logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විවිධ අමරණීය දෙවිවරු

මහාචාර්ය නලින් ද සිල්වා

අපට සමීප සංස්‌කෘති, අප දන්නා සංස්‌කෘති ගත් කල දෙවියන් වර්ග දෙකක්‌ හෝ තුනක්‌ ඇතැයි අපි කීවෙමු. ඉන් එක්‌ වර්ගයක්‌ වනුයේ සංසාරයේ සැරිසරන සත්ත්වයන් දේව භවයක උපත ලැබීම හේතුවෙන් ඇති වන දෙවියන් ය. මේ දෙවියෝ තාවකාලික වෙති. ඔවුහු කාලයා ගේ ඇවෑමෙන් දෙව් ලොවින් චුත වී මනුෂ්‍ය, තිරිසන් වැනි වෙනත් ලෝකවල උපදිති. එසේම ඉන්පසුව නැවතත් ඔවුන්ට දිව්‍ය ලෝකවල ඉපදීමේ අවස්‌ථාව ලැබෙයි. මෙවැනි දෙවියන් බෞද්ධයන්ට හුරු පුරුදු ය.

අනෙක්‌ දේව කොටස්‌ දෙක සත්ත්වයන්, වස්‌තු හෝ ගුණ හෝ මත දේවත්ව ආරෝපණයෙන් ලැබෙයි. අවශ්‍ය නම් මේ දෙවර්ගය ම එක්‌ වර්ගයක්‌ ලෙස ගත හැකි ය. මේ දෙවියෝ අමරණීය වෙති. ඔවුහු සදාකාලික වෙති. අග්නි, වරුණ ආදී දෙවිවරු මෙන් ම ගණ, සරස්‌වතී ආදී දේව දෙවියෝ අමරණීය වෙති. වෛදික දෙවිවරුන්, සුරයන් අමරණීය වූයේ අමෘතය බිහි වීමෙන් බවට වෛදිකයන් නිර්මාණය කළ ප්‍රවාදයක්‌ වෙයි. එහෙත් මොවුන් බෞද්ධ සංස්‌කෘතියකට අවශෝෂණය වන්නේ බොහෝ ආයුෂ ඇති නමුත් මරණයට පත් වන දෙවියන් ලෙස ය. එසේත් නැත්නම් බුද්ධත්වය පතන බෝසතුන්වහන්සේලා ලෙස ය.

මෙයට අමතරව තවත් වර්ගවල දෙවියන් වෙනත් සංස්‌කෘතිවල පැවතීමට හැකි ය. අප බොහෝ විට හදාරන්නේ ඉන්දු යුරෝපීය සංස්‌කෘතීන් බැවින් වෙනත් සංස්‌කෘතීන්හි තිබිය හැකි දේව සංකල්ප පිළිබඳ අපට එතරම් දැනුමක්‌ නැත. සමහර විට වෙනත් සංස්‌කෘතීන්හි එවැනි දේව සංකල්ප නැති වීමට ද හැකි ය. භාරතීය සංස්‌කෘතිය නැඟෙනහිර ආසියාටව ගලා යැමට පෙර ඒ රටවල සංස්‌කෘතින්හි දේව සංකල්පය තිබිණි ද යන්න හැදැරීම වැදගත් ය.

පැරැණි මිසරයේ දේව සංකල්පයක්‌ තිබී ඇති බව පැහැදිලි ය. හිරු දෙවියන් පිළිබඳ සංකල්පය පැරැණි මිසරයන්ට විය. රා නමින් හැඳින්වුණු දේව සංකල්පයක්‌ ද මිසරයේ විය. මිසර සංස්‌කෘතිය පසුව විනාශ වී අද ඊජිප්තුව නමින් හැඳින්වෙන රට බිහි විණි. ඊජිප්තුවේ අද ඇත්තේ මුස්‌ලිම් සංස්‌කෘතියකි. ඇතැම් උගතුනට අනුව ක්‍රිස්‌තුස්‌වහන්සේ යන සංකල්පය බිහි වී ඇත්තේ මිත්‍ර දෙවියන් ආශ්‍රයෙනි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ උපත සමඟ බැඳී ඇති නත්තල් උත්සවය මිත්‍ර දෙවි සමඟ බැඳී ඇතැයි කියෑවෙයි. අපි ඒ පිළිබඳව පසුව සාකච්ජා කරමු.

