logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සංසාරයේ පිය සටහන්

මහාචාර්ය නලින් ද සිල්වා

මිනිසුන් මිය යැමෙන් පසුව දෙවියන් ලෙස ද ඉපදිය හැකි ය යන දැනුම කෙසේ ඇති විණි දැයි නිශ්චිතව කිව නොහැකි ය. එසේ වුවත් ඒ පිළිබඳ විවිධ අනුමාන ඇති කර ගැනීමට අපට බාධාවක්‌ නො වේ. ද්‍රව්‍යවලට, සතුන්ට, ගුණවලට දේවත්ව ආරෝපණය කිරීම එකකි. මිය ගිය නෑයන් ආදීන් දෙවියන් ලෙස ඉපදිය හැකි ය යන දැනුම ඇති කර ගැනීම තවත් එකකි. එහෙත් එයින් කියෑවෙන්නේ ඒ දෙක අතර සම්බන්ධයක්‌ නැති බව නො වේ.

සංසාරය පිළිබඳ සංකල්පයේ මුල් අවස්‌ථාව කිසිවකු මිය යැමෙන් පසුව එක්‌ වරක්‌ වත් වෙනත් භවයක (ආත්මයක) ඉපදෙන්නේ ය යන්න විය යුතු ය. ලොවේ ප්‍රධාන ආගම් ලෙස හැඳින්වෙන ආගම්වල මිනිසකු මිය යැමෙන් පසු අඩු ම තරමින් එක්‌ වරක්‌ වත් ඉපදෙන්නේ ය යන අදහස වෙයි. මිනිසකු මිය යැමෙන් පසුව ස්‌වර්ගයට හෝ අපායට හෝ යන්නේ ය යන්නෙහි තේරුම ඒ තැනැත්තා අඩු ම තරමින් ස්‌වර්ගයේ හෝ අපායේ හෝ ඉපදෙන බව ය.

මේ අදහස කිනම් සංස්‌කෘතීන්හි ඇති විණි ද යන්න සොයා බැලීම වැදගත් වනු ඇත. කිසිවකු එම ව්‍යාපෘතිය, එනම් මිනිසකු මිය යැමෙන් පසුව අඩු ම තරමින් එක්‌ වරක්‌ ඉපදෙන්නේ ය යන අදහස කෙසේ කවර දා කිනම් සංස්‌කෘතීන්හි ඇති විණි දැයි සොයා බැලීම සංස්‌කෘතියෙන් සංස්‌කෘතියට දැනුම අවශෝෂණය කෙරෙන්නේ කෙසේ දැයි සොයා බලන්නන්ට වැදගත් වෙයි.

මිය යැමෙන් පසුව සියලු සත්ත්වයන් නැවත අඩු ම තරමින් එක්‌ වරක්‌ ඉපදෙන්නේ ය යන අදහස ඇති වීමට පෙර සියලු මිනිසුන් අඩු ම තරමින් එක්‌ වරක්‌ වත් ඉපදෙන්නේ ය යන අදහස ඇති විණි යෑයි සිතිය හැකි ය. බෞද්ධ සංස්‌කෘතීන්හි හැරුණු විට සියලු සත්ත්වයන් එක ම මට්‌ටමක ලා සැලකෙන්නේ සමහර විට ජෛන සංස්‌කෘතීන්හි විය හැකි ය. අද දියුණු යෑයි කියන බොහෝ රටවල සංස්‌කෘතීන්හි අනෙක්‌ සත්තු මිනිසුන් හා සම මට්‌ටමෙහි ලා නො සැලකෙති.

ඒ කෙසේ වෙතත් සියලු මිනිසුන් මිය යැමෙන් පසු එක්‌ වරක්‌ වත් ඉපදෙන්නේ ය යන්න ඇතැම් මිනිසුන් මිය යැමෙන් පසුව එක්‌ වරක්‌ වත් මිය යන්නේ ය යන්නෙහි සාධාරණීකරණයක්‌ විය යුතු යෑයි සිතමි. එක්‌ වර ම සියලු මිනිසුන් මිය යැමෙන් පසුව අඩු ම තරමින් එක්‌ වරක්‌ වත් ඉපදනේනේ ය යන අදහස ඇති වීමට ද ඉඩක්‌ නැත්තේ නො වේ. එහෙත් ඒ සඳහා වූ සම්භාවිතාව ඇතැම් මිනිසුන් මිය යැමෙන් පසුව අඩු ම තරමින් එක්‌ වරක්‌ වත් ඉපදෙන්නේ ය යන අදහස ඇති වීමට ඇති සම්භාවිතාවට වඩා අඩු විය යුතු යෑයි සිතමි.

