logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සක්‌ දෙවිඳුගේ විකාශය

මහාචාර්ය නලින් ද සිල්වා

බටහිර විද්‍යාඥයන් ගේ කුහකකම් අධිපතිවාදීකම් කෙසේ වුවත් ඇතැමුනට දෙවියන් පෙනෙන බව අපි විශ්වාස කරමු. මා හඳුනන එක්‌තරා කාන්තාවකට ද දෙවියන් දැකගත හැකි ය. එපමණක්‌ නො ව ඒ ඒ දෙවිවරුන් ගේ නම් ද ඇය දනියි. ඒ දෙවිවරුන් ඇය හමු වීමට පැමිණෙන අතර ඇතැම් දෙවිවරුන් මාර්ගයෙන් ජනතාව ගේ කයට හා ආධ්‍යාත්මයට වෙදකම් කිරීමට ද ඇයට හැකි ය. ඒ පිළිබඳ අත්දැකීම් මට ද ඇත. මා සිතන අයුරින් නම් ඈ හමු වීමට පැමිණෙන්නේ එක ම දෙවි පිරිසකි. සමහර විට ඇයට සම්බන්ධකම් පැවැත්වීමට හැක්‌කේ සීමිත දෙවි පිරිසක්‌ සමඟ විය හැකි ය.

ඇගේ ස්‌වාමිපුරුෂයා ද වරක්‌ දෙකක්‌ දෙවියන් දැක ඇත. එමෙන් ම ඒ නිවසට පැමිණි දෙතුන් දෙනකු ද දෙවියන් දැක ඇතැයි කියෑවෙයි. මා ඒ කිසි ම දෙවි කෙනකු දැක නැතත් ඒ අය දෙවියන් දැක ඇති බව පිළිගැනීමට මට කිසි ම අපහසුවක්‌ නැත. ඒ ඇතැම් දෙවිවරුන් කලින් කියන ලද කාන්තාව මඟින් ජනතාවට සිංහල නිල වෙදකම හා සිංහල ගොවිකම පිළිබඳ දැනුම ද ලබා දෙයි. කෘමි නාශක හෝ රට පොහොර හෝ නො යොදා කුඹුරු කිරීම සම්බන්ධයෙන් අප කලින් ද දැන සිටි දෑ ඒ දෙවිවරු තහවුරු කරති.

එකී කාන්තාව හා දෙවියන් දැක ඇති කිහිප දෙනා දෙවියන් දැක ඇත්තේ පන්සල්වල දෙවියන් චිත්‍රගත කර ඇති ආකාරයෙන් ය. මෙහි දී යමකුට කිව හැක්‌කේ ඒ දෙවියන් දැක ඇතැයි හා දකින්නේ යෑයි කියන පුද්ගලයන් පන්සල්වල තමන් දැක ඇති දේව රූප සිතින් මවාගෙන භ්‍රාන්තියකට හෝ මෝහනයකට හෝ පත් වී තමන් පන්සල්වල දැක ඇති ආකාරයෙන් දේව රූප දකින්නේ යෑයි ප්‍රකාශ කළ හැකි බව ය. ඇතැම් අයකු එලෙස භ්‍රාන්තියකට පත් විය හැකි නමුදු දෙවියන් දකින සියලු දෙනා එවැන්නවුන් යෑයි කිව හැකි නො වේ.

