|
දොස්‌තර මාමා දොස්‌තර මාමට පහුගිය සති අන්තයෙ පොඩි නිවාඩුවක් ලැබුණා. ඒ නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන දොස්‌තර මාම ගියා අම්පාර පැත්තේ තමන් ගෙ හිතවතෙක් ගෙ ගෙදර. ඒ හිතවතා දැන් අම්පාර පළාතෙ ප්‍රසිද්ධ වනෝද්‍යානයක සේවය කරන නිලධාරියෙක්. ගෙවලුත් ඒ පැත්තෙමයි. සිකුරාදා හවස හය හත වෙන කොට දොස්‌තර මාම අම්පාරෙ. දොස්‌තර මාම ගෙ කල්පනාව තිබුණේ එදා රෑ හිතවතා ගෙ ගෙදර නැවතිලා පහු වැනි දා උදෙන් ම වනෝද්‍යානය බලන්න යන්නයි. ඉතින් සෙනසුරාදා උදෙන් ම දොස්‌තර මාම ඇහැරුණේ අමුතු භයානක සද්දයකින්. බලන කොට ඒ මොකවත් නෙමෙයි. මොණරු කෑ ගහන සද්දේ. යාළුවා කිව්වේ අවුරුද්දෙ මේ කාලෙට මොණරුන් ගෙ සද්දේ බොහොම වැඩි බවත්, සෙබඩ බිත්තර දාන්නෙ මේ කාලෙට බවත්. දොස්‌තර මාම ගෙ ගමනට අර කියපු හිතවතා බොහොම අපූරු ජිප් රථයක් ලෑස්‌ති කරල තිබුණා. ඒක දැක්‌කට පස්‌සේ දොස්‌තර මාමට ගමනට තියෙන ආශාව තවත් වැඩි වුණා. කොහොම හරි ගමන පිටත් වෙන්න ඉස්‌සර වෙලා හොඳට බඩ පුරවගන්න ඕන කියල දොස්‌තර මාමට හිතුණෙ, දවල්ට කන්න වෙන්නෙ කීයට ද කියල විශ්වාසෙකුත් නො තිබුණු හින්දා. අර හිතවතා ගෙ නෝනා උදේට බොහොම අපූරු පොල් සම්බෝලෙකුයි, පරිප්පු හොද්දකුයි ලෑස්‌ති කරල තිබුණා. දොස්‌තර මාම හිතුව කොයි වෙලේ හරි රතු කැකුළු බත් පිඟානකුත් මේසෙට එයි කියල. කෝ බලන් හිටියට ආවේ නැහැ. පාන් විතරයි. ඒත් ඉතින් දොස්‌තර මාමට මුකුත් කියන්නත් බැහැ. මෙච්චර උදව් කරල අර යාළුව ගෙන් පුළුවන් ද තමන් කන්න කැමැති දේවල් ඉල්ලන්න. දොස්‌තර මාම "හ්ම්" සද්ද නැතිව පාන් බාගෙකුයි තවත් පෙති දෙක තුනකුයි ගිලල දැම්ම. එදා දවල් වරුව පුරා ම දොස්‌තර මාම වනෝද්‍යානයේ සැරිසරුව. ජිප් එකේ රියෑදුරු මහත්තයට පින් සිද්ධ වෙන්න කොටියෙක් වත් බලාගන්න දොස්‌තර මාමට පුළුවන් වුණා. සාමාන්‍යයෙන් එක දවසක් කැළේ ඇවිදල කොටියෙක් බලා ගන්නව කියන්නේ අමාරු වැඩක් කියලයි රියෑදුරු මහත්තය කිව්වේ. කොහොම නමුත් ගල් තලාවක වැතිරිල හිටිය හොඳ හයයි හතරෙ කොටි තඩියෙක් බලාගන්න දොස්‌තර මාමට පුළුවන් වුණේ බොහොම ඈත තියාම රියෑදුරු මහත්තය ගෙ උකුසු ඇස්‌වලට කොටියව අහු වුණු නිසා. දොස්‌තර මාම දවල්ට කන කොට 3ත් පහු වෙලා. උදේට කෑවෙ පාන් නිසා දොස්‌තර මාම ගේ ඇඟත් නිකන් වෙව්ලන්න වගේ. කොහොම නමුත් රතු කැකුළු බත් පිඟානකුයි. නෙළුම් අල වෑංජනයකුයි, පොළොස් මැල්ලුමකුයි දොස්‌තර මාමට ලැබුණේ වනෝද්‍යාන සංචාරක බංගලාවෙන්. පංකාදු පහයි. දොස්‌තර මාම එච්චර රහට කෑවෙ සෑහෙන කාලෙකට පස්‌සෙ. එදා