති ඉඩකඩ වැඩි ය.

මෙහි දී කිව යුතු වැදගත් කරුණක්‌ වෙයි. බෞද්ධ සාහිත්‍යයෙහි යක්‍ෂ දෙවියන් මුළුමනින් ම අමතක කර නැත. හින්දු සාහිත්‍යයෙහි මෙන් යක්‍ෂ දෙවිවරුන් ගේ තත්ත්වය පහතට දැමීමක්‌ බුදුන් වහන්සේ අතින් සිදු වී නැත. එහෙත් පසු කලෙක වෛදික බලපෑම් හේතුවෙන් මේ දේව ගණයා ගෙන් බොහෝ දෙනකු බුමාටු, රුක්‌ හා වෙනත් එවැනි දෙවියන් ලෙස සැලකෙන්නට ඇතැයි සිතිය හැකි ය. ඒ අතර වෛදිකයන් විසින් ඔවුන් ගේ දේව ගණයට ඇතුළු කරගනු ලැබූ යක්‍ෂ දෙවියෝ ද වෙති. ශක්‍ර දේවේන්ද්‍රයන් පමණක්‌ නො ව පද්මපානී දෙවියන් ද පද්මාවතී හා සරස්‌වතී දෙවඟනෝ ද එසේ වෛදිකයන් විසින් අවශෝෂණය කරනු ලැබ තමන් අතර රඳවා ගැනු ලැබූ දේව ගණයා අතර වෙති.

මෙහි දී සීගිරිය ගැන වචනයක්‌ දෙකක්‌ නො කියා ම බැරි ය. අපේ ප්‍රවාදවල පළ වන්නේ අවසාන වාක්‍ය නො වේ. මේ ප්‍රවාද විටින් විට වර්ධනය වෙයි. අදහස්‌ හා දත්ත ලැබෙන පරිදි ප්‍රවාද වර්ධනය වීම හා වෙනස්‌වීම ප්‍රවාදවල ස්‌වභාවය වෙයි. අප දෙවියන් ගැන අධ්‍යයනය කරන්නට පළමුව සීගිරි කතුන් ගැන සිතුවේ එසේ නිරූපණය වී ඇත්තේ යක්‍ෂ කාන්තාවන් කියා ය. එහෙත් අද අප සීගිරි කතුන් ගැන සිතන්නට පෙලඹෙන්නේ ඔවුන් යක්‍ෂ බුමාටු හෝ රුක්‌ හෝ දෙවඟනන් ලෙස ය.

ගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදි කිරීමේ දී ඒ බිමෙහි සිටි රුක්‌ දෙවඟනක්‌ වූ ද එක්‌ ගෝත්‍රයක (යක්‍ෂ වැනි වෙනත් ගෝත්‍රයක - ගාඨ ගෝත්‍රයෙහි) වැඳුම් පිදුම් ලත් රත්නවල්ලී දෙවඟනට ගසින් බැස යන ලෙසට ආරාධනය කළ බවටත් කළගුණ සැලකීමක්‌ ලෙස රත්නවල්ලී දෙවඟන නමින් චෛත්‍යය බැඳීමට එකඟ වූ බවටත් කතා පුවතක්‌ අපේ සාහිත්‍යයෙහි ඇත. රුවන්වැලිය පසුව රුවන්මැලිය හෙවත් ස්‌වර්ණමාලී වුවත් එහි මුල් නම රත්නවල්ලී හෙවත් රුවන්වැලි වෙයි.

එපරිදි ම අද සීගිරියට සිංහගිරිය යෑයි කීව ද එහි මුල් නම සිහිගිරිය වෙයි. ඒ පසුව සීගිරිය ද සිංහගිරිය ද වී ඇත්තේ වෛදික බලපෑම් හේතු කොට ගෙන යෑයි සිතිය හැකි ය. සිහිගිරිය යන්නෙන් මතක්‌ කරන ගිරිය යන තේරුම ගෙන දෙයි. කාශ්‍යප රජුට මතක්‌ කිරීමට හෝ මතක්‌ කර ගැනීමට හෝ අවශ්‍ය වූයේ කුමක්‌ ද? කාශ්‍යප රජු ගේ මව යක්‍ෂ ගෝත්‍රයට අයත් යෑයි කියෑවෙයි. මව ගෙන් ඔහුට උරුම වූ යක්‍ෂ සංස්‌කෘතියක්‌ තිබෙන්නට ඇත. කාශ්‍යප රජුට සිහි කිරීමට අවශ්‍ය වූයේ යක්‍ෂ සංස්‌කෘතිය ද? යක්‍ෂ යටගියාව ද?