පැරැණි සිංහල නිල වෙදකම (සිංහල වෙදකම් කිහිපයක්‌ තිබෙන්නට ඇතැයි ද නිල වෙදකම ඉන් එකක්‌ පමණක්‌ යෑයි ද සිතිය හැකි ය. මෙයින් අදහස්‌ වන්නේ ඒ විවිධ වෙදකම් අතර සම්බන්ධයක්‌ නො තිබූ බව නො වේ. ඒ වෙදකම් එකිනෙක පෝෂණය කරන්නට ඇත. සිංහල බෞද්ධ ක්‍රමය එය වෙයි). ගැන කිසිවක්‌ නො දන්නා කාන්තාවක්‌ කිසි ම මෝහනයකට පත් නො වී දැන් දෙවියන් බවට පත් වී සිටින
පැරැණි සිංහල වෙද මහතුන් ගේ දේව භව සමඟ දිනපතා ම මෙන් කෙරෙන සන්නිවේදනයෙන් දැනගන්නා බෙහෙත්වලින් රෝගීන් සුවපත් කිරීමත් රෝග විනිශ්චය හා ප්‍රතිකාර ශිෂ්‍යයන්ට කියා දීමත් කිසිසේත් ම භ්‍රාන්තියකට ලඝූ කිරීමට නොහැකි ය. ඇය රෝගීන්ට ප්‍රතිකාර කරන්නේත් ශිෂ්‍යයන්ට උගන්වන්නේත් ප්‍රකෘති ස්‌වරූපයෙන් මිස මෝහනයකට හෝ භ්‍රාන්තියකට හෝ වෙනත් එවැනි මානසික තත්ත්වයකට හෝ පත් වී නො වේ. එසේ ම ඇය කිසිවක්‌ නො දන්නා ගොවිකම ගැන ද එලෙස ම දෙවියන් ගෙන් දැනගන්නා කරුණු සීමිත පිරිසකට කියා දෙන්නී ය.

ඇය ඉතා පැහැදිලිව දේව රූප විස්‌තර කරයි. ඇයට ඒ ඒ දෙවියන් වෙන් කර හඳුනාගත හැකි නමුදු ඒ සියලු දෙවිවරුන්ට පොදු ඇඳුම් පැළඳුම් වෙයි. අවශ්‍ය නම් එයට දෙවියන් ගේ නිල ඇඳුම යෑයි කිව හැකි ය. ඒ නිල ඇඳුමෙහි ඔටුන්නක්‌ ඇත. ඒ ඔටුන්න සාමාන්‍ය රජ කෙනකු පළඳින ඔටුන්නක්‌ වැන්නක්‌ නො වේ. දෙවියන් පළඳින ඔටුන්න කේතුවක ස්‌වරූපයක්‌ ගනියි. දෙවියන් ගේ ඇඳුම් රෙදි (සළු) මිස මූට්‌ටු කරන ලද රෙදි නො වේ යෑයි කිව හැකි ය. සාරිය යනු රෙද්දක්‌ මිස මූට්‌ටු කරන ලද ගවුමක්‌ හැට්‌ටයක්‌ වැනි ඇඳුමක්‌ නො වේ. මෙහි දී මූට්‌ටු කරන ලද වස්‌ත්‍රයක්‌ යන්නෙන් අදහස්‌ කරන්නේ රෙදි කැබැලි එක්‌ කර සකස්‌ කරගන්නා ලද වස්‌ත්‍රයක්‌ ම නො වේ. මූට්‌ටු කිරීමෙන් පසුව වස්‌ත්‍රය තවදුරටත් රෙද්දක ආකාරයෙන් නො තිබිය යුතු ය යන්න එයින් අදහස්‌ කෙරෙයි.

