|
ශ්‍රී ලංකාව ආසියානු ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් කරයි පසුගිය දා ආසියානු රටවල් 12ක ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් කොරියානු ජනරජයේ සෝල් නුවර දී පවත්වනු ලැබූ ආසියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගිතා සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ කේ. බී. ගුණරත්න මහතා පැවසී යෑයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ තවදුරටත් සඳහන් අන්දමට සංවිධානයේ සාමාජික රටවල ආහාර සුරක්‍ෂිතතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ආහාර හා කෘෂිකර්ම තාක්‍ෂණය දියුණු කිරීමට සහයෝගය දීමේ අරමුණින් කොරියානු ජනරජය මේ සංවිධානය ආරම්භ කර ඇත. මේ යටතේ ආසියානු ආහාර සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක් පිහිටුවා එමගින් සාමාජික රටවල පවතින නීතිමය රාමුව තුළ ස්‌වාභාවික සම්පත් සංරක්‍ෂණය හා ඒවා නිසි ලෙස පරිභෝජනය කරමින් තිරසාර කෘෂිකාර්මික පරිසරයක් ඇති කිරීමට අවශ්‍ය සහයෝගය දීම මේ සංවිධානය මගින් සිදු කෙරේ. එසේම මේ සංවිධානය මගින් සාමාජිකයන් ගේ කර්මාන්ත සඳහා හැකියා වර්ධනය හා තාක්‌ෂණ හුවමාරු කර ගැනීමේ එකඟතාවට පැමිණි බව ද එම නිවේදනයේ සඳහන් වෙයි. |
||||
|
||||