සියලු මිනිසුන් මිය යැමෙන් පසුව එක්‌ වරක්‌ වත් ඉපදෙන්නේ ය යන අදහස ඇති වීමෙන් පසුව මිනිසුන් වෙනත් ආත්මවල විවිධ අවස්‌ථාවල ඉපදිය හැකි ය යන අදහස ඇති වන්නට ඇත. ඉන් පසුව මිනිසුන්ට මරණයෙන් පසුව වෙනත් සතුන් ලෙස ඉපදිය හැකි නම් සතුන්ට ද මරණයෙන් පසුව මිනිසුන් ලෙස ඉපදිය හැකි බව තේරුම් ගැනීමටත්, මැරි මැරී ඉපදීම සංසාරය ලෙස සංකල්පගත කිරීමටත් තරමක කාලයක්‌ ගත වන්නට ඇත. එහෙත් මේ සංසාරය පිළිබඳ සංකල්පය පූර්ණ අර්ථයකින් ප්‍රකාශ වී ඇත්තේ බෞද්ධ සංස්‌කෘතීන්හි විය යුතු ය. ඇතැම් හින්දුන්ට අනුව සංසාරයේ සැරිසරන සත්ත්වයනට මිනිස්‌ ආත්මයක්‌ ලබාගත හැක්‌කේ එක්‌ වරක්‌ පමණකි.

ඒ කෙසේ වෙතත් ඉහත දැක්‌වූයේ සංසාරය පිළිබඳ සංකල්පයට ළඟා විය හැකි එක්‌ ක්‍රමයක්‌ පමණකි. එසේත් නැත හොත් මිය යැමෙන් පසු ඇතැමුන් නැවත උපදින්නේ ය යන දැනුමෙහි සිට සංසාරය යන සංකල්පය දක්‌වා අදහස්‌ හා සංකල්ප විකාශය වූ ආකාරය ය. එහෙත් ඒ සඳහා වූ එක ම ක්‍රමය යෑයි නිගමනය නො කළ යුතු ය. ඉහත දක්‌වා ඇත්තේ පංෙච්න්ද්‍රිය හා මනස පමණක්‌ යොදාගනිමින් සීමිත අත්දැකීම් මත පදනම් වෙමින් සංසාරය නම් සංකල්පය වෙතට පැමිණියේ යෑයි සිතිය හැකි ක්‍රමයකි. එයට ප්‍රේත ආදී සංකල්ප ද එවැනි ම සීමිත වූ අත්දැකීම් මත පදනම් ව එකතු වන්නට ඇත. සංසාරයේ ඇතැම් ආත්මවල ප්‍රේත හා වෙනත් එවැනි ලෝකවල ඉපදෙන්නට හැකි බව ද මිනිසුන් තේරුම් ගන්නට ඇත.

සංසාරය යන සංකල්පය තෙක්‌ අදහස්‌ විකාශය වීමේ දී එක්‌ අවස්‌ථාවක්‌ වන විට ධ්‍යාන උපදවා පංෙච්න්ද්‍රිය ඇසුරු නො කර අවශ්‍ය පරිදි මනසින් ලෝකය දැකීමට හැකි වූ අය බිහි වන්නට ඇත. මේ අය ගෙන් සමහර දෙනකුට සත්ත්වයන් ගේ පෙර ආත්ම (අනාත්මය එකල නො වූ බව පැහැදිලි විය යුතු ය) මනසින් දැකීමට හැකි වන්නට ඇත. ඔවුන්ට වැඩි අපහසුවක්‌ නැති ව ම සංගතව සංසාරය යන සංකල්පය ගොඩනඟා ගැනීමට හැකියාව තිබෙන්නට ඇත. එවැනි පිරිස්‌ කලින් සඳහන් කළ ක්‍රමය ඔස්‌සේ දිගට ම නො ගොස්‌ සංසාරය යන සංකල්පය කරා කෙටි මාවතකින් පැමිණෙන්නට ඇතැයි සිතිය හැකි ය.

ඇතැම් විට ධ්‍යාන උපදවා පංෙච්න්ද්‍රියන් ගේ ආධාරයෙන් තොර ව මනසින් අවශ්‍ය පරිදි ලෝකය දැකි අය සත්ත්වයන් වෙනත් භවවල, ඔවුන්ට අනුව ආත්මවල ඉපදෙන බව, මැරි මැරී ඉපදෙන බව, දැනගන්නට ඇත. ඒ එසේ වී නම් ඔවුන්ට සංසාරය යන සංකල්පය ඉතා ඉක්‌මනින් ම නිර්මාණය කර ගැනීමට හැකියාවක්‌ තිබූ බව පැහැදිලි විය යුතු ය. බොහෝ විට සංසාරය යන සංකල්පය නිර්මාණය කිරීමේ දී ධ්‍යානලාභීන් විශේෂ කාර්යභාරයක්‌ කරන්නට ඇතැයි සිතිය හැකි ය.