පැරැණි පර්සියාවේ දේව සංකල්පය බෙහෙවින් පැතිරී තිබිණි. ඇතැමුන්ට අනුව ලෝකයේ

පැරැණිම ආගම ලෙස සැලකෙන්නේ ශරතුස්‌ත්‍ර දහම ය. එහි පැරැණි ම ලියවිලි අවෙස්‌තා ග්‍රන්ථ නමින් හැඳින්වෙයි. යස්‌න නම් ග්‍රන්ථවල සඳහන් ශරතුස්‌ත්‍ර දහමෙහි භක්‌ති ගී හැඳින්වෙන්නේ අපට හුරු පුරුදු වචනයක්‌ වන ගාථා නමිනි. පැහැදිලිව ම ශරතුස්‌ත්‍ර දහම යුදෙව් ආගමට මෙන් ම ක්‍රිස්‌තියානි, ඉස්‌ලාම් ආගම්වලට ද, වෛදික ආගම්වලට ද, බුදු දහමට ද බලපෑම් කර ඇත. එහෙත් මිසරය පසුව ඊජිප්තුව වූවා සේ ම පර්සියාව ද අද ඉරානය බවට පත් වී ඇත්තේ සංස්‌කෘතිය ද වෙනස්‌ කරගනිමිනි. අද ඉරානයේ ද ඇත්තේ මුස්‌ලිම් සංස්‌කෘතියකි.

ඒ කෙසේ වෙතත් දේව සංකල්පය මුලින් ම ඇති වූයේ කිනම් සංස්‌කෘතියක ද යන්න ද අධ්‍යයනය සඳහා සුදුසු මාතෘකාවකි. එය දඹදිව ඇති වූවක්‌ ද? ඇතැම් උගතුන්ට අනුව දැනට අවුරුදු හාර දහසකට පමණ පෙර උච්චස්‌ථානයකට පත් වූ මොහන්ජදාරෝ හරප්පා සංස්‌කෘතීන්හි ශිව දෙවියන් පුදා ඇති බවට සාක්‍ෂි වෙයි. මේ ආර්යයන් දඹදිවට පැමිණීමට පෙර ය. එකල දඹදිව වාසය කළෝ කිනම් ගෝත්‍රයකට අයත් වූවෝ ද? ඔවුන් කවුරුන් වුවත් ද්‍රවිඩයන් විය නොහැක්‌කේ ද්‍රවිඩ ගෝත්‍රිකයන් දඹදිවට පැමිණ ඇත්තේ ආර්යයන් පැමිණීමෙන් පසුව බැවිනිs.

ඇතැම් විට දේව සංකල්පය සංස්‌කෘතීන් ගණනාවක්‌ විසින් එකිනෙකින් ස්‌වායත්ත ව නිර්මාණය කෙරෙන්නට ඇත. අප අසා ඇති ප්‍රශ්නය, එනම් දේව සංකල්පය මුලින් ම බිහි වූයේ කිනම් සංස්‌කෘතියක ද යන්න ම යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියක ඇසෙන ප්‍රශ්නයකි. යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ඒකදේවවාදය හේතු කොටගෙන මුලින් ම ඇති වූයේ කවුද, කොහේ ද ආදී ප්‍රශ්න පැන නැඟෙයි. මිනිසා මුලින් ම ඇති වූයේ අප්‍රිකාවේ බවට අද බටහිර විද්‍යාවේ දක්‌නට ලැබෙන මතයේ පසුබිම ද ඒ එක්‌ මුලක්‌ පමණක්‌ සෙවීම මත පදනම් වෙයි. ඩාවින් ගේ පරිණාමවාදය ද බිහි වී ඇත්තේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි බව අමතක නො කළ යුතු ය. කෙසේ වෙතත් දේව සංකල්පය නිර්මාණය වී ඇති සංස්‌කෘතීන් කවරේ දැයි සොයා බැලීම වැදගත් ය.

ලතින් භාෂාවෙන් ව්‍යqත්පන්න වූ භාෂාවල දෙවියන් යන්න හැඳින්වෙන්නේ ඩේයුස්‌ (Deus) හා ඩිවුස්‌ (Divus) යන්නෙන් බිඳුණු වචනවලිනි. පැහැදිලිව ම ඒ වචන හා දේව යන්න අතර සමානකමක්‌ වෙයි. ඒ සියල්ල ඉන්දු යුරෝපීය ප්‍රාකෘතයක ඩෙයිවොස්‌ (deiwos) යන්නේ බිඳී ඇතැයි ඇතැම් උගත්තු පවසති. ඩෙයිවොස්‌ යන්න ඩිවයින් (divine - දිව්‍යමය) යන්න සමඟ බැඳෙයි. ගී්‍රක සංස්‌කෘතියේ මහා දෙවියා හඳුන්වන සියුස්‌ (Zeus) යන ග්‍රීක වචනය ද ඩේයුස්‌ සමඟ බැඳී ඇත.