රෑත් දොස්‌තර මාම හිටියේ අර කියපු හිතවතා ගෙ ගෙදරමයි. රෑ කෑමට තිබුණෙ බොහොම අපුරුවට හදපු රොටි වගයක්. මිත්‍රය ගෙ නෝන මහත්තය ගොඩක් මහන්සි වෙලා වගෙයි. "ඒත් ඉතින් පාන් පිටි තමයි ප්‍රශ්නෙ." දොස්‌තර මාම ගෙ හිතේ කෙළවරක ලියෑවුණා. ඉරිදා උදෙන් ම දොස්‌තර මාම ආයෙත් එන්න පිටත් වුණා. එදත් උදේ කෑම යාළුව ගෙ ගෙදරින්. ඉරිදා උදේට ඉදිආප්ප. නිකන් ඉදිආප්ප නෙමෙයි පාන්පිටි ඉදිආප්ප. මේ වැඩේ නම් දොස්‌තර මහත්තයාට ඇල්ලුවෙ නෑ. මහ කෙත්වතු තියෙන, රටට ම බත සපයන දිගාමඩුල්ලේ ගෙදරක උදේටයි, රෑටයි පාන්පිටි කනව කියන්නේ ලැඡ්ඡා වෙන්න ඕන දෙයක් කියලයි දොස්‌තර මාමට හිතුණෙ. මේ කාරණේ දොස්‌තර මාමට කියන්නත් ඕන. යාළුවව තරහ කරගෙනත් බෑ. ඒ පාර දොස්‌තර මාම ආපහු යන ගමන පොඩ්ඩකට පරක්‌කු වුණත් කමක් නෑ කියල හෙමිහිට හෙමිහිට කතාවට බැස්‌ස. කතාව ට්‍රැක් එකට දාගත්තට පස්‌සේ දොස්‌තර මාම හීන් නූලෙන් ම පාන් පිටිවල අගුණ කියන්න ගත්තා. "මේ පාන් පිටි එහෙම තැත්නම් ශුද්ධ කරපු තිරිඟු පිටි අපේ රටේ වවන දෙයක් නෙමෙයි. ඕක කොටින් ම සුද්ද ගෙ කෑමක්. පාන් පිටිවලින් හදපු කෑම කෑවම අපේ ඇඟෙ සීනි මට්‌ටම අනෙක් පිටි වර්ගවලින් හදපු කෑම කෑවට වඩා ඉක්‌මනින් ඉහළ යනවා. දීර්ඝ කාලීනව බැලුවහම මේක දියවැඩියාව වගේ රෝග හැදෙන්න අත දීමක්. ඒ විතරක් නෙමෙයි ගංජාවලට, කෝපිවලට අබ්බැහි වෙනවා වගෙ පාන්පිටිවලටත් ඇබ්බැහි වෙන්න පුළුවන්. පාන්පිටිවල තියෙන සමහර රසායන සංයෝග එහෙම ඇබ්බැහි කරවන්න සමත් බව දැන් බටහිර රටවල ම පර්යේෂකයන් කියනවා. කොටින් ම ඒ රසට පුරුදු වුණාට පස්‌සෙ අනෙක් කෑමට තියෙන ආසාව අඩු වෙනවා. ඊට පස්‌සේ පාන්පිටි කෑම මයි ඕන" දොස්‌තර මාම තමන්ට කියන්න ඕන කාරණා ටික හිතවතාටයි, බිරිඳටයි කිව්වේ බොහොම මෘදු ස්‌වරයකින්. හිතවතා ගෙ බිරිඳ ගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙන කොටයි දොස්‌තර මාමට හිතුණෙ කොච්චර මෘදු විදිහට කිව්වත් ඒ ටික හොඳට වැදිල කියල. ඒ පාර දොස්‌තර මාම හිමිහිට කතාව වෙන පැත්තකට යොමු කරල, දෙන්නට මුව නො සෑහෙන්න ස්‌තූති කරල ආපහු නුවර එන්න පිටත් වුණා. එන මඟ දිගට ඉමක් නො පෙනෙන කුඹුරු යායවල්. දොස්‌තර මාමගෙ ඇඟට, ඇස්‌වලට පුදුම සනීපයක් දැනුණෙ. වාහනෙන් බැහැල පොළොව ඉඹගන්න තරම් ආසාවක් ඇති වුණා. නැවුම් සිතිවිලිවලින් දොස්‌තර මාම ගෙ හිත පිරී ගියා. ඒ වුණාට ඒත් එක්‌ක ම පොඩි දුකකුත් ඇති වුණා. දිගාමඩුල්ලේ මිනිස්‌සුන්ටත් පාන් පිටි කවන්න තරම් පාන් පිටිවලට බලයක් ලැබුණෙ කොහොම ද කියල. "අනේ අනිච්චං"
|
|
||||
|
|||||