අපට සිතෙන්නේ කාශ්‍යප රජු සිහිගිරිය නිර්මාණය කෙළේ යක්‍ෂ සංස්‌කෘතිය සිහිගැන්වීමට කියා ය. ඒ වන විට යක්‍ෂ සංස්‌කෘතිය ක්‍රමයෙන් දුර්වල වනු කාශ්‍යප රජුට හා අනෙක්‌ යක්‍ෂ ප්‍රධානීන්ට පෙනෙන්නට ඇත. ඒ නැති වෙමින් පැවැති යක්‍ෂ සංස්‌කෘතිය එදාටත් පසුවටත් සිහිගන්වනු සඳහා සිහිගිරිය කරවන්නට ඇතැයි ද සීගිරි චිත්‍ර යක්‍ෂ දෙවඟනන් ගේ චිත්‍ර යෑයි ද සිතන්නට ඉඩ ඇත. සීගිරි උද්‍යානයේ සැකැස්‌ම සහ ඉරානයේ (පර්සියාවේ) උයන් සැකැස්‌ම අතර සමානත්වයක්‌ දැකිය හැකි ය. පර්සියාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් වාසය කළ බවට සාක්‍ෂි වෙයි. සිහිගිරිය යක්‍ෂ සංස්‌කෘතිය සිහිගන්වන ස්‌ථානයක්‌ ලෙස අපට දැකිය නොහැකි ද?

මෙහි දී පරණවිතාන මහතා සීගිරි කාශ්‍යප රජු ගැන කියා ඇති මතය අමතක නො කළ යුතු ය. ඒ මහතාට අනුව සීගිරි කාශ්‍යප රජතුමා ජීවත් වී ඇත්තේ කුවේර මෙනි. කුවේර යනු දේවත්වයට පත් යක්‍ෂ ප්‍රධානියෙකි. පරණවිතාන මහතා මෙහි දී යක්‍ෂ සංස්‌කෘතිය අනුව ජීවත් වීමක්‌ ගැන සඳහන් නො කරයි. ඒ මහතා කාශ්‍යප රජු සහ කුවේර ගැන කියන්නේ සංස්‌කෘතික අර්ථයකින් නො වේ. එහෙත් පරණවිතාන මතය අප වෙනත් අයුරකින් වර්ධනය කළ හොත් ඉන් කුවේර ගේ හා කාශ්‍යප රජු ගේ සංස්‌කෘතිය ගැන යමක්‌ කියෑවෙන බව පෙනී යයි.

කාශ්‍යප රජුට අවශ්‍ය වන්නට ඇත්තේ කුවේර මෙන් ජීවත් වනවාට වඩා හැකිතාක්‌ යක්‍ෂ සංස්‌කෘතියෙහි ජීවත් වීමට ය. පරණවිතාන මහතා ඒ බව දැක ඇත්තේ කාශ්‍යප රජු කුවේර මෙන් ජීවත් වී ය යනුවෙනි. සිහිගිරිය යන්න සීගිරිය ලෙස නො ගෙන සිහි කරන ගිරිය ලෙස සැලකී නම් පරණවිතාන මහතාට ද අසන්නට වන ප්‍රශ්නය වනුයේ කුමක්‌ සිහි කිරීමට ද යන්න ය. මෙරට යක්‍ෂ සංස්‌කෘතිය මහසෙන් රජු ගෙන් පසුව ඉතා ම දුර්වල වන්නට ඇතැයි සිතිය හැකි ය. ධාතුසේන රජු ගේ අවධිය වන විට ද යක්‍ෂ සංස්‌කෘතිය යම් පමණකට දුර්වල වී තිබූ බව ද ඒ රජුට දා ව යක්‍ෂ කාන්තාවක ගේ කුසෙන් උපන් කාශ්‍යප රජුට යක්‍ෂ සංස්‌කෘතියට අනුව ජීවත් වීමේ අවශ්‍යතාවක්‌ තිබෙන්නට ඇතැයි ද සිතිය හැකි ය.