එසේම දෙවියන් හා බැඳුණු දෙමළ බසින් ගත් තේවාව ඉංගිරිසි බසෙහි තීසීස්‌, තියෝ, තියරම්, තියොලොජි (Theology - දේව ධර්මවාදය) ආදිය ද එක ම මූලයකින් ලැබෙන බව පැහැදිලි ය. තීසීස්‌ යන දේව දැනුමක්‌ යන අර්ථය දනවයි. ප්‍රමේයය සඳහා ඉංගිරිසි වචනය වූ තියරම් යන්නෙන් ද යම් ආකාරයක දේව දැනුමක්‌ ගැන කියෑවෙයි. ඒකදේවවාදය ඉංගිරිසියෙන් මොනොතීසම් (Monotheism) ලෙස ද බහුදේවවාදය පොලිතීසම් (Polytheism) ලෙස ද හඳුන්වනු ලැබෙයි. එහි දී ද තීසම් යන වචනය දෙවියන් සමඟ සම්බන්ධ වන බව පැහැදිලි විය යුතු ය.

එහෙත් ඉංගිරිසි බසෙහි දෙවියන් හැඳින්වීමට ගෝඩ් (God) යන පදය යෙදෙන්නේ ඇයි දැයි කිසිවකුට ඇසිය හැකි ය. ඉංගිරිසියෙහි ගී්‍රක හා ලතින් භාෂාවලින් ලබාගත් වචන තිබිණි ද එය ජර්මානු මූල සහිත භාෂාවකි. එබැවින් එහි ගෝඩ් යන්න ගී්‍රක හෝ ලතින් හෝ මූලයකින් ලැබෙන්නක්‌ නො වෙයි.

ඉන්දු යුරෝපීය භාෂාවල දෙවියන් සඳහා එක ම මූලයකින් බිඳුණු වචන යොදා ගැනීමෙන් පැහැදිලි වන්නේ දේව සංකල්පය ඒ භාෂාවල් සමඟ බැදුණු පොදු සංස්‌කෘතියක නිර්මාණය වී ඇති බව ය. එහෙත් මෙහි දී ඒ මූලය බහුදේවවාදී සංස්‌කෘතියක නිර්මාණය වූයේ ද එසේත් නැත්නම් ඒකදේවවාදී සංස්‌කෘතියක නිර්මාණය වී ද යන්න නිශ්චිතව දැන ගැනීම අසීරු ය. එසේ වුවත් පැරැණි ගී්‍රක හා රෝම සංස්‌කෘතීන් බහුදේවවාදී සංස්‌කෘතීන් විය. ගී්‍රකයන් ගේ සියුස්‌ මහා දෙවියා සමඟ ඇපලෝ ආදී දෙවිවරු ද, ඇතීනා ආදී දෙවඟනෝ ද සිටිය හ. සියුස්‌ දෙවියන් ලෝකය මැවීමේ කාර්යයෙහි යෙදුණේ ද නො වේ.

බොහෝ විට සිදු වන්නට ඇත්තේ පළමුව බහුදේවවාදී සංස්‌කෘතීන් බිහි වී පසුව ඒකදේවවාද සංස්‌කෘතීන් බිහි වීම ය. එහෙත් ඒ එසේ නො වන්නට ද හැකි බව සිහි තබාගත යුතු ය. කෙසේ වෙතත් දැනට අපට මේ කරුණුවලින් අනුමාන කළ හැක්‌කේ පැරැණි දේව සංකල්පය බහුදේවවාදී සංස්‌කෘතීන්හි පැනනැඟුණු එකක්‌ බව ය.

දේව යන්න එක්‌ දෙවියකුට පමණක්‌ යෙදෙන රෝමානු-ලතින් මූල සහිත භාෂාවක්‌ නම් පෘතුගීසි භාෂාව ය. සමහර විට එයට හේතුව වන්නට ඇත්තේ පෘතුගීසි සංස්‌කෘතියට දේව යන සංකල්පය එකතු වී ඇත්තේ ම ඒකදේවවාදී සංස්‌කෘතියකින් වීම නිසා විය හැකි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් දේව යන සංකල්පය පෘතුගීසි සංස්‌කෘතියට එකතු වූයේ රෝම අධිරාජ්‍යයෙන් නම් ඒ අධිරාජ්‍යය ඒ වන විටත් ඒකදේවවාදය වැළඳගෙන තිබෙන්නට ඇත.