ඉහත සඳහන් වී ඇත්තේ සංසාරය යන සංකල්පය නිර්මාණය වීමේ දී අනුගමනය කරන්නට ඇතැයි සිතිය හැකි ක්‍රම කිහිපයක්‌ පමණ ය. ඒ පිළිබඳ වඩා සවිස්‌තර අධ්‍යයනයක්‌ පැරැණි ග්‍රන්ථ ඇසුරෙන් කළ යුතු ය. පැරැණි ග්‍රන්ථවල සංසාරය නම් සංකල්පය නිර්මාණය වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු ඇති බවක්‌ ඉන් නො කියෑවෙයි. එහෙත් ඒ ග්‍රන්ථ ඇසුරෙන් ඒ ඒ අවස්‌ථාවල, ඒ ඒ යුගවල, සත්ත්වයන් මැරී ඉපදීම පිළිබඳව සමාජයේ තිබූ මත, අප ඉහතින් සඳහන් කළ දෑ සමඟ සංගත වේ දැයි සොයා බැලිය හැකි ය.

අපට මෙහි දී අවධාරණය කිරීමට සිදු වී ඇත්තේ කිනම් ආකාරයකට සිදු වුව ද සංසාරය යන සංකල්පයට මිනිසුන් එක්‌ දිනක දී නො පැමිණි බව ය. සංසාරය යන සංකල්පය හදිසියේ ඕපපාතිකව ඇති වූවක්‌ නො වේ. එයට ද විකාශයක්‌ ඇත. එමෙන් ම ඒ විකාශය සිදු වී ඇත්තේ ද සංස්‌කෘතීන් කිහිපයක පමණ ය. අප්‍රිකාවේ ඇතැම් සංස්‌කෘතීන්හි ද මිනිසුන් නැවත ඉපදීම පිළිබඳ සංකල්පය ඇතත් එසේ ඇත්තේ ඉතා සීමිත පරාසයක ය.

පර්සියාවේ (ඉරානයේ) මේ සංකල්පය තිබී ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් ම යක්‍ෂ ගෝත්‍රිකයන් අතර ඇතැම් මිනිසුන් මැරී වෙනත් ආත්මවල ඉපදෙන්නේ ය යන සංකල්පය තිබී ඇත. (යක්‍ෂ ගෝත්‍රිකයන් පර්සියාවෙන් දඹදිවට පැමිණී බවත් ඔවුන් පැමිණ යම් කාලයකට පසුව ආර්යයන් දඹදිවට පැමිණි බවත් අපි විශ්වාස කරමු. මේ සම්බන්ධයෙන් කලකට පෙර පළ වූ අපේ ප්‍රවාද ලිපි කියවන්නේ නම් මැනැවි) ඔවුන්ට ඒ කෙසේ ලැබුණේ ද යන්න ද අධ්‍යයනය කළ යුතු කරුණක්‌ ලෙස ඉතිරි වී ඇත.

අප රටේ ද සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් අතර මළ යකුන්, නෑ යකුන් පිදීමේ චාරිත්‍රයක්‌ තිබී ඇත. අද ද වැදි ගෝත්‍රිකයන් (ඔවුහු ඊනියා ආදීවාසීහු නො වෙති. මෙරට ආදි ගෝත්‍රවලින් ඉතා මෑතක්‌ වන තුරු ම සිංහල ජාතියට ඇතුළු නො වී සිටියෝ ඔවුහු ය. එහෙත් දැන් ඔවුහු ද බටහිර නූතනත්වය යටතේ සිංහල ජාතියට ඇතුළු වෙමින් සිටිති.) අතර මළ යකුන් නෑ යකුන් පිදීමේ සිරිත් සුළුවෙන් නමුත් පවතියි. වැදි ගෝත්‍රිකයන් හා යක්‍ෂ ගෝත්‍රිකයන් අතර සුළුවෙන් තැකිය නොහැකි සම්බන්ධයක්‌ ඇති බව පැහැදිලි ය.

යක්‍ෂ ගෝත්‍රිකයන් පර්සියාවේ සිටිය දී මළ යකුන් ඇදහීමට පුරුදු වන්නට ඇතැයි සිතිය හැකි ය. අද වන විට ඉරානයේ යක්‍ෂ ගෝත්‍රිකයන් යෑයි කිව හැකි ජනතාවක්‌ නොමැති බැවින් එහි මළ යකුන් පිදීමක්‌ නැත. මළ යකුන් නෑ යකුන් ගැන යක්‍ෂ ගෝත්‍රිකයන් දැනගත්තේ කෙසේ ද? අපේ ඇතැම් පඬියන් අද සිනහ විය හැකි නමුත් ඇතැම් මිනිසුන් මිය යැමෙන් පසුව අද අප කතා කරන වචනවලින් නම් දේවාත්මවල ඉපිද මෙලොව තම නෑයන්ට දර්ශනය වූ අවස්‌ථා තිබෙන්නට ඇත. අද ද තම මවුපියන් දේවාත්මවල ඉපිද ඇති අයුරු පෙනෙන දූ දරුවෝ අප රටේ ද සිටිති.