උදාහරණයක්‌ වශයෙන් ගත හොත් භික්‍ෂූන් වහන්සේ පොරවන සිවුර කැබැලි එක්‌ කර සකස්‌ කෙරෙන්නකි. එහෙත් එය රෙද්දක ආකාරයෙන් පවතියි. එහෙත් සරමක්‌ යනු මූට්‌ටු කර සකස්‌ කෙරෙන වස්‌ත්‍රයකි. සරමක්‌ තවදුරටත් රෙද්දක ආකාරයෙන් නො පවතියි. එහෙත් වේට්‌ටියක්‌ හෝ ජාතික ඇඳුමෙහි කොටසක්‌ වූ රෙද්ද හෝ රෙද්දක්‌ ආකාරයෙන් ම පවතියි. ගණිතමය භාෂාවෙන් කියන්නේ නම් රෙද්දක්‌ ද්විමානයෙහි සෘජුකෝණාස්‍රයක්‌, වෘත්තයක්‌, ත්‍රපීසියමක්‌ වැනි තල වස්‌තුවකට ස්‌ථල විද්‍යාත්මකව (Topologically) තුල්‍ය වෙයි. සරමක්‌ තුල්‍ය වන්නේ සිලින්ඩරයකට ය. දේව රූප අජන්තා චිත්‍ර අතර ද දැකගත හැකි ය. ඒ රූප අතර ඉන්ද්‍ර නම් යක්‍ෂයකු ගේ රූප ද වෙයි. ඉතා පැහැදිලිව ම ඉන්ද්‍ර යනු යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ වැඳුම් පිඳුම්වලට ලක්‌ වූ දේව භවයක උපන් මළ යක්‍ෂ නායකයකු ගේ යක්‍ෂ ගෝත්‍රිකයන් කිහිප දෙනකුට පෙනුණු දෙවි කෙනෙකි. ඉන්ද්‍ර යනු එවැනි දෙවිවරුන් අතර ප්‍රධානියා වූ බව ද පැහැදිලි ය. කලින් ද සඳහන් කෙරී ඇති පරිදි ඉන්ද්‍ර, ඉඳු ආදියෙන් නායකයා යන්න ගම්‍ය වෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ දෙවිවරුන් යන සංකල්පය ඔවුන් ඉරානය හෝ අසල ප්‍රදේශයක හෝ ජීවත් ව සිටිය දී ඇති වන්නට හැකි යෑයි සිතේ. එහෙත් පසුව ආර්ය නමින් හැඳින්වෙන සංස්‌කෘතිය නිර්මාණය කළ පිරිස ඉරානයේ දී ම මේ සංකල්පය යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් ලබාගන්නට ඇතැයි සිතිය හැකි ය. එහෙත් මේ පිළිබඳ නිගමනයකට එළඹීමට පෙර ඉරානයේ හා අවට පෙදෙස්‌වල ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක හැදෑරිය යුතු ය.

කෙසේ වෙතත් දඹදිව භාරතය බවට පත් කළ ආර්යයන්ට පළමුව යක්‍ෂ ගෝත්‍රිකයන් ඉන්ද්‍ර නමින් දෙවි කෙනකු පුදා ඇති බව නම් පැහැදිලි ය. අජන්තා චිත්‍ර නිර්මාණය වන කාලයේ දීත් යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ඉන්ද්‍ර දෙවි කෙනකු පැවැතී ඇත. බොහෝ විට සිදු වන්නට ඇත්තේ ආර්යයන් යක්‍ෂ ගෝත්‍රික සංස්‌කෘතියෙන් යම් යම් දෑ ලබාගෙන පසුව යක්‍ෂ ගෝත්‍රිකයන්ට ඒ දෑ අහිමි කිරීම ය. ඒ ක්‍රියාදාමයට සියවස්‌ ගණනක්‌ යන්නට ඇත. අවසානයේ දී යක්‍ෂ ගෝත්‍රිකයන් වෛදික සංස්‌කෘතියට අවශෝෂණය කිරීමෙන් හා ඔවුන්ට සමාජයේ තැනක්‌ අහිමි කිරීමෙන් මේ ක්‍රියාවලිය අවසන් වන්නට ඇත. ඒ අතර කාලයෙහි යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ දෙවිවරුන් හුදු මළ යක්‍ෂයන් නෑ යකුන් ලෙස හඳුන්වන්නට ද වෛදිකයන් පියවර ගෙන ඇති බව පෙනෙයි.