ගී්‍රසියේ රෝමයේ මෙන් ම වෛදිකයන් ගේ ද දෙවිවරු මිනිසුන් ගෙන් වෙනස්‌ නො වූ හ. අප කලින් ද කියා ඇති පරිදි මේ දෙවිවරු මිනිස්‌ ලොව ගැහැනුන්ට පෙම් කළ හ. දිව්‍යාංගනාවෝ මිනිස්‌ ලොව පිරිමින් සමඟ සම්බන්ධකම් ඇති කර ගත් හ. ගී්‍රකයන් ගේ ඉලියඩ් හා ඔඩිසි කාව්‍යවල මෙන් ම භාරතයේ රාමායනයේ හා මහාභාරතයේ දෙවිවරු මිනිසුන් සමඟ එක්‌ වී යුද්ධ කළ හ. මේ සියල්ලෙන් පැහැදිලි වන කරුණ නම් මේ පැරැණි සංස්‌කෘතීන්හි දෙවිවරුන් මිනිසුන් විසින් තම හැඩරුව හා ගුණ අනුව මවනු ලැබූ බව ය. මිනිසුන් සත්ත්වයනට වස්‌තුවලට හා ගුණවලට දේවත්ව ආරෝපණය කරන්නට ඇත්තේ ම තමන් මුල් කරගෙන බව පැහැදිලි ය. එක්‌ වර්ගයක (අවශ්‍ය නම් වර්ග දෙකක) දෙවියන් මවනු ලැබ ඇත්තේ මිනිසුන් විසින් බව පැහැදිලි ය. එහෙත් අපි තවත් වර්ගයක දෙවියන් ගැන සඳහන් කළෙමු. ඒ සසර සැරිසරන සත්ත්වයන් තාවකාලිකව දෙවියන් ලෙස උපත ලැබීම හේතුවෙන් අපට හමු වන දෙවිවරුන් ය. මේ දෙවිවරුන් ද අවසාන වශයෙන් ගත් කල අපේ නිර්මාණ (සියලු සංකල්ප නිර්මාණ ලෙස සැලකීමෙන්) ලෙස සැලකෙන නමුත් ඔවුන්ට මිනිසුන්ට හා අනෙක්‌ සතුන්ට මෙන් ම භවයක්‌ ඇත. මේ දෙවිවරුන් ඇතැමුනට (මිනිසුන්ට) දක්‌නට ලැබෙන බව ද අමතක නො කළ යුතු ය. මේ දේව ගණයා බ්‍රහ්ම, ප්‍රේත ආදීන් මෙන් ම සත්ත්වයෝ වෙති.

ඇතැමුනට දක්‌නට ලැබෙන බැවින් මිනිසුන් මේ දේව ගණයා පිළිබඳව ඈත අතීතයේ සිට ම දැන සිටියා විය යුතු ය. එහෙත් එවැනි දේව ගණයක පැවැත්ම නිගමනය කිරීමට ඒ සංස්‌කෘතීන්ට හැකි විණි යෑයි මෙයින් නො කියෑවෙයි. විවිධ භූතාත්ම ගැන විවිධ සංස්‌කෘතීන්හි සඳහන් වෙතත් ඒ නිරීක්‍ෂණ එකට ගෙන ගළපා සංගත කතාවක්‌ නිර්මාණය කර ගැනීමට හැකි වී ඇත්තේ සංස්‌කෘතීන් කිහිපයකට පමණක්‌ බව පැහැදිලි ය.

ඇතැමුන්ට පමණක්‌ නිරීක්‍ෂණය වන සත්ත්ව ගණයා පිළිබඳව අපට බොහෝ විට ඇත්තේ බියකි. මේ බොහෝ සත්ත්වයන් අපට වින කරන පිරිසක්‌ ය යන්න බොහෝ සංස්‌කෘතීන්හි පිළිගත් මතය බවට පත් වී ඇත. ඒ සත්ත්වයන් සදාකාලික ද නැද්ද යන්න එතරම් සාකච්ජා වී ඇති ප්‍රශ්නයක්‌ යෑයි කිව නො හැකි ය. මේ සත්ත්වයන් මරණයට පත් වන මිනිසුන් සමඟ සම්බන්ධ යෑයි යක්‍ෂ හා වෙනත් සංස්‌කෘතීන්හි තේරුම් ගෙන ඇති බව පැහැදිලි ය.

නෑ යකුන්, මළ යකුන් පිළිබඳ සංකල්පවලින් පැහැදිලි වන කරුණ නම් සංසාරය යන සංකල්පය ඇති ව හෝ නැතිව හෝ මිනිසුන් මිය යැමෙන් පසුව වෙනත් ආකාරයක ශරීර සහිතව ඉපදෙන බවට දැනුමක්‌ ඇතැම් සංස්‌කෘතීන් විසින් නිර්මාණය කෙරී ඇති බව ය. මේ මළ යකුන් සතුටු කිරීමට ඇතැම් වත් පිළිවෙත්වල නිරත වීමට මේ සංස්‌කෘතීන්වල ජීවත් වූවෝ පුරුදු වී සිටිය හ. මිය ගිය යකුන් ගෙන් ඇතැමුන් අපට වින කරන සත්ත්වයන් ලෙස උපදින අතර තවත් අය අපට උපකාර කරන සත්ත්වයන් ලෙස ද උපත ලබන බව යක්‍ෂ ගෝත්‍රිකයන්ට වැටහීමක්‌ තිබී ඇත.