අපේ ඉතිහාසය පිළිබඳ කරන අධ්‍යයනයන්හි යක්‍ෂ උරුමය ගැන අප දක්‌වන උනන්දුව කිසිසේත් ම ප්‍රමාණවත් නො වේ. යක්‍ෂ ගෝත්‍රිකයෝ ද්‍රවිඩයෝ නො වූ හ. එහෙත් අපි ඇතැම් විට යක්‍ෂ ගෝත්‍රිකයන්ට ද්‍රවිඩ වර්ගයක්‌ වූ දෙමළ යන්න පටබැඳ ඒ නිසා අවුල් ඇති කරගෙන ඇත්තෙමු. මේ සම්බන්ධ හොඳ ම උදාහරණය එළාර රජු වෙයි. අපි එළාර රජු දෙමළ යෑයි කියමු. එයින් සිදු වී ඇත්තේ ලංකාවේ එළාර යුගයට යන දෙමළ ඉතිහාසයක්‌ ගැන කීමට මහාවංසය යොදා ගැනීම ය. එහෙත් එළාර රජු ජීවත් වී ඇත්තේ යක්‍ෂ සංස්‌කෘතියක ද යන්නත් ඔහු මෙරට ම විසූ යක්‍ෂ රජකු ද යන්නත් සොයා බැලිය යුතු ය.

එළාර රජු ජෛන ආගමිකයකු බවට ද ඇතැම්හු විශ්වාස කරති. ඇතැම් විට එසේ වන්නට ද ඇත. එළාර රජු පිළිබඳව ඇති ප්‍රධාන ම පුවතක්‌ නම් තම යහන් ගැබේ බැඳ තිබී යෑයි කියන ඝණ්‌ඨාර කතාව ය. යහනෙහි බැඳ තිබූ ඝණ්‌ඨාර ගැන උත්තර හෝ දක්‍ෂිණ හෝ භාරතීය සංස්‌කෘතියෙහි අසන්නට නො ලැබේ. එවැනි පුවත් පර්සියානු (ඉරාන) සංස්‌කෘතියෙහි ඇත. යක්‍ෂ ගෝත්‍රිකයන් මේ ප්‍රදේශයෙන් දඹදිවට හා ලංකාවට පැමිණ ඇතැයි කියෑවෙයි. එළාර රජු එක්‌කෝ පර්සියාවෙන් හෝ අසල ප්‍රදේශයකින් හෝ පැමිණෙන්නට ඇත. නැත්නම් ලංකාවේ ම උපන් යක්‍ෂ කුමාරයකු විය හැකි ය. එළාර රජු සමඟ යුද්ධයට ගිය ගැමුණු කුමරුට මහවැලි ගඟ දිගේ දෙමළ බලකොටු තිස්‌ දෙකක්‌ පරාජය කිරීමට සිදු විණි යෑයි මහාවංශය කියයි. එසේ ගඟ දිගේ බලකොටු තිස්‌ දෙකක්‌ බැඳීමට තරම් දෙමළ බලකායක්‌ ලංකාවට පැමිණියේ කවර දා ද, කා සමඟ ද? මේ කඳවුරු අන් කිසිවකු ගේ නො ව යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ නො විය හැකි ද? එළාර රජු ද මෙරට යක්‍ෂ කුමරකු හෝ පිටින් පැමිණි යක්‍ෂ රජකු නම් හෝa මහවැලිය අවට පදිංචි වී සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් ඔහුට සහාය දීම පුදුමයට කරුණක්‌ විය නොහැකි ය.