ඉන්ද්‍ර දෙවියන් ද ආර්යයන් දඹදිවට පැමිණීමට පෙර හෝ පසුව හෝ යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් ලබාගත් දෙවි කෙනෙකි ය යන්න පැහැදිලි ය. පැහැදිලි නැත්තේ ඒ සංකල්පය ආර්යයන් දඹදිවට පැමිණීමට පෙර ගත්තේ ද නැත්නම් පසුව ගත්තේ ද යන්න ය. කෙසේ වෙතත් කාලයක්‌, ඇතැම් විට අවුරුදු දහස්‌ ගණනක්‌ යක්‍ෂ ගෝත්‍රිකයන් ද වෛදිකයන් ද ඉන්ද්‍ර දෙවියන්ට වැඳුම් පිදුම් කර ඇති බව පෙනෙයි. මේ ඉන්ද්‍ර දෙවියන් වෛදිකයන් අතින් ශක්‍ර දේවේන්ද්‍ර බවට පත් වී ඇත. සිදුහත් කුමරු උත්පත්තිය ලැබූ කාලය වන විට ද ශක්‍ර දේවේන්ද්‍ර යන සංකල්පය වෛදික සංස්‌කෘතියෙහි තිබී ඇති බව පැහැදිලි ය. ආරෝපිත දෙව් කෙනකු නො ව ජීවමාන දෙවි කෙනකු වූ ශක්‍ර දේවේන්ද්‍ර බුදුන් වහන්සේෙ ගන් බණ අසා බෞද්ධ වන්නට ඇත. ශක්‍ර දේවේන්ද්‍ර සිංහල බෞද්ධයන් අතර සක්‌ දෙවිඳු වී ඇත. යක්‍ෂයන් ගෙන් වැඳුම් පිඳුම් ලැබූ, බොහෝ විට මිය ගිය යක්‍ෂ ගෝත්‍රිකයකු විය හැකි, ඉන්ද්‍ර දෙවියන් සිංහල බෞද්ධ දෙවි කෙනකු වූ සක්‌ දෙවිඳු ලෙස විකාශය වන්නට ඇත්තේ එලෙසින් යෑයි සිතිය හැකි ය.

මෙහි දී වැදගත් කරුණක්‌ වන්නේ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ඉන්ද්‍ර දෙවියන්, අජන්තා චිත්‍රවල පවා දැක්‌වෙන යක්‍ෂ සංස්‌කෘතියෙහි ඉන්ද්‍ර දෙවියන්, පසුව යක්‍ෂ ගෝත්‍රිකයන්ට අහිමි කිරීම ය. එහෙත් ඒ අතර වෛදික නො වන සංස්‌කෘතියක උපත ලැබූ බුදු දහම ඉන්ද්‍ර දෙවියන් ශක්‍ර දේවේන්ද්‍රයන් බවට පත් කර වෛදික ඉන්ද්‍ර දෙවියන් ගෙන් වෙන් කර ඇති බව පෙනෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ඉන්ද්‍ර, වෛදිකයන් ගේ ඉන්ද්‍ර හා අද වන විට සිංහල බෞද්ධයන් ගේ සක්‌ දෙවිඳු එක ම තැනැත්තකු වුව ද ඒ ඒ සංස්‌කෘතිය විසින් ඒ දෙවියන් හඳුනා ගනු ලැබ ඇත්තේ එක ම අයුරින් නො වේ.

අද සිංහල බෞද්ධයන්ටත් සක්‌ දෙවිඳු සුරයෙකි. මේ සුරයෝ වෛදිකයන් ගේ දෙවිවරු වෙති. එහෙත් සුරයන් නො වන්නන්ට ද, අසුරයන්ට ද දෙවියන් සිටි බව පැහැදිලි ය. මේ අසුර දෙවිවරු බොහෝ විට ජීවමාන වන්නට ඇත. සුර දෙවියන් අතර ආරෝපිත දෙවියන් ද රාශියක්‌ සිට ඇති බව පෙනෙයි. ඒ ගී්‍රක දෙවිවරුන් මෙනි. ඇතැම් අසුර දෙවිවරුන් කල් යැමේ දී වෛදිකයන් විසින් සුර දෙවියන් බවට පත් කෙරි ඇත. සක්‌ දෙවිඳු ද එසේ සුර දෙවියකු බවට පත් කෙරුණු අසුර (යක්‍ෂ ගෝත්‍රිකයන් ද අසුරයන් ලෙස වර්ග කිරීමෙන්) දෙවියෙක්‌ වෙයි. අඩු ම තරමින් සක්‌ දෙවිඳු වෛදික නො වන දෙවියෙක්‌ වෙයි.
අද සිංහලයෝ තමන් ආර්ය යෑයි සිතති. සිදුහත් කුමරු උපන්නේ ද ආර්ය නො වන සංස්‌කෘතියක ය. බුදුන් වහන්සේ ලෞකික වශයෙන් ගත් කල වෛදික බමුණු සංස්‌කෘතියේ අංග විවේචනය කළ හ. අර්ධ වෛදිකයන් මෙරටට පැමිණීමට පෙර මෙරට යක්‍ෂ හා නාග දේව වැනි ගෝත්‍රිකයෝ සිටිය හ. අර්ධ වෛදිකයන්ට මුළු රට සම්පූර්ණයෙන් වෛදිකකරණයකට ලක්‌ කිරීමට නොහැකි විය. විශේෂයෙන් ම බුදුදහම හේතු කොටගෙන එසේ කිරීම අපහසු වූයේ බුදුදහම වෛදික සංස්‌කෘතියක උපත නො ලැබූ බැවිනි. එහෙත් ඉතිහාසයෙහි මහාවංශය ලියෑවුණු සමය වන විට එනම් පස්‌වැනි සියවස පමණ වන විට, සිංහලයන් තමන් ආර්යයන් බවට පිළිගෙන ඇත.