මේ දර්ශනවලට බටහිර විද්‍යාඥයන් සිනහසෙන්නේ හා ඒ නො පිළිගන්නේ ඒ පොදුවේ සියල්ලන්ට දර්ශනය නො වන බැවිනි. එසේ ම මළ නෑයන් ද වෙනත් අය ද දේවාත්මවල ඉපිද ඇති අයුරු දර්ශනය වන්නන් බටහිර විද්‍යාඥයන් විසින් මානසික විකෘතීන්ට භාජන වූවන් ලෙස හඳුන්වනු ලැබීමේ ප්‍රවණතාවක්‌ පවතියි. එහෙත් බටහිර විද්‍යාඥයන් ප්‍රපංච මෙලෙස සියල්ලන්ට පොදුවේ පෙනිය යුතු යෑයි කියන්නේ ඔවුන් කරන්නේ කුමක්‌ ද යන්න පිළිබඳ අවබෝධයක්‌ නොමැති ව ය. බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණය කෙරෙන, අර්ථකථනය කෙරෙන සියලු ප්‍රපංච සියල්ලට ම එක ලෙස නිරීක්‍ෂණය කළ හැකි දේ ද?

මේ සම්බන්ධයෙන් කදිම විස්‌තරයක්‌ දැනට ටික කලකට පෙර අභාවප්‍රාප්ත පෝල් ෆෙයරාබන්ඩ් මහතා කර ඇත. ඔහුq තම අගේන්ස්‌ට්‌ මෙතඩ් (Aට්‌සබිඑ පැඑයදා) කෘතියෙහි පෙන්වා දී ඇත්තේ බටහිර විද්‍යාවේ බොහෝ දේ නීරික්‍ෂණය කිරීමට නම් ඒ සම්බන්ධ පුහුණුවක්‌ කලින් ලබාගත යුතු බව ය. ඒ සඳහා උදාහරණ රාශියක්‌ ඒ මහතා තම පොතෙහි සඳහන් කර ඇත.

බටහිර වෛද්‍යවරුන් ලබාගන්නා එක්‌ස්‌ කිරණ රූප අර්ථකථනය කිරීම, එනම් ඒ රූප අදාළ අයුරින් නිරීක්‍ෂණය කිරිම සියලු දෙනාට කළ හැකි කාර්යයක්‌ නො වේ. චිත්‍රය දුන් පමණින් ඉන් පෙන්නුම් කළ හැකි රෝග පිළිබඳ ප්‍රකාශයක්‌ කළ හැක්‌කේ එක්‌ස්‌ කිරණ රූප අර්ථකථනය කිරීමට හැකි අයකුට පමණ ය. එලෙස පුහුණුව ලැබූ අයකුට පෙනෙන දෙය වෙනත් අයකුට නො පෙනෙයි. එවැනි පුහුණුවක්‌ ලබාගැනීමට කාලයක්‌ ගත වන අතර ඒ සඳහා යම් කැප කිරීමක්‌ ද අවශ්‍ය වෙයි. පුහුණුවක්‌ නො ලැබූ අයකුට පෙනෙන්නේ ඇටසැකිල්ලක්‌ හෝ වෙනත් එවැන්නක්‌ හෝ පමණකි.

ඇතැම් මිනිසුන්ට පමණක්‌ දේවාත්ම ලබාගත් මිය ගිය සමහර ඥතීන් පෙනෙන්නේ නම් ඒ මනෝ ව්‍යාධියක්‌ යෑයි කීමට බටහිර විද්‍යාඥයන් ඉක්‌මන් විය යුතු නැත. එවැනි අයට සංසාරයේ ඇති කරගත් පුරුදු හෝ වෙනත් අත්දැකීම් හෝ හේතුවෙන් එලෙස අනෙක්‌ අයට නො පෙනෙන දේවරූප පෙනෙනවා විය හැකි ය. එක්‌ස්‌ කිරණ රූප කියවන්නන් මනෝ ව්‍යාධිවලින් පෙළෙන්නේ යෑයි අනෙක්‌ අය නො කියන්නේ බටහිර විද්‍යාඥයන්ට තම දේශපාලන අධිකාරියත් සමඟ ලැබෙන උද්ධච්චකම අනෙක්‌ අයට නොමැති හෙයින් ද?