මේ මතය පළමුව ඇති වූයේ උගතුන් අතර විය යුතු ය. භාරතයෙන්, විශේෂයෙන් ම ආන්ද්‍ර ප්‍රදේශයෙන් ථෙරවාදය නැති වීමත් සමඟ ථෙරවාදය ආරක්‍ෂා කිරීම සඳහා සිංහල භික්‍ෂුන් වහන්සේ උත්තර භාරතයට වඩා නැඹුරු වූවා විය හැකි ය. එහෙත් එහි දී ප්‍රශ්නය වනුයේ එවකට උත්තර භාරතයේත් ථෙරවාදයක්‌ නො තිබීම ය. ඇතැම් විට එසේ නො තිබීම ම එයට හේතුවක්‌ වන්නට ද ඇත. ලංකාවේ බුදු දහමට එරෙහි වූවෝ යක්‍ෂ ගෝත්‍රිකයෝ ය. එමෙන් ම පස්‌වැනි සියවස පමණ වන විට ලංකාවට දේශපාලනික වශයෙන් තර්ජනය එල්ල වූයේ දක්‍ෂිණ භාරතයෙනි. දක්‍ෂිණ භාරතීය සංස්‌කෘතියට මෙන් ම යක්‍ෂ සංස්‌කෘතියට ද විරුද්ධ සංස්‌කෘතියක්‌ වූයේ බෞද්ධ නො වූවත් උත්තර භාරතීය සංස්‌කෘතිය ය.
දක්‍ෂිණ භාරතයට හා යක්‍ෂ ගෝත්‍රිකයන්ට එරෙහි ව, බුදුදහමක්‌ නැති නමුත්, දේශපාලනික හෝ සංස්‌කෘතික හෝ (එකල ආර්ථික හේතු එතරම් වැදගත් නො වූ බව මාක්‌ස්‌වාදීන්ට අමතක වෙයි) පිහිටක්‌ නැති නමුත් ආධ්‍යාත්මික වශයෙන් මෙරට භික්‍ෂුන් වහන්සේ උත්තර භාරතයට හා ආර්ය සංස්‌කෘතියට නැඹුරු වූ හ යන නිගමනයට එළඹීමට අපට සිදු වෙයි. මේ ආර්ය නැඹුරුව හේතුවෙන් අපට අපේ යක්‍ෂ සංස්‌කෘතියෙහි ඇතැම් දෑ අහිමි වී ගොස්‌ ඇති බව පැහැදිලි ය. වෙනත් වචනවලින් කිව හොත් අපේ ඉතිහාසය අප හදාරන්නේ යක්‍ෂ සංස්‌කෘතියෙන් හා අදාළ ඉතිහාසයෙන් බැහැර වෙමිනි. නැත හොත් යක්‍ෂ සංස්‌කෘතියට හිමි විය යුතු තැන අහිමි කිරිමෙනි. සීගිරිය සම්බන්ධයෙන් අපි දැනටමත් මේ පිළිබඳව සාකච්ජා කර ඇත්තෙමු. මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ඉන්ද්‍ර දෙවියන් ඇත්තේ කොහේ ද?